“ජනවාරි 19–25. ආදම් සහ ඒවගේ වැටීම: උත්පත්ති 3–4; මෝසෙස් 4–5,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“ජනවාරි 19–25. ආදම් සහ ඒවගේ වැටීම,” එන්න, මා අනුගමනය කරන්න: 2026
ඩග්ලස් එම්. ෆ්‍රයර් විසින්, Adam and Eve [ආදම් සහ ඒව]
ජනවාරි 19–25: ආදම් සහ ඒවගේ වැටීම
උත්පත්ති 3–4; මෝසෙස් 4–5
මුලදී, ආදම් සහ ඒවගේ වැටීම පිළිබඳ කතාව ඛේදවාචකයක් ලෙස පෙනෙන්නට පුළුවන්. ආදම් සහ ඒවව ඒ ලස්සන ඒදන් උයනෙන් එළියට දැම්මා. ඔවුන්ව යවනු ලැබුවේ වේදනාව, ශෝකය සහ මරණයේ ලෝකයකටයි (බලන්න උත්පත්ති 3:16–19). ඒවගේම ඔවුන්ව ඔවුන්ගේ ස්වර්ගීය පියාණන්වහන්සේගෙන් වෙන් කරනු ලැබුවා. නමුත් මෝසෙස්ගේ පොතේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හරහා නැවත පිහිටුවන ලද සත්‍යයන් තුළින්, අපට වැටීම පිළිබඳ අද්විතීය දැක්මක් ලබා දෙනවා.
ඔව්, ඒදන් උයන ලස්සනයි. නමුත් ආදම් සහ ඒවට සුන්දර වටපිටාවකට වඩා වැඩි යමක් අවශ්‍ය වුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ—ඒවගේම අප සැමට අවශ්‍ය වන්නේ—වර්ධනය වීමට අවස්ථාවක්. ඒදන් උයනෙන් පිටවීම දෙවියන්වහන්සේ වෙතට නැවත පැමිණීමට සහ අවසානයේදී උන්වහන්සේ හා සමාන වීමට අවශ්‍ය පළමු පියවර වුණා. එයින් අදහස් කළේ විරුද්ධවාදිකම්වලට මුහුණ දීම, තේරීම් කිරීම, වැරදි කිරීම, පසුතැවිලි වීමට ඉගෙන ගැනීම සහ වන්දිගෙවීමෙන් ප්‍රගතියක් ඇති කරන ඒවගේම “අපගේ මිදීමේ සතුට” (මෝසෙස් 5:11) ලබාදෙන, ගැලවුම්කරුවාණන් කෙරෙහි විශ්වාසය තැබීමයි. එබැවින් ඔබ ආදම් සහ ඒවගේ වැටීම ගැන කියවන විට, ඛේදවාචකයක් ලෙස පෙනෙන දේ කෙරෙහි නොව, විය හැකි දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න—ආදම් සහ ඒවට අහිමි වූ පාරාදීසය මත නොව, නමුත් ඔවුන්ගේ තේරීම නිසා අපට ලැබීමට ඉඩ සලසන මහිමය මත අවධානය යොමු කරන්න.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
උත්පත්ති 3; මෝසෙස් 4
වැටීම දෙවියන්වහන්සේගේ සැලැස්මේ අනිවාර්ය අංගයක් විය.
ආදම් සහ ඒවගේ තේරීම ලෞකිකත්වයේදී අප අත්විඳින බොහෝ දුෂ්කරතාවලට හේතු වූ බව සත්‍යයක්. නමුත් අපි ඔවුන්ගේ තේරීම ගැන කණගාටු වන බව එයින් අදහස් වෙන්නේ නෑ. ඔබ උත්පත්ති 3 සහ මෝසෙස් 4 කියවන විට, දෙවියන්වහන්සේගේ සැලැස්මට වැටීම වැදගත් වූයේ ඇයි කියා ඔබ ඔබෙන්ම අසයි.
මෝසෙස් 5:9–12 ට අනුව, වැටීම ගැන ආදම් සහ ඒවට හැඟුණේ කෙසේද? මේ වැටුණු ලෝකයේ ඔබේ අත්දැකීම්වලට ඔවුන්ගේ වචන ඔබට අදාළ කරගත හැක්කේ කෙසේද? 2 නෙපී 2:19–25 තුළින් ඔබ ඉගෙනගන්නා තවත් දේවල් මොනවාද?
තවත් බලන්න මොසායා 3:19; ඇල්මා 12:21–37; සහ දහම සහ ගිවිසුම් 29:39–43.
ඇනී හෙන්‍රි නේඩර් විසින්, Leaving Eden [ඒදන් උයනෙන් පිටවීම]
උත්පත්ති 3:1–7; මෝසෙස් 4:22–31; 5:4–15
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බලාපොරොත්තුව සහ මිදීම පිරිනමන සේක.
ආදම් සහ ඒවගේ කතාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් බලාපොරොත්තුව සහ මිදීම ලබාගැනීමේ කතාවක්. එයට හේතුව බැලීමට, වැටීම නිසා සිදු වූ දේවල් ගැන උත්පත්ති 3:1–7; මෝසෙස් 4:22–31 තුළ සොයමින්, ඔබ සොයා ගන්නා දේ සලකුණු කිරීම හෝ ලැයිස්තුගත කිරීමෙන් ඔබට ආරම්භ කරන්න පුළුවන්. මෙම ප්‍රතිඵල ඔබට බලපාන්නේ කෙසේද? ඉන්පසු ඔබට මෝසෙස් 5:4–15 උවමනාවෙන් කියවමින්, මෙම බලපෑම්වලින් අපව මුදවා ගැනීමට දෙවියන්වහන්සේගේ සැලැස්ම ගැන සොයන්න පුළුවන්. දේවදූතයා ඔවුන්ව බැහැදැකීමෙන් පසු ආදම් සහ ඒව “සතුටු” වූයේ ඇයි? ස්වර්ගීය පියාණන්වහන්සේගේ සැලැස්ම ගැන ඔබ ඔවුන්ගෙන් ඉගෙන ගන්නේ මොනවාද?
Because of Him
උත්පත්ති 3:16; මෝසෙස් 04:22
ආදම් ඒව කෙරෙහි “බලපවත්වන්නේය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
සමහර අවස්ථා වල මෙම ශුද්ධලියවිලි කොටස නිසා ස්වාමිපුරුෂයා තම භාර්යාවට අකාරුණික ලෙස සැලකීම යුක්ති සහගත බව වැරදියට වටහාගෙන තිබෙනවා. අපේ කාලයේදී, ස්වාමිපුරුෂයා සහ භාර්යාව පවුල තුළ ඔවුන්ගේ දිව්‍යමය වගකීම් ඉටු කිරීමේදී එකිනෙකා සමඟ සමාන හවුල්කරුවන් ලෙස දැකිය යුතු බව ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන් උගන්වා තිබෙනවා (බලන්න “පවුල: ලෝකයට ප්‍රකාශයකි” [ශුභාරංචි පුස්තකාලය]). වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් සහ රූත් ලයිබර්ට් රෙන්ලන්ඩ් සහෝදරිය පැහැදිලි කළේ ධර්මිෂ්ඨ ස්වාමිපුරුෂයෙක් “දේවසේවය කිරීමට උත්සාහ කරයි; ඔහු වරද පිළිගෙන සමාව අයදියි; ඔහු ප්‍රශංසා කිරීමට ඉක්මන් වෙයි; ඔහු පවුලේ සාමාජිකයන්ගේ මනාපයන් ගැන සැලකිලිමත් වෙයි; තම පවුල සඳහා ‘ජීවිතයේ අවශ්‍යතා සහ ආරක්ෂාව’ සැපයීමේ වගකීමේ විශාල බර ඔහුට දැනෙයි; ඔහු තම බිරිඳට ඉතා ගෞරවයෙන් හා සමාදරයෙන් සලකයි. … ඔහු තම පවුලට ආශිර්වාද කරයි” (The Melchizedek Priesthood: Understanding the Doctrine, Living the Principles [2018], 23).
මට වර්ධනය වීමට තෝරාගැනීමේ නිදහස සහ විරුද්ධත්වය අවශ්‍ය වේ.
වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් ඉගැන්වූ පරිදි, “දෙමාපියෙක් ලෙස ක්‍රියා කිරීමේදී අපගේ ස්වර්ගීය පියාණන්ගේ ඉලක්කය වන්නේ උන්වහන්සේගේ දරුවන් ලවා හරි දේ කරවීම නොවේ; උන්වහන්සේගේ දරුවන් හරි දේ කිරීමට තෝරාගෙන අවසානයේ උන්වහන්සේ හා සමාන වීමයි” (“Choose You This Day,” Liahona, Nov. 2018, 104). අප හරි දේ කිරීමට තෝරා ගැනීම ස්වර්ගීය පියාණන්වහන්සේගේ සැලැස්ම තුළ එතරම් වැදගත් වන්නේ ඇයි?
ඔබ මෝසෙස් 4:1–4 කියවන විට, ඔබේ තේරීමේ අයිතිය වන ඔබේ තෝරාගැනීමේ නිදහස ආරක්ෂා කිරීමට ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කළ දේ ගැන සොයා බලන්න. ඔබට උන්වහන්සේලාගේ ආරක්ෂා කිරීමේ බලයට ප්‍රවේශ විය හැක්කේ කෙසේද? අදහස් සඳහා, යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශයක් (4–5) හි “දේවානුභාවයෙන් යුත් තේරීම් කරන්න” යන කොටස අධ්‍යයනය කිරීම ගැන සලකා බලන්න.
2 නෙපී 2:11–20, 25–30 තුළ තෝරාගැනීමේ නිදහස ගැන ලෙහී ඉගැන්වූ දේ කියවීම ගැනද සලකා බලන්න. තෝරාගැනීමේ නිදහසට විරුද්ධත්වය අවශ්‍ය වන්නේ ඇයි? ඔබව “තෝරාගැනීමට නිදහස්” කිරීම ගැන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඔබේ අගය කිරීම පෙන්විය හැක්කේ කෙසේද? (2 නෙපී 2:27).
සහභාගීත්වය වැඩි කරන්න. බොහෝ ඉගෙනුම් ක්‍රියාකාරකම් තනි පුද්ගලයෙකු ලෙස, පවුලක් ලෙස හෝ පන්තියක් ලෙස; කුඩා කණ්ඩායම් ලෙස; හෝ යුගල ලෙස සිදු කරන්න පුළුවන්. වෙනත් ආකාරයකින් අවස්ථාවක් නොමැති පුද්ගලයින්ට සහභාගී වීමට ඉඩ දීමට විවිධ ක්‍රම භාවිතා කරන්න. මෙම ක්‍රියාකාරකම සඳහා, එක් කණ්ඩායමක් 2 නෙපී 2 හි පද අධ්‍යයනය කරන අතරතුර, මෝසෙස් 4 සහ යෞවනයේ ශක්තිය සඳහා මාර්ගෝපදේශය කියවීමට එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඔබට ආරාධනා කරන්න පුළුවන්. ඉන්පසු ඔවුන්ට තම තමන්ට පැවරුණු කොටසින් ඔවුන් ඉගෙන ගත් දේ එකිනෙකාට උගන්වන්න පුළුවන්.
සාතන් මාව “රවටා, තවද අන්ධ කරන්නට” උත්සාහ කරයි.
ඔබ මෝසෙස් 4:4–12; 5:13–33 කියවන විට, ආදම්ව සහ ඒවව සහ ඔවුන්ගේ දරුවන්ව පොළඹවා ගැනීමට, සාතන් උත්සාහ කළ ක්‍රම ලැයිස්තුගත කිරීම ගැන සලකා බලන්න. අද ඔහු මේ දේවල්ම උත්සාහ කරන්නේ කෙසේද? සාතන්ගේ රැවටීම්වලට එරෙහි වීමට ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද?
“දෙවියන්වහන්සේ වන මම, … ඔවුන්ට ඇන්දවූ සේක.”
තහනම් පලතුර අනුභව කිරීමෙන් පසු, ආදම් සහ ඒව ඔවුන්ගේ නිරුවත වසා ගැනීමට උත්සාහ කළා. පසුව, ස්වාමින්වහන්සේ ඔවුන්ට ඇඳුම් ලබාදීමට ඉදිරිපත් වුණා. ඔබ මෝසෙස් 4:13–16, 27 කියවන විට පහත සඳහන් කරුණු ගැන සලකා බලන්න:
-
ශුද්ධලියවිලිවල නිරුවත සහ ඇඳුම් වලින් නියෝජනය කළ හැකි දේවල් ගැන මෙනෙහි කරන්න (උදාහරණයක් සඳහා බලන්න, එළිදරව් 7:9, 13–15; 2 නෙපී 9:14; දහම සහ ගිවිසුම් 109:22–26, 76). නිරුවත සහ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ආදම් සහ ඒවගේ අත්දැකීමෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද?
-
ඔබ දේවමාළිගාවේ බලයෙන් සැරසී ඇත්නම්, ඔබේ දේවමාළිගා වස්ත්‍රයේ වැදගත්කම සහ එයින් නියෝජනය වන දේ ගැන ආදම් සහ ඒව ඔබට පැවසිය හැකි දේ ගැන සලකා බලන්න.
Sacred Temple Clothing
මම කැමැත්තෙන් සහ කීකරු හදවතකින් මගේ පරිත්‍යාගයන් පූජා කළොත් දෙවියන්වහන්සේ ඒවා පිළිගන්නා සේක.
ඔබ මෝසෙස් 5:4–9, 16–26 අධ්‍යයනය කරන විට, පරිත්‍යාගයන් සම්බන්ධයෙන් ආදම් සහ ඒවගේ සහ ඔවුන්ගේ පුතුන් වන කායින් සහ ආබෙල්ගේ ආකල්ප ගැන සලකා බලන්න. ස්වාමින්වහන්සේ ආබෙල්ගේ පූජාව පිළිගත් නමුත් කායින්ගේ පූජාව පිළිගත්තේ නැත්තේ ඇයි?
පූජා කරන ලෙස ස්වාමින්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින්නේ මොනවාද? ඒ පූජාවන් ගැන හිතන විදිහ වෙනස් කරන දෙයක් මේ පදවල තිබෙනවාද?
තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව වැටීමෙන් ගලවා ගන්නා සේක.
-
ඔබේ දරුවන්ට ආදම් සහ ඒවගේ වැටීම වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට “Adam and Eve” (Old Testament Stories, 13–16 තුළ ඇති) වෙතින් පින්තූර පිටපත් කරගෙන, ඒවා කපාගන්න පුළුවන්. ඉන්පසු ඔබට ආදම් සහ ඒවගේ අත්දැකීම් ගැන සාකච්ඡා කරන අතරතුර එම පින්තූර පිළිවෙලට තැබීමට ඔබට එකට එක්ව වැඩ කරන්න පුළුවන්. ඔබ එසේ කරන අතරතුර, ආදම් සහ ඒව ඒදන් උයනෙන් පිටවීම, ස්වර්ගීය පියාණන්වහන්සේගේ සැලැස්ම තුළ වැදගත් වූයේ ඇයි කියා කතා කරන්න.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් එම වැටීමේ ප්‍රතිවිපාක ජයගන්නා ආකාරය තේරුම් ගන්නා විට ඔබේ දරුවන්ට ස්තූතිවන්ත බවක් දැනෙන්න පුළුවන්. ඔබ එකට එක්ව මෝසෙස් 4:25; 6:48; රෝම 5:12; 2 නෙපී 2:22–23 කියවන විට, මෙම වාක්‍යය සම්පූර්ණ කිරීමට ක්‍රම සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න: “වැටීම නිසා, මම…” ඉන්පසු, ඔබ එකට එක්ව මෝසෙස් 5:8–11, 14–15; 6:59; ඇල්මා 11:42 කියවන විට; ඔවුන්ට මෙම වාක්‍යය සම්පූර්ණ කරන්න පුළුවන්: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, මම…” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ස්තූතිවන්ත බව එකිනෙකා සමඟ බෙදාගන්න.
මට හරි දේ තෝරාගන්න පුළුවන්.
-
තෝරාගැනීමේ නිදහසේ මූලධර්මය හඳුන්වා දීම සඳහා භාණ්ඩ යොදාගන්නා සරල පාඩමක් කිරීම ගැන සලකා බලන්න: මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව වර්ණ ගැන්වීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න, නමුත් ඔවුන්ට පාට කිරීමට එක් වර්ණයක් පමණක් ලබාදෙන්න. තේරීම් තිබීම වඩා හොඳ වන්නේ ඇයි? ඉන්පසු ඔබට එකට එකතු වී මෝසෙස් 4:1–4 කියවා, අපි හරි වැරැද්ද තෝරා ගැනීම දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි කියා කතා කරන්න පුළුවන්. හොඳ තේරීම් කිරීමට ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උදව් වන්නේ කොහොමද?
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඔබේ දරුවන්ට කළ හැකි හොඳ තේරීම් ගැන සිතීමට සහ ඒවා චිත්‍රයට නැගීමට ඔවුන්ට උදව් කරන්න. ඔබ හොඳ තේරීමක් කළ අවස්ථාවක් ගැන එකිනෙකාට කියන්න පුළුවන්, ඉන්පසු එය කිරීමෙන් පසු ඔබට හැඟුණු ආකාරය ගැන කතා කරන්න පුළුවන්.
රොබර්ට් ටී. බැරට් විසින්, The Fall [වැටීම]
මට ස්වර්ගීය පියාණන්වහන්සේට යාච්ඤා කළ හැකිය.
-
ආදම් සහ ඒවට ඒදන් උයනෙන් පිටවීමට සිදු වූ විට, ඔවුන්ට තවදුරටත් ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ ඉන්නට බැරි වුණා. ඔබේ දරුවන් සමඟ මෝසෙස් 5:4, 8 කියවන්න, ඉන්පසු ආදම් සහ ඒව උන්වහන්සේට සමීප වී, උන්වහන්සේට සවන් දීමට කළ දේ සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. අපගේ යාච්ඤාවලදී අපට ස්වර්ගීය පියාණන්වහන්සේට පැවසිය හැකි සමහර දේවල් මොනවාද?
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.
මයික් මැල්ම් විසින්, In Similitude of the Sacrifice of the Only Begotten of the Father [පියාණන්වහන්සේගේ ඒකජාතකයාණන්ගේ පූජාවට සමානව] (බලන්න මෝසෙස් 5:5–9)