ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබගේ පසුතැවීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බරක් නොවේ; එය උන්වහන්සේගේ ප්‍රීතිය දීප්තිමත් කරයි
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:44

ඔබගේ පසුතැවීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බරක් නොවේ; එය උන්වහන්සේගේ ප්‍රීතිය දීප්තිමත් කරයි

පසුතැවිලි වීමට කරන ආරාධනය දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ප්‍රකාශනයක්. ඒ ආරාධනයට ඔව් කීම අපගේ ප්‍රකාශනයක්.

මීට අවුරුදු කිහිපයකට කලින් ෆ්ලොරිඩාවට ගිය ගමනකදී, මම එළිමහනේ ඉඳගෙන පොතක් කියවමින් සිටියා. එහි මාතෘකාවෙන් ඇඟවුණේ අපි දැන් පරිපූර්ණ නොවුණත්, අපට තවමත් ස්වර්ගයට යා හැකි බවයි. ඒ අසලින් ගමන් කළ කාන්තාවක් මෙහෙම ඇහුවා, “ඔයා හිතනවද ඒක කරන්න පුළුවන් කියලා?”

මම ව්‍යාකූලව වෙලා එයා දිහා බැලුවා, ඊට පස්සේ මට තේරුණා ඇය කතා කරන්නේ මම කියවමින් සිටි පොත ගැන කියලා. “හොඳයි, මම ගොඩක් දුර කියවලා ඉවර නැහැ, නමුත් ඒක අවසන් වෙන්නේ කොහොමද කියලා මම ඔයාට කියන්නම්” වගේ හාස්‍යජනක දෙයකින් මම පිළිතුරු දුන්නා.

ඔහ්, මම ප්‍රාර්ථනා කරනවා මට ආයෙ ආපස්සට යන්න පුළුවන් උනානම් කියලා! එහෙම උනානම් මම ඇයට මෙහෙම කියනවා, “ඔව්, ඒක වෙන්න පුළුවන් දෙයක්! මොකද ස්වර්ගය තියෙන්නෙ පරිපූර්ණ වෙලා හිටපු මිනිසුන්ට නොවේ; එය තියෙන්නෙ සමාව ලැබූ සහ නැවත නැවතත් ක්‍රිස්තුස්වහන්සේව තෝරා ගන්නා අයටයි.”

“පසුතැවීම සහ සමාව දීම, මා හැර අන් සියල්ලන්ටම ක්‍රියාත්මක වන බව පෙනෙනවා” කියා සමහර අවස්ථා වලදී හැඟෙන අයට අද මම කතා කිරීමට කැමැතියි. “මම එකම වැරද්ද කරන නිසා, සමහර විට මම මෙහෙම වෙන්න ඇති” කියලා පෞද්ගලිකව කල්පනා කරන අයටත් මම කතා කිරීමට කැමැතියි. මට වගේම, ගිවිසුම් මාර්ගය ඉතා බෑවුම් සහිත බවක් දැනෙන අයට, එය ගිවිසුම් කඳු නැගීමක් වගේ දැනෙන අයට මම කතා කරන්න කැමතියි.

ඕස්ට්‍රේලියාවේ අපූරු ධර්මදූතවරයෙකු වන ෆීජි හි වැඩිහිටි කකා, ඔහුගේ නික්ම යාමේ සාක්ෂියේදී ඒ හා සමාන හැඟීමක් බෙදාගත්තා: “දෙවියන්වහන්සේ මට ප්‍රේම කරන බව මම දන්නවා, නමුත් සමහර වෙලාවට මම කල්පනා කරන්නෙ, මම දෙවියන්වහන්සේට ප්‍රේම කරන බව උන්වහන්සේ දන්නවාද? මොකද මම පරිපූර්ණ නැහැ, මම තවමත් වැරදි කරනවා.”

ඒ මෘදු, නිතර මතක් වෙන ප්‍රශ්නයේදී, මම බොහෝ විට කනස්සල්ලට පත් වූ දේ ගැන වැඩිහිටි කකා හරියටම සාරාංශ කළා. සමහරවිට ඔබත් මෙහම හිතමින් කල්පනා කරනවා ඇති, “මම ගොඩක් උත්සාහ කරනවා, නමුත් මම ඇත්තටම උත්සාහ කරනවා කියලා දෙවියන්වහන්සේ දන්නවාද? මම දිගින් දිගටම අසාර්ථක වෙද්දී, මම තවමත් උන්වහන්සේට ප්‍රේම කරන බව දෙවියන්වහන්සේ දන්නවාද?

මේ ගැන කියන එකත් මට දුකක්, නමුත් මම ගැලවුම්කරුවාණන් සමඟ මගේ සම්බන්ධතාවය මනින්නේ මම කෙතරම් දුරට පරිපූර්ණ ලෙස ජීවත් වෙනවාද යන එක අනුවයි. කීකරු ජීවිතයක් කියන්නේ මට කවදාවත් පසුතැවිලි වෙන්න අවශ්‍ය නැති ජීවිතයක් කියලා මම හිතුවා. මම වැරදි කළාම, ඒ කියන්නෙ හැම දවසකම, මම දෙවියන්වහන්සේගෙන් මාව ඈත් කරගෙන, “උන්වහන්සේ මා ගැන බොහෝ කලකිරී ඇති” කියලා හිතනවා.

ඒක ඇත්ත නෙවෙයි.

ඔබ ගැලවුම්කරුවාණන් වෙත යාමට ප්‍රමාණවත් තරම් පිරිසිඳු වන තුරු හෝ පරිපූර්ණ වන තුරු බලා සිටියහොත්, ඔබට මුළු කාරණයම මග හැරී යන බව මම ඉගෙන ගත්තා!

අපි ආඥා සහ කීකරුකම ගැන වෙනස් ආකාරයකින් සිතුවොත් මොකක් වෙයිද?

දෙවියන්වහන්සේ අපගේ වැරදි ගැන සැලකිලිමත් වෙනවා, ඒවගේම අපි වැරැද්දක් කළාට පස්සෙ සිදුවන්නේ කුමක්ද කියා උන්වහන්සේ වැඩි සැලකිල්ලක් දක්වන බව මම සාක්ෂි දරනවා. අපි නැවත නැවතත් උන්වහන්සේ වෙත හැරෙනවද? අපි මේ ගිවිසුම් සම්බන්ධතාවයේ රැඳී සිටිනවාද?

සමහරවිට ඔබට “[ඔබ] මට ප්‍රේම කරනවා නම්, මාගේ ආඥා පිළිපදින්න” යන ස්වාමින්වහන්සේගේ වචන ඇසෙයි, ඒවගේම ඔබ සියලු ආඥා පිළිපැද නැති නිසා ඔබට කලකිරීමක් දැනෙන්නට පුළුවන්. පසුතැවිලි වීමද ආඥාවක් බව මම ඔබට මතක් කර දෙන්නම්! ඇත්ත වශයෙන්ම, එය ශුද්ධලියවිලිවල වැඩිපුරම නැවත නැවතත් කියන ආඥාව වෙන්න පුළුවන්.

ඇල්මාගේ ඒකපුද්ගල කථාවේදී ඔහු කිව්වා, “අහෝ, මම දේවදූතයෙක් වී, [මගේ] හදවතේ ආශාව ලබාගෙන … පසුතැවිලි වී හඬන්නට හැකි නම්,” ඔහු අපගේ වැරදි පෙන්වා දීමෙන් අපව ලැජ්ජාවට පත් කිරීමට උත්සාහ කළේ නැහැ. ඔබටත් මටත් ලෝකයේ දුක් වේදනා වලින් වැළකී සිටීමට හැකි වන පරිදි, ඔහුට පසුතැවිලි වී හඬන්නට අවශ්‍ය වුණා. ඇල්මා පාපයට වෛර කළ එක් හේතුවක් තමයි එය අපට වේදනාවක් ගෙන දෙන එක.

ආඥා කියන්නේ වේදනාවෙන් මිදීමට මාර්ගය බව, සමහර වෙලාවට මට මගේ නළලෙහි සටහනක් ලියා අලවාගෙන, මතක තබාගැනීමට සිදුවන දෙයක්. ඒ වගේම පසුතැවීමත් එහෙමයි. අපේ අනාගතවක්තෘවරයා මෙහෙම කිව්වා “ගැලවුම්කරුවාණන් සැමවිටම අපට ප්‍රේම කරන නමුත් විශේෂයෙන්ම අප පසුතැවිලි වන විට අපට ප්‍රේම කරනවා.”

ඉතින් ස්වාමින්වහන්සේ “පසුතැවිලි වන්න, පසුතැවිලි වන්න” කියා කියද්දි, “මම ඔබට ආදරෙයි” කියා ඔබ උන්වහන්සේට පවසන බව සිතින් මවා ගත්තොත් කුමක් වෙයිද? මම ඔබට ආදරෙයි.” අන්ධකාරයෙන් මිදී උන්වහන්සේගේ ආලෝකයට හැරෙන ලෙස ඔබට ආරාධනා කරමින්, ඔබට වේදනාව ගෙන දෙන හැසිරීම අත්හරින ලෙස උන්වහන්සේ ඔබෙන් අයැද සිටින ආකාරය සිතින් මවා ගන්න.

මගේ දුව කාර්ලිගේ කොට්ඨාශයේ, අලුත් පූජකයෙක් සක්‍රමේන්තුවට ආශිර්වාද කිරීමට දණ ගසා, “ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ රුධිරය සිහිකිරීමට ඔවුන් එය කරනු පිණිසය,” කියනවා වෙනුවට, ඔහු නොදැනුවත්වම කියා තිබුණේ, “ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ ප්‍රේමය සිහිකිරීමට ඔවුන් එය කරනු පිණිසය” කියලයි. ඒ වචනවල සත්‍යය කාර්ලිට වැටහෙද්දී ඇයගේ දෑස් කඳුළින් පිරී ගිහින් තිබුණා.

අපගේ ගැලවුම්කරුවාණන් ඔබට ප්‍රේම කරන නිසා, උන්වහන්සේගේ වන්දිගෙවීමේ වේදනාව උන්වහන්සේ කැමැත්තෙන්ම වින්දා. ඇත්ත වශයෙන්ම, උන්වහන්සේ දුක් විඳිද්දී ඔබ තමයි “උන්වහන්සේ ඉදිරියෙහි තිබූ ප්‍රීතිය.”

පසුතැවිලි වීමට කරන ආරාධනය දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ප්‍රකාශනයක්.

ඒ ආරාධනයට ඔව් කීම අපගේ ප්‍රකාශනයක්.

ඔබ කැමතිම ක්‍රිස්තුස්වහන්සේගේ රූපය සිතින් මවා ගන්න. දැන් ඔබ උන්වහන්සේගේ ත්‍යාගය භාවිතා කරන සෑම අවස්ථාවකම උන්වහන්සේ ප්‍රීතියෙන් දීප්තිමත් ලෙස සිනාසෙන බව සිතන්න, මොකද උන්වහන්සේ තමයි “බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තිය.”

ඔව්, ඔබේ පසුතැවිල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බරක් වෙන්නේ නැහැ; එය උන්වහන්සේගේ ප්‍රීතිය දීප්තිමත් කරනවා.

අපි ඒ ගැන උගන්වමු!

මොකද පසුතැවිල්ල තමයි අපිට තිබෙන හොඳම ආරංචිය!

අපි කිසි විටෙකත් වැරැද්දක් නොකර ගිවිසුම් මාර්ගයේ රැඳී සිටින්නේ නැහැ. අපි ඒ මාර්ගයේ රැඳී සිටින්නේ සෑම දිනකම පසුතැවිලි වීමෙන්.

අපි පසුතැවිලි වෙද්දි, දෙවියන්වහන්සේ මේ අපි පසුගිය සතියේ පසුතැවිලි වූ දෙයමයි කියා, අපට ලැජ්ජාවට පත් නොකර, අපව වෙනත් කිසිවෙකු සමඟ සංසන්දනය නොකර, හෝ අපට බැණ වදින්නේ නැතිව සමාව දෙනවා.

අපි දණ ගහගෙන ඉන්නවා දකින හැම වෙලාවෙම උන්වහන්සේ උද්යෝගිමත් වෙනවා. අපි උන්වහන්සේට ප්‍රියජනක නිසා උන්වහන්සේ අපට සමාව දීමට ප්‍රිය කරනවා!

ඒක ඇත්ත කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

එහෙනම් ඇයි අපිට විශ්වාස කරන්න මෙච්චර අමාරු?!

මහා චෝදනා කරන්නා සහ රැවටිලිකාරයා වන සාතන්, දෙවියන්වහන්සේගෙන් අපව ඈත් කිරීමට ලැජ්ජාව භාවිතා කරනවා. ලැජ්ජාව කියන්නෙ කෙතරම් ඝන අන්ධකාරයක්ද කියනවා නම්, ඔබ එය ඔබේ ශරීරයෙන් ඉවත් කළහොත් එයට විශාල බරක් හෝ විශාලත්වයක් තියෙනවා.

“ඔයා මොනවද හිතුවේ?” කියලා අහන ඔයාට පහර දෙන හඬ තමයි ලැජ්ජාව. “ඔයා කවදා හරි දෙයක් හරියට කරනවද?”

ලැජ්ජාව අපි වැරැද්දක් කළා කියලා අපිට කියන්නෙ නැහැ; ලැජ්ජාව අපිට කියන්නේ අපේ වැරදි වලින් අපිව නිර්වචනය වෙනවා කියලා. ඔබට “සැඟවෙන්න” කියා පවා ඇසෙන්න පුළුවන්. අපේ ඇතුළත ඒ බර තියන්න, ඒක හරිගස්සන්න ගොඩක් මහන්සි වෙන්න ඕනෙ කියන එක, මෙය අන්ධකාරයේ පැවතුනහොත් එය පහසු වනු ඇති බව අපට පවසමින්, සතුරා තම බලයෙන් හැකි සෑම දෙයක්ම කරන්නේ සියලු බලාපොරොත්තු සුන් කර දමන්නයි.

සාතන් කියන්නේ බලාපොරොත්තුවේ සොරෙක්.

ඔබ මෙය ඇසිය යුතුයි, ඒ නිසා මම මේ වචන ශබ්ද නඟා කියන්නම්: ඔබ ඔබේ හිසෙන් ඇසෙන හඬ හෝ ඔබ කළ වැරදි වලින් නිර්වචනය වන කෙනා නෙමේ. ඔබත් ඒ දේ ශබ්ද නඟා කියන්න අවශ්‍යයි. “අද නෙවෙයි” කියලා සාතන්ට කියන්න. ඔහුව ඔබේ පිටිපස්සෙන් තියන්න.

ඒ ඇදීම දැනෙන්න, ඔබව ඔබේ ගැලවුම්කරුවාණන් වෙත හරවන දේව භක්තික දුක, සහ උන්වහන්සේගේ කරුණාව ඔබේ ජීවිතයට සහ ඔබ ආදරය කරන අයගේ ජීවිතවලට ඇතුළු වන ආකාරය නරඹන්න. අපි බිඳුණු හදවතක් උන්වහන්සේ වෙත නිර්භීතව ගෙන එන මොහොතේම, උන්වහන්සේ වහාම එහි සිටින බවට මම පොරොන්දු වෙනවා.

දියේ ගිලෙන කෙනෙක් දැක්කොත්, ඔයා අත දික් කරලා ඒ අයව බේරගන්නේ නැද්ද? ඔබේ ගැලවුම්කරුවාණන් ඔබේ දිගු කළ අත ප්‍රතික්ෂේප කරන ආකාරය ඔබට හිතාගන්න පුළුවන්ද? මට හිතාගන්න පුළුවන් උන්වහන්සේ වතුරට කිමිදෙනවා, සියල්ලටම වඩා පහළට බැහැලා අපිව ඉහළට ඔසවනවා, එතකොට අපිට නැවුම් හුස්මක් ගන්න පුළුවන්! ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය බබළන තරමට, කිසිවෙකුටවත් ගිලෙන්න බැහැ.

අපගේ ගැලවුම්කරුවාණන් සදහටම ලැජ්ජාවේ අන්ධකාරයට වඩා දීප්තිමත්. උන්වහන්සේ කවදාවත් ඔබේ වටිනාකමට පහර දෙන්නේ නැහැ. ඉතින් හොඳින් නිරීක්ෂණය කරන්න.

  • මෙම අත වටිනාකම නියෝජනය කරන බව සිතන්න.

  • මෙම අත නියෝජනය කරන්නෙ කීකරුකම. සමහරවිට ඔබ අද උදෑසන අවදි වෙලා දෙවියන්වහන්සේගේ හඬ ඇසීමට, අර්ථවත් යාච්ඤාවක් කරලා, ශුද්ධලියවිලි උවමනාවෙන් කියවන්න ඇති. ඔබ හොඳ තීරණ ගෙන ඇති ඒවගේම ඔබ වටා සිටින අයට ක්‍රිස්තුස්වහන්සේගේ වගේ සලකනවා ඇති. ඔබ ප්‍රධාන සම්මන්ත්‍රණයට සවන් දෙනවා! ඔබේ කීකරුකම මෙන්න!

  • නැත්නම් සමහර විට දේවල් එතරම් හොඳින් සිදු වෙලා නැති වෙන්න පුළුවන්. ස්වර්ගයට සම්බන්ධ වීමට ඒ කුඩා, සරල දේවල් කිරීමට ඔබ මෑතකදී අරගල කරන්න ඇති. ඔබ ආඩම්බර නොවන සමහර තීරණ අරගෙන ඇති.

  • ඔබේ වටිනාකම කොහෙද? මේ අත කොහෙත්ම චලනය වෙලාද?

ඔබේ වටිනාකම කීකරුකමට බැඳිලා නැහැ. ඔබේ වටිනාකම නියතයි; ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ. ඒක ඔබට දීලා තියෙන්නෙ දෙවියන්වහන්සේ, එය වෙනස් කරන්න ඔබට හෝ වෙනත් කිසිවෙකුට කළ හැකි කිසිවක් නැහැ. කීකරුකම මගින් ආශීර්වාද ලැබෙනවා; ඒක ඇත්ත. නමුත් වටිනාකම ඒවායින් එකක් නොවේ. ඔබේ තීරණ ඔබව කොතැනට ගෙන ගියත්, ඔබේ වටිනාකම සැමවිටම “දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශ්‍රේෂ්ඨයි.”

මම වැරදි කරන අතරතුරත්, මට ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධතාවයක සිටීමට අවශ්‍යයි, ඒ ඇයි කියලා මම ඔබට කියන්නම්.

මම කිමිදුම් පාඩම් ඉගෙන ගනිමින් හැදී වැඩුණා, විනිසුරුවරුන් කිමිදීමක් ලකුණු කරන විට, ඔවුන් ක්‍රියාත්මක කිරීම නරඹන බව මම ඉගෙන ගත්තා. ඇතුල්වීම පරිපූර්ණ ලෙස සිරස් අතට, ඇඟිලි උල් කර කුඩා ඉසිනයක් සහිතව තිබුණාද? ඊට පස්සේ ඔවුන් අසාමාන්‍ය දෙයක් කරනවා. ඔවුන් දුෂ්කරතා මට්ටම ගැන බලනවා.

සෑම කෙනෙකුම කිමිදෙන්නෙ තමන්ගේම දුෂ්කරතා මට්ටමකින්. ඒවගේම ඔබ කිමිදීමේදී මුහුණ දෙන දුෂ්කරතාවයේ තරම සැබවින්ම දන්නේ ඔබේ ගැලවුම්කරුවා පමණයි. මට සම්බන්ධතාවයක් ඕන වෙන්නේ, මාව තේරුම් ගන්න, මගේ හදවත දන්න, මම කොච්චර උත්සාහ කරනවද කියලා දන්න එකම කෙනා එක්ක!

අන්ධකාරයේ මීදුම අප සියලු දෙනා මතට ​​බැස යන බවත්, අපගේ ගමන අපිරිසිඳු ගඟ හරහා ගමන් කරන බවත් උන්වහන්සේ දන්නවා—ඒ නිසා අපි යකඩ වැට අල්ලාගෙන සිටින විට පවා, අපිට වතුර වදින්න පුළුවන්.

ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම කියන්නෙ බලාපොරොත්තුවෙන්, “ඔබ මට උදව් කරනවාද?” කියා ඇසීමයි, උන්වහන්සේගේ දෑත් සැමවිටම ඔබ වෙත දිගු කර ඇති බවට හෙළිදරව් වූ සහතිකයක්. පසුතැවීම පිළිබඳ මෙම නැවුම් දෘෂ්ටියෙන් අදහස් වන්නේ අපට තවමත් පරිපූර්ණ කීකරුකමක් නොමැති වුනත්, අපි උන්වහන්සේට ප්‍රේම කරන නිසා, නැවත නැවතත් උන්වහන්සේ තුළ රැඳී සිටීමට තෝරා ගනිමින්, ප්‍රේමණීය කීකරුකමක් ඇති කර ගැනීමට අපි දැන් උත්සාහ කරන බවයි.

බෙන්ජමින් රජුගේ ජනතාව මතකද, ඔවුන්ට තවදුරටත් නපුර කිරීමට නැඹුරුවක් තිබුණේ නැහැ, නමුත් නිරන්තරයෙන් යහපත කිරීමට පමණක් ඔවුන් නැඹුරු වුණා? ඔයා හිතනවද එයාලා කූඩාරම් අසුරලා, ගෙදර ගිහින්, ආයෙත් කවදාවත් වැරැද්දක් කළේ නැහැ කියලා? ඇත්තවශයෙන්ම නැහැ! වෙනස තමයි ඔවුන්ට තවදුරටත් පව් කිරීමට අවශ්‍ය නොවීම. ඔවුන්ට ප්‍රේමණීය කීකරුකමක් තිබුණා! ඔවුන් අරගල කරන අතරතුර ඔවුන්ගේ හදවත් දෙවියන්වහන්සේ වෙත හැරී උන්වහන්සේ වෙතම තිබුණා!

වරක්, වෙරළේදී, සුළඟට පියාඹන කුරුල්ලෙකුව මම දැක්කා, ඉතා තදින්, උමතුවෙන් මෙන්, නමුත් එකම ස්ථානයේ රැඳී සිටිමින් ඌ පියාපත් ගැහුවා. ඊට පස්සේ මම තවත් කුරුල්ලෙක් දැක්කා, ඊට වඩා ඉහළින්. ඌ ඉහළට තල්ලුවක් අල්ලාගෙන පහසුවෙන් පාවෙමින්, සුළඟේ කිසිඳු කරදරයකින් තොරව ගමන් කරමින් සිටියා. අප විසින්ම මෙය කිරීමට උත්සාහ කිරීම සහ අපගේ ගැලවුම්කරුවාණන් වෙත හැරීම, “උන්වහන්සේගේ පියාපත්වල සුවය” සමඟ අපව ඔසවා තැබීමට උන්වහන්සේට ඉඩ දීම අතර වෙනස ඒකයි.

ඕස්ට්‍රේලියාවේ ධර්මදූත නායකයින් විදියට, එක් එක් ධර්මදූතයා සමඟ අපගේ අවසාන හමුවේදී, මිනිසුන් ගැලවුම්කරුවාණන්ට සමීපව සිට, උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන ආකාරය ඇසීමට ඒ මිනිසුන්ට හැකියාව ලැබුණු, 3 නීෆායි 17 ගැන අපි කතා කළා. අපි ඇහුවා, “ගැලවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් යාච්ඤා කරනවා ඔබට අහන්න පුළුවන් නම්, ඔබ හිතන්නේ උන්වහන්සේ කුමක් කියයිද?”

ඔවුන්ගේ පිළිතුරු ඇසීම මගේ ජීවිතයේ මම ලැබූ වඩාත්ම ආත්මයෙන් පිරුණු අධ්‍යාත්මික අත්දැකීමක් වුණා. ඒ සෑම ධර්මදූතයෙක්ම මදක් නතර වෙලා, ඊටපස්සෙ අපි ඔවුන්ට මෙහෙම මතක් කර දුන්නම ඔවුන්ගේ ඇස්වල කඳුළු පිරෙනවා, “ඔබේ ගැලවුම්කරුවාණන් ඔබ අත්විඳින දුෂ්කරතාවයේ තරම දන්නවා. උන්වහන්සේට ඒක දැනිලා තියෙනවා!”

ඒ ධර්මදූතවරුන් නිහඬව හා මෘදු ලෙස බෙදාගත්තේ මෙහෙමයි: එක් සහෝදරියක් කිව්වා “යේසුස්වහන්සේ පියාණන්වහන්සේට මෙහෙම කියයි, ඇය ඇගේ උපරිමය කරනවා. ඇය කොතරම් උත්සාහ කරනවාද කියලා මම දන්නවා.” එක් වැඩිහිටියෙක් කිව්වා, “ඔහුගේ ජීවිතයේ සිදු වූ සෑම දෙයක්ම එක්ක, මම ඔහු ගැන ගොඩක් ආඩම්බර වෙනවා.”

අපි මේක උත්සාහ කරලා බලමු. අද රෑ, ඔබ යාච්ඤා කිරීමට පෙර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ අසල සිටින බව සිතන්න. උන්වහන්සේ තමයි පියාණන්වහන්සේ සමඟ ඔබේ උපදේශකයාණන්. “මගේ ගැලවුම්කරුවාණන් මා ගැන පියාණන්වහන්සේට කුමක් කියයිද?” කියා ඔබෙන්ම අසන්න.

ඊට පස්සේ නිහඬ වෙන්න.

ඔබ ගැන යහපත් දේ පවසන ඒ හඬට සවන් දෙන්න—ඔබේ හොඳම මිතුරා වන ගැලවුම්කරුවාණන්ගේ සහ සැබවින්ම එහි සිටින ඔබේ ස්වර්ගයේ පියාණන්වහන්සේගේ හඬට සවන් දෙන්න. මතක තබා ගන්න, කුමක් වුවත්, උන්වහන්සේලාගේ ආදරය සහ ඔබේ වටිනාකම සැමවිටම විශිෂ්ටයි.

මම මෙහි හිටගෙන ඉන්නේ, අන්ධකාරයේ වාඩි වී සිටින අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආලෝකය ලබා දෙන බවට සාක්ෂි දෙන්නටයි. ඉතින්, ඔබට සැඟවී සිටින ලෙසත්, ඔබ තනිවම අඳුරු කාමරයක සැඟවී සිටිය යුතු ලෙසත් පවසන ඒ හඬ ඔබට දැනෙන ඒ දිනවල, නිර්භීත වී ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා! ඇවිද ගිහින් ආලෝකය දල්වන්න—අපගේ පරිපූර්ණ බලාපොරොත්තුවේ දීප්තිය දල්වන්න.

උන්වහන්සේගේ ආලෝකයෙන් නෑවී සිටින විට, ඔබ වටා සිටින මිනිසුන් ඔබට පෙනෙනයි, ඔවුන්ටත් තනිකමක් දැනිලා ඇති, නමුත් දැන්, ආලෝකය දල්වා තිබෙද්දි, ඔබ සහ ඔවුන් මෙහෙම කල්පනා කරයි, “අපි අඳුරේ ඉඳන් මෙතරම් බය වුණේ ඇයි? ඇයි අපි එතන මෙච්චර කල් හිටියේ?”

“ආලෝකයේ ස්වාමින්වහන්සේ ඔබව උන්වහන්සේගේ දෑතින් ඔතා, සනසවා, ඔබට නිරන්තරයෙන් ආදරය කරත්වා.” අපි උන්වහන්සේට ප්‍රේම කර නැවත නැවතත් උන්වහන්සේව තෝරා ගනිමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. “ගන්ගා” ලෙස උච්චාරණය කෙරේ.

  2. යොහාන් 14:15.

  3. ඇල්මා 29:1.

  4. බලන්න ඇල්මා 29:2.

  5. බලන්න ඇල්මා 37:32.

  6. මේ අදහස ආවේ මගේ දුව කාර්ලි රූනියා රෙඩ් සමඟ කළ සංවාදයකින්.

  7. රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික ගම්‍යතාවයේ බලය,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2022.

  8. හිලමන් 7:17.

  9. තරුණ ගැහැණු ළමුන්ගේ ප්‍රධාන උපදේශක මණ්ඩලයේ සහෝදරිය කැත්‍රින් රෙනෝල්ඩ්ස් සමඟ සංවාදය.

  10. දහම සහ ගිවිසුම් 20:79.

  11. හෙබ්‍රෙව් 12:2.

  12. 2 නීෆායි 31:20.

  13. මෙම අදහස මා සමඟ බෙදාගත්තේ ඇන්තනි ස්වීට් විසිනි; තවත් බලන්න දහම සහ ගිවිසුම් 18:13; Dale G. Renlund, “Repentance: A Joyful Choice,” Liahona, Nov. 2016, 123.

  14. “යාච්ඤාව යනු පසුතැවිලි වූ පව්කාරයාගේ හඬයි, ඔහුගේ මාර්ගවලින් ආපසු පැමිණ, දේවදූතයන් ඔවුන්ගේ ගීතවල ප්‍රීති වී කෑ ගසයි, ‘බලන්න, ඔහු යාච්ඤා කරයි!’” (“Prayer Is the Soul’s Sincere Desire,” Hymns, no. 145).

  15. බලන්න දහම සහ ගිවිසුම් 18:10.

  16. බලන්න එළිදරව් 12:10.

  17. බලන්න මතෙව් 4:10; මෝසෙස් 1:20. සභාපති රසල් එම්. නෙල්සන් අපෙන් මෙසේ ඉල්ලා සිටියේය: “කරුණාකර බිය නොවන්න හෝ පසුතැවිලි වීමට ප්‍රමාද නොවන්න. සාතන් ඔබේ දුක්ඛිත තත්වය ගැන සතුටු වෙනවා. එය කෙටි කරන්න. ඔහුගේ බලපෑම ඔබේ ජීවිතයෙන් ඉවතට විසි කරන්න!” (අධ්‍යාත්මික ගම්‍යතාවයේ බලය,” 98).

  18. බලන්න ඇල්මා 34:31; දහම සහ ගිවිසුම් 88:63.

  19. බලන්න දහම සහ ගිවිසුම් 88:6 .

  20. “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ අසීමිත ආලෝකය තුළ බැබළෙනවාට වඩා පහතට ගිලෙන්නට ඔබට නොහැක” (Jeffrey R. Holland, “The Laborers in the Vineyard,” Liahona, May 2012, 33).

  21. දහම සහ ගිවිසුම් 18:10.

  22. බලන්න Stephen E. Robinson, Following Christ: The Parable of the Divers and More Good News (1995), 34–38.

  23. බලන්න 1 නීෆායි 12:16–17.

  24. බලන්න මොසායා 5:1–5.

  25. මලාකි 4:2.

  26. බලන්න Tom Christofferson, “What Would It Be Like to Hear the Savior Pray for You?,” LDS Living, Jan. 19, 2021, ldsliving.com.

  27. බලන්න යෙසායා 9:2; දහම සහ ගිවිසුම් 11:11.

  28. 1979 දී මම බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙමින් සිටියදී මගේ පියා වන වින්සන්ට් ඇල්මා වුඩ්ගෙන් ලැබුණු පෞද්ගලික ලිපියකින්.