12 වන පරිච්ඡේදය
යෙසායා පසු දවස්වල දේවමාළිගාව, ඊශ්‍රායෙලයේ එක්රැස් කිරීම, සහ සහස්‍ර විනිශ්චය සහ සාමය දකියි – උඩඟුවූවන් සහ දුෂ්ටයන් දෙවන පැමිණීමේදී පහතට දමුනු ඇත – යෙසායා 2 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.
1 ආමොස්ගේ පුත් යෙසායා, යූදා සහ ජෙරුසලම ගැන දුටු වචනය:
2 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් අවසාන දවස්වලදී, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මත පිහිටුවන විට, තවද එය කඳුවලට ඉහළින් උත්කර්ෂ වන අතර, සියලු ජාතීන් එය වෙතට ගලා එනු ඇත්තේය.
3 තවද බොහෝ ජනයාද ගොස් මෙසේ කියති: නුඹලා පැමිණෙන්න, තවද අප ස්වාමීන්වහන්සේගේ කන්දේ ඉහලටත්, යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යන්නෙමු; තවද උන්වහන්සේ උන්වහන්සේගේ මාර්ග අපට උගන්වන සේක, තවද අප උන්වහන්සේගේ මාර්ගවල යන්නෙමු; මක්නිසාද සයන් වෙතින් නීතීය ද ජෙරුසලමෙන් ස්වාමින්වහන්සේගේ වචනය ද නික්මෙන්නේය.
4 තවද උන්වහන්සේ ජාතීන් අතර විනිශ්චය කරමින්, බොහෝ ජනතාවන් හට තරවටු කරන සේක: තවද ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල්වලටද, හෙල්ලවලින් පෑහීමේ කොකුද තළාගන්නෝය – ජාතියක් ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේ නැත, ඔවුහු තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නොමැත.
5 අහෝ යාකොබ්ගේ වංශයෙනි, එන්න, අප ස්වාමීන්වහන්සේගේ ආලෝකයේ ගමන් කරන්නෙමු; එසේය, එන්න, මක්නිසාද නුඹලා සියල්ලෝම මුළා වී, සෑම කෙනෙකුම තම තමාගේ දුෂ්ට මාර්ගවලට ගොස් ඇත්තේය.
6 එසේහෙයින්, අහෝ ස්වාමීන්වහන්ස, යාකොබ්ගේ වංශය වූ ඔබවහන්සේගේ ජනතාව ඔබවහන්සේ අත්හැරිය සේක, මක්නිසාද ඔවුන් පෙරදිග සිරිත්වලින් නැවත පිරුණු නිසාත්, පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන් හට සවන් දෙන නිසාත්, ඔවුන් ආගන්තුකයන්ගේ දරුවන් තුළ ඔවුන්වම සතුටු කර ගැනීම නිසාවෙනි.
7 ඔවුන්ගේ දේශය එසේම රිදීයෙන් සහ රනින් පිරී තිබේ, ඔවුන්ගේ වස්තූන්ට ද අවසානයක් නොමැත; ඔවුන්ගේ දේශය ද අශ්වයන්ගෙන් පිරී තිබේ, නැතත් ඔවුන්ගේ යුධ රථවල ද අවසානයක් නොමැත.
8 ඔවුන්ගේ දේශය ද පිළිමවලින් පිරී තිබේ; ඔවුන් තමන්ගේ දෑතින්ම නිමවූ දේවලට ද වැඳ නමස්කාර කරති, එනම් ඔවුන් ඔවුන්ගේම ඇඟිලිවලින් සාද ඇති දේ වන්නේය.
9 තවද මෙසේ පහත් මනුෂ්‍යයා යටත් නොවන අතර, බලවත් මනුෂ්‍යයා තමන්ව නිහතමානී නොකරයි, එසේහෙයින්, ඔහුට සමාව නොදෙන්න.
10 අහෝ දුෂ්ටයින් වන නුඹලා, පර්වතය තුළට ඇතුළු වී, දූවිල්ලෙන් නුඹලා සැඟවෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි බිය සහ උන්වහන්සේගේ තේජසේ මහිමය නුඹට පහර දෙන සේක.
11 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් මනුෂ්‍යයාගේ උදාර බැල්ම නිහතමානී කරනු ලබන්නේය, තවද මනුෂ්‍යයන්ගේ උදාරම්කම යටත් කරනු ලබන්නේය, තවද ස්වාමීන්වහන්සේ පමණක් ඒ දවසේදී උත්කර්ෂවත් වන සේක.
12 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ දවස සියලු ජාතීන් කෙරෙහි, එසේය, සියලුදෙනා කෙරෙහි ඉක්මනින් පැමිණෙන්නේය; එසේය, උඩඟු සහ සහ උදාර පෙනුමැති අය කෙරෙහිද, තවද උසස් කරන සෑම කෙනෙකුද, ඔහුව පහත් කරනු ලබන්නේය.
13 එසේය, ස්වාමීන්වහන්සේගේ දවස ලෙබනොන්හි සියලු කිහිරි ගස් මතටද, මක්නිසාද ඒවා උස්ව සහ ඉහළට ඔසවා ඇති බැවින්; තවද බාෂාන්හි සියලු ඕක් ගස් මතටද පැමිණෙන්නේය;
14 තවද සියලු උස් කඳු මත ද, සියලු මිටි කඳු මත ද, තවද උසස් වූ සියලු ජාතීන් මත ද, තවද සියලු ජනතාව මත ද;
15 තවද සෑම උස් කුළුණක් මත ද, සෑම වැට පවුරක් මත ද;
16 තවද මුහුදේ සියලු නැව් මත ද, තවද තර්ෂිෂ්හි සියලු නැව් මත ද, සියලු ප්‍රසන්න දර්ශන මතය.
17 තවද මනුෂ්‍යයාගේ උදාර බව යටත් කරනු ලබන්නේය, තවද මනුෂ්‍යයන්ගේ උදාරම්කම පහත් කරනු ලබන්නේය; තවද ස්වාමීන්වහන්සේ පමණක් ඒ දවසේදී උත්කර්ෂවත් වන සේක.
18 තවද උන්වහන්සේ පිළිම සහමුලින්ම ඉවත් කරන සේක.
19 තවද ඔවුන් පර්වතවල කුහරවලට, සහ පොළොවේ ගුහාවලටත් ඇතුල්වන්නෝය, මක්නිසාද උන්වහන්සේ දරුණු ලෙස පොළොව කම්පනය කිරීමට නැඟී සිටින විට, ස්වාමීන්වහන්සේ කෙරෙහි බිය සහ උන්වහන්සේගේ තේජසේ මහිමය ඔවුන්ට පහර දෙනු ඇත්තේය.
20 ඒ දවසේදී මනුෂ්‍යයා, තමාට නමස්කාර කිරීම සඳහා සාදාගත් රිදී පිළිම, සහ ඔහුගේ රන් පිළිම ද, තිරිසනුන්ට සහ වවුලන්ට දමනු ඇත්තේය;
21 පර්වතවල ඉරිතැලීම්වලටත්, කඩතොලු වූ පර්වත මුදුන්වලටත් යාමට, මක්නිසාද උන්වහන්සේ දරුණු ලෙස පොළොව කම්පනය කිරීමට නැඟී සිටින විට, ස්වාමීන්වහන්සේ කෙරෙහි බිය ඔවුන් මත පැමිණෙන සේක, තවද උන්වහන්සේගේ මහිමයේ තේජස ඔවුන්ට පහර දෙනු ඇත්තේය.
22 ඔහුගේ හුස්ම නාස්පුඩු තුළ ඇති, මනුෂ්‍යයාව නුඹලාගෙන් වලක්වා ගන්න; මක්නිසාද ඔහුව කුමකට වගකීමට ගත් හැකිද?