“ජනවාරි 5–11. ‘මේ මාගේ කාර්යය සහ මාගේ මහිමයයි’: මෝසෙස් 1; ආබ්‍රහම් 3,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“ජනවාරි 5–11. ‘මේ මාගේ කාර්යය සහ මාගේ මහිමයයි’,” එන්න, මා අනුගමනය කරන්න: 2026
ජනවාරි 5–11:“මේ මාගේ කාර්යය සහ මාගේ මහිමයයි”
මෝසෙස් 1; ආබ්‍රහම් 3
බයිබලය ආරම්භ වෙන්නේ මෙහෙමයි “පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක” (උත්පත්ති 1:1). නමුත් මෙම “පටන්ගැන්මට” පෙර තිබුණේ මොනවාද? ඒවගේම දෙවියන්වහන්සේ මේ සියල්ල මැවුවේ ඇයි? අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින්, ස්වාමින්වහන්සේ මෙම ප්‍රශ්නවලට ආලෝකයක් ලබා දී තිබෙනවා.
උදාහරණයක් වශයෙන්, “ලෝකයේ පටන්ගැන්මට පෙර” ආබ්‍රහම් අපගේ පැවැත්ම දුටු දර්ශනයක වාර්තාව ඔහු අපට ලබා දුන්නා (බලන්න ආබ්‍රහම් 3:22–28). ස්වාමින්වහන්සේ අපට උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද හයේ දේවානුභාවයෙන් යුත් පරිවර්තනයක් හෝ සංශෝධනයක් ලබා දුන් අතර, එය මෝසෙස්ගේ පොත ලෙස හැඳින්වෙනවා—එය ආරම්භ වන්නේ “පටන්ගැන්මේදී” කියා නොවේ. ඒ වෙනුවට, එය ආරම්භ වන්නේ මැවීමේ කතාව සඳහා යම් සන්දර්භයක් සපයන මෝසෙස්ගේ අත්දැකීමකින්. පහත ප්‍රශ්න වැනි අපගේ කියවීම සංවිධානය හැකි මූලික ප්‍රශ්න කිහිපයක් ආමන්ත්‍රණය කරන නිසා, මෙම පසුදවස්වල ශුද්ධලියවිලි, පරණ ගිවිසුම පිළිබඳ අපගේ අධ්‍යයනය ආරම්භ කිරීමට හොඳ ස්ථානයක් වෙනවා: දෙවියන්වහන්සේ කියන්නෙ කවුද? අපි කවුද? දෙවියන්වහන්සේගේ කාර්යය කුමක්ද, ඒවගේම එහි අපගේ ස්ථානය කුමක්ද? උත්පත්ති පොතේ ආරම්භක පරිච්ඡේද මෝසෙස්ගේ ඉල්ලීමට ස්වාමින්වහන්සේගේ ප්‍රතිචාරය ලෙස දකින්න පුළුවන්: “ඔබවහන්සේගේ සේවකයාට දයාවන්ත වන සේක්වා, අහෝ දෙවියන්වහන්ස, තවද මට මෙම පොළොව ගැනද, එහි වාසය කරන්නන් මෙන්ම අහස ගැනද පවසනු මැනව” (මෝසෙස් 1:36).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස, මට දිව්‍යමය ඉරණමක් ඇත.
සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවා, “ස්වාමින්වහන්සේ ඔබට කෙලින්ම කතා කරන්නේ නම්, උන්වහන්සේ ඔබට අවබෝධ කර දෙන පළමු දෙය වන්නේ ඔබේ සැබෑ අනන්‍යතාවයයි” (“Choices for Eternity” [worldwide devotional for young adults, May 2022], Gospel Library). ඒ නිසාම, සාතන් එම කාරණය සම්බන්ධයෙන්ම ඔබව ව්‍යාකූල කිරීමට උත්සාහ කරනවා. මෝසෙස් 1:4, 6 හි මෝසෙස්ට දෙවියන්වහන්සේගේ පණිවිඩයේ සහ මෝසෙස් 1:12 හි සාතන්ගේ පණිවිඩවල මෙම රටාව සොයන්න. දෙවියන්වහන්සේ සහ සාතන් අතර ඇති වෙනස්කම් ගැන මෙම පදවලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?
සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වුවා, “ඔබ සැබවින්ම කවුරුන්දැයි ඔබ සිතන ආකාරය ඔබ ගන්නා සෑම තීරණයකටම පාහේ බලපානවා” (“Choices for Eternity”). දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස ඔබගේ අනන්‍යතාවය වෙනත් ලේබල් වලට පෙර එන නිසා, ඔබ කරන තේරීම් පිළිබඳ ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න.
ඔබේ දිව්‍යමය වටිනාකම තේරුම් ගැනීමට ඔබට උපකාර වන මෝසෙස් 1 හි ඇති අමතර පද හෝ වාක්‍ය ඛණ්ඩ මොනවාද? දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස ඔබගේ අනන්‍යතාවය ඔබගේ වැදගත්ම හඳුනාගැනීමක් බවට පත් කර ගැනීමට ඔබට පෙළඹවීමක් දැනෙන්නේ මොනවා කරන්නටද?
Our True Identity
ස්වාමින්වහන්සේගේ උපකාරයෙන් මට සාතන්ට විරුද්ධ වෙන්න පුළුවන්.
මෝසෙස් 1 පැහැදිලිව පෙන්වන පරිදි, බලවත් අධ්‍යාත්මික අත්දැකීම්වලින් අදහස් කරන්නේ අප නැවත කිසිදා පරීක්ෂාවට ලක් නොවන බව නොවේ. ඇත්ත වශයෙන්ම, මෙම අත්දැකීම් සැක කිරීමට අපව පෙළඹවීම සාතන්ගේ එක් උපක්‍රමයක්. ඔබ 12–26 පදවල සාතන්ට මෝසෙස් දුන් ප්‍රතිචාරය කියවන විට, ඔබට ලැබී ඇති සාක්ෂියට සත්‍යවන්තව සිටීමට උපකාර වන ඔබ ඉගෙන ගන්නා දේවල් මොනවාද? සාතන්ව පරාජය කිරීමට මෝසෙස්ට අවසානයේ උපකාර කළේ මොනවාද?
සාතන් දෙවියන්වහන්සේගේ සත්‍යයේ සහ බලයේ ව්‍යාජ අනුවාද භාවිතා කරමින් අපව පොලඹවන බව, මෝසෙස්ගේ අත්දැකීමෙන් ලැබෙන තවත් පාඩමක්. කෘතිම ශාකයක් හෝ ළදරු බෝනික්කෙකු වැනි සමහර ව්‍යාජ අනුවාද ගැන සිතන්න. ඒවා ව්‍යාජ ඒවා බව ඔබ කියන්නේ කෙසේද? ඉන්පසු අද සාතන් ඔබව පොළඹවා ගැනීමට භාවිත කරන ව්‍යාජ දේවල් ගැන සලකා බලන්න. ඔහුගේ ව්‍යාජ ඒවා හඳුනාගෙන ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද කියා ඔබ මෝසෙස් 1:13–18 තුළින් ඉගෙන ගන්නේ මොනවාද? ස්වාමින්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද? (බලන්න මෝසෙස් 1:24–26).
තවත් බලන්න මතෙව් 4:1–11; ගැරී ඊ. ස්ටීවන්සන්, “මාව රවටන්න එපා,” ලියහෝනා, නොවැ. 2019, 93–96.
I Am a Son of God
නිවසේදී ඉගෙනීම සැලසුම් කළ හැකි නමුත් ඒවා නිරායාසයෙන් වුවද සිදුවෙන්න පුළුවන්. “පවුල තුළ ඉගැන්වීමේ අවස්ථා බොහෝ විට සිදුවන්නේ අවිධිමත්, එදිනෙදා අවස්ථාවන්හිදී—එනම් ආහාර ගන්නා විට, ගෙදර දොරේ වැඩ කරන විට, ක්‍රීඩාවක් කරන විට, හෝ ගමනාගමනයේ යෙදෙන විට විය හැකිය” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 31). උදාහරණයක් වශයෙන්, මෝසෙස් 1 හි මෝසෙස් සාතන්ට විරුද්ධ වූ ආකාරය ගැන කියවීමට අමතරව, ඔබ රාත්‍රී ආහාරය ගැනීම අතරතුරදී, ඔබ විරුද්ධවාදියාගේ බලපෑමට විරුද්ධ වූ ආකාරය ගැන කතා කරමින් ඔබට පවුලක් ලෙස සුළු මොහොතක් ගත කරන්න පුළුවන්.
දෙවියන්වහන්සේගේ කාර්යය සහ මහිමය මට සදාකාල ජීවනය ලබා ගැනීමට උපකාර කිරීමයි.
දෙවියන්වහන්සේගේ මැවීම් පිළිබඳ දර්ශනයක් දැකීමෙන් පසුව, මෝසෙස් ස්වාමින්වහන්සේට මෙසේ පැවසුවා: “මා හට පැවසුව මැනව, … මේ දේවල් මෙතරම් ප්‍රමාණයක් තිබෙන්නේ මක්නිසාද?” (මෝසෙස් 1:30). මෝසෙස් 1:31–39 හි ස්වාමින්වහන්සේගේ ප්‍රතිචාරය ගැන ඔබව විශ්මයට පත් කරන්නේ මොනවාද? අමරණීයත්වය සහ සදාකාල ජීවනය අතර වෙනස කුමක්ද? ඒ දෙකම ඉටු කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපකාර කරන්නේ කෙසේද? ආබ්‍රහම්ට දර්ශනයක් ලැබුණා, එය ආබ්‍රහම් 3 හි වාර්තා කර තිබෙනවා. 24–26 පදවල ඔබ සොයාගන්නා මෝසෙස්ගේ ඉල්ලීමට පිළිතුරු දීමට උපකාරී වන දේවල් මොනවාද?
මම පොළොවේ ඉපදීමට පෙර ආත්මයක් ලෙස ජීවත් වුණා.
අපේ පෙර ආත්මික ජීවිතය ගැන අපි දන්නේ බොහොම ටිකයි. නමුත් අප දන්නා බොහෝ දේ පැමිණෙන්නේ ආබ්‍රහම් 3:22–28 හි වාර්තා වන ආබ්‍රහම්ගේ දර්ශනයෙන්. ඔබ මෙම පද කියවන විට, ඔබ ගැන සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සත්‍යයන් ඇතුළුව—ඔබ සොයාගන්නා සත්‍යයන් ලැයිස්තුවක් සාදන්න. මෙම සත්‍යයන් ඔබට වටින්නේ ඇයි? ඒවා ඔබේ ජීවිතයේ ඇතිකරන වෙනස කුමක්ද?
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
මම දෙවියන්වහන්සේගේ දරුවෙක් වෙමි.
-
ඔබ එකට එක් වී මෝසෙස් 1:4 හි මෝසෙස් වෙත දෙවියන්වහන්සේ ලබාදුන් පණිවිඩය කියවූ පසු, ඔබේ දරුවන්ට කැඩපතකින් ඔවුන්ගේ පරාවර්තනය දෙස බැලීමට ඉඩ දී ඔවුන්ටත් ඒ හා සමාන පණිවිඩයක් වන “මම දෙවියන්වහන්සේගේ දරුවෙක් වෙමි” යන පණිවිඩය ලබාදීම ගැන සලකා බලන්න. ඉන්පසු ඔවුන්ටත් “ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙකි” යන ඒ පණිවිඩයම එකිනෙකාට ලබා දෙන්න පුළුවන්. ඔබට විවිධ පුද්ගලයන්ගේ පින්තූර සොයාගෙන, ඒ එක් එක් පුද්ගලයා දෙසට ඇඟිල්ල දිගු කර පෙන්වමින් “මේ දෙවියන්වහන්සේගේ දරුවෙකි” කියා පවසන ලෙස ඔබේ දරුවන්ට ආරාධනා කරන්නත් පුළුවන්. ඔබ දෙවියන්වහන්සේගේ දරුවන් බව දැනගැනීම ගැන ඔබ සතුටු වන්නේ මන්දැයි එකිනෙකා සමඟ බෙදාගන්න. මෙම දැනුම ඔබ ඔබට සහ අන් අයට සලකන ආකාරය වෙනස් කරන්නේ කෙසේද?
-
ඔබට සහ ඔබේ දරුවන්ට මෝසෙස් 1:4 හි දෙවියන්වහන්සේ මෝසෙස්ට දුන් පණිවිඩය, 12 වෙනි පදයේ සාතන්ගේ පණිවිඩය සමඟ සසඳන්න පුළුවන්. දෙවියන්වහන්සේගේ පණිවිඩ සහ සාතන්ගේ පණිවිඩ අතර වෙනස හඳුනාගැනීමට ඔබට ඔබේ දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
ජෝසෆ් බ්‍රිකී විසින්, Moses Sees Jehova [මෝසෙස් යෙහෝවාවහන්සේව දකී] (විස්තර)
මා කරනවාට ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍ය වන කාර්යයක් ඇත.
-
ඔබ ඔබේ දරුවන් සමඟ මෝසෙස් 1:6 කියවන විට, දෙවියන්වහන්සේට මෝසෙස් වෙනුවෙන් තිබූ “කාර්යය” ගැන ඔවුන් සමඟ ඔබට කතා කරන්න පුළුවන්. අපි කරනවාට දෙවියන්වහන්සේට අවශ්‍ය වන කාර්යය කුමක්ද? (උදාහරණයක් සඳහා බලන්න, දහම සහ ගිවිසුම් 11:20).
මට සාතන්ගේ පරීක්ෂාවන්ට විරුද්ධ විය හැකිය.
-
ඔබ ඔබේ දරුවන් සමඟ මෝසෙස් 1:12–26 අධ්‍යයනය කරන විට, සාතන්ට විරුද්ධ වීමට මෝසෙස් කළ දේ සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න (බලන්න 13, 15, 18, 20–22, 26 පද). (යාච්ඤා කිරීම, ඉවත්ව යාම, හෝ උදව් ඉල්ලීම වැනි) පරීක්ෂාවන්ට එරෙහි වීමට ඔවුන්ට කළ හැකි දේවල් රඟ දැක්වීමෙන් ඔවුන්ට විනෝද වෙන්න පුළුවන්.
මම පොළොවේ ඉපදීමට පෙර ආත්මයක් ලෙස ජීවත් වුණා.
-
අපගේ පෙර ආත්මික ජීවිතය ගැන දැන ගැනීමෙන්, සදාකාලික සත්‍යයන් මත පදනම්ව තේරීම් කිරීමට ඔබේ දරුවන්ට පෙළඹවීමක් ලබාදෙන්න පුළුවන්. ඔවුන්ට ඒ ගැන ඉගෙනගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට ආබ්‍රහම් 3:22–28 හි “ලෝකය ආරම්භයටත් පෙර,” “ප්‍රාණයන්,” “පොළොවක් අපි එහි සාදමු,” සහ “පරීක්ෂා කරමු;” වැනි ප්‍රධාන වචන සහ වාක්‍ය ඛණ්ඩ කිහිපයක් ඔවුන්ට ලබාදෙන්න පුළුවන්. මෙම පද අපට උගන්වන ආකාරයට, ස්වර්ගීය පියාණන්වහන්සේ අපව මෙලොවට එව්වේ ඇයි?
-
සමහරවිට එම වචන සමඟ ගැලපෙන චිත්‍ර ඇඳීමට ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්.
-
දෙවියන්වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලා සිටින දේ කිරීමට හෝ නොකිරීමට තීරණය කළ යුතු තත්වයන් ගැන සිතීමට ඔබේ දරුවන්ට උදව් කරන්න (බලන්න ආබ්‍රහම් 3:25; තවත් බලන්න යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීමට මාර්ගෝපදේශයක්). මෙම තත්වයන්ට ලබාදිය හැකි ප්‍රතිචාර පුහුණු වීමට ඔවුන්ට ඉඩ දෙන්න. අපි වැරදි තේරීමක් කරන විට ගැලවුම්කරුවාණන් අපට උපකාර කරන්නේ කෙසේද?
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.