ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අවසාන ගැලවීම සපයයි
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


14:15

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අවසාන ගැලවීම සපයයි

අපි ලෝකයේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරෙන විට, උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් උන්වහන්සේ ජීවිතයේ කුණාටු වලින් අපව ගලවා ගන්නවා.

මේ ජීවිතයේ අප මුහුණ දෙන පරීක්ෂාවන්ගෙන් අවසාන ගැලවීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම මගින් සපයනවා. පසුගිය වසරේ අගභාගයේදී සභාපති රසල් එම්. නෙල්සන් කැස්පර් වයෝමිං දේවමාළිගාව කැපකිරීමට මට පැවරුවා. එය ගැඹුරු, චිත්තවේගීය සහ අධ්‍යාත්මික අත්දැකීමක් වුණා. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේගේ දරුවන් බේරාගැනීමේදී දේවමාළිගාවන් ඉටු කරන කාර්යභාරය එය පැහැදිලි අවධානයකට ගෙන ආවා.

කැස්පර් වයෝමිං දේවමාළිගා දිස්ත්‍රික්කයේ කොටස් අතරට 1847 සහ 1868 අතර පසුදවස්වල ශුද්ධවන්තයන්ගේ පුරෝගාමීන් විසින් භාවිතා කරන ලද ගොඩබිම් මංපෙතෙහි කොටසක් ඇතුළත් වෙනවා. දේවමාළිගාවේ කැපකිරීම සඳහා සූදානමක් ලෙස, කැස්පර් අසල ප්ලැට් ගඟ දිගේ සහ සෝල්ට් ලේක් නගරය දක්වා ගමන් කළ මංපෙතෙහි ඉතිහාසය මම නැවත කියෙව්වා. මෙම මංපෙත බටහිර සංක්‍රමණිකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මංසන්ධියක් වී තිබුණා. මගේ ප්‍රධාන අවධානය යොමු වූයේ මංපෙතේ ගමන් කළ 60,000 කට අධික පසුදවස්වල ශුද්ධවන්තයන්ගේ පුරෝගාමීන් වෙතයි.

අපේ පුරෝගාමීන්ගෙන් බොහෝ දෙනෙක් කරත්තයෙන් පැමිණියත්, 3,000 ක් පමණ අත් කරත්ත පිරිස් 10 ක කණ්ඩායම් ලෙස ගමන් කර තිබුණා. මෙම අත් කරත්ත කණ්ඩායම් අටක් කැපී පෙනෙන සාර්ථකත්වයක් සහ අවම මරණ සංඛ්‍යාවක් සමඟින් දැවැන්ත ගමනක් ගියා. 1856 විලී සහ මාටින් අත් කරත්ත කණ්ඩායම් මේ අතරින් විශේෂ වුණා.

භයානක කාලගුණික තත්ත්වයන් ආරම්භ වූ කාලයේ සිට මම විලී සහ මාටින් අත් කරත්ත කණ්ඩායම් වල ගිණුම් සමාලෝචනය කළා. ස්වීට්වෝටර් ගඟ, මාටින්ස් කෝව්, රොකී රිජ් සහ රොක් ක්‍රීක් හොලෝ තරණය කිරීමේදී ඔවුන් මුහුණ දුන් අභියෝග පිළිබඳව මම හොඳින් දැනුවත් වුණා.

හිමේ සිටින අත් කරත්ත පුරෝගාමීන්.

ඇල්බින් වෙසෙල්කා විසින්, Between Storms [කුණාටු අතරමැද]

කැපකිරීමට පෙර මම කැස්පර් දේවමාළිගාව තුළට ගිහින් තිබුණේ නෑ. මම ආලින්දයට ඇතුළු වුණාම, මගේ අවධානය වහාම යොමු වූයේ Between Storms [කුණාටු අතර] නම් අත් කරත්තයක මුල් සිතුවම වෙතයි. මෙම සිතුවම පැහැදිලිවම සිදුවී ඇති ඛේදවාචක නිරූපණය කිරීමට අදහස් කර තිබුණේ නැහැ. මම ඒ දෙස ඕනෑකමින් බලන විට, මට මෙසේ සිතුනා, “මේ සිතුවම නිවැරදියි; අත් කරත්ත පුරෝගාමීන්ගෙන් අතිමහත් බහුතරයක් ඛේදවාචක අත්විඳලා නැහැ.“ මේකත් සාමාන්‍යය ජීවිතේ වගේමයි කියලා හිතා නොගෙන සිටින්න මට බැරි වුණා. සමහර වෙලාවට අපි කුණාටු අතරත්, සමහර වෙලාවට වලාකුළු සහ හිරු එළිය අතරත් මැදිව සිටිනවා.

ස්වීට්වෝටර් ගඟ.

ජිම් විල්කොක්ස් විසින්, Heaven’s Portal [ස්වර්ගයේ ද්වාරය]

අනෙක් බිත්තියේ Heaven’s Portal [ස්වර්ගයේ ද්වාරය] ලෙස නම් කර ඇති මුල් සිතුවම දෙසට හැරුණු විට, සන්සුන් හා පැහැදිලි ස්වීට්වෝටර් ගංගාව ගලා යන “යක්ෂයාගේ දොරටුව” ලෙස හැඳින්වෙන මෙම සුන්දර ගිම්හාන සිතුවම, එම භයානක ශීත සමයේදී පුරෝගාමීන් මුහුණ දුන් අභියෝග පමණක් නොව, ස්වාමීන්වහන්සේගේ මැවිල්ලේ සුන්දරත්වය ඉදිරිපත් කරන බව මට වැටහුණා.

ඊට පස්සේ මම ඉස්සරහා බැලුවා, නිර්දේශ මේසය පිටුපසින්, ගැලවුම්කරුවාණන්ගේ ලස්සන චිත්‍රයක් දැක්කා. මෙය වහාම කෘතඥතාවයේ අතිමහත් හැඟීම් ඇති කළා. මහා සුන්දරත්වයෙන් පිරි ලෝකයක, දැවැන්ත අභියෝගත් තියෙනවා. අපි ලෝකයේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරෙන විට, පියාණන්වහන්සේගේ සැලැස්මට අනුකූලව උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් උන්වහන්සේ ජීවිතයේ කුණාටු වලින් අපව ගලවා ගන්නවා.

මට නම්, පිවිසුම අපට උත්කර්ෂවත් කිරීමේ නියෝග ලබා ගැනීමට, පූජනීය ගිවිසුම් ඇති කර ගැනීමට සහ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ ආශිර්වාද සම්පූර්ණයෙන්ම පිළිගැනීමට සහ අත්විඳීමට ඉඩ සලසන දේවමාළිගා නියෝග කාමර සඳහා පරිපූර්ණ සූදානමක් වෙනවා. පියාණන්වහන්සේගේ සතුට පිළිබඳ සැලැස්ම පදනම් වී ඇත්තේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ ගැලවීම මතයි.

මේ පුරෝගාමී අත්දැකීම පසුදවස්වල ශුද්ධවන්තයන්ට අසහාය ඓතිහාසික සම්ප්‍රදායක් සහ බලවත් සාමූහික අධ්‍යාත්මික උරුමයක් සපයනවා. සමහරුන්ට, මිසුරි සහ නාවූ යන දෙකෙන්ම බලහත්කාරයෙන් පලවා හැරීමෙන් පසු සංක්‍රමණය වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පැවතුණා. අනෙක් අයට, එය ආරම්භ වූයේ සභාපති බ්‍රිගම් යන්ග් විසින් සංක්‍රමණය වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම සඳහා අදහස් කරන අරමුණින් අත් කරත්ත සැලැස්ම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි. කරත්ත සහ ගොනුන්ට වඩා අත් කරත්තවල මිල ගොඩක් අඩුයි.

එංගලන්තයේ ධර්මදූතයෙකු වන මිලන් ඇට්වුඩ් පැවසුවේ අත් කරත්ත සැලැස්ම නිවේදනය කළ විට, “එය වියළි පිදුරුවල ගින්නක් මෙන් දිව ගිය අතර, දුප්පත් ශුද්ධවන්තයන්ගේ හදවත් ප්‍රීතියෙන් හා ප්‍රීතියෙන් පිපිරී ගිය බවයි.” බොහෝ දෙනෙක් “කඳුකරයේ තම සහෝදර සහෝදරියන් සමඟ එක්වීමේ වරප්‍රසාදය ලබා ගැනීම සඳහා දිවා රෑ නොබලා යාච්ඤා කර නිරාහාරව හිඳ තිබුණා.”

අත් කරත්ත වල ගිය ශුද්ධවන්තයන්ගෙන් බොහෝ දෙනෙක් දුෂ්කරතාවන්ට මුහුණ දුන් නමුත් ප්‍රධාන අහිතකර සිදුවීම් වළක්වා ගෙන තිබුණා. නමුත් අත් කරත්ත සමූහයන් දෙකක් වන විලී කණ්ඩායම සහ මාටින් කණ්ඩායම් සාගින්නට සහ ශීත කාලගුණයට නිරාවරණය වෙමින් බොහෝ මරණ අත්වින්දා.

මෙම සංචාරකයින්ගෙන් බොහෝ දෙනෙක් 1856 මැයි මාසයේදී එංගලන්තයේ ලිවර්පූල් සිට නැව් දෙකකින් යාත්‍රා කළා. ඔවුන් ජුනි සහ ජූලි මාසවලදී අයෝවා නගරයේ අත් කරත්ත සකස් කරන ස්ථානයට පැමිණියා. අනතුරු ඇඟවීම් නොතකා, සමූහයන් දෙකම ඒ වාරයේ ඕනෑවට වඩා ප්‍රමාදව සෝල්ට් ලේක් නිම්නයට පිටත් වුණා.

මෙම සමූහයන් වල අනතුරුදායක තත්ත්වය පිළිබඳව සභාපති බ්‍රිගම් යන්ග් මුලින්ම දැනුවත් වූයේ 1856 ඔක්තෝම්බර් 4 වන දිනයි. ඊළඟ දවසේ ඔහු සෝල්ට් ලේක් නගරයේ ශුද්ධවන්තයන් ඉදිරියේ සිටගෙන මෙසේ පැවසුවා, “අපේ සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් අත් කරත්ත සමඟ තැනිතලාවේ සිටිනවා, … ඔවුන් මෙහි ගෙන ආ යුතු වෙනවා; ශීත කාලය ආරම්භ වීමට පෙර අපි ඔවුන්ට ආධාර යැවිය යුතු වෙනවා.”

ඔහු සභානායකවරුන්ගෙන් කොටළු කණ්ඩායම් 60ක්, ගැල් 12ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සහ පිටි ටොන් 12ක් (10,886 kg) ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර, “ගිහින් තැනිතලාවේ සිටින ඒ මිනිසුන්ව දැන්ම ගෙනෙන්න” යනුවෙන් ප්‍රකාශ කළා.

විලී සහ මාටින් අත් කරත්ත සමූහයන්වල පුරෝගාමීන් සංඛ්‍යාව ඒකාබද්ධව 1,100 ක් පමණ වුණා. මෙම වටිනා ශුද්ධවන්තයන්ගෙන් 200 ක් පමණ මාර්ගය දිගේ මිය ගියා. කාලීන ගලවා ගැනීමක් සිදු නොවන්නට, තවත් බොහෝ දෙනෙකු මිය යාමට ඉඩ තිබුණා.

පළමු ගලවා ගන්නන් සෝල්ට් ලේක් නගරයෙන් පිටව ගොස් සති දෙකකට පමණ පසු ශීත කුණාටු ආරම්භ වූණා. කුණාටු ආරම්භ වීමෙන් පසු ඇති වූ විනාශකාරී අභියෝග පිළිබඳව විලී සහ මාටින් සමුහයන් වල සාමාජිකයින්ගේ වාර්තා විස්තර කරනවා. ගලවාගැනීමේ කණ්ඩායම් පැමිණි විට ඇති වූ මහත් ප්‍රීතියද මෙම වාර්තාවලින් නිරූපණය වෙනවා.

පැමිණීමේ දර්ශනය විස්තර කරමින් මේරි හරන් මෙසේ පැවසුවා, “පිරිමින්ගේ කම්මුල් දිගේ කඳුළු ගලා ගිය අතර, දරුවන් ප්‍රීතියෙන් නැටුවා. මිනිස්සුන්ට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් වුණු ගමන්, හැමෝම හිමේ දණ ගහලා දෙවියන්වහන්සේට ස්තුති කළා.”

දින දෙකකට පසු, විලී සමූහයට මාර්ගයේ දුෂ්කරම කොටස වන රොකී රිජ් හරහා සීතල කුණාටුවක් මැදින් ගමන් කිරීමට සිදු වුණා. ඔවුන්ගෙන් අන්තිමයා පසුදින උදෑසන 5:00 වන තෙක් කඳවුරට ළඟා උනේ නැහැ. දහතුන් දෙනෙක් මිය ගිය අතර පොදු සොහොනක ඔවුන්ව තැන්පත් කරනු ලැබුවා.

නොවැම්බර් 7 වන දින, විලී සමූහය සෝල්ට් ලේක් නිම්නයට ළඟා වෙමින් සිටියද, එදින උදෑසන, තවත් මරණ තුනක් සිදුවුණා. දින දෙකකට පසු, විලී සමූහය අවසානයේ සෝල්ට් ලේක් වෙත ළඟා වූ අතර, එහිදී ඔවුන්ට අපූරු පිළිගැනීමක් ලැබුණු අතර ශුද්ධවන්තයන්ගේ නිවෙස්වලට ඔවුන්ව පිළිගනු ලැබුවා.

එදිනම, මාටින් සමූහය තවමත් සැතපුම් 325ක් (523 km) පසුපසින් ගමන් කරමින් සිටි අතර, සීතලෙන් සහ ප්‍රමාණවත් ආහාර නොමැතිකමෙන් දිගටම පීඩා වින්දා. දින කිහිපයකට පෙර, ඔවුන් ස්වීට්වෝටර් ගඟ තරණය කර දැන් මාටින්ස් කෝව් ලෙස හඳුන්වන ස්ථානයට ළඟා වූ අතර, එහිදී ඔවුන් බලාපොරොත්තු වූයේ කාලගුණික විපර්යාසයන්ගෙන් ආරක්ෂාව ලැබීමයි. පුරෝගාමීන්ගෙන් එක් අයෙක් මෙසේ පැවසුවා, “එය ගවේෂණයේ නරකම ගංගා තරණයයි.” එවකට වයස අවුරුදු 17 ක් වූ මගේ සීයා වන ඩේවිඩ් පැටන් කිම්බල් වැනි සමහර ගලවාගන්නන්—ඔහුගේ තරුණ මිතුරන් වන “ජෝර්ජ් ඩබ්ලිව්. ග්‍රාන්ට්, ඇලන් හන්ටින්ටන්, ස්ටෙෆන් ටේලර් සහ අයිරා නෙබෙකර්”—සමඟ පැය ගණනක් සීතල ජලයේ ගත කරමින්, ස්වීට්වෝටර් හරස් මාර්ගය සෑදීමට සමාගමට වීරෝදාර ලෙස උදව් කළා.

මෙම සිදුවීමට බොහෝ අවධානයක් ලැබී ඇතත්, ගලවා ගත් අය ගැන මම වැඩි විස්තර දැනගත් විට, ඔවුන් සියල්ලෝම අනාගතවක්තෘවරයා අනුගමනය කරමින් අතරමං වූ ශුද්ධවන්තයන් බේරා ගැනීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව මට වැටහුණා. සියලු ගලවාගත් අය මෙන්ම සංක්‍රමණිකයින් ද වීරවරයන්.

ඔවුන්ගේ කතාව අධ්‍යයනය කරන විට, සංක්‍රමණිකයින් අතර ඇති වටිනා සබඳතා සහ දිගුකාලීන සදාකාලික දැක්ම මම අගය කළා. ජෝන් සහ මරියා ලින්ෆර්ඩ් සහ ඔවුන්ගේ පුතුන් තිදෙනා විලී සමූහයේ සාමාජිකයන්. පළමු ගලවාගැනීමේ කණ්ඩායම් පැමිණීමට පැය කිහිපයකට පෙර ජෝන් මිය ගියා. ඔවුන් ගමන සාර්ථක කර ගැනීම ගැන තමා සතුටු වන බව ඔහු මරියාට පවසා තිබුණා. “සෝල්ට් ලේක් වෙත ළඟා වීමට මම ජීවත් වෙන එකක් නැහැ,” ඔහු පැවසුවා, “නමුත් ඔබ සහ පිරිමි ළමයින්ට හැකි වෙයි, අපගේ පිරිමි ළමයින්ට සයන්හි හැදී වැඩී ඔවුන්ගේ පවුල් ඇති දැඩි කරන්නට හැකි නම්, අප අත්විඳි සියල්ල ගැන මම පසුතැවෙන්නේ නැහැ.”

සභාපති ජේම්ස් ඊ. ෆවුස්ට් මෙම අපූරු සාරාංශය ලබා දුන්නා: “අත් කරත්ත පුරෝගාමීන්ගේ වීරෝදාර උත්සාහයෙන්, අපි ශ්‍රේෂ්ඨ සත්‍යයක් ඉගෙන ගන්නවා. සියල්ලන්ම පිරිපහදු කරන්නෙකුගේ ගින්නක් හරහා යා යුතු අතර, අපගේ ජීවිතයේ සුළු සහ නොවැදගත් දේ බොර වගේ දිය වෙලා අපේ ඇදහිල්ල දීප්තිමත්, නොවෙනස් සහ ශක්තිමත් කරන්න පුළුවන්. හරි දේ කිරීමට සහ ඇදහිලිවන්තවන්තව සිටීමට අවංකව උත්සාහ කරන අය ඇතුළුව, සෑම කෙනෙකුටම සම්පූර්ණ සන්තාපයක්, තැවුලක් සහ බොහෝ විට සිත් වේදනාවක් ඇති බව පෙනෙනවා. එහෙත් මෙය දෙවියන්වහන්සේ සමඟ දැන හඳුනා ගැනීමට පවිත්‍ර කිරීමේ කොටසක්.”

උන්වහන්සේගේ සදාකාලිකත්වය හැඩගැස්වීමේ වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැඟිටුවීමේදී, ගැලවුම්කරුවාණන් සැමට “මරණයට ඉහලින් ජයග්‍රහණය ලැබූ සේක, මරණයේ බැමි බිඳ දැමූ සේක.” පාපයන් වලට පසුතැවිලි වූ අය සඳහා, උන්වහන්සේ “ඔවුන්ගේ අයුතුකම්ද තවද පාපයන්ද දරාගන්නා ලදුව ඔවුන්ව මුදවා ගෙන තවද සධාරණත්වයේ ඉල්ලීම තෘප්තිමත් කරනු ලැබූ සේක.”

වන්දිගෙවීම නොමැතිව, අපට පාපයෙන් හා මරණයෙන් ගැලවීමට බැහැ. අපගේ පරීක්ෂාවන්හිදී පාපයට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ හැකි අතර, ජීවිතයේ විපත්ති වැරදි, නරක තීරණ, අන් අයගේ නපුරු ක්‍රියා සහ අපගේ පාලනයෙන් බැහැර බොහෝ දේවලින් සංකීර්ණ වෙනවා.

මගේ ශුභාරංචිය දේශනා කරන්න හි මෙසේ උගන්වනවා: “අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත සහ උන්වහන්සේගේ වන්දිගෙවීම මත රඳා සිටින විට, අපගේ අභියෝග, අසනීප සහ වේදනාවන් විඳදරාගැනීමට උන්වහන්සේට අපට උපකාර කරන්න පුළුවන්. අපට ප්‍රීතිය, සාමය, සහ සැනසීමෙන් පූර්ණ වෙන්නට පුළුවන්. ජීවිතය පිළිබඳ අසාධාරණ සියල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් නිවැරදි කරන්නට පුළුවන්.”

මෙම පාස්කු සමයේදී, අපගේ අවධානය යොමු වන්නේ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය වෙතයි. බොහෝ දෙනෙකුට අඳුරු හා නීරස බවක් පෙනෙන කාලයක, මේ වන්දිගෙවීම මගින් බලාපොරොත්තුව සහ ආලෝකය සපයනවා. සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි මෙසේ ප්‍රකාශ කළා, “මුළු ඉතිහාසයම පරීක්ෂා කළ විට, … මෙම කරුණාවේ ක්‍රියාව තරම් අපූරු, තේජාන්විත, අතිමහත් දෙයක් [තවත්] නැහැ.”

අපේ කාලයට විශේෂයෙන් අදාළයි කියලා මම සිතන නිර්දේශ තුනක් මම බෙදා ගන්නම්.

පළමුවෙන්ම, ශාරීරික හා විශේෂයෙන් අධ්‍යාත්මික අභියෝගවලින් අන් අයව ගලවා ගැනීමට අපට කරන්න පුළුවන් දේ කිරීමේ වැදගත්කම අවතක්සේරු කරන්න එපා.

දෙවනුව, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම කෘතඥතාවයෙන් පිළිගන්න. ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන අතරතුරේදීත් අපි සියලු දෙනාම ප්‍රීතිය හා සතුට විදහා දැක්වීමට උත්සාහ කළ යුතු වෙනවා. අපගේ ඉලක්කය විය යුත්තේ මාර්ගයේ හිරු එළිය වැටෙන පැත්තේ ශුභවාදීව ජීවත් වෙන එකයි. මගේ වටිනා සහකාරිය වන මේරි ඇයගේ මුළු ජීවිත කාලය පුරාම මෙය කරන ආකාරය මම දැක තිබෙනවා. වසර ගණනාවක් පුරා අපි ගැටළු වලට මුහුණ දුන් විට පවා, ඇයගේ දීප්තිමත්, උසස් කිරීමේ ප්‍රවේශය මම අගය කර තිබෙනවා.

මගේ තුන්වන උපදෙස තමයි ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම ගැන ඇදහිලිවන්තව මෙනෙහි කිරීමට ස්ථාවර කාලයක් වෙන් කරන එක. අපගේ පෞද්ගලික ආගමික වතාවත්වලදී මෙය කිරීමට බොහෝ ක්‍රම තිබෙනවා. කෙසේ වෙතත්, සක්‍රමේන්තු රැස්වීමට පැමිණීම සහ සක්‍රමේන්තුවට සහභාගී වීම විශේෂයෙන් වැදගත් වෙනවා.

හැකි සෑම විටම දේවමාළිගාවකට නිතිපතා පැමිණීම ද ඒ හා සමානව වැදගත් වෙනවා. දේවමාළිගාව ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම සහ එය පරදවන දේ පිළිබඳ අඛණ්ඩ මතකයක් සපයනවා. ඒවගේම, ඊටත් වඩා වැදගත් දෙයක් තමයි, දේවමාළිගාවට පැමිණීම මගින් අපගේ මියගිය ආදරණීයයන්ට සහ ඈතින් ඥාති වෙන මුතුන් මිත්තන්ට අධ්‍යාත්මික ගැලවීමක් ලබා දීමට අපට ඉඩ සලසනවා.

අපගේ අවසාන සම්මන්ත්‍රණයේදී සභාපති රසල් එම්. නෙල්සන් මෙම මූලධර්මය අවධාරණය කරමින් මෙසේ පැවසුවා, “[දේවමාළිගාවේ] ආශිර්වාද … ස්වාමීන්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට උපකාරී වන ජනතාවක් සූදානම් කිරීමට උපකාරී වෙනවා!”

පෙර පරම්පරාවල කැපකිරීම් සහ ආදර්ශයන් අප කිසිදා අමතක නොකළ යුතුයි, නමුත් අපගේ ප්‍රශංසාව, අගය කිරීම සහ නමස්කාරය ලෝකයේ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය කෙරෙහි කේන්ද්‍රගත විය යුතුයි. අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් සිදු කරන ලද වන්දිගෙවීම පියාණන්වහන්සේගේ සතුට පිළිබඳ සැලැස්මේ යතුර බවට මම සාක්ෂි දරනවා. උන්වහන්සේ ජීවත් වන අතර උන්වහන්සේගේ සභාවට මගපෙන්වනවා. මේ ජීවිතයේ අප මුහුණ දෙන පරීක්ෂාවන්ගෙන් අවසාන ගැලවීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම මගින් සපයනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. 2024 නොවැම්බර් 24 වන දින කැස්පර් වයෝමිං දේවමාළිගාව කැප කරන ලදී.

  2. මම ඉතා කුඩා කාලයේදී විලී සහ මාටින් සමූහයන් සහ ඔවුන් මුහුණ දුන් ඛේදවාචක පිළිබඳව දැනගත්තා. මගේ සීයා වන ඩේවිඩ් පැටන් කිම්බල්, මෙම ශුද්ධවන්තයන් බේරා ගැනීම සඳහා සභාපති බ්‍රිගම් යන්ග් යැවූ සෝල්ට් ලේක් නිම්නයේ කණ්ඩායමේ කෙනෙකි. (බලන්න Saints: The Story of the Church of Jesus Christ in the Latter Days, vol. 2, No Unhallowed Hand, 1846–1893 [2020], 237.)

  3. ඇල්බින් වෙසෙල්කා විසින්,Between Storms [කුණාටු අතරමැද], කැස්පර් වයෝමිං දේවමාළිගාවේ මුල් සිතුවම (බලන්න “Casper Wyoming Temple Open House Commences,” Newsroom, Aug. 26, 2024, newsroom.ChurchofJesusChrist.org).

  4. “Thru cloud and sunshine, Lord, abide with me!” (“Abide with Me!,” Hymns, no. 166).

  5. ජිම් විල්කොක්ස් විසින්, Heaven’s Portal [ස්වර්ගයේ ද්වාරය] කැස්පර් වයෝමිං දේවමාළිගාවේ මුල් සිතුවම(බලන්න “Casper Wyoming Temple Open House Commences,” newsroom.ChurchofJesusChrist.org).

  6. ජෝසප් බ්‍රිකී විසින්, Risen Hope [නැවත නැඟිටුවනු ලැබූ බලාපොරොත්තුව], මුල් සිතුවමක උසස් තත්ත්වයේ මුද්‍රිත පිටපතක්, (බලන්න “Casper Wyoming Temple Open House Commences,” newsroom.ChurchofJesusChrist.org).

  7. බලන්න William G. Hartley, “The Place of Mormon Handcart Companies in America’s Westward Migration Story,” The Annals of Iowa, Spring/Summer 2006, 107–9.

  8. Millen Atwood, “Account of His Mission,”Deseret News, Nov. 26, 1856, 300; cited in Andrew D. Olsen, and Jolene S. Allphin, Follow Me to Zion: Stories from the Willie Handcart Pioneers (2013), xi.

  9. මාටින් අත් කරත්ත සමූහය අසල ගමන් කළ හොජෙට්ස් සහ හන්ට් වැගන් සමූහය අතර ඔවුන්වද බේරා ගැනීමටද අවශ්‍ය වුණා.

  10. විලී සමාගමේ බොහෝ දෙනෙක් 1856 මැයි 4 වන දින තෝන්ටන් නෞකාවෙන් එංගලන්තයේ ලිවර්පූල් වෙතින් පිටත් වූහ. මාටින් සමාගමේ බොහෝ දෙනෙක් 1856 මැයි 25 වන දින එංගලන්තයේ ලිවර්පූල් සිට හොරයිසන් නෞකාවෙන් පිටත් වූහ.

  11. බලන්න “Handcart Camp Dedicated in Iowa as Historic Site,” Church News, Aug. 9, 1980, 3, 5.

  12. Brigham Young, “Remarks,” Deseret News, Oct. 15, 1856, 252; punctuation modernized.

  13. Brigham Young, “Remarks,” 252.

  14. බලන්න Olsen and Allphin, Follow Me to Zion, 217.

  15. Mary Hurren, in Olsen and Allphin, Follow Me to Zion, 131.

  16. 1994 ජූලි 23 වන දින, සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි රොක් ක්‍රීක් හොලෝව් ස්මාරකය කැප කළ අතර රොකී රිජ් හරහා ගමනේදී මියගිය විශ්වාසවන්ත ශුද්ධවන්තයන්ට උපහාර දැක්වූවා (බලන්න Julie Dockstader Heaps, “Trail of Handcart Pioneers Sanctified by Sacrifice,” Church News, July 30, 1994, 8–9, 11). කැපකිරීමේ උත්සවයට සභාපති රොබට් ස්කොට් ලොරිමර් සභාපති හින්ක්ලි සමඟ එක්වුණා. රිවර්ටන් වයෝමිං ස්ටේක් හි ස්ටේක සභාපති ලෙස, ඛේදවාචකය අත්විඳින්නන් සඳහා ඓතිහාසික හා අධ්‍යාත්මික ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සහ අධීක්ෂණය කිරීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා.

  17. බලන්න James G. Willie emigrating company journal, Nov. 7, 1856, Church History Library, Salt Lake City.

  18. John Jaques, “Some Reminiscences,” Salt Lake Daily Herald, Dec. 15, 1878, 1.

  19. Saints, 2:237. මගේ සීයා, ඩේවිඩ් පැටන්ගේ පුත් ක්‍රොසියර්, මට වැදගත් පාඩම් ඉගැන්නුවා. දාවිත් අනාගතවක්තෘවරයා අනුගමනය කරන බවත්, අපේ කාලයේ අප අනාගතවක්තෘවරයාගේ උපදෙස් අනුගමනය කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.

  20. John Linford, in Golden C. Linford, Linford Family Heritage (1995), 214; see also Val Parrish, “President’s Message,” Pioneer, vol. 71, no. 3 (Fall 2024), 1.

  21. James E. Faust, in “Faith in Every Footstep: The Epic Pioneer Journey” (video presentation in general conference, Apr. 6, 1997), Ensign, May 1997, 63.

  22. මොසායා 15:8.

  23. මොසායා 15:9; තවත් බලන්න ඇල්මා 34:16.

  24. බලන්න ඇල්මා 22:12–15.

  25. Preach My Gospel: A Guide to Sharing the Gospel of Jesus Christ (2023), 56.

  26. Gordon B. Hinckley, “The Wondrous and True Story of Christmas,” Liahona, Dec. 2000, 4.

  27. සභාපති තෝමස් එස්. මොන්සන් ගලවා ගැනීමේ මූලධර්මය ඉගැන්වූ අතර එය ජීවත් වුණා.(බලන්න Teachings of Presidents of the Church: Thomas S. Monson [2020], 67–76).

  28. රසල් එම්. නෙල්සන්, “ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත,” ­ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2024.