ප්‍රධාන සම්මන්ත්‍රණය
නමස්කාරය
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


14:14

නමස්කාරය

ඔබටත් මටත්, දෙවියන්වහන්සේට නමස්කාර කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

“හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්:

යුදෙව්වරුන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්ව දිශාවෙහිදී දැක, උන්වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමුයයි කීවෝය.”

සමහර වෙලාවට ශාස්ත්‍රවන්තයෝ විදියට හඳුන්වනු ලබන ඔවුන්, මෙසියස්වහන්සේව සොයා ගැනීමට සහ නමස්කාර කිරීමට ප්‍රඥාවන්ත වුණා. ඔවුන්ට නමස්කාර කිරීම වුණේ උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී රන් හා වටිනා, සුවඳැති කුළුබඩු තෑගි කිරීමයි.

ඔබටත් මටත්, දෙවියන්වහන්සේට නමස්කාර කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

අපි නමස්කාරය ගැන සිතද්දි, අපගේ සිතුවිලි සාමාන්‍යයෙන් යොමු වන්නේ පෞද්ගලිකව සහ සභාවේ සේවාවන්හිදී අප ආගමික භක්තිය පෙන්වන ආකාරය වෙත. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් වන අපගේ ගැලවුම්කරුවාණන්ට නමස්කාර කිරීමේ කාරණය ගැන මම සලකා බැලූ විට, සංකල්ප හතරක් මගේ මනසට එනවා: පළමුව, අපගේ නමස්කාරයේ සමන්විත වන ක්‍රියා; දෙවනුව, අපගේ නමස්කාරයට ඇතුළත් වන ආකල්ප සහ හැඟීම්; තෙවනුව, අපගේ නමස්කාරයේ සුවිශේෂත්වය; සහ හතරවනුව, අප නමස්කාර කරන උත්තමයාණන්ව අනුකරණය කිරීමේ අවශ්‍යතාවය.

පළමුව, අපගේ නමස්කාරයේ සමන්විත වන ක්‍රියා

වඩාත් සුලභ හා වැදගත් නමස්කාර ක්‍රමයක් තමයි අපි කැප කළ අවකාශයක රැස්වෙලා භක්තිවන්ත ක්‍රියාවන් සිදු කිරීම. ස්වාමින්වහන්සේ මෙසේ කිව්වා, “තවද නුඹලා ලෝකයෙන් කිළුටු නොවන ලෙස සම්පූර්ණයෙන් තමාව ආරක්ෂා කරගත යුතුය, නුඹලා මාගේ ශුද්ධ වූ දවසේ යාච්ඤා ගෘහයට ගොස් නුඹලාගේ සක්‍රමේන්තුව ඔප්පු කළ යුතුය.” ඇත්ත වශයෙන්ම, දේවස්ථාන ගොඩනැගීමේදී අපගේ ප්‍රධාන අභිප්‍රේරණය මෙයයි. නමුත්, අවශ්‍ය නම්, අපට යම් ප්‍රමාණයක පරිශුද්ධභාවයකින් යුතුව එය කළ හැකි නම්, කැප නොකළ ස්ථානයක් වුනත් ඒකට සුදුසුයි.

සක්‍රමේන්තු රැස්වීම.

වැදගත්ම දෙය තමයි ස්වාමින්වහන්සේගේ දවසේදී අපි රැස්වන විට අප කරන දේවල්. ඇත්ත වශයෙන්ම, දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ගෞරවය හා නමස්කාරය පෙන්වන්න නිහතමානීව—ඕනෑවට වඩා නොවන ආකාරයකට—අපි අපගේ වත්කම්වලට අනුව හැකි තරම් හොඳින් ඇඳුම් අඳිනවා. අපගේ හැසිරීමද ඒ හා සමානව ගෞරවනීය හා නමස්කාර කරන සුළුයි. අපි යාච්ඤාවට එක්වීමෙන් නමස්කාර කරනවා; අපි ගීතිකා ගායනා කිරීමෙන් (සවන් දීමෙන් පමණක් නොව ගායනා කිරීමෙන්) නමස්කාර කරනවා; අපි එකිනෙකාට උපදෙස් දීමෙන් සහ ඉගෙන ගැනීමෙන් නමස්කාර කරනවා. යේසුස්වහන්සේ මෙහෙම කිව්වා “ස්වාමින්වහන්සේගේ දවසේ මෙය සිහිකරන්න, නුඹලා තවද මහෝත්තම වූ තැනැන්වහන්සේ වෙතට නුඹලාගේ පූජාවන් … [එනම් ඔබේ කාලය, තලෙන්ත හෝ මාධ්‍යයන් ‘දෙවියන්වහන්සේට සහ සෙසු මිනිසාට’] සේවය කිරීම සඳහා සහ නුඹලාගේ සක්‍රමේන්තු ඔප්පු කරමින්, ස්වාමින්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සහෝදරයන්ට නුඹලාගේ පාප පාපොච්ඡාරණය කළ යුතුය.” උදාහරණයක් ලෙස—අපි එකට එකතු වෙන්නේ සංගීත කණ්ඩායමක් වගේ විනෝද වීමට හෝ විනෝදයක් ලබාදීමට නොවේ—නමුත් අපි එකතු වන්නේ උන්වහන්සේව සිහිපත් කර උන්වහන්සේගේ ශුභාරංචිය තුළින් “වඩාත් පරිපූර්ණ ලෙස උපදෙස්” ලබා ගැනීමටයි.

මෑත කාලීන ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, වැඩිහිටි පැට්‍රික් කීරන් අපට මෙහෙම මතක් කර දුන්නා “අපි සබත් දවසේ රැස් වෙන්නේ සක්‍රමේන්තු රැස්වීමට සහභාගී වී එය ලැයිස්තුවෙන් ඉවත් කර ගන්න පමණක් නෙමේ. අපි නමස්කාර කරන්න එකතු වෙනවා. මේ දෙක අතර සැලකිය යුතු වෙනසක් තියෙනවා. සහභාගී වීම කියන්නේ පැමිණ සිටින එක. නමුත් නමස්කාර කිරීම කියන්නේ අපව වෙනස් කරන ආකාරයෙන් අපගේ දෙවියන්වහන්සේට හිතාමතාම ප්‍රශංසා කිරීම සහ නමස්කාර කරන එකයි!”

අපගේ සබත් දිනයන් ස්වාමින්වහන්සේට සහ උන්වහන්සේගේ අරමුණු සඳහා කැප කිරීමම නමස්කාර ක්‍රියාවක්. වසර කිහිපයකට පෙර, එවකට වැඩිහිටි රසල් එම්. නෙල්සන් මෙසේ නිරීක්ෂණය කළා: “අපි සබත් දිනය පරිශුද්ධ කරගන්නේ කෙසේද? මගේ තරුණ අවධියේදී, සබත් දවසේදී කළ යුතු දේ සහ නොකළ යුතු දේවල් ලැයිස්තුවක් සකස් කරගත් අනෙක් අයගේ වැඩ මම අධ්‍යයනය කළා. මගේ හැසිරීම සහ සබත් දවස පිළිබඳ මගේ ආකල්පය, මා සහ මගේ ස්වර්ගීය පියාණන්වහන්සේ අතර ලකුණක් බව මම ශුද්ධලියවිලි වලින් දැනගත්තේ ඊට පසුවයි [බලන්න නික්මයාම 31:13; එසකියෙල් 20:12, 20]. එම අවබෝධයත් සමඟ, මට තවදුරටත් කළ යුතු හා නොකළ යුතු දේ ලැයිස්තුවක් අවශ්‍ය වුණේ නෑ. යම් ක්‍රියාකාරකමක් සබත් දවසට සුදුසුද නැද්ද යන්න පිළිබඳව මට තීරණයක් ගැනීමට සිදුවූ විට, මම සරලවම මගෙන්ම මෙසේ ඇසුවා, ‘මම දෙවියන්වහන්සේට දිය යුතු සලකුණ කුමක්ද?’”

ස්වාමීන්වහන්සේගේ දවසේ නමස්කාරය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රේෂ්ඨ වන්දිගෙවීමේ පූජාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමකින් සලකුණු වෙනවා. අපි පාස්කු ඉරිදා උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම සුදුසු ලෙස සහ විශේෂ ලෙස සමරනවා, නමුත් සෑම සතියකම උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම ඇතුළුව උන්වහන්සේගේ වන්දිගෙවීමේ සක්‍රමේන්තු සංකේතවලට සහභාගී වන විටත් අපි එය සමරනවා. පසුතැවිලි වන්නාට, සක්‍රමේන්තුවට සහභාගී වීම කියන්නෙ සබත් නමස්කාරයේ කැපී පෙනෙන අංගයක්.

අපි එකිනෙකාට උගන්වද්දි, සේවය කරද්දි සහ සහයෝගය දෙද්දි, “ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය” ලෙස එකට එක්ව නමස්කාර කිරීමෙන් අපට අද්විතීය බලයක් සහ ප්‍රතිලාභ ලැබෙනවා. සිත්ගන්නා කරුණක් තමයි, තම අධ්‍යාත්මික ජීවිතය සම්පූර්ණයෙන්ම පෞද්ගලික ලෙස සලකන අය, අධ්‍යාත්මික වර්ධනයට ප්‍රමුඛත්වය දීමට හෝ ඔවුන්ගේ ඇදහිල්ල ඉතා වැදගත් යැයි පැවසීමට හෝ දෙවියන්වහන්සේ සමඟ නිතිපතා භක්තිමත් කාලයක් ගත කිරීමට ඇති ඉඩකඩ අඩු බව මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ශුද්ධවන්තයින්ගේ ප්‍රජාවක් විදියට, අපි නමස්කාරය සහ ඇදහිල්ල තුළින් එකිනෙකා ශක්තිමත් කරනවා.

එහෙම වුණත්, අපි තනි තනිව සහ නිවසේදී දිනපතා කරන නමස්කාර ක්‍රියාවන් අපට අමතක කරන්න බැහැ. ගැලවුම්කරුවාණන් අපට මෙහෙම මතක් කර දෙනවා, “එසේවුවද නුඹලාගේ බාරයන් ධර්මිෂ්ඨකමින් සියලු දවස් වලදී සහ සියලු කාලයන්හිදීත් ඔප්පු කරනු ලබන්නෙහුය.” “දෙවියන්වහන්සේගේ කුඩා දරුවන් අපගේ ජීවිතවලට පිළිගෙන ඔවුන් රැකබලා ගෙන ඔවුන් සඳහා උන්වහන්සේගේ සැලැස්ම ඔවුන්ට ඉගැන්වීමට වඩා, දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට වඩා ගැඹුරු ක්‍රමයක් මට සිතාගත නොහැකිය” යනුවෙන් කියූ එක් සහෝදරියක් ඥානවන්තව ඒ ගැන නිරීක්ෂණය කර තිබුණා.

ඇල්මා සහ අමුලෙක් සිනගෝගවලින් තහනම් කර තිබූ සෝරාම්වරුන්ට, සතියකට වරක් පමණක් නොව, සෑම විටම, “ඔබ සිටින ඕනෑම ස්ථානයක” දෙවියන්වහන්සේට නමස්කාර කරන ලෙස ඉගැන්නුවා. ඔවුන් යාච්ඤාව ගැන නමස්කාරයක් ලෙස කතා කළා:

“නුඹලාගේ ඇතුල් කාමර වල ද රහසිගත ස්ථානයන්හි ද, තවද නුඹලාගේ වනාන්තරයන් හි ද නුඹලා නුඹලාගේ ප්‍රාණයන් වැගිරවිය යුතුය.

“එසේය, තවද නුඹ ස්වාමින්වහන්සේට මොර නොගසන විට නුඹලාගේ හදවත් නිතර සම්පූර්ණව තබාගන්න, නිතර උන්වහන්සේට යාච්ඤාවෙන් නිරතව සිටින්න.”

ශුද්ධලියවිලි උවමනාවෙන් කියවීමෙන්, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂි දැරීමෙන්, පුණ්‍ය ක්‍රියා කිරීමෙන් සහ සේවය කිරීමෙන්, ශුද්ධාත්මයාණන් ලබා ගැනීමෙන් සහ දිනපතා ස්තූති දෙමින් ජීවත් වීම ගැනද ඔවුන් කතා කළා. “දිනපතා ස්තූති දෙමින් ජීවත් වීම” යන එම අදහස ගැන සලකා බලන්න. එය මගේ දෙවන සංකල්පය ගැන කතා කරනවා:

නමස්කාරයට ආවේණික වූ ආකල්ප සහ හැඟීම්

ඇත්ත වශයෙන්ම, එය නමස්කාරයට තවත් එක් යුතුකමක් ලෙස දැකීමට වඩා, දෙවියන්වහන්සේට කෘතඥතාව පළ කිරීම සහ එසේ දැනීම, ප්‍රීතිමත් අලුත් කිරීමේ හැඟීමක් ඇති කරනවා.

සැබෑ නමස්කාරය කියන්නෙ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අපගේ කැමැත්ත උන්වහන්සේට යටත් කිරීමයි—අපට පිරිනැමිය හැකි වටිනාම ත්‍යාගය එයයි. මුළු ව්‍යවස්ථාවේම ශ්‍රේෂ්ඨ ආඥාව කුමක්දැයි ඇසූ විට, යේසුස්වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා, “ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු ආත්මයෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේම කරව.” උන්වහන්සේ මෙය පළමු ආඥාව ලෙසද හැඳින්නුවා.

මේ තමයි යේසුස්වහන්සේ පියාණන්වහන්සේට කළ නමස්කාරයේ රටාව. උන්වහන්සේගේ ජීවිතය සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව පියාණන්වහන්සේගේ මහිමය වෙනුවෙන් කැප කර තිබුණා. සිතාගත නොහැකි දුක් වේදනා සහ වේදනාවන් මධ්‍යයේ යේසුස්වහන්සේගේ හද කම්පා කරවන ආයාචනය අපි සිත් කම්පා කරවන සුළු ලෙස සිහිපත් කරනවා: “අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවා.”

ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනියේ

නමස්කාරය කියන්නෙ මේ පරිපූර්ණ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කිරීම. මේ ආකාරයට අපට එක රැයකින් පරිපූර්ණත්වය අත්කර ගන්න බැහැ, නමුත් අපි සෑම දිනකම “බිඳුණු හදවතක් සහ පසුතැවිලි වූ ආත්මයක් [උන්වහන්සේට] පූජාවක් ලෙස ඔප්පු කළහොත්,” උන්වහන්සේ නැවතත් අපව උන්වහන්සේගේ ආත්මයෙන් බව්තීස්ම කර උන්වහන්සේගේ කරුණාවෙන් පුරවනවා.

තෙවනුව, අපගේ නමස්කාරයේ සුවිශේෂත්වය

දහම සහ ගිවිසුම් පොතේ පළමු කොටසේදී, ස්වාමින්වහන්සේ ලෝකය පිළිබඳ මෙම චෝදනාව ප්‍රකාශ කරනවා:

“මක්නිසාද ඔවුන් මාගේ නියෝගයන් වෙතින් ඉවත්වී ඇත, එමෙන්ම මාගේ සදාකාලික ගිවිසුම බිඳ දමා ඇත;

“උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පිහිටුවීමට ඔවුන් ස්වාමින්වහන්සේව සොයන්නේ නැත, එහෙත් සෑම මනුෂ්‍යයෙක්ම ඔහුගේම ස්වකීය මාර්ගයේ ගමන් කරන්නේය, තවද එම රූපය ලෝකයේ සමානත්වයක් ගන්නා, ඔහුගේම ස්වකීය දෙවි කෙනෙකුගේ රූපයකට අනුව, ගමන් කරනු ලබන්නේය.”

ලීහායි සහ ඔහුගේ පවුලේ අය යෙරුසලමෙන් පිටව ගොස් වැඩි කල් නොගොස් බබිලෝනියට වහල්භාවයට ගෙන ගිය හනනියා, මිෂායෙල් සහ අසරියා යන යුදෙව් තරුණයන් තිදෙනාගේ ආදර්ශය මතක තබා ගැනීම අපට හොඳයි. බැබිලෝනියානු නිලධාරියා ඔවුන්ට ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ යන නම් තැබුවා. පසුව, මෙම තිදෙනා නෙබුකද්නෙශර් රජු විසින් පිහිටුවන ලද රූපයකට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ විට, ඔහු ඔවුන්ව ඇවිළෙන ගිනි උදුනකට විසි කරන ලෙස අණ කරමින්, “මාගේ අත්වලින් ඔබව ගලවා ගන්නා ඒ දෙවියන්වහන්සේ කවුද?” කියා ඇසුවා.

ඔවුන්ගේ නිර්භීත පිළිතුර ඔබට මතක ඇති:

“ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවන සේක.

“එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේවත් නැති බව ඔබ දැනගත මැනව.”

ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ ගිනි උදුනෙන් බේරුණා.

උදුන කොතරම් උණුසුම්ද කියනවා නම් ඒ උදුනට ඔවුන්ව විසි කළ අය එයින් මිය ගියා, නමුත් ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝට කිසිම හානියක් සිදු වුණේ නැහැ. “නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවය කරන්ටවත් නමස්කාර කරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූ සේක.” ඔවුන් ගැලවීම සඳහා යෙහෝවාවහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවා, “නමුත් එසේ නොවේ නම්,” එනම්, දෙවියන්වහන්සේ ඔහුගේ ප්‍රඥාවෙන් ඔවුන්ගේ මරණය වළක්වා නොගත්තත්, ඔවුන් උන්වහන්සේට සත්‍යවන්තව සිටිනවා.

පියාණන්වහන්සේට සහ පුත්‍රයාණන්වහන්සේට කරන නමස්කාරයට වඩා ප්‍රමුඛත්වය ගන්නා ඕනෑම දෙයක් පිළිමයක් බවට පත්වෙනවා. සත්‍යයේ මූලාශ්‍රය ලෙස දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරන හෝ උන්වහන්සේ කෙරෙහි ඇති ඕනෑම වගකීමක් ප්‍රතික්ෂේප කරන අය, ඇත්ත වශයෙන්ම තමන්වම තම දෙවියන් ලෙස ආදේශ කර ගන්නවා. දිව්‍ය මගපෙන්වීමට වඩා පක්ෂයකට හෝ අරමුණකට පක්ෂපාතීත්වය තබන කෙනෙක් බොරු දෙවියෙකුට නමස්කාර කරනවා. දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට අදහස් කරන නමුත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නැති අය පවා තමන්ගේම ආකාරයෙන් ගමන් කරනවා: “ඔවුන් තම තොල්වලින් මා වෙතට ළං වෙති, නමුත් ඔවුන්ගේ හදවත් මාගෙන් බොහෝ දුරස් ය.” අපගේ නමස්කාරයේ පරමාර්ථය “එකම සැබෑ දෙවියන්වහන්සේ සහ [උන්වහන්සේ] එවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ” පමණයි.

අවසාන වශයෙන්, පියාණන්වහන්සේව සහ පුත්‍රයාණන්වහන්සේව අනුකරණය කිරීමේ අවශ්‍යතාවය

අවසාන වශයෙන්, අප ජීවත් වන ආකාරය හොඳම, අව්‍යාජ නමස්කාර ක්‍රමය වෙන්න පුළුවන්. අපගේ භක්තිය පෙන්වීම කියන්නෙ පියාණන්වහන්සේව සහ පුත්‍රයාණන්වහන්සේව අනුකරණය කිරීමයි—අප තුළ උන්වහන්සේලාගේ ගුණාංග සහ චරිතය වර්ධනය කර ගැනීමයි. කියමනට අනුව, අනුකරණය යනු චාටු බස් දෙඩීමේ අවංකම ආකාරය නම්, දෙවියන්වහන්සේ සම්බන්ධයෙන් අපට කිව හැක්කේ අනුකරණය යනු නමස්කාරයේ අවංකම ආකාරය බවයි. මෙයින් ඇඟවෙන්නේ ශුද්ධකම සෙවීම සඳහා අපගේ පැත්තෙන් ක්‍රියාශීලී, අඛණ්ඩ උත්සාහයක් ගත යුතු බවයි. නමුත් ක්‍රිස්තුස්වහන්සේ වගේ වීම අපගේ නමස්කාර ක්‍රියාවන්වල ස්වාභාවික ප්‍රතිඵලයක්. “අපව පරිවර්තනය කරන ආකාරයෙන්” නමස්කාර කිරීම පිළිබඳව කලින් සඳහන් කළ වැඩිහිටි කීරන්ගේ වාක්‍ය ඛණ්ඩය වැදගත්. සැබෑ නමස්කාරය පරිවර්තනීයයි.

මේ තමයි ගිවිසුම් මාර්ගයේ—නමස්කාරයේ, ප්‍රේමයේ සහ දෙවියන්වහන්සේට පක්ෂපාතීත්වයේ මාර්ගයේ—සුන්දරත්වය. අපි ඒ මාර්ගයට ඇතුළු වන්නේ බව්තීස්මයෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගැනීමටත් උන්වහන්සේගේ ආඥා පිළිපැදීමටත් පොරොන්දු වීමෙන්. අපි පසුතැවිලි වන විට අපව පාපයෙන් මුදවා පවිත්‍ර කරන ගැලවුම්කරුවාණන්ගේ කරුණාවේ දූතයා වන ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය අපට ලැබෙනවා. පසුතැවිලි වීමෙන් අපි උන්වහන්සේට නමස්කාර කරන බව පවා අපට කියන්න පුළුවන්.

අපව තවදුරටත් පරිශුද්ධ කරන ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ සාදන ලද අමතර පූජකත්ව නියෝග සහ ගිවිසුම් ඉන්පසුව පැමිණෙනවා. දේවමාළිගාවේ වත්පිළිවෙත් හා නියෝග උසස් නමස්කාර ක්‍රමයක් නිර්මාණය කරනවා.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ අවධාරණය කළා, “පූජකත්ව නියෝගවලට සහභාගී වන සහ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගන්නා සහ රකින සෑම පිරිමියෙකුටම සහ සෑම ස්ත්‍රියකටම දෙවියන්වහන්සේගේ බලයට සෘජු ප්‍රවේශය ඇත.” මෙය සේවය කිරීමට සහ ආශිර්වාද කිරීමට අප ලබා ගන්නා බලයක් පමණක් නොවේ. අපව පිරිපහදු කිරීමට සහ පවිත්‍ර කිරීමට අප තුළ ක්‍රියාත්මක වන දිව්‍ය බලය ද එයයි. අපි ගිවිසුම් මාවතේ ගමන් කරන විට, අප තුළ පාරිශුද්ධ කිරීමේ “දේවත්වයේ බලය එළිදරව්” වෙනවා.

පුරාණ නීෆායිවරුන් සහ ලාමන්වරුන් ලෙස, අපි “යේසුස්වහන්සේගේ පාමුල වැටී, උන්වහන්සේට නමස්කාර කරමු.” යේසුස්වහන්සේ ආඥා කළ පරිදි, අපි “[පුත්‍රයාණන්වහන්සේගේ] නාමයෙන් පියාණන්වහන්සේගේ පාමුල වැඳ වැටී නමස්කාර කරමු.” අපි ශුද්ධාත්මයාණන්ව ලබාගෙන අපගේ හදවත් දෙවියන්වහන්සේට භාර කරමු, උන්වහන්සේ ඉදිරියෙහි වෙනත් දෙවිවරුන් තබා නොගෙන ඉමු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් ලෙස, අපගේම ජීවිත තුළ උන්වහන්සේගේ චරිතය අනුකරණය කරමු. අපි එසේ කරන විට, අපි නමස්කාරයේ ප්‍රීතිය අත්විඳින බවට මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.