“මාර්තු 30–අප්‍රියෙල් 5. ‘උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූ සේක’: පාස්කුව,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“මාර්තු 30–අප්‍රියෙල් 5. ‘උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූ සේක,’” එන්න, මා අනුගමනය කරන්න 2026
හිස් සොහොන් ගෙය පිළිබඳ නිදර්ශනය
මාර්තු 30–අප්‍රියෙල් 5: “උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූ සේක”
පාස්කු ඉරිදා
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය “මුළු මිනිස් ඉතිහාසයේම කේන්ද්‍රයයි” (“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය,” ශුභාරංචි පුස්තකාලය). එයින් අදහස් කරන්නේ කුමක්ද? අර්ධ වශයෙන්, එයින් අදහස් කරන්නේ ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය මෙතෙක් ජීවත් වූ හෝ ජීවත් වන සෑම කෙනෙකුගේම සදාකාලික ඉරණමට බලපෑම් කරන බවයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැඟිටීම, එම පළමු පාස්කු ඉරිදා, ඉතිහාසය පුරා දෙවියන්වහන්සේගේ සියලුම මිනිසුන්ව සම්බන්ධ කරන බව ඔබට පවසන්න පුළුවන්: උන්වහන්සේගේ මරණයෙන් නැවත නැඟිටීමට පෙර උපන් අය ඇදහිල්ලෙන් ඒ දෙස බලා සිටියා (බලන්න යාකොබ් 4:4), ඒවගේම ඉන් පසුව උපන් අය ඇදහිල්ලෙන් ඒ දෙස ආපසු හැරී බලනවා. අපි පරණ ගිවිසුමේ වාර්තා සහ අනාවැකි කියවන විට, අපි කිසි විටෙකත් යේසුස් ක්‍රිස්තුස් යන නාමය දකින්නේ නෑ, නමුත් පුරාණ ඇදහිලිවන්තයන් ඔවුන්ගේ මෙසියස්වහන්සේ සහ මිදුම්කරුවාණන් කෙරෙහි තැබූ ඇදහිල්ල හා ආශාව ගැන සාක්ෂි අපි දකිනවා. එබැවින් උන්වහන්සේව මතක තබාගැනීමට ආරාධනා ලැබූ අපට උන්වහන්සේ එනතුරු බලා සිටි අය සමඟ සම්බන්ධයක් දැනෙන්න පුළුවන්. මක්නිසාද සත්‍ය වශයෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “අප සැමගේ අයුතුකම” දරා ඇත (යෙසායා 53:6; අවධාරණය කිරීම් එකතු කර ඇත), සහ “ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවමාන කරනු ලබන්නේය” (1 කොරින්ති 15:22; අවධාරණය කිරීම් එකතු කර ඇත).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
පැරණි හා නූතන අනාගතවක්තෘවරුන් ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය ගැන සාක්ෂි දරයි.
පරණ ගිවිසුමේ බොහෝ ඡේදවල ගැලවුම්කරුවාණන්ගේ දේවසේවය සහ වන්දිගෙවීමේ පරිත්‍යාගය ගැන පෙන්වා දෙනවා. පහත වගුවේ ඒ ඡේද කිහිපයක් ලැයිස්තුගත කර තිබෙනවා. ඔබ මෙම පද කියවන විට, ගැලවුම්කරුවාණන් ගැන ඔබට ඇතිවන හැඟීම් මොනවාද?
|
පරණ ගිවිසුම |
අලුත් ගිවිසුම |
|---|---|
පරණ ගිවිසුම සෙකරියා 9:9 | අලුත් ගිවිසුම මතෙව් 21:1-11 |
පරණ ගිවිසුම සෙකරියා 11:12–13 | අලුත් ගිවිසුම මතෙව් 26:14–16; 27:3–8 |
පරණ ගිවිසුම යෙසායා 53:4 | අලුත් ගිවිසුම මතෙව් 8:16–17; 26:36–39 |
පරණ ගිවිසුම යෙසායා 53:7 | අලුත් ගිවිසුම මාර්ක් 14:60–61 |
පරණ ගිවිසුම ගීතාවලිය 22:16 | අලුත් ගිවිසුම යොහාන් 19:17–18; 20:25–27 |
පරණ ගිවිසුම ගීතාවලිය 22:18 | අලුත් ගිවිසුම මතෙව් 27:35 |
පරණ ගිවිසුම ගීතාවලිය 69:21 | අලුත් ගිවිසුම මතෙව් 27:34, 48 |
පරණ ගිවිසුම ගීතාවලිය 118:22 | අලුත් ගිවිසුම මතෙව් 21:42 |
පරණ ගිවිසුම යෙසායා 53:9, 12 | අලුත් ගිවිසුම මතෙව් 27:57-60; මාර්ක් 15:27–28 |
පරණ ගිවිසුම යෙසායා 25:8 | අලුත් ගිවිසුම මාර්ක් 16:1–6; ලූක් 24:6 |
පරණ ගිවිසුම දානියෙල් 12:2 | අලුත් ගිවිසුම මතෙව් 27:52–53 |
ගැලවුම්කරුවාණන් ගැන උගන්වන අනාවැකි මොර්මොන්ගේ පොතේ ඊටත් වඩා වැඩියි සහ පැහැදිලියි. මෙවැනි ඡේදවලින් ඔබේ ඇදහිල්ල ශක්තිමත් වන ආකාරය ගැන සලකා බලන්න: 1 නෙපී 11:31–33; 2 නෙපී 25:13; මොසායා 3:2–11; ඇල්මා 7:10–13.
පසුදවස්වල අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ මෙහෙයුම පිළිබඳව විශේෂ සාක්ෂි දරනවා. ඔබ මෙම පාස්කු සති අන්තයේ ප්‍රධාන සම්මන්ත්‍රණයට සවන් දෙන විට, ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබට ඇසෙන සාක්ෂි සටහන් කරගන්න. ඒවා උන්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ මොනවාද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට සාමය හා ප්‍රීතිය ලබාදෙන සේක.
පාස්කු උත්සවය ප්‍රීතිමත් කාලයකි, මන්ද එය ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැගිටීම සැමරීමට කාලයකි. එහෙත්, පාස්කු උත්සවය අතරතුර පවා, විවිධ හේතු නිසා සතුටක් දැනෙන්නේ නැති බොහෝ අය ඉන්නවා. මෙම පාස්කු ඉරිදා ගැලවුම්කරුවාණන්ගේ සාමය සහ ප්‍රීතිය පැතිර වීමට ඔබට කළ හැකි දේවල් මොනවාද?
එක් අදහසක් තමයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිරිනමන සාමය සහ ප්‍රීතිය ගැන පණිවිඩ ශුද්ධලියවිලි තුළ සොයාගැනීම: ගීතාවලිය 16:8–11; 30:2–5; යෙසායා 12; 25:8–9; 40:28–31; යොහන් 14:27; 16:33; ඇල්මා 26:11–22. ඔබට මෙම පණිවිඩ අන් අය සමඟ බෙදාගත හැකි ආකාරය ගැන සලකා බලන්න. උදාහරණයක් ලෙස, සමහර විට ඔබට මෙම පණිවිඩ මත පදනම්ව, බෙදාගැනීමට පාස්කු කාඩ්පත් සාදන්න පුළුවන්. ඔබගේ පාස්කු සුබපැතුම් ලැබිය යුත්තේ කවුරුන්ද යන්න ගැන යාච්ඤා කරන්න. ඔබේ පණිවිඩ බොහෝ දෙනෙකුට දැකිය හැකි පරිදි ඒවා සමාජ මාධ්‍යවල බෙදාගැනීමටද ඔබ තීරණය කරන්න පුළුවන්.
තවත් බලන්න ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්, “ලෝකය ලබාදෙන ආකාරයට නොවේ,” ලියහෝනා, මැයි 2021, 35–38; මාර්ක් එස්. පාමර්, “අපගේ ශෝකය ප්‍රීතියට හැරෙනු ඇත,” ලියහෝනා, මැයි 2021, 88–90.
සයිමන් ඩුවී විසින්, Why Weepest Thou [ඔබ වැළපෙන්නේ මන්ද] (විස්තර)
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා, පාපය, මරණය, පරීක්ෂාවන් සහ දුර්වලකම් ජයගැනීමට මට උපකාර කිරීමට උන්වහන්සේට බලය ඇත.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ලැබෙන බොහෝ ආශිර්වාද දැකීමට ඔබට උපකාර කළ හැකි ක්‍රියාකාරකමක් මෙන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ජයගැනීමට උපකාර කරන දේවල් ගැන කියවෙන පහත ශුද්ධලියවිලි පද කියවන්න. මෙම කාණ්ඩ වලට ඒ ඡේද වර්ග කිරීමට උත්සාහ කරන්න: පාපය, මරණය, පරීක්ෂාවන් සහ දුර්වලතා (සමහර ඡේද මේ කාණ්ඩ එකකට වඩා වැඩි ගණනකට ගැලපේ). ඔබ කියවන විට, ගැලවුම්කරුවාණන්ගේ බලය ගැන ඔබට ඇතිවන හැඟීම් මොනවාද?
-
යෙසායා 61:1–3
-
එසකියෙල් 36:26–28
-
මතෙව් 11:28–30
-
ලූක් 1:46–55
-
රෝම 8:35–39
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට වැදගත් වන්නේ මන්දැයි කිතුනුවකු නොවන මිතුරෙකුට ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? වැඩිහිටි අහමඩ් එස්. කෝබිට්ගේ “කිතුනුවකු ලෙස මා ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්නේ මන්දැයි ඔබ දන්නවාද?” යන පණිවිඩය (ලියහෝනා, මැයි 2023, 119–21) ඒ සඳහා උපකාරයක් වෙන්න පුළුවන්.
තවත් බලන්න රෙයිනා අයි. අබුර්තෝ, “සොහොන් වළට ජයග්‍රහණයක් නැත,” ලියහෝනා, මැයි 2021, 85–87.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ ගැලවීම සඳහා අවසාන මිල ගෙවා ඇත.
ඔබගේ ගැලවීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙවූ මිල ගැන පහත සඳහන් පදවලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද: යෙසායා 53:3–5; මොසායා 3:7; දහම සහ ගිවිසුම් 19:16–19? ස්වර්ගීය පියාණන්වහන්සේ ගෙවූ මිල කුමක්ද? (බලන්න යොහන් 3:16).
තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් දුක් විඳ මිය ගිය සේක.
-
ගැලවුම්කරුවාණන් ගෙත්සෙමනේදී සහ කුරුසියේදී අප වෙනුවෙන් කළ දේ ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමට පාස්කු සතිය හොඳ කාලයකි. ඔබට පහත පින්තූර පෙන්වීමෙන් සහ පින්තූරවල සිදුවන දේ ගැන කතා කිරීමට ඉඩ දීමෙන් එය ආරම්භ කරන්න පුළුවන්. ඔබේ දරුවන් පින්තූර දෙස බලා සිටින අතරතුර, ඔබට මෙම සිදුවීම් විස්තර කරන පද කියවන්න පුළුවන් (බලන්න මතෙව් 26:36–46; 27:35–50; ලූක් 22:39–46; යොහන් 19:16–30). ඔබේ දරුවන්ට මෙම පදවල ඇසෙන විස්තර පින්තූර තුළ පෙන්වන්න පුළුවන්.
වම් පැත්තේ: හැරී ඇන්ඩර්සන් විසින්, Christ in Gethsemane [ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනෙහි] දකුණු පැත්තේ: හැරී ඇන්ඩර්සන් විසින්, The Crucifixion [කුරුසපත් වීම]
-
යේසුස්වහන්සේ අප වෙනුවෙන් කළ පරිත්‍යාගය නිසා අපි ආශිර්වාද ලබන්නේ කෙසේද? යෙසායා 53:4–12; ඇල්මා 7:11–13; සහ දහම සහ ගිවිසුම් 19:16–19 තුළ මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයන වචන සහ වාක්‍ය ඛණ්ඩ සෙවීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. මෙම ශුද්ධලියවිලි පද කියවීමෙන් පසු ගැලවුම්කරුවාණන් ගැන ඔබට හැඟෙන ආකාරය එකිනෙකා සමඟ බෙදාගන්න.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් මරණයෙන් නැවත නැගිටි සේක.
-
ඔබේ දරුවන්ට මරණයෙන් නැවත නැගිටීමේ කතාව පැවසීමට ඔබට මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව හෝ මෙම දළ සටහනේ ඇති වෙනත් පින්තූර භාවිතා කරන්න පුළුවන්. ඉන්පසු ඔබේ දරුවන්ට ඒ කතාව ඔබට නැවත කියන්නට ඉඩ දෙන්න.
-
මෙම පාස්කු ඉරිදා ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිය සොයා ගැනීමට ඔබ ඔබේ දරුවන්ට උපකාර කරන්නේ කෙසේදැයි සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, ඔබට එකට එකතු වී කැමතිම පාස්කු ගීතිකාවක් ගායනා කරන්න පුළුවන්. ඔබ මෙම ගීතවලට කැමති ඇයි සහ ඔබ ඒවා ගායනා කරන විට ඔබට හැඟෙන ආකාරය ඔබට සහ ඔබේ දරුවන්ට එකිනෙකා සමඟ බෙදාගන්න පුළුවන්. ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මෙම ගීත අපට උගන්වන්නේ මොනවාද?
දරුවන්ට ආත්මයාණන්වහන්සේව දැනිය හැකි නමුත් උන්වහන්සේගේ බලපෑම හඳුනා ගැනීමට උපකාර අවශ්‍ය වෙන්න පුළුවන්. “ආත්මයාණන්වහන්සේ අප සමඟ සන්නිවේදනය කරන විවිධ ආකාර ගැන දරුවන්ට උගන්වන්න. උන්වහන්සේ ඔවුන්ට කතා කරන විට උන්වහන්සේගේ හඬ හඳුනාගැනීමට ඔවුන්ට උපකාර කරන්න. මෙය ඔවුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පුද්ගලික එළිදරව් සෙවීමේ සහ ඒවා අනුව ක්‍රියා කිරීමේ පුරුද්දක් වර්ධනය කරගැනීමට උපකාරී වේ” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 32). උදාහරණයක් වශයෙන්, ඔබ ඔබේ දරුවන් සමඟ ගැලවුම්කරුවාණන් ගැන ගීත ගායනා කරන විට, උන්වහන්සේගේ පින්තූර දෙස බලන විට හෝ උන්වහන්සේ ගැන කථා කියවන විට, ඔබ තුළ ඇති ආධ්‍යාත්මික හැඟීම් එකිනෙකා සමඟ බෙදාගන්න.
අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ වන්දිගෙවීම ගැන සාක්ෂි දරති.
-
මෙම පාස්කු සති අන්තයේ ඔබ සහ ඔබේ දරුවන් එක්ව ප්‍රධාන සම්මන්ත්‍රණය නරඹන විට, ගැලවුම්කරුවාණන්ගේ මෙම විශේෂ සාක්ෂිකරුවන් මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ සාක්ෂි දරන විට ඒවා හඳුනාගැනීමට ඔවුන්ට උදව් කරන්න. සමහර විට ඔබට එයින් ක්‍රීඩාවක් නිර්මාණය කරන්න පුළුවන්—පාස්කු ඉරිදා හෝ වන්දිගෙවීම හෝ මරණයෙන් නැවත නැගිටීම වැනි වචන ඔවුන්ට ඇසෙන සෑම අවස්ථාවකම නැගී සිටීමට ඔවුන්ට ආරාධනා කරන්න. ගැලවුම්කරුවාණන්ගේ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂි සඳහා ඔබ කෘතඥ වන්නේ මන්දැයි එකිනෙකා සමඟ බෙදාගන්න.
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.