පරිශුද්ධ දේවල් කෙරෙහි ගෞරවය
පූජනීය දේවල් කෙරෙහි ඇති ගෞරවය අව්‍යාජ කෘතඥතාවයක් ඇති කරනවා, සැබෑ සතුට පුළුල් කරනවා, එළිදරව් දෙසට අපගේ මනස යොමු කරනවා, ඒවගේම අපගේ ජීවිතවලට වැඩි ප්‍රීතියක් අරගෙන එනවා.
නික්මයාම පොතේ, මෝසෙස් ඔහුගේ දෛනික කරදරවලින් ඉවත්වෙලා—දැවී නොගිය දැවෙන පඳුර බලන්න යද්දි—අපි හැමෝමත් කැමැත්තෙන්ම, ඔහු සමඟ හොරෙබ් කන්දේ බෑවුම් වෙත ගමන් කරමු. ඔහු එහි ළං වෙද්දි, “දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැ[සුවා]. මම මෙහියයි, ඔහු [කිව්වා]. එමෙන්ම [දෙවියන්වහන්සේ] කථාකොට: මෙතැනට ළංනොවව. නුඹේ පාදවලින් නුඹේ වහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධභූමියකැයි [කියා පැවසුවා].” මහත් ගෞරවයෙන්, නිහතමානීව සහ පුදුමයෙන්, මෝසෙස් ඔහුගේ සපත්තු ගලවලා ස්වාමීන්වහන්සේගේ වචනය අසන්නට සහ උන්වහන්සේගේ ශුද්ධ පැමිණීම අත්විඳීමට සූදානම් වුණා.
විස්මිත ගෞරවයෙන් පිරුණු අත්දැකීමක් වූ එම පූජනීය කන්ද පිළිබඳ අවබෝධය, මෝසෙස්ව ඔහුගේ දිව්‍ය අනන්‍යතාවයට සම්බන්ධ කළා, ඒවගේම ඒක ඇත්ත වශයෙන්ම, නිහතමානී එඬේරෙකුගේ සිට බලවත් අනාගතවක්තෘවරයෙකු දක්වා ඔහුගේ පරිවර්තනයේ ප්‍රධාන අංගයක් වුණා, ඒ මගින් ඔහුව ජීවිතයේ නව මාවතකට ගෙන යාමට මග පෑදුණා. ඒ වගේම, ගෞරව කිරීමේ ගුණාංගය අපගේ අධ්‍යාත්මික චරිතයේ පූජනීය අංගයක් බවට පත්කර ගැනීමෙන්, අපි හැම කෙනෙක්ටම අපේ අනුගාමිකත්වය උසස් අධ්‍යාත්මික රටාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන්.
ගෞරවය යන වචනය ලතින් ක්‍රියා පදයක් වන රෙවෙරෙරි වෙතින් සොයාගන්න පුළුවන්, එහි තේරුම තමයි “පුදුමයෙන් බලා සිටීම.” ශුභාරංචියේ අර්ථයෙන් ගත්තහම, මේ නිර්වචනය ගැඹුරු ගෞරවයක්, ආදරයක් සහ කෘතඥතාවයක් පිළිබඳ හැඟීමක් නැත්නම් ආකල්පයක් එක්ක මිශ්‍ර වෙනවා. දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පසුතැවිලි වූ හදවතක් සහ ගැඹුරු භක්තියක් ඇති අය විසින් පූජනීයත්වය සඳහා එවැනි ප්‍රකාශනයක් කිරීමෙන් ඔවුන්ගේ ආත්මයන් තුළ වැඩි ප්‍රීතියක් ඔවුන් ලබාගන්නවා.
පූජනීය දේවල්වලට ගරු කිරීම අත්‍යවශ්‍ය අධ්‍යාත්මික ගුණාංගයක ශ්‍රේෂ්ඨතම ප්‍රකාශනයක් වෙනවා; එය ශුද්ධකමට අපගේ සම්බන්ධතාවයේ අතුරු ඵලයක්, ඒවගේම අපේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය සහ සමීපත්වය එමගින් පිළිබිඹු කරනවා. ඒක ආත්මයේ වඩාත්ම උසස් අත්දැකීම් වලින් එකකුත් වෙනවා. එවැනි ගුණධර්මයක් අපගේ සිතුවිලි, හදවත් සහ ජීවිත දෙවියන්වහන්සේ දෙසට යොමු කරනවා. ඇත්ත වශයෙන්ම, ගෞරවය කියන්නෙ අධ්‍යාත්මිකත්වයේ අංගයක් පමණක් නෙවෙයි; එය තමයි එහි සාරය—අධ්‍යාත්මිකත්වය ගොඩනඟා ඇති පදනම, දිව්‍යමය දේ සමඟ පුද්ගලික සම්බන්ධතාවයක් නිර්මාණය කිරීම, අපගේ දරුවන් ගායනා කරන විට උගන්වන පරිදි, “මම ගෞරවාන්විතව සිටින විට, ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස්වහන්සේ ළඟ බව / මම මගේ හදවතින් දන්නවා.”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් විදියට, දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගැඹුරු සම්බන්ධතාවයකට අපව විවෘත කරලා, ඒත් එක්කම අපගේ අධ්‍යාත්මික චරිතය ශක්තිමත් කරගැනීමට, අපගේ ජීවිත තුළ ඒ ගෞරවනීය ත්‍යාගය වගා කිරීමට අපට ආරාධනා කරලා තිබෙනවා. අපේ හදවත් ඇතුළෙ ඒවගේ හැඟීම් වැඩිපුර තිබුණා නම්, අපේ ජීවිතවල නිසැකවම වැඩි ප්‍රීතියක් හා ප්‍රබෝධයක් ඇති වෙනවා, ඒවගේම දුකට හා ශෝකයට ඇති ඉඩකඩ අඩු වෙනවා. පරිශුද්ධ දේවල් සඳහා ගෞරවය දැක්වීම අප දිනපතා කරන බොහෝ දේවලට අර්ථයක් ලබා දෙන බවත්, අපගේ කෘතඥතාවයේ හැඟීම ශක්තිමත් කරන බවත්, උසස් හා ශුද්ධ දේවල් සඳහා ගරුබිය, ගෞරවය සහ ආදරය ඇති කරන බවත් අපි මතක තබාගන්න ඕනෙ.
අවාසනාවකට මෙන්, අප ජීවත් වන්නේ පරිශුද්ධ දේවලට ගරු කිරීම එන්න එන්නම දුර්ලභ වෙමින් පවතින ලෝකයකයි. ඇත්ත වශයෙන්ම, ටැබ්ලොයිඩ් සඟරාවක, රූපවාහිනී වැඩසටහනක හෝ අන්තර්ජාලයක ඕනෑම කියවීමකින් සනාථ වන ආකාරයට, ලෝකය අගෞරවනීයත්වය සමරනවා. පූජනීය දේවල් කෙරෙහි ගෞරවයක් නොමැතිකම ආකල්පවල අනියම් බව සහ හැසිරීම්වල නොසැලකිලිමත්කම වැඩි කිරීමට හේතු වෙනවා, ඒවගේම ඒ මගින් එක පරම්පරාවක් උදාසීනත්වයට වේගයෙන් ඇදලා දාලා, ඊළඟ පරම්පරාව දුක්ඛිත තත්වයකට ඇදලා දාන්න පුළුවන්.
නොසැලකිලිමත්කම, දෙවියන්වහන්සේ සමඟ ඇති කරගන්නා ගිවිසුම් මගින් සපයන බැඳීම් වලින් අපව ඈත් කරලා, දෙවියන්වහන්සේ ඉදිරියේ අපගේ වගවීමේ හැඟීම අඩු කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට, අපි අපගේම සුවපහසුව ගැන පමණක් සැලකිලිමත් වීමේ; අපේ පාලනය කළ නොහැකි ආශාවන් තෘප්තිමත් කර ගැනීමේ; අවසානයේ පූජනීය දේවල් වෙනුවට දෙවියන්වහන්සේව ඒවගේම ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන් ලෙස අපගේ දිව්‍යමය ස්වභාවය පවා හෙළා දකින අශුද්ධ තත්වයටකට පැමිණීමේ අවදානම අපි ගන්නවා. පූජනීය දේවල් කෙරෙහි නොසැලකිල්ල, අපේ කාලයේ අපගේ අධ්‍යාත්මික පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන අපගේ සංවේදී හෙළිදරව් කිරීමේ මාර්ග කඩාකප්පල් කිරීමෙන් සතුරාගේ අරමුණු තවදුරටත් ඉදිරියට අරගෙන යනවා.
පූජනීය දේවල් කෙරෙහි ගරුබිය දැක්වීමේ අර්ථය සහ වැදගත්කම ශුද්ධලියවිලි පුරා හොඳින් පහදලා තිබෙනවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගෞරවය දැක්වීම සෙලෙස්ටියල් රාජ්‍යය අත්කර ගන්නා අයට අත්‍යවශ්‍ය ගුණාංගයක් බව දහම සහ ගිවිසුම් පොතේ එක් අවස්ථාවක් පෙන්නුම් කරනවා.
සභාවක් විදියට අපි පියාණන්වහන්සේව සහ පුත්‍රයාණන්වහන්සේව, උන්වහන්සේලාගේ ප්‍රතිරූප අපි නිරූපණය කරන ආකාරය ඇතුළුව, ඒ හැම අතින්ම අතිශයින්ම පරිශුද්ධභාවයෙන් හා ගෞරවයෙන් යුතුව තබාගැනීමට උත්සහ කරනවා. මේ දැක්ම, පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්වහන්සේගේ පරිශුද්ධ ස්වභාවය, චරිතය සහ දේව ගුණාංග පිළිබිඹු කරන ආකාරය තීරණය කිරීමේදී ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම තීරණාත්මක අවශ්‍යතාවයක් වෙනවා. අන්තර්ගත සහ රූප ජනනය කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතා කිරීම වැනි තාක්ෂණය මගින් පිරිනමනු ලබන උසස් මෙවලම් අපි යොදන ආකාරය ඇතුළුව, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේලාගේ ඉගැන්වීම් කෙරෙහි අපගේ මූලික අවධානය වෙනතකට යොමු කළ හැකි අංග නිරූපණය කිරීමෙන් වැළකී සිටීමට අපි ඉතා ප්‍රවේශම් වෙනවා.
සභාවේ නිල සන්නිවේදන මාර්ග හරහා ලබා ගත හැකි ඕනෑම තොරතුරු මූලාශ්‍රයකට මෙම මූලධර්මයම අදාළයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පරිශුද්ධ ගුණධර්ම, වටිනාකම් සහ ප්‍රමිතීන් පවත්වා ගැනීම සහතික කිරීම සඳහා සෑම පාඩමක්ම, පොතක්ම, අත්පොතක්ම සහ පණිවිඩයක්ම ආත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම යටතේ ප්‍රවේශමෙන් සංවර්ධනය කර අනුමත කර තිබෙනවා. සභාවේ තරුණ වැඩිහිටියන් සඳහා මෑතකදී නිකුත් කළ පණිවිඩයක, වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙහෙම ඉගැන්නුවා: “ආධ්‍යාත්මිකත්වයේ සහ තාක්‍ෂණයේ සංකීර්ණ මංසන්ධිය සැරිසැරීමට, පසුදවස්වල ශුද්ධවන්තයන් නිහතමානීව සහ යාච්ඤාවෙන් යුතුව (1) කෘතිම බුද්ධිය භාවිතා කිරීමට මගපෙන්විය හැකි ශුභාරංචි මූලධර්ම හඳුනා ගත යුතු අතර (2) ශුද්ධාත්මයාණන්ගේ සහයෝගීතාවය සහ එළිදරව් කිරීමේ අධ්‍යාත්මික දීමනාව සඳහා අවංකව උත්සාහ කළ යුතුයි.”
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, නවීන තාක්‍ෂණය කෙතරම් නවීන වෙලා තිබුණත්, ශුද්ධාත්මයාණන්ගේ බලපෑමෙන් ජනිත වන ආකාරයේ ගෞරවයකින් සොයාගත හැකි පුදුමය, විස්මය සහ මවිතය අනුකරණය කරන්න එයට බැහැ. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් විදියට, කෘතිම බුද්ධිය මගින් ජනනය කරන අන්තර්ගතයන් සහ රූප, නුසුදුසු ලෙස භාවිතා කිරීමෙන්, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් සමඟ ඇති අපගේ සම්බන්ධතාවය දුර්වල කර නොගෙන ඉන්න අපි ප්‍රවේශම් වෙන්න ඕනෙ. ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින් පමණක් ලබා ගත හැකි පෙළඹවීම, දියුණුව සහ සාක්ෂිය සඳහා නවීන තාක්‍ෂණික “මාංසමය හස්තයක්” මත යැපීම ප්‍රමාණවත් නොවන බව සහ එය අගෞරවනීය ආදේශකයක් බව අපි මතක තබාගන්න ඕනෙ. නීෆායි මෙහෙම කිව්වා: “අහෝ ස්වාමීනි, මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවෙමි, තවද මම සදහටම ඔබවහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නෙමි. මාංසයේ හස්තය කෙරෙහි මාගේ විශ්වාසය නොතබන්නෙමි.”
තවත් එළිදරව්වකදී, ස්වාමින්වහන්සේට ඉදිකරන ලද දේවමාළිගා උන්වහන්සේට ගෞරව කරන ස්ථානයක් විය යුතු බව අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට උපදෙස් ලැබුණා. අපේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්, ඔහුගේ දේවසේවය පුරාවටම, පූජනීය දේවමාළිගා තුළ අපේ නමස්කාරය ගෞරවනීය විය යුතු බව දැඩි ලෙස අවධාරණය කර තිබෙනවා. ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී අපට පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයට ඇතුළු වීම ගැන උගන්වනවා. දේවමාළිගාවට ඇතුළු වෙලා, එහි පූජනීය නියෝග වලට සහභාගී වීමට සූදානම් වෙද්දි අපි මුලින්ම කරන දේ තමයි අපේ සපත්තු ගලවලා සුදු ඇඳුම් වලට මාරුවෙන එක, මම ඒ දිහා හැමවෙලාවෙම උපදේශාත්මක හා ආශ්වාදජනක ලෙස බලලා තිබෙනවා. මෝසෙස් වගේ, අපිත් ඕනෑකමින් දේවල් කරනවානම්, අපේ ලෞකික සපත්තු ගලවා දැමීම, ඒ ශුද්ධ භූමියට පා තැබීමේ සහ උසස් හා ශුද්ධ වූ ආකාරවලින් පරිවර්තනය වීමේ ආරම්භය බව අපිට හඳුනගන්න පුළුවන්.
සහෝදර සහෝදරියනි, පූජනීය දේවල් කෙරෙහි ගෞරවය සොයා ගැනීමට සහ අපේ අනුගාමිකත්වය ගැඹුරු අධ්‍යාත්මික හා භක්තිමත් මට්ටමකට පරිවර්තනය කරගන්න, මෝසෙස් කළා වගේ අපිට කන්දක් මුදුනට නැගීම අවශ්‍ය වෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට, අපේ නිවසේ පරිසරය ලෞකික බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීමට අපි උත්සාහ කරද්දි අපිට ඒක හොයාගන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ඉදිරියෙහි අවංකව හා උනන්දුවෙන් යාච්ඤා කිරීමෙන් සහ ශුද්ධලියවිලිවල සහ අපගේ අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම්වල දක්නට ලැබෙන දෙවියන්වහන්සේගේ වචනය ඉතා උවමනාවෙන් අධ්‍යයනය කිරීමෙන් අපගේ ගැලවුම්කරුවාණන්ව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට උත්සාහ කිරීමෙන්, අපිට ඒක සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊට අමතරව, අපි ස්වාමීන්වහන්සේ එක්ක ඇති කරගත් ගිවිසුම් වලට ගරු කිරීමට උත්සාහ කරද්දි, ආඥාවලට කීකරු වෙමින් ජීවත් වෙද්දි, ඒවගේ අධ්‍යාත්මික පරිවර්තනයක් අපි වෙතට එන්න පුළුවන්. මේ උත්සහයන් මගින් අපේ හදවත්වලට නිහඬතාවයක් සහ නිශ්චිත නිශ්චලතාවයක් රැගෙන එනවා. එවැනි ක්‍රියාවන් වලට අවධානය යොමු කිරීම මගින් නිසැකවම අපගේ නිවෙස් ආත්මික රැකවරණයේ—මෝසෙස්ගේ කඳුකර අත්දැකීම වගේ ආත්මයාණන් වාසය කරන ඇදහිල්ලේ පුද්ගලික අභයභූමි වැනි ගෞරවනීය ස්ථාන බවට පත් කිරීමට එය උදව්වක් වෙනවා.
අපගේ පූජනීය ගීතිකා අවංකව ගායනා කිරීම තුළින් අපගේ හදවත් ස්වාමින්වහන්සේ වෙත යොමු කිරීම ඇතුළුව, සභාවේ නමස්කාර සේවයට ඇදහිලිවන්තව සහභාගී වෙද්දි, අපට එවැනි අධ්‍යාත්මික පරිවර්තනයක් අත්විඳින්න පුළුවන්. මෝසෙස් වගේ ලෞකික අවධානයන් වලින් වෙනතකට යොමු වීමෙන්, විශේෂයෙන් අපේ ජංගම දුරකථන හෝ මෙම පූජනීය මොහොතට නොගැලපෙන ඕනෑම දෙයකින් ඈත්වෙලා, අපගේම ගිවිසුම් එක්ක ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය කෙරෙහි අපගේ මනස සහ හදවත් යොමු කරමින්, සක්‍රමේන්තුවට සහභාගී වීම කෙරෙහි අපගේ සම්පූර්ණ අවධානය යොමු කිරීමට අපට එමගින් හැකියාව ලැබෙනවා. සක්‍රමේන්තුවට එවැනි අවධානයක් ලබාදීමෙන්, ගැලවුම්කරුවාණන් සමඟ අපගේ සම්බන්ධතාවය ගෞරවාන්විතව අලුත් කිරීමේ මොහොතක් පෝෂණය කර, සබත් දවස ප්‍රීතිමත් කර අපගේ ජීවිතය පරිවර්තනය කරනවා.
අවසානයේදී, අපගේ ශුද්ධ වූ දේවමාළිගාවන් වන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්දෙහි නිතිපතා නමස්කාර කරන විට සහ ගිවිසුම් වලට සත්‍යවන්තව ජීවත් වීමට උත්සාහ කරන විට, විශේෂයෙන් අපි ලෞකික ජීවිතයේ පරීක්ෂාවන්ට මුහුණ දෙන විට, අපගේ අනුගාමිකත්වයේ මෙම අධ්‍යාත්මික වෙනස අපට අත්විඳින්න පුළුවන්.
අපි අපේ ජීවිතවල මේ මූලධර්ම ක්‍රියාත්මක කරගන්න උත්සාහ කරද්දි, මගේ බිරිඳ සහ මම පෞද්ගලිකව පූජනීය අසීරු අවස්ථා කිහිපයක් ගෞරවාන්විතව අත්විඳලා තිබෙනවා, එය අපගේ අනුගාමිකත්වයේ අර්ථවත් පරිවර්තනයකට හේතු වුණා. මගේ බිරිඳ තවමත් රෝහලේ සුවය ලබමින් සිටියදී, නොමේරූ ලෙස ඉපදී ජීවත් නොවූ අපගේ දෙවන දරුවා භූමදාන කිරීමට පෙර සුසාන භූමිය හරහා ඇවිද ගිය දවස මට ඊයේ වගේ මතකයි. ඒ අභියෝගාත්මක පරීක්ෂාවට මුහුණ දීමට උපකාර ඉල්ලා දෙවියන්වහන්සේට මහත් උද්‍යෝගයෙන් හා ගෞරවයෙන් යාච්ඤා කළ ආකාරය මට මතකයි. මගේ බිරිඳ සහ මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත් වීමෙන් ලැබෙන ප්‍රීතිය අල්ලාගෙන විඳදරා ගන්නවා නම්, අපගේ ජීවිතවල සියල්ල යහපත් වන බවට, ඒ මොහොතේම මගේ හදවතට පැහැදිලි සහ බලවත් අධ්‍යාත්මික සහතිකයක් ලැබුණා. ඒ කාලයේ ජයගත නොහැකි, ශෝකජනක අභියෝගයක් ලෙස පෙනුන දෙයක්, පූජනීය, ගෞරවනීය අත්දැකීමක් බවට පත්වුණා, එය අපේ ඇදහිල්ල පවත්වා ගැනීමට උපකාරී වූ සහ ස්වාමීන්වහන්සේ සමඟ අප තබාගෙන ඇති ගිවිසුම් සහ මමත් මගේ පවුලත් සඳහා උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසයක් ලබා දුන් මුල් ගලක් බවට ඒ අත්දැකීම පත්වුණා.
මගේ සහෝදර සහෝදරියනි, පූජනීය දේවල් කෙරෙහි ඇති ගෞරවය අව්‍යාජ කෘතඥතාවයක් ඇති කරනවා, සැබෑ සතුට පුළුල් කරනවා, එළිදරව් දෙසට අපගේ මනස යොමු කරනවා, ඒවගේම අපගේ ජීවිතවලට වැඩි ප්‍රීතියක් අරගෙන එනවා. එමගින් අපේ පාද ශුද්ධ භූමිය මත තබා අපගේ හදවත් දෙවියන්වහන්සේ වෙතට ඔසවා තබනවා.
අපි එවැනි ගුණධර්ම අපගේ දෛනික ජීවිතයට ඇතුළත් කරගන්න උත්සාහ කරද්දි, අපේ නිහතමානිකම වැඩි කරගන්නත්, අප වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කරගන්නත්, ස්වාමීන්වහන්සේ සමඟ අප ඇතිකරගෙන තිබෙන ගිවිසුම් වල පොරොන්දු කෙරෙහි අපගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත්, අපට හැකි වන බව මම ඔබට සාක්ෂි දරනවා. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්දක වේවා, රැස්වීම් ශාලාවක වේවා, අපගේම නිවෙස් වලදී වේවා, පූජනීය දේවල් වලට ගරු කිරීමේ මෙම ත්‍යාගය අප වැළඳ ගද්දි, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමයට අපි සම්බන්ධ වෙද්දි, අපි විශ්මයජනක පුදුමයෙන් හා විස්මයෙන් පිරී යනු ඇති බවට මම සාක්ෂි දරනවා. මම මේ සත්‍යයන් ගැන ගෞරවයෙන් සාක්ෂි දරන්නේ, අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.