“මාර්තු 23–29. ‘මම මාගේ ගිවිසුම සිහි කළෙමි’: නික්මයාම 1–6,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“මාර්තු 23–29. ‘මම මාගේ ගිවිසුම සිහි කළෙමි’,” එන්න, මා අනුගමනය කරන්න: 2026
ජෙරී තොම්ප්සන් විසින්, Moses and the Burning Bush [මෝසෙස් සහ දැවෙන පඳුර]
මාර්තු 23-29:“මම මාගේ ගිවිසුම සිහි කළෙමි”
නික්මයාම 1-6.
ඊජිප්තුවේ ජීවත් වීමට ලැබුණු ආරාධනය නිසා යාකොබ්ගේ පවුල බේරුණා. නමුත් වසර සිය ගණනකට පසු, “යෝසෙප්ව නොදැන සිටි” නව පාරාවෝ කෙනෙකු විසින් ඔවුන්ගේ පරම්පරාව වහල්භාවයට හා භීතියට පත් කළා (නික්මයාම 1:8). දෙවියන්වහන්සේ තම ගිවිසුම් සෙනඟට මෙසේ සිදුවීමට ඉඩ හැරියේ මන්දැයි ඉශ්‍රායෙල්වරුන් කල්පනා කිරීම ස්වාභාවිකයි. උන්වහන්සේ ඔවුන් සමඟ කළ ගිවිසුම උන්වහන්සේට මතකද? ඔවුන් තවමත් උන්වහන්සේගේ සෙනඟද? ඔවුන් කොතරම් දුක් විඳිනවාද කියා උන්වහන්සේට පෙනෙනවාද?
ඔබටත් මේ හා සමාන ප්‍රශ්න ඇසීමට අවශ්‍ය වූ අවස්ථා තිබෙන්න පුළුවන්. ඔබට මෙසේ සිතන්න පුළුවන්, “මා අත්විඳින දේ දෙවියන්වහන්සේ දන්නවාද? උපකාරය පතා කරන මගේ ආයාචනා වලට උන්වහන්සේ ඇහුම්කන් දෙනවාද? ඊජිප්තුවෙන් ඉශ්‍රායෙල්ගේ ගැලවීම එවැනි ප්‍රශ්නවලට පැහැදිලිව පිළිතුරු සපයනවා: දෙවියන්වහන්සේ තම සෙනඟව අමතක කරන්නේ නෑ. උන්වහන්සේ අප සමඟ ඇති උන්වහන්සේගේ ගිවිසුම් මතක තබාගන්නවා, ඒවගේම උන්වහන්සේගේම වේලාවට සහ ආකාරයට ඒවා ඉටු කරනවා. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා “මම දිඟු කළ බාහුවකින් නුඹලා මුදන්නෙමි.” “මෙසේ මම [නුඹලාගේ] බරවලින් නුඹලා පිටතට ගෙනෙන නුඹලාගේ දෙවි වූ යෙහෝවාවහන්සේ බව නුඹලා දැනගන්නහුය” (නික්මයාම 6:6–7).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
නික්මයාම 1-2
දෙවියන්වහන්සේට උන්වහන්සේගේ අරමුණු ඉෂ්ට කරගැනීමට මා තුළින් ක්‍රියා කළ හැකිය.
නික්මයාම 1–2 තුළ විස්තර කර ඇති කාන්තාවන් ගැන ඔබේ සිත් ඇදගන්නා දේවල් මොනවාද? දෙවියන්වහන්සේගේ සෙනඟ සඳහා වූ සැලැස්ම ඉටු කිරීමට ඔවුන් උදව් කළේ කෙසේද? දෙවියන්වහන්සේගේ කාර්යයන්හි සේවය කිරීම ගැන ඔවුන්ගේ උත්සාහයන් ඔබට උගන්වන්නේ මොනවාද?
නික්මයාම 1-3
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ ගැලවුම්කරුවාණන්ය.
ඔබ නික්මයාම කියවීම ආරම්භ කිරීමට පෙර, ස්වාමින්වහන්සේ ඔබව ගලවා ගනු ඇතැයි ඔබ බලාපොරොත්තු වන දෙයක් වැනි—ඔබ අත්විඳින දුෂ්කරතාවක් ගැන ඔබට සිතන්න පුළුවන්. අධ්‍යාත්මික වහල්භාවයට හෝ අද අප මුහුණ දෙන වෙනත් දේවලට සමාන වන නික්මයාම 1–3 හි ඇති වචන සහ වාක්‍ය ඛණ්ඩ මොනවාද? ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැලවීම සෙවූ ආකාරය සහ ස්වාමින්වහන්සේ ප්‍රතිචාර දැක්වූ ආකාරය සැලකිල්ලට ගන්න (උදාහරණයක් ලෙස බලන්න, නික්මයාම 2:23–25; 3:7–8). ස්වාමින්වහන්සේ ඔබව “ගලවා ගැනීමට පහතට පැමිණියේ” කෙසේද?
නික්මයාම පොත පුරාම, මෝසෙස් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අතර ඇති යම් සමානකම් ද ඔබට සටහන් කරන්න පුළුවන් (බලන්න ද්විතීය කථාව 18:18–19; 1 නෙපී 22:20–21). උදාහරණයක් ලෙස, නික්මයාම 1:22; 2:1–10 සහ මතෙව් 2:13–16 අතර ඔබ දකින සමානකම් මොනවාද? නැතහොත් නික්මයාම 24:18 සහ මතෙව් 4:1–2 අතර? ඔබට සිතෙන ලෙස, ස්වාමින්වහන්සේ ගැන හා උන්වහන්සේගේ බලය ගැන ඔබ අවබෝධ කර ගන්නවාට උන්වහන්සේට අවශ්‍ය වන්නේ මොනවාද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන සංකේත සොයන්න. “ශුද්ධලියවිලි වල අනාගතවක්තෘවරුන්ගේ සහ අනෙකුත් ඇදහිලිවන්ත පිරිමින්ගේ සහ ස්ත්‍රීන්ගේ ජීවිත වල ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයට සමාන්තරයන් පවා ඔබට සොයාගත හැකිය. [එසේ කිරීම] ඔබට වෙනත් ආකාරයකින් නොසලකා හැරිය හැකි ස්ථානවල ගැලවුම්කරුවාණන් පිළිබඳ සත්‍ය හෙළි කරයි” (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 7; තවත් බලන්න හොෂෙයා 12:10).
ඈන් මාරි ඔබර්න් විසින්, Faith at Water’s Edge [ජලය අයිනේ ඇදහිල්ල]
නික්මයාම 3:1–6
මට ශුද්ධ දේවල් සහ ස්ථාන සඳහා ගෞරවය පෙන්විය හැකිය.
යම් දෙයක් ඔබව විස්මයෙන් හා පුදුමයෙන් පිරවූ අවස්ථාවක් ගැන ඔබට සිතිය හැකිද? ඔබ ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? ඔබට දැනුණු හැඟීම් ඔබ විස්තර කරන්නේ කොහොමද?
එය මනසේ තබාගෙන, නික්මයාම 3:1–6 කියවන්න. මෝසෙස්ගේ ප්‍රබෝධමත් අත්දැකීමෙන් ඔබව විශ්මයට පත්කරන්නේ කුමක්ද? දෙවියන්වහන්සේට ගෞරවය දැක්වීමට මෝසෙස් කළේ කුමක්ද? ඔහුගේ ක්‍රියාවන් සහ පූජනීය දේවලට ගරු කිරීම අතර ඔබ දකින සම්බන්ධතා මොනවාද?
මෙම පද කියවීමෙන් ඔබේ ජීවිතයේ ශුද්ධ වූ දේවල් සහ ශුද්ධ වූ ස්ථාන ගැන සිතීමට ඔබව පොළඹවයි. ඒවා ඔබට පූජනීය වන්නේ ඇයි? සාමාන්‍ය දේවල්වලට වඩා වෙනස් විදිහට ඔබ ඒවාට සලකන්නේ කොහොමද? ඔබේ මෙනෙහි කිරීමට මගපෙන්වීම සඳහා, ඔබට වැඩිහිටි ඩේවිඩ් ඒ බෙඩ්නර්ගේ“උත්කෘෂ්ඨ හා වටිනා පොරොන්දු ඉක්මවා” (ලියහෝනා, නොවැ. 2017, 91–93) යන පණිවිඩයේ “පොරොන්දු මතක තබා ගෙන සිටීම” යන කොටස වෙත යොමු වෙන්න පුළුවන්.
ඇත්ත වශයෙන්ම, අපට පුදුමාකාර අධ්‍යාත්මික අත්දැකීම් ඇති විට පවා, පරිශුද්ධ දේවල් ගැන ඕනෑවට වඩා සාමාන්‍ය ලෙස සිතීමේ අනතුරක් තිබෙනවා. ඔබ මෙය වළක්වා ගන්නේ කොහොමද? මෙන්න මේ ගැටලුව විසඳන පණිවිඩයක්; ඒ තුළ ඔබට උපකාර වන ප්‍රකාශ සොයන්න: උලිසෙස් සෝරෙස්, “ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි ගරුබියෙන්” (ලියහෝනා, මැයි 2022, 115–17).
තවත් බලන්න දහම් සහ ගිවිසුම් 6:10–12; 63:64.
නික්මයාම 3-4
දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කාර්යය කිරීමට උන්වහන්සේ කැඳවන මිනිසුන්ට බලය ලබාදෙන සේක.
අද අපි මෝසෙස්ව ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙකු සහ නායකයෙකු ලෙස දන්නවා. නමුත් ස්වාමින්වහන්සේ මෝසෙස්ව මුලින්ම කැඳවූ විට ඔහු තමාව ඒ ආකාරයෙන් දුටුවේ නෑ. ඔබ නික්මයාම 3–4 කියවන විට, මෝසෙස්ගේ කනස්සල්ල සහ ස්වාමින්වහන්සේ ඒ එක් එක් ඒවාට ප්‍රතිචාර දැක්වූ ආකාරය ලැයිස්තුගත කරන්න. ඔබට ප්‍රමාණවත් නොවන බවක් හැඟෙන විට, ඔබ මෙම පරිච්ඡේදවල සොයාගන්නා, ඔබව පොළඹවන දේවල් මොනවාද? දෙවියන්වහන්සේගේ කාර්යය කිරීමට උන්වහන්සේ ඔබට හෝ අන් අයට බලය දෙන ආකාරය ඔබ දැක ඇත්තේ කුමන අවස්ථා වලදීද?
නික්මයාම 5-6
ස්වාමින්වහන්සේගේ අරමුණු උන්වහන්සේගේ කාලය තුළ ඉටු වනු ඇත.
අපි ස්වාමින්වහන්සේගේ කැමැත්ත කිරීමට උත්සාහ කරන නමුත් අප බලාපොරොත්තු වූ ප්‍රතිඵල අපට නොපෙනෙන විට—යහපත කිරීමට අපගේ අවංක උත්සාහයන් ක්‍රියාත්මක නොවන බව පෙනෙන විට එය අපව අධෛර්යමත් කරන්න පුළුවන්. මෝසෙස් ලැබූ ඒ හා සමාන අත්දැකීමක් ගැන දැනගැනීමට නික්මයාම 5:4–9, 20–23 කියවන්න. මෝසෙස්ගේ අධෛර්යමත් හැඟීම් ජයගැනීමට ස්වාමින්වහන්සේ ඔහුට උපකාර කළේ කෙසේද? (බලන්න නික්මයාම 6:1–13). ස්වාමින්වහන්සේගේ කැමැත්ත කිරීමෙහි නොකඩවා සිටීමට උන්වහන්සේ ඔබට උපකාර කර ඇත්තේ කෙසේද?
තවත් බලන්න ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්, “ස්වාමින්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටීම,” ලියහෝනා, නොවැ. 2020, 115–17.
තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
මෙම ඉරිදා මාසයේ පස්වන ඉරිදා බැවින්, ප්‍රාථමිකයේ ගුරුවරුන් “උපග්‍රන්ථය B: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිත කාලයක් සඳහා දරුවන් සූදානම් කිරීම” තුළ ඇති ඉගෙනුම් ක්‍රියාකාරකම් භාවිතා කිරීමට දිරිමත් කරනු ලැබේ.
නික්මයාම 1-2
දෙවියන්වහන්සේට උන්වහන්සේගේ අරමුණු ඉෂ්ට කරගැනීමට මා තුළින් ක්‍රියා කළ හැකිය.
-
ඉශ්‍රායෙල් ජාතිය වහල්භාවයෙන් නිදහස් කර ගැනීමට මෝසෙස්ට ප්‍රධාන කාර්යභාරයක් තිබුණා. නමුත් ඔහුගේ මව, ඔහුගේ සහෝදරිය, පාරාවෝගේ දියණිය සහ අනෙකුත් ඇදහිලිවන්ත කාන්තාවන් ඔහුව ආරක්ෂා නොකළේ නම් ඔහුට මෙය ඉටු කිරීමට නොහැකි වෙන්න තිබුණා. නික්මයාම 1:15–20; නික්මයාම 2:2–10 (තවත් බලන්න ගණන් කථාව 26:59); සහ නික්මයාම 2:16–21 තුළ මෙම කාන්තාවන් ගැන ඉගෙන ගැනීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. ඔවුන්ගේ කතන්දර පැවසීමට ඔබට මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව භාවිතා කරන්නත් පුළුවන්. දෙවියන්වහන්සේගේ සැලැස්ම ඉටු කිරීමට මෙම කාන්තාවන් උදව් කළේ කොහොමද? කුඩා හා සරල ක්‍රම ඇතුළුව, දෙවියන්වහන්සේගේ කාර්යයට උපකාර කරන ඔබ අගය කරන වෙනත් පුද්ගලයන් ගැන එකිනෙකා සමඟ කතා කරන්න. ඔවුන්ගේ ආදර්ශය අපට අනුගමනය කළ හැක්කේ කෙසේද?
1:36Baby Moses
නික්මයාම 3:1-5
මට ශුද්ධ ස්ථාන වලට ගෞරවයෙන් සලකන්න පුළුවන්.
-
එකට එකතු වී නික්මයාම 3:1–5 කියවීමෙන් පසු, මෙම පද ඔවුන්ගේම වචනවලින් සාරාංශ කරන ලෙස ඔබේ දරුවන්ට කියන්න. මෝසෙස් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ගෞරවය පෙන්වූයේ කෙසේද? ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ අපි මොන ආකාරයට ගෞරවය පෙන්වනවාටද? පූජනීය ස්ථාන හෝ අප ගෞරවාන්විත විය යුතු ක්‍රියාකාරකම්වල පින්තූර සොයා ගැනීමට (හෝ ඇඳීමට) ඔබට උපකාර කරන ලෙස ඔබට ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. අපේ නිවස පූජනීය ස්ථානයක් බවට පත් කිරීමට අපට කළ හැක්කේ කුමක්ද?
1:26Moses the Prophet
-
ඔබ එසේ කරන විට, ගෞරවාන්විත වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කරන වචන හෝ වාක්‍ය ඛණ්ඩ සොයන්නට ඔබේ දරුවන්ට පුළුවන්. අපි පළමු වතාවට මිතුරෙකුව සභාවට ගෙන එන්නේ නම්, ගෞරවය දැක්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි අපි පැහැදිලි කරන්නේ කොහොමද?
ජේම්ස් ජේ. ටිසොට් විසින්, Moses and Aaron Speak to the People [මෝසෙස් සහ ආරොන් සෙනඟට කතා කරමින්]
නික්මයාම 3-4
යමක් කරන ලෙස ස්වාමින්වහන්සේ මගෙන් ඉල්ලා සිටින විට, උන්වහන්සේ එය කිරීමට මට උපකාර කරන සේක.
-
නික්මයාම 3; 4:1–17, තුළ ඇති වාර්තාව භාවිතා කරමින්; ඔබේ දරුවන්ට මෝසෙස් ලෙස පෙනී සිට රඟ දැක්වීමට අවස්ථා ලබාදෙන්න. දැවෙන පඳුර නියෝජනය කිරීම සඳහා විදුලි පන්දමක් සහ ශාකයක් වැනි භාණ්ඩ හෝ සරල දේවල් ඇතුළත් කරගැනීම විනෝදජනක වෙන්න පුළුවන්. ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් පැවරුම ගැන ඔහුට හැඟුණු ආකාරය සොයා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න (බලන්න නික්මයාම 3:11; 4:1, 10). සමහරවිට ඔබටත් ඒ හා සමාන හැඟීම් ඇති වූ අවස්ථා එකිනෙකා සමඟ බෙදාගන්න පුළුවන්. මෝසෙස්ට උපකාර කිරීම සඳහා අපිට ඔහුට ලබා දෙන්න පුළුවන් උපදෙස් මොනවාද? ස්වාමින්වහන්සේ මෝසෙස්ව දිරිමත් කළ ආකාරය ගැන නික්මයාම 3:12; 4:2–9, 11–12 තුළ කියවන්න. ඔබට කැඳවීමක් ඉටු කිරීමට, පෙළඹවීමක් අනුගමනය කිරීමට හෝ ඔබට අපහසු වූ වෙනත් දෙයක් කිරීමට ගැලවුම්කරුවාණන් ඔබට උපකාර කර ඇති ආකාරය ගැන දරුවන්ට කියන්න.
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.