ශුද්ධලියවිලි
2 නීෆායි 23


23 වන පරිච්ඡේදය

බබිලෝනියේ විනාශය දෙවෙනි පැමිණීමේ ආකාරයේ විනාශයකි – එය උදහසේ සහ පළිගැනීමේ දවසක් වනු ඇත – බබිලෝනියාව (ලෝකය) සදාකාලයට වැටෙනු ඇත – යෙසායා 13 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.

1 ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දුටු, බබිලෝනියාවේ ඉරණම.

2 නුඹලා උස් කන්ද මත කොඩියක් ඔසවන්න, ඔවුන්ට හඬ උත්කර්ෂ කරන්න, අතට අත දෙන්න, එනම් ඔවුන් වංශාධිපතිවරුන්ගේ දොරටුවලට ඇතුල් වන පිණිසය.

3 මාගේ කැපවූවන්ට මම අණ කළෙමි, එසේම මාගේ බලවන්තයන් ද කැඳවූවෙමි, මක්නිසාද මාගේ උදහස මාගේ උසස් බව ගැන ප්‍රීතිමත්ව වන්නාවු අය මත නොවන්නේය.

4 කඳුවල සිටින්නා වූ ජන සමූහයේ ඝෝෂාව මහා ජනතාවකට මෙන් සමානය, ඒ රැස්වූ ජාතීන්ගේ රාජ්‍යවල මහත් ශබ්ද සහිත ඝෝෂාවක්, සේනාවල ස්වාමීන්වහන්සේ සටනට සේනාව එක් කරන සේක.

5 ඔවුන් ඈත දේශයකින් පැමිණින්නෝය, ස්වර්ගයෙහි කෙළවර සිට ද, එසේය, ස්වාමීන්වහන්සේ සහ උන්වහන්සේගේ උදහසේ ආයුධ, මුළු දේශයම විනාශ කිරීම පිණිසයි.

6 නුඹලා මොරගසාපල්ලා, මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබෙන්නේය; එය සර්වබලධාරීන් වහන්සේ වෙතින් විනාශයක් මෙන් පැමිණෙන්නේය.

7 එසේහෙයින් සියලු දෑත් දුර්වල වන්නේය, සියලු මනුෂ්‍යයන්ගේ හදවත් ද දිය වන්නේය;

8 තවද ඔවුහු බියවන්නෝය; දැඩි වේදනාවන් සහ ශෝකයන් ඔවුන්ව අල්ලා ගන්නේය; ඔවුන් එකිනෙකා සමඟ විස්මයට පත් වන්නෝය; ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නේය.

9 බලව, ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය, උදහසෙන් සහ දරුණු කෝපයෙන් කුරීරුව, දේශය පාළු කර දමන්නට; තවද උන්වහන්සේ එහි සිටින පව්කාරයන් එයින් ඉවතට විනාශ කර දමන සේක.

10 මක්නිසාද අහසේ තාරකා ද තාරකා මණ්ඩලය ද ඒවායේ ආලෝකය නොදෙන්නෝය; ස්වකීය ගමනේ දී ඉර අඳුරුවන්නේය, තවද සඳ තමාගේ ආලෝකය බැබළෙන්ට ඉඩ නොදෙන්නේය.

11 තවද මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම නිසාත්, දුෂ්ඨයන්ට ඔවුන්ගේ අයුතුකම නිසාත් දඬුවම් කරන්නෙමි; උඩඟු අයගේ අහංකාරය නවත්වා, තවද දරුණු අයගේ උද්ධච්ඡකම පහත් කරන්නෙමි.

12 මා මනුෂ්‍යයෙකු කදිම රත්තරන්වලට වඩා වටිනාකම වැඩි කරන්නෙමි; ඕපීර්හි රත්තරන්වල කූඤ්ඤයට පවා ද මනුෂ්‍යයා වඩා අනර්ග වන්නට සලස්වන්නෙමි.

13 එසේහෙයින්, මා අහස චංචල කරන්නෙමි, තවද පොළොව ද එහි ස්ථානයෙන් සෙලවී පහව යන්නේය, සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහසේදී ද, උන්වහන්සේගේ තද කෝපයේ දවසේදී ද.

14 තවද ලුහුබඳින ලද තිත් මුවෙකු මෙන් ද, කිසිදු මනුෂ්‍යයෙක් එක්කර නොගන්නාවූ බැටළුවකු මෙන් ද වනු ඇත්තේය; තවද ඔවුන් එකිනෙකා තම තමාගේ ජනතාව වෙතට හැරී, තවද තම තමාගේ දේශයට පලා යනවා ඇත්තේය.

15 උඬඟු වූ සියල්ලෝ ඇනුම් කන්නෝය; එසේය, තවද දුෂ්ඨයන් සමඟ එකතු වන සියල්ලෝ කඩුවෙන් වැටෙන්නෝය.

16 ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දෑස් ඉදිරියේදී ගසා කැබැලි කරනු ලබන්නෝය; ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන අතර, තවද ඔවුන්ගේ භාර්යාවෝ දූෂණය කරනු ලබන්නෝය.

17 බලව, මා ඔවුන්ට එරෙහිව මේදවරුන්ව පොළඹවන්නෙමි, ඔවුන් රිදීවලට ද රත්‍රන්වලට ද සලකන්නේවත්, ප්‍රිය වන්නේවත් නැත.

18 ඔවුන් දුනුවලින් යෞවනයන් ගසා කැබලි කරන්නෝය; තවද ඔවුන් ගර්භයේ ඵලයට අනුකම්පා නොකරන්නෝය; ඔවුන්ගේ දෑස් දරුවන් අත් නොහරින්නෝය.

19 තවද බබිලෝනියාව, රාජ්‍යයන්හි මහිමය, කල්දිවරුන්ගේ විශිෂ්ඨත්වයේ අලංකාරය ද, දෙවියන්වහන්සේ විසින් සොදොම සහ ගොමොරාව විනාශ කළා හා සමාන වන්නේය.

20 එහි කවදාවත් වැසියෙක් නොවන්නේය, පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය: අරාබිවරයා එහි තමාගේ කුඩාරම තබා ගන්නේවත්; එඬේරු තමුන්ගේ බැටළු ගාලවත් එහි සාදන්නේ නැත.

21 එහෙත් වන මෘගයන් එහි ලගිනවා ඇත්තේය; තවද ඔවුන්ගේ ගෙවල් විලාප හඬදෙන සතුන්ගෙන් පිරෙනවා ඇත්තේය; තවද බකමූණන් එහි වසනවා ඇත, කැලෑ නරච්ඡාගයන් ද එහි නටනවා ඇත්තේය.

22 තවද දූපත්වල වන මෘර්ගයන් ඔවුුුුුන්ගේ පාළු නිවෙස්වල ද, මකරන් ඔවුන්ගේ සැප මාළිගාවලත් කෑගසනවා ඇත්තේය; ඇයගේ පැමිණීමේ කාලය ළංව ඇත්තේය, ඇගේ දවස් ප්‍රමාද නොවන්නේය. මක්නිසාද මම ඇයව වේගවත් ලෙස විනාශ කරන්නෙමි; එසේය, මක්නිසාද මම මාගේ ජනතාවට කරුණාවන්ත වන්නෙමි, එහෙත් දුෂ්ටයින් විනාශ වනු ඇත්තේය.