එන්න, මා අනුගමනය කරන්න
ජූලි 20–26. “අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේ”: 2 ලේකම් 14–20; 26; 30


“ජූලි 20–26. ‘අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේ’: 2 ලේකම් 14–20; 26; 30,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා:: පරණ ගිවිසුම 2026 (2026)

“ජූලි 20–26. ‘අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේ,’” එන්න, මා අනුගමනය කරන්න: 2026

යෙහෝෂාපාට් රජ යාච්ඤා කරමින්

කීලි රේ විසින්, King Jehoshaphat’s Prayer [යෙහෝෂාපාට් රජුගේ යාච්ඤාව]

ජූලි 20–26: “අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේ”

2 ලේකම් 14–20; 2630

යුදා රාජ්‍යය වට කර තිබුණා. ප්‍රබල සතුරු ජාතීන් තුනක හමුදාවන් එක්ව සටනට සූදානම් වෙමින් ඉදිරියට ඇදෙමින් සිටියා. මෙම මංමුලා සහගත මොහොතේදී, යුදයේ රජ වූ යෙහෝෂාපාට්, ස්වර්ගයේ සහ පොළොවේ රජු වෙතට හැරුණා. යෙහෝෂාපාට් තම සෙනඟව දේවමාළිගාවට රැස් කර යාච්ඤා කළා. ඔහු ඔවුන්ගේ මානුෂීය දුර්වලකම පිළිගෙන ගැලවීම ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර වශයෙන්, ස්වාමින්වහන්සේ ඔහුගේ ආරක්ෂාව ගැන පොරොන්දු වුණා: “භයනොවී, නොකැලඹී සිටින්න” (2 ලේකම් 20:17).

අපව විනාශ කිරීමට තර්ජනය කරන ආක්‍රමණික හමුදාවක් අපගේ දොරකඩ සිටින්නේ නැති වෙන්න පුළුවන්, නමුත් සමහර වෙලාවට අපි විපත්තිවලින් සහ නපුරෙන් වට වී සිටින බවක් අපිට දැනෙන්න පුළුවන්. ගැලවීම සඳහා අපගේ මාර්ගය වන්නේ යෙහෝෂාපාට් සෙවූ එම මාර්ගයමයි, ඒවගේම අපගේ යාච්ඤාවත් ඔහුගේ යාච්ඤාව වගේ වෙන්න පුළුවන්: “අපේ දෙවියන්වහන්ස, … මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේ” (2 ලේකම් 20:12).

2 ලේකම් 14–30 හි, ඔබ යෙහෝෂාපාට් සහ යුදයේ අනෙකුත් රජවරුන් ගැන කියවයි. ඔවුන්ගේ ඇදහිල්ල මත පදනම් වූ ප්‍රතිසංස්කරණ, ජයග්‍රහණ සහ අභියෝග ඔබේ ජීවිතයට අදාළ වන්නේ කෙසේදැයි සලකා බලන්න.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

2 ලේකම් 14–16

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම මට සාමය ගෙන එයි.

ආසා යුදයේ රජුව සිටියදී, අද අප සියල්ලන් මෙන් ඔහුට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවුණා. ඔහු මුහුණ දුන් පීඩා ගැන ඔබ කියවන විට, ඔහු විශ්වාසය තැබූ දේවල් සහ කාලයත් සමඟ එය වෙනස් වූ ආකාරය සැලකිල්ලට ගන්න.

යොමුව

ආසා මුහුණ දුන් අභියෝග

ආසා විශ්වාසය තැබූ දේවල්

යොමුව

2 ලේකම් 14:9–12

යොමුව

2 ලේකම් 15:1–8

යොමුව

2 ලේකම් 16:1–10

අපි සමහර අවස්ථා වල ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම නතර කරන්නේ ඇයි? ආසාගේ ජීවිතයෙන් ඔබ ඉගෙන ගන්නා තවත් දේවල් මොනවාද?

තවත් බලන්න වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, “දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය,” ලියහෝනා, මැයි 2022, 78–80.

2 ලේකම් 18

එසේ කිරීම ජනප්‍රිය නොවන විට පවා මට සත්‍යය ආරක්ෂා කළ හැකිය.

සිරියාවට එරෙහි යුද්ධයේදී යෙහෝෂාපාට් සහ ආහබ් රජුන්ගේ සාර්ථකත්වය අනාවැකි කීමට අනාගතවක්තෘ මීකායාට දැඩි පීඩනයක් දැනෙන්නට ඇති. 2 ලේකම් 18:1–12 තුළ එම පීඩනය පිළිබඳ සාක්ෂි සොයන්න. 13–27 පදවල මීකායාගේ නිර්භීතකම සහ අවංක බව ගැන ඔබ සොයා ගන්නා සාක්ෂි මොනවාද? (14 වෙනි පදයේ, මීකායා උපහාසාත්මක ප්‍රතිචාරයක් දක්වන බව සලකන්න; ඔහුගේ සැබෑ පිළිතුර 16 වෙනි පදයේ ඇත.) 28–34 පදවල මීකායාගේ වචන ඉටු වුණේ කෙසේද?

මීකායා මුහුණ දුන් ආකාරයේ පීඩනයකට, ඔබට මුහුණ දීමට සිදුවිය හැකි සමහර තත්වයන් මොනවාද? ස්වාමින්වහන්සේ වෙනුවෙන් සහ උන්වහන්සේගේ ඉගැන්වීම් වෙනුවෙන් පෙනී සිටීමට ඔබට ධෛර්යය ලබාදෙන්නේ කුමක්ද?

යුදයේ සිතියම

යෙහෝෂාපාට් රජුගේ කාලයේදී ජාතීන් තුනක් යෙරුසලමට පහර දුන්නා.

2 ලේකම් 20:1–25

සෙමනේරි නිරූපකය
දුෂ්කර කාලවලදී, මට දෙවියන්වහන්සේ වෙත සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් වෙත හැරිය හැකිය.

ඔබ 2 ලේකම් 20:1–12 කියවන විට, විවිධ ජාතීන් යුදයට පහර දීමට පැමිණි විට යෙහෝෂපාට් රජු කළ දේ ගැන සොයා බලන්න. ඔබ මුහුණ දෙන අභියෝගාත්මක තත්වයන් තුළ ඔබට ඔහුගේ ක්‍රියා අදාළ කරගත හැක්කේ කෙසේද?

යෙහෝෂාපාට්ගේ යාච්ඤාවට ස්වාමින්වහන්සේගේ ප්‍රතිචාරය 14–17 පදවල දක්නට ලැබෙනවා. ඔබ එහි සොයාගන්නා, දුෂ්කර කාලවලදී ඔබව හෝ ඔබ දන්නා කෙනෙකුව සැනසිය හැකි වාක්‍ය ඛණ්ඩ මොනවාද?

ඊළඟ දවසේ, යෙරුසලමේ වැසියන් ඔවුන්ට එරෙහිව එන එම හමුදාව හමුවීමට පිටත් වුණා. ඔබ 2 ලේකම් 20:20 කියවන විට, යෙහෝෂාපාට් යෙරුසලමේ වැසියන්ට දුන් පණිවිඩය සොයන්න. ඔහුගේ වචන ඉටු වූයේ කෙසේද? (බලන්න 22–23 පද). දෙවියන්වහන්සේව විශ්වාස කරන නිසා සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ව අනුගමනය කරන නිසා, දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇත්තේ කෙසේද?

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා: “මගේ අත්දැකීම නම්, ඔබ අනාගතවක්තෘවරයාගේ ප්‍රකාශ පිටුපස ප්‍රශ්න ලකුණු තැබීම නවත්වා ඒ වෙනුවට විශ්මය දනවන ලකුණු දැමූ විට, සහ ඉන්පසු එය කළ පසු, ආශිර්වාද ගලාගෙන එයි. ‘අනාගතවක්තෘවරයා අනාගතවක්තෘවරයෙකු ලෙස කතා කරන්නේ කවදාද සහ ඔහු එසේ කතා නොකරන්නේ කවදාද?’ කියා මම කිසිවිටෙකත් මගෙන්ම අසාගන්නේ නෑ. මගේ උනන්දුව මෙපමණයි, ‘මම තව තවත් ඔහු හා සමාන වන්නේ කොහොමද?’” (in Lane Johnson, “Russell M. Nelson: A Study in Obedience,” Ensign, Aug. 1982, 24).

තවත් බලන්න දේවානුභාවයෙන් යුත් තේරීම් කරන්න,” යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීමට මාර්ගෝපදේශයක් (2022), 4–5.

3:37

A Secure Anchor

සත්‍යයේ සරල ප්‍රකාශ හඳුනා ගන්න. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ ඉගැන්නුවා: “ශුද්ධලියවිලි අපට බොහෝ මූලධර්ම දියමන්ති පිරිනමනවා. ආත්මයාණන්ගේ ආලෝකය එහි පැති කිහිපයක් මත ක්‍රියා කරන විට, එය ස්වර්ගීය හැඟීමෙන් බැබළෙන අතර අප අනුගමනය කළ යුතු මාර්ගය ආලෝකමත් කරනවා” (“According to the Desire of [Our] Hearts,” Ensign, Nov. 1996, 21). ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, කෙටි නමුත් ප්‍රබල පණිවිඩ හඳුනා ගැනීමට, සලකුණු කිරීමට සහ මෙනෙහි කිරීමට කාලය ගැනීම ගැන සලකා බලන්න. සමහර උදාහරණ 2 ලේකම් 14:11; 15:7; 18:13; 20:15; 26:5 තුළින් සොයාගන්න පුළුවන්. ඔබට සොයාගත හැකි වෙනත් “මූලධර්ම දියමන්ති” මොනවාද?

2 ලේකම් 26:3–21

උඩඟුකම විනාශයට මගපාදයි.

යුදයේ වෙනත් බොහෝ රජවරුන් මෙන්, උස්සියාගේ පාලන කාලය විශාල ජයග්‍රහණවලින් ආරම්භ වූ නමුත් ඛේදවාචකයකින් අවසන් වුණා. 2 ලේකම් 26 හි මෙම රටාව සොයන්න. උස්සියාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කියා ඔබ කියන්නේ කුමක්ද?

ඔබ 16–23 පද කියවන විට, මෙම අවස්ථාවේදී දේවමාළිගාවේ සුවඳ දුම් ඔප්පු කිරීමට අවසර තිබුණේ පූජකයන්ට පමණක් බව මතක තබාගන්න. ඔබ සිතන ආකාරයට උස්සියා රජු දෙවියන්වහන්සේට අකීකරු වුණේ ඇයි? මෙම ඛේදජනක අත්දැකීමෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

2 ලේකම් 30

මට සාමය ඇති කරන්නෙකු විය හැකිය.

2 ලේකම් 30 හි, හෙසකියා යනු යුදයේ රජුයි. ඉශ්‍රායෙල්වරුන්ට වසර ගණනාවක් තිස්සේ කිරීමට නොහැකි වූ දෙයක් වුණු—පාස්කු උත්සවය සැමරීම සඳහා ඔහු ප්‍රතිවාදී ඉශ්‍රායෙල් රාජධානියට යෙරුසලමට එක්රැස් වන ලෙස ආරාධනා කළා (බලන්න 1–12 පද). ඉශ්‍රායෙල් අමුත්තන් සහ යුදයේ සිටි ඔවුන්ගේ ආගන්තුක සත්කාර කරන්නන් යන දෙපාර්ශවයටම ලැබුණු මෙම ආරාධනාව සහ එය ලැබුණු ආකාරය ගැන ඔබේ සිත් ඇදගන්නේ මොනවාද?

බොහෝ කාලයක් ගත වී තිබූ නිසා, යෙරුසලමට පැමිණි සමහර අමුත්තන් පාස්කුවට සහභාගි විය යුතු ආකාරය පිළිබඳ විස්තර දැන සිටියේ නෑ. ඔබ 2 ලේකම් 30:18–27 කියවන විට, හෙසකියාගේ ප්‍රතිචාරයෙන් සහ ඔහුගේ ප්‍රතිචාරයේ ප්‍රතිඵලවලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “සාමය ඇති කරන්නන් අවශ්‍යයි,” ලියහෝනා, මැයි 2023, 98-101.

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

2 ලේකම් 14–1620

මට දෙවියන්වහන්සේව විශ්වාස කරන්න පුළුවන්.

  • ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමේ අදහස හඳුන්වා දීම සඳහා, කුඩයක් හෝ ජැකට් එකක් වැනි වැස්සක් ඇති විට ඔබව නොතෙමී තැබීමට ඔබ විශ්වාස කරන දෙයක් ඔබට ඔබේ දරුවන්ට පෙන්වන්න පුළුවන්. අපට මේ දේවල් විශ්වාස කළ හැක්කේ මන්දැයි ඔවුන්ට කතා කිරීමට ඉඩ දෙන්න. ඉන්පසු එය ස්වාමින්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය හා සැසඳීමට ඔවුන්ට උපකාර කරන්න. අපව ආත්මිකව ආරක්ෂා කිරීමට අප උන්වහන්සේව විශ්වාස කරන්නේ ඇයි?

  • ආසා රජු සහ යෙහෝෂාපාට් රජු ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් අභියෝගවලට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න සොයා ගැනීමට ඔබට ඔබේ දරුවන්ට උපකාර කරන්න පුළුවන් (බලන්න 2 ලේකම් 14:11; 20:3–5, 12). ඔබ ස්වාමින්වහන්සේව විශ්වාස කරන බව ඔබට උන්වහන්සේට පෙන්විය හැකි ක්‍රම ගැන එකිනෙකා සමඟ බෙදාගන්න.

2 ලේකම් 20:1–29

දෙවියන්වහන්සේ මාගේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙනවා.

  • මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවෙන් යෙහෝෂාපාට්ගේ යාච්ඤාව සහ ඒ සඳහා ස්වාමින්වහන්සේගේ පිළිතුර පිළිබඳ කතාව තේරුම් ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරයි. දෙවියන්වහන්සේ ඔබේ යාච්ඤාවලට සවන් දුන් සහ පිළිතුරු දුන් අවස්ථාවන් ඔබට සහ ඔබේ දරුවන්ට බෙදාගන්න පුළුවන්. ඔබ අපේක්ෂා නොකළ ලෙස පිළිතුරු ලැබුණු ආකාරයන් සහ අවස්ථා ඒ සඳහා ඇතුළත් කිරීම ගැන සලකා බලන්න. යාච්ඤාව පිළිබඳ ගීතයක්, ඔබේ දරුවන්ගේ ඇදහිල්ල ගොඩනැගීමට උපකාරී වෙන්න පුළුවන්.

2 ලේකම් 26:3–23

මට නිහතමානී වෙන්න පුළුවන්.

  • උඩඟුකමේ අන්තරායන් ගැන ඉගෙන ගැනීමට, ඔබේ දරුවන්ට ප්ලාස්ටික් කැබලි හෝ කුඩා කෝප්ප වලින් කුළුණක් හදන්න පුළුවන්. ඔවුන් ඒ එක් එක් ප්ලාස්ටික් කැබැල්ලක් හෝ කෝප්පයක් කුළුණ මත තබන විට, 2 ලේකම් 26:3–15 තුළ උස්සියාගේ ජයග්‍රහණ වලින් එකක් හඳුනා ගැනීමට ඔවුන්ට උදවු කරන්න. ඔවුන් කුළුණ නිම කළ පසු, උස්සියා එය උසින් හා ශක්තිමත්ව තබා ගත්තේ කෙසේදැයි ඔබේ දරුවන් සමඟ සාකච්ඡා කරන්න. එය වැටීමට හේතු විය හැක්කේ මොනවාද? ඉන්පසුව, ඔබ 16 වෙනි පදය කියවන විට, අපගේ හදවත් “[අපගේ] විනාශය දක්වා උඩඟු වීම” යන්නෙහි තේරුම ගැන ඔබට කතා කරන්න පුළුවන්. 16–23 පදවල උස්සියාට සිදු වූ දේ ඔබේ දරුවන් සමඟ බෙදාගන්න. ඔවුන්ගේ කුළුණ කඩා දැමීමට ඔවුන්ට ඉඩ දෙන්න. නිහතමානීව සිටීමට අපට කළ හැකි දේ ගැන කතා කරන්න.

හෙසකියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරයි

King Hezekiah and the People Thank God [හෙසකියා රජු සහ සෙනඟ දෙවියන්වහන්සේට ස්තූති කරති], © Lifeway Collection/licensed from goodsalt.com

2 ලේකම් 30

මට සාමය ඇති කරන්නෙකු විය හැකිය.

  • ඉහත පින්තූරයේ දැක්වෙන්නේ ඉශ්‍රායෙල් රාජ්‍යයේ යුදයේ අසල්වැසියන්ට ඔවුන් සමඟ පාස්කුව සැමරීමට හෙසකියා ආරාධනා කළ අවස්ථාවයි. ඔබට ඔබේ දරුවන් සමඟ මෙම රූපය දෙස බලා 2 ලේකම් 30:18–19 කියවන්න පුළුවන්, එහිදී මෙම සමහර අමුත්තන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව ඔවුන්ව සෝදාගෙන නැති බව පැහැදිලි කරනවා. හෙසකියා කළේ කුමක්ද? මේ නිසා අමුත්තන්ට කෙසේ හැඟෙන්නට ඇත්ද? අනෙක් අයට සලකන විදියෙන් අපිට හෙසකියා වගේ වෙන්න පුළුවන් කොහොමද කියා සිතන්නට ඔබේ දරුවන්ට උදව් කරන්න.

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ඔහුගේ නළල මත දිස් වූ ලාදුරු රෝගය නිසා උස්සියාව දේවමාළිගාවෙන් එළවා දමනු ලැබීම

ඒ. එම්. බූන් විසින්, Uzziah’s Pride and Punishment [උස්සියාගේ උඩඟුකම සහ දඬුවම්]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: දෙවියන්වහන්සේ මගේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙනු ඇත