එන්න, මා අනුගමනය කරන්න
මැයි 25–31. මොසායා 29–ඇල්මා 4: “ඔවුන් ස්ථීර හා නොසෙල්විය හැකි විය”


“මැයි 25–31. මොසායා 29–ඇල්මා 4: ‘ඔවුන් ස්ථීර හා නොසෙල්විය හැකි විය,”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“මැයි 25–31. මොසායා 29–ඇල්මා 4,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

බාල ඇල්මා දේශනා කරමින්

ගැරී එල්. කැප් විසින්, බාල ඇල්මා දේශනා කරමින්.

මැයි 25–31

මොසායා 29–ඇල්මා 4

“ඔවුන් ස්ථීර හා නොසෙල්විය හැකි විය”

ශුද්ධලියවිලි කියවීම එළිදරව් වලට ආරාධනා කරයි. ස්වාමින්වහන්සේ ඔබට දීමට කැමති පණිවිඩ සඳහා විවෘතව සිටින්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

රජවරුන් වෙනුවට ඡන්දයෙන් තේරී පත්වූ විනිසුරුවන් පත්කිරීමේ මොසායා රජුගේ යෝජනාව හුදු බුද්ධිමත් දේශපාලන ප්‍රතිසංස්කරණයක් ලෙස සමහරු දකිනු ඇත. නමුත් නෙපිවරුන්ට, විශේෂයෙන් දුෂ්ට නෝවා රජු යටතේ ජීවත් වූ අයට, මෙම වෙනසට අධ්‍යාත්මික වැදගත්කමක්ද තිබුණි. අධර්මිෂ්ට රජෙක් තම සෙනග අතර “අයුක්තිය” සහ “මහා විනාශයක්” ඇති කර ඇති අයුරු ඔවුහු දුටුවෝය (මොසායා 29:17), එමෙන්ම එවැනි බලපෑම් වලින් නිදහස් වීමට ඔවුන් “අතිශයින් උනන්දුවට පත්ව” සිටියහ. මෙම වෙනස මගින් ඔවුන්ගේ ධර්මිෂ්ටකමට ඔවුන්ම වගකිව යුතු අතර “[ඔවුන්ගේම] පව් වලට පිළිතුරු දීමට” ඉඩ සලසයි (මොසායා 29:38; තවත් බලන්න දහම සහ ගිවිසුම 101:78).

ඇත්තවශයෙන්ම, රජවරුන්ගේ පාලන සමයේ අවසානය නෙපිවරුන්ගේ සමාජයේ ගැටළු වල අවසානය නොවේ. නාහෝර් සහ අමිලිකි වැනි කපටි මිනිසුන් බොරු අදහස් ප්‍රවර්ධනය කළහ, නොඇදහිලිවන්තයන් සාන්තුවරයන්ට පීඩා කළහ, එලෙසම සභාවේ බොහෝ සාමාජිකයෝ ආඩම්බරවී ඉවතට වැටුණහ. “දෙවියන්වහන්සේගේ නිහතමානී අනුගාමිකයන්” ඔවුන් වටා සිදුවූ දේ නොතකා “ස්ථීර හා නොවෙනස්” තත්වයක සිටියහ (ඇල්මා 1:25). මොසායා විසින් පනවන ලද වෙනස නිසා, ඔවුන්ගේ සමාජයට යහපත උදෙසා බලපෑම් කිරීමට “ඔවුන්ගේ හඬවල් නැංවීමට” ඔවුන්ට හැකි විය (ඇල්මා 2:6).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මොසායා 29:11–27; ඇල්මා 2:1–7

මගේ ප්‍රජාව තුළ මට ධනාත්මක බලපෑමක් විය හැකිය.

විනිශ්චයකාරවරුන්ගේ පාලනයට වසර පහක් වැනි කෙටි කාලයකදී, ජනතාවගේ හඬ සාමාන්‍යයෙන් හරි දේ තෝරාගන්නා බවට මොසායා කළ ප්‍රකාශය පරීක්ෂා කරන අර්බුධයක් ඇති විය (මොසායා 29:26 බලන්න). මෙම ප්‍රශ්ණයට ආගමික නිදහස සම්බන්ධ විය: අමලිකි නම් මිනිසෙක් “[ජනතාවට] ඔවුන්ගේ සභාවේ අයිතීන් සහ වරප්‍රසාද වළකන්නට” උත්සාහ කළේය (ඇල්මා 2:4). ඔබගේ ජාතිය හෝ ප්‍රජාව තුළ ආගමික අයිතිවාසිකම් වලට තර්ජනයක් එල්ල වන බව ඔබ දැක තිබේද? මෙම තර්ජනයට නෙපිවරුන් ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? (ඇල්මා 2:1–7 බලන්න).

ඔබගේ ප්‍රජාව මුහුණදෙන බොහෝ වැදගත් ගැටළු තිබෙන්නට හැකියි. නෙපිවරුන් මෙන්, ඔබේ හඬ “ජනතාවගේ හඬට” ඇතුළත් කර ඇති බවට, ඔබ සහතික කරගන්නේ කෙසේද? සමහරවිට ඔබ ජීවත් වන්නේ ජනතාවගේ හඬ රජයට සීමිත බලපෑමක් ඇති තැනක විය හැකිය; එසේනම්, ඔබේ ප්‍රජාව තුළ ඔබට ධනාත්මක බලපෑමක් විය හැකි වෙනත් ක්‍රම තිබේද?

ඇල්මා 1

මට ව්‍යාජ මූලධර්ම හඳුනාගෙන ප්‍රතික්ෂේප කළ හැකිය.

තමා ඉගැන්වූ දේ අසත්‍ය බව නෙහෝර් අවසානයේ පාපොච්චාරණය කළද, ඔහුගේ ඉගැන්වීම් වසර ගණනාවක් තිස්සේ නෙපිවරුන්ට දිගටම බලපෑම් කළේය (බලන්න ඇල්මා 1:15–16; 2:1–2; 14:14–18; 15:15; 21:4; 24:28). නෙහෝර්ගේ ඉගැන්වීම් සිත් ඇදගන්නා සුළු යැයි මිනිසුන් සොයාගත්තේ ඇයි? ඔබ ඇල්මා 1:2-4 කියවන විට, නෙහෝර්ගේ ඉගැන්වීම් වල ඇති අසත්‍යයන් ඔබට හඳුනාගත හැකිදැයි බලන්න; අර්ධ සත්‍යයන් සමග ඒවා උගන්වා ඇති බව ඔබ බොහෝවිට දකිනු ඇත.

ගිඩියොන් නෙහෝර්ට “දෙවියන්වහන්සේගේ වචන වලින්” විරුද්ධ විය (ඇල්මා 1:7, 9). නෙහෝර්ගේ අසත්‍යය ප්‍රතික්ෂේප කරන ශුද්ධලියවිලි පද මොනවාදැයි කියා ඔබට සිතිය හැකිද? මෙන්න උදාහරණ කිහිපයක්, නමුත් තවත් බොහෝ දේ ඇත: මතෙව් 7:21–23; 2 නෙපි 26:29–31; මොසායා 18:24–26; සහ හිලමන් 12:25–26. අද දින උගන්වන අසත්‍යයන් ප්‍රතික්ෂේප කිරීමට මෙම ශුද්ධලියවිලි පද ඔබට උපකාර කරන්නේ කෙසේද?

ඇල්මා 1 පිළිබඳ ඔබේ අධ්‍යයනයට ප්‍රවේශ විය හැකි තවත් ක්‍රමයක් නම් නෙහෝර් සහ ඔහුගේ අනුගාමිකයන්ව (3–9, 16-20 පද) “දෙවියන්වහන්සේගේ සෙනග” සමග සන්සන්දනය කිරීමයි (25-30 පද; 2 නෙපි 26:29–31 ද බලන්න). ඔබට දෙවියන්වහන්සේගේ සෙනග හා සමාන වියහැක්කේ කෙසේද? ඔබේම සේවයේ කිසියම් “පූජක උපායන්” ඔබ දුටුවාද?

ඇල්මා 1:27–31; 4:6–15

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයින් ධනය කෙරෙහි සිත යොමු නොකරයි.

ඇල්මා හි 1 සහ 4 පරිච්ඡේද දෙකම සභාව සමෘද්ධිමත් වූ කාල පරිච්ඡේදයන් විස්තර කරයි, නමුත් සභාවේ සාමාජිකයන් එම සමෘද්ධියට ප්‍රතිචාර දැක්වූයේ සෑම අවස්ථාවකම වෙනස් ආකාරයකටය. ඔබ දකින වෙනස්කම් මොනවාද? ඔබ සොයාගත් දේ පදනම් කරගෙන, “දෙවියන්වහන්සේගේ නිහතමානී අනුගාමිකයන්” (ඇල්මා 4:15) ධනය හා සමෘද්ධිය කෙරෙහි දක්වන ආකල්පය ඔබ විස්තර කරන්නේ කෙසේද? ඔබේම ආකල්පය වෙනස් කිරීම සඳහා ඔබ පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

ඇල්මා 4

“දෙවියන්වහන්සේගේ වචනය” සහ “පිරිසිඳු සාක්ෂිය” මගින් හදවත් වෙනස් කළ හැකිය.

ඇල්මා 4 හි ඇල්මා “ඉතා ශෝකජනක” වූයේ (ඇල්මා 4:15) කුමක් නිසාද? අගවිනිසුරු ධූරය ඇල්මාව තම ජනතාව අතර දුටු ගැටලු විසඳීමට හොඳම තැනට පත් කරනු ඇතැයි සමහරු පැවසිය හැකිය. නමුත් වඩා හොඳ ක්‍රමයක් ඇති බව ඇල්මාට හැඟුණි. තම ජනයාට උපකාර කිරීම සඳහා ඔහු ගත් ප්‍රවේශය ගැන ඔබ තුළ පැහැදීමක් ඇති කරන්නේ කුමක්ද? ඔබේ අධ්‍යයනයෙන් ඔබ අවට සිටින අයට ධර්මිෂ්ට ලෙස බලපෑම් කළ හැකි ආකාරය පිළිබඳ සිතුවිලි ඇති කළ හැකිය; එසේ නම්, එම සිතුවිලි මත ක්‍රියාකරන්න.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

ඇල්මා 1:19–25

සභාවේ සාමාජිකයන් මෙම පදවල හිංසා පීඩා වලට ප්‍රතිචාර දැක්වූ විවිධ ක්‍රම හඳුනාගැනීමෙන් ඔබේ පවුලට එයින් ප්‍රයෝජන ගත හැකිය. අනෙක් අය අපගේ විශ්වාසයන්ට පහරදෙන විට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමේ ක්‍රම ඔබට පුහුණු විය හැකිය. Religious Freedom Videos ඒ සඳහා උපකාර විය හැකිය.

ඇල්මා 3:4

“තමන්ටම සලකුණක්” තබාගනිමින් අමලිකිවරුන්ට සන්නිවේදනය කිරීමට අවශ්‍ය වූ පණිවිඩය කුමක්ද? (ඇල්මා 3:4, 13 බලන්න). අපගේ පෙනුමෙන් - හිතාමතා හෝ නොදැනුවත්ව - අප ලබාදෙන පණිවිඩ මොනවා විය හැකිද? තරුණ තරුණියන්ගේ ශක්තිය සඳහා (2011), 6–8 හි “ඇඳුම් පැළඳුම් සහ පෙනුම” සමාලෝචනය කිරීමට මෙය හොඳ අවස්ථාවක් විය හැකිය.

ඇල්මා 4:2–3

දෙවියන්වහන්සේ කෙරෙහි “[අපගේ] යුතුකම සිහිකිරීම සඳහා අපව අවදි කළ” දේවල් හෝ අත්දැකීම් මොනවාද? (ඇල්මා 4:3). සමහරවිට ඔබේ පවුල උදෑසන අවදි කළ පසු මෙම පද බෙදාගැනීම ඵලදායී වනු ඇත. ශාරීරිකව අවදිවීමේ අභියෝග අධ්‍යාත්මිකව අවදිවීමේ අභියෝග තේරුම්ගැනීමට අපට උපකාර කරන්නේ කෙසේදැයි ඔබට සාකච්ඡා කළ හැකිය.

ඇල්මා 4:10–11

අපි “සභාවට අයත් නොවන අයට බාධාවක් [වීමෙන්]” වැළකී සිටින්නේ කෙසේද? (ඇල්මා 4:10). අන්‍යයන්ගේ, විශේෂයෙන් සභාවේ සෙසු සාමාජිකයන්ගේ ක්‍රියාවන් අපගේ අධ්‍යාත්මික දියුණුව සඳහා බාධාවක් නොවන බවට වගබලා ගතහැකි ආකාරය ගැන කතා කිරීමද ප්‍රයෝජනවත් විය හැකිය.

ඇල්මා 4:19

සාක්ෂියේ බලය තේරුම්ගැනීමට ඔබේ පවුලට උදව් කිරීම සඳහා, යමෙකුගේ සාක්ෂිය ඇසීමෙන් එය ඔවුන්ට ගැඹුරින් බලපෑ කාලයක් ගැන සිතාබැලීමට ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. ජනතාවගේ හදවත් ස්පර්ශ කිරීමට සාක්ෂිය සහ දෙවියන්වහන්සේගේ වචනය භාවිතා කිරීමට ඇල්මා තෝරාගත්තේ ඇයි? (ඇල්මා 31:5 ද බලන්න). වෙනස් කිරීමට අන් අයව පොළඹවා ගැනීම සඳහා මිනිසුන් භාවිතා කරන වෙනත් ක්‍රම වලට වඩා මෙය වඩා ඵලදායී වන්නේ ඇයි? අපගේ සාක්ෂි ඔවුන් සමග බෙදාගැනීමෙන් අපට ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කළ හැකි අය සිටිනවාද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ශුද්ධලියවිලි ඔබට අදාළ කරගන්න. මෙම ශුද්ධලියවිලි පද වල එම කථාන්දර සහ ඉගැන්වීම් ඔබේ ජීවිතයට අදාළ වන ආකාරය සලකා බලන්න. නිදසුනක් ලෙස, ඇල්මා 1-4 හි නෙපිවරුන් මුහුණ දෙන සමාජ ගැටලු සහ වර්තමාන ලෝකය අතර සමානකම් ඔබට සොයාගත හැකිය.

අමිලිකිවරුන් නෙපිවරුන් සමග සටන් කරමින්

ස්කොට් එම්. ස්නෝ විසින්, ඇල්මා සහ අමිලිකි