එන්න, මා අනුගමනය කරන්න
මාර්තු 2–8. “දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න”: උත්පත්ති 24–33


“මාර්තු 2–8. ‘දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න’,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“මාර්තු 2–8. ‘දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න’,” එන්න, මා අනුගමනය කරන්න: 2026

ඒසව් තම කුලුඳුල්කම ව්‍යාංජනයක් වෙනුවෙන් යාකොබ්ට විකුණුවේය

ග්ලෙන් එස්. හොප්කින්සන් විසින්, Esau Sells His Birthright [ඒසව් ඔහුගේ කුළුඳුල්කම විකුණයි] (විස්තර)

මාර්තු 2–8: “දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න”

උත්පත්ති 24-33

ඔබ දෙවියන්වහන්සේගෙන් ඔබ වෙනුවෙන් ආශිර්වාදයක් ලබාගන්නේ කෙසේද? ආබ්‍රහම් සහ සාරාගේ මුනුබුරා වන, යාකොබ්ගේ වාර්තාව එම ප්‍රශ්නයට පිළිතුර ඉගෙනගත් මිනිසෙකුගේ කතාවක් බව ඔබට කියන්න පුළුවන්. කුලුඳුල් පුතාට ජන්ම ආශිර්වාදයක් ලැබුණු සංස්කෘතියක, යාකොබ් ඔහුගේ නිවුන් සහෝදරයා වන ඒසව්ගේ විලුඹ අල්ලාගෙන උපත ලැබුවේ දෙවනුවයි. “යාකොබ්” යන නමේ තේරුම “ඉවත් කරන්නා”—වෙනත් කෙනෙකු වෙනුවට ආදේශ කරන්නා යන්නයි. ජන්ම ආශිර්වාදයේ උරුමක්කාරයා වීමට ඒසව් නුසුදුසු යැයි සිතමින්, ඒසව් වෙනුවට ආදේශකයක් වීමට යාකොබ් එක වරකට වඩා උත්සාහ කිරීමෙන්, ඔහු එම නමේ ආකාරයටම ජීවත් වුණා. (බලන්න උත්පත්ති 25:30–34; 26:34–35; 27:36). එහි ප්‍රතිඵලය ලෙස එම පවුල තුළ අසමගියක් ඇති වූ අතර, යාකොබ්ට තම ජීවිතය බේරා ගැනීමට පාළුකරයට පලා යාමට සිදු වුණා.

අවුරුදු ගාණකට පස්සේ, යාකොබ්ට ආපහු ගෙදර යන්න කියලා දෙවියන්වහන්සේ ආඥා කළා. අතරමගදී, යාකොබ් නිහතමානීව නැවතත් දෙවියන්වහන්සේගෙන් ආශිර්වාදයක් ඉල්ලා සිටියා. ශුද්ධලියවිලිවල මෙම කාලය විස්තර කරන්නේ යාකොබ්ගේ “පොරබැදීමක්” ලෙස වන අතර, “ඔබ මට ආශිර්වාද කළොත් මිස” ඔහු අත් නොහරින බව ඔහු ප්‍රකාශ කළා (උත්පත්ති 32:26). ඉන්පසු පාඩමත්—ආශිර්වාදයත් පැමිණියා. දෙවියන්වහන්සේ යාකොබ්ගේ නම ඉශ්‍රායෙල් ලෙස වෙනස් කළා—තවත් තේරුම් අතර එහි එක් තේරුමක් තමයි, “දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදීම.” දෙවියන්වහන්සේගේ වටිනාම ආශිර්වාද වන, උන්වහන්සේගේ ගිවිසුම් ආශිර්වාද ලබාගැනීමට වෙනත් කෙනෙකුව ආදේශ කිරීම අවශ්‍ය නොවන බව ඉශ්‍රායෙල් ඉගෙනගත්තා. ඔහු එම ආශිර්වාද මිලදී ගත්තේ හෝ අත්පත් කරගත්තේ හෝ දිනා ගත්තේ නෑ. ඉශ්‍රායෙල් යන නාමයට එකඟව ජීවත් වන සියල්ලන්ටම උන්වහන්සේ ඒවා නොමිලයේ ලබා දෙනවා.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

උත්පත්ති 24

දෙවියන්වහන්සේගේ සදාකාලික සැලැස්ම සඳහා ගිවිසුම් විවාහය අත්‍යවශ්‍ය වේ.

උත්පත්ති 24 කියවන අතරතුර, ආබ්‍රහම් තම පුත් ඊසාක්ගේ විවාහය එතරම් වැදගත් දෙයක් ලෙස සැලකුවේ මන්දැයි ඔබෙන්ම අසාගන්න. විවාහය දෙවියන්වහන්සේට වැදගත් වන්නේ ඇයි?

ශක්තිමත් විවාහයකට සහ පවුලකට දායක වන රෙබෙකා තුළ ඔබ දකින ගුණාංග මොනවාද? (විශේෂයෙන් බලන්න 15–28, 57–61 පද).

උත්පත්ති 25:29-34

මට තාවකාලික දේවල් වලට වඩා සදාකාලික දේවල් අගය කරන්න පුළුවන්.

ඊසාක් සහ රෙබෙකාගේ සංස්කෘතිය තුළ, වැඩිමහල් පුතාට කුලුඳුල්කම ලැබුණි, එයින් අදහස් වන්නේ, පවුල රැකබලා ගැනීම සඳහා විශාල වගකීම් සමගින් ලැබෙන විශාල උරුමයක් ගැනයි. ඔබ උත්පත්ති 25:29–34 කියවන විට, ආහාර වේලක් වෙනුවට තම කුලුඳුල්කම අත්හැරීමට ඒසව් කැමති වූයේ මන්දැයි සිතා බලන්න. මෙම වාර්තාවෙන් ඔබ ඔබ වෙනුවෙන් සොයා ගන්නා පාඩම් මොනවාද? ලැයිස්තු දෙකක් සෑදීම ඒ සඳහා උදව්වක් වෙන්න පුළුවන්: (1) දෙවියන්වහන්සේට ඔබට ලබා දීමට අවශ්‍ය සදාකාලික ආශිර්වාද සහ (2) ඔබගේ අවධානය වෙනතකට යොමු කළ හැකි ලෞකික දේවල්. ඉන්පසු ඔබට, “කුළුඳුල්කම” වෙනුවට පළමු ලැයිස්තුවෙන් යමක් සහ “ව්‍යාංජනයක්” වැනි දෙවන ලැයිස්තුවෙන් යමක් ආදේශ කරගෙන, එම ඡේදය නැවත කියවන්න පුළුවන්. ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සේගේ ශුභාරංචියේ සදාකාලික ආශිර්වාද කෙරෙහි ඔබ අවධානය යොමු කරන්නේ කෙසේද?

තවත් බලන්න මතෙව් 6:19–33; එම්. රසල් බැලර්ඩ්, “වඩාත්ම වැදගත් දේ මතක තබාගන්න,” ලියහෝනා, මැයි 2023, 105–7.

බෙතෙල් හි යාකොබ්

ජේම්ස් ස්මෙතම් විසින්, Jacob at Bethel [බෙතෙල් හි යාකොබ්]

උත්පත්ති 28

සෙමනේරි නිරූපකය
ස්වාමින්වහන්සේගේ ගෘහයේ ගිවිසුම් දෙවියන්වහන්සේගේ බලය මගේ ජීවිතයට ගෙන එයි.

ගල් සහිත කොට්ටයක් මත නිදා සිටියදී, යාකොබ් ජීවිතය වෙනස් කරන ආකාරයේ සිහිනයක් දුටුවා. එය කෙතරම් පරිශුද්ධ අත්දැකීමක්ද කියනවා නම්, යාකොබ් එම ස්ථානයට බෙතෙල් නැතිනම් “දෙවියන්වහන්සේගේ ගෘහය” ලෙස නම් කළේ, “ඒකාන්තයෙන්ම ස්වාමින්වහන්සේ මෙතැන සිටිනසේක” කියා ප්‍රකාශ කරමිනුයි (උත්පත්ති 28:16).

ඔබ උත්පත්ති 28 කියවන විට, මෙම අත්දැකීම යාකොබ්ට මෙතරම් පරිශුද්ධ වීමට හේතුව කුමක්දැයි ඔබට ඔබෙන්ම අසාගන්න පුළුවන්. ඒ වෙලාවේ ඔහු මුහුණ දෙමින් සිටි දේ කුමක්ද? ඔහුට කෙසේ හැඟෙන්න ඇද්ද? ඔබට ස්වාමින්වහන්සේගේ ගෘහය මතක් කරන 10–22 පදවල ඇති වචන සහ වාක්‍ය ඛණ්ඩද ඔබට සොයන්න පුළුවන්. දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ ගෘහය සහ උන්වහන්සේගේ ගිවිසුම් ගැන ඔබට ලැබුණු හැඟීම් මොනවාද?

මෙම දළ සටහන අවසානයේ යාකොබ්ගේ සිහිනය නිරූපණය කරන චිත්‍රයක් තිබෙනවා; ඔබ කියවන විට ඔබට ඒ දෙසට යොමුවෙන්න පුළුවන්. ඔබ ඔහුගේ සිහිනය පිළිබඳ ඔබේම කලාත්මක නිරූපණයක් නිර්මාණය කරන්නේ නම්, ඔබ කරන්නේ කුමක්ද? ඔබ නිරූපණය කිරීමට උත්සාහ කරන එම කතාවේ ඇති සත්‍යයන් මොනවාද?

දෙවියන්වහන්සේට සමීප වීමට දේවමාළිගාව ඔබට උදව් කරන්නේ කොහොමද? සභාපති රසල් එම්. නෙල්සන්ගේ “දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම” (ලියහෝනා, 2021 නොවැ. 93–96) යන පණිවිඩය තුළ මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම ගැන සලකා බලන්න. ප්‍රධාන අත්පොත, 27.2 (ශුභාරංචි පුස්තකාලය) තුළ ස්වාමින්වහන්සේගේ ගෘහයේ ගිවිසුම් සහ ආශිර්වාද ගැන සමාලෝචනය කිරීමටත් ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. මෙම ගිවිසුම් තබාගැනීම ඔබගේ ජීවිතයට දෙවියන්වහන්සේගේ බලය ගෙන එන්නේ කෙසේද?

නිර්මාණශීලී වන්න. ශුද්ධලියවිලි කියවීමට අමතරව ඒවායින් ඉගෙන ගැනීමට බොහෝ ක්‍රම තිබෙනවා. සමහර අය මෙම වාර්තා වල චිත්‍ර ඇඳීමෙන් ඔවුන් මෙම ශුද්ධලියවිලි වඩාත් හොඳින් තේරුම් ගන්නා බව සොයාගන්නවා. තවත් සමහරු ශුද්ධලියවිලිවලට සම්බන්ධ පූජනීය සංගීතයෙන් අධ්‍යාත්මික අවබෝධය සොයාගන්නවා. ඉගෙනීමේ එක් මාර්ගයකට ඔබව සීමා කරගන්න එපා; විවිධ ප්‍රවේශයන් උත්සාහ කිරීමට විවෘත වන්න.

උත්පත්ති 29:31–35; 30:1–24

මාගේ පරීක්ෂාවලදී ස්වාමින්වහන්සේ මා සිහිකරන සේක.

ඔබ උත්පත්ති 29:31–35 සහ 30:1–24 කියවන විට, රාඛෙල් සහ ලෙයාට දෙවියන්වහන්සේගේ දයාව විස්තර කරන වචන සොයන්න. දෙවියන්වහන්සේ “[ඔබේ] දුක දෙස බලා” ඔබව “සිහිකර” ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න (උත්පත්ති 29:32; 30:22).

උත්පත්ති 32-33

ගැලවුම්කරුවාණන්ට මගේ පවුල සුව කළ හැකිය.

යාකොබ් නැවත කානාන් දේශයට යද්දී, ඔහුගේ සහෝදරයා වූ ඒසව් තමාව පිළිගන්නේ කෙසේද යන්න ගැන ඔහු “අතිශයින්ම භයපත්ව කැලඹුණේය” (උත්පත්ති 32:7). ඔබ උත්පත්ති 32–33 කියවන විට, ඔබේම පවුල් සබඳතා ගැන—සමහරවිට විශේෂයෙන්ම සුවයක් අවශ්‍ය සබඳතාවය ගැන මෙනෙහි කරන්න. සමහර විට මෙම කතාව, යමෙකු වෙත ළඟා වීමට ඔබව පොළඹවන්න පුළුවන්. පහත සඳහන් ප්‍රශ්න ඔබේ කියවීමට මගපෙන්වීමක් විය හැකියි:

  • ඒසව්ව හමුවීමට යාකොබ් සූදානම් වූයේ කෙසේද?

  • උත්පත්ති 32:9–12 තුළ දක්නට ලැබෙන යාකොබ්ගේ යාච්ඤාව ගැන ඔබට කැපී පෙනෙන්නේ මොනවාද?

  • සමාව දීම ගැන ඒසව්ගේ ආදර්ශයෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

  • පවුල් සබඳතා සුවපත් කරගැනීමට ගැලවුම්කරුවාණන් අපට උපකාර කරන්නේ කෙසේද?

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

උත්පත්ති 24:10–21

මට අන් අයට කරුණාවන්ත විය හැකිය.

  • රෙබෙකාගේ කරුණාවන්ත ආදර්ශය ඉස්මතු කිරීමට, ඔබ උත්පත්ති 24:10–21 තුළ ඇති කතාව සාරාංශ කරන විට, පහත පින්තූරය හෝ මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව ඔබේ දරුවන්ට පෙන්වන්න පුළුවන්. ඔබේ දරුවන් මෙම කතාව රඟපාමින් සතුටු වෙයි. මෙය ඔබ සහ ඔබේ දරුවන් දැක ඇති කරුණාවන්ත ක්‍රියා පිළිබඳ සංවාදයකට තුඩු දෙන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට “කරුණාව” (හෝ ඒ හා සමාන වචනයක්) යන වචනයට ඇහුම්කන් දී එය ඇසෙන විට නැගිටින්න පුළුවන්. අපිට රෙබෙකා වගේ කරුණාවන්ත වෙන්න පුළුවන් කොහොමද?

රෙබෙකාගේ පින්තූරය

ඩිලීන් මාෂ් විසින්, Old Testament Heroes [පරණ ගිවිසුමේ වීරයන්] (විස්තර)

උත්පත්ති 25:21-34

ලෞකික දේවලට වඩා සදාකාලික දේ වැදගත් ය.

  • තම කුලුඳුල්කම ව්‍යාංජනයක් සඳහා වෙළඳාම් කළ යුතුදැයි කියා ඒසව් ඔබේ දරුවන්ගෙන් උපදෙස් ඉල්ලා සිටි බව ඔබේ දරුවන්ට සිතාගන්න පුළුවන්. ඔවුන් ඔහුට කුමක් කියයිද?

    2:5

    Jacob and Esau

  • ඔබට සහ ඔබේ දරුවන්ට සදාකාලිකව වැදගත් වන දේවල් මොනවාද? සමහරවිට ඔබේ දරුවන්ට මේ දේවල් නියෝජනය කරන පින්තූර හෝ භාණ්ඩ සොයාගන්න පුළුවන්. මේ දේවල් අපට වැදගත් බව අපිට ස්වාමින්වහන්සේට පෙන්විය හැක්කේ කෙසේද?

උත්පත්ති 28:10-22

ස්වර්ගීය පියාණන්වහන්සේ වෙත ආපසු යාමට ගිවිසුම් මට උපකාර කරයි.

  • ඔබ එකට එකතු වී උත්පත්ති 28:10–22 කියවන විට, අපගේ ගිවිසුම් ඉණිමඟක් මෙන් වන ආකාරය ගැන කතා කිරීමට, ඔබට ඉණිමඟක් හෝ පඩිපෙළක් (හෝ මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය වැනි පින්තූරයක්) භාවිතා කරන්න පුළුවන්. සමහරවිට ඔබේ දරුවන්ට ඉණිමඟක් නඟින බව මවාපාමින්, සෑම පියවරකදීම, අපි බව්තීස්ම වන විට, සක්‍රමේන්තුව ලබාගන්නා විට හෝ දේවමාළිගාවට යන විට දෙවියන්වහන්සේට කීකරු වීමට පොරොන්දු වන අවස්ථා ගැන කතා කරන්න පුළුවන්. අපගේ ගිවිසුම් අපව දෙවියන්වහන්සේට සමීප කරන්නේ කෙසේද?

උත්පත්ති 32:6–11; 33:1–4

මගේ පවුලට ආදරය කිරීමට ස්වර්ගීය පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මට උදව් කරන්න පුළුවන්.

  • මෙම පද හඳුන්වා දීම සඳහා, වසර ගණනාවක දුෂ්කර හැඟීම්වලින් පසු, යාකොබ් නැවතත් ඒසව්ව හමුවීමට යන බව ඔබට පැහැදිලි කරන්න පුළුවන්. එකට එක් වී උත්පත්ති 32:6–11 කියවන්න. යාකොබ්ට දැනුණේ කෙසේද? උපකාර ලබාගැනීමට ඔහු කළේ කුමක්ද? ස්වාමින්වහන්සේ යාකොබ්ගේ යාච්ඤාවට පිළිතුරු දුන් ආකාරය සොයා ගැනීමට එකට එක් වී උත්පත්ති 33:1–4 කියවන්න. යාකොබ්ට සහ ඒසව්ට අද අපිත් එක්ක කතා කරන්න පුළුවන් නම්, අපේ පවුල තුළ වාද විවාද ඇති වූ විට අපට උපකාර කිරීමට ඔවුන් කුමක් කියයිද?

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

යාකොබ් ඉණිමඟක් සහ දේවදූතයන් ස්වර්ගයෙන් බැස යන ආකාරය ගැන සිහින දකියි

ජේ. කෙන් ස්පෙන්සර් විසින්, Jacob’s Dream [යාකොබ්ගේ සිහිනය]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: මට අන් අයට කරුණාවන්ත වෙන්න පුළුවන්