17 වන පරිච්ඡේදය
එප්‍රායිම් සහ සිරියාව යූදාට එරෙහිව යුද්ධ කරයි – ක්‍රිස්තුස්වහන්සේ කන්‍යාවකගෙන් උපත ලබන සේක – යෙසායා 7 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් උස්සියාගේ පුත්‍ර වූ, යෝතාම්ගේ පුත්‍රයා වන, යූදාහි රජ වූ, ආහාස්ගේ දවස්වල දී, සිරියාවේ රජ වූ රෙශීන් ද, රෙමලියාගේ පුත්‍ර වූ, ඊශ්‍රායෙල්හි රජ වූ පෙකා ද, ජෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්නට පැමිණයහ, එහෙත් ජයගන්ට නොහැකි විය.
2 තවද එය දාවිත්ගේ වංශයට මෙසේ කියන ලදී: සිරියාව එප්‍රායිම් සමඟ ඒකාබද්ධය. තවද ඔහුගේ හදවත ද, ඔහුගේ ජනතාවගේ හදවත ද, වනයේ ගස් හුළඟට සෙලවෙන්නාක් මෙන් චංචල වුණේය.
3 එවිට ස්වාමීන්වහන්සේ යෙසායා හට පවසන සේක: නුඹ සහ නුඹේ පුත්‍රයා වන ෂෙයාර් – යාෂුබ්, රෙදි අපුල්ලන්නාගේ පිටියේ ඉහල පොකුණේ කාණුව කෙලවර ඇති මහපාර දී, ආහාස් හමු වීමට ඉදිරියට යන්න.
4 තවද ඔහු හට මෙසේ පවසන්න: තවද නිශ්චලව සිටින්නට, වගබලා ගන්න; බිය නොවන්න, දුම් නගින ඒ ගිනිපෙනෙලි දෙකේ කෙළවර වූ, රෙශීන් හා සිරියාවේ, සහ රෙමලියාගේ පුත්‍රයාගේ තද කෝපය නිසා නුඹගේ හදවත දුර්වල නොකරගන්න.
5 මක්නිසාද සිරියාව ද, එප්‍රායිම් ද, සහ රෙමලියාගේ පුත්‍රයා ද, නුඹට මෙසේ පවසමින් විරුද්ධව නපුරු උපදේශ ගෙන ඇත:
6 අප යූදාට විරුද්ධව ගොස් එයට පීඩාකර, තවද අප බිඳ ගෙන ඇතුළු වී අප සඳහා, ඒ මැද රජ කෙනෙකු පත් කරමු, එසේය, ටාබෙයෙල්ගේ පුත්‍රයා පත් කරන්නෙමු.
7 දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ පැවසූ සේක: ඒක ස්ථිර නොවන්නේය, එය සිදු නොවනු ඇත්තේය.
8 මක්නිසාද සිරියාවේ හිස නම් දමස්කයයි, දමස්කයේ හිස නම් රෙශීන්ය; තවද හැටපස් අවුරුද්දක් ඇතුළත එප්‍රායිම් ජනතාවක්ව නොසිටින ලෙසට සුනුවිසුණු කරනු ලබන්නේය.
9 තවද එප්‍රායිම්ගේ හිස නම් සමාරියායි, සමාරියේ හිස නම් රෙමලියාගේ පුත්‍රයාය. නුඹලා විශ්වාස නොකරන්නේ නම් සැබවින්ම නුඹලා ස්ථාපිත නොවන්නෝය.
10 තවදුරටත්, ස්වාමීන්වහන්සේ නැවත ආහාස් අමතා, මෙසේ පැවසූ සේක:
11 නුඹගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලා සිටින්න.
12 එහෙත් ආහාස් කීවේය: මම නොඉල්ලමි, තවද මා ස්වාමීන්වහන්සේ පරික්ෂාවට පත් නොකරන්නෙමි.
13 තවද ඔහු කතා කොට: නුඹලා දැන් අසන්න, අහෝ දාවිත්ගේ වංශය; මනුෂ්‍යයන් වෙහෙස වීම කුඩා දෙයකි, එහෙත් නුඹලා මාගේ දෙවියන්වහන්සේවත් වෙහෙසට පත් කරන්නෙහුද?
14 එසේහෙයින්, ස්වාමීන්වහන්සේම නුඹලාට සළකුණක් ලබා දෙන සේක – බලව, කන්‍යාවක් පිළිසිදගෙන, තවද පුත්‍රයෙකු බිහි කරනු ඇත්තේය, තවද ඔහුට එම්මානුවෙල් යන නාමය තබන්නීය.
15 උන්වහන්සේ දීකිරිත් මීපැණිත් කන සේක, උන්වහන්සේ නපුර එපාකොට යහපත තෝරා ගැනීමට දැනගන්නා පිණිසය.
16 මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්නට පළමුවෙන්, නුඹට පිළිකුල් වූ දේශය ඇයගේ රජවරුන් දෙදෙනා ද අත්හරිනු ලබන්නේය.
17 ස්වාමීන්වහන්සේ නුඹ පිටටත්, තවද නුඹේ ජනතාව පිටටත්, නුඹේ පියාගේ වංශය පිටටත්, අෂූර්හි රජ වූ, යූදාගෙන්, එප්‍රායිම් වෙන්වූ එම දවසේ පටන් නොපැමිණි දවස් පමුණුවන සේක.
18 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ මිසරයේ පුරාවටම සිටිනා මැස්සන්ටත්, අෂූර් දේශයෙහි සිටිනා මීමැස්සන්ටත් සංඥාකර හඬගසන සේක.
19 තවද ඔවුන් පැමිණෙනු ඇත, තවද ඔවුහු සියල්ලෝම පාළු මිටියාවත්වල ද, පර්වත කුහරවල ද, සියලු කටු ගස්වල ද, සියලු පඳුරුවල ද රඳන්නෝය.
20 එම දවසේදීම ස්වාමීන්වහන්සේ අෂූර්හි රජු ලවා, ගංගාවට එගොඩින්, කුලියට ගත් දැලිපිහියෙන් මුඩු කරන සේක, හිසේ ද, පාදවල ද කේශ කපා දමන සේක; තවද රැවුලත් එයින් සිඳ දමනු ලබන්නේය.
21 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් ඒම දවසෙහි, මනුෂ්‍යයෙක් තරුණ එළදෙනකුත් බැටළුවන් දෙන්නෙකුත් පෝෂණය කරන්නේය;
22 තවද එය මෙසේ සිදු වනු ඇත එනම්, මක්නිසාද උන් කිරි බහුලත්වයෙන් දෙන බැවින් ඔහු දීකිරි කන්නේය; මක්නිසාද දේශයෙහි ඉතුරු වෙන සියල්ලෝම දීකිරි සහ මී පැණි කන්නෝය.
23 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් ඒ දවසෙහි, රිදී දහසක් වටින මිදි වැල් දහසක් ඇති, සෑම ස්ථානයකම, කටු ගස් ද ගොකටු ද හටගන්නවා ඇත්තේය.
24 එහි යන තැනැත්තා ඊතල ද දුනු ද ඇතුව යා යුතුය, මක්නිසාද දේශය මුළුල්ලෙහි කටු ගස් ද ගොකටු ද ඇති වන්නේය.
25 තවද උදැල්ලෙන් කොටන කන්දකම, කටුගස්වලට ද ගොකටුවලට ද භය එහි නොපැමිණෙන්නේය; එහෙත් එය වනාහි ගවයන් දක්කා හරින්නා වූ, බැටළුවන් පාගන්නා වූ ස්ථානයක් වන්නේය.