“නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත”
දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට අපගේ ප්‍රේමය, මෙය සැබවින්ම ගැලවුම්කරුවාණන්ගේ සභාව බවට ලෝකයට බලවත් සාක්ෂියක් වෙනවා.
වසර ගණනාවකට පෙර උක්ඩ්‍රොෆ් සහෝදරිය සහ මම දකුණු ජර්මනිය හරහා ගමන් කරමින් සිටියා. පාස්කු ඉරිදා දිනයට ටික කලකට පෙර, අපි සභාවේ සාමාජිකයෙකු නොවූ හොඳ මිතුරෙකුට අපගේ ඉරිදා නමස්කාර මෙහෙයට අප හා එක්වන ලෙස ආරාධනා කළා. අපි මේ ආදරණීය මිතුරියට ගොඩක් ආදරෙයි, ඒ නිසා ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ සභාව ගැන අපට හැඟුණු ආකාරය ඇය සමඟ බෙදා ගැනීම සහ ඇයට එය බලන්න එන්න කියලා ආරාධනා කිරීම සාමාන්‍ය දෙයක් සහ ස්වාභාවික දෙයක්! ඇය ඒ ආරාධනය පිළි අරගෙන ළඟපාත ශාඛාවක රැස්වීම්වලට අප සමඟ එක් වුණා.
ඔබ කවදහරි පළමු වතාවට මිතුරෙකුව සභාවට ගෙනැවිත් තිබෙනවා නම්, ඒ ඉරිදා උදෑසන මට දැනුණු ආකාරය ඔබටත් වැටහෙයි. මට ඕන වුණේ හැමදේම පරිපූර්ණව සිද්ධ වෙනවා දකින්න. අපේ මිතුරිය ඉතා උගත්, අධ්‍යාත්මික පුද්ගලයෙක්. මෙම ශාඛාවේ රැස්වීම් ඇය කෙරෙහි හොඳ හැඟීමක් ඇති කර සභාව හොඳින් නියෝජනය කරනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වුණා.
මේ ශාඛාව රැස්වුණේ සිල්ලර වෙළඳසැලක දෙවන මහලේ කුලියට ගත් කාමර කිහිපයකයි. එතනට යන්න, අපට ගොඩනැගිල්ලේ පිටුපස ඇති පඩිපෙළට නැගීමට සිදුවුණා, ඒවගේම එහි ගබඩා කර ඇති භාණ්ඩවල තද ගන්ධයන් පසුකර යාමටත් සිදු වුණා.
සක්‍රමේන්තු රැස්වීම ආරම්භ වුණාම, මගේ මිතුරිය මෙය පළමු වරට අත්විඳින ආකාරය ගැන මම සිතුවා, එතකොට මම ටිකක් කම්පනයට පත්වුණු දේවල් දැකීමෙන් වැළකී සිටීමට මට පුළුවන් වුණේ නැහැ. උදාහරණයක් ලෙස, ගායනය ටැබර්නැකල් ගායන කණ්ඩායම වගේ හරියටම ඇසුණේ නැහැ. සක්‍රමේන්තුව අතරතුර නොසන්සුන්, ඝෝෂාකාරී දරුවන්ගේ හඬ ඇසෙන්නට වුණා. කථිකයන් උපරිමයෙන් කතා කළත්, ප්‍රසිද්ධියේ කතා කිරීමට ඔවුන්ට දක්ෂයන් නොවේ. රැස්වීම පුරාම මම අපහසුතාවයෙන් වාඩි වී සිටියේ, ඉරිදා පාසල මීට වඩා හොඳ වෙයි කියා බලාපොරොත්තුවක් ඇතුවයි.
එය එසේ වුණේ නැහැ.
අපි අපේ මිතුරියව එක්කගෙන ආපු සභාව ගැන ඇය මොනවා හිතයිද කියලා මම ඒ උදේ පුරාම හිටියෙ කනස්සල්ලෙන්.
ඊටපස්සෙ, අපි ගෙදර යද්දි, මම අපේ මිතුරිය සමඟ කතා කරන්න හැරුණා. මෙය එක් කුඩා ශාඛාවක් පමණක් බවත් එය සමස්තයක් ලෙස සභාව නියෝජනය කරන්නේ නැති බවත් පැහැදිලි කිරීමට මට අවශ්‍ය වුණා. නමුත් මම වචනයක් කියන්න කලින් ඇය කතා කළා.
“ඒක හරිම ලස්සනයි,” ඇය කිව්වා.
මට කියාගන්න දෙයක් නැති වුණා.
ඇය තවදුරටත් මෙහෙම කිව්වා, “ඔබේ සභාවේ මිනිසුන් එකිනෙකාට සලකන ආකාරය ගැන මම ගොඩක් පැහැදුණා. ඔවුන් සියලු දෙනාම විවිධ පසුබිම්වලින් එන බවක් පේනවා, නමුත් ඔවුන් සැබවින්ම එකිනෙකාට ආදරය කරන බව පැහැදිලියි. ක්‍රිස්තුස්වහන්සේට උන්වහන්සේගේ සභාව අවශ්‍ය වුණේ මේ විදියට වෙන්න ඇති කියලා මම හිතනවා.”
හොඳයි, මම ඉක්මනින්ම මගේ විනිශ්චය කිරීමේ ආකල්ප ගැන පසුතැවිලි වුණා. මගේ මිතුරියගේ සිත් ඇදගැනීමට මට අවශ්‍ය වුණේ සර්ව සම්පූර්ණ රැස්වීම්. නමුත් මෙම ශාඛාවේ සාමාජිකයින් අත්කර ගෙන තිබුණේ ආදරය, කරුණාව, ඉවසීම සහ දයානුකම්පාව යන හදවතින්ම පරිපූර්ණ ආත්මයක්.
එනම් එසේම පොළොව තුළ ඇදහිල්ල වැඩිවනු පිණිසය
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මගේ ආදරණීය මිත්‍රවරුනි, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට ආදරෙයි. එය ගැලවුම්කරුවාණන්ගේ සැබෑ හා ජීවමාන සභාවයි, ඒවගේම එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ නැවත පිහිට වූ පූර්ණත්වය උගන්වනවා. උන්වහන්සේගේ පූජකවර බලය සහ අධිකාරිය මේ සභාව තුළ තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම සභාවට පෞද්ගලිකව නායකත්වය දෙන්නේ, උන්වහන්සේ කැඳවා බලය පවරන ලද සේවකයින් හරහා සහ ජීවමාන අනාගතවක්තෘවරයෙකු වන සභාපති රසල් එම්. නෙල්සන් හරහායි. දෙවියන්වහන්සේගේ දරුවන්ව එක්රැස් කිරීමට සහ ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට ගැලවුම්කරුවාණන් පසුදවස්වල ශුද්ධවන්තයන්ට අද්විතීය ධර්මදූතයක් ලබා දී තිබෙනවා. මේ සියල්ල සත්‍ය බවට මම සාක්ෂි දරනවා.
නමුත් බොහෝ අය පළමු වරට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව අත්විඳිද්දි, ඔවුන් පූජකවර අධිකාරිය හෝ නියෝග හෝ ඊශ්‍රායෙලයේ එක්රැස්වීම ගැන හිතන්නේ නැති බව මතක තබාගැනීම වැදගත්. ඔවුන් බොහෝ විට දකින්නේ, ඔවුන් අප සමඟ සිටින විට ඔවුන්ට හැඟෙන ආකාරය සහ අප එකිනෙකාට සලකන ආකාරයයි.
“එකිනෙකාට ප්‍රේම කරන්න” කියා යේසුස්වහන්සේ කිව්වා. “නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” බොහෝ විට, පුද්ගලයෙකු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ පළමු සාක්ෂිය ලබා ගන්නේ ඔහුට හෝ ඇයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් අතර ප්‍රේමය දැනෙද්දියි.
“පොළොව තුළ ඇදහිල්ල … වැඩි වන පිණිස” උන්වහන්සේ තම සභාව නැවත පිහිට වූ බව ගැලවුම්කරුවාණන් ප්‍රකාශ කළා. එමනිසා, මිනිසුන් අපගේ සභාවේ රැස්වීම්වලට පැමිණෙද්දි, ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වන්නේ ඔවුන් උන්වහන්සේ කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලකින් පිටව යාමයි! අපේ මිතුරන්ට අප අතර දැනෙන ප්‍රේමය ඔවුන්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ලං කරනවා! අපි රැස්වන සෑම අවස්ථාවකම අපගේ සරල ඉලක්කය එයයි.
ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වැඩි ඇදහිල්ලක් හෝ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයක් සොයන ඕනෑම කෙනෙකුට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේදී ඔවුන් නිවසේ සිටිනවා මෙන් දැනිය යුතු වෙනවා. අපේ රැස්වීම්වලට ඔවුන්ට ආරාධනා කිරීම අපේ නිවෙස් වලට ඔවුන්ට ආරාධනා කරනවා වගේ සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්.
පරමාදර්ශය සහ සැබෑව
දැන්, මම විස්තර කරන්නේ පරමාදර්ශය බව මට වැටහෙනවා. මේ ලෞකික ජීවිතයේ දී, අපට පරමාදර්ශය අත්විඳීමට ලැබෙන්නේ කලාතුරකින්. ඒවගේම “පරිපූර්ණ දිනය තෙක්” සෑම විටම පරමාදර්ශය සහ සැබෑ දේ අතර පරතරයක් ඇති වෙනවා. ඉතින්, සභාව පරිපූර්ණ දවසක් ලෙස හැඟෙන්නේ නැත්නම් අපි කරන්න ඕනෙ මොකක්ද? කුමන හේතුවක් නිසා හෝ අපගේ කොට්ඨාශය තවමත් පරිපූර්ණ ඇදහිල්ලක් හෝ ප්‍රේමයක් පෝෂණය කරන්නේ නැත්නම් අපි කරන්න ඕනෙ මොකක්ද? නැත්නම් අපි ගැලපෙන්නේ නැහැ කියලා දැනෙනකොට අපි කරන්න ඕනෙ මොකක්ද?
අපි නොකළ යුතු එක් දෙයක් තමයි ඒ පරමාදර්ශය අත්හැරීම!
මොර්මොන්ගේ පොතේ මාතෘකා පිටුවේ මෙම වැදගත් අවවාදය ඇතුළත් වෙනවා: “යම් වැරදි තිබෙනවා නම් ඒවා මනුෂ්‍යයන්ගේ වැරදිය, එසේහෙයින්, දෙවියන්වහන්සේගේ දේවල් වලට වරද නොතබන්න.”
පොතකට—හෝ සභාවකට හෝ පුද්ගලයෙකුට—“වැරදි” සහ “අත්වැරදීම්” තිබෙද්දිත් එය තවමත් දෙවියන්වහන්සේගේ කාර්යයක් වෙන්න පුළුවන් ද?
මගේ පිළිතුර නිසැකයෙන්ම ඔව්!
ඉතින්, අපි ස්වාමීන්වහන්සේගේ උසස් ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන අතරම, එකිනෙකා කෙරෙහි ඉවසිලිවන්ත වෙමු. අපි සෑම කෙනෙකුම ක්‍රියාත්මක වෙමින් පවතින කාර්යයක්, ඒවගේම අපි කරන ඕනෑම ප්‍රගතියක් සඳහා අපි සියල්ලෝම ගැලවුම්කරුවාණන් මත විශ්වාසය තබමු. ඒක අපිට පුද්ගලයන් විදිහට සත්‍යයක්, ඒ වගේම පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධයෙනුත් ඒක සත්‍යයක්.
ස්වාමීන්වහන්සේගේ රාජ්‍යයට සම්බන්ධ වීමට පමණක් නොවේ, නමුත් එය ගොඩනැගීමෙහි උනන්දුවෙන් නිරත වන ලෙස උන්වහන්සේ අපට ආරාධනා කරනවා. දෙවියන්වහන්සේ “එක හදවතක් සහ එක මනසක්” ඇති ජනතාවක් කෙරෙහි අපේක්ෂා කරනවා. ඒවගේම එක හදවතක් ඇතිව සිටීමට නම්, අපට පිරිසිඳු හදවත් තිබිය යුතුයි, ඒවගේම ඒ සඳහා හදවතේ බලවත් වෙනසක් අවශ්‍ය වෙනවා.
නමුත් එයින් අදහස් කරන්නේ මගේ හදවත ඔබේ හදවතට එකඟ වීමට වෙනස් කිරීම නොවේ. ඒ වගේම මගේ හදවතට එකඟ වීමට ඔබේ හදවත වෙනස් කිරීමත් එයින් අදහස් කරන්නේ නැහැ. එයින් අදහස් කරන්නේ අපි සියල්ලන්ම ගැලවුම්කරුවාණන් සමඟ පෙළගැසීමට අපගේ හදවත් වෙනස් කළ යුතු බවයි.
අපි තවමත් එතනට ඇවිත් නැත්නම්, මතක තියාගන්න: ස්වාමීන්වහන්සේගේ උපකාරයෙන්, අපට කළ නොහැකි දෙයක් නැහැ.
ගැළපීම සහ අයත් වීම
ඔබට කවදා හෝ ඔබ එතරම් ගැළපෙන්නේ නැති බවක් ඔබට හැඟෙනවා නම්, ඔබ තනිවී නැති බව කරුණාකර දැන ගන්න. අපි හැමෝම කවදහරි මේ ජීවිතේ ඇතුළේ ආගන්තුකයෙක් වගේ දැනුණු අවස්ථා අත්විඳලා තියෙනවා නේද? මම මේ දේ එක පාරකට වඩා අත්විඳලා තිබෙනවා. මට වයස අවුරුදු 11 දී, මගේ පවුලේ අයට අපේ ගෙදරින් පිටවෙලා නුහුරු ප්‍රදේශයකට යන්න සිද්ධ වුණා. මම පුරුදු වෙලා හිටපු දේවල් වලට වඩා හැමදේම වෙනස් වුණා. මගේ වචන උච්චාරණයෙන් අනිත් ළමයි දැනගත්තා, මම එයාලට හුරුපුරුදු දේවල් වලට වඩා වෙනස් කියලා. මිත්‍රත්වය සහ අයත් වීම මට දැඩි ලෙස අවශ්‍ය වූ කාලයක, මට තනිකමක් සහ අවතැන් වීමක් දැනුණා.
මේ පොළොවේ, අප බොහෝ දෙනෙකුට පෙනෙන බොහෝ වෙනස්කම්—සමහරු එකිනෙකා වර්ගීකරණය කිරීමට භාවිතා කරන වෙනස්කම්—ලෞකික දේවල් සමඟ සම්බන්ධයි: ඒවා තමයි භෞතික පෙනුම, ජාතිය, භාෂාව, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්. නමුත් “ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක් මෙන් නොබලන සේක. මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලන සේක.”
උන්වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන්, අනෙක් සියල්ලන්ටම වඩා ඉදිරියෙන් ඇති එක් කාණ්ඩයක් තිබෙනවා: ඒ තමයි දෙවියන්වහන්සේගේ දරුවා කියන කාණ්ඩය. අපි හැමෝම මේකට හොඳටම ගැලපෙනවා.
අපි වගේ පෙනුම තියෙන, කතා කරන, ක්‍රියා කරන සහ සිතන අය සමඟ සිටීමට අවශ්‍ය වීම ස්වාභාවිකයි. ඒ සඳහා ස්ථානයක් තිබෙනවා.
නමුත් ගැලවුම්කරුවාණන්ගේ සභාවේදී, අපි රැස්වීමට කැමති සහ සත්‍යය සොයන දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ව එක්රැස් කරනවා. අපව එකට එක් කරන්නේ අපගේ භෞතික පෙනුම, අපගේ දේශපාලන අදහස්, අපගේ සංස්කෘතිය හෝ අපගේ ජනවාර්ගිකත්වය නොවෙයි. අපව එක්සත් කරන අපගේ පොදු පසුබිම ඒක නෙවෙයි. අපේ පොදු අරමුණ තමයි, දෙවියන්වහන්සේට ඇති අපගේ ප්‍රේමය සහ අසල්වැසියාට ඇති අපගේ ප්‍රේමය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියට අපගේ කැපවීම. අපි “ක්‍රිස්තුස්වහන්සේ තුළ ඒකත්වයක්” වෙනවා.
අපි සොයන එකමුතුකම සෑම කෙනෙකුම එකම ස්ථානයක සිටීම නොවෙයි; ඒ එකමුතුකම තමයි සෑම කෙනෙකුම එකම දිශාවකට මුහුණ ලා සිටීම—ඒ කියන්නෙ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙසට. අපි හැමෝම ඒකත්වයක් වෙනවා, ඒ අපි හිටපු තැන නිසා නෙවෙයි, ඒ අපි යන්න උත්සාහ කරන තැන නිසා, ඒ අපි කවුද කියන එක නිසා නෙවෙයි, ඒ අපි කවුරු වෙන්නද උත්සාහ කරන්නෙ කියන එක නිසා.
ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ සභාව අන්න ඒ වගෙයි.
එක ශරීරයක්
ඔබ දෙවියන්වහන්සේට ප්‍රේම කරනවා නම්, උන්වහන්සේගේ පුත්‍රයාණන්ව අනුගමනය කිරීමෙන් ඔබට උන්වහන්සේව තව තවත් හොඳින් දැන හඳුනා ගැනීමට අවශ්‍ය නම්, ඔබ මේ ස්ථානයට අයත්. ඔබ තවමත් පරිපූර්ණ වී නැති වුණත්, ගැලවුම්කරුවාණන්ගේ ආඥා පිළිපැදීමට උනන්දුවෙන් උත්සාහ කරනවා නම්, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට පරිපූර්ණව ගැලපෙනවා.
ඒවගේම ඔබ, ඔබේ වටේ සිටින අයට වඩා වෙනස් නම් ඒක කොහොමද වෙන්නෙ? ඒකෙන් ඔයා නුසුදුසු කෙනෙක් වෙන්නේ නැහැ—ඒකෙන් ඔයාව ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ අවශ්‍ය කොටසක් බවට පත් වෙනවා. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ සියල්ලන්වම අවශ්‍යයි. ඇස්වලට කවදාවත් තේරුම් ගන්න බැරි දේවල් කන්වලට තේරෙනවා. අත් වලට කරන්න බැරි දේවල් කකුල් දෙක කරනවා.
ඔබේ වගකීම හැමෝම ඔබ වගේ වෙන විදියට වෙනස් කිරීම කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් අදහස් වන්නේ ඔබට දායක වීමට වැදගත් දෙයක් ඇති බව—සහ ඔබට ඉගෙන ගැනීමට වැදගත් දෙයක් ඇති බවයි!
එක හඬක්
ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෑම සැසි වාරයකදීම, දක්ෂ ගායනා කණ්ඩායම්වල ආශ්වාදජනක සංගීතයෙන් අපි ආශිර්වාද ලබා තිබෙනවා. ඔබ එයට සවන් දෙද්දි, ඒ ගායකයින් සියලු දෙනාම එකම ස්වර ගායනා කරන්නේ නැති බව ඔබට පෙනෙයි. සමහර විට එක් පිරිසක් තනුව කියන් යනවා, සමහර වෙලාවට වෙනත් පිරිසක් එහෙමම කරනවා. නමුත් ඒ සියල්ලන්ම ඒ සුන්දර ශබ්දයට දායක වෙනවා, ඒවගේම ඔවුන් සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වෙනවා. ගායන කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම තිබෙන්නේ එකම කේන්ද්‍රීය ඉලක්කයක්: ඒ තමයි දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම සහ අපගේ හදවත් උන්වහන්සේ වෙත ඔසවා තැබීම. ඒ හැම කෙනෙක්ම ඔවුන්ගේ මනස හා හදවත එකම දිව්‍ය අරමුණකට යොමු කර තිබෙනවා. ඒවගේම එහෙම වුණාම, ඔවුන් සැබවින්ම එක හඬක් බවට පත්වෙනවා.
ඔබ තවමත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු නොවේ නම්, ගැලවුම්කරුවාණන්ගේ “මුදවා ගැනීමේ ප්‍රේමයේ ගීතය” ගැන අපි ප්‍රීති වන විට අප හා එක්වන ලෙස අපි ඔබට ආරාධනා කරනවා. අපිට ඔබව අවශ්‍යයි. අපි ඔබට ආදරෙයි. ස්වාමීන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීමට ඔබ ගන්නා උත්සාහයන් සමඟ මේ සභාව තව තවත් වර්ධනය වෙනවා.
බව්තීස්මය තුළින්, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීමෙන්, “දෙවියන්වහන්සේගේ ගාලට පැමිණ, උන්වහන්සේගේ සෙනඟ ලෙස හඳුන්වනු ලැබීමට” ඔබට තිබෙන ආශාව ඔබ දැනටමත් පෙන්වා තිබෙනවා නම්, මෙම ශ්‍රේෂ්ඨ හා දිව්‍යමය කාර්යයේ කොටසක් වීම ගැන සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය සභාව බවට පත් කිරීමට උදව් කිරීම ගැන ඔබට ස්තූතියි.
ජර්මනියේ සිටින මගේ මිතුරියගෙන් මම ඉගෙන ගත්තා වගේ, දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට අපගේ ප්‍රේමය, සැබවින්ම මේ තියෙන්නෙ ගැලවුම්කරුවාණන්ගේ සභාව බවට ලෝකයට බලවත් සාක්ෂියක්.
අපගේ ගැලවුම්කරුවාණන්, මිදුම්කරුවාණන් සහ ස්වාමියා අප වෙනුවෙන් තබා ඇති ආදර්ශයට අනුකූලව ජීවත් වීමට ඉවසිලිවන්තව නමුත් කඩිසරව උත්සාහ කිරීමට දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරන සේක්වා—එතකොට අපි උන්වහන්සේගේ ගෝලයන් බව සියලු දෙනා දැන ගනියි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.