දෙවියන්වහන්සේගේ ප්‍රේමය
ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව මම ප්‍රීතියෙන් සාක්ෂි දරනවා. උන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය පරිපූර්ණයි, පුද්ගලිකයි සහ සදාකාලිකයි.
එක් ගිම්හානයක, දුරස්ථ ප්‍රදේශයක ගමන් කරන අතරතුර, අපගේ පවුල වලාකුළු රහිත අහසක් යට එළිමහනේ නිදා ගනිමින් එක් සන්ධ්‍යාවක් ගත කළා. අපට ඉහළින් පැහැදිලිව දැකගත හැකි වූයේ අසංඛ්‍යාත තරු සහ ඉඳහිට දිස්වන කඩාවැටෙන තරු වලින් පිරුණු විශ්මයජනක ක්ෂීරපථයයි. දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මහිමය ගැන අපි මවිතයට පත්වුණා, ඒවගේම අපට උන්වහන්සේ කෙරෙහි ගෞරවනීය සම්බන්ධතාවයක් දැනුණා. හොංකොං හි හැදී වැඩුණු අපේ කුඩා දරුවන් මීට පෙර මෙවැනි දෙයක් අත්විඳ තිබුණේ නැහැ. අපි එහෙ ගෙදර ඉද්දි අපි ජීවත් වුණේ මේ අහස යටමද කියලා ඔවුන් අහිංසක ලෙස ඇහුවා. එය එකම අහස බවත්, නමුත් අප ජීවත් වූ ස්ථානයේ වායු හා ආලෝක දූෂණය නිසා මෙම තරු එහි තිබුණත් අපට ඒවා දැකීමට නොහැකි වුණු බවත්, ඔවුන්ට පැහැදිලි කිරීමට මම උත්සාහ කළා.
ශුද්ධලියවිලි අපට මෙහෙම උගන්වනවා “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය ය, නොපෙනෙන දේ පිළිබඳ සාක්ෂිය ය.” අපව ව්‍යාකූල කරන අවධානය වෙනතකට යොමු කරන දේවල් සහ ලෞකික පරීක්ෂාවන් අපගේ අධ්‍යාත්මික දැක්ම අඳුරු කරනවා, ඒවගේම අපි දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට, ඒවායේ යථාර්ථය සහ අප කෙරෙහි උන්වහන්සේලා දක්වන සැලකිල්ල පිළිබඳ පැහැදිලි සහතිකයක් අපට ලැබෙනවා.
මොර්මොන්ගේ පොතේ, අනාගතවක්තෘ ලීහායි “කෙනෙකු සතුටු කිරීමට ප්‍රියජනක ඵල ඇති ගසක්” දුටු අතර එය “සියල්ලටම වඩා මිහිරි” වුණා ඔහු එම පලතුර රස බැලූ විට, ඔහුගේ ආත්මය මහත් ප්‍රීතියෙන් පිරී ගිය අතර, ඔහුගේ පවුලේ අයත් එහි රස බලනවාට ඔහු කැමති වුණා. මෙම ගස “දෙවියන්වහන්සේගේ ප්‍රේමය” නියෝජනය කරන බව අපි ඉගෙනගන්නවා, ඒවගේම ලීහායි වගේ, අපගේ ජීවිතවලට උන්වහන්සේට ආරාධනා කරන විට අපටත් දෙවියන්වහන්සේ පිළිබඳ ප්‍රීතිමත් සාක්ෂියක් ලබාගන්න පුළුවන්.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප කෙරෙහි ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමය මූර්තිමත් කරනවා. උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළින්, උන්වහන්සේ අපගේ පාප උන්වහන්සේ මතට ගත් අතර අපගේ අයුතුකම් නිසා උන්වහන්සේව සුළු කරනු ලැබුවා. උන්වහන්සේ අපගේ ශෝකය පෞද්ගලිකවම උන්වහන්සේ මත දරාගෙන, අපගේ දුක ඔසවාගෙන, අපගේ වේදනාවන් සහ අසනීප උන්වහන්සේ මතට ගත්තා. උන්වහන්සේ අපට සැනසීම ලබා දීම සඳහා ශුද්ධාත්මයාණන්ව එවනවා, ඒවගේම ඒ ආත්මයාණන්ගේ ඵල අතරට ප්‍රීතිය, සාමය සහ ඇදහිල්ල ඇතුළත්, ඒවා අපව බලාපොරොත්තුවෙන් හා ප්‍රේමයෙන් පුරවනවා.
දෙවියන්වහන්සේගේ ප්‍රේමය හැමෝටම ලබාගන්න පුළුවන් වුණත්, බොහෝ දෙනෙක් එය ඉතා උනන්දුවෙන් සොයනවා, තවත් සමහරු දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට ආශා කරන නමුත් ඔවුන් ඒ ප්‍රේමයට සුදුසුයි කියලා ඔවුන් විශ්වාස කරන්නෙ නැහැ. තවත් සමහරු එහි එල්ලී සිටීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින්, අපි නැවත නැවතත් පසුතැවිලි වී, අවංකව සමාව දී, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උත්සාහ කරද්දි සහ අන් අයට පරාර්ථකාමීව සේවය කරද්දි, අපට දෙවියන්වහන්සේගේ ප්‍රේමය නිරන්තරයෙන් අත්විඳිය හැකි බව, ශුද්ධලියවිලි සහ ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා අපට උගන්වනවා. දෙවියන්වහන්සේ වෙත අපව සමීප කරවන දේවල් අපි කරද්දි, ඒ කියන්නෙ දිනපතා යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්‍යයනය තුළින් උන්වහන්සේ සමඟ කතා කරද්දි ඒවගේම උඩඟුකම, විවාදශීලී වීම සහ කැරලිකාර වීම වැනි උන්වහන්සේගෙන් අපව ඈත් කරන දේවල් කිරීම නවත්වද්දි, අපට උන්වහන්සේගේ ප්‍රේමය දැනෙනවා.
“ගැලවුම්කරුවාණන්ගේ උපකාරයෙන් අපගේ ජීවිතයේ පැරණි සුන්බුන් ඉවත් කිරීමට” සහ “තිත්තකම පසෙකට දැමීමට” සභාපති රසල් එම්. නෙල්සන් අපට ආරාධනා කර තිබෙනවා. අපගේ ජීවිත ගැලවුම්කරුවාණන් මත සහ උන්වහන්සේගේ දේවමාළිගාවේ නියෝග සහ ගිවිසුම් මත කේන්ද්‍රගත කිරීමෙන් “අපගේ අධ්‍යාත්මික අත්තිවාරම් ශක්තිමත් කිරීමට” ඔහු අපව දිරිමත් කර තිබෙනවා. ඔහු මෙහෙම පොරොන්දු වුණා “අප අපගේ දේවමාළිගා ගිවිසුම් තබා ගන්නා විට, අපට ස්වාමින්වහන්සේගේ ශක්තිමත් කිරීමේ බලයට වැඩි ප්‍රවේශයක් ලැබෙනවා. … යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ නිර්මල ප්‍රේමය අපි බහුලව අත්විඳිනවා!”
ලස්සන පවුලක් සහ බලාපොරොත්තු සහගත වෘත්තියක් නිසා ආශිර්වාද ලත් මිතුරෙක් මට ඉන්නවා. අසනීපයක් නිසා ඔහුට වැඩ කිරීමට නොහැකි වූ පසු, සහ පසුව දික්කසාද වූ පසු මේ තත්වය වෙනස් වුණා. එතැන් සිට ගත වූ අවුරුදු කීපය දුෂ්කර වුණා, නමුත් ඔහුගේ දරුවන් කෙරෙහි ඔහු තුළ ඇති ආදරය සහ දෙවියන්වහන්සේ සමඟ ඔහු ඇති කරගත් ගිවිසුම් ඔහුව දරාගෙන සිටියා. ඔහුගේ කලින් බිරිඳ නැවත විවාහ වී ඇති බවත් ඔවුන්ගේ දේවමාළිගාවේ මුද්‍රා තැබීම අවලංගු කරන ලෙස ඉල්ලා සිටි බවත් දිනක් ඔහුට දැනගන්නට ලැබුණා. ඔහු කලබලයට හා ව්‍යාකූලත්වයට පත්වුණා. ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ සාමය සහ අවබෝධය සෙව්වා. ඔහුගේ පැමිණීමෙන් පසු දින, මට ඔහුගෙන් මේ පණිවිඩය ලැබුණා:
“ඊයේ රාත්‍රියේ මට දේවමාළිගාවේදී අපූරු අත්දැකීමක් ලැබුණා. මට තවමත් යම් අමනාපයක් ඇති බව පැහැදිලියි කියලා මම හිතනවා. … මම වෙනස් විය යුතු බව මම දැනගෙන සිටියා, ඒ වගේම මම සතිය පුරාම එසේ කිරීමට පුළුවන් වෙන්න කියලා යාච්ඤා කළා. … ඊයේ රාත්‍රියේ දේවමාළිගාවේදී ආත්මයාණන්වහන්සේ මගේ හදවතේ ඇති අමනාපය ඉවත් කරන බව මට දැනුණා. … එයින් නිදහස් වීම විශාල සහනයක් වුණා. … මා මත පැටවිලා තිබුණු අශුභ ශාරීරික බරක් ඉවත් වුණා.”
ඔහුට තවමත් ඔහුගේ ඒ අභියෝග තිබෙනවා, දෙවියන්වහන්සේට සමීප වීමට, ජීවිතය ගැන වඩාත් ශුභවාදී වීමට සහ ඔහුගේ අනාගතය ගැන අඩු කනස්සල්ලක් දැනීමට, මගේ මිතුරාට උදව් වෙලා තියෙන ඒ දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ විමුක්තිදායක බලය සහ ස්වාමින්වහන්සේගේ ගෘහයේ එම අත්දැකීම ගැන ඔහු අගය කරනවා.
අපි දෙවියන්වහන්සේගේ ප්‍රේමය අත්විඳිද්දි, අපට අපගේ බර පහසුවෙන් දරාගන්න පුළුවන් වෙනවා, ඒවගේම ඉවසිලිවන්තව හා සතුටු සිතින් උන්වහන්සේගේ කැමැත්තට යටත් වෙන්න පුළුවන් වෙනවා. දෙවියන්වහන්සේ අප සමඟ ඇති කරගත් ගිවිසුම් මතක තබාගන්නා බව සහ, අපගේ දුක් වේදනා වලදී අපව බැහැදකින බව සහ, වහල්භාවයෙන් උන්වහන්සේ අපව මුදවන බව අපි විශ්වාස කරනවා. අපට දැනෙන ප්‍රීතිය, අපගේ පවුලේ අය සහ ආදරණීයයන් සමඟ බෙදාගන්නත් අපි කැමතියි. ලීහායිගේ පවුලේ අය වගේම, සෑම පුද්ගලයෙකුටම ඒ ඵලය භුක්ති විඳිය යුතුද නැද්ද කියලා තෝරගන්න තෝරාගැනීමේ නිදහස තිබෙනවා, නමුත් අපට එසේ ආරාධනා කිරීමෙන් ලැබෙන අවස්ථාව තමයි අප ආදරය කරන අයට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනෙන ආකාරයෙන් ඔවුන්ට ප්‍රේම කිරීම, බෙදාගැනීමට සහ ආරාධනා කිරීමට හැකි වීම.
අනෙක් අයට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට උපකාර කිරීමට, අපි නිහතමානිකම, පිවිතුරු ප්‍රේමය, දයානුකම්පාව සහ ඉවසීම වැනි ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ගුණාංග අප තුළ වර්ධනය කර ගත යුතුයි, ඒවගේම දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අපගේ සෙසු මිනිසුන්ට ප්‍රේම කිරීම යන ශ්‍රේෂ්ඨ ආඥා දෙක අනුගමනය කිරීමෙන් අන් අයව ගැලවුම්කරුවාණන් වෙත හැරවීමට අපි උදව් කළ යුතු වෙනවා.
අපේ එක පුතෙක් ඔහුගේ යොවුන් වියේදී ආත්ම අභිමානය හා අනෙක් අය සමඟ ගැලපීම සම්බන්ධයෙන් අරගල කළා. මගේ බිරිඳ සහ මම ඔහුට උදව් කරන්නේ කෙසේදැයි දැන ගැනීමට යාච්ඤා කළා, ඒවගේම ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා සිටින ඕනෑම දෙයක් කිරීමට අපි කැමැත්තෙන් සිටියා. මගේ පුතා සමඟ මට බැහැදැකීමට යා හැකි අවශ්‍යතා ඇති කෙනෙකු ගැන දන්නවාද කියලා දිනක් මට මගේ වැඩිහිටි ගණපූරණ සභාපතිවරයාගෙන් අසන්නට පෙළඹීමක් ඇති වුණා. ටික වෙලාවක් සිතා බැලීමෙන් පසු, සැලකිය යුතු සෞඛ්‍ය අභියෝග ඇති කාන්තාවක් බැලීමට සහ ශාඛා සභාපතිවරයාගේ අවසරය ඇතිව, සෑම සතියකම ඇයට සක්‍රමේන්තුව ලබාදෙන්න පුළුවන්ද කියලා ඔහු අපෙන් ඇහුවා. මම ප්‍රීති වුණා, නමුත් මගේ පුතා මේ සතිපතා කැපවීම ගැන කෙසේ ප්‍රතිචාර දක්වයිද කියලා මම කනස්සල්ලෙන් හිටියා.
අපගේ පළමු හමුවීමේදී, මෙම ආදරණීය කාන්තාව නිරන්තරයෙන් වේදනාවෙන් සිටි නිසා, අපගේ හදවත් ඇය වෙනුවෙන් වේදනා වුණා. ඇය සක්‍රමේන්තුව ගැන ගොඩක් ස්තූතිවන්ත වුණා, ඒවගේම අපි ඇයව සහ ඇගේ සැමියාව බලන්න යාම ගැන ඇය සතුටු වුණා. බැහැදැකීම් කිහිපයකට පසු, එක් ඉරිදා දිනක මම නිවසින් බැහැරව සිටි අතර මගේ පුතා සමඟ මට එහි යාමට නොහැකි වූ නමුත් අපගේ පැවරුම ගැන මම ඔහුට මතක් කර දුන්නා. මම ගෙදර ආවට පස්සේ, ඒ බැහැදැකීම කොහොමද වුණේ කියලා අහනකම් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඔහුගේ පන්තියේ මිතුරන්ට මේ වගේ අපූරු දේවල් කරන්න අවස්ථාව ලැබෙන්නෙ නැතුව ඇති කියලා ඔහු හිතන බව කියමින් මගේ පුතා පිළිතුරු දුන්නා. ඒවගේම ඔහු උදව් කිරීමට ඔහුගේ සහෝදරයාවත් ඔහු සමඟ ගෙනා බවත්, සක්‍රමේන්තුව සුමටව සිදු වූ බවත් පවසමින් ඔහු ඒ ගැන විස්තර කළා, නමුත් මේ ආදරණීය සහෝදරිය චිත්‍රපට නැරඹීමට ඇගේ මිතුරන්ට නිවසට ආරාධනා කළ නමුත් ඇගේ වීඩියෝ වාදකය ක්‍රියා නොකළ නිසා ඇය සතිය පුරාම ඉඳලා තියෙන්නෙ දුකින්. මගේ පුතා කිව්වා ඔහු ඒ ගැන අන්තර්ජාලයෙන් හොයලා, ගැටලුව හොයාගෙන, ඒ වෙලාවෙම ඒක විසඳුවා කියලා. ඇයගේ දවස දීප්තිමත් කරන දෙයක් කළ නිසා ඔහුට ප්‍රයෝජනවත් බවක්, සතුටක් සහ විශ්වාසයක් දැනිලා තිබුණා. ඔහුට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනී තිබුණා.
ඔබේ උපරිම උත්සාහය නොතකා, ජීවිතය වලාකුළු සහිත නම්, ඔබේ යාච්ඤාවලට සවන් නොදෙන බව ඔබට හැඟේ නම්, නැතහොත් ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනෙන්නේ නැත්නම්, ඔබේ සෑම උත්සාහයක්ම වැදගත් බවත්, අපට ඉහළින් ඇති තාරකා මෙන් නිසැකවම, ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබව දන්නා බවත්, ඔබට සවන් දෙන බවත්, ඔබට ප්‍රේම කරන බවත් දැන ගන්න.
එක් අවස්ථාවක උන්වහන්සේගේ ගෝලයන් “රළ පහරින් ගසාගෙන යන” බෝට්ටුවක සිටියදී, ගැලවුම්කරුවාණන් ජලය මත ඔවුන් දෙසට ඇවිද ගොස්, “ධෛර්යමත් වන්න; ඒ මම; බිය නොවන්න” යනුවෙන් සහතික කරමින් පැවසුවා. පේත්‍රැස්ට ජලය මතින් ගැලවුම්කරුවාණන් වෙතට යාමට අවශ්‍ය වූ විට, යේසුස්වහන්සේ ඔහුට “එන්න” කියා සංඥා කළා. පේත්‍රැස්ගේ අවධානය නැති වී ඔහු ගිලෙන්නට පටන් ගත් විට, ගැලවුම්කරුවාණන් වහාම ඔහුව අල්ලා ගැනීමට තම අත දිගු කර ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් මෙහෙම ඇහුවා, “ඇදහිලි මද තැනැත්ත, කුමක් නිසා සැකවුයෙහි ද?”
අපේ ජීවිතවල සුළං අපට එරෙහිව එන විට, අපි සතුටු සිතින් හා ධෛර්ය සම්පන්නව සිටීමට කැමතිද? ගැලවුම්කරුවාණන් අපව අත් නොහරින බවත්, සමහරවිට අප තවමත් හඳුනා නොගත් ආකාරවලින් උන්වහන්සේ අප අසල සිටින බවත් අපට මතක තබා ගත හැක්කේ කෙසේද? විශේෂයෙන් අප ඉදිරියෙහි ඇති මාර්ගය යා නොහැකි එකක් ලෙස පෙනෙද්දි, අපි ඇදහිල්ලෙන් උන්වහන්සේ වෙත යාමට කැමතිද? අපි පැකිළෙන විට උන්වහන්සේ අපව ආරක්ෂා සහිත ස්ථානයකට ඔසවාගෙන යන්නේ කිනම් ආකාරවලින්ද? සැකයකින් හෝ බියකින් තොරව, සෑම සිතුවිල්ලකදීම අපට උන්වහන්සේ දෙස ඇදහිලිවන්තව බැලිය හැක්කේ කෙසේද?
ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය බහුල ලෙස දැනීමට ඔබ කැමති නම්, පහත සඳහන් කරුණු සලකා බැලීමට මම ඔබට ආරාධනා කරනවා:
-
පළමුව, ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙකු බව මතක තබා ගැනීමට නිතර විරාමයක් ගන්න ඒවගේම ඔබ ස්තූතිවන්ත වන දේවල් ගැන සිතන්න.
-
දෙවනුව, දිනපතා යාච්ඤා කරන්න, ඔබ වටා සිටින කාටද උන්වහන්සේගේ ප්‍රේමය දැනෙන්න අවශ්‍ය කියලා දැනගැනීම පිණිස උදව් කරන්න කියලා ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඉල්ලන්න.
-
තෙවනුව, එම පුද්ගලයාට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට උපකාර කිරීමට ඔබට කළ හැක්කේ කුමක්දැයි අවංකව විමසන්න.
-
සහ හතරවනුව, ඔබට ලැබෙන පෙළඹවීම් අනුව වහාම ක්‍රියා කරන්න.
අපි නිරන්තරයෙන් අන් අය වෙනුවෙන් යාච්ඤා කර ඉල්ලනවා නම්, අපට උපකාර කළ හැකි පුද්ගලයින්ව දෙවියන්වහන්සේ අපට පෙන්වනවා. ඒවගේම අපි වහාම ක්‍රියා කළහොත්, උන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු දෙන මාධ්‍යයන් බවට අපට පත්වෙන්න පුළුවන්. එසේ කිරීමෙන්, කාලයත් සමඟ අපගේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙනවා, ඒවගේම අපගේම ජීවිත තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට දැනෙනවා.
මාස කිහිපයකට පෙර මම සහ මගේ බිරිඳ වියට්නාමයේ සංචාරය කරන අතරතුර, දැඩි කුණාටුවක් සමඟ ගුවන් ගත වූ ගුවන් යානයක අපි ගමන් කළා. කැළඹිලි ස්වභාවය දරුණු වුණා, ඒවගේම අඳුරු වලාකුළු, තද වැසි සහ අකුණු අපේ ජනේලයෙන් අපට දැකගන්න පුළුවන් වුණා. දිගු හා චංචල නැගීමකින් පසු, අපගේ ගුවන් යානය අවසානයේ කුණාටු වලාකුළුවලට ඉහළින් නැඟී මෙම තේජාන්විත දසුනට පැමිණියා. එය අපට නැවත වරක් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මතක් කර දුන්නා, ඒවගේම උන්වහන්සේලා අප කෙරෙහි දැක්වූ ඉමහත් ප්‍රේමය අපට දැනුණා.
ආදරණීය මිත්‍රවරුනි, දෙවියන්වහන්සේගේ ප්‍රේමය අත්විඳ ඇති අයෙකු ලෙස, ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නෙ දෙවියන්වහන්සේගේ ප්‍රේමය බව මම ප්‍රීතියෙන් සාක්ෂි දරනවා. උන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය පරිපූර්ණයි, පුද්ගලිකයි සහ සදාකාලිකයි. අපි උන්වහන්සේව ඇදහිලිවන්තව අනුගමනය කරද්දි, අපි උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරී, අන් අයට උන්වහන්සේගේ ප්‍රේමය කරා මඟ පෙන්වන ප්‍රදීපාගාරයක් බවට පත්වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.