Doctrine and Covenants 2025
නැවත පිහිටුවීමේ හඬවල්: ලිබර්ටි බන්ධනාගාරය


“නැවත පිහිටුවීමේ හඬවල්: ලිබර්ටි බන්ධනාගාරය,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“ලිබර්ටි බන්ධනාගාරය,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

නැවත පිහිටුවීමේ හඬවල් නිරූපකය

නැවත පිහිටුවීමේ හඬවල්

ලිබර්ටි බන්ධනාගාරය

ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් ප්‍රාන්තයෙන් පලවා හරින ලද පසුදවස්වල ශුද්ධවන්තයින්ගේ අනතුරුදායක තත්වය පිළිබඳව දන්වමින්, මිසුරි, ලිබර්ටි හි සිරගතව සිටියදී, ජෝසෆ් ස්මිත්ට ලිපි ලැබුණා. ඔහුගේ බිරිඳ එමාගෙන් සංවේදී ලිපියක් ආවා. ඇගේ වචන, සහ ප්‍රතිචාර වශයෙන් ජෝසෆ් ලියූ ලිපි, සභා ඉතිහාසයේ මෙම දුෂ්කර කාලය තුළ ඔවුන්ගේ දුක් වේදනා සහ ඔවුන්ගේ ඇදහිල්ල යන දෙකම ප්‍රකාශ කරනවා.

ලිබර්ටි බන්ධනාගාරය

ජෝසෆ් ස්මිත්ව සහ තවත් අයව, 1838–39 ශීත ඍතුවේ දී මෙම සිරගෙදර රඳවා තබාගෙන තිබුණා.

1839 මාර්තු 7 එමා ස්මිත් වෙතින් ජෝසෆ් ස්මිත් වෙත ලියූ ලිපිය

ආදරණීය ස්වාමිපුරුෂයා වෙත

මිතුරෙකු විසින් එවීමට අවස්ථාවක් ලැබීමෙන්, මම ලිවීමට උත්සාහ කරමි, නමුත් මම මගේ හැඟීම් සම්පූර්ණයෙන්ම ලිවීමට උත්සාහ නොකරමි, ඔබ සිටින තත්වය නිසා, බිත්ති, යකඩ පොලු සහ ඇණ, ගලායන ගංගා, විහිදෙන දිය පහර, උස කඳු, ගිලෙන නිම්න සහ පැතිරී ඇති තණබිම් අපව වෙන් කර තිබෙනවා, ඒවගේම ඔබව මුලින්ම සිරගත කළ සහ තවමත් ඔබව එහි රඳවා තබා ඇති කුරිරු අසාධාරණය, සහ බොහෝ සලකා බැලීම් ගැන, මට මගේ හැඟීම් විස්තර කළ නොහැකි තරම්.

සවිඥානික නිර්දෝෂීභාවය සහ දිව්‍යමය දයාවේ සෘජු මැදිහත්වීම නොවේ නම්, මා පසුකර ගිය දුක් වේදනා විඳදරාගැනීමට මට කිසි විටෙකත් නොහැකි විය හැකි බව මට විශ්වාසයි …; නමුත් මම තවමත් ජීවත් වන අතර ඔබ වෙනුවෙන් මා කළ යුතු කරුණාවන්ත ස්වර්ගයේ කැමැත්ත එය නම් ඊටත් වඩා දුක් විඳීමට මම කැමත්තෙන් සිටිනවා.

හොඳටම අසනීප වී සිටින ෆ්‍රෙඩ්‍රික් හැරුණු කොට, දැනට අපි හැමෝම හොඳින් ඉන්නවා.

දැන් මගේ තුරුලේ සිටින කුඩා ඇලෙක්සැන්ඩර් ඔබේ ජීවිතයේ ඔබ දුටු හොඳම කුඩා මිතුරන්ගෙන් කෙනෙක් වෙයි. ඔහු කොතරම් ශක්තිමත්ද කියනවා නම්, පුටුවක ආධාරයෙන් ඔහු කාමරය පුරා දුවනවා. …

මම අපේ නිවසයි, නිවහනයි, අපේ පුංචි දරුවෝ ඇරෙන්න අපි සන්තකයේ තියෙන හැම දෙයක්ම වගේ දාලා, ඒවගේම ඒ තනිකමෙන් පිරුණු හිරගෙදර ඔයාව තනි කරලා, මිසුරි ප්‍රාන්තයෙන් ඉවතට මම මේ ගමන යද්දි, මගේ මනසෙ තිබුණු දේවල්, ඒ වගේම මගේ හදවතේ තිබුණු හැඟීම් දෙවියන්වහන්සේ ඇර වෙන කවුරුත්ම දන්නෙ නෑ. නමුත් ඒ හැඟීම් මනුස්ස හිතකට දරාගන්න බැරි තරම් බරයි. …

… අපිට ඉදිරියට හොඳ දවස් පැමිණෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. … මම ආදරණීය ලෙස සැමදා ඔබේමයි.

එමා ස්මිත්

1839 අප්‍රියෙල් 4, ජෝසෆ් ස්මිත් විසින් එමා ස්මිත් වෙත එවූ ලිපිය

ආදරණීය—සහ ප්‍රියාදර—බිරිඳ වෙත.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉර බැස යන විට, මම මේ හුදකලා හිරගෙදර දොරකඩෙන් එළිය බලා සිටියා, මගේ තත්වය ඔබට දැන්වීම පිණිස, ඔබට ලියන්නට මම වාඩි වුණා. රාත්‍රියේත් දවාලේත් ඔරවාගෙන සිටින මුරකරුවෙකුගේ බැල්මේ, මේ බිත්ති, යකඩ කූරු සහ මෙම පාලු වූ, අඳුරු වූ, අපිරිසිඳු හිරගෙදර යකඩ දොරවල් අතර, මම දැන් මාස පහක් සහ දවස් තුනක් පමණ තිස්සේ සිටින බව මට විශ්වාසයි. මම මේ ලිපිය ලියන්නේ දෙවියන්වහන්සේ පමණක් දන්නා හැඟීම් සමඟයි. මෙම තත්වයන් යටතේ මනසේ ඇති හැඟිම් සහ සිතුවිලි, මෙය විඳ නැති කෙනෙකුට විස්තර කරන්නට කිසිඳු, පෑනකට, දිවකට, දේවදූතයන්ට, විස්තර කිරීමකට, හෝ චිත්‍රයකට බැහැ. … අපගේ ගැලවීම සඳහා අපි වෙන කිසිවෙකුගේ නොව, නමුත් යෙහෝවාවහන්සේගේ හස්තය මත රඳා සිටිමු, නමුත් උන්වහන්සේ එය නොකරන්නේ නම්, එය සිදු වෙන්නේ නෑ, ඔබට මට එය සහතික වෙන්න පුළුවන්, මන්ද මෙම තත්වය තුළ අපගේ රුධිරය සඳහා දැඩි පිපාසයක් තිබෙනවා; ඒ අපි කිසිම දෙයකට වැරදිකරුවන් නිසා නොවේ. … මගේ ආදරණීය එමා, මම ඔබ සහ දරුවන් ගැන නොකඩවා සිතමින් ඉන්නවා. … මට කුඩා ෆෙඩ්රික්, ජෝසෆ්, ජූලියා, ඇලෙක්සැන්ඩර්, ජොආනා සහ පැරණි මේජර් [පවුලේ බල්ලා] දැකීමට අවශ්‍යයි. … මම මෙතැන් සිට පාවහන් නොමැතිව, හිස් ආවරණයක් නැතිව, සහ අඩ නිරුවතින්, ඔබව දැකීමට ඔබ වෙතට සතුටින් ඇවිදගෙන එනවා, සහ එය මහත් සතුටක්, එය කිසි විටෙකත් වෙහෙසක් නොවෙයි. … මාගේ සියලු පීඩා මම ධෛර්යයෙන් දරාගන්නවා, මා සමඟ සිටින අයද එසේමයි. අපේ එක්කෙනෙක්වත් තාම ගැස්සිලා නෑ. මගේ දරුවන්ට මාව අමතක කිරීමට ඉඩ තියන්න එපා. ඔවුන්ගේ පියා ඔවුන්ට පරිපූර්ණ ආදරයකින් ආදරය කරන බවත්, ඔවුන් වෙත පැමිණීමට මැර කල්ලියෙන් මිදීමට ඔහු හැකි සෑම දෙයක්ම කරන බවත් ඔවුන්ට කියන්න. … ඔවුන් හොඳ දරුවන් විය යුතු බවත්, ඔවුන්ගේ මව කියන දේ ඇසිය යුතු බවත් ඔවුන්ගේ පියා පැවසූ බව ඔවුන්ට කියන්න. …

ඔබගේම,

ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ

සටහන්

  1. Letter from Emma Smith, 7 March 1839,” Letterbook 2, 37, josephsmithpapers.org; spelling, punctuation, and grammar standardized.

  2. Letter to Emma Smith, 4 April 1839,” 1–3, josephsmithpapers.org; spelling, punctuation, and grammar standardized.

  3. ජෝසෆ්ව සහ ඔහුගේ සගයන්ව, 1838 ඔක්තෝම්බර් 31 වන දින අත්අඩංගුවට ගෙන දිවා රෑ දැඩි ආරක්ෂාවක් යටතේ තබා ඇත. මිසුරි, රිච්මන්ඩ් හි මූලික නඩු විභාගයකින් පසු, ඔවුන්ව දෙසැම්බර් 1 වන දින ලිබර්ටි බන්ධනාගාරයට ගෙන යන ලදි.