අපේ ඇස් ඉදිරිපිටම
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව, පවුල් වල, ධර්මදූතවල සහ ධර්මදූතයින් අතර, රැස්වීම් ශාලා සහ දේවමාළිගා තුළ වර්ධනය වෙමින් පවතිනවා.
සහෝදර සහෝදරියනි, ඔබ සමඟ සිටීමට ලැබීම ගැන මම ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. අපි ඔබට ආදරෙයි, අපි ඔබ ගැන සතුටුයි; ඒවගේම ඔබේ යාච්ඤාවලින් අප ආශිර්වාදිත වෙලා තිබෙනවා.
සභාපති රසල් එම්. නෙල්සන් අපගේ අවසාන සම්මන්ත්‍රණයේදී මෙහෙම කිව්වා: “අපේ ඇස් ඉදිරිපිට සිදුවෙමින් පවතින දේ ඔබට පෙනෙනවාද? මේ මොහොතේ ඇති මහිමය අපට අතපසු නොවේවා කියා මම යාච්ඤා කරනවා! ස්වාමින්වහන්සේ සැබවින්ම උන්වහන්සේගේ කාර්යය ඉක්මන් කරමින් සිටිනවා.”
උන්වහන්සේගේ කාර්යය වේගවත් කරමින් සිටිනවා. “වේගවත් කිරීම” කියන්නෙ වැදගත් වචනයක්. එය ඉක්මනින් ගමන් කිරීම, වේගය වැඩි කිරීම සහ හදිසි බවක් පවා අඟවනවා. සභාවේ වර්ධනය තුළ සහ ක්‍රිස්තුස්වහන්සේගේ සැලැස්ම තුළ, මේ වේගවත් වීම සිදුවෙමින් පවතිනවා. අපි හැමෝම එහි කොටස්කරුවන්.
1834 අප්‍රියෙල් මාසයේදී, ඔහයෝ කර්ට්ලන්ඩ්හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්, පූජකත්වය දැරූ සියල්ලන්වම වර්ග අඩි 14 ක් පමණ (4.3 m) වූ කුඩා පාසල් නිවසකට රැස් කළා. මෙම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය තුළ අපට එවැනි පාසල් නිවාස දුසිම් ගණනක් සවි කරන්න පුළුවන්, ඒවගේම තව ඉඩත් ඉතුරු වෙයි. ජෝසෆ් ස්මිත් මෙහෙම කිව්වා, “අද රාත්‍රියේ ඔබ මෙහි දකින්නේ පූජකවරුන් අතළොස්සක් පමණයි, නමුත් මෙම සභාව උතුරු හා දකුණු ඇමරිකාව පුරවනු ඇත—ලෝකයම පුරවනු ඇත.”
ඒ අනාවැකිය “අපේ ඇස් ඉදිරිපිටම” ඉටුවෙමින් තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව, ලොව පුරා සිටින අපගේ සෙමනේරි, ආයතනික පන්ති සහ විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීම් තුළ, සහ පවුල්, ධර්මදූතවල සහ ධර්මදූතයින් අතර, රැස්වීම් ශාලා සහ දේවමාළිගා තුළ වර්ධනය වෙමින් පවතිනවා.
සභාව සංඛ්‍යාවෙන් සහ බලපෑමෙන් වර්ධනය වෙද්දි, නමුත් ඊට වඩා වැදගත් ලෙස එහි සාමාජිකයන්ගේ හදවත් හා ජීවිත තුළ එය වර්ධනය වෙද්දි, මේ පොළොවේ සිටීමට ලැබීම ගැන අපි ස්තූතිවන්ත වෙනවා. අපිව හඳුන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් ලෙසයි. අපි උන්වහන්සේ ගැන, උන්වහන්සේගේ සභාව ගැන, උන්වහන්සේගේ මාර්ග ගැන සහ උන්වහන්සේගේ ගිවිසුම් මාර්ගය ගැන අපගේ සාක්ෂි බෙදාගන්නවා. අපි තමයි උන්වහන්සේගේ සෙනඟ, උන්වහන්සේ තමයි අපගේ ගැලවුම්කරුවාණන්.
සභාපති නෙල්සන් “මේ මොහොතේ තේජස” ලෙස හඳුන්වන දෙය ගැන මම පුදුම වෙනවා, ඒවගේම ස්වාමින්වහන්සේගේ කාර්යයට මාගේ ගැඹුරු ස්තූතිය මම පළ කරනවා. පුරාණයේ හා වර්තමානයේ යන කාල දෙකේම අනාවැකි ඉටුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන් වන උන්වහන්සේගේ ගෝලයන් ලෙස, නැගී සිටීමට මම අපව දිරිමත් කරනවා.
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ කාලයේ කළාක් මෙන්, “මෙහි බලව සහ එහි බලව” කියා කෑගසන ප්‍රතික්ෂේප කරන්නන් ඉන්නවා. කෙසේ වෙතත්, ඔවුන් මේ උතුම් කාර්යයේ හුදෙක් පාද සටහන් පමණයි, එය ඉදිරියටත් එහෙමයි. ජෝසෆ් ස්මිත්ගේ වචන මතක තබාගන්න: “කිසිඳු හස්තයකට මෙම කාර්යය ඉදිරියට යාම වැළැක්විය නොහැක; … නමුත් එය සෑම මහාද්වීපයකටම විනිවිද යන තෙක්, සෑම දේශගුණයකටම ගොස්, සෑම රටක්ම අතුගා දමා, සෑම කනටම හඬ නගන තුරු, දෙවියන්වහන්සේගේ අරමුණු ඉටුවන තුරු, දෙවියන්වහන්සේගේ සත්‍යය නිර්භීතව, උදාරව, හා ස්වාධීනව ඉදිරියට යනු ඇත, එවිට එම කාර්යය අවසාන බව ශ්‍රේෂ්ඨ යොහෝවාවහන්සේ පවසනු ඇත.”
මේ අවුරුද්දේ මගේ පැවරුම්වලදී, උන්වහන්සේගේ කාර්යය වේගවත් කිරීම සඳහා ස්වාමින්වහන්සේ අසල ඉදිරි පෙළ අසුනක් මට ලැබී තිබෙනවා. සභාව පෙර නොවූ විරූ වේගයකින් දේවමාළිගා ගොඩනඟමින් සිටිනවා, ඒවගේම සාමාජිකයින් වැඩි දෙනෙක්ට ස්වාමින්වහන්සේගේ ගෘහයේ නමස්කාර කිරීමට අවස්ථාවක් එමගින් ලබාදෙනවා. දෙවනුව, ධර්මදූත සේවය කියන්නෙ යහපත් එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගාලට වාර්තාගත සංඛ්‍යාවක් එක්රැස් කිරීමයි. තෙවනුව, “මේ යේසුස්වහන්සේව සොයන” අයට ඉගැන්වීමේදී බොහෝ වින්‍යාසයන් තුළ සභාවේ අධ්‍යාපනය නව ඉහළ මට්ටමක පවතිනවා.
අද සභාව තුළ සැලසුම් වෙමින්, ඉදිකෙරෙමින් හෝ ක්‍රියාකාරිත්වයේ ඇති යන විවිධ අදියරවල ඇති දේවමාළිගා 367 ක් තිබෙනවා. ඒ කුමන අරමුණක් සඳහා ද? සෑම දේවමාළිගාවකම ඒ පිළිතුර ප්‍රකාශ කර තිබෙනවා: “ස්වාමින්වහන්සේ හට ශුද්ධවන්ත බව.” දේවමාළිගාව, අපගේ ස්වර්ගයේ සිටින පියාණන්වහන්සේ අප සෑම කෙනෙකුටම ලබා දී ඇති ඉහළම ආශිර්වාද සඳහා මාර්ගය විවෘත කරනවා. සහෝදර සහෝදරියනි, අපි දේවමාළිගාවට සුදුසු ලෙස ජීවත් වෙද්දි, අපි ස්වාමින්වහන්සේගේ ගෘහයේ නමස්කාර කරද්දි සහ තිරයෙන් අනෙක් පැත්තේ සිටින අපගේ මුතුන් මිත්තන් වෙනුවෙන් දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගද්දි, අපි අපගේ ශුද්ධකම වේගවත් කරගන්නවා.
සභාපති නෙල්සන් මෙහෙම කිව්වා: “විරුද්ධවාදියාගේ ප්‍රහාර ඉතා සීඝ්‍රයෙන්, තීව්‍රතාවයෙන් සහ විවිධත්වයෙන් වැඩි වෙමින් පවතී. නිරන්තරව දේවමාළිගාවට සහභාගී වීමේ අපේ අවශ්‍යතාවය කිසිදා මෙතරම් අවශ්‍ය වී නැත. ඔබ ඔබේ කාලය ගත කරන ආකාරය ගැන යාච්ඤාපූර්වකව සිතා බලන ලෙස මම ඔබෙන් අයදිනවා.” උන්වහන්සේගේ ගෘහයේදී අපිට ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ සහභාගිත්වය සහ අතිවිශිෂ්ට සාමයක් ලබාගන්න පුළුවන්.
පසුගිය වසරේ මෙන්ඩෝසා ආර්ජන්ටිනා දේවමාළිගාවේ කැපකිරීමේ උත්සවයේ මුලසුන දැරීමට මට වරප්‍රසාද ලැබුණා. මගේ පණිවිඩයේදී, මම වැඩිහිටි මෙල්වින් ජේ. බැලාර්ඩ්ගේ 1926 අනාවැකිය ගැන සඳහන් කළා, “හරියට ඕක් ගසක් ඇකෝන් එකකින් සෙමින් වැඩෙනවාක් මෙන් යම් කාලයක් සඳහා දකුණු ඇමරිකාවේ ස්වාමින්වහන්සේගේ කාර්යය සෙමින් වර්ධනය වෙයි. එය එක දවසකින් නැඟී එන්නේ නැහැ” නමුත් දහස් ගණනක් සභාවට එක්වනු ඇති අතර දකුණු ඇමරිකාවේ ජාතීන් “සභාවේ බලයක්” බවට පත්වෙනවා.” ඒ අනාවැකිය මගේ ඇස් ඉදිරිපිටම ඉටු වෙනවා මම දැක්කා.
කුඩා එකෝන් එකක් වුණු මෙන්ඩෝසා, දැන් බලවත් ඕක් ගසක් බවට පත්ව තිබෙනවා. ඒ වර්ධනය මහාද්වීප සහ සාගර දූපත් හරහා නැවත නැවත සිදුවෙමින් පවතිනවා.
ස්වාමින්වහන්සේ තම කාර්යය ධර්මදූත වල කඩිනම් කරන ආකාරය අපට පෙනෙනවා. 2024 වන විට, ධර්මදූත 450 ක ධර්මදූතයින් 80,000 ක් සේවය කරමින් සිටිනවා. ඒවායින් තිස් හයක් අලුත් ධර්මදූත. පසුගිය වසරේ ධර්මදූත සේවය නිසා සභාවට නව සාමාජිකයින් 308,000 කට වඩා එකතු වෙලා තිබෙනවා. සංඛ්‍යාවන්ට වඩා, එක්රැස් කිරීමේ ආත්මය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙත මේ ප්‍රාණයන් ගෙන එමින් සිටිනවා.
1839 දී බ්‍රිතාන්‍ය දූපත් වලට ධර්මදූතයින් ලෙස පිටත් වූ ප්‍රේරිතවරුන් වන බ්‍රිගම් යන්ග් සහ හීබර් සී. කිම්බල් ගැන මම සිතනවා. ඔවුන් අසනීප වුණා; ඔවුන් අසනීප වූ හා අසරණ වූ පවුල් හැර ගියා. කෙසේ වෙතත්, ඒ දෙදෙනාම කරත්තයකට නැග්ගා, ඔවුන්ගේ ආදරණීයයන් පෙනි පෙනී සිටියදීම, හීබර් මෙහෙම කිව්වා: “අපි නැඟිට ඔවුන්ට ප්‍රීති ඝෝෂා කරමු.” දෙදෙනාම දෙපයින් නැගී සිටිමින්, “ජයවේවා, ඊශ්‍රායලයට ජයවේවා” කියමින් කෑ ගැසුවා.
ලීමා හි ධර්මදූත පුහුණු මධ්‍යස්ථානයේ සහ ධර්මදූත වල සිටි ධර්මදූතයින් හමු වූ විට, ස්වාමින්වහන්සේගේ සේවය සඳහා ඇති එම උද්යෝගයම පේරු, ලීමා හිදී මම දැක්කා. එය මොනතරම් දසුනක්ද! මම මගේ ඇස් ඉදිරිපිටම ඒ වේගවත් වීම දැක්කා. ලීමා නගරයේ පමණක් දැන් ධර්මදූත හතක් තිබෙනවා.
අපේ රැස්වීම අවසානයේදී, ඒ ධර්මදූතයින් මට විශේෂ පුදුමයක් සූදානම් කර තිබුණා. ඔවුන් නැගිටලා, “ඊශ්‍රායෙලයට ජයවේවා” කියමින් ප්‍රීති ඝෝෂා කළා. මට ඒ මොහොත කවදාවත් අමතක වෙන්නේ නැහැ; ඔබ සැමට එහි සිටීමට හැකිව තිබුණා නම් කියා මම ප්‍රාර්ථනා කරනවා. මගේ ඇස් ඉදිරිපිට සිටියේ ස්වාමින්වහන්සේට සේවය කිරීමට සහ උන්වහන්සේගේ පැමිණීම වේගවත් කිරීමට උපකාර කිරීමට “මේ ලෝකයේ දේවල්” පසෙක තැබූ ධර්මදූතයින්.
ලොව පුරා සිටින අපගේ සාමාජිකයින්ට සහ අපගේ ඇදහිල්ලේ නොවන අයට පවා, ස්වාමින්වහන්සේ විසින් අධ්‍යාපන අවස්ථා කඩිනම් කරන ආකාරය අපි දකිනවා. සභාවක් විදියට අපව වෙන්කර හඳුනා ගන්නා එක් දෙයක් තමයි අධ්‍යාපනය කෙරෙහි අප යොමු කරන අවධානය. නැවත පිහිටුවීමේ මුල් දිනවල ස්වාමින්වහන්සේ මෙහෙම ආඥා කළා “අධ්‍යයනයෙන් සහ ඇදහිල්ලෙන් පවා ඉගෙනීම සොයන්න.” එය අද සිදුවෙමින් පවතිනවා, ඒවගේම ඒ සඳහා “ජයවේවා” කියා කෑ ගැසීම වටිනවා.
වර්තමානයේ ලොව පුරා සිසුන් 800,000 කට වැඩි පිරිසක් සෙමනේරි සහ ආයතනික පන්ති වල ලියාපදිංචි වෙලා ඉන්නවා, ඒවගේම ඒ තමයි සභා ඉතිහාසයේ ඉහළම බඳවා ගැනීම. අපේ යෞවනයින් විවිධ ආකාරවලින් රැස්වෙනවා, උදේ පාන්දර, දිවා කාලයේ සහ සවස පන්තිවල, ඒවගේම මාර්ගගතව සහ නිවසේදී අධ්‍යයනය කිරීම දක්වා ඔවුන් රැස්වෙනවා. ඔවුන් බලවත් හා ධර්මිෂ්ඨ බලඇණියක්, ඒවගේම ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙන ගද්දි, උන්වහන්සේව අනුගමනය කරද්දි සහ උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව සාක්ෂි දෙද්දි, ඔවුන් එකිනෙකා ඒ මගින් ශක්තිමත් වෙනවා.
පසුගිය සරත් සෘතුවේ දී මම යූටා විශ්ව විද්‍යාලයේ සෙමනේරි සහ ආයතනික පන්ති වල සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් පිරුණු රැස්වීමක කතා කළා. ඔවුන්ගේ පැමිණීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැන හඳුනා ගැනීමට සහ අනුගමනය කිරීමට ඇති ඔවුන්ගේ ආශාව ගැන බොහෝ දේ පැවසුවා. ඒ සිසුන්ට මම ලබාදුන් පණිවිඩය පැහැදිලියි: ස්වාමින්වහන්සේටත් සමාන කාලයක් දෙන්න. සැබෑ, උසස් ඉගෙනීමක්, ඒ කියන්නෙ “ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්” පිළිබඳ ඉගෙනීමක් සමඟ, ඔවුන්ගේ අධ්‍යයනයන් සමබර කර ගැනීමට මම ඔවුන්ට උපදෙස් දුන්නා.
අද මම ඔබ හැමෝගෙන්ම ඉල්ලනෙත් ඒකමයි: ඔබේ කළ යුතු ලැයිස්තුවේ ඇති ඕනෑම දෙයක්, පෞද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය, එන්න, මා අනුගමනය කරන්න යන පවුලේ අධ්‍යයනය, යාච්ඤාව, සභාවේ කැඳවීම්, දේවසේවය, සක්‍රමේන්තුවට සහභාගී වීම, දේවමාළිගාවේ නමස්කාර කිරීම සහ දෙවියන්වහන්සේගේ දේවල් මෙනෙහි කිරීම සඳහා ස්වාමින්වහන්සේට අමතර කාලයක් නොවේ, නමුත් ඒවාට සමාන කාලයක් දෙන්න. අපගේ ස්වාමීන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් මෙහෙම කියලා තිබෙනවා, “මා ගැන ඉගෙනගන්න; … තවද නුඹලාගේ ආත්ම වලට විවේකය ලැබෙන්නේය.” උන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේව පිළිගන්න. ඒවගේම උන්වහන්සේට සමාන කාලයක් දෙන්න.
සභාපති නෙල්සන් මෙහෙම කිව්වා: ‘’ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදෙන ලෙස මම ඔබෙන් අයදිනවා. ඔබේ කාලයෙන් සාධාරණ කොටසක් උන්වහන්සේට ලබාදෙන්න. ඔබ එසේ කරන විට, ඔබගේ ධනාත්මක අධ්‍යාත්මික ජවයට කුමක් සිදුවේදැයි බලන්න.”
සෙමනේරි, ආයතන පන්ති සහ සභාවේ විශ්ව විද්‍යාල වල එම ජවය වර්ධනය වන ආකාරය අපට පේනවා. මෙම පරිසරයන් තුළ, ස්වාමින්වහන්සේ ප්‍රමුඛතාවයක් වෙලා තිබෙනවා. එමනිසා උන්වහන්සේ අප සෑම කෙනෙකුගේම ජීවිතයේ සිටිය යුතුයි.
සභාවේ අධ්‍යාපනයේ වර්ධනය වන පරාසය පෙන්නුම් කරන තවත් ක්ෂේත්‍රයක් තමයි ලොවපුරා ඇති BYU–Pathway. ලොව පුරා, ලියාපදිංචිය 75,000 දක්වා ලඟා වී තිබෙනවා, ඒවගේම එය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. බොහෝ දෙනෙක් සාමාජිකයන්, ඒවගේම තුනෙන් එකකට වඩා අප්‍රිකාවේ සිටින අය. Pathway කියන්නේ අධ්‍යාපනයට ප්‍රවේශ වීමක්. මේ පාඨමාලා සම්පූර්ණ කිරීමෙන්, රැකියා සඳහා ප්‍රවේශය ලැබෙනවා, රැකියා සඳහා ප්‍රවේශය කියන්නෙ පවුල් සඳහා වඩා හොඳ ජීවිතයක් සහ ස්වාමින්වහන්සේට සේවය කිරීමට වැඩි අවස්ථාවන් ලැබෙනවා.
මම උගන්ඩාවේ ස්ටේක නායකයින් හමුවූ විට, ඒ මුළු ස්ටේක සභාපතිත්වයම BYU–Pathway හි ලියාපදිංචි වෙලා තිබෙන බව මම දැනගත්තා. අපි ලෞකිකව හා අධ්‍යාත්මිකව වඩාත් සූදානම් වන තරමට, අපට සතුරාගේ කපටි ප්‍රහාර මැඩපවත්වාගන්න පුළුවන්. පේත්‍රැස්ගේ වචන මතක තබාගන්න: “සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නෝය.”
ශුභාරංචියේ සුභ ආරංචිය මධ්‍යයේ, ඇදහිල්ලේ අභියෝග, සැකයන් සහ පිළිතුරු නොමැති බව පෙනෙන ප්‍රශ්න තිබෙන, අරගල කරන අය සිටින බව මම හඳුනාගත්තා. සහෝදර සහෝදරියනි, පිළිතුර යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. උන්වහන්සේගෙන් පටන් ගන්න. ඔබේ ජීවිතය තුළ උන්වහන්සේගේ හස්තය සොයන්න. උන්වහන්සේට සවන් දෙන්න. දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වන උන්වහන්සේට පමණක් කළ හැකි වූ වන්දිගෙවීමේ පූජාව සම්පූර්ණ කරමින්, උන්වහන්සේ “ඔබේ සිත කැළඹෙන්නට ඉඩ නොදෙන්න,” කියා ගෙත්සෙමනට පෙර, යෙරුසලමේ වීදි හරහා තම කුරුසිය රැගෙන යාමට පෙර, ගොල්ගොතාවට පෙර, තම ගෝලයන්ට උන්වහන්සේගේ අවසාන පැයවලදී පැවසුවා.
උන්වහන්සේ තේරුම් ගන්නා බව දැනගන්න. අපගේ සියලු පාප, වැරදි, දුක්ඛිත තත්වයන් සහ ඉතා නරක දවස් උන්වහන්සේ තමන්වහන්සේ මතට ගත්තා, උන්වහන්සේ එසේ කළේ අපට අපගේ පියාණන්වහන්සේ සමඟ සදාකාලිකව ස්වර්ගයේ ජීවත් වීමට හැකි වනු පිණිසයි. උන්වහන්සේ මෙහෙම කිව්වා, “සෑම සිතුවිල්ලකදීම මා දෙස බලන්න; සැක නොකරන්න, බිය නොවන්න.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට ඔබව ඔසවා ගන්න පුළුවන් ඒවගේම ඔබේ තුවාල වූ ආත්මය සුව කරන්න පුළුවන්. උන්වහන්සේව විශ්වාස කරන්න එවිට ඔබ “උන්වහන්සේගේ ප්‍රේමයේ දෑත්” වෙත නැවත පැමිණීම වේගවත් කරගනී.
අපගේ ජීවමාන අනාගතවක්තෘවරයාගේ වචන මම නැවතත් අවධාරණය කරන්නම්: “අපේ ඇස් ඉදිරිපිට සිදුවෙමින් පවතින දේ ඔබට පෙනෙනවාද? මේ මොහොතේ ඇති මහිමය අපට අතපසු නොවේවා කියා මම යාච්ඤා කරනවා! ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කාර්යය ඉක්මන් කරමින් සිටිනවා.” අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම සඳහා අපි සූදානම් වන විට, අපගේ කාලයේ ගෝලයන් ලෙස අපි, “ඊශ්‍රායලයට ජයවේවා” කියා කෑ ගසමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.