ලෞකිකත්වය සඳහා දිව්‍යමය උපකාර
අපගේ ලෞකික ගමන් හරහා අපට මගපෙන්වීමට අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම උපකාර සපයනවා.
I.
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හරහා, ස්වාමීන්වහන්සේ අපගේ පෙර ආත්මික ජිවිතය ගැන කරුණු කිහිපයක් හෙළි කළා. එහිදී, අපි දෙවියන්වහන්සේගේ ආත්මික දරුවන් ලෙස සිටියා. දෙවියන්වහන්සේ තම දරුවන්ට දියුණු වීමට උපකාර කිරීමට කැමති වූ නිසා, අපිට ශරීරයක් ලබා ගැනීමට, අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට, දිව්‍යමය ගුණාංග වර්ධනය කිරීමට සහ දෙවියන්වහන්සේගේ ආඥා අපි පිළිපදින්නේ දැයි ඔප්පු කිරීමට හැකි පොළොවක් නිර්මාණය කිරීමට උන්වහන්සේ තීරණය කළා. සුදුසුකම් ලැබූ ඔවුන්ගේ “හිස්මත සදාකාලයෙන් සදාකාලයට මහිමය වැඩි වැඩියෙන් ලැබෙන්නේය” (ආබ්‍රහම් 3:26).
මෙම දිව්‍යමය සැලැස්මේ කොන්දේසි ස්ථාපිත කිරීම සඳහා, දෙවියන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් වීමට උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ව තෝරා ගත්තා. මිනිසාගේ තෝරාගැනීමේ නිදහස විනාශ කරන බවට යෝජනා කරන ලද විකල්පය වූ ලුසිෆර්, සාතන් බවට පත් වූ අතර ඔහුව “පහතට නෙරපා දමනු” ලැබුවා. පොළොවට පිටුවහල් කර ලෞකික ජීවිතයේ වරප්‍රසාදය ප්‍රතික්ෂේප කළ සාතන්ට “මනුෂ්‍යයින්ව රවටා තවද අන්ධ කරන්නටත්, [දෙවියන්වහන්සේගේ] හඬට ඇහුම්කන් නොදෙන තරමට බොහෝ අයවළුන්ව, ඔහුගේ කැමැත්තට අනුව ඔවුන්ව වහල් බවට ගෙන යන්නටත්” උත්සාහ කිරීමට අවසර ලැබුණා (මෝසෙස් 4:4).
දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ලෞකික වර්ධනය සඳහා වූ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සැලැස්මට “සෑම දෙයකම ප්‍රතිවිරුද්ධතාවයක්”(2 නීෆායි 2:11) අත්විඳීම අත්‍යවශ්‍ය වුණා. ගුරුත්වාකර්ෂණ නියමයට එරෙහිව වෙහෙසීමෙන් තොරව අපගේ භෞතික මාංශ පේශි වර්ධනය කිරීමට හෝ නඩත්තු කිරීමට බැහැ වගේම, ලෞකික වර්ධනය සඳහා අපිට සාතන්ගේ පෙළඹවීම් සහ අනෙකුත් ලෞකික විරුද්ධවාදිකම්වලට එරෙහිව වෙහෙසීමට සිදුවෙනවා. යහපත සහ අයහපත අතර තෝරා ගැනීමට අවශ්‍යතාවන් අධ්‍යාත්මික වර්ධනය සඳහා වඩාත්ම වැදගත් වෙනවා. යහපත තෝරා ගන්නා අය ඔවුන්ගේ සදාකාලික ඉරණම කරා ඉදිරියට යනවා. ලෞකිකත්වයේ විවිධ පරීක්ෂාවන්හිදී හැමෝම වගේ—නපුර තෝරාගත් අයට—ප්‍රේමණීය දෙවියන්වහන්සේ විසින් සැපයීමට නිර්මාණය කරන ලද ගැලවීමේ උපකාර අවශ්‍ය වෙනවා.
II.
මෙතෙක් දෙවියන්වහන්සේගේ බලවත්ම ලෞකික උපකාරය වූයේ, පසුතැවිලි වූ පාපවලට වන්දි ගෙවීමට සහ සමාව ලබා දීමට, දුක් විඳින්නට, ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැපයීමයි. එම දයානුකම්පිත හා මහිමාන්විත වන්දිගෙවීම, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කියන්නේ ශුභාරංචියේ පළමු මූලධර්මය වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරනවා. උන්වහන්සේගේ වන්දිගෙවීම “මළවුන්ව නැවත මරණයෙන් නැගිටීමට ගෙන එනවා” (ඇල්මා 42:23) සහ එය “ලෝකයේ පාපය උදෙසා වන්දි ගෙවනවා” (ඇල්මා 34:8), අපගේ පසුතැවිලි වූ සියලු පාප මකා දමමින් සහ අපගේ ලෞකික දුර්වලතා වලදී අපට උපකාර කිරීමට අපගේ ගැලවුම්කරුවාණන්ට බලය ලබා දෙනවා.
කළ පාපයන් මහිමාන්විතව මකා දැමීමෙන් හා සමාව ලැබීමෙන් ඔබ්බට, ප්‍රේමණීය ස්වර්ගික පියෙකුගේ සැලැස්ම අපව ආරක්ෂා කිරීමට තවත් බොහෝ දීමනා සපයනවා, එයට මුලදීම අපව පව් කිරීමෙන් ආරක්ෂා කිරීම ඇතුළත් වෙනවා. අපගේ ලෞකික ජීවිතය සැමවිටම පියෙකු සහ මවකගෙන් ආරම්භ වෙනවා. ඉතා මැනවින්, අපගේ වර්ධනයට මගපෙන්වීම සඳහා දෙදෙනාම විවිධ දීමනා සමඟ පැමිණ සිටිනවා. එහෙම නැත්නම්, ඔවුන් නොමැතිවීම අප ජය ගත යුතු විරුද්ධත්වයේ කොටසක්.
III.
අපගේ ලෞකික ගමන් හරහා අපට මගපෙන්වීමට අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම වෙනත් උපකාර සපයනවා. මම මේවායින් හතරක් ගැන කතා කරන්නම්. කරුණාකර මාව මගේ ඉලක්කම් හතරට සීමා කරන්න එපා, මොකද මේ උපකාර එකිනෙකට සම්බන්ධයි. ඒ විතරක් නෙවේ, මේවාට අමතරව තවත් කරුණාවන්ත ආරක්ෂාවන් තියෙනවා.
මුලින්ම, ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය නැතහොත් ආලෝකය ගැන මම කතා කරන්නම්. මොරෝනි පොතේ ඔහුගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීමේදී, මොරෝනි තම පියාගේ ඉගැන්වීම මෙසේ උපුටා දක්වනවා, “ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය සෑම මිනිසෙකුටම දී ඇත්තේ, එය කරණකොටගෙන ඔහු දුෂ්ඨකම වෙතින් යහපත දැනගැනීමටය” (මොරෝනි 7:16). නූතන එළිදරව් කිරීම් වලදී අපි මෙම ඉගැන්වීමම කියවනවා:
“තවද එම ආත්මයාණන් එනම් ලෝකයට පැමිණෙන සෑම මනුෂ්‍යයෙකුටම දෙනු ලබන්නේය; එනම් එම ආත්මයාණන්ගේ හඬට උවමනාවෙන් සවන්දෙන්නේද, තවද එම ආත්මයාණන් ලෝකය තුළ සෑම මනුෂ්‍යයෙකුවම ආලෝකමත් කරන්නේය” (දහම සහ ගිවිසුම් 84:46).
නැවතත්: “මක්නිසාද යටහත් සහ පසුතැවුණු අයට අවබෝධය ලබාදෙන්නටත්, තවද අභක්තිකයන්ව හෙළාදැකීමටත්, මාගේ ආත්මය ලෝකයා වෙත පෙරට යවන ලද්දේය” (දහම සහ ගිවිසුම් 136:33).
සභාපති ජෝසෆ් ෆීල්ඩින් ස්මිත් මෙම ශුද්ධලියවිලි පද පැහැදිලි කළා: “(ඔවුන් මේ ලෝකයට ඉපදෙන විට), ආලෝකය සහ සත්‍යය සොයා ගැනීමට සොයමින් අසරණව සිටීමට ස්වාමීන්වහන්සේ මිනිසුන්ව ඉඩ දීලා නැහැ, නමුත් සෑම මිනිසෙකුම … උපත ලබන්නේ මගපෙන්වීම, උපදෙස් සහ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්ගේ හෝ සත්‍යයේ ආලෝකයේ උපදෙස් ලබා ගැනීමේ අයිතිය ඇතිවයි.”
නිවැරදි දේ තෝරා ගැනීමට උපකාර කිරීම සඳහා ස්වාමීන්වහන්සේ විසින් සපයන ලද දෙවන ශ්‍රේෂ්ඨ උපකාරය තමයි ගැලවීමේ සැලැස්මේ (සතුටේ සැලැස්ම) කොටසක් ලෙස ශුද්ධලියවිලිවල දිව්‍යමය උපදෙස් තිබීම. මෙම මගපෙන්වීම් තමයි ආඥා, නියෝග සහ ගිවිසුම්.
සදාකාල ජීවනය කරා ඉදිරියට යාම සඳහා අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපි වෙනුවෙන් සලකුණු කර ඇති මාර්ගය ආඥා මගින් අර්ථ දක්වනවා. ආඥාවන් කියන්නේ දෙවියන්වහන්සේ දඬුවම් කළ යුත්තේ කාටද යන්න තීරණය කරන ආකාරයක් ලෙස සිතන අය, දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය සතුට පිළිබඳ සැලැස්මේ මෙම අරමුණ තේරුම් ගැනීමට අසමත් වෙනවා. එම මාර්ගයේ දී, අපි ක්‍රමයෙන් අපගේ ගැලවුම්කරුවාණන් සමඟ අවශ්‍ය සම්බන්ධතාවය අත්කර ගැනීමට හැකි වන අතර උන්වහන්සේ අපි හැමෝම වෙනුවෙන් කැමති ගමනාන්තයට යන ගමනේදී අපට උපකාර කිරීමට උන්වහන්සේගේ බලය වැඩියෙන් ලැබීමට අපි සුදුසුකම් ලබනවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ තම සියලු දරුවන් දෙවියන්වහන්සේ සහ අපගේ ගැලවුම්කරුවාණන් වාසය කරන සෙලෙස්ටියල් රාජ්‍යයට නැවත පැමිණීමටත්, එම සෙලෙස්ටියල් තේජසින් වාසය කරන අයගේ ජීවිතය අත්කර ගැනීමටත් ආශා කරනවා.
නියෝග සහ ගිවිසුම් කියන්නේ සදාකාල ජීවනයට යන මාර්ගය නිර්වචනය කරන නීතියේ කොටසක්. නියෝග සහ ඒවා හරහා අපි දෙවියන්වහන්සේ සමඟ ඇති කරගන්නා පූජනීය ගිවිසුම්, ඒ මාර්ගය දිගේ අවශ්‍ය පියවර සහ අත්‍යවශ්‍ය ආරක්ෂක වැටවල් බවට පත්වෙනවා. දෙවියන්වහන්සේගේ සැලැස්ම යටතේ, ඇතැම් ආඥා පිළිපැදීමට කල්තියා පොරොන්දු වන අයට සහ එම පොරොන්දු පිළිපදින අයට උන්වහන්සේගේ ඉහළම ආශිර්වාද ලබා දෙන බව පෙන්නුම් කරන ගිවිසුම්වල භූමිකාව ගැන සිතන්නට මම කැමතියි.
නිවැරදි තීරණ ගැනීම සඳහා දෙවියන්වහන්සේ විසින් දෙන ලද අනෙකුත් උපකාර තමයි ශුද්ධාත්මයාණන්ගේ ප්‍රකාශනයන්. ශුද්ධාත්මයාණන්වහන්සේ යනු දේවශීර්ෂයේ තුන්වන සාමාජිකයා. ශුද්ධලියවිල්ලෙහි අර්ථ දක්වා ඇති උන්වහන්සේගේ කාර්යයන් තමයි, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන් ගැන සාක්ෂි දීම, අපට ඉගැන්වීම, සියල්ල අපගේ මතකයට ගෙන ඒම සහ සියලු සත්‍යයන් කරා අපව මගපෙන්වීම. මොර්මොන්ගේ පොතේ සත්‍යතාව පිළිබඳ විමසීමකට ප්‍රතිචාර වශයෙන් අධ්‍යාත්මික සාක්ෂිකරුවෙකු වැනි ශුද්ධාත්මයාණන්ගේ ප්‍රකාශනයන් පිළිබඳ බොහෝ විස්තර ශුද්ධලියවිලි පදවල ඇතුළත් වෙනවා. බව්තීස්මයෙන් පසුව පිරිනමන ශුද්ධාත්මයාණන්ගේ දීමනාව සමඟ ප්‍රකාශනයන් පටලවා නොගත යුතුයි.
දෙවියන්වහන්සේගේ ඇදහිලිවන්ත දරුවන් සඳහා උන්වහන්සේගේ උපකාරවලින් වඩාත්ම වැදගත් එකක් වන්නේ ශුද්ධාත්මයාණන්ගේ දීමනාවයි. එය විධිමත් ලෙස පසුතැවිලි වීමෙන් හා ජලයෙන් බව්තීස්ම වීමෙන් පසුව ලබා දෙන අතර, “තවද එවිට [ශුද්ධලියවිලි පැහැදිලි කරන ආකාරයට] නුඹලාගේ පාපයන් කෙරෙහි ගින්නෙන් සහ ශුද්ධාත්මයාණන්ගෙන් පව් කමාව පැමිණෙන්නේය” යනුවෙන් පැවසීමෙන් මෙම දීමනාවෙහි වැදගත්කම පැහැදිලි වෙනවා (2 නීෆායි 31:17). මෙම පව් සමාව ලබා ඇති පුද්ගලයින්—ඉන්පසු දිනපතා පසුතැවිලි වීමෙන් සහ සක්‍රමේන්තුවේ නියෝගය හරහා ඔවුන් කරන ගිවිසුම් අනුව ජීවත් වීමෙන් නිතිපතා ඔවුන්ගේ පවිත්‍ර වීම අලුත් කරන පුද්ගලයින්—ශුද්ධාත්මයාණන්, ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් “සැමවිටම … ඔවුන් සමඟ පවතින පිණිසය” (දහම සහ ගිවිසුම් 20:77) යන පොරොන්දුව සඳහා සුදුසුකම් ලබනවා.
මේ අනුව, සභාපති ජෝසප් එෆ්. ස්මිත් මෙසේ ඉගැන්වූවා ශුද්ධාත්මයාණන් “දෙවියන්වහන්සේගේ දේවල් සම්බන්ධයෙන් ජනතාවගේ මනස ආලෝකවත් කිරීමට, ඒවගේම ඔවුන් පියාණන්වහන්සේගේ කැමැත්ත කර ඇති බවට ඔවුන්ගේ හැරීමේ අවස්ථාවේදී ඔවුන්ට ඒත්තු ගැන්වීමට, සහ ජීවිතය පුරා සහකරුවෙකු ලෙස ඔවුන් තුළ ස්ථිර සාක්ෂියක් වීමට, සියලු සත්‍යයට ස්ථිර සහ ආරක්ෂිත මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කර ඔවුන් දිනෙන් දින ප්‍රීතියෙන් හා කෘතඥතාවයෙන් පුරවා ගැනීමට, සියලු මිනිසුන්ට යහපත කිරීමට, වැරදි කිරීමට වඩා වැරදි නිසා විඳවීමට, කරුණාවන්ත හා දයානුකම්පිත වීමට, බොහෝ ඉවසිලිවන්ත වීමට සහ පිවිතුරු ප්‍රේමයෙන් කටයුතු කිරීමට නැඹුරුවක් ඇති කරනවා. මෙම මිල කළ නොහැකි දීමනාව, මෙම අනගි මුතු ඇටය හිමි සියල්ලන්ටම ධර්මිෂ්ඨකම සඳහා නිරන්තර පිපාසයක් ඇති වෙනවා. ශුද්ධාත්මයාණන්ගේ උපකාරය නොමැතිව කිසිම මනුෂ්‍යයෙකුට පටු හා අවහිර මාර්ගයේ ගමන් කරන්න බැහැ” යනුවෙන් සභාපති ස්මිත් අවසන් කළා.
IV.
අපගේ ලෞකික ගමන් වලදී අපට මගපෙන්වීමට බොහෝ බලවත් උපකාර තියෙද්දිත්, අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔවුන්ගේ නියමිත හමුවීමට බොහෝ දෙනෙක් සූදානම් නොවීම කණගාටුවට කරුණක්. මෙම සම්මන්ත්‍රණයේදි නිතර කතා කරන කන්‍යාවන් දස දෙනා පිළිබඳ උන්වහන්සේගේ උපමාවෙන් උන්වහන්සේව හමුවීමට ආරාධනා කරන ලද අයගෙන් අඩක් පමණක් සූදානම් වනු ඇති බව ඇඟවෙනවා.
සූදානම් නැති අයගේ උදාහරණ අපි කවුරුත් දන්නවා: අක්‍රිය කාල පරිච්ඡේදයන් නිසා ඔවුන්ගේ අධ්‍යාත්මික වර්ධනයට බාධා ඇතිකරගත් ආපසු පැමිණි ධර්මදූතයින්, සභාවේ ඉගැන්වීම් හා ක්‍රියාකාරකම් වලින් වෙන්වීමෙන් තම අධ්‍යාත්මික වර්ධනයට අනතුරේ දැමූ යෞවනයින්, මෙල්කිසදෙක් පූජකවරයට පත්වීම කල් දැමූ පිරිමින්, උතුම් පුරෝගාමීන්ගේ හෝ වටිනා දෙමව්පියන්ගෙන් පැවත එන, ශුද්ධ වූ දේවමාළිගාවේ ගිවිසුම් ඇති කර ගැනීමට සහ තබා ගැනීමට නොහැකිව ගිවිසුම් මාවතෙන් ඉවත් වූ—පිරිමින් සහ කාන්තාවන්.
සාමාජිකයන් පෞද්ගලික යාච්ඤාව, නිතිපතා ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිරන්තරයෙන් පසුතැවිලි වීම යන මූලික අධ්‍යාත්මික නඩත්තු සැලැස්ම අනුගමනය කිරීමට අපොහොසත් වූ විට එවැනි අපගමනයන් බොහොමයක් සිදුවෙනවා ඊට වෙනස්ව, සමහරු සක්‍රමේන්තුවට සහභාගී නොවී සතිපතා ගිවිසුම් අලුත් කිරීම නොසලකා හරිනවා. සභාව ඔවුන්ගේ අවශ්‍යතා සපුරන්නේ නැති බවත්, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ බොහෝ ඉගැන්වීම් සහ අපගේ අත්‍යවශ්‍ය සේවය සඳහා අවස්ථාවන් තුළින් සපයා ඇති දේට වඩා ඔවුන්ගේ අනාගත අවශ්‍යතා ලෙස ඔවුන් දකින දේ ආදේශ කරන බවත් සමහරු කියනවා.
එවැනි අපගමනයන් සඳහා පිළියම් වන්නේ නිහතමානීකම සහ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසයයි. මොර්මොන්ගේ පොත උගන්වන පරිදි, ස්වාමීන්වහන්සේ “උන්වහන්සේ තුළ ඔවුන්ගේ විශ්වාසය තබන්නාවූ අයවලුන්ව උන්වහන්සේගේ බලවත් අපිරිමිත යහපත්කමින් ආශිර්වාද සහ සමෘද්ධිමත් කරනවා” (හිලමන් 12:1). දෙවියන්වහන්සේගේ ආඥා සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් මිනිසාගේ නවතම සොයාගැනීම් හා ප්‍රඥාවට එරෙහිව වැරදි ලෙස මනින සියල්ලන්ටම ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම විශේෂ අවශ්‍යතාවයක්.
අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේ තම දරුවන්ට නැවත උන්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කිරීම සඳහා ලබා දී ඇති බොහෝ ලෞකික උපකාර ගැන මම කතා කළා. මෙම දිව්‍යමය සැලැස්මේ අපගේ කොටස වන්නේ විශේෂයෙන් උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්, අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා මෙම දිව්‍යමය උපකාර සෙවීම සහ භාවිතා කිරීමයි. අපි මෙම මූලධර්ම උගන්වමින් ඒවා අනුව ජීවත් වෙමු යැයි මම යාච්ඤා කරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.