“මතක තබාගත යුතු සිතුවිලි: පරණ ගිවිසුම කියවීම,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“පරණ ගිවිසුම කියවීම,” එන්න, මා අනුගමනය කරන්න: 2026
මතක තබාගත යුතු සිතුවිලි
පරණ ගිවිසුම කියවීම
නෙපීට තම සහෝදරයන්ව ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට පෙලඹවීමට අවශ්‍ය වූ විට, ඔහු මෝසෙස් පිළිබඳ කථාන්දර සහ යෙසායාගේ ඉගැන්වීම් බෙදාගත්තා. ප්‍රේරිත පාවුල්ට දෙවියන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීමට මුල් ක්‍රිස්තියානීන්ව දිරිමත් කිරීමට අවශ්‍ය වූ විට, නෝවා, ආබ්‍රහම්, සාරා, රාහබ් සහ වෙනත් අයගේ ඇදහිල්ල ගැන ඔහු ඔවුන්ට මතක්කර දුන්නා. එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යුදෙව්වන්ගේ නායකයන්ට “ශුද්ධලියවිලි සොයන්න” යැයි පැවසූ විට ඒවා “මා ගැන සාක්ෂි දෙයි” කියාද පැහැදිලි කළා (යොහන් 5:39), අපි පරණ ගිවිසුම ලෙස හඳුන්වන ලියවිලි තමයි උන්වහන්සේ කතා කළ ඒ ශුද්ධලියවිලි.
වෙනත් වචන වලින් කියනවා නම්, ඔබ පරණ ගිවිසුම කියවන විට, ඔබ කියවන්නේ වසර දහස් ගණනක් තිස්සේ දෙවියන්වහන්සේගේ මිනිසුන්ට පෙළඹවීමක්, සැනසීමක් සහ දිරිගැන්වීමක් ලබා දුන් වචනයි.
නමුත් බොහෝ කලකට පෙර ලියා ඇති දෙයක් අද පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට ඔබට උපකාරයක් වෙන්න පුළුවන් ද? ඔව්, පුළුවන්! විශේෂයෙන්ම පරණ ගිවිසුමේ ඇත්ත වශයෙන්ම ඇත්තේ කවුරුන් ගැනද කියා ඔබට මතක නම් එසේ වෙන්න පුළුවන්.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගිවිසුමක්
ඔබ සහ ඔබේ පවුලේ අය මුහුණ දෙන අභියෝග කුමක් වුවත්, පිළිතුර සැමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. එබැවින් පරණ ගිවිසුමෙන් පිළිතුරු සොයා ගැනීමට නම්, උන්වහන්සේව සොයන්න. එය සැමවිටම පහසු වෙන්නේ නෑ. ඔබට ඉවසිලිවන්තව මෙනෙහි කර, අධ්‍යාත්මික මගපෙන්වීම් ලබා ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන්. යෙසායාගේ ප්‍රකාශයේ මෙන් සමහර විට උන්වහන්සේ ගැන ඇති සඳහන් කිරීම් ඉතා සෘජු ලෙස පෙනෙනවා, “අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය; උන්වහන්සේ … සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය” (යෙසායා 9:6). වෙනත් ස්ථානවල, සංකේත සහ සමාන දේවල් හරහා ගැලවුම්කරුවාණන්ව වඩාත් සියුම් ලෙස නිරූපණය කර තිබෙනවා—සත්ව පූජා පිළිබඳ විස්තර හෝ යෝසෙප් තම සහෝදරයන්ට සමාව දී ඔවුන්ව සාගතයෙන් ගලවා ගැනීමේ වාර්තාව ඒ සඳහා උදාහරණ වෙනවා.
ස්කොට් සම්නර් විසින්, Light of the World [ලෝකයේ ආලෝකය]
ඔබ පරණ ගිවිසුම අධ්‍යයනය කරන විට, ගැලවුම්කරුවාණන් කෙරෙහි වැඩි ඇදහිල්ලක් සොයන්නේ නම්, ඔබට එය සම්භ වෙනවා. සමහරවිට මේ වසරේ ඔබේ අධ්‍යයනයේ ඉලක්කය මෙය වෙන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ඔබව සමීප කරවන ඡේද, කථාන්දර සහ අනාවැකි සොයා ගැනීමට සහ ඒවාට අවධානය යොමු කිරීමට ඔබට ආත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම ලැබෙන පිණිස යාච්ඤා කරන්න.
දිව්‍යමය වශයෙන් ආරක්ෂා කර ඇත
පරණ ගිවිසුම මගින් මානව වර්ගයාගේ පරිපූර්ණ හා නිවැරදි ඉතිහාසයක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන්න එපා. මුල් කතුවරුන් සහ සම්පාදකයන් නිර්මාණය කිරීමට උත්සාහ කළේ එය නොවේ. ඔවුන්ගේ විශාල සැලකිල්ල වුණේ, දෙවියන්වහන්සේ ගැන—උන්වහන්සේගේ දරුවන් සඳහා උන්වහන්සේගේ සැලැස්ම ගැන, උන්වහන්සේගේ ගිවිසුම් සෙනඟ වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන සහ අප වැටුණු විට මිදීම සොයා ගන්නේ කෙසේද යන්න ගැන යමක් ඉගැන්වීමයි. සමහර විට ඔවුන් එය කළේ ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරුන්ගේ ජීවිතවල කථා ඇතුළුව, ඔවුන් තේරුම් ගත් පරිදි ඓතිහාසික සිදුවීම් සම්බන්ධ කිරීමෙනි. උත්පත්ති මේ සඳහා උදාහරණයක් වන අතර, යෝෂුවා, විනිශ්චයකාරයන්ගේ පොත, සහ 1 සහ 2 රාජාවලිය වැනි පොත්ද එසේමයි. නමුත් පරණ ගිවිසුමේ අනෙකුත් ලේඛකයින් කිසිසේත්ම ඓතිහාසික වීමට ඉලක්ක කළේ නෑ. ඒ වෙනුවට ඔවුන් ඉගැන්වූයේ කවි, සාහිත්‍ය වැනි කලා කෘති හරහායි. ගීතාවලිය සහ හිතෝපදේශ මෙම කාණ්ඩයට අයත් වෙනවා. ඉපැරණි ඉශ්‍රායෙලයට දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළ යෙසායා සහ මලාකි වැනි අනාගතවක්තෘවරුන්ගේ වටිනා වචනත් තිබෙනවා—ඒවගේම, බයිබලයේ ආශ්චර්යය තුළින් ඒවා අදටත් අපට කථා කරනවා.
මේ සියලුම අනාගතවක්තෘවරුන්, කවියන් සහ සම්පාදකයන් ඔවුන්ගේ වචන වසර දහස් ගණනකට පසුව ලොව පුරා සිටින මිනිසුන් විසින් කියවන බව දැන සිටියාද? අපි දන්නේ නැහැ. නමුත් හරියටම සිදුවී ඇත්තේ එය නිසා, ඒ ගැන අපි පුදුම වෙනවා. ජාතීන් නැඟිට වැටුණා, නගර යටත් කර ගත්තා, රජවරු ජීවත් වුණා සහ මිය ගියා, නමුත් පරම්පරාවෙන් පරම්පරාවට, ලේඛකයාගේ සිට ලේඛකයා දක්වා, පරිවර්තනයේ සිට පරිවර්තනය දක්වා පරණ ගිවිසුම ඔවුන් සියල්ලන්ම අභිබවා ගියා. ඇත්ත වශයෙන්ම සමහර දේවල් නැති වී ගොස් හෝ වෙනස් කර තිබෙනවා, නමුත් කෙසේ හෝ බොහෝ දේ ආශ්චර්යමත් ලෙස සංරක්ෂණය කර තිබෙනවා.
ජුඩිත් ඒ. මෙර් විසින්, Old Testament Prophet [පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරයා] (විස්තර)
මේවා ඔබ මේ වසරේ පරණ ගිවිසුම කියවන විට මතක තබා ගත යුතු කරුණු කිහිපයක් පමණයි. දෙවියන්වහන්සේ මෙම ඉපැරණි ලියවිලි ආරක්ෂා කළේ, උන්වහන්සේ ඔබව සහ ඔබ අත්විඳින දේ දන්නා නිසයි. මෙම වචන තුළින් උන්වහන්සේ ඔබ වෙනුවෙන් අධ්‍යාත්මික පණිවිඩයක් සූදානම් කර තිබෙනවා, එය ඔබව උන්වහන්සේ වෙතට ළං කර උන්වහන්සේගේ සැලැස්ම සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයා කෙරෙහි ඔබේ ඇදහිල්ල ගොඩනගනවා. සමහර විට උන්වහන්සේ ඔබ හඳුනන කෙනෙකුට ආශිර්වාද කරන ඡේදයකට හෝ අනුභාවයකට—ඔබට මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ සෙසු ශුද්ධවන්තයෙකු සමඟ බෙදා ගත හැකි පණිවිඩයක් වෙත ඔබව ගෙන යයි. විය හැකි බොහෝ දේ තිබෙනවා. එය සිතීම උද්යෝගිමත් නේද?
නෙපී මෙහෙම පැවසුවා, “මාගේ ප්‍රාණය ශුද්ධලියවිලි තුළ ප්‍රීති වන්නේය” (2 නෙපී 4:15). අපි දැන් පරණ ගිවිසුම ලෙස හඳුන්වන—නෙපී කියවූ බොහෝ වචන කියවන විට ඔබටත් සමහර විට ඒ ආකාරයෙන්ම දැනෙයි.
පරණ ගිවිසුමේ පොත්
පරණ ගිවිසුමේ බොහෝ ක්‍රිස්තියානි අනුවාද වල මේ පොත් සංවිධානය කර තිබෙන්නේ, මේ පොත් මුලින්ම එක එකතුවකට සම්පාදනය කරන විට ඒවා සකස් කර තිබූ ආකාරයට වඩා වෙනස් ආකාරයකටයි. මේ නිසා නීතිය, අනාගතවක්තෘවරුන් සහ ලේඛන ලෙස—හෙබ්‍රෙව් බයිබලය පොත් කාණ්ඩ තුනකට බෙදා තිබෙනවා—බොහෝ ක්‍රිස්තියානි බයිබල් පොත් කාණ්ඩ හතරකට සකසා තිබෙනවා: ඒ තමයි නීතිය (උත්පත්ති-ද්විතීය කථාව), ඉතිහාසය (යෝෂුවා-එස්තර්), කාව්‍ය පොත් (යෝබ්-සාලමොන්ගේ ගීතිකාව), සහ අනාගතවක්තෘවරුන් (යෙසායා-මලාකි).
මෙම කාණ්ඩ වැදගත් වන්නේ ඇයි? මොකද ඔබ අධ්‍යයනය කරන්නේ කුමන ආකාරයේ පොතක්ද යන්න දැන ගැනීමෙන්, එය අධ්‍යයනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගන්න පුළුවන් වෙනවා.
ඔබ “නීතිය” හෝ පරණ ගිවිසුමේ පළමු පොත් පහ කියවීම ආරම්භ කරන විට මතක තබාගත යුතු දෙයක් මෙන්න. සාම්ප්‍රදායිකව මෝසෙස්ට ආරෝපණය කරන ලද මෙම පොත්, කාලයත් සමඟ බොහෝ ලියන්නන් සහ සම්පාදකයන් අතට පත්වුණා. ශතවර්ෂ ගණනාවක් පුරා, “සරල හා වටිනාම බොහෝ කොටස්” බයිබලයෙන් ඉවත් කර ඇති බව අපි දන්නවා (බලන්න 1 නෙපී 13:23–26). කෙසේවෙතත්, මෝසෙස්ගේ මෙම පොත්—මනුෂ්‍යයන් හරහා සම්ප්‍රේෂණය වන දෙවියන්වහන්සේගේ ඕනෑම ක්‍රියාවක් මෙන්, මිනිස් අසම්පූර්ණකමට යටත් වුවද—ඒවා දෙවියන්වහන්සේගේ දේවානුභාවය ලත් වචනයි. (බලන්න මෝසෙස් 1:41; ඇදහිල්ලේ කරුණු 1:8). මොරෝනි විසින් සම්පාදනය කිරීමට උදව් කළ ශුද්ධ වූ මොර්මොන්ගේ පොත ගැන සඳහන් කරමින් ඔහු කී වචන මෙහි ප්‍රයෝජනවත් වෙනවා: “යම් වැරදි තිබෙනවා නම් ඒවා මනුෂ්‍යයන්ගේ වැරදිය, එසේහෙයින්, දෙවියන්වහන්සේගේ දේවල් වලට වරද නොතබන්න” (මොර්මොන්ගේ පොතේ මුල් පිටුව). වෙනත් වචන වලින් කිවහොත්, ශුද්ධලියවිලි පොතක් දෙවියන්වහන්සේගේ වචනය වීමට මිනිස් වැරදි වලින් නිදහස් වීමට අවශ්‍ය වන්නේ නැහැ.