ප්‍රධාන සම්මන්ත්‍රණය
“තවද මම නුඹලාව සුවකරන පිණිස … මා වෙතට හැරී එන්න”
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:2

“තවද මම නුඹලාව සුවකරන පිණිස … මා වෙතට හැරී එන්න”

නැවත පැමිණෙන අය ගැන ස්වර්ගයේ ප්‍රීතියක් තිබෙනවා. ඔබට නැවත පැමිණෙනට තවමත් ප්‍රමාද නැහැ.

අපි කාලයක් තේජාන්විත ගස් වලින් වට වූ නිවසක ජීවත් වුණා. එහි ඇතුල්වීමේ දොරටුව ළඟ ලස්සන විලෝ ගසක් තිබුණා. එක් දුක්බර රාත්‍රියක දරුණු කුණාටුවක් හමා ගිය අතර, විලෝ ගස කඩා වැටුණා. එය මුල් ගැලවිලා බිම පෙරලී තිබුණු අතර එය කණගාටුදායක දසුනක් වුණා.

මම දම්වැල් කියත පණ ගන්වා දර සඳහා ගස කැපීමට සූදානම් වෙනකොටම, අපේ අසල්වැසියා මාව නවත්තන්න දුවගෙන ආවා. ගස අත්හැරීම ගැන ඔහු මට තරවටු කළ අතර එය ඉවත් කරන්න එපා කියලා ඔහු අපිට තදින්ම අවවාද කළා. ඊටපස්සේ ඔහු බිම තිබ්බ එක මුලක් පෙන්නලා, අපි ගස ඉහළට ඔසවලා, එකේ අතු කපලා, එය පෝෂණය කරොත්, ආයෙත් මුල් අල්ලනවා කියලා කිව්වා.

වැටුණු විලෝ ගස.
බිමෙහි ඉතිරිව ඇති ගසේ එක් මුලක්.

මට දෙගිඩියාවක් ඇති වුණා, ඒ වගේම කරදරයකට වැටිලා තියෙන ගහක් කොහොමද බේරිලා ආයෙත් පණ ලබන්නේ කියලා මට චකිතයක් දැනුණා. ඒක ආයෙත් වර්ධනය වෙන්න පටන් ගත්තත්, ඊළඟ කුණාටුවෙන් එය නිසැකවම නොනැසී තියෙන්නේ නැහැ මම තර්ක කළා. ඒත් අපේ අසල්වැසියා විශ්වාස කරන්නේ ගසට තවමත් අනාගතයක් ඇති බව කියා දැනගෙන, අපි ඒ සැලැස්මට අනුව ක්‍රියා කළා.

හිස් වූ ගසේ කඳ.
වර්ධනය වන බවට ගසෙහි ඇති සලකුණු.

ඒවගේම ප්‍රතිඵලය කුමක්ද? ටික කාලෙකට පස්සේ, ගස මුල් බැස ගන්නට පටන් ගත්තම අපිට ජීවයේ සලකුණු පෙනුණා. දැන්, අවුරුදු 12 කට පස්සෙ, ගස ජීවයෙන් පිරිලා තියෙනවා වගේම ශක්තිමත් මුල් එක්ක ආයෙත් පාරක් භූ දර්ශනයේ සුන්දරත්වයට දායක වෙනවා.

ලෙලදෙන හා නිරෝගී ගසක්.

ලොව පුරා සිටින ශුද්ධවන්තයන්ව මම මුණගැහෙන කොට, මට මෙම විලෝ ගස සහ සියල්ල අහිමි වෙලා වගේ පෙනෙන්න තිබුණත් බලාපොරොත්තුවක් ඇති ආකාරය සිහිපත් වෙනවා. සමහරුන්ට වරක් විලෝ මෙන් ශක්තිමත් හා උද්දීප්ත වූ ශුභාරංචිය පිළිබඳ සාක්ෂි තිබුණා. ඉන්පසුව, සුවිශේෂී පෞද්ගලික හේතූන් නිසා, එම සාක්ෂි දුර්වල වෙලා, ඇදහිල්ල නැති වීමට හේතු වුණා. තවත් සමහරු ශුභාරංචියේ පසට තට්ටු කරන සිහින්ම මුල් සමඟ රැඳී සිටිනවා.

නැවත නැවතත්, තම අනුගාමිකත්වය අලුත් කර ගැනීමට සහ ඔවුන්ගේ සභාවේ නිවසට නැවත පැමිණීමට තෝරා ගත් ඉතා බොහෝ දෙනෙකුගේ කථා වලින් මම ආශ්වාදයක් ලැබුවා. වටිනාකමක් නැති දර වගේ ඔවුන්ගේ ඇදහිල්ල සහ විශ්වාසය ඉවත දමනවා වෙනුවට, ඔවුන් නැවත පැමිණීමට ආධ්‍යාත්මික පෙළඹවීම් සහ ප්‍රේමනීය ආරාධනාවලට ප්‍රතිචාර දක්වලා තියෙනවා.

මම කොරියාවේ පැවති ස්ටේක සම්මන්ත්‍රණයකට සහභාගී වූ අතර එහිදී නැවත පැමිණි සාමාජිකයෙක් මෙහෙම කිව්වා: “මගේ ඇදහිල්ල මදිකම සහ දුර්වලකම පිළිගැනීමට කැමැත්තෙන් සිටීම ගැනත්, මා වෙත ළඟා වීම ගැනත් සහෝදරයන්ට, සහ මට සැමවිටම කරුණාවන්ත වන සාමාජිකයින්ට මම ස්තූතිවන්ත වෙනවා. තවමත් මා වටා ක්‍රියාශීලී නැති මිතුරන් ගොඩක් ඉන්නවා. ඒක හාස්‍යජනකයි, මොකද ඔවුන් එකිනෙකාට කියාගන්නවා ඔවුන්ගේ ඇදහිල්ල නැවත ලබා ගැනීමට සභාවට ආපසු යන්න කියලා. මම හිතන්නේ ඒ හැම කෙනෙක්ම ඇදහිල්ලට ආශා කරනවා ඇති.”

ඇදහිල්ල සඳහා ආශා කරන හැම කෙනෙක්ටම, නැවත පැමිණෙන ලෙස අපි ආරාධනා කරනවා. ඔබ නැවත වරක් ශුද්ධවන්තයන් සමඟ වන්දනාමාන කරන විට ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න පුළුවන් කියලා මම පොරොන්දු වෙනවා.

අප්‍රිකාවේ හිටපු ධර්මදූතයෙක්, ඔහු සභාවෙන් ඉවත් වෙන්න හේතු වුණු යම් සංස්කෘතික සම්ප්‍රදායන් පිළිබඳ ඔහුගේ ඉගැන්වීම් හේතුවෙන් අමනාප වීම නිසා සමාව ඉල්ලා ජ්‍යෙෂ්ඨ සභා නායකයෙකුට ලිපියක් ලිව්වා. ඔහු නිහතමානීව මෙසේ ප්‍රකාශ කළා: “කණගාටුවට කරුණක් නම්, වසර 15 කට පෙර මම අමනාප වූ කාරණය නිසා මට අතිශයින් දරුණු ප්‍රතිවිපාක අත්විඳින්න සිද්ධ වුණා. මට ගොඩක් දේවල් නැති වුණා—මම කවදාවත් හිතුවටත් වඩා ගොඩක් දේවල්. ඒ ගමනේදී මට සිදු වූ හානිය ගැන මම ගොඩක් ලැජ්ජාවට පත්වෙනවා, නමුත් හැමදේටම වඩා මට ආපසු යාමට මාර්ගය සොයා ගැනීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා.”

ඔබට අහිමි වූ දේ හඳුනා ගන්නා හැම කෙනෙක්ටම, ශුභාරංචියේ ප්‍රීතිමත් ඵලය නැවත වරක් රස විඳීමට හැකි වන පරිදි නැවත පැමිණෙන ලෙස අපි ඔබට ආරාධනා කරනවා.

එක්සත් ජනපදයේ සහෝදරියක් වසර ගණනාවක් සභාවෙන් ඈත් වෙලා හිටියා. ඇගේ නැවත පැමිණීමේ කතාවෙන්, ඈත් වන ආදරණීයයන් ගැන දුක් වන දෙමාපියන්ට සහ පවුලේ සාමාජිකයින්ට බලවත් පාඩම් ඇතුළත් වෙනවා. ඇය මෙහෙම ලිව්වා:

“මම සභාවෙන්, ශුභාරංචියෙන් සහ එක්තරා ආකාරයකින් මගේ පවුලෙන් ඉවත් වීමට හේතු රාශියක් මට ලැයිස්තුගත කරන්න පුලුවන්. නමුත් ඒවා ඇත්තටම වැදගත් නැහැ. මම සභාවෙන් ඉවත් වෙන්න එක් විශාල තීරණයක් ගත්තේ නැහැ—මම හිතෙන හැටියට තේරීම් දහසක් පමණ කළා. නමුත් මම සැමවිටම මම දන්න එක දෙයක් තමයි මගේ දෙමව්පියන් එක් වැදගත් තීරණයක් ගත් අතර ඔවුන් එයට ඇලී සිටියා. ඔවුන් මට ආදරය කරන්න තීරණය කළා.

“මා වෙනුවෙන් කොපමණ කඳුළු වැගිරී තියෙනවද, කොපමණ නිදි නැති රාත්‍රීන් තිබිලා තියෙනවද, කොපමණ හෘදයාංගම කන්නලව් සහිත යාච්ඤා වචන ප්‍රකාශ කරලා තියෙනවද කියල මට හිතාගන්නවත් බැහැ. ඔවුන් මගේ පාප නිසා මාව විවේචනය කළේ නැහැ; ඒ වෙනුවට, මගේ පවිටුකමේදිත් ඔවුන් මා වෙනුවෙන් සිටියා. ඔවුන්ගේ නිවසේදී සහ පවුලේ හමුවීම්වලදී ඔවුන් මාව නොපිළිගත් බවක් පෙන්නුවේ නැහැ; එහෙම හැඟීමක් තිබුණත් ඒකට මමම තමයි වගකියන්න ඕනේ. ඒ වෙනුවට, ඔවුන් මාව දිගටම පිළිගත්තා. කාලයත් එක්ක මගේ උද්යෝගය ක්‍රමයෙන් පහත වැටෙනවා ඔවුන් දකින්න ඇති. නමුත් ඒ දවස් වල හිටපු මම කියන්නේ, මම වෙන්න හිටපු කෙනාගේ අසම්පූර්ණ පිළිබිඹුවක් විතරයි කියලා ඔවුන් දැනගෙන හිටියා.

“සභාවෙන් ඈත් වූ මගේ මාර්ගය වගේම, ආපසු එන මගේ මාර්ගයත් සංකීර්ණ වුණා. නමුත් නැවත පැමිණීමේදී අපහසු උනේ නැති එක දෙයක් තමා, මම අයිති නිවසට නැවත පැමිණීමේ හැඟීම.”

අද මගේ පණිවිඩය, විශේෂයෙන්ම වරක් ආත්මයාණන්ව දැනුණු නමුත්, නැවත පැමිණීමට මාර්ගයක් තිබේද නැතහොත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ ඔබට ස්ථානයක් තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න කරන හැමෝටමයි. එය යන්තම් එල්ලී සිටින හෝ ඉවත් වීමට පෙළඹෙන ඕනෑම කෙනෙකුටත් අදාළයි.

මෙම පණිවිඩය අභියෝගයකුත් නෙමේ, එය හෙළා දැකීමකුත් නෙමේ. එය ඔබව නැවත ඔබේ අධ්‍යාත්මික නිවසට පිළිගැනීමට ආදරයෙන් සහ අවංක ආශාවෙන් කරන ආරාධනයක්.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් මෙම ප්‍රේමණීය ආරාධනය සහ විශිෂ්ට පොරොන්දුව දැන් ඔබට ඇසෙන විට ශුද්ධාත්මයාණන්ගේ සාක්ෂිය ඔබට දැනෙන පිණිස මම යාච්ඤා කළා:

මා නුඹලාව සුවකරන පිණිස, නුඹලා දැන් මා වෙතට හැරී නොඑන්නෝද, තවද නුඹලාගේ පාපයන්ට පසුතැවිලිව, තවද හැරී නොඑන්නෝද?”

සෑම සතියකම බොහෝ දෙනෙක් ගැලවුම්කරුවාණන්ගේ ආරාධනයට ප්‍රතිචාර දක්වමින්, අනුගාමිකත්වයට සහ සභාවේ ක්‍රියාකාරකම් වලට නැවත පැමිණ, යේසුස්වහන්සේගේ පොරොන්දු වූ සුවය නිහඬව හා නිහතමානීව සොයමින් ඉන්නවා. සමහර වෙලාවට සංසරණය වන ආඛ්‍යානවලට පටහැනිව, අපගේ යෞවනයන් වාර්තාගත සංඛ්‍යාවක් ශක්තිමත්ව සිටීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වර්ධනය කර ගැනීමට තෝරා ගනිමින් ඉන්නවා.

කපර්ණවුමේ සිටි යේසුස්වහන්සේගේ අනුගාමිකයන් කිහිප දෙනෙකුට උන්වහන්සේගේ ඉගැන්වීම් දුෂ්කර වී ඔවුන් හැර යාමට තීරණය කළ විට, උන්වහන්සේ තම ප්‍රේරිතවරුන් දෙසට හැරී, “නුඹලාත් අහක්ව යන්ට කැමතිදැයි?” ඇහුවා.

අපි එක එක පරීක්ෂණ කාල වලට මුහුණදෙන කොට අපි එක එක්කෙනා පිළිතුරු දිය යුතු ප්‍රශ්නය තමයි මේක. පේත්‍රැස් යේසුස්වහන්සේට දුන්න ප්‍රතිචාරය සදාකාලිකයි සහ ප්‍රබලයි: “අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.”

ඉතින් ඔබ උන්වහන්සේ වෙත නැවත පැමිණෙන ලෙස ගැලවුම්කරුවාණන් කළ ආරාධනය සලකා බලන විට, විලෝ ගස පිළිබඳ කතාවෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන් මොකක්ද?

  1. ආපසු එන ගමන බොහෝ විට ලේසි හෝ සුවපහසු නොවේ, නමුත් එය වටිනවා. අපේ විලෝ ගස නැවත සිටවූ වෙලාවේ, එහි සියලු අතු කපා දමා තිබුණා. ඒක ලස්සන වුණේ නැහැ. අපිත් පරණ මාර්ගයන් අත්හැර දමා උඩඟුකමෙන් මිදෙන කොට, අපටත් අවදානමක් දැනෙන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි—කඳ සහ මුල් කෙරෙහි—ඔබේ ඇදහිල්ල යොමු කිරීමෙන්, එම පළමු පියවර ආපසු ගැනීමට ඔබට බලාපොරොත්තුව සහ ධෛර්යය ලැබෙනවා.

  2. අපේ විලෝ ගසට එහි කලින් තිබුණු ශක්තිය හා අලංකාරය නැවත ලබා ගැනීමට වසර ගණනාවක් ගත වුණා. දැන් ඒක පෙරටත් වඩා ශක්තිමත් හා ලස්සනයි. ඔබේ ඇදහිල්ල සහ සාක්ෂිය වර්ධනය වෙන තුරුත් ඉවසිලිවන්ත සිටින්න. “ඔයා මේ අවුරුදු ගාණ පුරාම කොහෙද හිටියේ?” වගේ නොසැලකිලිමත් අදහස් වලට අමනාප නොවී සිටීමත් මෙයට ඇතුළත් වෙනවා.

  3. නිරන්තර සැලකිල්ල සහ පෝෂණය නොමැතිව මෙම විලෝ ගස කිසි විටෙකත් නොනැසී පවතින්නේ නැහැ. ඔබ සෑම සතියකම සක්‍රමේන්තුවට සහභාගි වෙලා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නමස්කාර කරන විට ඔබේ ඇදහිල්ල සහ ඔබේ සාක්ෂිය පෝෂණය වෙනවා.

  4. විලෝ ගසට එහි අතු සහ කොළ නැවත වැඩීමට හිරු එළිය අවශ්‍ය වූවාක් මෙන්, ඔබ ආත්මයාණන්ගේ හැඟීම් සහ සාක්ෂියට සංවේදීව සිටින විට ඔබේ සාක්ෂිය වර්ධනය වෙයි. “බොහෝ අවස්ථා වල මම කැඳවනු ලැබිමි, තවද මා ඇසුවේ නැත” යනුවෙන් පවසමින් අඩු ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස තම කාලය විස්තර කළ අමුලෙක්ගෙන් ඉගෙන ගන්න.

  5. විලෝ ගසට ආයෙත් මොනවා වෙන්න පුළුවන්ද කියලා මගේ අසල්වැසියා දැනගෙන හිටියා. ඒ ආකාරයෙන්ම ස්වාමීන්වහන්සේත් ඔබේ දිව්‍යමය හැකියාව සහ ඔබේ ඇදහිල්ල සහ ඔබේ සාක්ෂිය කුමක් විය හැකිද කියලා දන්නවා. උන්වහන්සේ කවදාවත් ඔබව අත්හරින්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, බිඳුණ හැමදෙයක්ම සුව කරන්න පුළුවන්.

නැවත පැමිණෙන අය වෙනුවෙන් ස්වර්ගයේ ප්‍රීතියක් ඇති බව මම සාක්ෂි දරනවා. ඔබව අවශ්‍යයි, ඔබට ආදරය ලැබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් බවත්, උන්වහන්සේ වෙත නැවත පැමිණෙන සැමට උන්වහන්සේ වැඩි සාමයක් හා මහත් ප්‍රීතියකින් ආශිර්වාද කරන බවත් මම සාක්ෂි දරනවා. උන්වහන්සේගේ කරුණාවේ හස්තය නමාගෙන නැහැ, නමුත් ඔබ වෙතට විවෘතව දිගු කරලා තියෙනවා. නැවත පැමිණෙන්නට ඔබ තවමත් ප්‍රමාද නැහැ. අපගේ හදවත් තුළ ඇති සියලු ආදරයෙන්, අපි ඔබව නිවසට සාදරයෙන් පිළිගන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. මෙය එදත් අදත් වොෂින්ටන් ස්පෝකේන් මෙහෙයුම සඳහා වූ ධර්මදූතයේ නිවහනයි. මගේ බිරිඳ ජැකී විසින් ගත් විලෝ ගසේ ඡායාරූපයක්.

  2. 3 නීෆායි 9:13. පසුතැවිලි වීමට ඇති ආරාධනය අප සැමට අදාළ වන බව සලකන්න. බලන්න 1 යොහන් 1:8 (“අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව”) සහ සභාපති රසල් එම්. නෙල්සන්ගේ දිනපතා පසුතැවිලි වීමට කරන ආරාධනය, “අධ්‍යාත්මික ගම්‍යතාවයේ බලය,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2022.

  3. බලන්න Quentin L. Cook, “Facing Life and Faith Challenges” (worldwide devotional for young adults, Nov. 14, 2023), Gospel Library: “ඔබේ දැනගැනීම සඳහා, අතීතයට වඩා යෞවනයන් හා තරුණ වැඩිහිටියන් අඩු ක්‍රියාකාරී හෝ සභාවෙන් ඉවත් වන සංඛ්‍යාව වැඩි වී නැති බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා. සේවය කිරීමට කැඳවනු ලබන ධර්මදූතයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වෙලා තිබෙනවා. නැගී එන පරම්පරාව සඳහා සභාවේ සහභාගීත්වයේ ප්‍රතිශතය අඛණ්ඩ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. එපමණක් නොව, ආයතනික පන්ති වලට පැමිණෙන තරුණ වැඩිහිටියන් සංඛ්‍යාව ද වැඩි වෙමින් පවතිනවා.

    තවත් බලන්න D. Todd Christofferson and Clark G. Gilbert, “Video: Elder Christofferson Challenges Narrative, Says Spirit Working in Youth,” Church News, Dec. 13, 2024, newsroom.ChurchofJesusChrist.org.

  4. යොහාන් 6:67.

  5. යොහාන් 6:68.

  6. බලන්න ඇල්මා 5:28.

  7. බලන්න ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්, “මුල් පෝෂණය කරන්න, ඉන්පසු අතු වර්ධනය වෙයි,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2024: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව අපගේ සාක්ෂියේ මුලයි. අනෙක් සියල්ල අතු. … යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂි පෝෂණය කිරීමේදී, අපි සමහර විට අතු මුල් ලෙස වරදවා වටහා ගන්නවාදැයි මට සිතෙනවා. … මුල් පෝෂණය කරන්න, එවිට අතු වර්ධනය වෙයි.”

  8. බලන්න ඇල්මා 32:41.

  9. රසල් එම්. නෙල්සන් “ සෙලෙස්ටියල් මහිමය සිතන්න!,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2023: “දේවමාළිගාවේ වැඩි කාලයක් ගත කිරීමෙන් ඇදහිල්ල ගොඩනැගෙනවා. දේවමාළිගාවේ ඔබේ සේවය සහ නමස්කාරය ඔබට උත්කර්ෂවත්ව සිතීමට උපකාරී වනවා.

    තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “පූජකවර යතුරු දීමනාව ගැන ප්‍රීති වන්න,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2024: “මෙන්න මගේ පොරොන්දුව. යකඩ අත්වැල තදින් අල්ලා ගැනීමට වෙනත් කිසිවක් මෙතරම් ඔබට උපකාරී නොවේ. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ ඔබගේ සාක්ෂිය ශක්තිමත් කිරීමට හෝ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සැලැස්ම වඩාත් අවබෝධ කර ගැනීමට වෙනත් කිසිවක් මෙතරම් ඔබට උපකාර නොකරනු ඇත.”

  10. බලන්න ඇල්මා 32:28.

  11. ඇල්මා 10:6.

  12. බලන්න පැට්‍රික් කීරන්, “දෙවියන්වහන්සේගේ අභිප්රාය වන්නේ ඔබව නිවහනට ගෙන ඒමයි,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2024: “දෙවියන්වහන්සේ ඔබව නොනවත්වා ලුහුබඳිනවා.”

  13. බලන්න Jeffrey R. Holland, “Broken Things to Mend,” Liahona, May 2006, 69–71.

  14. බලන්න ලූක් 15:11–32; දහම සහ ගිවිසුම් 18:13.

  15. බලන්න යොහාන් 15:9.

  16. බලන්න ඇල්මා 5:33.

  17. බලන්න රසල් එම්. නෙල්සන්, “ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2024: “ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ භක්තිමත් ගෝලයෙකු වීමට ඉතා ඉක්මන්වත් ඉතා ප්‍රමාදවත් නෑ. ඉන්පසු උන්වහන්සේගේ වන්දිගෙවීමේ ආශිර්වාදය ඔබට සම්පූර්ණයෙන් අත්විඳින්න පුළුවන්.”

    තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික ගම්‍යතාවයේ බලය: “ඔබ ගිවිසුම් මාර්ගයෙන් පිටතට බොහෝ දුර ගොස් හෝ බොහෝ ඈතට ගොස් ඇති බවත්, නැවත පැමිණීමට මාර්ගයක් නොමැති බවත් ඔබට හැඟේ නම්, එය සරලවම ඇත්තක් නොවේ.”