ශුද්ධලියවිලි
2 නීෆායි 4


4 වන පරිච්ඡේදය

ලීහායි ඔහුගේ‍ මතු පරපුරට උපදෙස් සහ අශිර්වාද ලබාදෙයි – ඔහු මියගොස් වළලනු ලබයි – නීෆායි දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන ප්‍රශංසා කරයි – නීෆායි ඔහුගේ විශ්වාසය ස්වාමින්වහන්සේ තුළ සදාකාලයටම තබයි. ක්‍රි.පූ. 588–570.

1 තවද දැන්, මම, නීෆායි, මාගේ පියා අනාවැකි පල කල මිසරයට රැගෙන ගිය යෝසෙප් පිළිබඳව කතා කරන්නෙමි.

2 මක්නිසාද බලව, ඔහු සැබවින්ම ඔහුගේ වංශය පිළිබද අනාවැකි පල කළේය. තවද ඔහු ලියූ අනාවැකිවලට වඩා මහඟු ඒවා නොමැති තරම්ය. තවද ඔහු අප පිළිබඳව අනාවැකි කීවේය, තවද අපගේ අනාගත පරම්පරාව ගැන ද අනාවැකි පල කළේය; තවද ඒවා පිත්තල තහඩු මත ලියා ඇත්තේය.

3 එබැවින්, මාගේ පියා යෝසෙප්ගේ අනාවැකි පිළිබඳව කතා කිරීමෙන් පසු, ඔහු ලේමන්ගේ දරුවන්, ඔහුගේ පුත්‍රයන් සහ ඔහුගේ දූවරුන් කැදවා ඔවුන්ට මෙසේ කීවේය: බලව, මාගේ කුළුදුලාගේ පුත්‍රයන් සහ දූවරුන් වූ නුඹලා මාගේ වචන වලට සවන්දෙනවාට මම කැමැත්තෙමි.

4 මක්නිසාද දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක: නුඹ මාගේ අණ පනත් තබන තරම් නුඹ මෙම දේශයේ සමෘධිමත් වන්නේය; තවද නුඹ මාගේ අණ පනත් නොතබන තරම් නුඹව මාගේ අභිමුඛයෙන් කපා හරිනු ඇත්තේය.

5 එහෙත් බලව, මාගේ පුත්‍රයෙනි සහ මාගේ දූවරුනි, නුඹ මත ආශිර්වාදයක් තබා මිස මට පහත මාගේ සොහොනට යා නොහැකිය. මක්නිසාද බලව, නුඹලා යා යුතු මාර්ගයේ නුඹලා ඇතිදැඩි කරන්නේ නම් නුඹලා එයින් පිටතට නොයන බව මම දන්නෙමි.

6 එබැවින්, නුඹව ශාප කරනු ලැබුවහොත්, බලව, ශාපය නුඹෙන් ඉවත් කර නුඹගේ දෙමාපියන්ගේ හිස මත පිළිතුරු දෙනු ලබන පිණිස, මම නුඹට මාගේ ආශිර්වාදය තබමි.

7 එබැවින්, මාගේ ආශිර්වාදය හේතුවෙන් නුඹේ විනාශයට දෙවි වූ ස්වාමීන්වහන්සේ ඉඩ නොදෙන සේක; එබැවින්, උන්වහන්සේ නුඹට සහ නුඹගේ වංශයට සදාතනිකව කරුණාවන්ත වන සේක.

8 තවද එය මෙසේ සිදු විය, එනම් මාගේ පියා ලේමන්ගේ පුත්‍රයන්ට සහ දූවරුන්ට කතාකර අවසන් කිරීමෙන් පසුව ඔහු ලෙමුවෙල්ගේ පුත්‍රයන් සහ දූවරුන් ඔහු ඉදිරියට ගෙන ඒමට සැලැස්වීය.

9 තවද ඔහු ඔවුන්ට මෙසේ කීවේය: බලව, මාගේ දෙවන පුත්‍රයාගේ පුත්‍රයන් සහ දූවරුන් වූ, මාගේ පුත්‍රයන් සහ දූවරුනි; බලව මම ලේමන්ගේ පුත්‍රයන්ට සහ දූවරුන්ට තැබූ ආශිර්වාදයම නුඹ මත තබන්නෙමිි. එබැවින් නුඹලා සම්පූර්ණයෙන් විනාශ නොවන්නේය. එහෙත් නුඹගේ වංශය ආශිර්වාද ලබනු ඇත්තේය.

10 තවද එය මෙසේ සිදු විය, එනම් මාගේ පියා ඔවුන්ට කතා කර අවසන් වූ පසු, බලව, ඔහු ඉශ්මායෙල්ගේ පුත්‍රයන්ට කතා කළේය, එසේය, තවද ඔහුගේ මුළු ගෘහයටම කතා කළේය.

11 තවද ඔහු ඔවුන්ට කතා කර අවසන් වූ පසු, ඔහු සෑම් හට මෙසේ කීවේය: නුඹ ආශිර්වාද ලබා ඇත්තේය, තවද නුඹේ වංශය ද; මක්නිසාද නුඹගේ සහෝදරයා වන නීෆායි මෙන් දේශයක් නුඹට උරුම වනු ඇත්තේය. තවද නුඹගේ වංශය ඔහුගේ වංශය සමඟ ගණනය කරනු ඇත්තේය; තවද නුඹ නුඹගේ සහෝදරයා මෙන් වනු ඇත්තේය, තවද නුඹේ වංශය ඔහුගේ වංශය මෙන් වනු ඇත්තේය; තවද නුඹගේ සියලු දවස්වල ආශිර්වාද ලබන්නේය.

12 තවද එය මෙසේ සිදුවිය, මාගේ පියා, ලීහායි, ඔහුගේ පවුලේ සියලුදෙනාට කතාකල පසු ඔහුගේ හදවතේ හැගීම් වලට අනුව තවද ඔහු තුළ වූ ස්වාමීන්වහන්සේගේ ආත්මයට අනුව, ඔහුගේ මුළු ගෘහයටම කතා කළ පසු, ඔහු මහළු විය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මිය ගිය අතර, වළලන ලද්දේය.

13 තවද එය මෙසේ සිදු විය, ඔහු මියගොස් බොහෝ දින ගතවීමට පෙර ලේමන්, ලෙමුවෙල් සහ ඉශ්මායෙල්ගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ අවවාද නිසා මා සමඟ කෝපයට පත් විය.

14 මක්නිසාද මම, නීෆායි, උන්වහන්සේගේ වචනයට අනුව, ඔවුන්ට ස්වාමීන්වහන්සේගේ වචන අනුව කතා කිරීමට බල කළෙමි. මක්නිසාද මම ඔවුන්ට බොහෝ දේ කතා කළෙමි, තවද මාගේ පියා ද, ඔහුගේ මරණයට පෙර ඔවුන් හට බොහෝ දේ කතා කළේය. ඒවායින් බොහෝමයක් මාගේ අනෙක් තහඩු මත ලියා ඇත. මක්නිසාදයත් ඉතිහාසයෙන් වැඩි කොටසක් මාගේ අනෙක් තහඩු මත ලියා ඇත්තේය.

15 තවද මේවා මත මාගේ ආත්මයේ දේවල් ද, තවද පිත්තල තහඩු මත කොටා ඇති ශුද්ධලියවිලි බොහෝමයක් මම ලියමි. මක්නිසාද මාගේ ආත්මය ශුද්ධලියවිලි තුළ ප්‍රීතිමත් වේ, තවද මාගේ හදවත ඒවා මෙනෙහි කරයි, තවද ඒවා මාගේ දරුවන්ගේ ඉගෙනීමටත් ප්‍රයොජනයටත් ලියන ලදි.

16 බලව, මාගේ ආත්මය ස්වාමීන්වහන්සේගේ දේවල් තුළ ප්‍රීතිමත් වන්නේය; තවද මාගේ හදවත නිරන්තරව මා දුටු සහ ඇසූ දේවල් ගැන මෙනෙහි කරන්නේය.

17 එසේනමුත්, මා හට උන්වහන්සේගේ විශිෂ්ට සහ ආශ්චර්යමත් කාර්යයන් පෙන්වීම සඳහා, ස්වාමින්වහන්සේගේ මහඟු යහපත්කම තිබියදීත්, මාගේ හදවත ප්‍රකාශ කරන්නේය: අහෝ මම කාලකණ්ණි මනුෂ්‍යයෙක් වෙමි! එසේය, මාගේ මාංශය හේතුවෙන් මාගේ හදවත ශෝකයට පත් වන්නේය; මාගේ අයුතුකම් හේතුවෙන් මාගේ ආත්මය කම්පාවට පත් වන්නේය.

18 එසේ පහසුවෙන් මා වටකරන ලද පරීක්ෂාවන් සහ මාව පහසුවෙන් පරදවන පාපයන් නිසා මා හරිහැරයට ලක්ව ඇත්තේය.

19 තවද මට ප්‍රීති වීමට ආශා වන විට, මාගේ පාපයන් නිසා මාගේ හදවත කෙඳිරිගායි; එසේනමුත්, මා කා තුළ විශ්වාස කරන්නේ දැයි මම දනිමි.

20 මාගේ දෙවියන්වහන්සේ මාගේ උපකාරය වූ සේක; උන්වහන්සේ මා වනාන්තරයේ පීඩා වලදී ගෙන ගිය සේක. තවද උන්වහන්සේ මා ජලයේ ගැඹුර මත ආරක්ෂා කළ සේක.

21 උන්වහන්සේ මා උන්වහන්සේගේ ප්‍රේමයෙන් පුරවන අතර මාගේ මාංශය පිළිස්සෙන තරමටය.

22 උන්වහන්සේ මාගේ සතුරන් ව්‍යාකූල කළ සේක, ඔවුන් මා ඉදිරියේ වෙව්ලන තරමටය.

23 බලව, උන්වහන්සේට මාගේ මොර ගැසීම දිවා කාලයේ ඇසුනු සේක, තවද උන්වහන්සේ දර්ශන මගින් මා හට දැනුම ලබා දී ඇත්තේය.

24 තවද දිවා කාලයේ දී මම උන්වහන්සේ ඉදිරියේ බලවත් යාච්ඤාවෙන් එඩිතර වූවෙමි; එසේය, මාගේ හඬ මම ඉහළට එසෙව්වෙමි; තවද දේවදූතයෝ බැස මා හට උපස්ථාන කළෝය.

25 තවද උන්වහන්සේගේ ආත්මයේ පියාපත් මත මාගේ ශරීරය ඉතා උස් වූ කඳු මතට ගෙන යන ලදී. තවද මාගේ දෑස් ශ්‍රේෂ්ට දේවල් දැක ඇත්තේය, එසේය, මනුෂ්‍යයාට දරා ගත නොහැකි තරමට; එසේහෙයින් ඒවා නොලිය යුතු යැයි මට නියෝග කළ සේකී.

26 අහෝ එවිට, මා ශ්‍රේෂ්ඨ දේවල් දැක ඇත්නම්, ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ට උන්වහන්සේගේ අනුකම්පාව තුළ මෙතරම් කරුණාවෙන් මනුෂ්‍යයන් වෙත පැමිණ තිබේ නම්, මාගේ පීඩාවන් හේතුවෙන් මාගේ හදවත හඬා වැලපෙන්නේ ද මාගේ ආත්මය ශෝකයේ මිටියාවතෙහි ද තවද මාගේ මාංශය දුර්වල වන්නේ ද, තවද මාගේ පීඩා නිසා මාගේ ශක්තිය හීන වී යයිද?

27 තවද මා පාපයට යටත් වන්නේ කුමට ද, මාගේ මාංශය නිසාද? එසේය, මාගේ හදවතේ සාමය විනාශ කිරීමටත් මාගේ ආත්මයට පීඩා කිරීමටත් මාගේ හදවත තුළ දුෂ්ට තැනැත්තා තැබූ, පරීක්ෂාවන්ට මා ඉඩ දියයුතු වන්නේ මන්ද? මාගේ සතුරන් නිසා මා කෝප වන්නේ මන්ද?

28 අවදි වන්න, මාගේ ආත්මය! තවදුරටත් පාපය තුළ පරනොවන්න. ප්‍රීතිමත් වන්න, අහෝ මාගේ හදවත, තවද මාගේ ආත්මයේ සතුරාට තවදුරටත් ඉඩ නොදෙන්න.

29 මාගේ සතුරන් හේතුවෙන් නැවත කෝපයට පත් නොවන්න. මාගේ පීඩා හේතුවෙන් මාගේ ශක්තිය නොසෙල්වන්න.

30 ප්‍රීතිමත් වන්න, අහෝ මාගේ හදවත, තවද මෙසේ කියමින් ස්වාමින්වහන්සේට මොර ගසන්න, අහෝ ස්වාමින්වහන්ස, මම සදාකාලිකව ඔබවහන්සේට ප්‍රශංසා කරන්නෙමි; එසේය, මාගේ දෙවියන්වහන්ස, සහ මාගේ ගැලවීමේ පර්වතය, මාගේ ආත්මය ඔබවහන්සේ තුළ ප්‍රීතිමත් වන්නේය.

31 අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මාගේ ආත්මය මුදවා ගනු ඇත් ද? ඔබවහන්සේ මාගේ සතුරන්ගේ හස්තයෙන් මා ගලවනු ඇත් ද? මා පාපය දුටු විට වෙව්ලන ලෙසට ඔබවහන්සේ මා සාදන්නෙහි ද?

32 මාගේ හදවත බිඳී මාගේ ආත්මය තැලී ඇති බැවින්, නිරයේ දොරටු මා ඉදිරියෙහි අඛණ්ඩව වසනු ලැබේවා! අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මා ඉදිරියෙහි ඔබවහන්සේගේ ධර්මිෂ්ඨකමේ දොරටු වසා නොගන්නෙහි ද, මම පහත් මිටියාවතේ මාර්ගයේ ගමන් කරන පිණිස, එනම් මම සරල මාර්ගයේ සැලකිළිමත්ව සිටින පිණිසය!

33 අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයෙන් මා වටකරගන්නා සේක්වා! අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මාගේ සතුරන් ඉදිරියෙහි මාගේ ගැලවීමට මාර්ගයක් සකසන සේක්වා! ඔබවහන්සේ මා ඉදිරියෙහි මාගේ මාර්ගය ඍජු කරන සේක්වා! ඔබවහන්සේ මාගේ මාර්ගයෙහි බාධාවක් නොතබන සේක්වා – නමුත් එනම් ඔබවහන්සේ මා ඉදිරියෙහි මාගේ මාර්ගය පැහැදිලි කර, මාගේ මාර්ගය නොව, මාගේ සතුරාගේ මාර්ගවලට බාධා කරත්වා.

34 අහෝ ස්වාමීන්වහන්ස, මම ඔබවහන්සේ තුළ විශ්වාස කරමි, තවද මම සදාකාලිකව ඔබවහන්සේ තුළ විශ්වාස කරන්නෙමි. මම මාගේ විශ්වාසය මාංශයේ හස්තය කෙරෙහි විශ්වාසය නොතබමි; මක්නිසාද මාංශයේ හස්තය කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා ශාප ලත් බව මම දනිමි. එසේය, මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා හෝ මාංශය තම හස්තය කරගන්නා තැනැත්තා ශාප ලද්දෙකි.

35 එසේය, ඉල්ලන තැනැත්තාට දෙවියන්වහන්සේ නොමසුරුව දෙන බව මම දනිමි. එසේය මා නිවැරදි යමක් අයැදින්නේ නම් මාගේ දෙවියන්වහන්සේ මා හට දෙන සේක. එබැවින් මාගේ හඬ මම උන්වහන්සේ හට ඔසවන්නෙමි. එසේය, මම උන්වහන්සේ හට මොරගසන්නෙමි, මාගේ දෙවියන්වහන්ස, මාගේ ධර්මිෂ්ඨකමේ පර්වතය. බලව, මාගේ පර්වතය සහ මාගේ සදාතනික දෙවියන්වහන්ස, මාගේ හඬ සදාකාලිකව ඔබවහන්සේ වෙතට නැඟෙන්නේය. ආමෙන්.