ප්‍රධාන සම්මන්ත්‍රණය
අපගේ ස්වර්ගික මාර්ගෝපදේශ පද්ධතිය
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:48

අපගේ ස්වර්ගික මාර්ගෝපදේශ පද්ධතිය

අපි අපේ ජීවිත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි යොමු කරද්දි, අවසානය දක්වා විඳදරාගනිමින් සහ අවසානය දක්වා ප්‍රීති වෙමින්, අපි නිවසට යන මාර්ගය සොයා ගන්නවා.

මම වයස අවුරුදු 26 දී චිලියේ මගේ ආදරණීය ෆෘටිලර්හිදී බෞතීස්ම වූ විට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගේ ජීවිතය වෙනස් කළා. ඒ කාලයේ, මගේ රැකියාව නිසා මට සුන්දර චිලී පැටගෝනියාවේ සාගරය, ගංගා සහ විල් හරහා ගමන් කරන්න අවස්ථාව ලැබුණා. “සියල්ලෙන් ඇඟවෙන්නේ දෙවි කෙනෙකු සිටින බව” සැබවින්ම හඳුනාගෙන, මගේ බෞතීස්මයෙන් පස්සෙ, මම මගේ රැකියාව සහ ජීවිතය අලුත් සහ වෙනස් ආකාරයකින් දැක්කා.

සොබාදහමේදී, සැමන් මත්ස්‍යයන් ඉපදෙන්නේ ගංගාවල ප්‍රභවයේ. ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී, ඔවුන්ට මුහුදට ළඟා වීමට ගඟ දිගේ පිහිනීමට සිදු වෙනවා, ඒවගේම එහිදී ඔවුන්ගේ සංවර්ධනයට අවශ්‍ය පෝෂණය සහ අවශ්‍ය පරිසරය ඔවුන් සොයා ගන්නවා.

නමුත් මුහුද කියන්නෙත් විලෝපිකයන් සැඟවී ඉන්න, ඒවගේම ධීවරයින් ආහාර වගේ දේවල් පෙන්වමින්, නමුත් ඔවුන්ව පෝෂණය නොකරන දිලිසෙන කොකුවලින් මෙම සැමන් මත්ස්‍යයන් අල්ලා ගැනීමට උත්සාහ කරන භයානක ස්ථානයක්. සැමන් මත්ස්‍යයින්ට මෙම තර්ජනවලින් බේරීමට පුළුවන් වුණොත්, ඔවුන් ඔවුන්ගේ බලගතු මාර්ගෝපදේශක පද්ධතිය භාවිතා කරමින්, අලුත් ඒවගේම හුරුපුරුදු අභියෝගවලට මුහුණ දෙමින්, ඔවුන් ඉපදුණු ස්ථානයටම නැවත ගඟ දිගේ ඉහළට යාමට සූදානම් වෙනවා. විද්‍යාඥයින් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ සංක්‍රමණික හැසිරීම් අධ්‍යයනය කරලා තිබෙනවා, ඒවගේම ඇදහිය නොහැකි තරම් නිවැරදිව, ඔවුන්ගේ අවසාන ගමනාන්තයට මගපෙන්වන, GPS වලට සමාන චුම්භක සිතියමක් ඔවුන් භාවිතා කරන බව සොයාගෙන තිබෙනවා.

අපි හැමෝටම අපි ආපු ස්වර්ගීය නිවසට දවසක ආපහු යන්න පුළුවන්. සැමන් මාලුවාට වගේම, අපටත් මගපෙන්වීමට අපේම චුම්භක සිතියමක්, එහෙම නැත්නම් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය තිබෙනවා. යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට මෙහෙම ඉගැන්වුවා: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරුණුකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.”

අපි අපේ ජීවිත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි යොමු කරද්දි, අවසානය දක්වා විඳදරාගනිමින් සහ අවසානය දක්වා ප්‍රීති වෙමින්, අපි නිවසට යන මාර්ගය සොයා ගන්නවා. සභාපති රසල් එම්. නෙල්සන් මෙහෙම ඉගැන්නුවා “අපට දැනෙන ප්‍රීතියට අපගේ ජීවිතයේ තත්වයන් හා අපගේ ජීවිතයේ කේන්ද්‍රය සමග එතරම් සම්බන්ධයක් නෑ.”

අපගේ දිව්‍යමය ස්වභාවය සහ ඉරණම

පවුල් ප්‍රකාශනයේ අපි මෙහෙම කියවනවා “[අපි] සෑම කෙනෙකුම ස්වර්ගීය දෙමව්පියන්ගේ ආදරණීය ආත්මික පුත්‍රයෙක් හෝ දියණියක් වන අතර, ඒ අනුව, සෑම කෙනෙකුටම දිව්‍යමය ස්වභාවයක් සහ ඉරණමක් තිබෙනවා. … පෙර ආත්මික ලෝකයේ, දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් සහ දූවරුන් උන්වහන්සේගේ දරුවන්ට භෞතික ශරීරයක් ලබා ගැනීමටත්, පරිපූර්ණත්වය කරා ප්‍රගතියක් ලබා ගැනීමටත් පොළොවේ අත්දැකීම් ලබා ගැනීමටත් අවසානයේ සදාකාල ජීවනයේ උරුමක්කාරයන් ලෙස ඔවුන්ගේ දිව්‍යමය ඉරණම අවබෝධ කර ගැනීමටත් හැකි උන්වහන්සේගේ සැලැස්ම පිළිගත්තා.”

ලෞකිකත්වයේ ඉපදෙන්නට කලින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෝසෙස්ට දර්ශනය වී පියාණන්වහන්සේ වෙනුවෙන් ඔහුට කතා කළා. ඔහුට කරන්නට විශාල කාර්යයක් තිබෙන බව උන්වහන්සේ මෝසෙස්ට කිව්වා. ඒ මුණගැසීම අතරතුර, ස්වාමීන්වහන්සේ ඔහුට “මගේ පුත්‍රයා” කියමින් කිහිප වතාවක්ම කතා කළා.

ඒ අත්දැකීමෙන් පස්සෙ, “මෝසෙස්, මනුෂ්‍ය ප්‍රත්‍රය, මට නමස්කර කරව” කියා කියමින්, සාතන් ඔහුව පරීක්ෂාවට ලක් කළා.

ඔහුගේ දිව්‍යමය ස්වභාවය සිහිපත් කරමින්, මෝසෙස් ඒ පරීක්ෂාවට මෙසේ ප්‍රතිචාර දැක්වූවා, “නුඹ කවරෙක්ද? මක්නිසාද බලන්න, මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් වෙමි.” ඒ සත්‍යය මෝසෙස්ව සතුරාගේ ප්‍රහාරයකින් නිදහස් කළා.

සහෝදර සහෝදරියනි, ලෞකිකත්වයේ කොකු ඇත්තක්. ඒවා ගොඩක් වෙලාවට ආකර්ශනීය වුණත්, ඒවා සොයන්නේ එකම ඉලක්කයක් පමණයි: ඒ තමයි පියාණන්වහන්සේ හා සදාකාල ජීවනය වෙත ගෙන යන ජීවනදායක ජලයේ මාර්ගයෙන් අපව පිටතට ඇද ගැනීම.

ලෞකිකත්වයේ කොකු කොතරම් සැබෑ විය හැකිදැයි මම දන්නවා. එක් ඉරිදා දවසක, ආගමට අලුතින් හැරුණු අයෙක් විදියට, මම පූජකවර පන්තියකට උගන්වමින් ඉද්දි, නොසන්සුන්කාරී සංවාදයක් ඇති වුණා. මගේ පාඩම අවසන් කිරීමට මම අරගල කළා. මම අමනාප වුණා, මම ගොදුරක් කියලා මට දැනුණා. වචනයක්වත් කියන්නෙ නැතුව මම ටික කාලයකට ආයෙත් සභාවට එන්නෙ නෑ කියන අදහසත් එක්ක මම පිටවීමේ දොරටුව දෙසට ගියා.

ඒ මොහොතේම, පූජකවරය දරන එක් සැලකිලිමත් පුද්ගලයෙක් මගේ ඉස්සරහට ආවා. අපි පන්තියේදී අත්විඳි තත්වය කෙරෙහි නොව නමුත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන්න කියා ඔහු මට ආදරයෙන් ආරාධනා කළා. ඔහුට ඒ අත්දැකීම ගැන මම ආයෙත් මතක් කරද්දී, “ඔහු පසුපස යන්න; ඔහු මට වැදගත්” කියා පවසන හඬක් ඔහුට ඇසුණු බව, ඔහු මා සමඟ බෙදාගත්තා.

වැඩිහිටි වර්ගාස් සහ ඔහු පසුපස ගිය නායකයා.

මගේ ආදරණීය මිත්‍රවරුනි, අපි සියල්ලෝම උන්වහන්සේට වැදගත්. සභාපති නෙල්සන් මෙහෙම ඉගැන්වුවා, “දෙවියන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම නිසා, අපට උපකාර කිරීමට උන්වහන්සේ දරන වෑයමේදී උන්වහන්සේ කිසිදා වෙහෙසට පත් නොවනු ඇති අතර, අප සමඟ උන්වහන්සේගේ දයාවන්ත ඉවසීම කිසිවිටෙකත් ඉක්මවා යන්නට අපි හේතුවක් වෙන්නේ නෑ.” අපගේ දිව්‍යමය ස්වභාවය සහ දෙවියන්වහන්සේ සමඟ ඇති අපේ ගිවිසුම් සම්බන්ධතාවය අපට දිව්‍යමය උපකාර ලබා ගැනීමට අයිතියක් ලබා දෙනවා.

පෝෂණයේ අවශ්‍යතාවය

සැමන් මත්ස්‍යයන්ට වර්ධනය වීමට මුහුදෙන් පෝෂණය වෙන්න ඕනෙ වගේම, අධ්‍යාත්මික මන්දපෝෂණයෙන් මිය යාම වළක්වා ගැනීමට අප අධ්‍යාත්මිකව පෝෂණය වෙන්න ඕනෙ. යාච්ඤාව, ශුද්ධලියවිලි, දේවමාළිගාව සහ ඉරිදා රැස්වීම්වලට නිතිපතා පැමිණීම අපගේ අධ්‍යාත්මික මෙනුවේ අත්‍යවශ්‍ය දේවල්.

1956 නොවැම්බර් මාසයේදී රිකාඩෝ ගාර්ෂියා, චිලියේ බව්තීස්මයේ ජලයට ඇතුළු වූ අතර, මගේ රටේ සභාවේ පළමු සාමාජිකයා බවට ඔහු පත්වුණා. ඔහු මිය යාමට දිනකට පෙර, ඔහුගේ පවුලේ අය සහ මිතුරන් ඉදිරියේ ඔහු මෙහෙම ප්‍රකාශ කළා, “වසර ගණනාවකට පෙර ධර්මදූතවරු මගේ පවුලේ අය සමඟ සතුටින් සිටීමට මට ආරාධනා කළා. අද මම ප්‍රීතිමත් මිනිසෙක්. චිලියේ සිටින සැමට ශුභාරංචිය කියන්නෙ සතුට බව පවසන්න.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙන් පෝෂණය වූ පසු, රිකාඩෝ ඔහුගේ මුළු ජීවිතයම දෙවියන්වහන්සේට සහ ඔහුගේ අසල්වැසියාට ප්‍රේමයෙන් සේවය කිරීමට කැප කළා. ඔහුගේ අනුගාමිකත්වයේ ආදර්ශය මමත් ඇතුළුව පරම්පරා ගණනාවකට ආශිර්වාද කර තිබෙනවා. “දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරුණු මිනිසෙකු, තම පවුලට පමණක් ආශිර්වාද කිරීමෙන් සෑහීමකට පත් නොවී, මුළු මිනිස් සංහතියටම ආශිර්වාද කිරීමට උත්සුකව, මුළු ලෝකය පුරාම ගමන් කරයි” යනුවෙන් අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඉගැන්වුවා.

අපගේ ස්වර්ගීය නිවසට ආපසු යාම

අප සෑම කෙනෙකු තුළම ගැඹුරින් අපගේ ස්වර්ගීය නිවසට නැවත යාමේ ආශාවක් තිබෙනවා, ඒවගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි අපගේ ස්වර්ගීය මාර්ගෝපදේශ පද්ධතිය. මාර්ගය උන්වහන්සේයි. උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය අපට දෙවියන්වහන්සේ සමඟ පරිශුද්ධ ගිවිසුම් ඇති කර ගැනීමට හැකියාව ලබා දෙනවා. අපි ගිවිසුම් ඇති කරගත්තට පස්සෙ, සමහර විට අපි ජල ධාරාවට එරෙහිව පිහිනන බව අපට පෙනී යයි. අනතුරු, කලකිරීම, පරීක්ෂාව සහ පීඩාව අපගේ ඇදහිල්ල සහ අධ්‍යාත්මික ශක්තිය පරීක්ෂාවට ලක් කරයි. උදව් ඉල්ලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ බර තේරුම් ගන්නවා ඒවගේම සැමවිටම ඒ බර බෙදා ගැනීමට උනන්දු වෙනවා.

මතක තියාගන්න, උන්වහන්සේව හඳුන්වනු ලබන්නේ “වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්” විදියටයි. ගැලවුම්කරුවාණන් මෙසේ ඉගැන්නුවා, “ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ, නමුත් ධෛර්යවන්ත වන්න, මම ලෝකය ජයගත්තෙමි.” උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය අපගේ පාපවලට, උන්වහන්සේ ඒවා තවදුරටත් මතක තබා නොගන්නා තරමටම, සමාව ලබා දෙනවා.

අපගේ ලෞකික ඉගෙනීමේ කොටසක් ලෙස අපගේ පාපයන් අපට සම්පූර්ණයෙන්ම අමතක කරන්න බැරි වෙයි, ඒ නිසා ඒවා නැවත නොකිරීමට අපි මතක තබාගමු. ඒ වෙනුවට, අපි සෑම ඉරිදාවකම සභාවේදී සක්‍රමේන්තුව ගද්දි උන්වහන්සේව සිහිපත් කරමු. මේ නියෝගය නමස්කාරයේ සහ අධ්‍යාත්මික සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක්. මෙය තවත් එක් දිනයක් පමණක් නොවන බව අප තේරුම් ගත්තහම ප්‍රීතිය ඇති වෙනවා. “සබත මිනිසා සඳහා සාදා ඇත්තේ,” අපට ලෝකයෙන් සහනයක් ලබා දීම සහ අපගේ ශරීරය සහ ආත්මය අලුත් කිරීමේ අරමුණින්.

අපි දේවමාළිගාවට—ස්වාමින්වහන්සේගේ නිවසට යන විටත් උන්වහන්සේව සිහිපත් කරනවා. දේවමාළිගා, අපව සදාකාල ජීවනයට ගෙන යන ගිවිසුමේ කේන්ද්‍රස්ථානය ලෙස, අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා දෙනවා, ඒවගේම “ඒ දෙවියන්වහන්සේගේ ත්‍යාගවලින් ශ්‍රේෂ්ඨතම එකක්.”

දේවමාළිගාවට යාම මට සැනසීමක් සහ අපගේ සදාකාලික ඉරණම පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා. තිරයේ දෙපැත්තේම සිටින මිනිසුන් සමඟ මම ස්වර්ගීය සම්බන්ධතා අත්විඳ තිබෙනවා. මගේ කුඩා දරුවන්ගේ ජීවිතවල සුව කිරීමේ ප්‍රාතිහාර්යයන් මම දැක තිබෙනවා, ඔවුන්ගෙන් දෙදෙනෙක් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම දිනපතා රැකවරණය අවශ්‍ය වන නොපෙනෙන රෝග සමඟ ජීවත් වෙනවා.

අපි ප්‍රීතියේ සැලැස්ම ගැන බෙදා ගද්දි, අපේ පවුල ප්‍රීති වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ස්තූතිවන්ත වන්නට, ඔවුන්ගේ “දුක් වේදනා ඉතා සුළු මොහොතක් සඳහා පමණක් වන” බව ඇසූ විට මගේ දරුවන්ගේ මුහුණු ආලෝකමත් වෙනවා. අපි අපේ දරුවන්ට ගැඹුරින් ආදරෙයි, ඒ වගේම , සභාපති ජෙෆ්රි ආර්. හොලන්ඩ් ඉගැන්වූවා වගේ, ඔවුන් කවදාහරි “අප ඉදිරියේ මහිමාන්විතව හා උතුම් ලෙස, ශරීරයෙන් සහ මනසින් විශ්මයජනක ලෙස පරිපූර්ණව සිටින බව” අපි දන්නවා. කළ නොහැකි දේ කළ හැකි කරවන, අන්ධකාරයේ සහ සැකයේ සෑම අවකාශයක්ම ආලෝකයෙන් සහ සාමයෙන් පුරවන මට්ටමට, අපගේ ගිවිසුම් අපව දෙවියන්වහන්සේ වෙත සමීප කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ස්තූතිවන්ත වන්නට, අප ආදරය කරන අයට දිගටම ප්‍රේම කිරීම, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම සහ සහයෝගය දැක්වීම සඳහා බලාපොරොත්තුවක් සහ හොඳින් පදනම් වූ හේතු තිබෙනවා.

උන්වහන්සේ ජීවමාන බව මම දන්නවා. උන්වහන්සේ අපව දන්නවා, ඒවගේම අපට ප්‍රේම කරනවා. උන්වහන්සේ තමයි ලෝකයේ මාර්ගය, සත්‍යය සහ ජීවනය.

අපේ ජීවිත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ඉගැන්වීම් මත කේන්ද්‍රගත කරගන්න කියලා, අද අපි හැමෝටම මම ආරාධනා කරනවා. එසේ කිරීමෙන්, පෙළඹවීම්, අමනාපකම් සහ ආත්ම අනුකම්පාව යන කොකු වලට අසු වීමෙන් වැළකී සිටීමට අපට හැකියාව ලැබෙයි. අපි දේවමාළිගා ලෙස—ශුද්ධව, ස්ථිරව සහ නොවෙනස්ව නැගී සිටිමු. අපි කුණාටු වලට ඔරොත්තු දෙමින්, අවසානය දක්වා විඳදරාගනිමින් අවසානය දක්වා ප්‍රීති වෙමින්, අපි ආපසු අපේ නිවසට යනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. මම චිලියේ ජලජීවී වගාව සංවර්ධනය කරමින් ඉංජිනේරුවෙකු ලෙස වසර 20 කට වැඩි කාලයක් සේවය කළා.

  2. ඇල්මා 30:44.

  3. බලන්න Steve Lundeberg, “Magnetic Pulses Alter Salmon’s Orientation, Suggesting They Navigate via Magnetite in Their Tissue,” Oregon State University Newsroom, May 2, 2020, oregonstate.edu.

  4. යොහාන් 14:6.

  5. Russell M. Nelson, “Joy and Spiritual Survival,” Liahona, Nov. 2016, 82.

  6. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ශුභාරංචි පුස්තකාලය

  7. බලන්න මෝසෙස් 1:4–13.

  8. රසල් එම් නෙල්සන්, “සදාකාලික ගිවිසුම,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2022.

  9. බලන්න Dallin H. Oaks, “Nourishing the Spirit,” Ensign, Dec. 1998, 6–13; Liahona, Aug. 2001, 10–19.

  10. බලන්න Trent Toone, “Builders and Blessings: How Early Latter-day Saint Pioneers Shaped the Growth of the Church in Chile,” Church News, Feb. 18, 2025, thechurchnews.com.

  11. රිකාඩෝ ගාර්ෂියාගේ ජීවමාන දියණිය වන, පර්ලා ගාර්ෂියා සමඟ පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවක්.

  12. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 426.

  13. යෙසායා 53:3

  14. යොහාන් 16:33

  15. බලන්න දහම සහ ගිවිසුම් 58:42.

  16. බලන්න Neil L. Andersen, “Repent … That I May Heal You,” Liahona, Nov. 2009, 40–43.

  17. බලන්න Topics and Questions, “Sacrament,” Gospel Library.

  18. මාර්ක් 2:27.

  19. බලන්න රසල් එම් නෙල්සන්, “සදාකාලික ගිවිසුම”.

  20. දහම සහ ගිවිසුම් 14:7.

  21. දහම සහ ගිවිසුම් 121:7.

  22. Jeffrey R. Holland, “Like a Broken Vessel,” Liahona, Nov. 2013, 42.

  23. බලන්න හෙබ්‍රෙව් 3:6.