එන්න, මා අනුගමනය කරන්න
මතක තබාගත යුතු සිතුවිලි: යේසුස්වහන්සේ මුළු ඉශ්‍රායෙල් ජාතියටම කියයි, ‘ගෙදර එන්න’”


“මතක තබාගත යුතු සිතුවිලි: ‘යේසුස්වහන්සේ මුළු ඉශ්‍රායෙල් ජාතියටම කියයි, “ගෙදර එන්න,”’” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“මතක තබාගත යුතු සිතුවිලි: ‘යේසුස්වහන්සේ මුළු ඉශ්‍රායෙල් ජාතියටම කියයි, “ගෙදර එන්න,”’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026

සිතුවිලි නිරූපකය

මතක තබාගත යුතු සිතුවිලි

“යේසුස්වහන්සේ මුළු ඉශ්‍රායෙල් ජාතියටම කියයි, ‘ගෙදර එන්න’”

සීනයි කාන්තාරයේදී, මෝසෙස් ඉශ්‍රායෙල් දරුවන්ව කන්දක් පාමුලට රැස් කළා. මෑතකදී නිදහස් කරන ලද මෙම වහල් කණ්ඩායම, බලවත් ජනතාවක් බවට පත් කිරීමට ස්වාමින්වහන්සේට අවශ්‍ය බව, එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේ මෙසේ පැවසුවා “නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය” (නික්මයාම 19:6). විශාල, වඩා බලවත් සතුරන් විසින් වට කරන විට පවා, ඔවුන් සමෘද්ධිමත් වන බවට උන්වහන්සේ පොරොන්දු වුණා.

මේ සියල්ල සිදු වන්නේ ඉශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙක් සිටින නිසා හෝ ශක්තිමත් හෝ දක්ෂ වූ නිසා නොවේ. “[ඔවුන්] සැබවින් [උන්වහන්සේගේ] හඬට කීකරුව [උන්වහන්සේගේ] ගිවිසුම රක්ෂා කරන්නහුනම්” එය සිදුවනු ඇති බව ස්වාමින්වහන්සේ පැහැදිලි කළා (නික්මයාම 19:5). ඔවුන්ව බලවත් කරන්නේ දෙවියන්වහන්සේගේ බලය මිස ඔවුන්ගේම බලය නොවේ.

නමුත් ඉශ්‍රායෙල්වරුන් සැමවිටම දෙවියන්වහන්සේගේ හඬට කීකරු නොවූ අතර, කාලයත් සමඟම ඔවුන් උන්වහන්සේගේ ගිවිසුම පැවැත්වීම නැවැත්වුවා. බොහෝ අය වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ අතර, ඔවුන් අවට තිබූ සංස්කෘතීන්ගේ පිළිවෙත් අනුගමනය කළා. ඔවුන්ව වෙනස් ජාතියක් බවට පත් කළ ඒ දේ—එනම් ස්වාමින්වහන්සේ සමඟ ඔවුන්ගේ ගිවිසුම් සම්බන්ධය ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඔවුන්ව ආරක්ෂා කිරීමට දෙවියන්වහන්සේගේ බලය නොමැතිව, ඔවුන්ගේ සතුරන්ව නැවැත්වීමට එහි කිසිවක් තිබුණේ නෑ.

විසිරුවා හැරීම

ක්‍රි.පූ. 735 සහ 720 අතර කිහිප වතාවක්ම, ඇසිරියානුවන් මෙම ගෝත්‍ර දොළහෙන් දහයකට නිවහන වූ ඉශ්‍රායලයේ උතුරු රාජධානිය ආක්‍රමණය කළ අතර, ඉශ්‍රායෙල්වරුන් දහස් ගණනක් ඇසිරියානු අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශවලට වහල්භාවයට ගෙන යනු ලැබුවා. මෙම ඉශ්‍රායෙල්වරුන් “නැතිවූ ගෝත්‍ර” ලෙස හඳුන්වනු ලැබුවේ, ඔවුන්ව ඔවුන්ගේ මව්බිමෙන් ඉවත් කර, ඔවුන් වෙනත් ජාතීන් අතර විසිරී ගිය නිසායි. නමුත් ඔවුන් ගැඹුරු අර්ථයකින් ද නැති වී සිටියා: කාලයත් සමඟ ඔවුන්ට දෙවියන්වහන්සේගේ ගිවිසුම් සෙනඟ ලෙස තිබූ අනන්‍යතාවය පිළිබඳ හැඟීම නැති වී තිබුණා.

අවසානයේදී යුදයේ දක්ෂිණ රාජධානියේ බොහෝ මිනිසුන්ද ස්වාමින්වහන්සේගෙන් ඈත් වුණා. ඇසිරියානුවන් එම රාජධානිට පහර දී වැඩි කොටසක් යටත් කරගත්තා; යෙරුසලම පමණක් ආශ්චර්යමත් ලෙස ආරක්ෂා වුණා. පසුව, ක්‍රි.පූ. 597 සහ 580 අතර, බැබිලෝනිවරුන් දේවමාළිගාව ඇතුළුයෙරුසලම විනාශ කර බොහෝ මිනිසුන්ව වහල්භාවයට ගෙන ගියා. අවුරුදු 70කට පමණ පසු, යුදයේ ඉතිරි වූවන්ට නැවත යෙරුසලමට ගොස් දේවමාළිගාව නැවත ගොඩනැගීමට අවසර ලැබුණා. කෙසේවෙතත්, බොහෝ දෙනෙක් බැබිලෝනියේ නැවතී සිටියා.

යෙරුසලම ගින්නෙන් දැවී ගියේය

විලියම් බ්‍රැසී හෝල් විසින්, The Destruction of Jerusalem by Nebuzar-adan [නෙබුසාර්-අදාන් විසින් යෙරුසලම විනාශ කිරීම], © Providence Collection/licensed from goodsalt.com

කාලය ගෙවී යත්ම, සියලුම ගෝත්‍රවල ඉශ්‍රායෙල්වරුන්ව “ඔවුන් නොදන්නාවූ සියලු ජාතීන් අතරට සුළිහුළඟකින් විසුරුවා දැමුවා” (සෙකරියා 7:14). සමහර අයව ස්වාමින්වහන්සේ වෙනත් රටවලට ගෙන ගියා. තවත් අය අල්ලා ගැනීමෙන් බේරීමට හෝ දේශපාලන හෝ ආර්ථික හේතු මත ඉශ්‍රායලයෙන් පිටව ගියා.

මේ සියලු සිදුවීම් අපි හඳුන්වන්නේ ඉශ්‍රායලයේ විසිරුවා හැරීම ලෙසයි. එමෙන්ම හේතු කිහිපයක් නිසාම මෙම විසිරීම ගැන දැන ගැනීම වැදගත්. එක් කාරණයක් තමයි, එය පරණ ගිවිසුමේ ප්‍රධාන මාතෘකාවක්—මෙම විසිරී යාමට තුඩු දුන් අධ්‍යාත්මික පරිහානිය පිළිබඳ පරණ ගිවිසුමේ බොහෝ අනාගතවක්තෘවරුන් සාක්ෂිකරුවන් වුණා. ඔවුන් එය කලින් දැක ඒ ගැන අනතුරු ඇඟෙව්වා. ඔවුන්ගෙන් සමහරෙක් ඒ තුළ පවා ජීවත් වුණා. පරණ ගිවිසුමේ අවසාන කොටසේ යෙසායා, යෙරෙමියා, ආමොස් සහ වෙනත් අනාගතවක්තෘවරුන්ගේ පොත් කියවන විට එය මතක තබාගැනීම උපකාරී වෙනවා. මෙම සන්දර්භය මනසේ තබාගෙන, ඔබ ඇසිරියාව සහ බැබිලෝනිය, රූප වන්දනාව සහ වහල්භාවය, විනාශය සහ අවසාන නැවත පිහිටුවීම පිළිබඳ ඔවුන්ගේ අනාවැකි කියවන විට, ඔවුන් කතා කරන්නේ කුමක් දැයි ඔබ දැනගනියි.

ඉශ්‍රායලයේ විසිරුවා හැරීමේ මේ තේරුම් ගැනීම මොර්මොන්ගේ පොත වඩාත් හොඳින් තේරුම් ගැනීමටත් ඔබට උපකාරී වෙනවා, මොකද මොර්මොන්ගේ පොත කියන්නෙ විසිරුණු ඉශ්‍රායලයේ ශාඛාවක් පිළිබඳ වාර්තාවක්. මෙම වාර්තාව ආරම්භ වන්නේ බැබිලෝනිවරුන්ගේ ප්‍රහාරයට මොහොතකට පෙර, ක්‍රි.පූ. 600 දී පමණ ලෙහීගේ පවුල යෙරුසලමෙන් පලා යාමත් සමඟයි. ලෙහී යනු ඉශ්‍රායලයේ විසිරී යාම ගැන අනාවැකි පළ කළ අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක්. ඔහුගේ පවුලේ අය එම අනාවැකිය ඉටු කිරීමට උදව් කළා, ඔවුන් එසේ කළේ ඔවුන්ගේ ඉශ්‍රායෙල් ශාඛාව ලෝකයේ අනෙක් පැත්තේ, එනම් ඇමරිකාවේ පිහිටුවීමෙනුයි.

එක්රැස්වීම

කෙසේවෙතත්, ඉශ්‍රායලය විසිරුවා හැරීම කියන්නෙ මේ කතාවෙන් අඩක් පමණයි. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සෙනඟව අමතක කරන්නේ නෑ, ඒවගේම ඔවුන් උන්වහන්සේව අත්හැර දැමූ විට පවා උන්වහන්සේ ඔවුන්ව අත්හරින්නේ නෑ. දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් විසුරුවා හරින බවට වූ බොහෝ අනාවැකි සමඟ, උන්වහන්සේ යම් දිනක ඔවුන්ව රැස් කරන බවට කළ බොහෝ පොරොන්දු ද ඇතුළත් වුණා.

ඒ දවස අදයි—ඒ අපේ දවසයි. එම එක්රැස්වීම දැනටමත් ආරම්භ වී තිබෙනවා. 1836දී, මෝසෙස් ඉශ්‍රායෙල් දරුවන්ව සීනයි කන්ද පාමුල රැස් කර වසර දහස් ගණනකට පසු, ජෝසෆ් ස්මිත්ට “පොළොවේ සතර දිග්භාගයෙන් ඉශ්‍රායෙලය එක්රැස් කිරීමට යතුරු” ලබා දීමට ඔහු කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී පෙනී සිටියා (දහම සහ ගිවිසුම් 110:11). දැන්, මෙම යතුරු දරාගෙන සිටින මනුෂ්‍යයින්ගේ මගපෙන්වීමත් සමඟ, ස්වාමින්වහන්සේගේ සේවකයන්ට ලඟා වීමට හැකි සෑම ජාතියකින්ම, මෙම ඉශ්‍රායෙල් ගෝත්‍ර එක්රැස් කරනු ලැබෙනවා.

මෝසෙස්, ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්රි වෙත කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී පෙනී සිටීම

ගැරී ඊ. ස්මිත් විසින්, Moses, Elias, and Elijah Appear in the Kirtland Temple [මෝසෙස්, එලියාස් සහ එලියා කර්ට්ලන්ඩ් දේවමාළිගයේ පෙනී සිටිති]

සභාපති රසල් එම්. නෙල්සන් මෙම එක්‍ රැස්වීම ගැන හැඳින්වූයේ මෙලෙසයි “අද මිහිපිට සිදුවන වැදගත්ම දේ මෙයයි. අන් කිසිවක් කිසිවකින් සැසඳිය නොහැකිය, අන් කිසිවක් වැදගත් නැත, අන් කිසිවක් එම තේජාන්විත බවට සමාන නොවේ. ඒවගේම ඔබ තෝරාගන්නවානම්, ඔබට අවශ්‍ය නම්, ඔබට එහි විශාල කොටසක් විය හැකිය.”

අපට උපකාර කළ හැක්කේ කෙසේද? ඉශ්‍රායෙලය එක් රැස්කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් කරන්නේ එම ගෝත්‍ර දොළහ ඔවුන් කලින් වාසය කළ භූමියට නැවත ස්ථාපනය කිරීමද? ඇත්තවශයෙන්ම, එයින් අදහස් කරන්නේ ඊට වඩා විශාල, ඊට වඩා සදාකාලික දෙයක්. සභාපති නෙල්සන් මෙසේ පැහැදිලි කළා:

“අපි එක් රැස්කිරීම ගැන කතා කරන විට, අපි හුදෙක් මෙම මූලික සත්‍යය කියමු: තිරය දෙපස සිටින අපගේ ස්වර්ගික පියාණන්ගේ සෑම දරුවෙකුටම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචියේ පණිවිඩය ඇසීමට අවශ්‍යය. …

“දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගැනීමට සහ ඒවායේ අත්‍යවශ්‍ය බව්තීස්ම සහ දේවමාළිගා නියෝග ලබාගැනීමට පියවරක් ගැනීමට—තිරයේ ඕනෑම පැත්තක—ඕනෑම කෙනෙකුට උපකාර වන ඕනෑම දෙයක් ඔබ ඕනෑම අවස්ථාවක කරන විට, ඔබ ඉශ්‍රායලය එක්රැස් කිරීමට උදව් වනවා. එය ඒ තරම්ම සරලයි.”

යෙසායා පැවසූ පරිදි, “එක් එක්කෙනෙක්” (යෙසායා 27:12) ලෙස හෝ, යෙරෙමියා පුරෝකථනය කළ පරිදි, “නගරයකින් එක්කෙනෙක්ද වංශයකින් දෙදෙනෙක්ද වුවත්” (යෙරෙමියා 3:14) ලෙස මෙය සිදු වෙනවා.

ඉශ්‍රායලය එක්රැස් කිරීම යනු දෙවියන්වහන්සේගේ දරුවන්ව නැවත උන්වහන්සේ වෙතට ගෙන ඒමයි. එයින් අදහස් කරන්නේ උන්වහන්සේ සමඟ ඔවුන්ගේ ගිවිසුම් සබඳතාවයට ඔවුන්ව නැවත ගෙන ඒමයි. එයින් අදහස් කරන්නේ උන්වහන්සේ බොහෝ කලකට පෙර පිහිටුවීමට යෝජනා කළ “ශුද්ධ වූ ජාතිය” යළි පිහිටුවීමයි (නික්මයාම 19:6).

ගෙදර එන්න

දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කර ගත් කෙනෙකු ලෙස, ඔබ ඉශ්‍රායෙල් වංශයේ කොටසක්. ඔබව එක් රැස් කර ඇති අතර, ඔබත් එක් රැස් කරන්නෙකු වෙනවා. මෙම ගිවිසුම් ජනතාවගේ සියවස් ගණනාවක් පුරා දිවෙන වීර කාව්‍යය එහි උච්චතම අවස්ථාවට ගොඩනැගෙමින් පවතින අතර ඔබ එහි ප්‍රධාන චරිතයක්. දැන් මේ කාලයයි “යේසුස්වහන්සේ මුළු ඉශ්‍රායෙල් ජාතියටම කියයි, ‘ගෙදර එන්න.’”

රැස් කරන්නන්ගේ පණිවිඩය මෙයයි: ගිවිසුම කරා ගෙදර එන්න. සයොනය වෙත ගෙදර එන්න. ඉශ්‍රායෙලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන්න, එවිට උන්වහන්සේ ඔබව ඔබේ පියාණන් වන දෙවියන්වහන්සේ වෙතට ගෙන එයි.

සටහන්

  1. බලන්න ද්විතීය කතාව 28:1–14.

  2. බලන්න 2 රාජාවලිය 17:6–7; 2 ලේකම් 36:12–20.

  3. බලන්න 2 රාජාවලිය 17:1–7. රූබන්, සිමියොන්, ඉස්සාකර්, සෙබුලූන්, දාන්, නප්තලී, ගාද්, ආෂෙර්, එෆ්‍රායිම් සහ මනස්සේ යන ගෝත්‍ර දහය අෂූරිය විසින් වහල්භාවයට ගෙන යනු ලැබීය. ලෙවී ගෝත්‍රයට ඔවුන්ගේ පූජක වගකීම් ඉටු කිරීමට හැකි වන පිණිස, ඔවුන් අනෙකුත් ගෝත්‍රවල ප්‍රදේශ පුරා ව්‍යාප්ත විය.

  4. බලන්න 2 රාජාවලිය 19; යෙසායා 10:12–13.

  5. බලන්න 2 රාජාවලිය 24–25; 2 ලේකම් 36; යෙරමියා 39; 52.

  6. බලන්න එස්රා 17; නෙහෙමියා 2.

  7. බලන්න 2 නෙපී 1:1–5; ඔම්නි 1:15–16.

  8. බලන්න 2 රාජාවලිය 25:22–26; යෙරමියා 42:13–19; 43:1–7.

  9. ක්‍රි.ව. 70 දී, යෙරුසලම සහ එහි දේවමාළිගාව නැවතත් රෝමවරුන් විසින් විනාශ කරන ලද අතර, ඉතිරි යුදෙව්වන්, බොහෝ ජාතීන් පුරා විසිරී ගියහ.

  10. බලන්න යෙරමියා 29:18; එසකියෙල් 22:15; හොෂෙයා 9:17; ආමොස් 9:9; 1 නෙපී 1:13.

  11. බලන්න 1 නෙපී 15:12.

  12. බලන්න 1 නෙපී 1:13, 18–20; 10:12–14.

  13. බලන්න යෙසායා 5:26; 27:12; 54; යෙරමියා 16:14–15; 29:14; 31:10; එසකියෙල් 11:17; 34:12; 37:21–28; සෙකරියා 10:8; 1 නෙපී 10:14; 22:25; 3 නෙපී 16:1–5; 17:4.

  14. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), Gospel Library.

  15. Russell M. Nelson, “Hope of Israel.

  16. බලන්න 2 නෙපී 30:2.

  17. Now Let Us Rejoice,” Hymns, no. 3.