ශුද්ධලියවිලි
2 නීෆායි 21


21 වන පරිච්ඡේදය

යෙස්සේගේ කඳෙන් (ක්‍රිස්තුස්වහන්සේ) ධර්මිෂ්ඨව විනිශ්චය කරන සේක – සහස්‍රයේ දී දෙවියන්වහන්සේ පිළිබඳ දැනුමෙන් පොළොව වැසී යනු ඇත – ස්වාමීන්වහන්සේ ධජයක් ඔසවා ඊශ්‍රායෙලය රැස් කරනු ලබන සේක – යෙසායා 11 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.

1 තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, තවද ඔහුගේ මුල්වලින් අත්තක් ඵල දරන්නේය.

2 තවද ස්වාමීන්වහන්සේගේ ආත්මය, එනම් ප්‍රඥාව හා තේරුම් ගැනිමේ ආත්මය ද, උපදේශයේ හා බලයේ ආත්මය ද, දැනුමේ සහ ස්වාමීන්වහන්සේ කෙරෙහි බියෙහි ආත්මය ද, උන්වහන්සේ කෙරෙහි පිහිටන්නේය.

3 තවද ස්වාමීන්වහන්සේ කෙරෙහි බියෙන් උන්වහන්සේ හට ඉක්මන් අවබෝධය ඇති කරවන්නේය; තවද උන්වහන්සේ තමන්වහන්සේගේ ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේවත්, තමන්වහන්සේගේ කනට ඇසෙන හැටියට අවවාද කරන්නේවත් නැත.

4 එහෙත් ධර්මිෂ්ඨකමින් උන්වහන්සේ දුප්පතුන් විනිශ්චය කර, පොළොවේ යටහත් වූවන්ට සාධාරණත්වයෙන් අවවාද කරන සේක; තවද උන්වහන්සේගේ මුඛය නමැති යෂ්ටියෙන් උන්වහන්සේ පොළොවට පහර දී, උන්වහන්සේගේ තොල්වල සුසුමෙන් දුෂ්ටයන් නසන සේක.

5 තවද ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ ඉඟපටිය ද, ඇදහිලිවන්තකම උන්වහන්සේගේ බඳපටිය ද වන්නේය.

6 වෘකයා බැටළු පැටවා සමඟ වාසය කරන්නේය, තවද දිවියා ද එළු පැටවා සමඟ ලගින්නේය, තවද වහු පැටවා සහ තරුණ සිංහයා ද තරබාරු කළ සතා ද එක්ව සිටින්නෝය; තවද කුඩා දරුවෙක් උන් ගෙන යන්නේය.

7 තවද එළදෙනත් වලසාත් එක්ව කන්නෝය; උන්ගේ පැටවු ද එක්ව ලගින්නෝය; තවද සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය.

8 තවද කිරි බොන දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය, තවද කිරිවැරූ දරුවා පොළඟාගේ ගුල පිට තමාගේ අත තබන්නේය.

9 ඔවුහු මාගේ ශුද්ධ වූ කන්දේ සීමා තුළ කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොකරන්නෝය, මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනුමෙන් පොළොව පිරී යන්නේය.

10 තවද එම දවසෙහි ජනතාවට කොඩියක් ලෙස සිටින්නා වූ, යෙස්සේගේ මුලක් වන්නේය; එය වෙතට අන්‍යජාතිකයෝ රැස්වන්නෝය; තවද උන්වහන්සේගේ නිවාසස්ථානය මහිමවත් වන්නේය.

11 තවද එය මෙසේ සිදු වනු ඇත, එම දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන් ද, මිසරයෙන් ද, පත්‍රෝසෙන් ද, කූෂ් රටෙන් ද, ඒලාමෙන් ද, ෂිනාරෙන් ද, හමාතෙන් ද, මුහුදේ දිවයින්වලින් ද, ඉතිරි වූ උන්වහන්සේගේ ජනතාව ආපසු ගැනීමට දෙවෙනි වරටත් ස්වකීය හස්තය දිගු කරන සේක.

12 තවද උන්වහන්සේ ජාතීන් හට කොඩියක් ඔසවා, පලවා හරිනු ලැබූ ඊශ්‍රායෙල්වරුන් රැස්කර, විසුරුවනු ලැබූ යූදාවරුන් පොළොවේ සතර කොනින් එක්රැස් කරන සේක.

13 එප්‍රායිම්ගේ ඊර්ෂ්‍යාව ද පහව යන්නේය, තවද යූදාගේ විරුද්ධකරුවන් කපා හරිනු ලබන්නේය; එප්‍රායිම් යූදාට ඊර්ෂ්‍යා කරන්නේ නැත, තවද යූදා එප්‍රායිම්ට හිංසා කරන්නේ නැත.

14 එහෙත් ඔවුන් පිලිස්තිවරුන්ගේ කර මත බටහිර දෙසට පියාසර කරන්නෝය; ඔවුහු එක්ව පෙරදිග වැසියන්ගෙන් කොල්ලකනු ඇත; තමාගේ අත ඒදොම් සහ මෝවබ් පිටට දිගු කරන්නෝය; තවද අම්මොන්ගේ දරුවෝ ඔවුන්ට කීකරුවන්නෝය.

15 තවද ස්වාමීන්වහන්සේ මිසර මුහුදේ ‍දිව සහමුලින්ම විනාශ කරන සේක; තවද උන්වහන්සේගේ බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිගු කොට, මනුෂ්‍යයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩවෙන්ට හැකි ලෙසට, දිය පාර සතකට බෙදෙන ලෙස එයට පහර දෙන සේක.

16 තවද අෂූරෙන් සිට, ඊශ්‍රායෙල් මිසර දේශයෙන් ආ දවසේ දී මෙන්, උන්වහන්සේගේ ජනයාගේ ඉතිරියට මහමාර්ගයක් තිබෙනු ඇත්තේය.