ශුද්ධලියවිලි
2 නීෆායි 5


5 වන පරිච්ඡේදය

නීෆායිවරුන් ඔවුන්ව ලේමන්වරුන්ගෙන් වෙන් කරගනී, මෝසෙස්ගේ නීතිය තබයි, සහ දේවමාළිගාවක් තනයි – ඔවුන්ගේ අවිශ්වාසය හේතුවෙන්, ලේමන්වරුන්ව ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හරිනු ලැබේ, ශාප ලබා, නීෆායිවරුන් හට කස පහරක් වේ. ක්‍රි.පූ. 588–559 පමණ.

1 බලව, තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, මාගේ සහෝදරයන්ගේ කෝපය හේතුවෙන්, මාගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ හට බෙහෙවින් මොර ගැසුවෙමි.

2 එහෙත් බලව, මට විරුද්ධව ඔවුන්ගේ කෝපය වැඩි විය, එපමණින් ද යත් ඔවුන් මාගේ ජීවීතය නැති කිරීමට තැත් කරන්නට වූවෝය.

3 එසේය, ඔවුුුහු මා හට විරුද්ධව මැසිවිලි නැගූහ: අපගේ බාල සහෝදරයා අපව පාලනය කිරීමට සිතයි; තවද ඔහු නිසා අපට බොහෝ පරික්ෂා සිදු වී ඇත; එබැවින්, දැන් අප ඔහුව මරා දමමු, එනම් ඔහුගේ වචන නිසා අප තව තවත් පීඩාවට පත් නොවන පිණිස. මක්නිසාද බලව, ඔහු අපගේ පාලකයා වීමට අප ඉඩ නොදෙනු ඇත; මෙම ජනතාව පාලනය කිරීම, වැඩිමහල් සහෝදරයන් වන, අපට අයිතිය.

4 දැන් ඔවුන් මට විරුද්ධව මැසිවිලි නැගූ සියලු වචන මම මේ තහඩු මත නොලියමි. නමුත් මා මෙසේ කීම ප්‍රමාණවත්, එනම් ඔවුහු මාගේ ජීවිතය නැති කිරීමට තැත් කළෝය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ මා හට අනතුරු ඇඟ වූ සේක, එනම් මම, නීෆායි, ඔවුුුුුුුන්ගෙන් ඉවත්ව, මා හා යන්නට කැමති සියල්ලන් ද සමඟ වනාන්තරයට පලා යා යුතු බව.

6 එබැවින්, තවද එය මෙසේ සිදු විය එනම් මම, නීෆායි, මාගේ පවුල ද සෝරම් ද ඔහුගේ පවුල ද, තවද සෑම්, මාගේ වැඩිහිටි සහෝදරයා ද ඔහුගේ පවුල ද, ජේකබ් සහ ජෝසෆ් ද, මාගේ බාල සහෝදරයන් ද, තවද මාගේ සහෝදරියන් ද, තවද මා සමඟ යන්නාවූ සියල්ලන්ද රැගෙන ගියෙමි. මා සමඟ යන්නාවූ සියලු දෙනා දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීම් සහ එළිදරව් කිරීම් විශ්වාස කළ අය විය; එබැවින්, ඔවුහු මාගේ වචනවලට ඇහුම්කන් දුන්හ.

7 තවද අප අපගේ කූඩාරම් ද අපට හැකි සෑම දෙයක්ම ද රැගෙන, තවද බොහෝ දින ගණනක කාල පරාසයක් පුරාවට වනාන්තරයේ ගමන් කළෙමු. තවද අප දින ගණනක කාල පරාසයක් පුරාවට ගමන් කළ පසු අප අපගේ කූඩාරම් ගැසුවෙමු.

8 තවද මාගේ ජනතාව එම ස්ථානයේ නාමය නීෆායි ලෙස අප හැඳින්වීමට කැමති විය; එබැවින්, අප එය නීෆායි ලෙස හැඳින්වූවෙමු.

9 තවද මා සමඟ සිටිය සියල්ලෝම තමන්ව නීෆායිගේ ජනතාව ලෙස හඳුන්වන්නට එය ඔවුන් මත ගන්නා ලදී.

10 තවද අප මෝසෙස්ගේ නීතියට අනුකූලව, තවද ස්වාමීන්වහන්සේගේ විනිශ්චයන් ද, ව්‍යවස්ථාවන් ද, සහ අණ පනත් ද සියලු දේ තුළ පිළිපැදීමට වගබලා ගත්තෙමු.

11 තවද ස්වාමීන්වහන්සේ අප සමඟ වූ සේක; තවද අප බොහෝ සෙයින් සමෘධිමත් වූවෙමු; මක්නිසාද අප බීජ වැපිරුවෙමු, අප නැවත බහුලව අස්වැන්න නෙළා ගත්තෙමු. තවද අප සියලු වර්ගයකම සතුන් ද, රැලවල් ද පට්ටි ද ඇති කිරීමට පටන් ගත්තෙමු.

12 තවද මම, නීෆායි, පිත්තල තහඩු මත කොටන ලද වාර්තා ද ගෙන ආවෙමි; තවද, ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් මාගේ පියා වෙනුවෙන් සකස් කරන ලද බෝලය, නැතහොත් දිශා දර්ශකය ද, ලියා ඇති දේට අනුව ගෙන ආ වෙමි.

13 තවද එය මෙසේ සිදු විය, එනම් අප බොහෝ සෙයින් සමෘධිමත් වන්නට පටන් ගත්තෙමු, තවද භූමිය තුළ බෝ වෙන්නට පටන් ගත්තෙමු.

14 තවද මම, නීෆායි, ලාබන්ගේ කඩුව ගෙන, එහි ආකාරයට අනුව කඩු බොහෝමයක් සෑදුවෙමි, කුමන ආකාරයකින් හෝ දැන් ලේමන්වරු ලෙස හඳුන්වනු ලැබූ ජනතාව අප වෙත පැමිණ අප විනාශ කරන්නට වූවොත් යන බියෙන්; මක්නිසාද මා කෙරෙහිද මාගේ දරුවන් කෙරෙහිද මාගේ ජනතාව ලෙස හැඳින්වූවන් කෙරෙහිද ඔවුන්ගේ වෛරය මම දැන සිටියෙමි.

15 තවද මම මාගේ ජනතාවට ගොඩනැගිලි තනන්නට ඉගැන්නුවෙමි, තවද සියලු ආකාරයේ ලී වැඩ ද, යකඩ ද, තඹ ද, පිත්තල ද, වානේ ද, රත්‍රන් ද, රිදී ද, සහ වටිනා යපස් ද, මහත් බහුලත්වයෙන් වූ අතර ඒවා සමඟ වැඩ කිරීමට ඉගැන්නුවෙමි.

16 තවද මම, නීෆායි, දේවමාළිගාවක් තැනුවෙමි; තවද මම එය සාලමොන්ගේ දේවමාළිගාවේ ආකාරයට අනුව ඉදිකළ නමුත් එය බොහෝ වටිනා දේවලින් ගොඩනගා නැත; මක්නිසාද ඒවා භූමිය මත සොයා ගත නොහැකි විය, එබැවින්, එය සාලමොන්ගේ දේවමාළිගාව මෙන් ඉදිකළ නොහැකිවිය. එහෙත් ඉදිකිරීමේ ආකාරය සාලමොන්ගේ දේවමාළිගාවට සමාන විය; තවද එහි ශිල්ප නිමාව ඉතා අලංකාර විය.

17 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, මාගේ ජනතාව කාර්මික වන ලෙසට, සහ ඔවුන්ගේ දෑත්වලින් වැඩ කිරීමට ද සැලැසුුුම් කළෙමි.

18 තවද එය මෙසේ සිදු විය, එනම් මම ඔවුන්ගේ රජු වීම ඔවුන්ට වුවමනා විය. නමුත් මම, නීෆායි, ඔවුන්ට රජෙකු නොමැති වීම ප්‍රිය කළෙමි; එසේ වූවත්, මම මාගේ බලයට අනුව ඔවුන් හට කළෙමි.

19 තවද බලව, ස්වාමීන්වහන්සේගේ වචන මාගේ සහෝදරයන් වෙත ඉෂ්ට විය, උන්වහන්සේ ඔවුන් ගැන වදාළ, එනම් මම ඔවුන්ගේ පාලකයා සහ ගුරුවරයා විය යුතු බව. එබැවින්, ස්වාමීන්වහන්සේගේ අණ පනත්වලට අනුව, ඔවුන් මාගේ ජීවිතය නැති කිරීමට තැත් කරනා තුරු, මම ඔවුන්ගේ පාලකයා සහ ගුරුවරයා විය.

20 එබැවින්, ස්වාමීන්වහන්සේගේ වචනය ඉටු විය, උන්වහන්සේ මා හට මෙසේ වදාළ: ඔවුන් නුඹගේ වචනයට සවන් නොදෙනා තරමට ඔවුන්ව ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් ඔවුන්ව කපා හරිනු ඇත. තවද බලව, ඔවුන්ව උන්වහන්සේගේ අභිමුුුුුුඛයෙන් ඔවුන්ව කපා හැර ඇත.

21 තවද උන්වහන්සේ ශාපය ඔවුන් මතට පැමිණීමට හේතු වූ සේක, එසේය, මහත් ශාප කිරීමක්, ඔවුන්ගේ අයුතුකම නිසාවෙනි. මක්නිසාද බලව, ඔවුහු උන්වහන්සේට විරුද්ධව තම හදවත් දැඩි කරගත්තෝය, ඔවුහු ගිනි ගලකට සමාන වූවෝය; එබැවින්, ඔවුන් සුදු පැහැ, සහ බොහෝ සේ පැහැපත් සහ ප්‍රසන්න වූ නිසා, මාගේ ජනතාව පොළඹවන්නේ නැති ලෙසට දෙවි වූ ස්වාමීන්වහන්සේ ඔවුන් මත කළු පැහැති සමක් පැමිණීමට සැලැස්වූ සේක.

22 තවද දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: ඔවුන් ඔවුන්ගේ අයුතුකම්වලට පසුතැවිලි නොවන්නේ නම්, මම නුඹේ ජනතාවට ඔවුන්ව පිළිකුල් සහගත වීමට සලස්වන්නෙමි.

23 තවද ඔවුන්ගේ වංශය සමඟ මිශ්‍රවන්නාගේ වංශය ශාප ලද්දෝ වන්නෝය; මක්නිසාද ඔවුන් ද එම ශාපයෙන්ම ශාප කරනු ලබන්නේය. තවද ස්වාමීන්වහන්සේ එය වදාළ සේක, තවද එය සිදු විය.

24 තවද ඔවුන් මත වූ ශාප කිරීම හේතුවෙන් ඔවුන් දබරකාරී සහ සූක්ෂමතාවයෙන් පිරුණු, කම්මැලි සහගත ජනතාවක් බවට පත් විය, තවද වනාන්තරයේ දඩයමට සතුන්ව සොයන්නට විය.

25 තවද දෙවි වූ ස්වාමීන්වහන්සේ මා හට මෙසේ වදාළ සේක: ඔවුන් නුඹගේ වංශයට කස පහරක් මෙන් වන්නට ඇත, මා ගැන සිහිකිරීමට ඔවුන්ව කළඹවනු පිණිස; තවද ඔවුන් මා මතකයේ තබා නොගන්නා තරමට, සහ මාගේ වචනයට සවන් නොදෙන්නා තරමට, විනාශය දක්වා ද ඔවුන් ඔවුන්ට කස පහරක් වනු ඇත.

26 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, ජේකබ් සහ ජෝසෆ් ව කැප කළෙමි, ඔවුන් මාගේ ජනතාවගේ දේශය මත ඔවුන් පූජකයන් සහ ගුරුවරුන් වන ලෙසට.

27 තවද එය මෙසේ සිදු විය, එනම් අපි සතුටේ ආකාරයට ජීවත් වූවෙමු.

28 තවද අප ජෙරුසලමෙන් පිටත් වූ කාලයේ සිට වසර තිහක් පසු වී හමාරය.

29 තවද මම, නීෆායි, මා විසින් සාදන ලද, මාගේ තහඩු මත, මේ දක්වා මාගේ ජනතාව ගැන වාර්තා තබා ගත්තෙමි.

30 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවි වූ ස්වාමීන්වහන්සේ මා හට මෙසේ වදාළ සේක: වෙනත් තහඩු සාදන්න; තවද ඒ මත නුඹ මා යහපත් ලෙස දකින බොහෝ දේවල් ඒ මත කැටයම් කරන්න, මක්නිසාද නුඹේ ජනතාවගේ ප්‍රයෝජනය පිණිසය.

31 එබැවින්, මම, නීෆායි, ස්වාමීන්වහන්සේගේ අණ පනත්වලට කීකරු වන පිණිස, මම මේ දේවල් කොටා ඇති මෙම තහඩු සෑදුවෙමි.

32 තවද මම දෙවියන්වහන්සේ හට ප්‍රසන්න දේ කෙටුවෙමි. තවද මාගේ ජනතාව දෙවියන්වහන්සේගේ දේවල් ගැන තෘප්තිමත් නම් ඔවුන් මෙම තහඩු මත මම කොටන දේ ගැන තෘප්තිමත් වේවි.

33 තවද මාගේ ජනතාවට මාගේ ජනතාවගේ ඉතිහාසයේ වඩාත් විශේෂිත කොටස දැන ගැනීමට ආශා වේ නම් ඔවුන් මගේ වෙනත් තහඩු තුළ සෙවිය යුතුය.

34 තවද වසර හතළිහක් ගෙවී ගොස් ඇති බවත්, අපගේ සහෝදරයන් සමඟ දැනටමත් යුද්ධ සහ මතභේද තිබුණු බවත් පැවසීම මා හට ප්‍රමාණවත් වන්නේය.