ප්‍රධාන සම්මන්ත්‍රණය
සියලු දේ නැවත පිහිටුවීමේ කාලය
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


15:21

සියලු දේ නැවත පිහිටුවීමේ කාලය

(ක්‍රියා 3:21)

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පසුදවස් වලදී උන්වහන්සේගේ ශුභාරංචිය සහ සභාව නැවත පිහිටුවා ඇති බවට ඇති පණිවිඩය තමයි වැදගත්ම හා මහිමාන්විතම “සුභ ආරංචිය.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව සංවිධානය කරනු ලැබුවේ අදට වසර 195 කට පෙර, 1830 අප්‍රියෙල් 6 දිනයෙයි.

මෙම වැදගත් හා ප්‍රීතිමත් අවස්ථාව සඳහා ඇදහිලිවන්තයන් සහ මිතුරන්ගෙන් යුත් කුඩා සභාවක් රැස් වුණා. සක්‍රමේන්තු නියෝගය ලබා දෙද්දි, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව පිරිනමද්දි, පූජකවරයට නියම කිරීම කරද්දි සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සත්‍යයන් දේශනා කරද්දි, ආත්මයාණන්ගේ මහත් වැගිරීමක් පැමිණ සිටි සියල්ලන්ටම ආශිර්වාද කළා.

උන්වහන්සේගේ සභාව නැවත ස්ථාපිත කිරීමේදී, ස්වාමින්වහන්සේ එළිදරව් මගින් 24 හැවිරිදි ජෝසෆ් ස්මිත්ව එහි ලෞකික නායකයා ලෙස: “පියාණන් වන දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් සහ ඔබගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් අනාගතවක්තෘවරයෙක්, පරිවර්තකයෙක්, දිවැසිවරයෙක්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙක්, සභාවේ වැඩිහිටියෙක්” ලෙස මෙසේ නම් කළා.

ලෝක ඉතිහාසයේ මෙම සුවිශේෂී සිදුවීමේ වැදගත්කම සහ අඛණ්ඩ බලපෑම සලකා බලන විට ශුද්ධාත්මයාණන්ගේ උපකාරය සඳහා මම අවංකවම යාච්ඤා කරනවා.

පළමු දර්ශනය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ විධිමත් සංවිධානය, ආශ්චර්යමත් අත්දැකීම් මාලාවක කූටප්‍රාප්තිය වුණා. මෙම අත්දැකීම් වලින් පළමුවැන්න වසර 10 කට පෙර නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඉහළ ප්‍රදේශයේදී සිදුවුණා.

1820 වසන්තයේ දී, ජෝසෆ් ස්මිත් නම් තරුණ පිරිමි ළමයෙක් යාච්ඤා කිරීම සඳහා තම නිවස අසල වනාන්තරයට ගියා. ඔහුගේ ආත්මයේ ගැලවීම සම්බන්ධයෙන් ඔහුට ප්‍රශ්න තිබුණා, ඒවගේම “සියලුම [සභා වලින්] නිවැරදි කුමක්ද, කුමන සභාවට සම්බන්ධ විය යුතුද යන්න [ඔහු වෙනුවෙන්ම] දැන ගැනීමට” ඔහු ආශා කළා. දෙවියන්වහන්සේ තමාගේ යාච්ඤාවට පිළිතුරු දී තමාට මගපෙන්වනු ඇතැයි ජෝසෆ් විශ්වාස කළා.

ජෝසෆ් යාච්ඤා කළේ හරි දේ දැනගැනීමට පමණක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඒ වෙනුවට, හරි දේ කිරීමට හැකි වන පරිදි හරි දේ දැන ගැනීමට ඔහු යාච්ඤා කළා. ජෝසෆ් ඇදහිල්ලෙන් ඉල්ලා සිටියා, ඒවගේම ඔහුට ලැබුණු පිළිතුරුවලට අනුව ක්‍රියා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියා.

“ඔහුගේ අවංක යාච්ඤාවට [ප්‍රතිචාර වශයෙන්], දෙවියන් වන පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජෝසෆ්ට දර්ශනය වී බයිබලයේ පුරෝකථනය කර ඇති පරිදි ‘සියල්ල නැවත පිහිටුවීම’ (ක්‍රියා 3:21) ආරම්භ කළා. මෙම දර්ශනයේදී, මුල් ප්‍රේරිතවරුන්ගේ මරණයෙන් පසු, ක්‍රිස්තුස්වහන්සේගේ අලුත් ගිවිසුමේ සභාව පොළොවෙන් අහිමි වූ බව ඔහු දැනගත්තා.” ගැලවුම්කරුවාණන්ගේ පුරාණ සභාවේ මූලධර්ම, අධිකාරිය සහ ගිවිසුම් සහ නියෝග නැවත වරක් පිහිටුවීමේදී ජෝසෆ් ස්මිත් මෙවලමක් වුණා.

පළමු දර්ශනය.

ජෝසෆ් මෙහෙම කිව්වා: “අවකාශයේ මට ඉහළින් සිටගෙන සිටින උන්වහන්සේලාගේ දීප්තිය සහ මහිමය වර්ණනා විෂය ඉක්මවන තරම් වූ, උත්තමයන් දෙදෙනෙකු මම දුටුවෙමි. එයින් කෙනෙක් මාගේ නමින් මට කතාකොට, අනෙක් තැනැත්තා පෙන්වා මෙසේ කීවේය—මේ මාගේ ආදරණීය පුත්‍රයාය. ඔහුට සවන්දෙන්න!

මෙම දර්ශනය සහ ඉන් පසුව ඇති වූ දිව්‍යමය අත්දැකීම් තුළින්, දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔහුව පුද්ගලයෙකු ලෙස දන්නා බවත්, ඔහුගේ සදාකාලික ගැලවීම ගැන සැලකිලිමත් වූ බවත්, ඉටු කිරීමට ඔහුට මෙහෙවරක් ඇති බවත් ජෝසෆ් ස්මිත් තේරුම් ගත්තා. දේවත්වයේ ගුණාංග, චරිතය සහ පරිපූර්ණත්වය පිළිබඳවත්—පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ වෙන වෙනම සිටින හා වෙනස් ජීවීන් බවටත් වූ—වැදගත් පාඩම් ඔහු ඉගෙන ගත්තා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නෙ ආත්මයෙන් හා මාංශයෙන් දෙවියන්වහන්සේගේ පුත්‍රයා.

ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ශාරීරික ජීවීන් බව ජෝසෆ් ස්මිත් ප්‍රකාශ කළා. ඔහු මෙහෙම කිව්වා, “පියාණන්වහන්සේට මාංශ සහ අස්ථි සහිත මනුෂ්‍යයාගේ මෙන් ස්පර්ශ කළ හැකි ශරීරයක් ඇත්තේය; පුත්‍රයාණන්වහන්සේටත් එසේමය; එහෙත් ශුද්ධාත්මයාණන්වහන්සේට මාංශ සහ අස්ථි සහිත ශරීරයක් නොමැත්තේය, එහෙත් උන්වහන්සේ ආත්මික පුද්ගලයෙක්ය.”

“ලෝකය ආරම්භ වූ දා සිට සියලු ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුවින් කථා කරන ලද සියල්ල නැවත පිහිටුවීමේ” ශ්‍රේෂ්ඨ ආරම්භක සිදුවීම වූයේ පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ජෝසෆ් ස්මිත් වෙත පැමිණීමෙන් බව මම සාක්ෂි දරනවා.

මොර්මොන්ගේ පොත

ගැලවුම්කරුවාණන්ගේ නැවත පිහිටුවන ලද සභාව විධිමත් ලෙස සංවිධානය කිරීමට හේතු වූ ආශ්චර්යමත් අත්දැකීම් අනුපිළිවෙලෙහි දෙවැන්න වූයේ මොර්මොන්ගේ පොත පරිවර්තනය කර එළිදැක්වීමයි.

මොර්මොන්ගේ පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි.

“මෝර්මොන්ගේ පොත—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි: යන පුරාණ වාර්තාවක් පරිවර්තනය කිරීම සඳහා ජෝසෆ් ස්මිත්ට දෙවියන්වහන්සේගේ දීමනාව හා බලය ලබාදුන් බව අපි තවදුරටත් සාක්ෂි දරන්නෙමු. … මෙම පූජනීය පිටපතේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානයෙන් පසුව බටහිර අර්ධගෝලයේ මිනිසුන් අතර උන්වහන්සේගේ පුද්ගලික දේවසේවය පිළිබඳ විස්තරයක් ඇතුළත් වෙනවා. [මොර්මොන්ගේ පොත] ජීවිතයේ අරමුණ උගන්වන අතර, එම අරමුණු සඳහා කේන්ද්‍රීය වන ක්‍රිස්තුස්වහන්සේගේ දහම පැහැදිලි කරනවා. සියලුම මනුෂ්‍යයන් ස්වර්ගයේ සිටින ප්‍රේමණීය පියෙකුගේ පුතුන් හා දියණියන් බවත්, අපගේ ජීවිත සඳහා දිව්‍යමය සැලැස්මක් උන්වහන්සේ සතුව ඇති බවත්, උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, පැරණි දිනවල මෙන්ම අදටත් කතා කරන බවත්, බයිබලයට අනුබද්ධ ශුද්ධලියවිල්ලක් ලෙස මොර්මොන්ගේ පොත සාක්ෂි දරනවා.”

ගැලවුම්කරුවාණන්ගේ නැවත පිහිටුවන ලද සභාවේ සාමාජිකයන් ලෙස, “බයිබලය නිවැරදිව පරිවර්තනය කර ඇති තාක් දුරට එය දෙවියන්වහන්සේගේ වචනය බව අපි විශ්වාස කරනවා; මොර්මොන්ගේ පොත දෙවියන්වහන්සේගේ වචනය යැයිද අපි විශ්වාස කරනවා.” මොර්මොන්ගේ පොත කියන්නෙ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් සාක්ෂියක්, එය බයිබලයේ සත්‍යතාව තහවුරු කරනවා, ඒවගේම බයිබලයෙන් නැති වූ පැහැදිලි හා වටිනා සත්‍යයන් එමගින් නැවත ලබා දෙනවා.

පූජකවරය නැවත පිහිටුවීම

ගැලවුම්කරුවාණන් විසින් පිහිටුවන ලද මුල් සභාව, එහි දිව්‍ය අධිකාරිත්වය, දහම සහ ගිවිසුම් සහ නියෝග සමඟින්, පොළොවෙන් නැති වූ බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව උගන්වනවා. පසුදවස්වල අනාවැකි පළ කරන ලද සියලු දේ නැවත පිහිටුවීමේ කොටසක් ලෙස, පුරාණ අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් ජෝසෆ් ස්මිත්ට පෞද්ගලිකව පූජකත්ව බලය පැවරුවා ඒවගේම පූජකවර යතුරු ඔහුට භාර දුන්නා. ගැලවුම්කරුවාණන්ගේ නැවත පිහිටුවන ලද සභාව විධිමත් ලෙස සංවිධානය කිරීමට හේතු වූ ආශ්චර්යමත් අත්දැකීම් අනුපිළිවෙලින් කියනවානම් මේ තමයි තුන්වෙනි අවස්ථාව.

පූජකවර අධිකාරිය දෙවියන්වහන්සේගේ සේවකයන්ට “[උන්වහන්සේව] නියෝජනය කිරීමට සහ උන්වහන්සේගේ නාමයෙන් ක්‍රියා කිරීමට” ඉඩ ලබා දෙනවා. පූජකවර යතුරු යනු දෙවියන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් පූජකවරය භාවිතා කිරීම මෙහෙයවීමේ අධිකාරියයි.”

පූජකවරයේ නැවත පිහිටුවීම.

පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්වහන්සේගේ මගපෙන්වීම යටතේ, මරණයෙන් නැවත නැගිටි යොහන් බව්තීස්ත 1829 දී, පව් සමාව සඳහා ගිල්වීමෙන් බව්තීස්ම කිරීමේ බලය නැවත ලබා දුන්නා. එම වසරේදීම, මුල් ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගෙන් තිදෙනෙකු වන පේතෘස්, යාකොබ් සහ යොහාන්, ප්‍රේරිතත්වය සහ අතිරේක පූජකත්ව අධිකාරිය සහ යතුරු නැවත ස්ථාපිත කළා.

සභාව විධිමත් ලෙස සංවිධානය කිරීමෙන් වසර හයකට පසු, කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී මෝසෙස්, එලියාස් සහ එලියා පසුදවස්වල දෙවියන්වහන්සේගේ කාර්යය ඉටු කිරීමට අවශ්‍ය අමතර අධිකාරිය ජෝසෆ්ට භාර දුන්නා.

මෝසෙස් ඊශ්‍රායෙලය එක්රැස් කිරීමේ යතුරු භාර දුන්නා.

ආබ්‍රහමික ගිවිසුම නැවත ස්ථාපිත කිරීමද ඇතුළුව, එලියා ආබ්‍රහම්ගේ ශුභාරංචියේ කාලපරිච්ඡේදය භාර දුන්නා.

මරණය ඉක්මවා යන සදාකාලික සබඳතාවලින් පවුල් එකට එකතු කිරීම සඳහා, පොළොවේ සිදු කරන ලද නියෝග මගින් සදාකාලිකව බැඳී සිටීමට ඉඩ සලසන අධිකාරියක් සපයමින්, එලයිජා මුද්‍රා තැබීමේ බලයේ යතුරු භාර දුන්නා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සංවිධානය කළා

ජෝසෆ් ස්මිත් මොර්මොන්ගේ පොත පරිවර්තනය කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවීමට යන බව ඇඟවීමේ එළිදරව්ව ඔහුට ලැබුණා. නමුත් ස්වාමීන්වහන්සේගේ එම සභාව එසැණින්ම සංවිධානය නොකරන ලෙස, උන්වහන්සේ ජෝසෆ්ට උපදෙස් දුන්නා. ඒ වෙනුවට, “අනාවැකි සහ එළිදරව්වේ ආත්මයෙන්” ස්වාමීන්වහන්සේ ජෝසෆ්ට “උන්වහන්සේගේ සභාව මෙහි පොළොව මත නැවතත් සංවිධානය කිරීමට [ඔහු] ක්‍රියා කළ යුතු එම නියත දිනයද පෙන්වා දුන්නා.”

සභාව නිසි අනුපිළිවෙලකට සංවිධානය කරන ලද්දේ පූජකවරය නැවත ස්ථාපිත කිරීමෙන් සහ මොර්මොන්ගේ පොත ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි. මොර්මොන්ගේ පොතේ පළමු පිටපත් 1830 මාර්තු 26 වන දින ලබා ගත හැකි වූ අතර, අප්‍රියෙල් 6 වන දින සභාව විධිමත් ලෙස සංවිධානය කරනු ලැබුවා.

ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ.

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව … යනු නැවත පිහිටුවන ලද ක්‍රිස්තුස්වහන්සේගේ අළුත් ගිවිසුමේ සභාවයි. මෙම සභාව එහි ප්‍රධාන මුල් ගල වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ ජීවිතය හා උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම සහ සත්‍යයෙන්ම මරණයෙන් නැවත නැගිටීම තුළ නැංගුරම් ලා තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත වරක් ප්‍රේරිතවරුන්ව කැඳවා ඔවුන්ට පූජකවරය ලබාදී තිබෙනවා. උන්වහන්සේ වෙතට හා උන්වහන්සේගේ සභාව වෙතට පැමිණෙන ලෙසත්, ශුද්ධාත්මයාණන් සහ ගැලවීමේ ආඥා පිළිගන්නා ලෙසත්, එමෙන්ම සදාකාලික ප්‍රීතිය ලබාගන්නා ලෙසත්, උන්වහන්සේ අප සැමට ආරාධනා කරනවා.”

පූර්ණත්වයේ කාලපරිච්ඡේදය

ජෝසෆ් ස්මිත්ට පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ දර්ශනය වීම, මොර්මොන්ගේ පොත පරිවර්තනය කර එළිදැක්වීම සහ පූජකවර අධිකාරිය සහ යතුරු නැවත පිහිටුවීම, අදින් වසර 195 කට පෙර ස්වාමීන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව සංවිධානය කිරීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතා වුණා.

පරණ ගිවිසුමේ, අනාගතවක්තෘ දානියෙල්, අත් නොමැතිව කන්දකින් කැපූ ගලක් පිළිබඳ සිහිනයක් අර්ථකථනය කර එය මුළු පොළොවම පුරවන බව කිව්වා. සභාව සංවිධානය කිරීමෙන් වසරකට පසු, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යතුරු නැවතත් “පොළොවේ මිනිසාට භාර දී ඇති” බවත්, “[යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ] ශුභාරංචිය පොළොවේ කෙළවර දක්වා, අතින් තොරව කන්දෙන් කැපූ ගලක් මෙන් පෙරළෙන” බවත් ස්වාමීන්වහන්සේ ජෝසෆ් ස්මිත්ට උපදෙස් දුන්නා.

ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුව ඉටු කරමින් සිටින බව මම සාක්ෂි දරනවා. ගැලවුම්කරුවාණන්ගේ නැවත පිහිටුවන ලද සභාව ලොව පුරා ස්ථාපිත වෙමින් පවතිනවා, ඒවගේම එය දෙවියන්වහන්සේ “ස්වර්ගයෙහි සහ පොළොවෙහි ඇති සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්රැස් කරන” මෙවලම බවට පත්වෙලා තිබෙනවා.

ස්වාමීන්වහන්සේගේ පසුදවස් වල කාර්යය “සෑම යුගයකම දෙවියන්වහන්සේගේ සෙනඟට උනන්දුවක් ඇති කර ඇති කාරණයක්; එය අනාගතවක්තෘවරුන්, පූජකයන් සහ රජවරුන් විශේෂ ප්‍රීතියකින් ජීවත් වූ තේමාවක්; ඔවුන් අප ජීවත් වන දිනය සඳහා ප්‍රීතිමත් අපේක්ෂාවෙන් බලා සිට තිබෙනවා; ඒවගේම ඔවුන් ස්වර්ගීය හා ප්‍රීතිමත් අපේක්ෂාවන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා, ඔවුන් අපගේ මේ දවස ගැන ගායනා කර, ලියා, එමෙන්ම අනාවැකි පළ කර තිබෙනවා.”

මෙම ශ්‍රේෂ්ඨතම සහ අවසාන ශුභාරංචි කාලපරිච්ඡේදයේදී, “පරිපූර්ණ හා සම්පූර්ණ හා සර්වසම්පූර්ණ එකමුතුවක් සහ කාලපරිච්ඡේද, යතුරු, බලතල සහ මහිමය එකට එකතු කිරීම සිදු වීම අවශ්‍යයි, ඒවගේම ආදම්ගේ කාලයේ සිට වර්තමාන කාලය දක්වා පවා එළිදරව් වීම අවශ්‍යයි. මෙය පමණක් නොව, ලෝකයේ අත්තිවාරමේ සිට කිසිදා එළිදරව් නොවූ දේවල් … මෙම, කාලවල පූර්ණත්වයේ කාලපරිච්ඡේදය තුළ … එළිදරව් වෙනවා.”

“ඕනෑම කාලපරිච්ඡේදයක සර්වබලධාරි දෙවියන්වහන්සේගේ මගපෙන්වීම් සහ ආඥාවන් යටතේ, පූජකත්වය විසින් කවදා හෝ ඉල්ලා සිටි සියලුම නියෝග සහ යුතුකම්, අවසාන කාලපරිච්ඡේදයේදී ලැබෙන බවත් … සියලු ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කථා කරන ලද නැවත පිහිටුවීම සිදුවන බවත්” අනාගතවක්තෘ ජෝසෆ් තවදුරටත් පැහැදිලි කළා.

පොරොන්දු සහ සාක්ෂි

ලෝකයේ ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට ලැබිය හැකි වැදගත්ම හා තේජාන්විත “සුභ ආරංචියේ” මූලික අංග සාරාංශ කිරීමට මම උත්සාහ කර තිබෙනවා—ඒ තමයි, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පසුකාලීනව තම ශුභාරංචිය සහ සභාව නැවත පිහිට වූ පණිවිඩය.

මෙම පණිවිඩය ගැන ඉගෙන ගෙන එය ඔප්පු කරන ලෙස මම ඔබ සැමටම ආරාධනා කරනවා. “නැවත පිහිටුවීම පිළිබඳ පණිවිඩය යාච්ඤා පූර්වකව අධ්‍යයනය කර ඇදහිල්ලෙන් ක්‍රියා කරන අයට එහි දේවත්වය පිළිබඳ සහ අපගේ ස්වාමින් හා ගැළවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පොරොන්දු වූ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමේ අරමුණ පිළිබඳ තමන්ගේම සාක්ෂියක් ලබාගැනීමට ආශිර්වාද ලැබෙනු ඇති” බවට මම පොරොන්දු වෙනවා. තරුණ ජෝසෆ් ස්මිත් කළාක් මෙන්, දෙවියන්වහන්සේගෙන් පිළිතුරක් ලැබීමට සහ ඒ අනුව ක්‍රියා කිරීමට ඔබ අපේක්ෂාවෙන් උනන්දුවෙන් යාච්ඤා කරන විට, එම දිව්‍ය සාක්ෂිය හඳුනාගෙන එයට ප්‍රතිචාර දැක්වීමේ ඔබේ හැකියාව වැඩි වෙනවා.

සදාකාල පියාණන් වන, දෙවියන්වහන්සේ අපගේ පියාණන්වහන්සේ බව මම සාක්ෂි දෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් බවත්, මාංසයේ උන්වහන්සේගේ ඒකජාතකයාණන් බවත් මම සාක්ෂි දරනවා. උන්වහන්සේ තමයි අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්.

ඒවගේම පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ජෝසෆ් ස්මිත් පිරිමි ළමයාට පෙනී සිටි බවත්, එමගින් ගැලවුම්කරුවාණන්ගේ පසුදවස්වල ශුභාරංචිය නැවත පිහිටුවීම කිරීම ආරම්භ කළ බවත් මම ප්‍රීතියෙන් යුතුව සාක්ෂි දරනවා. මොර්මොන්ගේ පොත කියන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් සාක්ෂියක් වන අතර ඒ තුළ දෙවියන්වහන්සේගේ වචනය අඩංගු වෙනවා. ගැලවුම්කරුවාණන්ව නියෝජනය කිරීමට සහ උන්වහන්සේගේ නාමයෙන් නැවත ක්‍රියා කිරීමට පූජකවර අධිකාරිය පොළොවෙහි තිබෙනවා. ඒවගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව යනු නැවත පිහිටුවන ලද ක්‍රිස්තුස්වහන්සේගේ නව ගිවිසුමේ සභාවයි. මේ සියල්ල සත්‍ය බවට මම ස්ථිරවම සාක්ෂි දරන්නේ, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.