ශුද්ධලියවිලි
2 නීෆායි 7


7 වන පරිච්ඡේදය

ජේකබ් යෙසායාගෙන් තවදුරටත් කියවයි: යෙසායා මෙසියස්වහන්සේ ලෙස කතා කරයි – මෙසියස්වහන්සේ හට උගතුන්ගේ දිව තිබේවි – උන්වහන්සේ තමන්වහන්සේගේ පිට පහරදෙන්නන්ට ලබා දෙන සේක – උන්වහන්සේ ව්‍යාකූල නොවන සේක – යෙසායා 50 සමඟ සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.

1 එසේය, මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: මා නුඹ අත්හැරියේ ද, නැතහොත් මම නුඹව සදාකාලයට කපා හැර තිබේද? මක්නිසාද ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම් – පත්‍රය කොතන ද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාට ද? එසේය, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.

2 එබැවින්, මා ආවිට, කිසිදු මනුෂ්‍යයෙක් නොසිටියේය; මා අඬගැසූ විට, එසේය, උත්තර දෙන්නට කිසිවෙක් නොසිටියේය. අහෝ ඊශ්‍රායෙල් වංශය, මුදවාගන්නට බැරි හැටියට මාගේ දෑත කෙටි වි තිබේද? නොහොත් ගළවන්නට මා වෙත බලය නැති ද? බලව, මාගේ තරවටු කිරීමෙන් මම මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි, තවද එහි වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳ ගසනවා ඇත, සහ පිපාසයෙන් ඔවුන් මැරෙනවා ඇත්තේය.

3 මම ස්වර්ගයට කළුවර අන්දවා, තවද ගෝණි රෙදි එහි ආවරණය කරන්නෙමි.

4 නුඹලාට සුදුසු කාලයට කතා කරන ලෙසට, දෙවි වූ ස්වාමින්වහන්සේ මා හට උගතුන්ගේ දිව දුන් සේක, අහෝ ඊශ්‍රායෙල් වංශය. නුඹ විඩාබර වූ විට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවන සේක. උන්වහන්සේ උගතුන් සේ ඇසීමට මාගේ සවන් පුබුදුවන සේක.

5 දෙවි වූ ස්වාමින්වහන්සේ මාගේ සවන් විවෘත කළ සේක, තවද මා කැරළිකාර වුණේවත්, නැතහොත් ආපස්සට හැරුණේවත් නොමැත.

6 මම පහරදෙන්නාට මාගේ පිට ද, රැවුල උදුරන්නාවුන්ට මාගේ කම්මුල් ද දුන්නෙමි. මම මාගේ මුහුණ නින්දාවෙනුත් කෙළගැසීමෙනුත් සඟවා නොගත්තෙමි.

7 මක්නිසාද දෙවි වූ ස්වාමීන්වහන්සේ මට උපකාර වන සේක, එබැවින් මම ව්‍යාකූල නොවෙමි. එසේහෙයින් ගිනිගලක් මෙන් මම මාගේ මුහුණ තබාගෙන සිටියෙමි, තවද මා නින්දාවට පත් නොවන බව මම දන්නෙමි.

8 තවද ස්වාමීන්වහන්සේ ළංව සිටින සේක, සහ උන්වහන්සේ මා නිදොස් කරන සේක. මට එදිරිව සිටින්නේ කවුද? අප එක්ව නැගී සිටින්නෙමු. මාගේ විරුද්ධකාරයා කවුද? ඔහු මා ළඟට පැමිණෙන්න ඉඩ දෙන්න, තවද මම මාගේ මුඛයේ ශක්තියෙන් ඔහුට පහර දෙන්නෙමි.

9 මක්නිසාද දෙවි වූ ස්වාමින්වහන්සේ මට උපකාර කරන සේක. තවද මා හෙළා දකින සියල්ලෝ, බලව, ඔවුන් සියල්ලෝම වස්ත්‍රයක් මෙන් පරණ වන්නෝය, තවද කාවා ඒවා කාදමන්නේය.

10 නුඹලා අතරින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ මෙහෙකරුවාගේ හඬට කීකරු වෙන්නාවූ තැනැත්තා කවුද, ආලෝකය නැතිව අඳුරෙහි ඇවිදින්නාවූ තැනැත්තා කවුද?

11 බලව ගින්නක් දල්වා, එනම් ගිනි පෙනෙලි වටකර තබාගන්නාවූ සියල්ලෙනි, නුඹලාගේ ගින්නේ එළියෙහිත් නුඹලා පත්තු කර තිබෙන ගිනිපෙනෙලි අතරේත් හැසිරෙන්න. මාගේ හස්තයෙන් නුඹලාට ලැබෙන්නේ මෙයයි – නුඹලා ශෝකයෙන් වැතිර සිටින්නෝය.