ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සඳහා සූදානම් වීමට සහභාගී වන්න
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:24

ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සඳහා සූදානම් වීමට සහභාගී වන්න

දෙවියන්වහන්සේගේ කාර්යයේ අප නිරත වන කැඳවීම් සහ අනෙකුත් ක්‍රම තුලින් අද්විතීය ලෙස අපව ගැලවුම්කරුවාණන්ව හමුවීමට සූදානම් කරනවා.

මාස කිහිපයකට පෙර, මම ශාලාවක හිටන් ඉන්නකොට වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් එතනින් ඇවිදන් ගියා. මාව අලුත් ප්‍රධාන අධිකාරීවරයෙක් ලෙස කැඳවා තිබුණා. මගේ අදක්ෂ බව දැනිලා වගේ, ඔහු හිනාවෙලා මෙහෙම කිව්වා, “හොඳයි, ඔයා තමන් කරන දේ ගැන කිසිම අදහසක් නැති මනුස්සයෙක් වගේ පේනවා.”

“සැබෑ අනාගතවක්තෘවරයෙක් සහ දකින්නෙක් ඉන්නවා” කියලා මම හිතුවා.

එවිට වැඩිහිටි ඇන්ඩර්සන් රහසින් මෙහෙම කිව්වා, “කණගාටු වෙන්න එපා, වැඩිහිටි ෂම්වේ. එය අවුරුදු පහක් හෝ හයකින්—හොඳ අතට හැරෙනවා.”

අපට ළඟා වෙන්න බැහැ කියලා හිතෙන දේවල් දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ කිරීමට අපෙන් ඉල්ලා සිටින්නේ ඇයි කියලා ඔබ කවදා හෝ කල්පනා කරලා තියෙනවාද? ජීවිතයේ අභියෝග සමඟ, සභාව තුළ අපට කැඳවීම් අවශ්‍ය වන්නේ ඇයි කියලා ඔබ අහලා තියෙනවද? හොඳයි, මම එහෙම වුණා.

එමෙන්ම ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සභාපති රසල් එම්. නෙල්සන් මෙහෙම කිව්වම මට පිළිතුරක් ලැබුණා, “සහෝදර සහෝදරියනි, අපගේ ස්වාමීන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ඔබටත් මටත් සූදානම් වීමට කාලය දැන් ඇවිත් තිබෙනවා.” සභාපති නෙල්සන් මෙය පැවසූ විට, අපි දෙවියන්වහන්සේගේ කාර්යයට සහභාගී වන විට, අපි අපවම සහ අන් අයව ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සඳහා සූදානම් කරන බව ආත්මයාණන්වහන්සේ මට ඉගැන්නුවා. දෙවියන්වහන්සේගේ කාර්යයට අප පිවිසෙන කැඳවීම්, දේවසේවය, දේවමාළිගා වන්දනාමාන කිරීම, පෙළඹවීම් අනුගමනය කිරීම සහ වෙනත් ක්‍රම මගින් ගැලවුම්කරුවාණන් හමුවීමට අපව අද්විතීය ලෙස සූදානම් කරන බවට ස්වාමීන්වහන්සේගේ පොරොන්දුව බලවත්.

අපි දෙවියන්වහන්සේගේ කාර්යයේ නියැලෙන විට උන්වහන්සේ සතුටු වෙනවා.

මෙම “ඓශ්චර්යමත් මොහොතේදී”, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පුළුල් වන විට සහ පොළොව පුරා දේවමාළිගා පැතිරෙන විට, දෙවියන්වහන්සේගේ කාර්යයේ යෙදීමට කැමැත්තෙන් සිටින ප්‍රාණයන්ගේ අවශ්‍යතාවය වැඩි වෙමින් පවතිනවා. පරාර්ථකාමී ලෙස සේවය කිරීම ක්‍රිස්තුස්වහන්සේ වැනි ගෝලත්වයේ නියම තත්ත්වයයි. නමුත් සේවය කිරීම පහසු වෙන්නේ කලාතුරකින්. මේ නිසා තමයි ඔබේ ආශාවන් සහ අභියෝග පසෙකලා, දෙවියන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීම තුළින් දෙවියන්වහන්සේට සේවය කරන අපගේ ආදරණීය ධර්මදූතවරුන් ඇතුළු, ගිවිසුම් රකින ගෝලයන් වන ඔබව මම අගය කරන්නේ. දෙවියන්වහන්සේ “ධර්මිෂ්ඨකමින් [උන්වහන්සේට] සේවය කරන්නවුන්ට ගෞරව කිරීමට සතුටු වෙනවා.” උන්වහන්සේ මෙසේ පොරොන්දු වෙනවා “[ඔබගේ] විපාකය ශ්‍රේෂ්ඨ වන්නේය, තවද [ඔබගේ] මහිමය සදාකාලික වන්නේය.” අපි සේවය කිරීමට ඔව් කියන විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඔව් කියනවා. අපි ක්‍රිස්තුස්වහන්සේට ඔව් කියන විට, අපි බොහෝ සමෘද්ධිමත් ජීවිතයකට ඔව් කියනවා.

මම උසස් විද්‍යාලයේ රසායනික ඉංජිනේරු විද්‍යාව හදාරමින් සහ රැකියාව කරන අතරතුර මෙම පාඩම ඉගෙන ගත්තා. මට තනිකඩ සාමාජිකයින්ගෙන් යුත් කොට්ඨාසයක ක්‍රියාකාරකම් සැලසුම්කරු වීමට ආරාධනා කළා. මේ මගේ මහත් භයට හේතුවූ කැඳවීමයි. ඒත්, මම පිළිගත්තා, මුලදී ඒක අමාරු වැඩක් වුණා. එක් ක්‍රියාකාරකමක් අතරතුර, මම අයිස්ක්‍රීම් පිළිගැන්වූ ආකාරය දැකලා ලස්සන ගැහැණු ළමයෙක් පුදුමයට පත් වුණා. මගේ අවධානය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් ඇය තුන් වතාවක් ආපසු පැමිණියා. අපි ආදරයෙන් බැඳුණා, සති දෙකකට පස්සේ ඇය මට විවාහ යෝජනාවක් කළා. හොඳයි, සමහරවිට ඒක එච්චර ඉක්මනට නොවෙන්න ඇති, මම තමයි යෝජනා කරේ, නමුත් සත්‍යය තමයි, ඒ කැඳවීමට මම අකමැති උනානම් හයිඩිව මගහැරගන්න වෙන එක ගැන හිතනකොටත් මට බයයි.

අපගේ සහභාගීත්වය ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සඳහා සූදානම් වීමකි

අපි දෙවියන්වහන්සේගේ කාර්යයේ නිරත වන්නේ දෙවියන්වහන්සේට අපිව අවශ්‍ය නිසා නෙමේ, අපිට දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ බලවත් ආශිර්වාදය අවශ්‍ය නිසා. උන්වහන්සේ මෙහෙම පොරොන්දු වෙනවා, “මක්නිසාද, බලන්න, මාගේ මිදිවත්තේ වෙහෙසවන්නා වූ එම සියල්ලන්ට මහත් වූ ආශිර්වාදයකින් මම ආශිර්වාද කරන්නෙමි.” දෙවියන්වහන්සේගේ කාර්යයට අපගේ සහභාගීත්වය අපට ආශිර්වාද කරන ආකාරය සහ ගැලවුම්කරුවාණන් හමුවීමට සූදානම් වීමට උපකාරී වෙන විදිහ උගන්වන මූලධර්ම තුනක් මම බෙදා ගන්නම්.

මුලින්ම, අපි එයට සහභාගී වන විට, අපි “[අපගේ] මවා ඇති අරමුණ” කරා ඉදිරියට යනවා.

මැවීම පිළිබඳ වාර්තාවෙන් අපි මෙම රටාව ඉගෙන ගන්නවා. සෑම දිනකම වෙහෙස මහන්සි වී වැඩ කරාට පස්සෙ, දෙවියන්වහන්සේ “එය යහපත්” කියා පවසමින් ලබා ඇති ප්‍රගතිය පිළිගත්තා. වැඩ අවසන් වූ බව හෝ එය පරිපූර්ණ බව උන්වහන්සේ කිව්වේ නැහැ. නමුත් උන්වහන්සේ පැවසුවේ දියුණුවක් ඇති බවත්, දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ එය යහපත් බවත්ය!

කැඳවීම් මගින් පුද්ගලයෙකුගේ වටිනාකම හෝ යෝග්‍යතාවය තීරණය කරන්නේ හෝ වලංගු කරන්නේ නැහැ. ඒ වෙනුවට, අපි දෙවියන්වහන්සේ ඉල්ලන ඕනෑම ආකාරයකින් උන්වහන්සේ සමඟ වෙහෙස මහන්සි වී වැඩ කරන විට, අපි අපගේම මැවිල්ලේ අරමුණ වෙත වර්ධනය වෙනවා.

අපේ ප්‍රගතිය ගැන දෙවියන්වහන්සේ සතුටු වෙනවා වගේම, අපට තවත් වැඩ තිබුණත්, අපිත් එහෙම වෙන්න ඕනේ. සමහර වෙලාවට, අපට කැඳවීමක සේවය කිරීමට ශක්තියක් හෝ අවශ්‍ය සම්පත් නැති වෙන්න පුළුවන්. එහෙත්, යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්‍යයනය වැනි අර්ථවත් ක්‍රම තුළින් අපට එම කාර්යයේ නිරත විය හැකි අතර අපගේ සාක්ෂි ආරක්ෂා කරගන්න පුළුවන්. අපි කැමැත්තෙන් සිටියත් සේවය කිරීමට නොහැකි වූ විට අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ අපව හෙළා දකින්නේ නැහැ.

දෙවෙනියට, සේවය කිරීම තුලින් අපගේ නිවස සහ සභාව ගිවිසුම්ගත ජීවිතයක් ගත කළ හැකි ශුද්ධ ස්ථාන බවට අපි උසස් කරනවා.

උදහරණයක් විදියට, ක්‍රිස්තුස්වහන්සේව සැමවිටම මතක තබා ගැනීමේ අපගේ ගිවිසුම අපි තනි තනිව සිදු කරනවා, නමුත් මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ අපි අනික් අයට සේවය කරද්දියි. “ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය සම්පූර්ණ කරමින් එකිනෙකාගේ බර උසුලාගෙන යාමට” ඇති අවස්ථා වලින්, මේ කැඳවීම් වට වෙලා තිබෙනවා. අපි සේවය කරද්දී අපි දෙවියන්වහන්සේට ප්‍රේම කරන නිසාත්, අපගේ ගිවිසුම්වලට අනුව ජීවත් වීමට කැමති නිසාත්, වරක් යුතුකම් වලින් පිරුණු සහ වෙහෙසකර වූ සේ පෙනුණු සේවය, ප්‍රීතිමත් හා පරිවර්තනීය එකක් බවට පත්වෙනවා.

ඒවා ස්වර්ගීය පිරික්සුම් ලැයිස්තුවක් ඉටු කරන නිසා පමණක් මේ නියෝග අපව ගලවා ගන්නේ නැහැ. ඒ වෙනුවට, අපි මෙම නියෝග හා සම්බන්ධ ගිවිසුම් වලට අනුව ජීවත් වෙද්දී, අපි දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටීමට කැමති ආකාරයේ පුද්ගලයෙකු බවට පත්වෙනවා. මෙම අවබෝධය, සේවය කිරීමට ඇති පැකිලීම හෝ සේවය නොකිරීමට ඇති කැමැත්ත මඟහරිනවා. දෙවියන්වහන්සේ අවසර දෙන දේ අපි ඇසීම නවතා දෙවියන්වහන්සේ කැමති දේ අසන්නට අපි පටන් ගත්තහම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හමුවීමට අපගේ සූදානම වේගවත් වෙනවා.

තුන් වෙනියට, දෙවියන්වහන්සේගේ කාර්යයට සහභාගී වීමෙන් අපට දෙවියන්වහන්සේගේ කරුණාවේ ත්‍යාගය ලබා ගැනීමටත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමය දැනීමටත් හැකි වෙනවා.

අපට සේවය කිරීම සඳහා මූල්‍යමය ගෙවීමක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට, ශුද්ධලියවිල්ල අපිට මෙහෙම උගන්වනවා අපගේ “මහන්සියෙන් [අපට] දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලැබෙන්නේය, ඒ දෙවියන්වහන්සේගේ දැනුමෙන් [අපගේ] ආත්මයේ ශක්තියෙන් වැඩිවන පිණිස, [සහ] දෙවියන්වහන්සේගේ බලයෙන් සහ අධිකාරිත්වයෙන් උගන්වන පිණිසය.” ඒක ගොඩක් හොඳ ගනුදෙනුවක්!

දෙවියන්වහන්සේගේ කරුණාව නිසා, අපගේ හැකියාවන් හෝ නොහැකියාවන්, කැඳවීමක් යොමු කිරීමට හෝ පිළිගැනීමට ප්‍රධාන වන මූලධර්ම නෙමේ. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කාර්යයට පරිපූර්ණ ක්‍රියාවක් හෝ සුවිශේෂී දක්ෂතාවක් සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කරන්නේ නැහැ. එහෙම වුණා නම්, එස්තර් රැජින ඇගේ ජාතිය බේරා ගන්න එකක් නැහැ, පේත්‍රැස් මුල් සභාවට නායකත්වය දෙන එකක් නැහැ, සහ ජෝසෆ් ස්මිත් නැවත පිහිටුවීමේ අනාගතවක්තෘවරයා වෙන එකක් නැහැ.

අපගේ හැකියාවන් ඉක්මවා යමක් කිරීමට අපි ඇදහිල්ලෙන් ක්‍රියා කරද්දී, අපගේ දුර්වලතාවය නිරාවරණය වෙනවා. මෙය කිසි විටෙකත් සුවපහසු නැහැ, නමුත් “[දෙවියන්වහන්සේගේ] අනුග්‍රය මගින් මෙම දේවල් කිරීමට බලය අපට දුන් බව දැනගැනීම” අපට අවශ්‍ය වෙනවා.

අපි දෙවියන්වහන්සේගේ කාර්යයේ යෙදෙන විට බොහෝ වාරයක් වැටෙනවා. නමුත් අපගේ උත්සාහයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව අල්ලා ගන්නවා. අසාර්ථකත්වයෙන් හා බියෙන් සහ අප කිසිදා ප්‍රමාණවත් නොවනු ඇතැයි යන හැඟීමෙන් ගැලවීම අත්විඳීමට උන්වහන්සේ ක්‍රමයෙන් අපව ඔසවා තබනවා. අපි අපගේ සුළු නමුත් හොඳම උත්සාහය කැප කරද්දී, දෙවියන්වහන්සේ එය විශාල කරනවා. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කරන විට, උන්වහන්සේ අපව විශුද්ධ කරනවා. මේ තමයි දෙවියන්වහන්සේගේ කරුණාවේ පරිවර්තනීය බලය. අපි සේවය කරන විට, “[යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] ඉදිරියෙහි සිටීමට, පියාණන්වහන්සේ විසින් ඔසවා තැබීමට” අප සූදානම් වන තුරු අපි අනුග්‍රහය තුල වර්ධනය වෙනවා.

කැඳවීම්වල දීමනාව ලබා ගැනීමට සහ ප්‍රීති වීමට අනික් අයට උදව් කරන්න

මම ගැලවුම්කරුවාණන් ඉදිරියෙහි සිටින විට, උන්වහන්සේ මගෙන් අසන්නට ඉඩ ඇති සියල්ල මම දන්නේ නැහැ, නමුත් සමහර විට එක් ප්‍රශ්නයක් වෙන්නේ, “ඔබ ඔබත් එක්ක ගෙන ආවේ කාවද?” වෙන්න පුළුවන්. කැඳවීම් කියන්නේ අපිත් එක්ක අනික් අයවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ගෙන ඒමට උපකාර කිරීම සඳහා ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ලැබුන පරිශුද්ධ දීමනාවක්. ඉතින් කැඳවීම් නැති අයව වඩාත් ඕනෑකමින් සොයන ලෙස මම නායකයින්ට සහ අපි සෑම කෙනෙකුටම ආරාධනා කරනවා. ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සඳහා සූදානම් වීමට උපකාර කිරීම සඳහා දෙවියන්වහන්සේගේ කාර්යයේ නිරත වීමට ඔවුන්ව දිරිමත් කර උදව් කරන්න.

ජෝන්ගේ සභානායකවරයා පැමිණ ස්වාමීන්වහන්සේට ඔහුට කිරීමට කාර්යයක් ඇති බව පැවසූ විට ඔහු සභාවේ ක්‍රියාකාරීව සිටියේ නැහැ. ඔහු ජොන්ට දුම්පානය නතර කරන ලෙස ආරාධනා කළා. ජෝන් නතර කිරීමට බොහෝ වාරයක් උත්සාහ කර තිබුණත්, මෙවර ඔහුට නොපෙනෙන බලවේගයක් ඔහුට උපකාර කරන බව දැනුණා.

සති තුනකට පසු, ස්ටේක සභාපතිවරයා ජෝන්ව බැලීමට ගියා. ඔහු ඔහුව සභානායකත්වයේ සේවය කිරීමට කැඳවූවා. ජෝන් කම්පනයට පත්වුණා. මෑතකදී දුම්පානය නතර කළ බව ජෝන් ස්ටේක සභාපතිවරයාට කිව්වා. මෙයින් අදහස් කරන්නේ ඔහුට ඉරිදා වෘත්තීය පාපන්දු ක්‍රීඩා නැරඹීමේ සම්ප්‍රදාය අත්හැරීමට සිදුවනු ඇති බව නම්, එසේ ඉල්ලා සිටීමට ඕනෑවට වඩා වැඩියි. ස්ටේක සභාපතිවරයාගේ ආනුභාව ලත් ප්‍රතිචාරය සරලයි: “ජෝන්, මම නෙමේ ඔබෙන් අහන්නේ; ස්වාමීන්වහන්සේ අහන්නේ.

එයට ජෝන් මෙහෙම පිළිතුරු දුන්නා, “හොඳයි, එහෙම නම්, මම සේවය කරන්නම්.”

ඔහුට සහ ඔහුගේ පවුලේ අයට සේවය කිරීම සඳහා කරන ලද මෙම කැපකිරීම් අධ්‍යාත්මික හැරවුම් ලක්ෂ්‍යයන් බව ජෝන් මට කිව්වා.

අපට අපගේ ලෞකික දැක්මට අනුව, අසම්භාව්‍ය හෝ නුසුදුසු යැයි පෙනෙන පුද්ගලයන්ට කැඳවීම් ලබා දීමට අපොහොසත් වන, අන්ධ ස්ථානයක් තිබේද යන්න මම කල්පනා කළා. ගැලවුම්කරුවාණන් අසම්භාව්‍ය සහ ඔප්පු නොකළ අයට සේවය කිරීමට අවස්ථා ලබා දීමෙන් හැකියාව වැඩි කරන ආකාරය දැකීම නොසලකා හරිමින්, ප්‍රගතිය පිළිබඳ දහමට වඩා කාර්ය එල සංස්කෘතියක් ගැන අපි වැඩි සැලකිල්ලක් දක්වනවා.

“සෑම [ස්ත්‍රියක්ම සහ] පුරුෂයෙක්ම [ඔවුන්ගේ] වගකීම ඉගෙනගනිත්වා, ක්‍රියාකරත්වා” යන ශුද්ධලියවිලිමය නියෝගයේ වැදගත්කම වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් උගන්වනවා. අපි මේක කරනවද? නායකයින් සහ දෙමාපියන් විසින් අනෙක් අයට ඉගෙන ගැනීමට සහ තමන් වෙනුවෙන් ක්‍රියා කිරීමට ඉඩ දෙන විට, ඔවුන් සාර්ථක වෙලා සමෘද්ධිමත් වෙනවා. ඇදහිලිවන්ත සාමාජිකයින්ට දෙවන කැඳවීමක් ලබා දීම පහසුම මාර්ගය විය හැකි නමුත්, වඩාත් විශිෂ්ට ක්‍රමය වන්නේ සේවය කිරීමට අපහසු අයට ආරාධනා කර ඔවුන්ට ඉගෙන ගැනීමට සහ වර්ධනය වීමට ඉඩ දීමයි.

ක්‍රිස්තුස්වහන්සේ භෞතිකව මෙහි සිටියා නම්, උන්වහන්සේ රෝගීන් බැලීමට යනවා, ඉරිදා පාසලට උගන්වනවා, සිත් තැවුලට පත් යෞවනයින් සමඟ වාඩි වෙනවා, සහ දරුවන්ට ආශීර්වාද කරනවා. උන්වහන්සේට උන්වහන්සේගේම වැඩ කරන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අපට ක්‍රියා කිරීමට සහ ඉගෙන ගැනීමට ඉඩ දීමේ මෙම මූලධර්මය අනුව ජීවත් වන බැවින්, උන්වහන්සේ අපව උන්වහන්සේගේ ස්ථානයට යවනවා.

දෙවියන්වහන්සේගේ කාර්යයට සහභාගී වීමත් සමඟ “ස්වාමීන්වහන්සේව [යේසුස් ක්‍රිස්තුස්වහන්සේව] නියෝජනය කිරීමේ අයිතිය, වරප්‍රසාදය සහ වගකීම” ලැබෙනවා.අප අපවම නොව ක්‍රිස්තුස්වහන්සේව මහිමයට පත් කිරීමට සේවය කරන විට, අපගේ සේවය ප්‍රීතිමත් වෙනවා. අනෙක් අය අපගේ පන්තියෙන්, රැස්වීමෙන්, දේවසේවා හමුවීම් හෝ ක්‍රියාකාරකම් වලින් ඉවත් වී යන විට, ඔවුන් අපව සිහිපත් කරනවාට වඩා ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කරනකොට, කාර්යය ජවසම්පන්න වෙනවා.

ගැලවුම්කරුවාණන්ව නියෝජනය කිරීමට අපි උනන්දුවෙන් උත්සාහ කරද්දී, අපි වඩ වඩාත් උන්වහන්සේ හා සමාන වෙනවා. අපි හැමෝම දණ ගසා යේසුස්වහන්සේ කියන්නෙ ක්‍රිස්තුස්වහන්සේ බව පාපොච්චාරණය කරන පූජනීය මොහොත සඳහා හොඳම සූදානම එයයි, උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බවත්, “ඉදිරියට පැමිණීමට ඇති දේ සඳහා සූදානම් වීමට …” අපට උපකාර කිරීම සඳහා උන්වහන්සේගේ “පොළොවේ කෙළවර දක්වා හඬ” සභාපති රසල් එම්. නෙල්සන් බවත් මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. රසල් එම්. නෙල්සන්, “ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත,” ­ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2024.

  2. දහම සහ ගිවිසුම් 4:2-4බලන්න.

  3. රසල් එම්. නෙල්සන්, “ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත,” 121.

  4. දහම සහ ගිවිසුම් 76:5–6.

  5. බලන්න යොහාන් 10:10..

  6. දහම සහ ගිවිසුම් 21:9.

  7. දහම සහ ගිවිසුම් 88:19.

  8. බලන්න උත්පත්ති 1.

  9. ගැලවුම්කරුවාණන්ගේ තලෙන්ත පිළිබඳ උපමාවේ, ස්වාමියා සෑම සේවකයෙකුටම “දේවල් ස්වල්පයක” වගකීම ලබා දෙනවා. ස්වාමියා “බොහෝ දේ කෙරෙහි” ස්වාමිවරුන් බවට පත්වීම සඳහා එක් එක් සේවකයාගේ ප්‍රගතිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර ඔහුගේ භාණ්ඩ ආපසු ලබා දීම ගැන අඩු සැලකිල්ලක් දැක්වූවා. බියෙන් හා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අකමැති වූ එක් සේවකයෙකු හෙළා දකින ලද අතර ඔහුට දියුණුවක් ලැබුණේ නැහැ. (බලන්න මතෙව් 25:14–28.)

  10. බලන්න ලූක් 21:19. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ උගන්වනවා “ධර්මිෂ්ඨ කාර්යයන් කිරීම අධ්‍යාත්මික දියුණුවේ අවශ්‍යතාවයකි” (“Things as They Really Are 2.0,” [worldwide devotional for young adults, Nov. 3, 2024], Gospel Library).

  11. බලන්න දහම සහ ගිවිසුම් 10:4.

  12. බලන්න මොසායා 4:24..

  13. බලන්න රසල් එම්. නෙල්සන්, “අප ඉගෙනගන්නා සහ කිසිදා අමතක නොවන දේවල්ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2021: “දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප එකට වැඩ කර එකිනෙකාට උපකාර කිරීමයි. උන්වහන්සේ අපව පවුල් වශයෙන් පොළොවට එවා අපව කොට්ඨාශ හා ස්ටේක ලෙස සංවිධානය කරන්නේ එබැවිනුයි. එකිනෙකාට සේවය කිරීමට හා දේවසේවය කිරීමට උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ එබැවිනුයි. … අපට තනිවම කළ හැකි ප්‍රමාණයට වඩා බොහෝ දේ එකට එකතුවී කළ හැකියි. දෙවියන්වහන්සේගේ දරුවන් එකිනෙකාගෙන් හුදෙකලා වුවහොත් උන්වහන්සේගේ සතුට පිළිබඳ සැලැස්ම කලකිරීමට පත්වෙනවා.

  14. ගලාති 6:2; තවත් බලන්න මොසායා 18:8–9.

  15. සභාපති හෙන්රි බී. අයිරින් මෙසේ ඉගැන්වූවා, “සේවය කිරීමට කැඳවීම යනු අප සේවය කරන ස්වාමියාට ප්‍රේම කිරීමට කැඳවීමකි. එය අපගේ ස්වභාවයන් වෙනස් කර ගැනීමට කරන කැඳවීමකි” (“As a Child,” Liahona, May 2006).

  16. බලන්න Henry B. Eyring, “Should a Latter-day Saint Sell a Product When Its Use Violates the Word of Wisdom?,” Ensign, Apr. 1977, 30.

  17. මොසායා 18:26; තවත් බලන්න මොසායා 27:5.

  18. බලන්න 2 නීෆායි 3:13, 24.

  19. යාකොබ් 4:7.

  20. බලන්න යෙසායා 40:29–31; 2 කොරින්ති 12:9.

  21. බලන්න මතෙව් 14:15–21. අතිවිශාල ජනකායට පෝෂණය කිරීම සඳහා පොඩි පාන් පෙති පහක් සහ මාළු දෙකක් පූජා කළද, ගැලවුම්කරුවාණන් එම පූජාව කෘතඥපූර්වකව පිළිගෙන අවශ්‍ය ප්‍රමාණයට වඩා එය විශාල කළා. මෙම ප්‍රාතිහාර්යයේ ශ්‍රේෂ්ඨ පාඩම් වලින් එකක් නම් ගැලවුම්කරුවාණන් අපට පිරිනමන දේ සැමවිටම ප්‍රමාණවත් තරම් වැඩි බවයි!

  22. පරිත්‍යාගය යන වචනයේ ලතින් මූලය වන්නේ පූජනීය හෝ ශුද්ධ යන අර්ථය ඇති සේසර් වන අතර, ෆේස්රේ යන්නෙහි තේරුම සෑදීමයි. අපි දෙවියන්වහන්සේට පරිත්‍යාග කරන විට, උන්වහන්සේ අපව ශුද්ධ බවට පත් කරනවා. (බලන්න හිලමන් 3:35; දහම සහ ගිවිසුම 132:50).

  23. 3 නීෆායි 27:14

  24. බලන්න දහම සහ ගිවිසුම 15:6; 16:6; 18:10–16.

  25. බලන්න මොරොනි 7:2; ප්‍රධාන අත්පොත:යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 4.1, ශුභාරංචි පුස්තකාලය.

  26. බලන්න “Let Us All Press On,” Hymns, no. 243.

  27. පුද්ගලික අත්දැකීම් සහ සන්නිවේදනය, 2025 ජනවාරි 4. නම වෙනස් කර ඇත.

  28. බලන්න මතෙව් 10:5–8; ලූක් 10:1–9; ප්‍රධාන අත්පොත, 4.2.6.

  29. දහම සහ ගිවිසුම් 107:99; අවධාරණය කිරීම් සහිතයි; 2024 දෙසැ. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් සමඟ කළ සංවාදයකින්.

  30. බලන්න ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:20. අපේ යෞවනයින් සභාවේ අනාගත නායකයන් පමණක් නොවේ. ඔවුන්ට දැන් සැලකිය යුතු ආකාරවලින් නායකත්වය දිය හැකිය. 2019–2022 දක්වා ඉලිනොයිස් චිකාගෝ ධර්මදූත සේවයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩාත්ම කැපී පෙනෙන ගෝලයන් 744 දෙනෙකු සමඟ මෙම සත්‍යය සේවය කරන ආකාරය මම දුටුවා. කොවිඩ් සමයේදී, මෙම තරුණ නමුත් බලවත් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් දෙවියන්වහන්සේගේ කාර්යය කැපී පෙනෙන හා අලුත් ආකාරවලින් නොපෙනෙන උසකට ගෙන ගියා.

  31. බලන්න 2 නීෆායි 27:20–21.

  32. මගේ ශුභාරංචිය දේශනා කරන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීමට මාර්ගෝපදේශයක් (2023), 3.

  33. යාකොබ් 1:17, 19 හි, යාකොබ්ගේ මෙහෙයුම ස්වාමීන්වහන්සේගේ මෙහෙයුමයි. ඔහු තම තනතුර තමාටම උසස් කර නොගත්තේය, නමුත් ස්වාමීන්වහන්සේටය, එවිට ඔහුට දෙවියන්වහන්සේගේ වචනය ඉගැන්වීමට හැකි වන අතර එමඟින් “අවසාන දිනයේදී නොකැළැල්ව සිටින්නට” හැකිය.

  34. බලන්න 3 නීෆායි 27:27.

  35. දහම සහ ගිවිසුම් 1:11–12.