ජීවිතය අගය කොට සැලකීම
ජීවිතය කියන්නෙ අපගේ පියාණන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්මේ වටිනාම කොටසක්, ඒවගේම උන්වහන්සේගේ නියෝගය තුළින් අපි ජීවිතය අගය කොට සලකනවා; ආරක්ෂා කරනවා.
අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට මෙහෙම ඉගැන්නුවා, “ඔබ සැම එකිනෙකාට ප්‍රේම කරනවා නම්, ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.”
යූටා හි සභානායකවරයෙකුගේ කොට්ඨාශය එහි තරුණ ගැහැණු ළමයෙකු සහ ඇගේ පවුල කෙරෙහි පෙන්වූ ආදරයේ ගලායාමක් ගැන, එම සභානායකවරයා මෑතකදී මා සමඟ බෙදාගත්තා. සුන්දර සිදුවීම් මාලාවක් හරහා, ඒ දෙමව්පියන් ගැලවුම්කරුවාණන් වෙත සහ උන්වහන්සේගේ සභාව වෙත නැවත යාමට අධිෂ්ඨාන කරගෙන තිබුණා. ඔවුන් සභාවෙන් ඈත්ව සිටි කාලය තුළ, ඔවුන්ගේ නව යොවුන් වියේ දියණිය තරුණයෙකු සමඟ සම්බන්ධයක් පවත්වා තිබුණා. නැවත පැමිණි මෙම වටිනා දියණියට, තරුණ ගැහැණු ළමුන්ගේ සාක්ෂි රැස්වීමකදී ඇගේ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඉමහත් ප්‍රේමයක් දැනුණා. වඩාත් හොඳින් ආඥා පිළිපැදීමට ඇය අධිෂ්ඨාන කරගත්තා. ඇය මෙහෙම ලිව්වා, “මම මගේ සභානායකවරයා සමඟ පසුතැවිලි වීමේ ක්‍රියාවලිය ආරම්භ කළා.”
වැඩි කල් නොගොස් ඇය අසනීප වුණා. ඇගේ වචන වලින්: “මම ගැබ්ගෙන ඇති බව පරීක්ෂණයකින් පෙන්නුම් කළා. මම… අඬන්න පටන් ගත්තා. … මගේ තාත්තා මාව එයාගේ අත් දෙකෙන් තුරුළු කරගෙන හැමදේම හොඳින් වෙයි කියලා සහතික වුණා. … මගේ පෙම්වතා … බිළිඳාව නැති කරන්න කිව්වා. … මම ඒකට විරුද්ධ වුණා.”
අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම
ඇය තවදුරටත් මෙහෙම කිව්වා: “අපේ කොට්ඨාශයේ පවුලෙන් මට ගොඩක් ආදරය සහ සහයෝගය ලැබුණා. ඒක දරාගන්න බැරි තරම්. [මගේ] සභානායකවරයා සහ තරුණ ගැහැණු ළමුන්ගේ සභාපතිනිය ඔවුන්ගේ ආදරය සහ සහයෝගය පෙන්වීමට උපරිමයෙන් කටයුතු කළා. … මට සහ මගේ පවුලේ අයට මගපෙන්වන ස්වාමින්වහන්සේගේ හස්තය මම දැක තිබෙනවා. … මගේ වගේ කොට්ඨාශයක් තමයි හැමෝටම අවශ්‍ය පවුලක් වෙන්නෙ, විශේෂයෙන්ම මගේ තත්වයේ සිටින තරුණ ගැහැණු ළමයෙකුට.”
ඇය, ඇගේ පවුලේ අය සහ ඇගේ කොට්ඨාශයේ පවුලේ අය පසුගිය පෙබරවාරි මාසයේදී ඇගේ පිරිමි බිළිඳාව ආදරයෙන් පිළිගත්තා.
සභාපති නෙල්සන් මෙසේ කියා තිබෙනවා: “ස්වාමින්වහන්සේගේ සැබෑ හා ජීවමාන සභාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, උන්වහන්සේ කළාක් මෙන්, දෙවියන්වහන්සේගේ එක් එක් දරුවන්ට සේවය කිරීමට … [ප්‍රේමණීය කරුණාවෙන් දේවසේවය කිරීමට] සැමවිටම ගන්නා සංවිධානාත්මක උත්සාහයයි.”
ධර්මිෂ්ඨ තේරීම් වලට උපකාර කිරීම
තනිකඩ කාන්තාවක් අනපේක්ෂිත ලෙස දරුවෙකු අපේක්ෂා කරන බව දැනගත් විට, සෞඛ්‍ය ගැටළු, අධ්‍යාත්මික කැලඹීම්, අපහසුතාව, මූල්‍යමය කරදර, අධ්‍යාපනික ප්‍රශ්න, විවාහ අවිනිශ්චිතතාවය සහ බිඳ වැටුණු සිහින වල දුක, වේදනාවෙන් හා ව්‍යාකූලත්වයෙන් පිරුණු මොහොතක; කල්පනාකාරී කාන්තාවක් ගැඹුරු වේදනාවක් සහ පසුතැවිල්ලක් ගෙන දෙන පියවර ගැනීමට පෙළඹෙන්න පුළුවන්.
ගබ්සාවක් කිරීමෙන් හෝ එයට සහභාගී වීමෙන් ඇති වූ ගැඹුරු වේදනාව සහ පසුතැවිල්ල අත්විඳ ඇති ඕනෑම කෙනෙක්, කරුණාකර මතක තබාගන්න, අපට අතීතය වෙනස් කළ නොහැකි වුණත්, දෙවියන්වහන්සේට අතීතය සුව කරන්න පුළුවන්. ඔබ නිහතමානී සහ පසුතැවිලි වූ හදවතකින් උන්වහන්සේ වෙත හැරෙද්දි, උන්වහන්සේගේ වන්දිගෙවීමේ කරුණාවේ ආශ්චර්යය තුළින් ඔබට සමාව ලබාගන්න පුළුවන්.
ලෞකික උපතේ පරිශුද්ධභාවයට බොහෝ විට වචන දෙකක් සම්බන්ධ වෙනවා: ජීවිතය සහ තේරීම. ජීවිතය කියන්නෙ අපගේ පියාණන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්මේ වටිනාම කොටසක්, ඒවගේම උන්වහන්සේගේ නියෝගය තුළින් අපි ජීවිතය අගය කොට සලකනවා, ආරක්ෂා කරනවා; ඒවගේම පිළිසිඳ ගත් පසු ජීවිතයේ අඛණ්ඩ පැවැත්ම අපි තෝරා ගන්නවා. සදාකාලික සතුට ගෙන දෙන දෙවියන්වහන්සේ විසින් අනුමත කරන ලද ධර්මිෂ්ඨ තේරීම් ශක්තිමත් කිරීමට උපකාරී වන තෝරාගැනීමේ නිදහස වන තෝරාගැනීමේ ත්‍යාගය අපි අගය කොට සලකනවා.
කාන්තාවක් සහ පිරිමියෙකු තීරණාත්මක තේරීමකට මුහුණ දෙන එවැනි බිඳෙනසුලු කාලයක සිටින විට, අපගේ වචන, අපගේ දෑත්, අපගේ හදවත් වලින්—අධ්‍යාත්මිකව, චිත්තවේගීයව සහ මූල්‍යමය වශයෙන්—ඔවුන්ට ගැලවුම්කරුවාණන්ගේ ආදරය දැනීමට ආශිර්වාද කළ හැකි අතර, සභාපති හෙන්රි බී. අයිරින් පවසා ඇති පරිදි, ඔවුන්ගේ අධ්‍යාත්මික ඇස්වලට “ඔවුන් දකිනවා යැයි සිතන දේ” සිට “ඔවුන්ට තවමත් නොපෙනෙන දේ” දක්වා පැහැදිලි කිරීමේ ගැලපීමක් ගෙන එයි.
ලෞකික ජීවිතයේ මූලධර්මය
සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙහෙම කිව්වා: “ගබ්සාව පිළිබඳ අපගේ ආකල්පය පදනම් වී ඇත්තේ ලෞකික ජීවිතය ආරම්භ වන්නේ කවදාද යන්න පිළිබඳ හෙළිදරව් වූ දැනුම මත නොවේ. … දෙවියන්වහන්සේගේ සියලුම ආත්මික දරුවන් මහිමාන්විත අරමුණක් සඳහා මේ පොළොවට පැමිණිය යුතු බවත්, එම පුද්ගල අනන්‍යතාවය පිළිසිඳ ගැනීමට බොහෝ කලකට පෙර ආරම්භ වූ අතර ඉදිරි සියලු සදාකාලිකත්වයන් සඳහා පවතිනු ඇති බවත් අපගේ දැනුමෙන් එය ස්ථාවර වී තිබෙනවා.”
පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය හරහා හඬක් ලබා දුන්, නූපන් දරුවන් පිළිබඳ ස්වාමින්වහන්සේගේ වචනය කිසි විටෙකත් වෙනස් වී නැති අතර යුග ගණනාවක් පුරා අනාගතවක්තෘවරුන්ගේ වචන ඒ හරහා ප්‍රතිරාවය වෙනවා, ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා ඇති දේට එය දිව්‍යමය පැහැදිලි බවක් ලබා දෙනවා.
“යේසුස් ක්‍රිස්තුස්වහසේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය පිළිබඳ විශ්වාස කරනවා. එමනිසා, සභාව පෞද්ගලික හෝ සමාජ පහසුව සඳහා තෝරාපත් කරගත් ගබ්සාවට විරුද්ධ වන අතර, එවැනි ගබ්සාවන්ට යටත් වීම, ඉටු කිරීම, දිරිගැන්වීම, මුදල් ගෙවීම හෝ කටයුතු නොකරන ලෙස එහි සාමාජිකයින්ට උපදෙස් ලබා දෙනවා.
“[ස්වාමින්වහන්සේ] පහත අවස්ථාවන්හිදී ව්‍යතිරේක සඳහා ඉඩ ලබා දී තිබෙනවා:
-
ගැබ්ගැනීම් සිදුවන්නේ ස්ත්‍රී දූෂණය හෝ ව්‍යභිචාරය හෝ තුළින් නම්, හෝ
-
මවගේ ජීවිතය හෝ සෞඛ්‍යය බරපතල අනතුරකට ලක්ව ඇති බව දක්ෂ වෛද්‍යවරයෙක් තීරණය කරන්නේ නම්, හෝ
-
කලලරූපයෙහි බරපතල අඩුපාඩු ඇති බවත් එමඟින් දරුවාට උපතින් ඔබ්බට ජීවත් වීමට ඉඩ නැති බව දක්ෂ වෛද්‍යවරයකු තීරණය කරන්නේ නම්ය.”
පළමු සභාපතිත්වය තවදුරටත් මෙසේ පවසනවා: “ගබ්සාව ඉතාමත් බරපතල කාරණයක්. [මෙම දුර්ලභ අවස්ථාවන්හිදී පවා] එය සලකා බැලිය යුත්තේ වගකිව යුතු පුද්ගලයින්ට යාච්ඤාවෙන් තහවුරු කිරීමක් ලැබුණු පසුව සහ අනෙක් අය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පමණයි.
වසර තිහකට පෙර, ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරු ලෝකයට නිවේදනයක් නිකුත් කළා. එහි මේ වචන ඇතුළත් වෙනවා:
“දෙවියන්වහන්සේ ආඥා කර ඇත්තේ ප්‍රජනන බලයන් ක්‍රියාත්මක කළ යුත්තේ ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස නීත්‍යානුකූලව විවාහ වූ පුරුෂයා සහ ස්ත්‍රිය අතර පමණක් බව අපි ප්‍රකාශ කරන්නෙමු.
“ලෞකික ජීවිතය නිර්මාණය කරන මාධ්‍යයන් දිව්‍යමය වශයෙන් නියම කර ඇති බව අපි ප්‍රකාශ කරන්නෙමු. දෙවියන්වහන්සේගේ සදාකාලික සැලැස්ම තුළ ජීවිතයේ පරිශුද්ධභාවය හා එහි වැදගත්කම අපි සහතික කරන්නෙමු.”
තවමත් නූපන් ජීවිතයක් පෝෂණය කිරීම සහ ආරක්ෂා කිරීම දේශපාලනික ස්ථාවරයක් නොවේ. එය ස්වාමින්වහන්සේ තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් තහවුරු කළ සදාචාරාත්මක නීතියක්.
වඩාත් විවෘතව කතා කිරීම
පළමු සභාපතිත්වයේ සේවය කළ සභාපති ජේ. රූබන් ක්ලාක් කණිෂ්ඨ විසින් කරන ලද ප්‍රකාශයක්, අද අපේ තරුණ පරපුර අලංකාර ලෙස විස්තර කරනවා: “සභාවේ යෞවනයන් ආත්මයාණන්ගේ දේවල් සඳහා කුසගින්නෙන් පෙළෙනවා; ඔවුන් ශුභාරංචිය ඉගෙන ගැනීමට උනන්දුයි, ඔවුන්ට එය දියාරු නොකර, කෙලින්ම අවශ්‍යයි. ඔවුන්ට අපේ විශ්වාසයන් ගැන දැන ගැනීමට අවශ්‍යයි; ඔවුන්ට අවශ්‍ය වන්නේ සත්‍ය පිළිබඳ සාක්ෂි ලබා ගැනීමටයි. ඔවුන් … විමසන්නන්, සත්‍යය සොයන්නන්.” අපගේ පවුල්වල, අපගේ නිවෙස්වල සිටින අපගේ යෞවනයින් සමඟ, සහ අපගේ සහන සමිතියේ සහ වැඩිහිටි ගණපූර්ණ රැස්වීම්වලදී, ස්වාමින්වහන්සේගේ පතිවෘතතාවයේ නීතිය පිළිබඳව, ජීවිතයේ පරිශුද්ධභාවය සහ නූපන් දරුවන්ගේ සහ ඔවුන්ගේ මව්වරුන්ගේ රැකවරණය පිළිබඳව ඇදහිල්ලෙන් සහ දායානුකම්පාවෙන් යුතුව අපි නිතර කතා කරමු.
දශක ගණනාවකට පෙර ඇයට ලැබුණු අත්දැකීමක් ගැන ආදරණීය සහෝදරියක් මට ලිව්වා: “17 හැවිරිදි අයෙක් ලෙස, මගේ පෙම්වතාගේ සහයෝගයක් නොමැතිව මම ගැබ්ගෙන සිටින බව මට වැටහුණා. මට ලැජ්ජාවක් සහ තනිකමක් දැනුණා [නමුත් මම] කවදාවත් [ගබ්සාවක්] ගැන හිතුවේ නැහැ. … මට මගේ ආදරණීය පවුල සහ මගේ සභානායකවරයා [සිටියා], මම මගපෙන්වීම ලබාගැනීම සඳහා ඔවුන් සමඟ නිතිපතා මුණගැසුණා. … මම දෙවියන්වහන්සේ දෙසට හැරුණා. මම ශුද්ධලියවිලි අධ්‍යයනය කළා … යාච්ඤා කළා [ඒ වගේම] මගේ ගැලවුම්කරුවාණන් තුළින් සහ පසුතැවිලි වීමේ ක්‍රියාවලිය තුළින් ශක්තිය ලබාගත්තා. … මට [මගේ යාච්ඤාවලට] ප්‍රතික්ෂේප කළ නොහැකි පිළිතුරක් ලැබුණා. … ඒක හද කම්පා කරවන සුළු දෙයක්, නමුත් මම දැනගෙන හිටියා මම මගේ දුවව හදා ගන්න වෙන කෙනෙක්ට දෙන්න යන බව. … මම ධෛර්යය ඉල්ලා යාච්ඤා කළා [ඒ වගේම] පසුතැවීම තුළින් ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය ඉතා පැහැදිලිව මට දැනුණා, දෙවියන්වහන්සේ … යාච්ඤාවලට පිළිතුරු දෙන බවත් අපව ශක්තිමත් කරන බවත් මම දන්නවා.”
ආදරණීය යුවළක් ඒ වටිනා ගැහැණු ළමයාව හදා වඩා ගෙන ඇයට ශුභාරංචිය ඉගැන්නුවා. ඇය දැන් ඇගේම ලස්සන පවුලක් සමඟ විවාහ වී සිටිනවා.
යම් අවස්ථා වලදී, ජීවිතයේ ආරක්ෂාව සමඟ අතිශයින් දුෂ්කර හා වේදනාකාරී අවිනිශ්චිතතාවයක් ඇතිවෙන්න පුළුවන්.
මෑතකදී කැතී සහ මම ආදරය කරන තරුණ යුවළක් ඔවුන් අපේක්ෂා කරන වටිනා දරුවා ගැන මට ලිව්වා.
ඒ පියා මෙහෙම ලිව්වා: “[මගේ බිරිඳට] සති 10 ක ගැබ්ගැනීමක් තියෙද්දී, අපේ ආශ්චර්යමත් දරුවාට, ට්‍රයිසෝමි 21 හි ජානමය තත්වයක් ඒ කියන්නෙ පොදුවේ හඳුන්වන ඩවුන් සින්ඩ්‍රෝමය ඇති බව අපි සොයා ගත්තා. කළලය අයින් කිරීම සලකා බැලීමට වෛද්‍ය ක්ෂේත්‍රයෙන් අපට පීඩනයක් දැනුණා. අපේ නූපන් දරුවාට … ජීවිතයේ පළමු වසර තුළ හෘද සැත්කම් කිහිපයක් අවශ්‍ය වන බව සති කිහිපයකට පසු අපි සොයාගත්තා. මෙම ක්‍රියාවලිය පුරාම අපි දිව්‍ය උපකාරය ඉල්ලා දැඩි ලෙස යාච්ඤා කරද්දි, … අපට ආත්මයාණන්වහන්සේ සැනසීම ලබා දෙන බව දැනුණා. අපේ දුව ස්වර්ගික පියාණන්වහන්සේගේ විශේෂ දරුවෙකු බවටත්, අපේ පවුල තුළ සිටීමට සහ පොළොවට පැමිණීමට ඇයට ඉමහත් ආශාවක් ඇති බවටත්, අපට එළිදරව්වක් සහ අවබෝධයක් ලැබුණා.”
ඒ බිළිඳාගේ අම්මා මෙහෙම ලිව්වා: “[අපි] මේ ආරංචියෙන් සම්පූර්ණයෙන්ම කම්පනයට, ව්‍යාකූලත්වයට සහ අවංකවම කරදරයට පත් වුණා. … මම සති 14 ක් ගැබ්ගෙන ඉන්නකොට, අපේ බබාට උපතින්ම හෘද දෝෂ කිහිපයක් තියෙනවා කියලා අපි දැනගත්තා, එයින් එකක් මාරාන්තික වෙන්නත් පුළුවන්. අපි සති 10–18 ගර්භනී අවධියේ සිට ගණන් කළ නොහැකි වෛද්‍යවරුන් සහ විශේෂඥයින් හමුවුණා. … අපගේ සෑම හමුවීමකදීම, ගැබ් ගැනීම දිගටම කරගෙන යාමට හෝ එය අවසන් කිරීමට අවශ්‍ය දැයි අපෙන් විමසුවා. … ගැලවුම්කරුවාණන් මගේ හදවත සුවපත් කළා, ඒවගේම අපේ දුව ගැන සාමය සහ උද්යෝගය පිළිබඳ හැඟීමක් මට ලබාදුන්නා. … [ස්වර්ගික පියාණන්වහන්සේට] මා වෙනුවෙන් පරිපූර්ණ සැලැස්මක් ඇති බව උන්වහන්සේ මට නැවත නැවතත් පෙන්වා දී තිබෙනවා, ඒවගේම [මම] උන්වහන්සේව විශ්වාස කරනවා.”
හරියටම අදට සතියකට පෙර ඔවුන් තම දියණියව ඉතා සතුටින් පිළිගත්තා. ඇය ඔවුන්ගේ, ඔවුන් සදහටම ඇගේ.
නොබිඳෙන ඇදහිල්ල සහ කැපී පෙනෙන ධෛර්යය කියන්නෙ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ගේ ලක්ෂණ.
ඇදහිල්ල පිළිබඳ කැපී පෙනෙන ආදර්ශයක්
වසර ගණනාවක් පුරා, සාමාජිකත්වය අහිමි වීමෙන් වසර ගණනාවකට පසු, ගිවිසුම් මාවතට සහ ඔවුන්ගේ පූජකත්වයට සහ දේවමාළිගාවේ ආශිර්වාදවලට නිහතමානීව ආපසු පැමිණීමට උත්සාහ කළ පිරිමින් සහ කාන්තාවන් හමුවීමේ වරප්‍රසාදය මට ලැබී තිබෙනවා.
එක් අවස්ථාවක, එක් පුද්ගලයෙකුගේ පූජකත්වය සහ දේවමාළිගාවේ ආශිර්වාද නැවත පිහිටුවීම සඳහා පළමු සභාපතිත්වය වෙනුවෙන් ඔහු සමඟ මට සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට සිදුවුණා.
ශුද්ධ වූ දේවමාළිගාවේ විවාහ වීමෙන් පසුව සහ අපූරු දරුවන් තිදෙනෙකු ලැබීමෙන් පසු, මේ පුද්ගලයා තම බිරිඳට සහ ඔහුගේ පූජනීය ගිවිසුම්වලට ද්‍රෝහි වී තිබුණා. තනිකඩ කාන්තාවක් ගැබ්ගෙන ගබ්සාවක් කිරීමට අවශ්‍ය වී තිබුණා.
ඒ සැමියාගේ ශුද්ධ වූ බිරිඳ එම කාන්තාවගෙන් ඒ දරුවා රැක ගන්නා ලෙස අයැද සිටි අතර, දරුවා ඉපදුණු පසු ඇය ඔහුව ඇගේම දරුවන් සමඟ ඇති දැඩි කරන බවට පොරොන්දු වුණා.
ගැබ් ගැනීම අවසන් නොකිරීමට මේ තනිකඩ කාන්තාව කල්පනාකාරීව එකඟ වුණා.
ඒක වෙලා දැන් අවුරුදු 10 ගත වෙලා. මා ඉදිරිපිට වාඩි වී සිටි ඒ නිහතමානී සහෝදරිය ඒ පිරිමි ළමයාට ඇගේම දරුවෙකු ලෙස ආදරය කළා, ඒවගේම ඇගේ සැමියා වරද නිවැරදි කර ගැනීමටත්, ඇයට සහ පවුලේ අයට ආදරය කිරීමට සහ රැකබලා ගැනීමටත් දරන උත්සාහය ගැන මට පැවසුවා. ඇය කතා කරන විට මේ පියා හැඬුවා.
තම ස්වාමිපුරුෂයාගේ අවිශ්වාසවන්තකම දිනපතා මතක් කර දෙන දරුවෙකුව දෙවියන්වහන්සේගේ මේ උතුම් ස්ත්‍රිය තමාගේම කර ගත්තේ කොහොමද? ඒ කොහොමද? මොකද ඇය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ශක්තිය ලබා ගත්තා, ඒවගේම ජීවිතයේ ශුද්ධ බව, ජීවිතයේ ශුද්ධත්වය ගැන ඇය විශ්වාස කළා. ඒ නූපන් දරුවා දෙවියන්වහන්සේගේ දරුවෙකු බවත්, අහිංසක හා නිර්මල බවත් ඇය දැන සිටියා.
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ලොව පුරා නූපන් දරුවන් කෙරෙහි ඇති ආදරය අඩුවීම බරපතල කනස්සල්ලක්. දෙවියන්වහන්සේ ජීවිතය අගය කොට සලකනවා. උන්වහන්සේගේ දරුවන්ට අමරණීයභාවය සහ සදාකාලික ජීවිතය ගෙන ඒම උන්වහන්සේගේ කාර්යය සහ මහිමයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අපි ජීවිතය අගය කොට සලකනවා. “ඔබ සැම එකිනෙකාට ප්‍රේම කරනවා නම්, ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” අපව දැඩි ලෙස අවශ්‍ය අය සමඟ, අපි අපගේ ආදරය තවත් බහුල ලෙස බෙදා ගනිමු. මම ඔබට මගේ ආදරය ප්‍රකාශ කරනවා, ඒ වගේම අපේ ස්වර්ගික පියාණන්වහන්සේ පොළොවට එන තම දරුවන් කෙරෙහි දක්වන ආදරය ගැනත් මම ප්‍රකාශ කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.