“පෙබරවාරි 3–9. 2 නෙපි 1–5: ‘අපි ප්‍රීතිමත් ආකාරයෙන් ජීවත් වූවෙමු’” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“පෙබරවාරි 3–9. 2 නෙපි 1–5,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020
ඩග්ලස් ෆ්‍රයර් විසින්, ආදම් සහ ඒව
පෙබරවාරි 3–9
2 නෙපි 1-5
“අපි ප්‍රීතිමත් ආකාරයෙන් ජීවත් වූවෙමු”
ශුද්ධලියවිලි වලට පෞද්ගලික එළිදරව් සඳහා දොරටු විවර කළ හැකිය. ඔබ 2 නෙපි 1–5 කියවන විට, ස්වාමින්වහන්සේට ඔබට ඉගැන්වීමට අවශ්‍ය විශේෂිත යමක් ඇති බව ඔබට පෙනීයනු ඇත.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ඔබේ ජීවිතය අවසානයකට පැමිණෙන බව ඔබ දැනසිටිනවා නම්, ඔබ වඩාත්ම ආදරය කරන අය සමග බෙදාගැනීමට ඔබට අවශ්‍ය අවසාන පණිවිඩ මොනවාද? අනාගතවක්තෘ ලෙහිට තම ජීවිතයේ අවසානය ළඟාවී ඇති බව දැනුණු විට, ඔහු අන්තිම වතාවට තම දරුවන් එක්රැස් කරගත්තේ තමා ආදරයෙන් රැකබලාගත් සුභාරංචි සත්‍යයන් ඔහු ආදරය කළ පුද්ගලයින් හට අනාවැකි කීමට හා බෙදාගැනීමටය. ඔහු නිදහස, කීකරුකම, ආදම් සහ ඒවගේ වැටීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් මිදීම සහ ප්‍රීතිය ගැන ඉගැන්වීය. ඔහුගේ සියලු දරුවන් ඔහුගේ අවසාන සාක්ෂිය පිළිගත්තේ නැත, නමුත් එසේ කළ අය - අද එය කියවන මිලියන සංඛ්‍යාත ජනයා සමග - “ප්‍රීතිමත් ආකාරයෙන්” ජීවත්වීම සඳහා මූලධර්ම ඔහුගේ සාක්ෂි වලින් සොයාගත්හ (2 නෙපි 5:27).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
සදාකාල ජීවිතය තෝරාගැනීමට මට නිදහස තිබේ.
වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ පැවසීය: “දෙවියන්වහන්සේ අදහස් කරන්නේ තම දරුවන් උන්වහන්සේ ඔවුන්ට ලබාදී ඇති තෝරාගැනීමේ නිදහස අනුව ක්‍රියා කළ යුතු බවයි. … උන්වහන්සේගේ සැලැස්ම සහ උන්වහන්සේගේ කැමැත්ත වන්නේ අපගේ ජීවන නාට්‍යයේ ප්‍රධාන තීරණ ගැනීමේ කාර්යභාරය අප ලබාගැනීමයි” (“Free Forever, to Act for Themselves,” Ensign or Liahona, Nov. 2014, 16). තෝරාගැනීමේ නිදහස පිළිබඳ ලෙහිගේ ඉගැන්වීම් වලදී, පහත සඳහන් දේ ඇතුළුව, අපගේ දිව්‍යමය හැකියාවට ලඟාවීමට අපව සක්‍රීය කරන, නිදහසේ තෝරාගැනීමට හැකිවන අත්‍යවශ්‍ය කොන්දේසි ඔහු විසින් හඳුනාගෙන ඇත:
-
යහපත සහ නපුර පිළිබඳ දැනුමක් (2 නෙපි 2:5)
-
මිනිස් සංහතියට දෙන ලද නීතියක් (2 නෙපි 2:5)
-
ප්‍රතිවිරුද්ධ, සිත්ඇදගන්නා සුළු තෝරාගැනීම් (2 නෙපි 2:11)
-
ක්‍රියාකිරීමට බලය (2 නෙපි 2:16)
ඔබ 2 නෙපි 2 කියවන විට, තෝරාගැනීමේ නිදහස පිළිබඳ මෙම එක් එක් කොන්දේසි සහ ඒවා එකිනෙක සමග ඇති සම්බන්ධතාවය ගැන ඔබ ඉගෙනගන්නේ කුමක්ද? මෙම කොන්දේසි එකක් හෝ කිහිපයක් අතුරුදහන් වුවහොත් අපගේ තෝරාගැනීමේ නිදහසට කුමක් සිදුවේද? ලෙහිගේ වචන වලින් තෝරාගැනීමේ නිදහස ගැන ඔබ ඉගෙනගන්නා අනෙක් දේවල් මොනවාද?
වැටීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ස්වර්ගික පියාණන්ගේ සැලැස්මේ අත්‍යවශ්‍ය කොටස් වේ.
බොහෝ අය ආදම් සහ ඒවගේ වැටීම ඛේදජනක සිදුවීමක් ලෙස දකිති. කෙසේවෙතත්, වැටීම පිළිබඳ ලෙහිගේ ඉගැන්වීම් වලින් හෙළිවන්නේ එය අපගේ සදාකාලික දියුණුව සඳහා පියාණන්වහන්සේගේ සැලැස්මේ අත්‍යවශ්‍ය අංගයක් වූයේ මන්ද යන්නයි. ඔබ මෙම පද කියවන විට, ස්වර්ගික පියාණන්ගේ දරුවන්ට - වර්ධනය වීමට - වැටීම අවශ්‍ය වූයේ මන්දැයි සොයා බලන්න. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය අපව වැටීමෙන් මුදවාගත්තේ කෙසේද?
තවත් බලන්න මෝසෙස් 5:9–12; 6:51–62; “Fall of Adam and Eve,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
සුභාරංචිය නැවත පිහිටුවීම සඳහා ජෝසෆ් ස්මිත්ව කලින් නියම කරනු ලැබ ඇත.
2 නෙපි 3 හි අවසාන කොටසේ ඊජිප්තුවේ ජෝසප් විසින් ඔහුගේ නම බෙදාගන්නා අනාගත එළිදරව්කරුවෙකු පිළිබඳව දුන් එළිදරව්වක් අඩංගු වේ (බලන්න 14–15 පද)—Joseph Smith. ජෝසෆ් ස්මිත්ගේ ධර්මදූත සේවය ගැන කීමටද එහි බොහෝ දේ ඇත. 6-24 පදවල “තෝරාගත් එළිදරව්කරුවෙකු” ලෙස ජෝසෆ් ස්මිත් ගැන කීම, දෙවියන්වහන්සේගේ සෙනගට ආශිර්වාද කිරීමට කුමක් කරයිද? ජෝසෆ් ස්මිත්ගේ වැඩ කටයුතු ඔබට “ඉතා වටිනා” වූයේ කෙසේද?
ජෝසෆ් ස්මිත්ගේ ධර්මදූත සේවයේ එක් වැදගත් අංගයක් වූයේ මෝර්මොන්ගේ පොතේ අඩංගු ජෝසප්ගේ වංශයේ ලේඛන ඉදිරියට ගෙන ඒමයි. මෝර්මොන්ගේ පොතේ වැදගත්කම ගැන මෙම පරිච්ඡේදයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?
තවත් බලන්න Joseph Smith Translation, Genesis 50:24–38 (in Bible appendix).
ඩේවිඩ් ලින්ඩ්ස්ලි විසින්, ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා
මගේ දුර්වලකම් වලදී මට දෙවියන්වහන්සේ වෙත හැරිය හැකිය.
නෙපිට මෑතකදී තම පියා අහිමි විය. ඔහුගේ පවුල මෙහෙයවීමේ වගකීම දැන් ඔහු මත රඳා පවතී. පරීක්ෂාවන්ගෙන් වටවී සිටින බවක් ඔහුට දැනුණු අතර ඔහුගේ පාප නිසා ඔහු අධෛර්යයට පත් විය. ඔබගේ තත්වයන් නෙපිට වඩා වෙනස් වුවද, 2 නෙපි 4:15–35 හි සටහන් කර ඇති ඔහුගේ සමහර සිතුවිලි හා හැඟීම් සමග ඔබට සම්බන්ධ විය හැකිය. නෙපිට ඔහුගේ දුක් ගැහැටවලදී උදව් වූයේ කුමක්ද? නෙපිගේ අභියෝගයන්ට ඔහු දක්වන ප්‍රතිචාරය ඔබේ අරගලයන්ට මුහුණදීමට ඔබට උපකාර කරන්නේ කෙසේද?
සුභාරංචිය අනුව ජීවත්වීමෙන් සතුට සොයාගත හැකිය.
ඔබ සතුට අර්ථදක්වන්නේ කෙසේද? තම ජනතාව ජීවත් වූයේ “ප්‍රීතිමත් ආකාරයෙන්” බව නෙපි ලිවීය (2 නෙපි 5:27). නෙපි සහ ඔහුගේ ජනතාව එකිනෙකාට සහ ඔවුන්ගේ පවුල් වලට සහය දුන් ආකාර, ඔවුන්ගේ සමාජයේ ඔවුන් අගය කළ දේවල් සහ, අනෙකුත් දේ - ඔවුන්ව ප්‍රීතිය කරා මෙහෙයවීමට ඔවුන්ගේ තෝරාගැනීම් ඔබට සොයාබැලිය හැකිය. නෙපිගේ වැසියන් කළාක් මෙන්, සතුටින් පිරි ජීවිතයක් ගොඩනගාගැනීමට උදව් වන ඔබ ඉගෙනගත් දේවල් මොනවාද?
ලාමන්වරුන්ට පැමිණි ශාපය කුමක්ද?
නෙපිගේ දවසේදී ලාමන්වරුන්ගේ ශාපය වූයේ “ඔවුන්ගේ අයුතුකම් නිසා … ස්වාමින්වහන්සේවහන්සේගේ අභිමුඛයෙන් ඔවුන්ව කපා දමා තිබීමයි ” (2 නෙපි 5: 20–21). මෙයින් අදහස් කළේ ස්වාමින්වහන්සේගේ ආත්මය ඔවුන්ගේ ජීවිත වලින් ඉවත්කර ඇති බවයි. පසුකලෙක ලාමන්වරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය පිළිගත් විට “දෙවියන්වහන්සේගේ ශාපය තවදුරටත් ඔවුන් පසුපස නොපැමිණියේය” (ඇල්මා 23:18).
නෙපිවරුන් ඔවුන්ගෙන් වෙන්වූ පසු ලාමන්වරුන් මත අඳුරු සමේ සලකුණක් පැමිණි බවත් මෝර්මොන්ගේ පොතෙහි සඳහන් වේ. මෙම සලකුණෙහි ස්වභාවය සහ පෙනුම සම්පූර්ණයෙන් වටහාගෙන නොමැත. මෙම සලකුණ මූලිකවම ලාමන්වරුන්ව නෙපිවරුන්ගෙන් වෙන්කොට දැක්වීය. පසුකාලීනව, නෙපිවරුන් සහ ලාමන්වරුන් යන දෙගොල්ලන්ම දුෂ්ටකමේ හා ධර්මිෂ්ටකමේ කාලපරිච්ඡේදයන් පසුකර යද්දී, ලාමන්වරුන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටීමේ දර්ශකයක් ලෙස එම සලකුණ අදාළ නොවීය.
අඳුරු සම යනු දිව්‍ය අප්‍රසාදයේ හෝ ශාපයේ ලකුණක් නොවන බව අපේ කාලයේ අනාගතවක්තෘවරු සහතික කරති. ස්වාමින්වහන්සේ “කළු සහ සුදු, වහල්ලා හෝ නිදහස් තැනැත්තා, පිරිමියෙකු හෝ ගැහැණියෙකු, යන කිසිවෙක් උන්වහන්සේ එපා නොකරන සේක” (2 නෙපි 26:33) යන නෙපිගේ ඉගැන්වීම සභාව පිළිගනී. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කළේය: “ස්වාමින්වහන්සේ තම දරුවන්ට උන්වහන්සේගේ අත්‍යවශ්‍ය දහම සමාන අවස්ථාවන් ලබාදෙමින් අවධාරණය කර ඇත. … ඇදහිලිවන්තයන් ගිවිසුම් මාවතට අවතීර්ණ වී අපගේ ආදරණීය මිදුම්කරුවාණන් වෙතට පැමිණෙන විට සංස්කෘතිය, භාෂාව, ස්ත්‍රී පුරුෂ භාවය, වංශය සහ ජාතිය යන වෙනස්කම් නොවැදගත්ව නැතිවී යයි” (“President Nelson Remarks at Worldwide Priesthood Celebration” [June 1, 2018], newsroom.ChurchofJesusChrist.org).
තවත් බලන්න “Till We All Come in the Unity of the Faith” (video, ChurchofJesusChrist.org).
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි පද කියවන විට, ඔබගේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්වහන්සේ ඔබට උපකාර කරනු ඇත. යම් අදහස් කීපයක් මෙන්න.
2 නෙපි 1:13–25
ධර්මිශ්ට දෙමාපියෙකු තම දරුවන් වෙනුවෙන් කරන ලොකුම පැතුම් ගැන මෙම පද අපට උගන්වන්නේ මොනවාද?
2 නෙපි 3:6.
බයිබල් ශබ්දකෝශයේ “Seer” යන වචනය එක්ව කියවන්න. ජෝසෆ් ස්මිත් එළිදරව්කරුවෙකු වන්නේ කෙසේද? ජෝසෆ් ස්මිත් ඉටුකළ කාර්යයට අප කෘතඥ වන්නේ ඇයි? (බලන්න 2 නෙපි 3:6–24).
2 නෙපි 4:20–25
ඔබ 2 නෙපි 4:20–25 එකට එක්ව කියවන විට, සෑම පදයකටම පසු විරාමයක් තබා, නෙපි විස්තර කරන දේ අත්විඳ ඇත්නම් හෝ දැනී ඇත්නම් එය බෙදාගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න. දෙවියන්වහන්සේ අපේ පවුල වෙනුවෙන් කරඇත්තේ මොනවාද?
2 නෙපි 5
“ප්‍රීතියේ ආකාරයෙන්” ඔබේ පවුල ජීවත් වන සමහරක් ක්‍රම මොනවාද? ඔබගේ පවුල 2 නෙපි 5 කියවන විට, පවුල (6 වන පදය), අණ පණත් (10 වන පදය), ශුද්ධලියවිලි (12 වන පදය), අධ්‍යාපනය (15 වන පදය), දේවමාළිගා (16 වන පදය), කාර්යයන් (17 වන පදය) සහ සභාවේ කැඳවීම් (26 වන පදය) වැනි නෙපිවරුන් සැලකිලිමත් වූ දේවල් ඔබට සාකච්ජා කළ හැකිය. මෙය කළ හැකි එක් ක්‍රමයක් නම්, මේවායින් සමහරක් නියෝජනය කරන භාණ්ඩ සොයාගෙන නෙපිවරුන් මෙන් අපත් මේ දේවල් අගය කරන බව පෙන්වන ආකාරය ගැන කතාකිරීමයි.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම
නිරීක්ෂකයෙකු වන්න. ඔබේ දරුවන්ගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ කෙරෙහි ඔබ අවධානය යොමුකරන්නේ නම්, ඔබට විශිෂ්ට ඉගැන්වීමේ අවස්ථා සොයාගත හැකිය. ඔබේ දරුවන් දක්වන අදහස් හෝ ඔවුන් අසන ප්‍රශ්න ඉගැන්වීම් අවස්ථා සඳහා ඉඩ ප්‍රස්ථාවන් විය හැකිය. (බලන්න Teaching in the Savior’s Way, 16.)
ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, ලෙහි සහ ඔහුගේ ජනතාව නව ලොවට පැමිණීම