“මැයි 31–ජුනි 6. යොහාන් 13–17: ‘ඔබ මගේ ප්‍රේමය තුළ දිගටම සිටින්න”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“මැයි 31–ජුනි 6. යොහාන් 13–17,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
වෝල්ටර් රනේ විසින්, මා මතක තබාගන්නා පිණිස
මැයි 31–ජුනි 6
යොහාන් 13–17
‘ඔබ මගේ ප්‍රේමය තුළ දිගටම සිටින්න’
ඔබ යොහාන් 13–17 හි ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් කියවන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට ඔබ සඳහා වූ පණිවිඩ හඳුනාගැනීමට උපකාර කරයි. ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
අද අපි එය හඳුන්වන්නේ “අන්තිම රාත්‍රී භෝජනය” ලෙසයි, නමුත් යේසුස්වහන්සේගේ ගෝලයන් වාර්ෂික පාස්කු මංගල්‍යය සඳහා එක්රැස්වූ විට, මෙය ඔවුන්ගේ ස්වාමියාගේ මරණයට පෙර ඔවුන්ගේ අවසාන ආහාරය වනු ඇතැයි ඔවුන් සම්පූර්ණව තේරුම්ගෙන සිටියාද නැත්ද යන්න අපි නොදනිමු. කෙසේවෙතත්, යේසුස්වහන්සේ, “තම කාලය පැමිණ ඇති බව දැනසිටියේය” (යොහාන් 13:1). ගෙත්සෙමනේ දුක් වේදනා, ඔහුගේ සමීපතම මිතුරන් පාවාදීම සහ ප්‍රතික්ෂේප කිරීම සහ කුරුසියේ වේදනාකාරී මරණයට උන්වහන්සේ ඉක්මනින් මුහුණදෙනු ඇත. මේ සියල්ල උන්වහන්සේ ඉදිරියෙහි තිබියදීත්, යේසුස්වහන්සේගේ අවධානය යොමුවූයේ උන්වහන්සේ කෙරෙහි නොව උන්වහන්සේගේ ගෝලයන්ට දේවසේවය කිරීම කෙරෙහිය. උන්වහන්සේ නිහතමානීව ඔවුන්ගේ පාද සේදුවේය. උන්වහන්සේ ඔවුන්ට ප්‍රේමය ගැන ඉගැන්නුවේය. එක අතෙකින්, උන්වහන්සේ කිසිවිටෙකත් ඔවුන්ව අත්නොහරින බවත්, ඔවුන් කිසිවිටෙකත් උන්වහන්සේ හැරයාමට අවශ්‍ය නැති බවත් උන්වහන්සේ ඔවුන්ට සහතික විය. ඒ කාලයේ සහ දැනුත් ගෝලයන් උන්වහන්සේගේ පොරොන්දු වලින් සැනසීමක් ලබයි: “මම නුඹලා අනාථව නාරින්නෙමි” (යොහාන් 14:18). “නුඹලා මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය” (යොහාන් 15:10).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
යොහාන් 13–15
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ප්‍රේම කරන බව උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් පෙන්වන්නෙමි.
උතුම්ම ආඥා දෙක ප්‍රේමයට සම්බන්ධ බව යේසුස්වහන්සේ ඒ වන විටත් උගන්වා තිබුණේය (මතෙව් 22:34–40 බලන්න). මෙම අවධාරණයට අනුකූලව, ප්‍රේමය උන්වහන්සේගේ ප්‍රේරිතයන්ට දුන් අවසාන උපදෙස්වල ප්‍රධාන තේමාවක් විය. ඔබ යොහාන් 13–15 කියවන විට, ප්‍රේමය යන වචනයේ සෑම භාවිතයක්ම ඔබට සටහන් කිරීමට හෝ සලකුණු කිරීමට හැකිය.
මෙම පරිච්ඡේදවල ප්‍රේමය යන වචනය සමග නිතර නිතර ආඥා යන වචනය පුනරාවර්තනය වන වචන ඔබට දැකගත හැකිය. ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වලින් ප්‍රේමය සහ ආඥා අතර සම්බන්ධතාවය ගැන ඔබට ඉගෙනගත හැක්කේ මොනවාද? මෙම පරිච්ඡේදවල ප්‍රේමය යන වචනය සමග නිතර නිතර ඔබ දකින වෙනත් වචන මොනවාද? ඔබ ඉගෙනගන්නා දේ මත පදනම්ව, ප්‍රේමය පිළිබඳ ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම්වල කෙටි සාරාංශයක් ලිවීම ගැන සලකා බලන්න.
See also D. Todd Christofferson, “Abide in My Love,” Ensign or Liahona, Nov. 2016, 48–51.
යොහාන් 14–16
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස මගේ අරමුණ ඉටුකිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේ මට උපකාර කරයි.
යේසුස්වහන්සේ තම ගෝලයන්ව උන්වහන්සේ ඉක්මනින් අත්හරින බව දැනසිටි අතර, උන්වහන්සේ නැතිවූ පසු ඔවුන්ට ආත්මික උපකාර අවශ්‍ය බව උන්වහන්සේ දැනසිටියේය. ඔවුන්ට මෙම සහයෝගය ලැබෙන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා, උන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ ගැන ඔවුන්ට ඉගැන්වීය. පහත සඳහන් පදවල ගැලවුම්කරුවාණන්ගේ වචන වලින් ශුද්ධාත්මයාණන්ගේ භූමිකාවන් ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?
-
යොහාන් 14:16–17, 26
-
යොහාන් 15:26
-
යොහාන් 16:7–11
-
යොහාන් 16:12–15
ගෝලයන්ට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් මේ ආකාරයේ උපකාරයක් අවශ්‍ය වූයේ ඇයි? ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ ජීවිතයේ මෙම භූමිකාවන් ඉටුකරඇත්තේ කෙසේද? ඔබ අලුත් ගිවිසුම දිගටම අධ්‍යයනය කරමින් සිටින විට, ශුද්ධාත්මයාණන්වහන්සේ යේසුස්වහන්සේගේ ගෝලයන්ට ආශිර්වාද කළ ක්‍රම සොයන්න. ඔබට වඩාත් ගැඹුරින් බලපෑම් කිරීමට ශුද්ධාත්මයාණන්ට ආරාධනා කළහොත් ඔබේ ජීවිතය වෙනස්වන්නේ කෙසේද?
තවත් බලන්න මොසායා 3:19; 5:1–3; 3 නෙපි 27:20; මොරෝනි 8:25–26; 10:5; දහම සහ ගිවිසුම 11:12–14; මෝසෙස් 6:61; “Holy Ghost,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
යොහාන් 15:1–8
මම ක්‍රිස්තුස්වහන්සේ තුළ වාසය කරන විට, මම හොඳ ඵල දරමි.
“[ක්‍රිස්තුස්වහන්සේ තුළ] වාසය කිරීම” යන්නෙහි අර්ථය කුමක්ද? (යොහාන් 15:4). යේසුස් ක්‍රිස්තුස්වහන්සේව නියෝජනය කරන, මිදි වැලට ඔබ බැඳී ඇති බව පෙන්වන “ඵල” මොනවාද?
යොහාන් 17
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ගෝලයන් වෙනුවෙන් මැදිහත් වෙයි.
යොහාන් 17 හි සඳහන් යේසුස්වහන්සේගේ වචන මැදිහත්වීමේ යාච්ඤාව ලෙස හැඳින්වේ. මෙම යාච්ඤාවේදී, යේසුස්වහන්සේ තම ප්‍රේරිතයන් උදෙසා සහ “මොවුන්ගේ වචනය කරණකොටගෙන [උන්වහන්සේ] කෙරෙහි විශ්වාසකරන්නවුන් ගැනත්” (යොහාන් 17:20) යාච්ඤා කළේය. එනම් උන්වහන්සේ ඔබ වෙනුවෙන් යාච්ඤා කළේය. ඔබ සහ අනෙකුත් සියලුම ඇදහිලිවන්තයන් වෙනුවෙන් යේසුස්වහන්සේ තම පියාණන්ගෙන් ඉල්ලුවේ කුමක්ද?
මෙම යාච්ඤාව ගැඹුරු, සදාකාලික සත්‍යයන්ද උගන්වයි. ඔබ එය කියවන විට සොයාගන්නා සත්‍යයන් මොනවාද?
යොහාන් 17:11, 21–23
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ස්වර්ගික පියාණන්වහන්සේ එක් අයෙක් වන්නේ කෙසේද?
යොහාන් 17 හි කළ යාච්ඤාවේදී, යේසුස්වහන්සේ පියාණන්වහන්සේ සමග ඇති එකමුතුකම අවධාරණය කළ නමුත් මින් අදහස් කරන්නේ උන්වහන්සේ සහ පියාණන්වහන්සේ එකම ජීවියෙකු බව නොවෙයි. ගැලවුම්කරුවාණන් තම ගෝලයන් උන්වහන්සේ හා උන්වහන්සේගේ පියාණන්වහන්සේ එක හා සමාන වන ලෙස එකෙකු “මෙන්” වියයුතු බව ගැන යාච්ඤා කළ විට (යොහාන් 17:22), ගෝලයන් එක් ජීවියෙකු බවට පත්වන ලෙස උන්වහන්සේ ඉල්ලාසිටියේ නැත. ඒ වෙනුවට, උන්වහන්සේගේ ආශාව වූයේ උන්වහන්සේ පියාණන්වහන්සේ සමග ඇති එම එකමුතුකම ඔවුන් භුක්තිවිඳීමයි—එනම් අරමුණෙන්, හදවතින් සහ මනසින් පරිපූර්ණ එකමුතුවයි.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
යොහාන් 13:1–17
මෙම පදවල ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශයෙන් අපේ පවුල ඉගෙනගන්නේ මොනවාද? උන්වහන්සේගේ ආදර්ශය අපට අනුගමනය කළ හැක්කේ කිනම් ආකාර වලින්ද?
යොහාන් 13:34–35; 15:9–14
ප්‍රේමය පිළිබඳ ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ගැන ඔබ සාකච්ඡා කරන විට, සභාපති තෝමස් එස්. මොන්සන්ගේ මෙම වචනද සලකා බලන්න: “අද ලෝකයේ, ප්‍රේමයට පාදක වූ පදනම නිවසට වීමට වඩා වෙනත් දෙයක් අවශ්‍ය නොවේ. ආදරය ඔවුන්ගේ පවුල් ජීවිතයේ හදවත බවට පත්කර ඇති පසුකාලීන සාන්තුවරයන්ගේ නිවෙස් වලට වඩා එම පදනමට වඩා හොඳ උදාහරණයක් ලෝකය වෙනත් තැනකින් සොයාගතයුතු නැත. … මිනිස් ආත්මයේ උතුම්ම ගුණාංගය වන ශුභාරංචියේ සාරය ප්‍රේමයයි” (“As I Have Loved You,” Ensign or Liahona, Feb. 2017, 4–5).
ඔබේ පවුලේ සාමාජිකයන් එකිනෙකාට ආදරය කරන යමක් පින්තූර ඇඳීම හෝ හදවත් හැඩැති කඩදාසි මත ලිවීමෙන් සතුටක් ලැබිය හැකිය. එකිනෙකාට ආදරය පෙන්වීම සඳහා මතක්කිරීමක් ලෙස ඔවුන්ට මෙම හදවත් හැඩ නිවස වටා තැබිය හැකිය.
යොහාන් 15:1–8
මිදි වැලක්, ගසක් හෝ වෙනත් ශාකයක් අසල සිට මෙම පද කියවීම විනෝදජනක විය හැකිය. මෙම ක්‍රියාකාරකම ඔබගේ පවුලේ සාමාජිකයින්ට ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වඩා හොඳින් තේරුම්ගැනීමට උපකාරී වන්නේ කෙසේද?
යේසුස්වහන්සේ මෙසේ ඉගැන්වීය, “මිදිවැල මමය, නුඹලා අතුය” (යොහාන් 15:5).
යොහාන් 15:17–27; 16:1–7
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ගෝලයන්ට පීඩාවන් ගැන අනතුරු ඇඟවූයේ ඇයි කියා ඔබ සිතන්නේද? ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් අද පීඩා ලබන්නේ කෙසේද? අපට පීඩා වලට මුහුණදෙන විට මෙම පදවල ගැලවුම්කරුවාණන්ගේ උපදෙස් අපට උපකාර කරන්නේ කෙසේද?
යොහාන් 16:33
ක්‍රිස්තුස්වහන්සේ ලෝකය ජයගත්තේ කෙසේද? උන්වහන්සේගේ වන්දිගෙවීම අපට සාමය හා ප්‍රීතිය ගෙනදුන්නේ කෙසේද? (දහම සහ ගිවිසුම 68:6 ද බලන්න).
යොහාන් 17:21–23
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ස්වර්ගික පියාණන්වහන්සේ එක්සත්ව සිටින ලෙස අපේ පවුල වඩාත් එක්සත් වන්නේ කෙසේද? අප එක්සත් වනවාට ස්වාමින්වහන්සේ කැමති ඇයි? (දහම සහ ගිවිසුම 38:27 ද බලන්න).
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
ශ්‍රව්‍ය පටිගත කිරීම් භාවිතා කරන්න. ඔබ ඔබේ පවුලේ අයට ශුද්ධලියවිලි උගන්වන විට, ChurchofJesusChrist.org හෝ ශුභාරංචි පුස්තකාල යෙදුමේ ඇති ශුද්ධලියවිලි පදවල ශ්‍රව්‍ය අනුවාදයට සවන්දීම සලකා බලන්න. ගැලවුම්කරුවාණන්ගේ වචන බොහොමයක් මෙම පරිච්ඡේදවල අඩංගු වන බැවින් යොහාන් 13–17 ට සවන්දීම විශේෂයෙන් බලවත් විය හැකිය.