ශුද්ධලියවිලි
2 නීෆායි 22


22 වන පරිච්ඡේදය

සහස්‍ර දවසේ දී සියලු මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ හට ප්‍රශංසා කරන්නෝය – උන්වහන්සේ ඔවුන් අතර වාසය කරන සේක – යෙසායා 12 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.

1 තවද එම දවසේ දී නුඹ මෙසේ කතා කොට: අහෝ ස්වාමීන්වහන්ස, මා ඔබවහන්සේ හට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබවහන්සේ මා කෙරෙහි කෝපවී සිටියත් ඔබවහන්සේගේ කෝපය පහව ගියේය, තවද ඔබවහන්සේ මා සනසන සේක.

2 බලව, දෙවියන්වහන්සේ මාගේ ගැලවීමය; මා විශ්වාස කරන්නෙමි, තවද බිය නොවන්නෙමි; මක්නිසාද යෙහෝවා වූ ස්වාමීන්වහන්සේ මාගේ ශක්තිය ද මාගේ ගීතය ද වන සේක; තවද එසේම උන්වහන්සේ මාගේ ගැලවීම ද වූ සේක.

3 එසේහෙයින්, නුඹලා ප්‍රීතිය සමඟින් ගැලවීමේ ළිං වලින් ජලය අදින්නෝය.

4 තවද එම දවසේ දී නුඹ කියනු ඇත: ස්වාමීන්වහන්සේ හට ප්‍රශංසා කරන්න, උන්වහන්සේගේ නාමයෙන් අයදින්න, උන්වහන්සේගේ ක්‍රියාවන් ජනතාව අතරේ ප්‍රකාශ කරන්න, එනම් උන්වහන්සේගේ නාමය උත්කර්ෂවත් බව සඳහන් කරන්න.

5 ස්වාමීන්වහන්සේ හට ගායනා කරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේවල් කළ සේක; මේ බව මුළු පොළොවම දන්නා කරුණකි.

6 මොරගසමින් තවද හඬ නඟන්න, සයන්හි වැසියන් වන නුඹ; මක්නිසාද නුඹ මධ්‍යයෙහි ඊශ්‍රායෙලයේ ශුද්ධ වූ තැනන්වහන්සේ උතුම් වන සේක.