“මැයි 11–17. ‘ස්වාමින්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගනින්න’: ද්විතීය කථාව 6–8; 15; 18; 29–30; 34,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“මැයි 11–17. ‘ස්වාමින්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගනින්න,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
ජෝන් ස්ටීල් විසින්, Moses on Mount Nebo [නෙබෝ කන්ද මත මෝසෙස්], © Providence Collection/licensed from goodsalt.com
මැයි 11–17: “ස්වාමින්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගනින්න”
ද්විතීය කථාව 6–8; 15; 18; 29–30; 34
මෝසෙස්ගේ ලෞකික දේවසේවය ආරම්භ වූයේ, දෙවියන්වහන්සේ ඔහුට දැවෙන පඳුරක සිට කතා කළ විට කන්දක් මතයි (බලන්න නික්මයාම 3:1–10). වසර 40කට වැඩි කාලයකට පසු, නෙබෝ කන්ද මුදුනේ සිට දෙවියන්වහන්සේ ඔහුට පොරොන්දු වූ දේශය පිළිබඳ දර්ශනයක් දුන් විට, එය කන්දක් මතම අවසන් වුණා (බලන්න ද්විතීය කථාව 34:1–4). මෝසෙස් තම ජීවිතය ගත කර තිබුණේ එම පොරොන්දු දේශයට ඇතුල් වීමට ඉශ්‍රායෙල් දරුවන්ව සූදානම් කිරීමට වන අතර, ද්විතීය කථාව පොතේ ඔහුගේ අවසාන උපදෙස්, සිහිගැන්වීම්, අනුශාසනා සහ ඉශ්‍රායෙල්වරුන් සමඟ කළ ආයාචනා සටහන් කර තිබෙනවා. මෝසෙස්ගේ දේවසේවයේ සැබෑ පරමාර්ථය—එනම් මිනිසුන්ට අවශ්‍යම වූ සූදානම—පාළුකරයේ පැවැත්ම, සතුරන් පරාජය කිරීම හෝ ජාතියක් ගොඩනැගීම නොවන බව ඔහුගේ වචන කියවීමෙන් පැහැදිලි වෙනවා. එහි අරමුණ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට, උන්වහන්සේට කීකරු වීමට සහ උන්වහන්සේට පක්ෂපාතව සිටීමට ඉගෙනගැනීමයි. සදාකාල ජීවනයේ පොරොන්දු දේශයට ඇතුළු වීමට අප සැමට අවශ්‍ය සූදානම එයයි. එබැවින් මෝසෙස් කිසි විටෙකත් “කිරි සහ මීපැණි ගලා යන්නාවූ දේශයට” (නික්මයාම 3:8) පය නොතැබූ නමුත්, ඔහුගේ ඇදහිල්ල සහ ඇදහිලිවන්තකම නිසා, දෙවියන්වහන්සේව අනුගමනය කරන සියල්ලන් සඳහා උන්වහන්සේ සූදානම් කර ඇති පොරොන්දු දේශයට ඔහු ඇතුළු වුණා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ද්විතීය කථාව 6:4–7; 8:2–5, 11–17; 29:18–20; 30:6–10, 14–20
“නුඹේ දෙවි වූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන් ප්‍රේමකරපන්න.”
මෝසෙස්ගේ නීතියට බොහෝ බාහිර උත්සව සහ චාරිත්‍ර ඇතුළත් වුණා. ද්විතීය කථාවේ මෝසෙස්ගේ උපදේශයෙහි ඔබ දකින පරිදි, ස්වාමින්වහන්සේ තම සෙනඟගේ අභ්‍යන්තර තත්වය—ඔවුන්ගේ හදවත්වල අධ්‍යාත්මික තත්ත්වය ගැන ද සැලකිලිමත් වුණා.
පහත ඡේදවල, හදවත යන වචනය සොයන්න, එමෙන්ම එය සංකේතවත් කළ හැකි දේ ගැන මෙනෙහි කරන්න. මෙම ඡේද ඔබේ හදවතේ යම් ආකාරයක අධ්‍යාත්මික පරීක්ෂාවක් ලෙස ඔබට සිතන්න පුළුවන්. ඔබ විසින්ම ඔබට ලබා දෙන රෝග විනිශ්චය කුමක්ද? ඔබේ හදවතේ අධ්‍යාත්මික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඔබ නිර්දේශ කරන ප්‍රතිකාර මොනවාද? ඔබේ හැඟීම් ලියන්න:
-
ද්විතීය කථාව 6:4–7:
-
ද්විතීය කථාව 8:2–5:
-
ද්විතීය කථාව 8:11–17:
-
ද්විතීය කථාව 29:18–20:
-
ද්විතීය කථාව 30:6–10:
-
ද්විතීය කථාව 30:14–20:
හදවතක් ඇඳ ඔබේ හදවතේ තිබිය යුතු බව ස්වාමින්වහන්සේ පවසන දේවල් එහි ලිවීම ඔබේ සිතුවිලි සංවිධානය කිරීමට එක් ක්‍රමයක්. ඉන්පසු ඔබට ඔබේ හදවතින් බැහැර කළ යුතු දේවල්, ඉන් පිටතින් ලියන්න පුළුවන්.
ඔබ මුළු හදවතින්ම දෙවියන්වහන්සේට ප්‍රේම කරන බව පෙන්වන්නේ කොහොමද? අදහස් සඳහා, යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශය, 10–12 තුළ “දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න, ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” බලන්න.
තවත් බලන්න එම්. රසල් බැලර්ඩ්, “මේ දේවල් වලට වඩා නුඹ මට ප්‍රේම කරනවාද?,” ලියහෝනා, නොවැ. 2021, 51–53.
ඔබේම අධ්‍යාත්මික අවබෝධය සොයන්න. එන්න, මා අනුගමනය කරන්න තුළින් ශුද්ධලියවිලි වලට අවධානය යොමු කිරීමට ඡේද සහ මූලධර්ම යෝජනා කරනවා, නමුත් එය ඔබේ අධ්‍යයනය සීමා කිරීමට හේතුවක් කරගන්න එපා. ඔබ ද්විතීය කථාව කියවන විට, මෙහි උද්දීපනය නොකළ මූලධර්මයක් ඔබට සොයාගැනීමට හැකි වෙන්න පුළුවන්. ඔබ ඉගෙන ගත යුතු දේවල් සඳහා ඔබට මගපෙන්වීමට ආත්මයාණන්වහන්සේට ඉඩ දෙන්න.
ද්විතීය කථාව 6:4–12, 20–25
“ස්වාමින්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගනින්න.”
පොරොන්දු දේශයට ඇතුල් වන ඉශ්‍රායෙල්වරුන්ගෙන් බහුතරයක් ඊජිප්තුවේ වසංගත දැක හෝ රතු මුහුද තරණය කර තිබුණේ නෑ. දෙවියන්වහන්සේගේ සෙනඟක් ලෙස සිටීමට නම්, ඔවුන්—සහ අනාගත පරම්පරාවන්—දෙවියන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් සහ දෙවියන්වහන්සේගේ නීති මතක තබාගත යුතු බව මෝසෙස් දැන සිටියා.
දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් කර ඇති උතුම් දේවල් මතක තබාගැනීමට ඔබට උපකාර වන ද්විතීය කථාව 6:4–12, 20–25 තුළ ඔබ සොයා ගන්නා උපදෙස් මොනවාද? ස්වාමින්වහන්සේගේ වචනය දිනපතා “ඔබේ හදවතේ” පවතිනු පිණිස ඔබට පෙළඹවීමක් දැනෙන්නේ මොනවා කිරීමටද? (6 වෙනි පදය).
සහෝදර ජෑන් ඊ. නිව්මෑන්ගේගේ “නැගී එන පරම්පරාව තුළ ගිවිසුම්ගත ජනතාවගේ හඬ සුරැකීම” (ලියහෝනා, නොවැ. 2023, 36-38) යන පණිවිඩය අධ්‍යයනය කර ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල අනාගත පරම්පරාවට ඔබට ලබාදිය හැක්කේ කෙසේදැයි සලකා බලන්න පුළුවන්.
තවත් බලන්න ද්විතීය කථාව 11:18–21; ඩේල් ජී. රෙන්ලන්ඩ්, “දෙවියන්වහන්සේගේ යහපත්කම හා ශ්‍රේෂ්ඨත්වය සැලකිල්ලෙන් සිතා බලන්න,” ලියහෝනා, මැයි 2020, 41–44.
ද්විතීය කථාව 15:1–15
අවශ්‍යතා ඇති පුද්ගලයින්ට උපකාර කිරීමට ත්‍යාගශීලී දෑත් සහ කැමැත්තෙන් යුත් හදවත් අවශ්‍යයි.
“නුඹ වෙත දිළින්දෙක් නොසිටිය යුතු” දිනයට අපි තවම පැමිණ නැත (ද්විතීය කථාව 15:4), එවැනි භාවිතයන් වෙනස් වී ඇතත්, ද්විතීය කථාව 15 තුළ දුප්පතුන්ට උපකාර කිරීම පිළිබඳ ප්‍රතිපත්ති තවමත් වටිනවා. අපි අවශ්‍යතා ඇති අයට උපකාර කරන්නේ ඇයි සහ ඒ ගැන අපේ ආකල්පය කුමක් විය යුතුද යන්න ගැන 1–15 පදවල උගන්වන්නේ කුමක්දැයි බලන්න.
අවශ්‍යතා ඇති අයට “ඔබේ අත විදහීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (8, 11 පද). අවශ්‍යතා ඇති මිනිසුන්ට උපකාර කිරීම සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේගේ ආදර්ශයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? (බලන්න 15 වෙනි පදය).
ද්විතීය කථාව 18:15–19
මෝසෙස් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට “සමානයි.”
පේත්‍රැස්, නෙපී, මොරෝනි සහ ගැලවුම්කරුවාණන් යන සියල්ලන්ම ද්විතීය කථාව 18:15–19 තුළ අනාවැකිය ගැන අදහස් දක්වා තිබෙනවා (බලන්න ක්‍රියා 3:20–23; 1 නෙපී 22:20–21; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:40; 3 නෙපී 20:23). මෙම පදවලින් ඔබ ගැලවුම්කරුවාණන් ගැන ඉගෙනගන්නේ මොනවාද? පසුගිය සති කිහිපය තුළ ඔබ මෝසෙස් ගැන කියවා ඇති දේ ගැන සිතන්න. මෝසෙස් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට “සමාන” වන්නේ කෙසේද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පුරාණ ඇමරිකාවේ සිටි තම ජනතාවට මෙසේ පැවසුවා, “අනාගතවක්තෘ මෝසෙස් පැවසූ එම තැනැත්තා මම වෙමි” (3 නෙපී 20:23).
ද්විතීය කථාව 29:9; 30:15–20
යහපත සහ අයහපත තෝරා ගැනීමට ස්වාමින්වහන්සේ මට ආරාධනා කරන සේක.
2 නෙපී 2:26–29; 4:4 තුළ ලෙහීගේ පවුලේ අයට ඔහුගේ අවසාන ඉගැන්වීම් කිහිපයක් සමඟ; ද්විතීය කථාව 29:9; 30; 15–20 තුළ මෝසෙස්ගේ වචන සංසන්දනය කිරීම සිත්ගන්නා සුළු වෙන්න පුළුවන්. මෝසෙස් ඉගැන්වූ දේ ලෙහී විස්තර කළේ කෙසේද? මෙම ඡේදවල ඔබ සොයාගන්නා “ජීවිතය තෝරාගැනීමට” ඔබව පොළඹවන දේවල් මොනවාද? (ද්විතීය කතාව 30:19).
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
ද්විතීය කථාව 6:5
මට මගේ මුළු හදවතින්ම දෙවියන්වහන්සේට ආදරය කළ හැකිය.
-
ඔබේ දරුවන්ට ද්විතීය කථාව 6:5 තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට හදවතක්, ශරීරයක දළ සටහනක් සහ ශක්තිමත් අතක් චිත්‍රයට නගන්න පුළුවන්. ඔබ ඒ පදයේ ඇති “හදවත,” “ප්‍රාණය” සහ “බලය” යන වචන කියවන විට ඔබේ දරුවන්ට ඒ චිත්‍ර දෙසට ඇඟිල්ල දිගු කරන්න පුළුවන්. අපගේ මුළු හදවතින්ම, ප්‍රාණයෙන්ම සහ ශක්තියෙන් අප ස්වාමින්වහන්සේට ප්‍රේම කරන බව අපි උන්වහන්සේට පෙන්වන්නේ කෙසේද?
ද්විතීය කථාව 6:6–15
මට දෙවියන්වහන්සේගේ වචනය මගේ හදවතේ තබාගත හැකිය.
-
සෑම දිනකම ඔවුන්ට දැකීමට හැකි වන ආකාරයට ශුද්ධලියවිලි කොටස් තැබීමට ඉශ්‍රායෙල්වරුන්ට ස්වාමින්වහන්සේ ලබාදුන් උපදෙස ඔබේ දරුවන් සමඟ කියවන්න (බලන්න ද්විතීය කථාව 6:6–9). මෙය ඔබට සහ ඔබේ දරුවන්ට “ස්වාමින්වහන්සේව අමතක නොකිරීමට” (12 වෙනි පදය) වග බලාගැනීමට සහ උන්වහන්සේ ඔබ වෙනුවෙන් කර ඇති දේ මතක තබාගැනීමට ක්‍රම ගැන සිතීමට පෙලඹවීමක් වෙන්න පුළුවන්.
-
ද්විතීය කථාව 6:13, 16 සහ 8:3 ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ වැදගත් මොහොතකදී උන්වහන්සේට උපකාර කළ බව ඔබට පෙන්වා දෙන්න පුළුවන්. ඒ කෙසේදැයි කියා බැලීමට එකට එකතු වී මතෙව් 4:1–10 කියවන්න. ඉන්පසු ඔබට අවශ්‍ය අවස්ථාවලදී ඔබට උපකාර වූ ශුද්ධලියවිලි පාඨ කිහිපයක් එකිනෙකා සමඟ බෙදාගන්න පුළුවන්.
ද්විතීය කථාව 18:15–18
අනාගතවක්තෘවරුන් අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වයි.
-
ඔබ එකට එකතු වී ද්විතීය කථාව 18:18 කියවන විට, මෙම පදයේ මෝසෙස් වැනි අනාගතවක්තෘවරයා ලෙස හඳුන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන බව ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කරන්න. සමහරවිට ඔබට මෝසෙස් කළ දේවල්වල සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කළ දේවල්වල පින්තූර දෙස බලා ඔබේ දරුවන්ට ඒවා ගලපන්නට ඉඩ දෙන්න පුළුවන්. අද අපේ අනාගතවක්තෘවරයා ගැලවුම්කරුවාණන් ගැන අපට උගන්වා ඇත්තේ මොනවාද?
ද්විතීය කථාව 29:12–13; 30:8–10
මගේ ගිවිසුම් නිසා, මම දෙවියන්වහන්සේගේ සෙනඟගේ කොටසක් වන්නෙමි.
-
ද්විතීය කථාව 29: 12–13 ගැන කතා කිරීම මගින්, ඔබේ දරුවන් ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ ඇති කරගන්නා හෝ ඇති කරගත් ගිවිසුම් ගැන කතා කිරීමට ඔබට සහ ඔවුන්ට අවස්ථාවක් සපයනවා. දෙවියන්වහන්සේගේ සෙනඟ වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපගේ පොරොන්දු අපව දෙවියන්වහන්සේගේ සෙනඟ බවට පත්කරන්නේ කොහොමද? (බලන්න 13 වෙනි පදය; තවත් බලන්න මොසායා 18:8–10).
-
ද්විතීය කථාව 30:8–10 තුළ දෙවියන්වහන්සේ සහ ඉශ්‍රායෙල්වරුන් එකිනෙකා සමඟ ඇතිකරගත් පොරොන්දු මොනවාද? අපි දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගෙන ඇති පොරොන්දු මොනවාද? (බලන්න දහම සහ ගිවිසුම් 20:37, 77). මෙම පොරොන්දු අපව උන්වහන්සේ හා සම්බන්ධ කරන්නේ කෙසේද?
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.