එන්න, මා අනුගමනය කරන්න
පෙබරවාරි 23–මාර්තු 1. “ස්වාමින්වහන්සේට බැරි දෙයක් ඇද්ද?”: උත්පත්ති 18–23


“පෙබරවාරි 23–මාර්තු 1. ‘ස්වාමින්වහන්සේට බැරි දෙයක් ඇද්ද?’: උත්පත්ති 18–23,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“පෙබරවාරි 23–මාර්තු 1. ‘ස්වාමින්වහන්සේට බැරි දෙයක් ඇද්ද?’,” එන්න, මා අනුගමනය කරන්න: 2026

සාරා ළදරු ඊසාක්ව ඔසවාගෙන

ස්කොට් ස්නෝ විසින්, Sarah and Isaac [සාරා සහ ඊසාක්]

පෙබරවාරි 23–මාර්තු 1: “ස්වාමින්වහන්සේට බැරි දෙයක් ඇද්ද?”

උත්පත්ති 18-23

හද කම්පා කරවන සහ හද උණුසුම් කරවන සිදුවීම්වලින් පිරුණු ආබ්‍රහම්ගේ සහ සාරාගේ ජීවිතය, දර්ශනයකින් ආබ්‍රහම් උගත් සත්‍යයක් පිළිබඳ සාක්ෂියක් වෙනවා—ඒ තමයි අපි මේ පොළොවේ සිටින්නේ, “ස්වාමින් වූ [අපගේ] දෙවියන්වහන්සේ [අපට] ආඥා කරන සියලු දේවල් ඒවා කුමක් වුවත් [අප] ඒවා කරන්නේ දැයි බැලීම සඳහා” අපව පරික්ෂා කර බැලීමටයි (ආබ්‍රහම් 3:25). ආබ්‍රහම් සහ සාරා ඒ ඇදහිලිවන්ත බව ඔප්පු කරයිද? ඔවුන් මහලු වියේදී දරුවන් නොමැතිව සිටියත්, විශාල පරම්පරාවක් පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දුව කෙරෙහි ඔවුන් දිගටම ඇදහිල්ල තබාගනීද? ඊසාක් ඉපදුණු පසු, එම ගිවිසුම ඉටු කිරීමට දෙවියන්වහන්සේ පොරොන්දු වූ එම පුත්‍රයාවම පූජා කිරීමට ආඥා කළ විට—ඔවුන්ගේ ඇදහිල්ල සිතාගත නොහැකි දෙයක් විඳදරා ගනීවිද?

ආබ්‍රහම් සහ සාරා දෙවියන්වහන්සේව විශ්වාස කළා, ඒවගේම උන්වහන්සේ ඔවුන්ව විශ්වාස කළා (බලන්න උත්පත්ති 15:6; රෝම 4:3). දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කිරීමට, දුෂ්ටකමෙන් පලා යාමට සහ කිසිදා ආපසු හැරී නොබැලීමට, සහ පරිත්‍යාගය ගැන නොතකා දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට; අපගේ කැමැත්ත ගැන සිතීමට අපව පොළඹවන ආබ්‍රහම්ගේ, සාරාගේ සහ වෙනත් අයගේ ජීවිතවලින් කතන්දර අපට උත්පත්ති 18–23 තුළ හමුවෙනවා. අපව පරික්ෂා කිරීම මගින්, දෙවියන්වහන්සේ අපව දියුණු කරනවා.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

උත්පත්ති 18:9-14; 21:1-7.

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු ඉටු කරන්නේ උන්වහන්සේගේ කාලය තුළයි.

ස්වාමින්වහන්සේ ඇදහිලිවන්තයන්ට මහිමාන්විත පොරොන්දු ලබාදී තිබෙනවා, නමුත් සමහර විට අපගේ ජීවිතයේ තත්වයන් නිසා, මෙම පොරොන්දු ඉටුවිය හැක්කේ කෙසේදැයි කල්පනා කිරීමට හේතු වෙන්න පුළුවන්. ආබ්‍රහම් සහ සාරාටත් එහෙම හිතෙන්න ඇති. ඔවුන්ගේ අත්දැකීම් වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? උත්පත්ති 17:4, 15–22 තුළ ස්වාමින්වහන්සේ පොරොන්දු වූ දේ සමාලෝචනය කිරීමෙන් ඔබේ අධ්‍යයනය ආරම්භ කිරීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ආබ්‍රහම් සහ සාරා ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? (බලන්න උත්පත්ති 18:9–12). ස්වාමින්වහන්සේගේ පොරොන්දු කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට ඔවුන්ට උපකාර කිරීමට, උන්වහන්සේ ඒ සඳහා ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? (බලන්න උත්පත්ති 18:14).

ඔබ මෙම පදවලින් සොයාගන්නා, ඔබේ ඇදහිල්ල ගොඩනඟන දේවල් මොනවාද? ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කාලය සහ මාර්ගය තුළ උන්වහන්සේගේ පොරොන්දු ඉටු කරන බවට ඔබේ විශ්වාසය ශක්තිමත් කර තිබෙන—ඔබගේ ජීවිතයේ හෝ වෙනත් කෙනෙකුගේ ජීවිතයේ ඇති තවත් අත්දැකීම් මොනවාද? මේ ජීවිතයේ දී පොරොන්දු වූ ආශිර්වාද නොලැබෙන විට, ඔබේ ඇදහිල්ල පවත්වා ගත හැක්කේ කෙසේදැයි ඔබ මෙනෙහි කරන්න පුළුවන්. හෙබ්‍රෙව් 11:8–13 සහ සභාපති රසල් එම්. නෙල්සන්ගේ “ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක; උන්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල කඳු චලනය කරයි” යන පණිවිඩයෙන් ඔබ සොයාගන්නා උපදෙස් මොනවාද? (ලියහෝනා, මැයි 2021, 101-4).

තවත් බලන්න දහම සහ ගිවිසුම් 88:68.

උත්පත්ති 19:12–29

දුෂ්ටකමෙන් පලා යන ලෙසත් ආපසු හැරී නොබලන ලෙසත් ස්වාමින්වහන්සේ මට ආඥා කරනවා.

ලොත් සහ ඔහුගේ පවුලේ අය ගැන කියවන විට, දුෂ්ටකමෙන් පලායාම ගැන ඔබ ඉගෙනගන්නා පාඩම් මොනවාද? උදාහරණයක් වශයෙන්, ලොත් සහ ඔහුගේ පවුලේ අයට විනාශයෙන් බේරීමට දේවදූතයන් පැවසූ දේ සහ කළ දේ ගැන ඔබේ සිත් ඇදගන්නේ කුමක්ද? (බලන්න උත්පත්ති 19:12–17). ඔබට සහ ඔබේ පවුලට ලෝකයේ නපුරු බලපෑම්වලින් පලා යාමට හෝ ආරක්ෂාව සොයා ගැනීමට ස්වාමින්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද? ඔබ ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ලෙන් බලා සිටිය යුතු විට “ආපසු හැරී [බලන්නට]” (26 වෙනි පදය) ඔබ පෙළඹිය හැකි අවස්ථා ගැන සිතන්න. මෙම සංකල්පය පිළිබඳ ඔබේ අවබෝධයට ලූක් 9:62 තුළින් එකතු කරන්නේ කුමක්ද?

උත්පත්ති 19:26

ලොත්ගේ බිරිඳ කළ වරද කුමක්ද?

වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙසේ ඉගැන්වුවා:

“පෙනෙන විදිහට, ලොත්ගේ භාර්යාවගේ වැරැද්ද වුණේ ඇය ආපසු හැරී බැලීම නෙවෙයි; නමුත් ඇගේ හදවතින් ඇයට ආපසු යාමට අවශ්‍ය වුණා. පෙනෙන විදිහට, ඇය නගර සීමාව පසු කිරීමටත් පෙර, සොදොම් සහ ගොමෝරා ඇයට පිරිනැමූ දේ ඇයට අහිමි වී තිබුණා. …

“ස්වාමින්වහන්සේ අත්හැර යන ලෙස ඉල්ලා සිටි දේ ගැන අමනාපයෙන් ලොත්ගේ භාර්යාව ආපසු හැරී බැලුවා වෙන්න පුළුවන්. … එමනිසා ඇය ආපසු හැරී බැලුවා පමණක් නොවේ; ඇය හැරී බැලුවේ දැඩි ආශාවකින්. කෙටියෙන් කිවහොත්, අතීතය කෙරෙහි ඇයගේ බැඳීම, අනාගතය පිළිබඳ ඇගේ ආත්ම-විශ්වාසයට වඩා වැඩි වුණා. පෙනෙන විදිහට, එය අවම වශයෙන් ඇගේ පාපයේ කොටසක් බවට පත්වුණා.

“… මම ඔබෙන් අයැද සිටින්නේ දැන් ගෙවී අවසන්ව ගිය දින වල ගැවසෙන්න එපා, එම ගෙවුණු දවස් කෙතරම් යහපත් වුවත්, ඊයේ දවස වෙනුවෙන් නිෂ්ඵල ලෙස ආශා කරන්න එපා. අතීතය කියන්නෙ යමක් ඉගෙන ගත යුතු තැනක් නමුත් ජීවත් විය යුතු තැනක් නෙවේ. අපි ආපසු හැරී බලන්නේ දිලිසෙන අත්දැකීම් වලින් ගිනි අඟුරු ලබා ගැනීමට මිස, අළු ලබාගැනීමට නොවේ. අප ඉගෙන ගත යුතු දේ ඉගෙන ගෙන, අප අත්විඳ ඇති හොඳම දේ අප සමඟ ගෙන ආ විට, ඉන්පසු අපි ඉදිරිය බලා, ඇදහිල්ල සැමවිටම අනාගතය දෙසට යොමු වන බව මතක තබාගත යුතුයි. …

“… අතීත වැරදි ඇතුළුව, අතීත ජීවිතය තුළ රැඳී සිටීම නිවැරදි දෙයක් නොවෙයි! ඒ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නොවෙයි. …

“සෑම පරම්පරාවකටම [පුද්ගලයින්ට], ‘ලොත්ගේ භාර්යාවව සිහිකරන’ [ලූක් 17:32] ලෙස මම ඉල්ලා සිටිනවා. ඇදහිල්ල ඇත්තේ අනාගතය සඳහායි. ඇදහිල්ල අතීතය මත ගොඩනැගෙන නමුත් කිසි විටෙකත් එය එහි රැඳී සිටීමට දැඩි ආශාවක් ඇතිව පවතින්නේ නෑ. ඇදහිල්ල විශ්වාස කරන්නේ දෙවියන්වහන්සේ අප සෑම කෙනෙකුටම විශාල දේවල් ගබඩා කර ඇති බව සහ ක්‍රිස්තුස්වහන්සේ සැබවින්ම ‘මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්’ බවයි (හෙබ්‍රෙව් 9:11)” (“The Best Is Yet to Be,” Ensign, Jan. 2010, 24, 26–27).

ආබ්‍රහම් තම අතේ පිහියක් අතැතිව ස්වර්ගය දෙස බලා සිටින අතර ඊසාක් පූජාසනය මත වැතිර සිටී

හැරල්ඩ් කොපින්ග් විසින්, Abraham and Isaac [ආබ්‍රහම් සහ ඊසාක්]

උත්පත්ති 22:1-19

සෙමනේරි නිරූපකය
ඊසාක්ව පූජා කිරීමට ආබ්‍රහම්ගේ කැමැත්ත, දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් ගැන ආදර්ශයකි.

දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට ඊසාක්ව පූජාවක් ලෙස ඔප්පු කිරීමට ආඥා කළ සියලු හේතු අපි නොදන්නවා වුවද, එය දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ ඇදහිල්ලේ පරීක්ෂණයක් බව අපි දන්නවා. එය “දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් ගැන ආදර්ශයක්” බවද අපි දන්නවා. (යාකොබ් 4:5). ඔබ උත්පත්ති 22:1–19 කියවන විට, ආබ්‍රහම් ඊසාක්ව පරිත්‍යාග කිරීම සහ පියාණන්වහන්සේ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පරිත්‍යාග කිරීම අතර සංකේත හෝ සමානකම් ඔබට සොයන්න පුළුවන්. ඔබ සොයා ගන්නා දේ මෙවැනි ප්‍රස්ථාරයක ලිවීම ගැන සලකා බලන්න:

ආබ්‍රහම් සහ ඊසාක්

ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

ආබ්‍රහම් සහ ඊසාක්

ඊසාක් යනු ආබ්‍රහම් සහ සාරාගේ ඒකජාතක පුත්‍රයායි (උත්පත්ති 22:2; තවත් බලන්න හෙබ්‍රෙව් 11:17)

ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

යේසුස්වහන්සේ පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයායි (යොහන් 3:16)

ආබ්‍රහම් සහ ඊසාක්

බැටළු පැටවෙකු වෙනුවට ඊසාක්ව පූජා කළ යුතුව තිබුණා (උත්පත්ති 22:7–9)

ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු දෙවියන්වහන්සේගේ බැටළු පැටවායි (යොහන් 1:29)

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයට වඩාත් අර්ථවත් ලෙස ගැලපෙනවා යැයි ඔබට සිතෙන්නේ කුමන සංකේත හෝ සමානකම්ද? ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබේ හැඟීම් සහ උන්වහන්සේලා ඔබ වෙනුවෙන් කළ පරිත්‍යාගය ගැන ඔබේ හැඟීම් ඔබට සටහන් කරන්න පුළුවන්.

ඔබට අපගේ ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය ගැන වැඩිදුර අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම්, සභාපති ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්ගේ “දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් දෙස බලන්න” (ලියහෝනා, මැයි 2019, 44-46) යන පණිවිඩය කියවීම ගැන සලකා බලන්න. බැටළු පැටවෙකු, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ එතරම් බලවත් සංකේතයක් වන්නේ ඇයි? ස්වර්ගීය පියාණන්වහන්සේගේ ත්‍යාගය කෙරෙහි ඔබේ ගෞරවය වැඩි කරන සභාපති හොලන්ඩ් ඉගැන්වූ දේ කුමක්ද?

12:57

Akedah (The Binding)

ඉගැන්වීමට දර්ශන භාවිතා කරන්න. ඉගැන්වීමට සහ ඉගෙනීමට විවිධත්වය එක් කිරීමට, ඔබ උත්පත්ති 18–23 හි කථා අධ්‍යයනය කරන විට මෙම දළ සටහනේ පින්තූර එකක් හෝ කිහිපයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, ඔබට සහ ඔබේ පවුලේ අයට හෝ පන්තියට ආබ්‍රහම් සහ ඊසාක්ගේ පින්තූරවල ඇති විස්තර ගැන අවධානය යොමු කරන්න පුළුවන්. මෙම විස්තර කතාවට වැදගත් වන්නේ මන්දැයි කතා කරන්න, සහ මෙම විස්තර ශුද්ධලියවිලි තුළ සොයාගන්න. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පරිත්‍යාගය පිළිබඳ කතාවේ සංකේතවාදය ඒවා මගින් ඉස්මතු කරන්නේ කෙසේද?

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

උත්පත්ති 17:15–21; 18:14; 21:1–7

දෙවියන්වහන්සේගේ පොරොන්දු ඉටු කිරීම ගැන මට උන්වහන්සේව විශ්වාස කළ හැකිය.

  • දෙවියන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි ආබ්‍රහම් සහ සාරාගේ විශ්වාසය ගැන දැනගැනීමට, ඔබේ දරුවන්ට ඔවුන්ට සැබවින්ම අවශ්‍ය දෙයක් සඳහා බලා සිටීමට සිදු වූ අවස්ථාවක් ගැන ඔබට ඔවුන් සමඟ කතා කරන්න පුළුවන්. ඉන්පසු ඔබට මෙම දළ සටහනේ ආරම්භයේ ඇති සාරා සහ ඊසාක්ගේ පින්තූරය දෙස බලා, දෙවියන්වහන්සේ ඇයට සහ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ගැන කතා කරන්න පුළුවන්. අපි ඇදහිලිවන්තව ඉන්නවා නම්, දෙවියන්වහන්සේ අපිට ලබාදීමට පොරොන්දු වී ඇති දේවල් ගැන සිතීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. ඉවසිලිවන්තව සිටීමට සහ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු ඉටු කරන බවට විශ්වාස කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න.

    2:20

    Abraham and Sarah

  • උත්පත්ති 18:14 හි ඇති වැදගත් සත්‍යය ගැන ඔබේ දරුවන්ට ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා, එම පදයේ පළමු වාක්‍යයේ සිට සෑම වචනයක්ම වෙන වෙනම කඩදාසි කැබලිවල ලියන්නට ඔබට පුළුවන්. ඉන්පසු එම කඩදාසි කැබලි මිශ්‍ර කර, එම වචන නිවැරදි පිළිවෙලට තැබීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. කළ නොහැකි ලෙස පෙනෙන දෙයක් ස්වාමින්වහන්සේ විසින් කළ උදාහරණයක් සොයා ගැනීමට, ඉන්පසු ඔබට සහ ඔබේ දරුවන්ට උත්පත්ති 17:15–21; 21:1–7 කියවන්න පුළුවන්. ස්වාමින්වහන්සේගේ පොරොන්දු කළ නොහැකි බව පෙනුනත් හෝ ඒවා සඳහා දිගු කාලයක් ගත වුවත්, ස්වාමින්වහන්සේ තම පොරොන්දු ඉටු කරන බවට ඔබේ විශ්වාසය ඔබේ දරුවන් සමඟ බෙදාගන්න.

උත්පත්ති 19:15–26

මට දුෂ්ටකමෙන් පලා යා හැකිය.

  • නිවැරදි නොවන බව තමන් දන්නා දෙයක් කිරීමට, යමෙකු ඔවුන්ට ආරාධනා කළ හැකි අවස්ථා ගැන ඔබේ දරුවන්ගෙන් විමසන්න. අපි මෙම තත්වයන්ගෙන් “පලා යන්නේ” කෙසේද? ලොත්ගේ පවුල ඉතා දුෂ්ට නගරයක ජීවත් වූ බවත්, පිටව යන ලෙස දේවදූතයන් ඔවුන්ට අවවාද කළ බවත් පැහැදිලි කරමින්, උත්පත්ති 19:15–26 සාරාංශ කරන්න. ඔබ සහ ඔබේ දරුවන් 15–17, 26 පද එකට එක්ව කියවන විට, අද අපට නපුරෙන් “පලායාම” සහ “ආපසු නොබැලීම” (17 වෙනි පදය) යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් විමසන්න.

සොදොම් සහ ගොමෝරා පලා යන පිරිමි සහ ගැහැණු

ජුලියස් ස්කොනොර් වොන් කැරොල්ස්ෆෙල්ඩ් විසින්, Sodom [සොදොම්]

උත්පත්ති 22:1-14

ආබ්‍රහම් ස්වාමින්වහන්සේට කීකරු විය.

  • ආබ්‍රහම් සහ ඊසාක්ගේ සහ කුරුසියේ ඇණ ගැසීමේ පින්තූර භාවිතා කිරීමෙන් ඔබේ දරුවන්ට උත්පත්ති 22 හි කතාව ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය සමඟ සංසන්දනය කිරීමට උපකාරී වෙයි (බලන්න මතෙව් 27:26–37). ආබ්‍රහම් සහ ඊසාක් කතාව සහ කුරුසියේ ඇණ ගැසීමේ කතාව පිළිබඳ වාර්තාවලින් අපට ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙන ගත හැක්කේ මොනවාද?

    2:0

    Abraham and Isaac

  • ඔබේ දරුවන්ට උපදෙස් අනුගමනය කිරීමට අවශ්‍ය වන සරල ක්‍රීඩාවක් ගැන ඔබට සිතිය හැකිද? සමහරවිට එම මගපෙන්වීම මගින් ගැලවුම්කරුවාණන්ගේ සැඟවුණු පින්තූරයක් දෙසට ඔවුන්ව ගෙන යන්න පුළුවන්. අපට ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැවත ජීවත් විය හැකි වන පිණිස, ස්වර්ගීය පියාණන්වහන්සේ අපට ආඥා කර ඇති දේවල් ගැන සංවාදයක් ඇති කරගැනීමට මෙම ක්‍රීඩාව උපකාරයක් වෙන්න පුළුවන්. මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවද උපකාරයක් වෙන්න පුළුවන්.

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ලී කැබලි රැගෙන යන ඊසාක් දෙස බලා සිටින ආබ්‍රහම්

ජෙෆ් වොර්ඩ් විසින්, Abraham and Isaac [ආබ්‍රහම් සහ ඊසාක්]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: ආබ්‍රහම් ස්වාමින්වහන්සේට කීකරු විය