“මතක තබාගත යුතු සිතුවිලි: මණ්ඩපය සහ පූජාව,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“මණ්ඩපය සහ පූජාව,” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
මතක තබාගත යුතු සිතුවිලි
මණ්ඩපය සහ පූජාව
අපි පරණ ගිවිසුම කියවන විට, ස්වාමින්වහන්සේට පැහැදිලිවම වැදගත් වූ නමුත් අද අපට එසැණින්ම අදාළ නොවන දේවල් පිළිබඳ දිගු ඡේද අපට හමුවෙනවා. නික්මයාම 25–30; 35–40 සහ ලෙවී කථාව 1–9; 16–17 ඒ සඳහා උදාහරණ සපයනවා. මෙම පරිච්ඡේදවල පාළුකරයේ ඉශ්‍රායෙල්වරුන්ගේ මණ්ඩපය සහ එහි සිදු කළ යුතු සත්ව පූජා ගැන විස්තරාත්මකව විස්තර කරනවා. මණ්ඩපය යනු එහා මෙහා ගෙන යා හැකි දේවමාළිගාවක් වන අතර, එය පුද්ගලයින් අතරේ ස්වාමින්වහන්සේගේ වාසස්ථානය වුණා.
අපගේ නවීන දේවමාළිගා ඉශ්‍රායලයේ මණ්ඩපය සමඟ සමානකම් බෙදාහදා ගන්නවා, නමුත් ඒවා නිසැකවම නික්මයාමේ එහි තිබෙන විස්තරයට ගැලපෙන්නේ නෑ. ඒවගේම අපි අපේ දේවමාළිගා තුළ සතුන් මරන්නේ නැහැ—ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් මීට වසර 2,000 කට පමණ පෙර ඒ සත්ව බිලි පූජාව අවසන් වුණා. විශේෂයෙන්ම මොර්මොන්ගේ පොතේ සිටින දෙවියන්වහන්සේගේ සෙනඟ මෙන් අපි ඒවා දෙස බලනවා නම්—එනම් “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට” මාර්ගයක් ලෙස ඒවා දෙස බලනවා නම්, මෙම වෙනස්කම් තිබියදීත්, පුරාණ ඉශ්‍රායෙලයේ නමස්කාර ක්‍රම ගැන කියවීමේ අද විශාල වටිනාකමක් තිබෙනවා. (ඇල්මා 25:16). මණ්ඩපය සහ සත්ව බිලි පූජාව සංකේතවත් කරන්නේ මොනවාදැයි අපි තේරුම්ගන්නා විට, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන අධ්‍යාත්මික අවබෝධයක් අපට ලබාගන්න පුළුවන්.
රොබට් ටී. බැරට් විසින්, Sacrifice of a Lamb [බැටළු පැටවෙකු පූජා කිරීම]
මේ මණ්ඩපය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ශක්තිමත් කරයි
ඉශ්‍රායෙල්වරුන්ගේ කඳවුරේ මණ්ඩපයක් ගොඩනඟන්න කියා දෙවියන්වහන්සේ මෝසෙස්ට ආඥා කළ විට, උන්වහන්සේ එහි අරමුණ ලෙස ප්‍රකාශ කළේ “මා ඔවුන් අතරේ වාසයකරන පිණිස” කියායි. (නික්මයාම 25:8). මණ්ඩපය තුළ, දෙවියන්වහන්සේගේ අභිමුඛය ගිවිසුම් පෙට්ටිය මගින් නිරූපණය කෙරුණා—එය රනින් ආවරණය කරන ලද ලී පෙට්ටියක්, එහි දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ ඇතිකරගත් ගිවිසුමේ ලිඛිත වාර්තාව අඩංගු වුණා. ඒ පෙට්ටිය තබා තිබුණේ ශුද්ධ වූ කූඩාරමේ ඉතිරි කොටසෙන් තිරයකින් වෙන් කරන ලද ශුද්ධම, ඇතුළතම කාමරයේයි. මෙම තිරය, වැටීම නිසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් අප වෙන්වීම මෙන්ම, ගැලවුම්කරුවාණන් හරහා උන්වහන්සේ වෙතට ආපසු යන අපගේ මාර්ගය සංකේතවත් කරනවා වෙන්න පුළුවන්.
මෝසෙස් හැර, එම “අති ශුද්ධ ස්ථානයට” ඇතුළු විය හැකි එක් පුද්ගලයෙකු ගැන අපි දන්නවා (නික්මයාම 26:34)—ඒ තමයි උත්තම පූජකයා. අනෙකුත් පූජකයන් මෙන්, ඔහු මුලින්ම සෝදාගෙන ආලේප කළ යුතු වන අතර ඉන්පසු ඔහුගේ නිලය සංකේතවත් කරන පූජනීය ඇඳුම් වලින් සැරසී සිටිය යුතුයි. වසරකට වරක්, වන්දිගෙවීමේ දවස නමින් හැඳින්වෙන දවසක, මෙම උත්තම පූජකයා තනිවම මෙම මණ්ඩපයට ඇතුළු වීමට පෙර ජනතාව වෙනුවෙන් පූජා ඔප්පු කරනවා. තිරය අසල, ඔහු සුවඳ දුම් දමනවා. ස්වර්ගයට නැගෙන සුවඳ දුමාරය, දෙවියන්වහන්සේ වෙතට නැඟී සිටින මිනිසුන්ගේ යාච්ඤාවන් නියෝජනය කරනවා. එවිට උත්තම පූජකයා, සත්ව පූජාවක ලේ රැගෙන, තිරය හරහා ගොස් ගිවිසුම් පෙට්ටිය මගින් සංකේතවත් කරන ලද දෙවියන්වහන්සේගේ සිංහාසනය වෙත ළඟා වෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ ස්වර්ගීය පියාණන්වහන්සේගේ සැලැස්ම තුළ උන්වහන්සේගේ භූමිකාව ගැන ඔබ දන්නා දේ දැන ගැනීමෙන්, මේ මණ්ඩපය ගැලවුම්කරුවාණන් වෙත අපව යොමු කරන ආකාරය ඔබට දකින්න පුළුවන්ද? මණ්ඩපය සහ එය තුළ ඇති ගිවිසුම් පෙට්ටිය, දෙවියන්වහන්සේගේ සෙනඟ අතර උන්වහන්සේගේ අභිමුඛය නියෝජනය කළා සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නෙ දෙවියන්වහන්සේගේ සෙනඟ අතර උන්වහන්සේගේ අභිමුඛය වුණා. එම උත්තම පූජකයා මෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සහ පියාණන් වන දෙවියන්වහන්සේ අතර මැදිහත්කරුවාණන් වෙනවා. උන්වහන්සේගේ පරිත්‍යාගයේ ලෙයෙහි ගුණයෙන්, අප වෙනුවෙන් මැදිහත් වීමට උන්වහන්සේ ඒ තිරය හරහා ගමන් කළා.
විශේෂයෙන්ම ඔබ ඔබගේම නියෝග ලබාගැනීමට දේවමාළිගාවට ගොස් ඇත්නම්, ඉශ්‍රායෙල්වරුන්ගේ මණ්ඩපයේ සමහර අංග ඔබට හුරුපුරුදු වෙන්න පුළුවන්. දේවමාළිගාව කියන්නෙ ස්වාමින්වහන්සේගේ ගෘහය—උන්වහන්සේගේ සෙනඟ අතරේ උන්වහන්සේගේ වාසස්ථානය. මණ්ඩපයේ අති ශුද්ධ ස්ථානය මෙන්, දේවමාළිගාවේ සෙලෙස්ටියල් කාමරය දෙවියන්වහන්සේගේ අභිමුඛය නියෝජනය කරනවා. එහි ඇතුල් වීමට නම්, අප මුලින්ම සෝදාගෙන ආලේප විය යුතුයි. අපි පූජනීය ඇඳුම් අඳිනවා. අපි ගිවිසුම් ඇති කරගන්නවා. යාච්ඤාවන් දෙවියන්වහන්සේ වෙතට නැගෙන අල්තාරයක සිට අපි යාච්ඤා කරනවා. අපි අවසානයේ දෙවියන්වහන්සේගේ අභිමුඛයට තිරයක් හරහා ගමන් කරනවා.
සමහර විට නවීන දේවමාළිගා සහ පුරාණ මණ්ඩපය අතර ඇති වැදගත්ම සමානකම නම්, දෙකම නිවැරදිව තේරුම් ගතහොත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කර උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව සඳහා කෘතඥතාවයෙන් අපව පුරවා ගැනීමයි. උන්වහන්සේගේ සියලුම දරුවන් උන්වහන්සේගේ අභිමුඛයට ඇතුල් වීම දෙවියන්වහන්සේට අවශ්‍යයි; උන්වහන්සේට “පූජක රාජ්‍යයක්” සහ පූජකවරියන් අවශ්‍යයි (නික්මයාම 19:6). නමුත් අපගේ පව් එම ආශිර්වාදය ලබාගැනීමෙන් අපව වලක්වනවා, මොකද “කිසිඳු අපවිත්‍ර දෙයකට දෙවියන්වහන්සේ සමඟ වාසය කළ නොහැක” (1 නෙපී 10:21). එබැවින් පියාණන් වන දෙවියන්වහන්සේ අපගේ “මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයා” (හෙබ්‍රෙව් 9:11) වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එව්වා. උන්වහන්සේ අප වෙනුවෙන් ඒ තිරය වෙන් කර දෙවියන්වහන්සේගේ සියලු ජනයාට “දයාව ලැබෙන පිණිස, නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවීමට” (හෙබ්‍රෙව් 4:16) ඔවුන්ව බලගන්වනවා.
අද දේවමාළිගාවල අරමුණ අපට උත්කර්ෂවත් බව ලබාදීමට වඩා වැඩි දෙයක් වෙනවා. අපගේම නියෝග ලබාගෙන දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගැනීමෙන් පසු, අපගේ මුතුන්මිත්තන්ගේ ස්ථානයේ සිට ඔවුන් වෙනුවෙන් අපට ඒ නියෝග ලබාගන්න පුළුවන්. එක් අර්ථයකින් ගත් කල, අපට පැරණි උත්තම පූජකයා සහ මහා උත්තම පූජකයා වැනි අය බවට පත්වෙන්න පුළුවන් ඒවගේම අනෙක් අය සඳහා දෙවියන්වහන්සේගේ අභිමුඛයට මාර්ගය විවෘත කරන්න පුළුවන්.
පරිත්‍යාගයන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ශක්තිමත් කරයි
මෝසෙස්ගේ නීතියට බොහෝ කලකට පෙර පැවති පුරාණ සත්ව බිලි පූජාව තුළ වන්දිගෙවීමේ සහ සංහිඳියාවේ මූලධර්ම බලවත් ලෙස උගන්වනු ලැබෙනවා. ආදම් සහ ඒව පූජා ඔප්පු කළා. ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය පිළිබඳ එහි සංකේතාත්මක සඳහන ඔවුන් තේරුම් ගත්තා. ඒවගේම ඔවුන් මෙය ඔවුන්ගේ දරුවන්ට ඉගැන්වුවා.
පුරාණ ඉශ්‍රායෙලයේ වන්දිගෙවීමේ දිනයේ (හෙබ්‍රෙව් භාෂාවෙන් “යොම් කිප්පූර්”) සත්ව බිලි පූජාවේ සංකේතය විශේෂයෙන් සිත් ඇදගන්නා සුළු බවක් පෙනෙන්නට තිබුණා. මෙම වාර්ෂික උත්සවයේ අවශ්‍යතාවය ලෙවී කථාව 16:30 හි ප්‍රකාශ කර තිබෙනවා: “නුඹලාගේ සියලු පාපවලින් නුඹලා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස නුඹලා පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ නුඹලා උදෙසා සමගිකමක් කරනු ලබන්නේය.” මෙමගින් දෙවියන්වහන්සේගේ අභිමුඛය මිනිසුන් අතර පැවතීමේ හැකියාව ලබාදුන්නා. මෙම වන්දිගෙවීම විවිධ චාරිත්‍ර වාරිත්‍ර මගින් සිදු කරනු ලැබුවා. මෙයින් එකක, මිනිසුන්ගේ පව් උදෙසා පූජාවක් ලෙස එළුවෙකු මරා දැමූ අතර, උත්තම පූජකයා එළුවාගේ ලේ ඒ අති ශුද්ධ ස්ථානයට ගෙන ගියා. පසුව, උත්තම පූජකයා ජීවමාන එළුවෙකු මත තම අත් තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පව් පාපොච්චාරණය කළා—එසේ කරමින් ඔහු සංකේතාත්මකව එම පව් එළුවාට මාරු කළා. ඉන්පසු ඒ එළුවාව ඉශ්‍රායෙල් කඳවුරෙන් එළවා දැමුවා.
මෙම චාරිත්‍ර වලදී, එළුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සංකේතවත් කළ අතර, උන්වහන්සේ ඒ පව්කාර මිනිසුන්ගේ ස්ථානය ලබාගත්තා. දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාපයට ඉඩ නොදිය යුතුයි. නමුත් පව්කාරයන්ව විනාශ කිරීමට හෝ පලවා හැරීමට වඩා, දෙවියන්වහන්සේ වෙනත් මාර්ගයක් සපයා තිබෙනවා—ඒ තමයි, ඒ වෙනුවට එළුවෙකු මරා දැමීම හෝ එළවා දැමීම. “එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය.” (ලෙවී කථාව 16:22).
මෙම චාරිත්‍ර වාරිත්‍ර පෙන්වා දුන්නේ අපව නැවත උන්වහන්සේගේ අභිමුඛයට ගෙන ඒමට දෙවියන්වහන්සේ සපයා ඇති ආකාරය ගැනයි—ඒ තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම. ගැලවුම්කරුවාණන් “උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය,” “අප සියල්ලන්ගේ අයුතුකම” පවා උන්වහන්සේ දරාගත්තා (යෙසායා 53:4, 6). උන්වහන්සේ අපගේ ස්ථානයේ සිට, පාපයේ දඬුවම ගෙවීමට තම ජීවිතය ලබා දුන්නා, පසුව උන්වහන්සේගේ උත්ථානය තුළින් මරණය ජය ගත්තා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය “බලවත් සහ අවසාන පරිත්‍යාගයක්; එසේය, මනුෂ්‍ය පරිත්‍යාගයක් නොවේ, මෘගයෙකුගේද නොවන්නේය” එහෙත් එය “අපිරිමිත සහ සදාතන පරිත්‍යාගයක් විය යුතුය” (ඇල්මා 34:10). පුරාණ පරිත්‍යාගයන් පෙන්වා දුන් සෑම දෙයකම ඉටුවීම උන්වහන්සේයි.
මේ හේතුව නිසා, උන්වහන්සේගේ පරිත්‍යාගය සම්පූර්ණ වූ පසු, උන්වහන්සේ මෙසේ පැවසුවා, “නුඹලා තවදුරටත් මා හට රුධිරය වැගිරීම ඔප්පු නොකරන්නේය; එසේය, නුඹලාගේ පූජාවන් … නවත්වනු ලැබිය යුතු වන්නේය. … තවද නුඹලා මා හට බිඳුණු හදවතක්ද, තැලුණු ආත්මයක්ද පූජාවක් ලෙස ඔප්පු කළ යුතු වන්නෝය” (3 නෙපී 9:19–20).
එබැවින් ඔබ පරණ ගිවිසුමේ පූජාවන් සහ මණ්ඩපය (හෝ, පසුව, දේවමාළිගාව) පිළිබඳ ඡේද සොයා ගන්නා විට—එමෙන්ම ඔබ ඒවා ගැන බොහොමයක් සොයාගනියි—එවිට මේ සියල්ලේ මූලික අරමුණ වන්නේ මෙසියස්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කිරීම බව මතක තබාගන්න. ඔබ කියවා ඉගෙන ගන්නා දේ උන්වහන්සේගේ නිවසේ නමස්කාරය සමඟ සම්බන්ධ කරන්න. ඔබේ සිතත් මනසත් උන්වහන්සේ වෙතට හැරවීමට ඉඩ හරින්න. දෙවියන්වහන්සේගේ අභිමුඛයට ඔබව නැවත ගෙන ඒමට උන්වහන්සේ කර ඇත්තේ කුමක්ද—සහ උන්වහන්සේව අනුගමනය කිරීමට ඔබ කරන්නේ කුමක්ද යන්න ගැන මෙනෙහි කරන්න.