“මැයි 17–23. මතෙව් 21–23; මාර්ක් 11; ලූක් 19–20; යොහාන් 12: ‘බලන්න, නුඹේ රජ නුඹ වෙතට එනසේක’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“මැයි 17–23. මතෙව් 21–23; මාර්ක් 11; ලූක් 19–20; යොහාන් 12” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
ජේම්ස් ටිස්සොට් විසින්, සකේවුස් අත්තික්කා ගස මත
මැයි 17–23
මතෙව් 21–23; මාර්ක් 11; ලූක් 19–20; යොහාන් 12
“බලන්න, නුඹේ රජ නුඹ වෙතට එනසේක”
මෙම දළ සටහනෙහි අදහස් කියවීමට පෙර, මතෙව් 21–23; මාර්ක් 11; ලූක් 19–20; සහ යොහාන් 12 කියවන්න. ඔබේ පවුලේ අය සමග හෝ සභාවේ පන්ති වලදී ඔබට බෙදාගත හැකි හැඟීම් සටහන් කරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ගැලවුම්කරුවාණන් බෙතනියේ සිට යෙරුසලමට ගිය පසු බඩගිනි වූ අතර, දුරින් පිහිටි අත්තික්කා ගසක් ආහාර ප්‍රභවයක් මෙන් විය. නමුත් යේසුස්වහන්සේ ගස ළඟට යද්දී එයින් ඵල නොලැබෙන බව උන්වහන්සේට පෙනීගියේය (මතෙව් 21:17–20; මාර්ක් 11:12–14, 20 බලන්න). එක් අතකින්, අත්තික්කා ගස යෙරුසලමේ කුහක ආගමික නායකයන් හා සමාන විය: ඔවුන්ගේ හිස් ඉගැන්වීම් සහ ශුද්ධකම පිළිබඳ බාහිර නිරූපණයන් අධ්‍යාත්මික පෝෂණය ලබාදුන්නේ නැත. පරිසිවරුන් හා ලියන්නන් බොහෝ ආඥා පිළිපැද ඇති ලෙස පෙනීසිටි නමුත් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කිරීම යන ශ්‍රේෂ්ට ආඥා මගහැරියෝය (මතෙව් 22:34–40; 23:23 බලන්න).
ඊට වෙනස්ව, බොහෝ අය යේසුස්වහන්සේගේ ඉගැන්වීම්වල හොඳ ඵල හඳුනාගැනීමට පටන්ගෙන තිබුණි. උන්වහන්සේ යෙරුසලමට පැමිණි විට, පුරාණ අනාවැකි පැවසූ පරිදි “නුඹේ රජ නුඹ වෙතට එනසේක” (සෙකරියා 9:9) ලෙස ප්‍රීතිවෙමින් උන්වහන්සේගේ මාවත සකස්කිරීම සඳහා ගස් කපා අතු වලින් ඔවුහු උන්වහන්සේව පිළිගත්හ. ඔබ මේ සතියේ කියවන විට, ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම්වල සහ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ ඵල ගැනත් “බොහෝ ඵල ගෙන ඒමට” හැකි ආකාරය ගැනත් සිතන්න (යොහාන් 12:24).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මතෙව් 23; ලූක් 19:1–10; 20:45–47
ස්වාමින්වහන්සේ විනිශ්චය කරන්නේ බාහිර පෙනුමෙන් නොව හදවතේ ආශාවන් අනුවය.
යේසුස්වහන්සේගේ කාලයේදී බොහෝ අය උපකල්පනය කළේ අයබදු එකතුකරන්නන් නොහොත් බදු එකතු කරන්නන් වංක අය බවත් මිනිසුන්ගෙන් සොරකම් කළ බවත්ය. එබැවින් ප්‍රධාන බදු එකතුකරන්නා වූ සකෙවුස්, ධනවත් වූ නිසා ඔහුව ඊටත් වඩා සැක කරන්නට ඇත. නමුත් යේසුස්වහන්සේ සකෙවුස්ගේ හදවත දෙස බැලීය. සකෙවුස්ගේ හදවත ගැන ලූක් 19:1–10 හෙළිකරන්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති භක්තිය පෙන්වීමට සකෙවුස් කළ දේ විස්තර කරන මෙම පදවල වචන ඔබට සටහන් කළ හැකිය. ඔබේ හදවතේ ඇති ආශාවන් මොනවාද? සකෙවුස් කළාක් මෙන් ගැලවුම්කරුවාණන් සෙවීමට ඔබ කරන්නේ කුමක්ද?
ගැලවුම්කරුවාණන් ලියන්නන් හා පරිසිවරුන් සමග කළ අන්තර්ක්‍රියාකාරිත්වය සකෙවුස් සමග ඔහු කළ අන්තර්ක්‍රියාකාරිත්වයට වඩා වෙනස්ය. සභාපති ඩියේටර් එෆ්. උච්ඩ්‍රොෆ් පැහැදිලි කරන පරිදි, “[යේසුස්වහන්සේ] ලියන්නන්, පරිසිවරුන් සහ සද්දුසිවරුන් වැනි කුහකයන්ට එරෙහිව ධර්මිෂ්ට කෝපයෙන් නැගීසිටියේය—ලෝකයේ ප්‍රශංසාව, බලපෑම සහ ධනය දිනාගැනීම සඳහා ඔවුන් ධර්මිෂ්ට ලෙස පෙනීසිටීමට උත්සාහ කළ අය වූහ, ඔවුන් ආශිර්වාද කරමින් සිටිය යුතුවූ මිනිසුන්ට පීඩා කළහ” (“On Being Genuine,” Ensign or Liahona, May 2015, 81).
මතෙව් 23 හි, ගැලවුම්කරුවාණන් කුහකකම විස්තර කිරීම සඳහා රූපක කිහිපයක් භාවිතා කළේය. මෙම රූපක සලකුණු කිරීම හෝ ලැයිස්තුගත කිරීම සහ කුහකකම ගැන ඔවුන් උගන්වන දේ සටහන් කිරීම සලකා බලන්න. ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් නිසා කුමක් වෙනස් ආකාරයකින් කිරීමට ඔබ පෙලඹී ඇත්ද?
තවත් බලන්න දහම සහ ගිවිසුම 88:62–63; 137:9; Bible Dictionary, “Hypocrite.”
මතෙව් 21:1–11; මාර්ක් 11:1–11; ලූක් 19:29–44; යොහාන් 12:12–16
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ රජුය.
මතෙව් 21:1–11; මාර්ක් 11:1–11; ලූක් 19:29–44; සහ යොහාන් 12:12–16 විස්තර කරන්නේ, යෙරුසලමට උන්වහන්සේගේ ජයග්‍රාහී පිවිසුම ඇතුළුව, ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ අවසාන සතියේ ආරම්භයයි. උන්වහන්සේව තම රජු ලෙස පිළිගත් අය උන්වහන්සේව අභිෂේක කිරීම තුළින් (යොහාන් 12:1–8 බලන්න), ඇඳුම් හා තල් අතු උන්වහන්සේ යෙරුසලමට යන මාර්ගයෙහි තබමින් සහ ස්තූති ඝෝශා කරමින් තම භක්තිය පෙන්වූහ. ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ අවසාන සතියේ ආරම්භවූ සිදුවීම් පිළිබඳ ඔබේ අවබෝධය පහත දැක්වෙන සම්පත් මගින් ගැඹුරු කරන්නේ කෙසේදැයි සලකා බලන්න.
-
රජෙකු අභිෂේක කිරීම පිළිබඳ පුරාණ උදාහරණයක්: 2 රාජාවලිය 9:1–13
-
ජයග්‍රාහී පිවිසුම පිළිබඳ පුරාණ අනාවැකියක්: සෙකරියා 9:9
-
හොසන්නා: යන වචනයේ තේරුම Bible Dictionary, “Hosanna”
-
ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන්නේ කෙසේද යන්න පිළිබඳ අනාවැකි: එළිදරව් 7:9–10; 19:11–16
ඔබගේ ස්වාමින්වහන්සේ හා රජ ලෙස ගැලවුම්කරුවාණන්ව ලබන්නේ කෙසේද?
තවත් බලන්න “The Lord’s Triumphal Entry into Jerusalem” (video, ChurchofJesusChrist.org).
මතෙව් 22:34–40
ශ්‍රේෂ්ට ආඥා දෙක නම් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ තමා මෙන්ම අන් අයටත් ප්‍රේම කිරීමයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඔබ වෑයම් කරන විට ඔබට කවදා හෝ අධෛර්යයට පත්වේ නම්, ගැලවුම්කරුවාණන් මතෙව් 22 හි නීතිඥයාට පැවසූ වචන ඔබේ අනුගාමිකත්වය සරල කිරීමට හා ඒ කෙරෙහි අවධානය යොමුකිරීමට උපකාරී වේ. මෙය කිරීමට එක් ක්‍රමයක් මෙන්න: ස්වාමින්වහන්සේගේ ආඥා කිහිපයක ලැයිස්තුවක් සාදන්න. ඔබගේ ලැයිස්තුවේ ඇති සෑම අයිතමයක්ම එම විශිෂ්ට ආඥා දෙක සමග සම්බන්ධවන්නේ කෙසේද? එම ශ්‍රේෂ්ට ආඥා දෙක කෙරෙහි අවධානය යොමුකිරීම අනෙක් ඒවා පිළිපැදීමට ඔබට උපකාර කරන්නේ කෙසේද?
මතෙව් 23:5
කුඩා සම් පසුම්බිය යනු කුමක්ද?
කුඩා සම් පසුම්බිය යනු ශුද්ධලියවිලි පාඨ ලියූ සම්භාණ්ඩ තීරු අඩංගු සම් පෙට්ටි විය. යුදෙව්වන් මෙම කුඩා පෙට්ටි සම් පටිවලට සවිකර ඔවුන්ගේ නළල හෝ අත් වටා ඒවා පැළඳ සිටියේ ආඥා සිහිපත් කරගැනීමේ ක්‍රමයක් ලෙසය (ද්විතීය කථාව 6:6–8 බලන්න). ආඩම්බරයෙන්, පරිසිවරු අසාමාන්‍ය ලෙස විශාල සම් පසුම්බි පැළඳ සිටි අතර, ඔවුන් දෙවියන්වහන්සේගේ වචනයට කොතරම් ඇලුම් කරනවාද යන්න සෑමකෙනෙකුටම දැකගත හැකිවිය.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
යොහාන් 12:1–8
මරියා ගැළවුම්කරුවාණන් කෙරෙහි ඇති ආදරය පෙන්වූයේ කෙසේද? අපි උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?
බ්‍රයන් කෝල් විසින්, යේසුස්වහන්සේගේ පාද සේදීම
යොහාන් 12:42–43
අන් අය ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ප්‍රකාශ කරන විට හෝ ආරක්ෂා කරන විට අපට ගෞරවය දැක්විය හැක්කේ කෙසේද? ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය ප්‍රකාශ කිරීමට හෝ ආරක්ෂා කිරීමට සමහරවිට අපව අධෛර්යමත් කරන සමාජ ප්‍රතිවිපාක මොනවාද? සමාජ පීඩනයට යටත්නොවන පුද්ගලයින්ගේ උදාහරණ සඳහා, බලන්න, දානියෙල් 1:3–20; 3; 6; යොහාන් 7:45–53; 9:1–38; සහ මොසායා 17:1–4.
මතෙව් 21:12–17
දේවමාළිගාව කෙරෙහි අපගේ නමස්කාරය හා ගෞරවය පෙන්වන්නේ කෙසේද? දේවමාළිගාව “යාච්ඥාවේ ගෘහයක්” (මතෙව් 21:12–13) සහ අධ්‍යාත්මික සුවවීමේ ස්ථානයක් ලෙස අත්විඳීමෙන් අපව වළක්වන අපගේ ජීවිත වලින් අපට “ඉවතදැමිය හැක්කේ” මොනවාද? මෙම ගීතිකාව ගායනාකිරීම සලකා බලන්න “I Love to See the Temple,” Children’s Songbook, 95.
මතෙව් 21:28–32
පුතුන් දෙදෙනෙකු සිටින මිනිසාගේ උපමාවෙන් ඔබේ පවුලට උපකාර කළ හැකි පාඩම් මොනවාද? නිදසුනක් වශයෙන්, අවංක කීකරුකමේ සහ පසුතැවිල්ලේ වැදගත්කම සාකච්ඡා කිරීමට ඔබට එම කතාව භාවිතා කළ හැකිය. උපමාව විවිධ චරිත නිරූපණය කරමින් රඟදැක්වීමට අවස්ථා ලබාගැනීම සඳහා ඔබේ පවුලේ අයට නාට්‍ය පිටපතක් ලිවීමට හැකිය.
මතෙව් 22:15–22
අප දෙවියන්වහන්සේට දියයුතු “දෙවියන්වහන්සේගේ දේවල්” (21 පදය) මොනවාද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
පවුලේ සාමාජිකයන් සම්බන්ධ කරගැනීමට කලාව භාවිතා කරන්න. The Gospel Art Book සහ ChurchofJesusChrist.org හි Gospel Media Library තුළ සංකල්ප හෝ සිදුවීම් දෘශ්‍යමාන කිරීමට ඔබගේ පවුලට උදව් කළ හැකි බොහෝ පින්තූර සහ වීඩියෝ අඩංගු වේ” (Teaching in the Savior’s Way, 22). නිදසුනක් වශයෙන්, මෙම දළ සටහන සමග ඇති සිතුවම ක්‍රිස්තුස්වහන්සේ යෙරුසලමට ඇතුළුවීමේ කතාවට ජීවයක් ගෙනඑනු ඇත.