Doctrine and Covenants 2025
ඔක්තෝම්බර් 6–12: “මම නුඹලාගේ යහපත උදෙසා සියලු දේවල් පිළියෙල කරන්නෙමි”: දහම සහ ගිවිසුම් 111–114


“ඔක්තෝම්බර් 6–12: ‘මම නුඹලාගේ යහපත උදෙසා සියලු දේවල් පිළියෙල කරන්නෙමි’: දහම සහ ගිවිසුම් 111–114,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 111–114,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ජෝසෆ් ස්මිත් කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ උගන්වමින්

ඔක්තෝම්බර් 6–12: “මම නුඹලාගේ යහපත උදෙසා සියලු දේවල් පිළියෙල කරන්නෙමි”

දහම සහ ගිවිසුම් 111–114

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල ගැන, ඔබට ආත්ම-විශ්වාසයක් සහ සුරක්ෂිත බවක් ඇති කළ අධ්‍යාත්මික අත්දැකීමක් ඔබට කවදා හෝ ලැබී තිබෙනවාද—නමුත් ඉන්පසු ජීවිතයේ දුක් වේදනා නිසා ඔබේ ඇදහිල්ල අභියෝගයකට ලක් වී, ඔබට පෙර දැනුණු සාමය නැවත ලබා ගැනීමට ඔබ අරගල කරන බව ඔබට පෙනී ගොස් තිබෙනවාද? කර්ට්ලන්ඩ් හි ශුද්ධවන්තයින්ටත් එවැනිම දෙයක් සිදු වුණා. කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ කැපකිරීම හා සම්බන්ධව සිදු වූ අධ්‍යාත්මික දේවල් වලින් වසරකටත් අඩු කාලයකට පසු, කරදර ඇති වෙන්නට පටන් ගත්තා. මූල්‍ය අර්බුදයක්, දොළොස්දෙනාගේ ගණපූරණයේ ගැටුමක් සහ වෙනත් පරීක්ෂාවන් නිසා සමහර ශුද්ධවන්තයින්ට, ඔවුන්ගේ පෙර අත්දැකීම් තිබියදීත්, ඔවුන්ගේ ඇදහිල්ල සෙලවෙන්නට පටන් ගත්තා.

අපට පරීක්ෂාවන් වළක්වා ගන්නට බැහැ, එබැවින් ඒවා අපගේ ඇදහිල්ලට සහ සාක්ෂියට තර්ජනයක් වීම අපි වළක්වා ගන්නේ කෙසේද? සමහර විට එයට පිළිතුරෙන් කොටසක්, කර්ට්ලන්ඩ් හි විපත්තිය වැඩිවෙමින් තිබියදී දහම සහ ගිවිසුම් 112 හි ලබා දී ඇති ස්වාමින්වහන්සේගේ උපදෙස් තුලින් සොයා ගත හැකිය. ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා, “නුඹලාගේ හදවත් මා ඉදිරියේ පාරිශුද්ධ කරගන්න” (28 වෙනි පදය), “කැරලි නොගසන්න” (15 වෙනි පදය), “එම කාර්යය උදෙසා නුඹගේ ඉඟටිය බැඳගන්න” (7 වෙනි පදය), සහ “නුඹ යටහත් වන්න” (10 වෙනි පදය). අපි මෙම උපදෙස් අනුගමනය කරන විට, ස්වාමින්වහන්සේ විපත්ති හරහා සහ සුවය සහ සාමය වෙත “[අපව] උන්වහන්සේගේ හස්තයෙන් මගපෙන්වනු ලබන්නේය” (බලන්න 10, 13 පද).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 111

ස්වාමින්වහන්සේට “[මාගේ] යහපත උදෙසා සියලු දේවල් පිළියෙල” කළ හැකිය.

1836 වන විට, සභාව විසින් ස්වාමින්වහන්සේගේ කාර්යය ඉටු කිරීමේදී විශාල වශයෙන් ණය වී තිබුණා. ජෝසෆ් ස්මිත් සහ අනෙකුත් අය මෙම ණය ගැන කනස්සල්ලට පත්ව ඒවා ගෙවීමට මාර්ග සලකා බැලුවා (දහම සහ ගිවිසුම් 111 කොටස් ශීර්ෂය බලන්න).

ඔබ 111 වෙනි කොටස කියවන විට, ස්වාමින්වහන්සේ ජෝසෆ්ට පැවසූ වචන, ඔබට සහ ඔබ කනස්සල්ලට පත්වන දේවල් වලට අදාළ වන්නේ කෙසේද කියා සලකා බලන්න. නිදසුනක් වශයෙන්, “නුඹලාගෙන් අණුවනකම් සිදුවුවත්” (1 වෙනි පදය) ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනී ඇත්තේ කෙලෙසද? අනපේක්ෂිත “වස්තූන්” (10 වෙනි පදය) සොයා ගැනීමට ස්වාමින්වහන්සේ ඔබට උපකාර කර ඇත්තේ කෙසේද? “නුඹලාගේ යහපත උදෙසා සියලු දේවල් පිළියෙල කරන්නට” උන්වහන්සේ කර ඇත්තේ මොනවාද (11 වෙනි පදය)? “නුඹලාට ඒවා ඉක්මනින්ම ලබාගැනීමට හැකිවෙන පමණින්” යන වාක්‍ය ඛණ්ඩය ස්වර්ගික පියාණන්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ කුමක්ද?

තවත් බලන්න මතෙව් 6:19–21, 33.

දහම සහ ගිවිසුම් 112:3–15, 22

සෙමනේරි නිරූපකය
මම නිහතමානීව ස්වාමින්වහන්සේගේ කැමැත්ත සොයන විට උන්වහන්සේ මට මගපෙන්වන සේක.

ජෝසෆ් ස්මිත් තමාගෙන් විමසීමක් නොකර, එංගලන්තයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔහුගේ ගණපූරණයේ සාමාජිකයින් දෙදෙනෙකුව කැඳවීම ගැන, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති, තෝමස් බී. මාර්ෂ් කණගාටු වුණා. තෝමස්ගේ සිත් රිදවන හැඟීම් පසෙකට දැමීමට උපකාර වන එළිදරව්වක් ලැබී තිබුණු, අනාගතවක්තෘවරයාව ඔහු මුණගැසුණා. එම එළිදරව්ව දහම සහ ගිවිසුම් 112 හි වාර්තා කර තිබෙනවා.

ඔබ දහම සහ ගිවිසුම් 112 අධ්‍යයනය කරන විට මෙම සන්දර්භය මතකයේ තබා ගන්න. ඔබ සොයාගන්නා ආකාරයට තෝමස්ගේ රිදුණු හැඟීම් සුව කළේ කුමක්ද? 3–15 සහ 22 පදවල, ඔබට මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය හැකිය: නිහතමානීකම යනු කුමක්ද? ස්වාමින්වහන්සේ ඔබව “හස්තයෙන්” මගපෙන්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ සිතන ආකාරයට, නිහතමානී වීම ඔබට ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම ලැබීමට ඔබට උපකාර කරන්නේ කෙසේද? වැඩිහිටි ජෝසෆ් ඩබ්. සිටාටිගේ “අනුගාමිකත්වයේ රටාවන්” (ලියහෝනා, නොවැම්බර් 2022 87–88) පණිවිඩයේ “යටහත් පහත්කමේ රටාව” යන කොටස තුළ ඔබට අමතර පිළිතුරු සොයාගත හැකිය.

ඔබ දන්නා නිහතමානී කෙනෙකු ගැන සිතන්න. නිහතමානීකම පෙන්වීමට මෙම පුද්ගලයා කරන්නේ කුමක්ද? නිහතමානී වීම ගැන ඔබ ගැලවුම්කරුවාණන්ගෙන් ඉගෙන ගන්නේ කුමක්ද? සමහරවිට උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ නිහතමානීව ක්‍රියා කළ අවස්ථා පිළිබඳ පින්තූර ඔබට සොයා ගත හැකිය.

ඔබ නිහතමානී වූ විට ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම ඔබට දැනී ඇති අවස්ථා මොනවාද?

ඉගෙන ගන්නන් සම්බන්ධ කර ගන්න. ශුද්ධලියවිලිවල ඇති සත්‍යයන් ඉගෙනීමට ක්‍රියාශීලීව සහභාගි වීම සඳහා ඔබ උගන්වන අයට උපකාර කළ හැකි ආකාරය ගැන සිතන්න. නිදසුනක් වශයෙන්, දහම සහ ගිවිසුම් 112:10 හි ස්වාමින්වහන්සේ පැවසූ දේ තේරුම් ගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා, ඔබට යමෙකුගේ ඇස් බැඳ, ඉන්පසු පුටු හෝ වෙනත් වස්තූන්ගේ කුඩා බාධකයක් වටා ඔහු හෝ ඇයව අතින් අල්ලාගෙන ප්‍රවේශමෙන් ගෙන යා හැකිය. මෙම නිරූපණයෙන් නිහතමානීකම ගැන අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

දහම සහ ගිවිසුම් 112:12–26, 28, 33–34

සැබෑවටම හැරී ආ අය යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හඳුනාගන්නවා.

1837 දී සමහර ප්‍රේරිතවරුන් අනාගතවක්තෘවරයාට විරුද්ධ වීම; අපගේ සභා කැඳවීම මොකක් වුණත් එමෙන්ම අපි ශුභාරංචිය ගැන කොපමණ දැන සිටියත්, අපි පුද්ගලිකව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළට අපේ හැරීම පෝෂණය කරන බවට වගබලාගත යුතුම බව සඳහා හොඳ සිහිගැන්වීමක් වෙනවා. සමහරවිට ඔබට දහම සහ ගිවිසුම් 112:12–26, 28, 33–34 කියවා, ඇදහිල්ලේ පරීක්ෂාවකින් ජය ගැනීමට හෝ ස්වාමින්වහන්සේ වෙතට වඩාත් පූර්ණ ලෙස හැරීමට උපකාර වන සත්‍යයන් සොයන්නට පුළුවන්. ක්‍රිස්තුස්වහන්සේ වෙතට හැරීම ශක්තිමත් කරගැනීමට, වෙනත් කෙනෙකුට උපකාර කිරීම සඳහා ඔබ සොයා ගන්නා දේ බෙදා ගැනීමට ඔබට පෙලඹවීමක් දැනෙන්නට පුළුවන්.

දහම සහ ගිවිසුම් 113

ජෝසෆ් ස්මිත් “ක්‍රිස්තුස්වහන්සේගේ හස්තයේ වූ සේවකයෙකි.”

අනාගතවක්තෘ යෙසායා ජෙස්සේගෙන් පැවත එන අයගෙන් කෙනෙකුව හැඳින්වූයේ “අංකුරයක්” සහ “රිකිල්ලක්” ලෙසයි (යෙසායා 11:1, 10). ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෙකු වන මෙම පැවතෙන්නා, අවසාන දිනවලදී ස්වාමින්වහන්සේගේ සෙනඟ එක්රැස් කිරීමට උපකාරී වනු ඇති බව 113 වෙනි කොටසෙහි ස්වාමින්වහන්සේ පැහැදිලි කළා (බලන්න දහම සහ ගිවිසුම් 113:4, 6). මෙම අනාවැකිය අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ව ඉතා හොඳින් විස්තර කරනවා. මෙය සහ 113 වෙනි කොටසෙහි ඇති අනෙකුත් සත්‍යයන්, කර්ට්ලන්ඩ් හි අත්විඳින ලද කැලඹීම් වලදී ශුද්ධවන්තයින්ව දිරිමත් කර ඇත්තේ කෙසේද? අද දින ඔබට ශක්තිමත්ව සිටීමට සහ ස්වාමින්වහන්සේගේ කාර්යයට දිගටම සහභාගී වීමට ඔබව පොළඹවන මෙම එළිදරව්වෙන් ඔබ සොයාගන්නා දේවල් මොනවාද?

තවත් බලන්න 2 නෙපී 21:10–12; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:40.

යෙසායා 11:1 හි නිදර්ශනය

“යෙස්සේගේ කඳින් නික්මෙමෙන” “අංකුරයක්” සහ “රිකිල්ලක්” ගැන යෙසායා ලිව්වා (යෙසායා 11:1).

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 111:2, 10–11

දෙවියන්වහන්සේගේ දේවල්, මට වස්තූන් විය හැකිය.

  • ඔබට සහ ඔබේ දරුවන්ට වස්තූන් යන වචනය ඇසෙන විට සිතට එන දේ ඇඳිය හැකිය. ඉන්පසු ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 111:2, 10–11 කියවිය හැකි අතර, ලෞකික වස්තූන් සමඟ ස්වාමින්වහන්සේගේ වස්තූන් සැසඳිය හැකිය. (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව බලන්න.) අපට වැඩි වැඩියෙන් ස්වාමින්වහන්සේගේ දේවල් වස්තූන් ලෙස සැලකිය හැක්කේ කෙසේද?

දහම සහ ගිවිසුම් 112:10

ස්වාමින්වහන්සේ මාව උන්වහන්සේගේ හස්තයෙන් මෙහෙයවා, මාගේ යාච්ඤාවලට පිළිතුරු දෙන සේක.

  • ඔබට “හස්තයෙන්” එකිනෙකාව මෙහෙයවන ක්‍රීඩාවක් කළ හැකිය (බාධා මත ඇවිදීම වැනි). ස්වාමින්වහන්සේ අප සමඟ භෞතිකව නොසිටියත්, උන්වහන්සේගේ “හස්තයෙන්” අපව මෙහෙයවන්නේ කෙසේද? අපට මගපෙන්වීමට ස්වාමින්වහන්සේව අපට අවශ්‍ය වන්නේ ඇයි? ස්වාමින්වහන්සේ අපට මගපෙන්වන බව අපට දැනී ඇත්තේ කෙලෙසද?

  • ඔබට හෝ ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 112:10 හි වචන ලිවිය හැකි අතර, අප නිහතමානීව උන්වහන්සේ වෙත හැරෙන විට ස්වාමින්වහන්සේ අපට දෙන ආශිර්වාද යටින් ඉරි ඇඳීමෙන් ඒවා සලකුණු කළ හැකිය. ඔබේ දරුවන් නිහතමානීව ස්වාමින්වහන්සේගේ උපකාරය ඉල්ලා සිටි විට, ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණු ආකාරය හෝ යහපත් දෙයක් කිරීමට මගපෙන්වීමක් ලැබුණු ආකාරය ගැන බෙදා ගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න (බලන්න මොරෝනි 7:13, 16).

යේසුස්වහන්සේ දරුවෙකුව සුව කරමින්

සයිමන් ඩිවි විසින්, Arise and Walk [නැඟිට ඇවිදින්න]

දහම සහ ගිවිසුම් 112:11

මම සෑම කෙනෙක්ටම ප්‍රේම කරනවාට යේසුස්වහන්සේට අවශ්‍යයි.

  • ඔබට දහම සහ ගිවිසුම් 112:11 කියවා අප සෑම කෙනෙකුටම ප්‍රේම කිරීම ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වන්නේ ඇයි කියා සාකච්ඡා කළ හැකිය. උන්වහන්සේට අකාරුණික වූ මිනිසුන්ට උන්වහන්සේ ප්‍රේමය පෙන්වූයේ කෙලෙසද? (උදාහරණයක් ලෙස බලන්න, ලූක් 23:34).

2:20

Chapter 41: Trouble in Kirtland: 1837–1838

දහම සහ ගිවිසුම් 112:11–14, 24–26

සැබෑවටම හැරී ආ අය යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හඳුනාගන්නවා.

  • දහම සහ ගිවිසුම් 112:24–26 කියවීමෙන් පසු, ඔබට සහ ඔබේ දරුවන්ට යමෙකුගේ නම දැන ගැනීම සහ ඔවුන්ව දැන ගැනීම අතර වෙනස ගැන කතා කළ හැකිය. ස්වාමින්වහන්සේව දැන ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට අපට උපකාර වන 11–14 පද තුළ ඇති ඉගැන්වීම් මොනවාද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ජෝසෆ් ස්මිත් හරහා තෝමස් බී මාර්ෂ් හට ලබා දුන් එළිදරව්ව ඔහු වාර්තා කරයි.

ජූලි රොජර්ස් විසින්, Be Thou Humble, [නුඹ යටහත් වන්න]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව