ප්‍රධාන සම්මන්ත්‍රණය
මම එය කරන්නේ “ඇයි” යන හේතුව, ගැලවුම්කරුවාණන් කෙරෙහි මගේ ප්‍රේමයයි
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:29

මම එය කරන්නේ “ඇයි” යන හේතුව, ගැලවුම්කරුවාණන් කෙරෙහි මගේ ප්‍රේමයයි

මම අපගේ ගැලවුම්කරුවාණන්ට ආදරෙයි. මම කරන දේ කිරීමට සැබෑ සහ බලවත්ම හේතුව මෙයයි.

අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා වන, සභාපති රසල් එම්. නෙල්සන් නොකඩවාම අපිට ආරාධනා ලබා දී තිබෙන බව ඔබ දැක තිබෙනවාද‍? පසුගිය සම්මන්ත්‍රණ දෙකේ පණිවිඩ අධ්‍යයනය කරන්නත්, ඒවා මෙනෙහි කරන්නත්, ඔහු අපිට ආරාධනා කර තිබීම පුදුමයට කරුණක් නොවේ. 2024 අප්‍රියෙල් මාසයේදී ඔහු මෙහෙම කිව්වා, “ඉදිරි මාස කිහිපය පුරාම ඔබ මෙම සම්මන්ත්‍රණයේ පණිවිඩ නැවත නැවතත් අධ්‍යයනය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.” ඉන්පසු, 2024 ඔක්තෝම්බර් මාසයේදී ඔහු මෙහෙම කිව්වා: “කථා කළ අයගේ පණිවිඩ අධ්‍යයනය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි මාස හය තුළ සත්‍ය කුමක්ද සහ සත්‍ය නොවන්නේ කුමක්ද කියා දැනගැනීමට ලිට්මස් පරීක්ෂණයක් ලෙස ඒවා භාවිතා කරන්න.”

විශේෂයෙන් මෑත වසරවලදී අපට ලැබී ඇති ආරාධනා ඇතුළුව, මෙම ආරාධනා අපගේ ජීවිත කාලයන් පුරාම අපට ලැබී ඇති අනාවැකිමය ආරාධනාවලට අපට එකතු කරගන්න පුළුවන්. අපට මේ දේවල් කිරීමට ආරාධනා කළ නිසා හෝ එසේ කිරීමට අපෙන් ඉල්ලා සිටි නිසා, මෙම ආරාධනා අපගේ කළ යුතු දේවල් ලැයිස්තුවට එකතු කළ යුතු තවත් දෙයක් ලෙස අපට හැඟෙන්නට හෝ අපට හිතෙන්නට ඉඩ තිබෙනවා. නමුත් එහි ඊටත් වඩා දෙයක් තිබෙනවාද?

මේ සම්බන්ධව සහ අපට ලැබී ඇති සියලු ආරාධනා ගැන මම මෙනෙහි කරමින් ඉද්දි, බොහෝ කලකට පෙර ඉගෙන ගත් සහ තීරණය කළ දෙයක් ගැන මම සිහිපත් කළා. මම උන්වහන්සේට ආදරය කරන නිසා මම අපගේ ගැලවුම්කරුවාණන්ට ආදරය කරන නිසා, මට අත්‍යවශ්‍ය වන මේ දේවල් කරන්න මම උත්සාහ කරනවා. මම කරන දේ කිරීමට සැබෑ සහ බලවත්ම හේතුව මෙයයි, ඒවගේම මගේ සෙසු සහෝදර සහෝදරියනි, ඒ හා සම්බන්ධ වන තවත් දෙයක් තමයි, ඔබ කෙරෙහි මගේ ආදරය.

අප කරන සෑම දෙයක්ම ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති අපගේ ප්‍රේමය සමඟ සම්බන්ධ කිරීමට ඇති අවස්ථාව තේරුම් ගැනීමට අවංක ආරාධනයක් ලෙස ඔබ මගේ වචන සලකනු ඇතැයි, ඔබේ සහෝදරයා වශයෙන් මම බලාපොරොත්තු වෙනවා.

මෙය කිරීමෙන් ගැලවුම්කරුවාණන්ගේ අනුගාමිකයන් ලෙස අප කරන සෑම දෙයක්ම පිටුපස ඇත්තෙන්ම ඇති “ඇයි” යන හේතුව තේරුම් ගැනීමට එය අපට උදව් වෙයි. දෙවියන්වහන්සේ සමඟ අපගේ ගිවිසුම් සම්බන්ධතාවය ශක්තිමත් කරගැනීමට, උන්වහන්සේගේ දිව්‍ය හා සදාකාලික සත්‍යයන්—කිසිදා වෙනස් නොවන උන්වහන්සේගේ සදාකාලික හා නිරපේක්ෂ සත්‍යයන් අවබෝධ කර ගැනීමට මෙය අපට උදව් වෙයි. ඒ තමයි මෙවැනි සදාකාලික සත්‍යය, “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක, එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම කෙනෙකුම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”

සමහර විට අපේ සම්ප්‍රදායන් බවට පත්වන තරමට අපි යම් යම් දේවල් නිරන්තරයෙන් කර තිබෙන නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනැගීමට අප ගන්නා උත්සාහයන් නිර්වචනය කිරීමට, මෙම සම්ප්‍රදායන් හෝ ක්‍රියාකාරකම් වලට ඉඩ දීම සිත්ගන්නා කරුණක්. ගැලවුම්කරුවාණන් සමඟ ඇති අපගේ ගිවිසුම් සම්බන්ධතාවයට මේවායින් ඇතිවන බලපෑම ගැන නොසැලකිලිමත්ව, වසර ගණනාවක් තිස්සේ ඒවා කර ඇති නිසාම, අපි මේ දේවල් කරගෙන යන බවක් පෙනෙන්නට තිබෙනවා.

අපගේ ලෝකයේ, අප කරන දේවල් සහ අඛණ්ඩව යම් කාර්යයන් සහ ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි අපි සාමාන්‍යයෙන් අවධානය යොමු කරනවා. යම් යම් දේවල් කිරීම හෝ ඉලක්ක සපුරා ගැනීමට වඩා දෙයක් කරමින්, විශේෂයෙන්ම අධ්‍යාත්මික ආකාරයකට, අපි ඒවා කරන්නේ ඇයි කියා තේරුම් ගැනීමට අධ්‍යාත්මික ක්ෂේත්‍රයක් තුළ අපට අවස්ථාව තිබෙනවා. මෙම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමෙන්, අපගේ ක්‍රියාවන් පිටුපස ඇති හේතුව, ගැලවුම්කරුවාණන්ට සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමයට සම්බන්ධ බව අපට තේරුම් ගෙන සම්බන්ධ කළ හැකි නම්, සභාවේ ක්‍රියාකාරකම් හෝ සම්ප්‍රදායන් තිබීම වැනි ධර්මිෂ්ඨ දේවල් කිරීම සහ ඒවා නිසි ලෙස කිරීම හොඳ දෙයක් බව අපට වැටහෙයි, ඒවගේම අපි ඒවා කරන්නේ ඇයි යන හේතුව සමඟ සම්බන්ධ කළ විට, ඒ හේතුව තේරුම් ගැනීමට අපට ආශිර්වාද ලැබෙයි. ඒ හොඳ දේවල් කිරීම හෝ ඒ දේවල් නිවැරදිව කිරීම පමණක් නොවේ; අපි ඒවා නිවැරදි ලෙසත් කරයි.

උදාහරණයක් විදියට, ඔබ ශුද්ධලියවිලි කියවීමට, අවංකව යාච්ඤා කිරීමට හෝ ඔබේ පවුල හෝ කොට්ඨාශය වෙනුවෙන් ක්‍රියාකාරකමක් සූදානම් කිරීමට ඉලක්කයක් තැබූ විට, සැබෑ ඉලක්කය වන්නේ මෙම කාර්යයන් ඉටු කිරීම ද? එසේත් නැතිනම් මේ ක්‍රියාවන්, ඒ සැබෑ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සතුව ඇති මෙවලම් නේද? අපි එහෙම කරන එකේ අරමුණ, අපි වසර ගණනාවක් තිස්සේ කර ඇති නිසා ක්‍රියාකාරකමක් කර, එය කළා යැයි කොටුවක් ලකුණු කරන එකද? නැත්නම්, නැවත වරක්, ගැලවුම්කරුවාණන් සමඟ ඉගෙනීමට, උන්වහන්සේව දැනීමට සහ උන්වහන්සේ සමඟ සම්බන්ධ වීමට අප භාවිතා කරන මාධ්‍යයන් මේවාද?

ක්‍රියාකාරකම් සහ සම්ප්‍රදායන් තිබීම හෝ ඉලක්ක තැබීම සහ ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳ මගේ අදහස කරුණාකර වරදවා වටහා ගන්න එපා; මේ දේවල් වල කිසි වරදක් නෑ. කොහොම වුණත්, අපි මේ දේවල් කරන්නේ ඇයි, ඒවගේම අපි අපේ ආගම අදහන්නේ ඇයි කියලා අවබෝධ කර ගැනීමේ අවස්ථාව සහ ආශීර්වාදය සඳහා, ඔබේ හදවත් සහ මනස විවෘත කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

සභාපති ඩැලන් එච්. ඕක්ස් ප්‍රධාන සභාපතිත්වයේ නාමයෙන් අප සියල්ලන්ටම දුන් අභියෝගය තමයි ක්‍රිස්තුස්වහන්සේව කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායන් සඳහා වඩාත්ම ගැලපෙන උදාහරණය. සභාපති ඕක්ස් මෙහෙම කිව්වා: “අපි මේ නව වසරට පිවිසෙද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ පාස්කු උත්සවය සඳහා අපි සූදානම් වෙමු. අනෙක් අය කුමක් විශ්වාස කළත් ඔවුන් කුමක් කළත්, අපගේ ජීවමාන ගැලවුම්කරුවාණන්ගේ උත්ථානය අප සැමරිය යුත්තේ උන්වහන්සේගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමෙන් සහ සමස්තයක් වශයෙන් අපගේ සමාජය තුළ, විශේෂයෙන් අපගේම පවුල් තුළ පාස්කු සම්ප්‍රදායන් ස්ථාපිත කිරීමට උදව් කිරීමෙනුයි.” ඔබට පෙනෙන පරිදි, එය සම්ප්‍රදායන් ඇති කරගැනීමට කරන ආරාධනයක් පමණක් නොවේ. ඒ වෙනුවට, ගැලවුම්කරුවාණන් ගැන තව තවත් දැනගැනීමට සහ උන්වහන්සේගේ උත්ථානය මතක තබා ගැනීමටත් අපි මෙම සම්ප්‍රදායන් භාවිතා කරමු.

ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ ප්‍රේමය සමඟ මේ හේතුව සම්බන්ධ කිරීමට අපට හැකි වන තරමටම, අපට අවශ්‍ය හෝ අපි සොයන දේ ලබා ගැනීමට අපට පුළුවන් වෙනවා. සභාපති නෙල්සන් මෙහෙම කිව්වා, “ඔබට කුමන ප්‍රශ්න හෝ ගැටලු තිබුණත්, පිළිතුර සෑම විටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් තුළ සොයාගන්න පුළුවන්. ඊටපස්සේ ඔහු මේ ආරාධනය ලබා දුන්නා, “උන්වහන්සේගේ වන්දිගෙවීම, උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ දහම සහ සුව කිරීමේ සහ ප්‍රගතියේ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය ගැන තව දැනගන්න. උන්වහන්සේ වෙතට හැරෙන්න! උන්වහන්සේව අනුගමනය කරන්න!”

ඔබේ හදවත් වලින් සහ මනසින් මේ ගැන මෙනෙහි කරන්න: සභාපති නෙල්සන්ගේ මේ ආරාධනයේ අරමුණ වෙන්නෙ, අපි වැඩි දැනුමක් ලබාගෙන, ඒවගේම යම් යම් කාර්යයන් සම්පූර්ණ කරමින් පිරික්සුම් ලැයිස්තුවක් හදාගෙන, අපේ කළ යුතු දේ ලැයිස්තුවෙන් ඔහුගේ ආරාධනයට ඉස්සරහින් හරි ලකුණක් දාන්න අපිට උදව් කිරීම බව ඔබ හිතනවද? එහෙම නැතිනම් ඔහු අපිට ආරාධනා කරන්නේ, අපේ ජීවිත කාලය පුරාම අනුගාමිකයන් ලෙස අපගේ ගමනේදී, ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් ලබාදෙන ගිවිසුම්ගත ප්‍රේමය සමඟ සම්බන්ධ වෙලා, ඒ “ඇයි” කියලා තේරුම් ගන්න ලැබෙන අවස්ථාවක් විදියට, මේ සදාකාලික සත්‍යයන් සහ මූලධර්ම ගැන විවිධ පැති වලින් බලන්නද?

මම කියන්නට උත්සාහ කරන මූලධර්මය නිදර්ශනය කරන්න මට ඉඩ දෙන්න. එක් විකල්පයක් තමයි, බොහෝ විට මෙය අමුතු වෙන්න පුළුවන්, ප්‍රධාන සම්මන්ත්‍රණයේ සියලුම පණිවිඩ එකවර කියවලා, මම එය අවසන් කළාට පස්සෙ, මම කියවන දේ සමඟ වෙනත් කිසිවක් නොකර, මගේ කළ යුතු දේ ලැයිස්තුවේ මේ ආරාධනය ඉස්සරහින් හරි ලකුණක් දාන එක. මේක අමුතු දෙයක් වගේ පේන්න පුළුවන්, නමුත් ඒක වෙන්නෙ නැති දෙයක් නෙවේ. ගොඩක් වෙලාවට, ගොඩක් දෙනෙක් මේ ආකාරය සහ ඇත්තටම වෙන්න ඕන දේ අතර, මැද තැනක ඉන්නවා.

ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් ලැබෙන පණිවිඩ අධ්‍යයනය කරලා ඒවා ගැන මෙනෙහි කරලා, අපිට වැඩිදියුණු වෙන්න කරන්න පුළුවන් දේවල් තීරණය කරන්න සහ ඒවා තේරුම් ගන්න කියලයි මේ ආරාධනය ලබා දෙන්නේ.

අපි මේ ආරාධනය පිළිගත්තහම, ඒකට හේතුව “මොකක්ද” කියලා තේරුම් ගැනීමෙන්, අපට ගැලවුම්කරුවාණන්ට සමීප වීමට වැඩි අවස්ථාවන් ලැබෙනවා. මම ගැලවුම්කරුවාණන්ට ප්‍රේම කරන නිසා, ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචන අධ්‍යයනය කිරීමෙන් උන්වහන්සේ ගැන වැඩි විස්තර දැන ගැනීමට මට අවශ්‍ය බව අපි තේරුම් ගැනීමට පටන් ගන්නවා. මම මගේ අවට සිටින අනෙක් අයට ප්‍රේම කරන නිසා, මගේ ආදරණීයයන්ගෙන් පටන් ගෙන, අනාගතවක්තෘවරුන්ගේ, දිවැසිවරුන්ගේ සහ එළිදරව් කරන්නන්ගේ ඉගැන්වීම් අන් අය සමඟ බෙදාගන්නවා.

මේ උදාහරණ දෙකේදීම ඔබ කරන්නේ ධර්මිෂ්ඨ දේවල්. ඒ එකකදි, ඉලක්කය තමයි ප්‍රධාන සම්මන්ත්‍රණය අතරතුර බෙදාගත් පණිවිඩ, ඒ කියන්නෙ ස්වර්ගික පියාණන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් අපට ලබා දී ඇති මාධ්‍යයන් භාවිතා කිරීම. දෙවෙනි කාරණය තමයි, අපේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් සහ ජීවිතය ඔවුන්ගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන අය හැමෝම වෙනුවෙන් පොරොන්දු වෙලා තියෙන ආශිර්වාද සහ සදාකාලික සත්‍යය තේරුම් ගන්න මාර්ගයක් හදලා දෙන අතරතුරම, ඊට යටින් ඇති හේතු ගැන අවබෝධයක් ලබා ගැනීමේ ගැඹුරු ආශිර්වාදය භුක්ති විඳීම.

ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ක්‍රියාවන් ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති අපගේ ප්‍රේමය සමඟ සම්බන්ධ කිරීමේ වැදගත්කම ඔබට දැනෙන්නට සහ දැකීමට හැකි වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගෝලීයකරණය වූ ලෝකයක, හැකි නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සමහර මූලික සත්‍යයන් අනවශ්‍ය බව විශ්වාස කිරීමට ඔබව පොළඹවමින්, බොහෝ හඬවල් ඔබට බලපෑම් කිරීමට උත්සාහ කරයි. මෙම හඬවල් ආරම්භ වන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව මගින් නියෝජනය කරන ලද දෙවියන්වහන්සේගේ රාජ්‍යය පොළොවේ තිබීමේ අවශ්‍යතාවය ඇතුළුව, මේ අන්තිම දවස්වල නැවත පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳ අත්‍යවශ්‍ය සත්‍යය සමඟිනුයි.

ගැලවුම්කරුවාණන් සමඟ පුද්ගලික සම්බන්ධතාවයක් හෝ අවබෝධයක් පමණක් ප්‍රමාණවත් බවත්, ආගම හෝ නැවත පිහිට වූ සභාව අනවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන බවත් අවධාරණය කරන හඬවල් ඔබට ඇසෙයි. මෙම නොමඟ යවනසුලු අදහස්වලින් බලපෑමට ලක්වීම ගැන සලකා බැලීමට ප්‍රමාද වෙන්නත් ඒවගේම ඒවාට විරුද්ධව ප්‍රතිශක්තීකරණයක් ඇති කරගන්නත්, ඒවගේම ස්වර්ගික පියාණන්වහන්සේගේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අප කෙරෙහි ඇති ප්‍රේමයෙන් සහ උන්වහන්සේලා කෙරෙහි අපගේ ප්‍රේමය උන්වහන්සේලාව අනුගමනය කිරීමට හේතුව ලෙස සම්බන්ධ කිරීමෙන් පටන්ගෙන, පුරාණ කාලයේ සිට ගැලවුම්කරුවාණන් අපට පවසන සහ අපට උගන්වමින් සිටි දේවල් මතක තබා ගැනීමට ඉක්මන් වීමටත් මම ඔබට ආරාධනා කරනවා.

පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් ඇවිත් ජෝසෆ් ස්මිත් සමඟ කතා කළේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවන්න සහ පොළොවේ උන්වහන්සේගේ රාජධානියේ පූර්ණත්වයේ කාල පරිච්ඡේදය ආරම්භ කරන්නයි. ඒ නිසා, අපට ආපසු ගෙදර යාමට හැකි වන ගිවිසුම්වලට ප්‍රවේශ වීම සඳහා ස්වර්ගික පියාණන්වහන්සේ විසින් පිහිටුවන ලද ආකාරය තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව. මේ නිසා, ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් සමඟ පුද්ගලික සබඳතාවයකට වඩා වැඩි යමක් අපට අවශ්‍යයි; අපට උන්වහන්සේලා සමඟ ගිවිසුම් ඇතිකරගැනීමට අත්‍යවශ්‍ය වෙන පූජකවර නියෝග අපට අවශ්‍යයි. මේ මගින් උන්වහන්සේලා සමඟ ගිවිසුම්ගත සම්බන්ධතාවයක් අපට ලබා දෙනවා, ඒවගේම උන්වහන්සේලාගේ ගිවිසුම් ප්‍රේමයට ප්‍රවේශය අපට ලබා දෙනවා, උන්වහන්සේලාගේ ගිවිසුම්වලට සත්‍යවන්ත වන සහ ඇදහිලිවන්ත වන අය සඳහා සූදානම් කර ඇති මහිමයේ ඉහළම රාජ්‍යය ලබා ගැනීමට අපට හැකිවෙනවා.

මගේ ප්‍රාණයේ සියලුම ශක්තියෙන්, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ බව සහ දේවත්වය ගැන මම සාක්ෂි දරනවා. උන්වහන්සේ ඔබට ආදරෙයි. ඔබේ ජීවිතයේ සිදුවන්නේ මොනවාද කියා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගේ දෑත් ඔබ දෙසට දිගු කරමින්, මේ ආරාධනය කරනවා, “මා වෙතට එන්න, … මම ඔබට සහනය දෙන්නෙමි.”

මම ගැලවුම්කරුවාණන්ට ආදරෙයි, ඒවගේම මම එය කරන්නේ “ඇයි” යන හේතුව, ගැලවුම්කරුවාණන් කෙරෙහි මගේ ප්‍රේමයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.