සදාකාලිකත්වයේ ශ්‍රේෂ්ඨ දීමනාවන්: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, මරණයෙන් නැවත නැගිටීම, නැවත පිහිටුවීම
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ පාස්කු ඉරිදා අපට සාමය, බවට පත්වීම සහ අයත් වීම සොයාගත හැකිය—එය චිරස්ථායී සැබෑ හා ප්‍රීතිමත්, සතුටින් හා සදහටම පවතින දෙයකි.
වසර ගණනකට පෙර, අපේ පාන්දර ශුභාරංචි පන්තියේ බයිබල් පද කට පාඩම් කරා. ස්වභාවයෙන්ම මම කෙටි පද වලට ඇදී ගියා. මෙයට යොහන් 11:35 ඇතුළත් වුණා—ශුද්ධලියවිලි වල කෙටිම පදයේ තියෙන්නේ, වචන දෙකයි—“යේසුස්වහන්සේ ඇඬූසේක.”
මට දැන්, යේසුස්වහන්සේ දුකෙන් හා ප්‍රීතියෙන් හැඬීම ආශ්චර්යමත් යථාර්ථය ගැන සාක්ෂි දරනවා: දෙවියන්වහන්සේගේ දිව්‍ය පුත්‍රයාණන් ශාරීරික ලෞකිකත්වයට පැමිණ, සැමවිටම අප සමඟ සිට අපිට ආශීර්වාද කරන්නේ කොහොමද කියලා මාංසයට අනුව ඉගෙන ගත්තා.
අපි දුකෙන් හරි ප්‍රීතියෙන් හරි හඬනකොට , යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඒක හොඳින් තේරුම් ගන්නවා. අපට සදාකාලිකත්වයේ ශ්‍රේෂ්ඨ දීමනාවන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, මරණයෙන් නැවත නැගිටීම, නැවත පිහිටුවීම වැනි දේ වඩාත් අවශ්‍ය වන මොහොතේ දී උන්වහන්සේට පැමිණ සිටින්නට පුළුවන්.
මරියා සහ මාර්තා මිය ගිය තම සහෝදරයා වන ලාසරුස් වෙනුවෙන් හඬනවා. අනුකම්පාවෙන් පිරී, යේසුස්වහන්සේ හඬා වැටුණා. උන්වහන්සේ ලාසරුස්ට නැවත ජිවිතය දුන්නා.
පාස්කු මංගල්‍යයට පෙර සැඳෑවේ යේසුස්වහන්සේ යෙරුසලම දිහා බලනවා. කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක් මෙන් තම සෙනඟ එක්රැස් කිරීමට නොහැකිව උන්වහන්සේ හඬා වැටෙනවා. අද අපට සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන දුක් වෙනකොට උන්වහන්සේගේ වන්දිගෙවීම බලාපොරොත්තුවක් ලබාදෙනවා.
මිදිවත්තේ ස්වාමියා හඬමින් තම සේවකයන්ගෙන් අසනවා, එයට අපව දේවසේවයේ සහෝදර සහෝදරියන් ලෙසත් ඇතුළත් කරන්න පුළුවන්, “මාගේ මිදිවත්ත සඳහා මම තවත් කළ හැකිව තිබුනේ කුමක්ද?”
මරියා සොහොන් ගෙය ළඟ වියෝවෙන් සිටගෙන සිටියා. යේසුස්වහන්සේ මෘදු ලෙස මෙහෙම ඇසුවා, “ස්ත්‍රිය, ඔබ මක්නිසා හඬනවාද?” “රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදයේදී ප්‍රීතිය පැමිණෙන” බව උන්වහන්සේ දන්නවා. උත්ථානය හැම කෙනෙක්ටම අරුණෝදය ගෙන එනවා.
මොර්මොන්ගේ පොතේ සඳහන් දේශවල, ඇදහිලිවන්ත සමූහයන් උන්වහන්සේ වෙතට නැඟී සිටින විට, යේසුස්වහන්සේගේ ප්‍රීතිය සම්පූර්ණ වුණා. උන්වහන්සේ හැඬුවා
“තවද උන්වහන්සේ ඔවුන්ගේ කුඩා දරුවන් එකිනෙකා රැගෙන, තවද ඔවුන්ට ආශිර්වාද කළ සේක. තවද ඔවුන් සඳහා පියාණන්වහන්සේට යාච්ඤා කළ සේක.
“තවද උන්වහන්සේ මෙය කළ විට උන්වහන්සේ නැවත හැඬූ සේක.”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ පාස්කුව මෙයයි: උන්වහන්සේ අපගේ හදවත්වල ආශාවන්ට සහ අපගේ ප්‍රාණයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. අපේ සතුටු කඳුළු හැර, උන්වහන්සේ අපේ මුහුණුවලින් අනෙක් කඳුළු පිසදමනවා.
අපේ කඳුළු ගලනකොට, අපි සමහර වෙලාවට සමාව ගන්නවා, ලැජ්ජාවට පත් වෙනවා. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවිතයේ වේදනාවන් සහ ප්‍රීතිය තේරුම් ගන්නා බව දැන ගැනීමෙන්, අපි මිහිරි සහ කටුක දේවල් සංචලනය කරන විට, එය අපට තව තවත් ශක්තියක් ලබා දෙනවා.
දකුණු ඇමරිකාවේ, පියෙක් මෙසේ හඬා වැටෙනවා. ඔහුගේ ජීවිතයේ දීප්තියක් වූ ඔහුගේ කුඩා දියණිය මිය ගිහින්. “ඇයව නැවත වතාවක් දකින්න මම ඕනම දෙයක් දෙනවා,” ඔහු මගේ තුරුලේ හැඬුවා. මමත් හැඬුවා.
මෙක්සිකෝවේ පුවෙබ්ලා දේවමාළිගාව කැපකිරීමේදී, ආදරණීය සහෝදරියකගේ මුහුණ සතුටු කඳුළු වලින් තෙමුණා. ඇගේ මූණුවරින් ඇදහිල්ල සහ පරිත්‍යාගය පැතිරුණා. ඇය මෙහෙම කිව්වා, “ටෝඩෝස් මිස් ඉහෝස් එස්ටාන් අකි එන් එල් ටෙම්පලෝ හොයි”—“අද මගේ ළමයි ඔක්කොම දේවමාළිගාවේ ඉන්නවා.” ස්වාමීන්වහන්සේගේ ගෘහයේ රැස්වූ පරම්පරාවන් ප්‍රීතියේ හා කෘතඥතාවයේ කඳුළු ගෙන එනවා.
කුරිරු සිවිල් යුද්ධයේදී, පවුල් සහ අසල්වාසීන් එකිනෙකාට කියන්න බැරි තරම් දේවල් කළා. කටුක කඳුළු කෙමෙන් බලාපොරොත්තුවකට මග පාදනවා. කුඩා ගමක කාන්තාවක් ඇගේ වෙව්ලන හඬින් මෙහෙම කිව්වා, “අසල්වැසියා, මම මගේ සොහොනට යන්න කලින්, ඔබේ අතුරුදහන් වූ පවුලේ සාමාජිකයන් සොයා ගන්නේ කොහෙන්දැයි ඔබ දැනගන්නවාට මම කැමතියි.”
දීප්තිමත් මනාලියක් සහ කඩවසම් මනාලයෙකු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මුද්‍රා වෙනවා. ඇයටත් ඔහු වගේම වයස අවුරුදු 70 යි. ලස්සන මනාලියක් වූ, ඇය මේ දවස එනකම් බලාගෙන හිටියා. ඇය ලැජ්ජාවෙන් ඇගේ මංගල ඇඳුම මේ පැත්තටත්, පසුව ඒ පැත්තටත් පැද්දුවා. අපි සතුටු කඳුළු හෙළුවා. දෙවියන්වහන්සේගේ පොරොන්දු ඉටු වුණා. උන්වහන්සේගේ ගිවිසුම් ආශිර්වාද ගෙන එනවා.
වැන්දඹු සහෝදරියකට ගෙදර උගන්වමින් සිටින අතරේදී, තරුණ බොයිඩ් කේ. පැකර් මෘදු පාඩමක් ඉගෙන ගත්තා. ඒ සහෝදරිය අවසානයේදී වේදනාකාරී ප්‍රකාශයක් සිදුකර තිබුණා, ඇගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ මතභේදයකින් පසුව, එදින අනපේක්ෂිත අනතුරකින් ඇගේ සැමියාගේ ජීවිතය අහිමිව තිබුණා. “අවුරුදු පනහක් තිස්සේ,” වැන්දඹුව හඬමින් කිව්වා, ඒ තියුණු, ද්වේෂ සහගත ප්‍රකාශය මගේ තොල්වලින් ඔහු ඇසූ අවසාන වචන බව දැනගෙන මම අපායක ජීවත් වුණා.”
තිරය දෙපැත්තේම අපගේ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට, සමගි කිරීමට, නිවැරදි කිරීමට යේසුස් ක්‍රිස්තුන්වහන්සේ තුළ පාස්කුව උපකාර කරනවා. යේසුස්වහන්සේට දුක නැති කරන්න පුළුවන්; උන්වහන්සේට සමාව දෙන්න හැකියාව තියෙනවා. එහෙම නැති වුනොත් අපව වහල්භාවයට බැඳ තබන්නට හැකි අපි හෝ ඔවුන් පැවසූ හෝ කළ දේවල් වලින් අපිව සහ අනික් අයව නිදහස් කිරීමට උන්වහන්සේට පුළුවන්.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ පාස්කු උත්සවය අපට දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනීමට සලස්වනවා. අපි ඕනෑවට වඩා උසයි, ඕනෑවට වඩා කොටයි, ඕනෑවට වඩා පළලයි, ඕනෑවට වඩා පටුයි—බුද්ධිමත් නැහැ, ලස්සන නැහැ හෝ ප්‍රමාණවත් තරම් අධ්‍යාත්මික නැහැ කියලා මේ ලෝකය අපිට කියනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අධ්‍යාත්මික පරිවර්තනය තුළින් අපට දුර්වල කරන පරිපූර්ණත්වයේ හැඟීම්වලින් මිදෙන්න පුළුවන්.
පාස්කු ප්‍රීතියත් සමඟ අපි මෙහෙම ගායනා කරනවා, “මරණය ජයගෙන ඇත; මිනිසා නිදහස් ය. ක්‍රිස්තුස්වහන්සේ ජයග්‍රහණය දිනාගෙන ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය අපිව මරණයෙන්, කාලයත් සමඟ ඇතිවන අස්ථිරභාවයන් වලින් සහ ශාරීරික අසම්පූර්ණකම්වලින් නිදහස් කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අපිව අධ්‍යාත්මිකව යථා තත්ත්වයට පත් කරනවා. අපිව පාපයෙන් හා වෙන්වීමෙන් මුදවන්නට, හරියට ලේ කඳුළු වගුරවනවා වගේ උන්වහන්සේ සෑම සිදුරකින්ම ලේ වැගිරෙව්වා. උන්වහන්සේ අපිව එකිනෙකා හා දෙවියන්වහන්සේ සමඟ, සම්පූර්ණයෙන් හා ශුද්ධ ලෙස නැවත එක් කරනවා. සියලු යහපත් දේවල් වලදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බහුල ලෙස ප්‍රතිස්ථාපනය කරයි—තිබුණු දේවල් විතරක් නෙමේ, වෙන්න පුළුවන් දේවලුත්.
යේසුස්වහන්සේගේ ජීවිතය හා ආලෝකය සියලු දරුවන් කෙරෙහි දෙවියන්වහන්සේගේ ඇති ප්‍රේමය පිළිබඳව සාක්ෂි දරනවා. අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ සෑම වයසකම සහ දේශයකම සිටින උන්වහන්සේගේ සියලු දරුවන්ට ප්‍රේම කරන නිසා, බොහෝ සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් තුළ උන්වහන්සේ තුළ සාමය හා ප්‍රීතිය සොයා එන ලෙස උන්වහන්සේගේ ප්‍රේමණීය ආරාධනය අපිට දක්නට ලැබෙනවා. අපි කොතනක උනත්, කවදා උනත්, කවුරු උනත්, අපි එකම මැවුම්කරුවාණන්ගේ දරුවන් ලෙස දිව්‍ය අනන්‍යතාවය බෙදා ගන්නවා. ඒ හා සමානවම, ඉස්ලාම්, යුදෙව් සහ ක්‍රිස්තියානි ආගමේ අනුගාමිකයින්, ආබ්‍රහම් පියතුමා තුළ ආගමික උරුමය සහ පුරාණ ඊජිප්තුවේ සිදුවීම් හරහා ගිවිසුම් සම්බන්ධතාවය බෙදා ගන්නවා.
ආබ්‍රහම් පියතුමා ඊජිප්තුවට පැමිණ ආශීර්වාද ලැබුවා.
ඊජිප්තුවේ වහල්භාවයට විකුණනු ලැබූ යෝසෙප්, පාරාවෝගේ සිහිනයෙන් අදහස් කළේ වසර හතක සාරවත් බව සහ ඉන් පසු වසර හතක සාගතයක් බව දැන සිටියා. යෝසෙප් ඔහුගේ පවුලේ අය සහ ඔහුගේ ජනතාව බේර ගත්තා. ගිවිසුම් රකින අයට යහපත සඳහා සියල්ල එකට ක්‍රියාත්මක වන දෙවියන්වහන්සේගේ විශාල සැලැස්ම දුටු විට යෝසෙප් හැඬුවා.
ඊජිප්තුවේ පාරාවෝගේ නිවසේ හැදී වැඩුණු මෝසෙස්, දෙවියන්වහන්සේගේ දරුවන් එක්රැස් කිරීම සඳහා යතුරු ලබාගෙන පසුව ඒවා නැවත පිහිටවූවා.
යෝසෙප්, මරියා සහ ළදරු ක්‍රිස්තුස් දරුවා අනාවැකි ඉටු කරමින් ඊජිප්තුවේ සරණ පැතුවා. කයිරෝවේ, භක්තිමත් මුස්ලිම් ඇදහිලිවන්තයෙක් ගෞරවාන්විතව මෙහෙම කිව්වා: යෝසෙප්, මරියා සහ යේසු බිළිඳා මගේ රටේ ආරක්ෂාව සහ සරණ සොයා ගත්තා කියලා කුරානය උගන්වනවා. මගේ රටේ, යේසුස්වහන්සේ කුඩා දරුවෙකු ලෙස අපේ ආහාර ගත්තා, උන්වහන්සේගේ පළමු පියවර තැබුවා, උන්වහන්සේගේ පළමු වචන පැවසුවා. මගේ රටේ, අපි විශ්වාස කරනවා ගස් පහත් වෙලා උන්වහන්සේට සහ උන්වහන්සේගේ පවුලේ අයට ඵල ලබා දුන්නා කියලා. උන්වහන්සේ මගේ රටේ සිටීම අපේ ජනතාවට සහ දේශයට ආශිර්වාදයක් වුණා.”
දෙවියන්වහන්සේගේ සදාචාරාත්මක හා ලෞකික නිදහස පිළිබඳ සැලැස්ම අපට අපගේම අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට ඉඩ සලසනවා. අප කිසිදා තෝරා නොගන්නා දේවල් මගින් අපගේ ජීවිතයේ සමහර ශ්‍රේෂ්ඨතම පාඩම් කිහිපයක් ලැබෙනවා. ප්‍රේමයෙන්, උන්වහන්සේ සියලු දේවලට පහළින් බැස්සා සේම, එනම් උන්වහන්සේව ඉහළට උසස්කොට ඔසවාගත්තා. නිර්මාණශීලිත්වය සහ ප්‍රීතිය සඳහා අපගේ දිව්‍යමය හැකියාවන්, විපාක බලාපොරොත්තු නොවී කරුණාවන්ත වීම, පසුතැවීම සහ සමාව දීම සඳහා ඇදහිල්ල ගැන උන්වහන්සේ ප්‍රීති වෙනවා. බොහෝ විට මිනිස් තේරීම් මගින් ගෙනෙන—අපගේ මිනිස් දුක් වේදනා, කෲරත්වය සහ අසාධාරණකම් වල—අතිවිශාලකම ගැන උන්වහන්සේ මෙන්ම ස්වර්ගයද, ස්වර්ගයේ දෙවියන්වහන්සේද ශෝකයෙන් හඬනවා.
අධ්‍යාත්මික අනුපිළිවෙල සහ එක්රැස් කිරීම යන දෙකම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, මරණයෙන් නැවත නැගිටීම සහ නැවත පිහිටුවීම යන දිව්‍යමය රටාවේ කොටසක් බව සෑම පාස්කු වසන්ත කාලයක්ම සාක්ෂි දරනවා. මෙම පූජනීය හා සංකේතාත්මක පෙළගැස්ම අත්වැරැද්දෙන් හෝ අහම්බෙන් සිද්ධ වෙන්නේ නැහැ. ගොක් ඉරිදා, ශුද්ධ වූ සතිය සහ පාස්කු ඉරිදා ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැගිටීම සමරනවා. අද වගේම, සෑම අප්‍රියෙල් 6 වෙනිදාවකම අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව පිහිටුවීම සහ සංවිධානය කිරීම සිහිපත් කරනවා. අපි සෑම අප්‍රියෙල් මාසයකම පළමු ඉරිදා ප්‍රධාන සම්මන්ත්‍රණය රැස් කිරීමට මෙම නැවත පිහිටුවීම හේතුවක්.
1836 පාස්කු ඉරිදා අලුතින් කැප කරන ලද කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී මරණයෙන් නැවත නැගිටි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මෝසෙස්, එලියා සහ එලයිජා පූජකවර යතුරු සහ අධිකාරීත්වය ආපසු ලබා දීමෙනුත් නැවත පිහිටුවීම සිදු වුණා. එදින එම පසුබිම තුළ, නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට, උන්වහන්සේගේ දරුවන් එක්රැස් කිරීමට, උන්වහන්සේ වෙත නැවත පැමිණීමට උන්වහන්සේගේ දරුවන් සූදානම් කිරීමට සහ සදාකාලිකවම පවුල් එක්සත් කිරීමට දෙවියන්වහන්සේගේ අධිකාරිය සහ ආශිර්වාද ලැබුණා. පාස්කුව සහ යුදෙව් පාස්කුව යන දෙකම සිද්ධ වෙමින් එදින නැවත පිහිටුවීම අනාවැකි ඉටු කළා.
මම මෑතකදී අනාගතවක්තෘ ජෝසෆ් සහ තවත් අය අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දර්ශනයකින් දැක්ක කර්ට්ලන්ඩ් දේවමාළිගාව ඇතුළුව, ඔහයෝ හි පූජනීය ස්ථාන නැරඹීමට ගියා. අනාගතවක්තෘ ජෝසෆ් ස්වර්ගය මොන වගේද කියලා දැක්කා. ස්වර්ගයේ, ස්වර්ගීය පියාණන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්, මහිමාන්විත රාජ්‍යයක “උන්වහන්සේගේ හස්තයෙහි සියලු මැවීම් රකින සේක.” එකම විරුද්ධත්වය වන්නේ “පියාණන්වහන්සේ පුත්‍රයාණන්ව එළිදරව් කළ පසු, හිතාමතාම උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන” අයයි.
උන්වහන්සේගේ ලෞකික දේවසේවය ආරම්භ වූ විට,—සෑම අවස්ථාවකදීම, සෑම දේශයකම, සෑම තත්වයකදීම අපි හැම කෙනෙකුටම ලැබීමට කැමති සියල්ලෙන් ආශිර්වාද කිරීමේ උන්වහන්සේගේ මෙහෙවර යේසුස්වහන්සේ ප්‍රකාශ කළා. දින 40ක් නිරාහාරව සිට, යේසුස්වහන්සේ සිනගෝගයට ගොස් මෙහෙම කියෙව්වා, “ස්වාමින්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේප කළ සේක; බිඳුණු සිත් ඇති අයව සුව කිරීමට, වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්ටද, මඩනා ලද්දවුන් නිදහස්කර හරින්ටද, උන්වහන්සේ මා එවා ඇත.”
දිළිඳු, බිඳුණු සිත් ඇති, වහල්, අන්ධ, මඩනා—ඒ අපි සෑම කෙනෙක්මයි.
යෙසායාගේ පොත බලාපොරොත්තුව, මිදීම, සහතිකය පිළිබඳ මෙසියානු පොරොන්දුව දිගටම කරගෙන යනවා: “සියොන් හි වැලපෙන්නන් පළඳවමින්, … අළු සඳහා අලංකාරය, වැලපීම සඳහා ප්‍රීතියේ තෙල්, බරෙහි ආත්මයට ප්‍රශංසා කිරීමේ වස්ත්‍රය ඔවුන්ට ලබාදීමටයි.”
මේ අනුව, අපි මෙහෙම හඬමු, “මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළඳෙවු සේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවූ සේක.”
සෑම පාස්කු සමයකම, අපි සංකේතාත්මක සමස්තයක් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සදාකාලිකත්වයේ ශ්‍රේෂ්ඨ දීමනාවන් සමරනවා: උන්වහන්සේගේ වන්දිගෙවීම, උන්වහන්සේගේ (සහ අපගේ පොරොන්දුව) වචනාර්ථයෙන් මරණයෙන් නැවත නැගිටීම, පූජකවර යතුරු සහ දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ආශිර්වාද කිරීමට අධිකාරීත්වය සමඟින් උන්වහන්සේගේ පසුදවස්වල සභාව නැවත පිහිටුවීම සමරනවා. අපි ගැලවීමේ වස්ත්‍රවලින් සහ ධර්මිෂ්ඨකමේ සළුවෙන් ප්‍රීති වෙනවා. අපි හයියෙන් කෑගසනවා, “දෙවියන්වහන්සේට සහ බැටළු පැටවාණන්ට හෝසන්නා!”
“මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක, එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමකෙනෙකුම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”
අපි සෑම කෙනෙකුම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, මරණයෙන් නැවත නැගිටීම සහ නැවත පිහිටුවීම—සාමය, බවට පත්වීම සහ අයත් වීම—චිරස්ථායී සැබෑ සහ ප්‍රීතිමත්, සතුට සහ සදාකාලිකත්වය සොයා ගමු, උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම යාච්ඤා කරමි, ආමෙන්.