ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේගේ ඉදිරියේ ආත්ම-විශ්වාසය
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:59

දෙවියන්වහන්සේගේ ඉදිරියේ ආත්ම-විශ්වාසය

අපි පිවිතුරු ප්‍රේමයෙන් හා ගුණවත්කමින් අපගේ ජීවිත පුරවා ගැනීමට උත්සාහ කරද්දි, දෙවියන්වහන්සේ වෙත ළඟා වීම කෙරෙහි අපගේ ආත්ම-විශ්වාසය වැඩි වෙනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අද මේ වැදගත් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ඔබට කතා කිරීමට ලැබීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. මගේ ඇස් තව තවත් වයසට යනවා. මම මගේ පණිවිඩය ලබා දෙද්දි, ඔබ ඒ ගැන තේරුම්ගන්නවාට ස්තූතියි.

අපි ජීවත් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ මහත් ජවයකින් යුත් කාලයකයි. බොහෝ පැති වලින් ප්‍රගතියක් දකිද්දි මම ප්‍රීතියෙන් පිරී යනවා.

මම විශේෂයෙන්ම අපේ යෞවන පරපුරෙන් පෙළඹවීම් ලබනවා. ඔවුන් විශාල වශයෙන් සේවය ලබාදෙනවා. ඔවුන් තම මුතුන් මිත්තන්ව සොයමින්, දේවමාළිගාවේ නියෝග ඉටු කරනවා. අපේ තරුණ ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් වාර්තාගත සංඛ්‍යාවක් ධර්මදූත සේවය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරමින් ඉන්නවා. නැගී එන පරම්පරාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අභීත අනුගාමිකයන් ලෙස නැගී සිටිනවා.

සභාපති නෙල්සන් ඔහුගේ මිණිබිරිය සමඟ.

මෑතකදී මට අලුත් මී මිණිබිරියක් මුණගැහුණා. ඇගේ ජීවිතයේ ඇය අත්විඳින්න යන අභියෝග ගැන මම මෙනෙහි කරද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගා ගැනීමට ඇයට උපකාර කිරීමට මට මහත් ආශාවක් දැනෙනවා. උන්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම ඇගේ අනාගත සතුට සඳහා අත්‍යවශ්‍යයි.

අපි හැමෝම වගේ ඇයටත් අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. අපි හැමෝම අසනීප, බලාපොරොත්තු සුන්වීම, පරීක්ෂා සහ අහිමි වීම් අත්විඳිනවා. මෙම අභියෝග වලින් අපගේ ආත්ම-විශ්වාසයට පහර එල්ල වෙන්න පුළුවන්. කොහොම වුණත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ට වෙනස් ආකාරයක ආත්ම-විශ්වාසයකට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙනවා.

අපි දෙවියන්වහන්සේ එක්ක ගිවිසුම් ඇති කරගෙන ඒවා පවත්වද්දි, අපට ආත්මයාණන්ගෙන් උපත ලැබූ ආත්ම-විශ්වාසයක් ඇතිකරගන්න පුළුවන්. අපගේ ආත්ම-විශ්වාසය “දෙවියන්වහන්සේගේ අභිමුඛයේ වර්ධනය වනු ලැබෙන” බව ස්වාමින්වහන්සේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට පැවසුවා. දෙවියන්වහන්සේ ඉදිරියේ ආත්ම-විශ්වාසය ඇතිව සිටීමෙන් ලැබෙන සැනසීම ගැන සිතා බලන්න!

දෙවියන්වහන්සේ ඉදිරියෙහි ආත්ම-විශ්වාසයෙන් සිටීම ගැන මම කතා කරද්දි, මම අදහස් කරන්නේ මේ දැන් දෙවියන්වහන්සේ වෙත ළඟා වීමේදී ආත්ම-විශ්වාසයක් තිබීම ගැන! මම කතා කරන්නෙ, ස්වර්ගික පියාණන්වහන්සේ අපට සවන් දෙන බවටත්, අපගේ අවශ්‍යතා අපට වඩා හොඳින් උන්වහන්සේ තේරුම් ගන්නා බවටත් ආත්ම-විශ්වාසයෙන් යුතුව යාච්ඤා කිරීම ගැනයි. මා මෙහිදී සඳහන් කරන්නේ අපට තේරුම්ගත නොහැකි තරම් උන්වහන්සේ අපට ප්‍රේම කරන බවත්, අප සමඟ සහ අප ආදරය කරන අය සමඟ සිටීමට උන්වහන්සේ දේවදූතයන් එවන බවටත් ආත්ම-විශ්වාසයෙන් සිටීම ගැනයි. මම සඳහන් කරන්නේ අප සෑම කෙනෙකුටම අපගේ ඉහළම විභවය කරා ළඟා වීමට උපකාර කිරීමට උන්වහන්සේ ආශා කරන බවට ආත්ම-විශ්වාසයක් තිබීම ගැනයි.

දැන්, අපි එවැනි ආත්ම-විශ්වාසයක් ලබා ගන්නේ කොහොමද? ස්වාමින්වහන්සේ මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ මෙම වචන වලින්: “එසේම නුඹගේ ලය සියලු මනුෂ්‍යයන් … වෙතට ප්‍රේමයෙන් පිරී තිබිය යුතුය, … තවද නුඹගේ සිතිවිලි නොකඩවා ගුණවත්වකමින් පිරී තිබේවා; එවිට නුඹගේ විශ්වාසය දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ශක්තිමත් වන්නේය.”

අන්න ඒක තමයි මාර්ගය! ස්වාමින්වහන්සේගේම වචන වලින් කියනවානම්, පිවිතුරු ප්‍රේමය සහ ගුණවත්කම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ආත්ම-විශ්වාසය ඇති කරගැනීමට මග පාදනවා! සහෝදර සහෝදරියනි, අපට මෙය කරන්න පුළුවන්! අපගේ ආත්ම-විශ්වාසය සැබවින්ම, මේ මොහොතේම, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශක්තිමත් වෙන්න පුළුවන්!

අපි පිවිතුරු ප්‍රේමය සහ ගුණවත්කම යන දෙකම ගැන සලකා බලමු.

පළමුව, පිවිතුරු ප්‍රේමය. වසර දෙකකට පෙර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගිවිසුමේ අනුගාමිකයන් ලෙස, සාමය ඇති කරන්නන් වීමට මම අප සැමගෙන් ඉල්ලීමක් කළා. මම එදා කියපු දේ ආයෙත් කියනවා: “කෝපය කිසි විටෙකත් ඒත්තු ගන්වන්නේ නැහැ. සතුරුකම කිසිවෙකුව ගොඩනගන්නේ නැහැ. විවාදයන් කිසිවිටෙක ආනුභාව ලත් විසඳුම් කරා ගෙන යන්නේ නැහැ.”

සියලු මිනිසුන් කෙරෙහි සැබෑ දයානුකම්පාව සාමය ඇති කරන්නන්ගේ ලක්ෂණයක්! අපගේ පොදු සහ පෞද්ගලික කතිකාවත තුළ, පිවිතුරු ප්‍රේමය තිබීම අත්‍යවශ්‍ය දෙයක්. මම කලින් ලබාදුන් ඒ උපදෙස සිතට ගත් ඔබට මම ස්තූතිවන්ත වෙනවා. නමුත් අපට තවමත් ඊටත් වඩා හොඳින් කරන්න පුළුවන්.

මහජන සංවාදයේ සහ සමාජ මාධ්‍යවල වර්තමාන සතුරුකම බිය උපදවන සුළුයි. වෛරී වචන මාරාන්තික ආයුධ වගේ. විවාදය මගින් ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ නිරන්තර සහකරු වීම වළක්වනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් විදියට, අපි සාමය ඇති කරන්නන් ලෙස පෙරමුණ ගන්න අවශ්‍යයි. පිවිතුරු ප්‍රේමය අපගේ ස්වභාවයේ කොටසක් බවට පත්වෙද්දි, අන් අයව පහත් කොට සැලකීමේ ආවේගය අපට නැති වී යනවා. අපි අනෙක් අයව විනිශ්චය කිරීම නවත්වනවා. සෑම තරාතිරමකම අය සඳහා අපි පිවිතුරු ප්‍රේමය ඇති කරගන්නවා. අපගේ වර්ධනයට දියුණුවට සියලු මිනිසුන් කෙරෙහි පිවිතුරු ප්‍රේමය පෙන්වීම අත්‍යවශ්‍යයි. පිවිතුරු ප්‍රේමය කියන්නේ දේවභක්තික චරිතයක පදනමයි.

විශේෂයෙන් ආදරය කිරීමට අපහසු අයට—අපගේ හදවත් තව තවත් පිවිතුරු ප්‍රේමයෙන් පුරවන ලෙස අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් අයැද සිටිමු,—මොකද පිවිතුරු ප්‍රේමය කියන්නෙ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයින්ට අපගේ ස්වර්ගික පියාණන්ගෙන් ලැබුණු ත්‍යාගයක්. ගැලවුම්කරුවාණන් තමයි සාමයේ කුමාරයා. අපි සාමය සඳහා උන්වහන්සේගේ මෙවලම් විය යුතුයි.

දැන් අපි ගුණවත්කම ගැන කතා කරමු. අපගේ සිතුවිලි නිරන්තරයෙන් ගුණවත්කමෙන් සරසා ගන්න කියා ස්වාමින්වහන්සේ අපට පවසනවා. ඔබ ඕනෑම ධනාත්මක සිතුවිල්ලක් ගුණවත්කමෙන් යුතුව වැඩි දියුණු කළ විට, ඔබට ලැබෙන මහත් තල්ලුව ගැන සිතා බලන්න. ගුණවත්කම මගින් සියල්ල හොඳින් සහ සතුටින් තබනවා! අනෙක් අතට, අපිරිසිඳු සිතුවිල්ලකට, කෲර සිතුවිල්ලකට හෝ මානසික අවපීඩනයට පත් කරන සිතුවිල්ලකට ගුණවත්කම එකතු කළ විට කුමක් සිදුවේදැයි කියා සිතා බලන්න. ගුණවත්කම මගින් සිතුවිලි දුරු කර දමනවා. ගුණවත්කම මගින් ඔබව කනස්සල්ලට පත් කරන, කරදරකාරී සිතුවිලි වලින් නිදහස් කරනවා.

සහෝදර සහෝදරියනි, ලෝකය වඩ වඩාත් දුෂ්ට වෙද්දි, අපි වඩ වඩාත් පිරිසිඳු විය යුතු වෙනවා. අපගේ සිතුවිලි, වචන සහ ක්‍රියාවන් නොවරදවාම ගුණවත් වෙන්න අවශ්‍යයි, ඒවගේම සියලු මිනිසුන් කෙරෙහි ක්‍රිස්තුස්වහන්සේගේ වැනි නිර්මල ප්‍රේමයෙන් ඒවා පිරී තිබිය යුතුයි. දෙවියන්වහන්සේ කැමති මනුෂ්‍යයින් බවට පත්වීම තමයි, අප ඉදිරියේ ඇති උතුම් අවස්ථාව.

ස්වාමින්වහන්සේගේ ගෘහයේ නිතිපතා නමස්කාර කිරීම, ගුණවත්කම සහ පිවිතුරු ප්‍රේමය යන දෙකම සඳහා අපගේ ධාරිතාව වැඩි කරනවා. මේ අනුව, දේවමාළිගාවේ ගත කරන කාලය ස්වාමින්වහන්සේ ඉදිරියෙහි අපගේ ආත්ම-විශ්වාසය වැඩි කරනවා. දේවමාළිගාවේ වැඩි කාලයක් ගත කිරීමෙන්, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් වීමට අපට උපකාරී වෙනවා. උන්වහන්සේගේ පැමිණීමේ දවස හෝ පැය අපි දන්නේ නැහැ. නමුත් ඒ “ශ්‍රේෂ්ඨ හා භයානක දවසට” සූදානම් වන ලෙස අපෙන් ඉල්ලා සිටීමට ස්වාමින්වහන්සේ මාව පොළඹවන බව මම දන්නවා.

අපි පිවිතුරු ප්‍රේමයෙන් හා ගුණවත්කමින් අපගේ ජීවිත පුරවා ගැනීමට උත්සාහ කරද්දි, දෙවියන්වහන්සේ වෙත ළඟා වීම කෙරෙහි අපගේ ආත්ම-විශ්වාසය වැඩි වෙනවා. ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඔබේ ආත්ම-විශ්වාසය වර්ධනය කර ගැනීමට හිතාමතාම පියවර ගන්නා ලෙස මම ඔබට ආරාධනා කරනවා. එවිට, අපි වැඩිවන ආත්ම-විශ්වාසයකින් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙත යන විට, අපි වැඩි ප්‍රීතියකින් පිරී යයි, ඒවගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල වැඩි වෙයි. අපගේ ශ්‍රේෂ්ඨතම බලාපොරොත්තු ඉක්මවා යන අධ්‍යාත්මික බලය අත්විඳීමට අපි පටන් ගන්නවා.

මෑත වසරවලදී දේවමාළිගා ගොඩනැගීමේ කටයුතු වේගවත් කිරීම ගැන අපි ස්වාමින්වහන්සේට ස්තූතිවන්ත වෙනවා. උන්වහන්සේගේ මගපෙන්වීම යටතේ, අද අපි පහත කියවෙන ස්ථාන 15 ක දේවමාළිගාවක් ඉදිකිරීමේ සැලසුම් නිවේදනය කරනවා:

  • රෙයිනෝසා, මෙක්සිකෝව

  • කොරිලෝස්, පේරු

  • රිවේරා, උරුගුවේ

  • කැම්පෝ ග්‍රෑන්ඩ්, බ්‍රසීලය

  • පෝර්ටෝ, පෘතුගාලය

  • උයෝ, නයිජීරියාව

  • සැන් ජෝස් ඩෙල් මොන්ටේ, පිලිපීනය

  • නූමියා, නිව් කැලිඩෝනියාව

  • ලිවර්පූල්, ඕස්ට්‍රේලියාව

  • කැල්ඩ්වෙල්, අයිඩහෝ

  • ෆ්ලැග්ස්ටාෆ්, ඇරිසෝනා

  • රැපිඩ් සිටි, දකුණු ඩැකෝටා

  • ග්‍රීන්විල්, දකුණු කැරොලිනා

  • නොර්ෆොක්, වර්ජිනියා

  • ස්පාඤ්ඤ ෆෝක්, යූටා

ඊශ්‍රායෙලයේ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම සභාවට, උන්වහන්සේගේ සභාවට නායකත්වය දෙන බවට මම සාක්ෂි දරනවා. උන්වහන්සේ නැවත පැමිණීමට සූදානම් වෙමින් සිටිනවා. අපිත් ඒවගේම උන්වහන්සේව පිළිගැනීමට සූදානම් වෙමු. මේ සඳහා මම යාච්ඤා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. අනාගතවක්තෘ දානියෙල් අන්තිම දවස්වල සිහිනයෙන් දුටු කුඩා ගල ලෝකය පිරවීමට පෙරළෙමින් තිබේ (බලන්න දානියෙල් 2:31–45; දහම සහ ගිවිසුම් 65:2).

  2. දහම සහ ගිවිසුම් 121:45.

  3. මක්නිසාද මම නුඹගේ මුහුණ ඉදිරියෙන් යන්නෙමි. මම නුඹගේ දකුණු පසින්ද තවද නුඹගේ වම් පසින්ද සිටින්නෙමි, තවද මාගේ ආත්මය නුඹලාගේ හදවත් වල තිබෙන්නේය, තවද නුඹලාව උසුලන්නට මාගේ දේවදූතයන් නුඹලා අවට සිටින්නෝය” (දහම සහ ගිවිසුම් 84:88).

  4. දහම සහ ගිවිසුම් 121:45; අවධාරණය කිරීම් එකතු කරන ලදී; 46 වෙනි පදය ද බලන්න.

  5. රසල් එම්. නෙල්සන්, “සාමය ඇතිකරන්නන් අවශ්‍යයි,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2023.

  6. අන් අය සමඟ වාද විවාද කිරීමට තෝරා ගැනීම යනු ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම නොමැතිව ජීවත් වීමට තෝරා ගැනීමයි.

  7. අපි “සියලුම මනුෂ්‍යයන් වෙතද, එමෙන්ම ඇදහිල්ලේ නිවැසියන් වෙතද” පිවිතුරු ප්‍රේමය පෙන්විය යුතුය (දහම සහ ගිවිසුම් 121:45).

  8. මෙයින් අදහස් කරන්නේ “හදවතේ මුළු ශක්තියෙන්” යාච්ඤා කිරීමයි (මොරෝනි 7:48).

  9. බලන්න මොරෝනි 7:48.

  10. බලන්න යෙසායා 9:6.

  11. ජෝසෆ් ස්මිත් ඉගැන්වූ පරිදි, “[අපි] දෙවියන්වහන්සේ සිටින තැනට යාමට කැමති නම්, [අපි] දෙවියන්වහන්සේ මෙන් විය යුතුය, නැතහොත් දෙවියන්වහන්සේ සතු මූලධර්ම අප සතුව තිබිය යුතුය” (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 72). ඒ හා සමානව, ප්‍රේරිත පාවුල් අපට අවවාද කළ ලෙස “අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමින්” සිටිය යුතුයි (හෙබ්‍රෙව් 4:16).

  12. බලන්න මතෙව් 24:36–37.

  13. මලාකි 4:5; තවත් බලන්න ශෙපනියා 1:14–18.

  14. “ඇදහිල්ල, ගුණවන්තකම, දැනුම, පමණ දැන ක්‍රියාකිරීම, ඉවසීම, සහෝදර ස්නේහය, දේවභක්තිය, ප්‍රේමය, යටහත්පහත්කම [සහ] උද්යෝගය මතක තබාගන්න” කියා ස්වාමින්වහන්සේ අපට පවසා ඇත (දහම සහ ගිවිසුම් 4:6). අපි එසේ කරන විට, අපගේ ආත්ම-විශ්වාසය වැඩි වන අතර, පසුව, උන්වහන්සේගේම වචනවලින් කිවහොත්, අපි ඉල්ලන විට, අපට ලැබෙනු ඇත. අපි තට්ටු කරන විට, එය අපට විවෘත කර දෙනු ඇත. (බලන්න දහම සහ ගිවිසුම් 4:7.)

  15. බෙන්ජමින් රජුගේ ජනයා කළ දේ අපටත් අත්විඳිය හැකිය: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන් තුළ තිබූ අධික ඇදහිල්ල නිසා, ඔවුන්ගේ පව්වලට සමාව ලැබී, හෘද සාක්ෂියේ සාමය ඇතිව, ඔවුන් ප්‍රීතියෙන් පිරී සිටියහ” (මොසායා 4:3).