ප්‍රධාන සම්මන්ත්‍රණය
නුඹලාගේ හදවත් දැඩිකර නොගන්න
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:5

නුඹලාගේ හදවත් දැඩිකර නොගන්න

අපි අවංකව පසුතැවිලි වී, නිහතමානී වී, ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා රඳා සිටියහොත්, අපගේ හදවත් මෘදු වෙනවා.

පියාණන් වූ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් තරුණ ජෝසෆ් ස්මිත්ට දර්ශනය වී ඔහුගේ නිහතමානී යාච්ඤාවට පිළිතුරු දීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම ආරම්භ වුණා. ජෝසෆ් ස්මිත් නැවත පිහිටුවීමේ කොටසක් ලෙස දෙවියන්වහන්සේගේ දීමනාව හා බලය මගින් පුරාණ වාර්තාවක් පරිවර්තනය කළා. මෙම වාර්තාව “ඇමරිකානු පුරාණ වැසියන් සමඟ දෙවියන්වහන්සේගේ කටයුතු වල වාර්තාවක්, තවද එහි සදාකාලික ශුභාරංචියේ පූර්ණත්වය අඩංගු වී” තිබෙනවා.

මම කුඩා පිරිමි ළමයෙකුව සිටියදී, මොර්මොන්ගේ පොත කියවන විට, ස්වාමීන්වහන්සේගේ දේවදූතයෙකු පෙනී සිට ඔවුන්ට කෙලින්ම කතා කරලත්, ලාමන් සහ ලැමුවෙල් ඔවුන්ට ලබා දුන් සත්‍යයන් විශ්වාස කරේ නැත්තේ ඇයි කියලා මම ගොඩක් වෙලාවට කල්පනා කළා. ඔවුන්ගේ පියා වන ලීහායි සහ ඔවුන්ගේ බාල සොහොයුරා වන නීෆායිගේ ඉගැන්වීම්වලට වැඩි වැඩියෙන් නිහතමානී වන්නට හා කීකරු වන්නට ලාමන් සහ ලෙමුවෙල්ට නොහැකි වූයේ ඇයි?

නීෆායි “ඔවුන්ගේ හදවත්වල දැඩිකම නිසා ශෝක වූ” බව සඳහන් වෙන මෙම ප්‍රශ්නයට පිළිතුරක් මට 1 නීෆායි වල හම්බ වුණා. නීෆායි ඔහුගේ වැඩිමහල් සහෝදරයන්ගෙන් මෙහෙම ඇහුවා, “නුඹලා නුඹලාගේ හදවත් තුළ මෙතරම් දැඩි වන්නේ කෙසේද? තවද නුඹලාගේ මනසෙන් මෙතරම් අන්ධ වූයේ කෙසේද.”

හදවතේ දැඩි බවක් තිබීම කියලා අදහස් කරන්නේ මොකක්ද?

මොර්මොන්ගේ පොතේ “දැඩිකම” සඳහා කොරියානු පරිවර්තනය වන්නේ 완악 (වන්-ආක්: 頑惡). මෙම වාක්‍ය ඛණ්ඩය “මුරණ්ඩු” යන අර්ථය ඇති “වන්” (頑) සහ “දුෂ්ට” යන අර්ථය ඇති “ආක්” (惡) යන චීන අක්ෂරය භාවිතා කර තිබෙනවා. අපි අපේ හදවත් දැඩි කරගත් විට, අපි අන්ධ වෙනවා, එවිට යහපත් දේවල් අපේ හදවත්වලට හෝ මනසට ඇතුල් වෙන්න බැහැ. අපි මුරණ්ඩු වෙලා ලෞකික ආශාවන් වලට වැඩි අවධානයක් යොමු කරන්නට පටන් ගන්නවා, දෙවියන්වහන්සේගේ දේවල් වලට අපගේ හදවත් වසා දමනවා. අපි අනික් අයගේ අදහස් සහ මඟපෙන්වීම් පිළි නොගෙන අපේම සිතුවිලි වලට පමණක් අවධානය යොමු කිරීමට තෝරා ගන්නවා. අපි අපගේ හදවත් දෙවියන්වහන්සේගේ දේවල් වලට විවෘත නොකර, ලෝකයේ දේවල් සහ සතුරාගේ බලපෑමට විවෘත කිරීමට තෝර ගන්නවා. අපගේ හදවත් දැඩි වූ විට, අපි ශුද්ධාත්මයාණන්ගේ බලපෑම ප්‍රතික්ෂේප කරනවා. අපි “ස්වාමීන්වහන්සේ සිහි කිරීමට මන්දගාමී ය”, කාලයත් සමඟ අපි උන්වහන්සේගේ වචන “හැඟීම් ඉක්මවා සිටියි.”

සමහරු “ඔවුන්ගේ හදවත්වල දැඩිභාවයද නිසා දෙවියන්වහන්සේගේ ආත්මය ප්‍රතික්ෂේප කරන” බව ඇල්මා අම්මොනිහා හි ජනතාවට ඉගැන්වූවා. “ඔවුන්ගේ හදවත් දැඩිකරගන්නා, උන්වහන්සේගේ අභිරහස් ගැන කිසිවක් නොගන්නා තුරු ඔවුන්ට වචනයේ කුඩා කොටසක් දෙනු ලබන්නේය” කියාද ඔහු ඉගැන්වූවා. අන්තිමේදී, ආත්මයාණන් ඉවත් වන අතර, ලාමන් සහ ලෙමුවෙල් මෙන්, තම හදවත් දැඩි කරගත් අයගෙන් ස්වාමීන්වහන්සේ “[ඔහුගේ] වචනය ඉවතට ගන්නවා.” ලාමන් සහ ලෙමුවෙල් නිරන්තරයෙන් ඔවුන්ගේ හදවත් දැඩි කරගත් නිසාත්, ශුද්ධාත්මයාණන්ගේ හැඟීම්වලට විරුද්ධ වූ නිසාත්, ඔවුන්ගේ පියාගේ සහ නීෆායිගේ වචන සහ ඉගැන්වීම් පිළි නොගැනීමට තෝරා ගත් නිසාත්, ඔවුන් අවසානයේ දෙවියන්වහන්සේගෙන් ලැබුණු සදාකාලික සත්‍යයන් ප්‍රතික්ෂේප කළා.

ලාමන් සහ ලෙමුවෙල්ට හාත්පසින්ම වෙනස්ව, නීෆායි නිතරම තමාවම යටහත් පහත් කරගනිමින් ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් මඟපෙන්වීම සොයමින් සිටියා. එයට ප්‍රති උපකාරව, ස්වාමීන්වහන්සේ නීෆායිගේ හදවත මෘදු කළා. නීෆායි “ස්වාමීන්වහන්සේට මොරගැසූ [බවත්]; තවද බලව උන්වහන්සේ මා බැහැ දැක, තවද මාගේ හෘදය මෘදු කළ හෙයින්, එනම් මාගේ පියා පැවසූ සියලු වචන මා විශ්වාස කළ [බවත්]” බෙදාගත්තා. දෙවියන්වහන්සේගේ සියලු අභිරහස් සහ උන්වහන්සේගේ වචන පිළිගැනීමට, තේරුම් ගැනීමට සහ විශ්වාස කිරීමට ස්වාමීන්වහන්සේ නීෆායිට උපකාර කළා. ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර සහයෝගීතාවය ලබා ගැනීමට නීෆායිට හැකි වුණා.

අපගේ හදවත් දැඩි කර නොගැනීමට අපට කළ හැක්කේ කුමක්ද?

මුලින්ම, අපට දිනපතා පසුතැවිලි වීම පුහුණු වෙන්න පුළුවන්.

අපගේ ගැලවුම්කරුවාණන් මෙසේ ප්‍රකාශ කළා, “කවරෙකු වුවද පසුතැවිලි වී කුඩා ළදරුවෙකු මෙන් මා වෙතට පැමිණෙන්නේද, ඔහුව මම භාරගන්නෙමි.” අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා, සභාපති රසල් එම්. නෙල්සන් මෙහෙම ඉගැන්වූවා:

“වර්ධනය වීම සඳහා ප්‍රධාන සාධකය පසුතැවිලි වීමයි. නිර්මල ඇදහිල්ල අපට ගිවිසුම් මාවතේ ඉදිරියට ගමන් කරන්න ඉඩ සලසනවා.

“කරුණාකර පසුතැවිලි වීමට බය වෙන්න එපා, ඒවගේම එය ප්‍රමාද කරන්න එපා. සාතන් ඔබේ දුක්ඛිත තත්වය ගැන සතුටු වෙනවා. … ස්වභාවික මිනිසාව ඉවත් කිරීමේ සතුට අත්විඳීම අදම ආරම්භ කරන්න. ගැලවුම්කරුවාණන් සැමවිටම අපට ප්‍රේම කරන නමුත් විශේෂයෙන්ම අප පසුතැවිලි වන විට අපට ප්‍රේම කරනවා.

අපේ හදවත් මෘදු කරගෙන ස්වාමීන්වහන්සේ වෙතට පැමිණීමේ ප්‍රීතිය අත්විඳින විට, අපි “දරුවෙකු මෙන් අවනත, නිහතමානී, යටහත්, ඉවසිලිවන්ත, ප්‍රේමයෙන් පූර්ණව දරුවකු ඔහුගේ පියාණන්ට කීකරුවන්නාක් මෙන් පැමීණිමට මහත් ආශා වෙනවා.”

දෙවෙනියට, අපට නිහතමානීකම පුරුදු වෙන්න පුළුවන්.

දිනපතා පසුතැවීම අපගේ හදවත් වලට නිහතමානීකම ගෙන එනවා. අපි තමන්ගේ පියාට කීකරු වන කුඩා දරුවෙක් වගේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වෙන්න කැමතියි. එවිට අපිට හැම වෙලාවෙම ශුද්ධාත්මයාණන් අප සමඟ ඉන්නවා, ඒවගේම අපගේ හදවත් මෘදු වෙනවා.

මගේ බිරිඳ සූ සහ මම පසුගිය අවුරුදු හතරක් පුරාවට අපූරු යුවළක් හඳුනනවා. අපිට මුලින්ම ඔවුන්ව මුණගැසෙන විට, ස්වාමිපුරුෂයා සභාවේ අලුත් සාමාජිකයෙක් වූ අතර, ඔහුගේ බිරිඳ ශුභාරංචිය අධ්‍යයනය කිරීම සඳහා ධර්මදූතයින් හමුවෙමින් සිටියා. ඇයට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කිරීම සඳහා බොහෝ ධර්මදූතයින් ඇය හමුවුණා. ඇයට ශුභාරංචිය පිළිබඳ විචිත්‍රවත් සාක්ෂියක් ඇති බවත් සභාව සත්‍ය බව ඇය දැන සිටි බවත් අපිට තේරුනා. අපගේ හමුවීම් වලදී ඇයට බොහෝ විට ආත්මයාණන් දැනුණු අතර සියලු රැස්වීම්වලට ක්‍රියාශීලීව සහභාගී වුණා. ඇය කොට්ඨාශයේ අපූරු සාමාජිකයන් සමඟ කටයුතු කිරීමට ප්‍රිය කළා. කෙසේ වෙතත්, බව්තීස්මයේ ජලයට ඇතුළු වීමට කැපවීම ඇයට අපහසු වුණා. දිනක් ඇය මොරෝනි 7:43–44 කියවමින් සිටියා, එහි මෙහෙම සඳහන් වුණා:

“තවද නැවතත්, බලන්න මම නුඹලාට කියන්නෙමි ඔහුට නිහතමානිත්වය සහ හදවතේ යටහත්කමින් මිස ඔහුට ඇදහිල්ල සහ බලාපොරොත්තුව තිබිය නොහැකි වන්නේය.”

“එසේවන්නේ නම් [ඔබේ] ඇදහිල්ල සහ බලාපොරොත්තුව නිෂ්ඵලය, මක්නිසාද නිහතමානීකමත් සහ හදවතේ යටහත්කමත් මිස කිසිවක් දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිනොගන්නේය”

මෙම පද කියවීමෙන් පසු, ඇය කරන්න ඕනේ දේ තේරුම් ගත්තා. මෘදු හා නිහතමානී වීමේ තේරුම ඇය තේරුම් ගත්තා කියලා ඇය සිතුවා. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමට ඇදහිල්ල සහ බලාපොරොත්තුව ඇති කර ගැනීමට ඇගේ අවබෝධය ප්‍රමාණවත් වුණේ නැහැ. ඇයට ඇගේ මුරණ්ඩුකම සහ ඇගේම ප්‍රඥාව අත්හැරීමට සිදු වුණා. ඇය අවංක පසුතැවිල්ල මගින් නිහතමානී වීමට පටන් ගත්තා. ඇය දෙවියන්වහන්සේගේ ඇස්වල දෘෂ්ටිකෝණයෙන් නිහතමානීකම තේරුම් ගැනීමට පටන් ගත්තා. ඇය ස්වර්ගික පියාණන්වහන්සේ කෙරෙහි විශ්වාසය තියාගෙන ඇගේම හදවත මෘදු කරන ලෙස යාච්ඤා කළා. මෙම යාච්ඤා තුළින්, ස්වර්ගික පියාණන්වහන්සේට ඇය බව්තීස්ම වීමට අවශ්‍ය බව ආත්මයාණන් ඇයට සාක්ෂි දරන බව ඇයට දැනුණා.

ඔවුන් නිහතමානී වන තරමට, දෙවියන්වහන්සේගේ වචන තේරුම් ගැනීමට ඔවුන්ට හැකි වූ බවත්, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට ඔවුන්ගේ හදවත් මෘදු වූ බවත් ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම බෙදාගත්තා.

තුන්වෙනියට, අපට අපගේ ගැලවුම්කරුවාණන් කෙරෙහි බලාපොරොත්තු තබා විශ්වාස කරන්න පුළුවන්.

ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් තම හදවත මෘදු වීමට ඉඩ හැරීම ගැන නීෆායි විශිෂ්ට ආදර්ශයක් වුණා. ඔහු මෙසේ පැවසුවා, “මම ඔබවහන්සේ තුළ විශ්වාස කරමි, තවද මම සදාකාලිකව ඔබවහන්සේ තුළ විශ්වාස කරන්නෙමි. මාංසයේ හස්තය කෙරෙහි මම මාගේ විශ්වාසය තබන්නේ නැත” ඒ හා සමානව, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට දුන් එළිදරව්වකදී, ස්වාමීන්වහන්සේ මෙසේ පැවසුවා, “නුඹලාට යහපත කිරීමට—එසේය, සාධාරණව ක්‍රියා කිරීමට, යටහත්ව ඇවිද යාමට, ධර්මිෂ්ඨව විනිශ්චය කිරීමට මගපෙන්වන එම ආත්මයාණන් කෙරෙහි නුඹලාගේ විශ්වාසය තබන්න.” අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට, උන්වහන්සේ අපගේ හදවත් මෘදු කරන අතර, අපගේ පරීක්ෂාවන්, කරදර සහ පීඩාවන්හිදී අපට සහාය වෙනවා.

අපි අවංකව පසුතැවිලි වී, නිහතමානී වී, ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා රඳා සිටියහොත්, අපගේ හදවත් මෘදු වෙනවා. පසුව උන්වහන්සේ තම ආත්මය වගුරවා, ස්වර්ගයේ අභිරහස් අපට පෙන්වනවා. උන්වහන්සේ ඉගැන්වූ සියලු වචන අපි විශ්වාස කරනවා, එවිට අපගේ අවබෝධය ගැඹුරු වෙනවා.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිහතමානීකමේ අවසාන ආදර්ශය වුණා. 2 නීෆායි 31:7 හි අපි මෙහෙම කියවනවා, “එහෙත් කෙසේ වෙතත් උන්වහන්සේ ශුද්ධවන්තව සිටියත්, මාංශයට අනුව උන්වහන්සේ පියාණන්වහන්සේ අභිමුඛයෙහි උන්වහන්සේව නිහතමානී කරගන්නා බවත්, පියාණන්වහන්සේ වෙත උන්වහන්සේගේ අණ පණත් පිළිපදිමින් කීකරු වන්නාවු බව උන්වහන්සේ හට සාක්ෂි දරන්නාවු බවත්, මනුෂ්‍ය දරුවන් හට පෙන්වන සේක.” උන්වහන්සේ ශුද්ධ හා පරිපූර්ණ උනත්, පියාණන්වහන්සේ ඉදිරියෙහි තමන්වම යටහත් කරගෙන බව්තීස්ම වීමෙන් උන්වහන්සේට කීකරු වුණා.

උන්වහන්සේගේ ලෞකික ජීවිතයේ අවසානයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තිත්ත කුසලානෙන් බීමෙන් තම කැමැත්ත තම පියාණන්ට භාර දුන්නා. මෙම දුක් විඳීම උන්වහන්සේට “වේදනාව නිසා වෙව්ලීමට, සෑම රෝම කූපයකින්ම ලේ ගැලීමට, ශාරීරිකව සහ ආත්මික දෙයාකාරයෙන්ම, වේදනා විඳීමට” හේතු වුණා. “තිත්ත කුසලානෙන් බී, පසුබට නොවන” ලෙස ගැලවුම්කරුවාණන් ඉල්ලා සිටියා. “කෙසේ වෙතත්,” උන්වහන්සේ මෙසේ පැවසුවා, “එසේවුවද, මහිමය පියාණන්වහන්සේට වේවා, එමෙන්ම මම සහභාගි වී මනුෂ්‍ය දරුවන් වෙනුවෙන් මාගේ සූදානම අවසන් කළෙමි.”

සහෝදර සහෝදරියනි, අපට තෝරාගැනීමේ නිදහස ලබා දී තිබෙනවා. අපට අපගේ හදවත් දැඩි කර ගැනීමට තෝරා ගන්න පුළුවන්, නැති නම් අපගේ හදවත් මෘදු කර ගැනීමට තෝරා ගන්න පුළුවන්. අපගේ දෛනික ජීවිතයේදී, ස්වාමීන්වහන්සේගේ ආත්මය අපගේ හදවත් තුළට පැමිණ වාසය කිරීමට ආරාධනා කරන දේවල් කිරීමට අපට තෝරාගන්න පුළුවන්. මෙම තේරීම් තුළ සාමය සහ ප්‍රීතිය ඇති බව මම දන්නවා.

අපි පියාණන්වහන්සේගේ කැමැත්ත අනුගමනය කර අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමු. අපි එහෙම කරන කොට, ස්වාමීන්වහන්සේ අපට මෙහෙම පොරොන්දු වෙලා තියෙනවා, “මක්නිසාද, බලන්න, ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩිකර නොගන්නේ නම්, කිකිළියක් ඇයගේ පැටවුන් ඇයගේ පියාපත් යටතට රැස්කරගන්නාක් මෙන් මම ඔවුන්ව එක්කර ගන්නෙමි.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.