ශුද්ධලියවිලි
2 නීෆායි 15


15 වන පරිච්ඡේදය

ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත (ඊශ්‍රායලය) පාළු වන්නේය, තවද උන්වහන්සේගේ ජනතාව විසිරුවනු ඇත – ඔවුන්ගේ ඇදහිල්ලෙන් වැටුණු හා විසුරුවනු ලැබූ තත්වය තුළ විපත ඔවුන් වෙත පැමිණෙනු ඇත – ස්වාමින්වහන්සේ ධජයක් ඔසවා ඊශ්‍රායලය එක්රැස් කරන සේක – යෙසායා 5 වන පරිච්ඡේදය සසඳන්න. ක්‍රි.පූ. 559–545 දී පමණ.

1 තවද එවිට මම මගේ හිතාදර ප්‍රේමවන්තයාට ඔහුගේ මිදිවත්ත ගැන ගීතිකාවක් ගායනා කරන්නෙමි. මාගේ හිතාදර ප්‍රේමවන්තයාට ඉතා සාරවත් කන්දක මිදිවත්තක් ඇත.

2 තවද ඔහු වැටක් බැඳ, තවද එහි ගල් අහක් කොට, තවද එහි තෝරාගත් හොඳම මිදි වැල සිටුවා, තවද එහි මැද කුළුණක් ගොඩනඟා, තවද ඒ තුළ මිදි යන්ත්‍රයක් තැනුවේය; තවද ඔහු මිදි ඵල දරනවා යැයි බලා සිටියේය, තවද එහි හටගත්තේ වල් මිදි ය.

3 තවද දැන්, අහෝ ජෙරුසලමේ වැසියෙනි, තවද යූදාහි මනුෂ්‍යයනි, මාත් මාගේ මිදිවත්තත් සලකමින්, විනිශ්චය කරන ලෙස මම නුඹගෙන් යදින්නෙමි.

4 මාගේ මිදි වත්තෙහි මා නොකළාවූ දෙයට වඩා තව කුමක් කළ හැකිව තිබුණේද? මක්නිසාද, එයින් මිදි හටගත යුතු බව මා බැලූ කල, එය වල් මිදි ගෙන දුන්නේය.

5 තවද දැන් යන්න; මාගේ මිදි වත්තට මා කරන්නේ කුමක්දැයි මම නුඹලාට කියන්නෙමි – මම එහි වැට ඉවත් කරන්නෙමි, තවද එය කා දමනු ලබන්නේය; තවද එහි වූ බිත්තිය මම කඩා දමන්නෙමි, තවද එය බිමට පාගා දමනු ලබන්නේය;

6 තවද මම එය පාළුවට හරින්නෙමි; තවද පාහිනු ලබන්නේවත් කොටනු ලබන්නේවත් නැත; එහෙත් එහි කටු සහ ගොකටු හටගන්නේය; ඒ මත වැසි නොවැසෙන ලෙස වලාකුළුවලට මම ආඥා කරන්නෙමි.

7 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත ඊශ්‍රායල් වංශය වන්නේය, තවද යුදාහි මනුෂ්‍යයෝ උන්වහන්සේගේ ප්‍රියවන්ත පැළෑටියයි; තවද උන්වහන්සේ විනිශ්චය බලා සිටිය සේක, තවද බලව, පීඩාව; ධර්මිෂ්ඨකම සඳහා, නමුත් බලව, විලාපයකි.

8 අන් කිසි තැනක් නැති වන තුරු, ඔවුන් පමණක් තනිව පොළොවේ මැද සිටින සේ, නිවසට නිවසක් එකතු කරන්නාවුන් හට, දුක් වේ!

9 මාගේ කන් වලට, සේනාවන්ගේ ස්වාමීන්වහන්සේ කියූ සේක, සැබවින්ම බොහෝ නිවෙස් පාළු වනු ඇත, තවද මහත් හා අලංකාර වූ නගරවල වැසියන් නොමැති වනු ඇත.

10 එසේය, අක්කර දසයක මිදි වත්තකින් බාත් එකක් ද, හෝමරයක බීජවලින් ඊෆාවක අස්වැන්නක් ලබා ගන්නේය.

11 හිමිදිරි උදෑසන නැඟිට රාත්‍රිය වන තුරුත් මුද්‍රිකපානයන් පස්සේ යන්නාවුන් හට දුක් වේ, තවද මුද්‍රිකපානය ඔවුන්ව දවාලන්නේය!

12 තවද වීණාවද, කුඩා වීණාවද, රබානත්, නළාවත්, මුද්‍රිකපානයත් ඔවුන්ගේ මංගල්‍ය වල ය; එහෙත් ඔවුන් ස්වාමින්වහන්සේගේ ක්‍රියා සළකන්නේවත්, උන්වහන්සේගේ දෑත් වල ක්‍රියා තකන්නේවත් නැත.

13 එසේහෙයින්, මාගේ ජනතාවගේ නොදැනුවත්කම නිසාා ජනතාව වහල්භාවයට ගොස් ඇත; තවද ඔවුන්ගේ ගෞරවනීය මනුෂ්‍යයන් කුසගින්නෙන් පෙළෙති, තවද ඔවුන්ගේ ජනසමූහයන් පිපාසයෙන් වියළී සිටිති.

14 එසේහෙයින්, නිරය තමන්ව විශාල වී, ප්‍රමාණයකින් තොරව ඇගේ මුඛය විවෘත කර සිටියි; තවද ඔවුන්ගේ මහිමයද, තවද ඔවුන්ගේ ජනසමූහයන් ද, තවද ඔවුන්ගේ විභූතියද, තවද ඉන් ප්‍රීති වන්නාද, එය තුළට බැස යනු ඇත.

15 තවද පාහර මනුෂ්‍යයා පහත් කරනු ලබන්නේය, තවද බලවත් මනුෂ්‍යයා යටහත් පහත් කරනු ලබන්නේය, තවද උඩඟු පෙනුමැති අයගේ ඇස් යටහත් පහත් කරනු ලබන්නේය.

16 එහෙත් සේනාවල ස්වාමීන්වහන්සේ විනිශ්චයේදී උසස් කරනු සේක, ශුද්ධ වූ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකමින් පාරිශුද්ධ කරනු සේක.

17 එවිට බැටළු පැටවුන් ඔවුන්ගේ ආකාරයෙන් පෝෂණය වන්නේය; තවද පෘෂ්ඨිමත් අයගේ පාළු තැන් ආගන්තුකයනගේ ගොදුර වන්නේය.

18 අහංකාරකම නැමති බැමිවලින් අයුතුකම් ඇදගන්නා, තවද පාපය ද කරත්ත කඹයකින් මෙන් අදින්නන් හට දුක් වේ!

19 එනම් මෙසේ කියමින්: අපිට දැකගන්නට උන්වහන්සේගේ වේගය ඉක්මන් කොට උන්වහන්සේගේ ක්‍රියාවන් කඩිනම් කරනු සේක; තවද ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේගේ උපදේශ ළං වී, අප එය දැනගනු පිණිස පැමිණෙත්වා.

20 නපුර යහපතද, යහපත නපුර යැයි කියන්නාවූ, අඳුර වෙනුවට ආලෝකය ද, ආලෝකයට අඳුර තබන්නාවූ, තිත්තට මිහිර ද, මිහිරට තිත්තට ද දමන්නාවුන් හට දුක් වේ!

21 තමන් ප්‍රඥාවන්තයැයි තමාගේම දෑස් ඉදිරියේ සිතන්නාවුන්ද තමාගේම දෘෂ්ටියේ තමා දූරදර්ශීයැයි සිතන්නාවුන් හට දුක් වේ!

22 මුද්‍රිකපානය බීමට බලවන්තවූත්, සැර මුද්‍රිකපානය මිශ්‍ර කිරීමට ශක්තිමත්වූ මනුෂ්‍යයන් හට දුක් වේ;

23 තවද ධර්මිෂ්ඨ වන ඔහුගෙන් ධර්මිෂ්ඨකම පැහැරගන්නා, අල්ලසකට දුෂ්ඨයින් නිදොස් කරන්නා ය!

24 එසේහෙයින්, ගිනි දැල්ලට ඉපනැල්ල දැවෙන්නාක්මෙන්ද, බොල්පොතු ගිනිදැල්ලට පිච්චී යන්නාක් මෙන්ද, ඒවායේ මුල් කුණු වී, තවද ඒවායේ මල් දූවිල්ලක් මෙන් නැඟී යන්නේ ය; මක්නිසාද ඔවුන් සේනාවල ස්වාමීන්වහන්සේගේ නීතිය ඉවත දමා, තවද ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේගේ වචනයට ගැරහූ නිසාය.

25 එසේහෙයින්, ස්වාමීන්වහන්සේගේ උදහස උන්වහන්සේගේ ජනතාවට විරුද්ධ ව ඇවිළී, තවද උන්වහන්සේ හස්තය ඔවුන්ට විරුද්ධ ව දිගුකොට ඔවුන්ට පහර දුන් සේක; තවද කඳු වෙව්ලුවේය, තවද ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල මැද කැබළි වී ඇත. මක්නිසාද මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවීය, එහෙත් උන්වහන්සේගේ හස්තය තවමත් දිගු කර ඇත.

26 තවද උන්වහන්සේ දුර සිට සියලු ජාතීන්ට ධජයක් ඔසවා, පොළොවේ කෙළවර සිටින ඔවුන්ට සංඥාකරන සේක. තවද බලව, ඔවුන් ඉක්මන් වී වේගයෙන් පැමිණේන්නේය; ඔවුන් අතරින් කිසිවෙක් වෙහෙසට පත්වන්නේවත් පැකිළෙන්නේවත් නැත.

27 කිසිවෙකුටවත් අඩ නින්දවත් හෝ නින්දවත් නොඑන්නේය; ඔවුන්ගේ ඉඟටියේ පටිය ලිහිල් නොවන්නේය, ඔවුන්ගේ මිරිවැඩි පටියවත් නොකැඩෙන්නේය.

28 ඔවුන්ගේ ඊතල තියුණුය, තවද ඔවුන්ගේ සියළු දුනු නැවී තිබේය, තවද ඔවුන්ගේ අශ්වයන්ගේ කුර ගිනිගල් මෙන්ද, තවද ඔවුන්ගේ රෝද සුළි සුළඟක් මෙන් ද, ඔවුන්ගේ ගර්ජනා සිංහයෙකු මෙන් ද වන්නේය.

29 ඔවුන් තරුණ සිංහයින් සේ ගර්ජනා කරනු ඇත; එසේය ඔවුන් ගර්ජනා කොට, ගොදුර අල්ලාගෙන, සුරක්ෂිතව රැගෙන යන්නෝය, තවද ගළවන්නට කිසිවෙකු නොවන්නේය.

30 තවද එම දවසේදී ඔවුන් මුහුදේ ගර්ජනාව මෙන් ඔවුන්ට විරුද්ධව ගර්ජනා කරන්නෝය. තවද ඔවුන් දේශය දෙස බැලුවහොත්, අන්ධකාරයත් සහ ශෝකයත්, තවද එහි අහසෙහි ආලෝකය අඳුරුව තිබෙනු ඇත.