“නැවත පිහිටුවීමේ හඬවල්: එමා හේල් ස්මිත්,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“එමා හේල් ස්මිත්,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
නැවත පිහිටුවීමේ හඬවල්
එමා හේල් ස්මිත්
දහම සහ ගිවිසුම් 25 හි වාර්තා කර ඇති ස්වාමින්වහන්සේ එමා ස්මිත් වෙත ලබාදුන් වචන, උන්වහන්සේට ඇය ගැන සහ උන්වහන්සේගේ කාර්යයට ඇයට කළ හැකි දායකත්වය ගැන හැඟෙන ආකාරය හෙළි කරනවා. නමුත් එමා මොන වගේද? ඇගේ පෞරුෂය, ඇගේ සබඳතා, ඇගේ ශක්තීන් ගැන අප දන්නේ මොනවාද? මෙම “තෝරාගනු ලැබූ කාන්තාව” (දහම සහ ගිවිසුම් 25:3) ගැන දැන ගැනීමට එක් ක්‍රමයක් තමයි ඇයව පෞද්ගලිකව දැන සිටි අයගේ වචන කියවීම.
ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ, ඇගේ සැමියා
“එදා රාත්‍රියේ මම, මගේ බිරිඳ, මගේ තරුණ කාලයේ බිරිඳ; සහ මගේ හදවතේ තේරීම වන මගේ ආදරණීය එමාගේ අතින් අල්ලගත්තම, කියන්න බැරි තරම් සතුටකින්, විශාල ප්‍රීතියකින්ද මගේ ළය පිරී ගියා. අපට පසුකර යාමට කැඳවා තිබූ බොහෝ අවස්ථා ගැන මොහොතක් මෙනෙහි කරන විට, මගේ සිතේ නැවත නැවතත් ඇති වූ කම්පන බොහෝ වුණා. තෙහෙට්ටුව, වෙහෙස, දුක සහ වේදනාවන්, සතුට සහ සැනසීම විටින් විට අපගේ මාවත් ඔස්සේ විහිදී ගොස් අපගේ ජීවිත ආශිර්වාද කර තිබුණා. අහෝ! මේ මොහොතේ මගේ සිත පිරී ගියේ මොනතරම් සිතුවිලි සමුදායක්ද. නැවතත් ඇය මෙහි සිටී, හත්වන කරදරයේ පවා, නිර්භීතව, ස්ථිරව, සහ නොසැලෙන, වෙනස් කළ නොහැකි, ආදරණීය එමා.”
ලුසී මැක් ස්මිත්, ඇගේ නැන්දම්මා
“එවිට ඇය තරුණ විය, සහ ස්වභාවයෙන්ම අපේක්ෂා සහිත වූ අතර, ඇගේ මුළු හදවතම ස්වාමින්වහන්සේගේ කාර්යයෙහි විය, සභාව සහ සත්‍යයේ හේතුව හැර ඇයට වෙනත් කිසිඳු උනන්දුවක් දැනුණේ නැත. ඇයගේ දෑතින් කුමක් කළත්, ඇය එය තම ශක්තියෙන් කළ අතර, ‘අන් කාටවත් වඩා මට ප්‍රයෝජනයක් ලැබේද?’ යන ආත්මාර්ථකාමී ප්‍රශ්නය ඇසුවේ නැත. දේශනා කිරීම සඳහා වැඩිහිටියන්ව පිටත් කර හරිනු ලැබුවහොත්,පළමුවෙන්ම ඔවුන්ගේ ගමන සඳහා ඇඳුම් ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ ඇයයි, ඇයගේ පෞද්ගලිකත්වය නොතකා ඇය අනෙක් අය වෙනුවෙන් සේවය කළා.”
ජෝසෆ් ස්මිත් ජ්‍යේෂ්ඨ, ඇගේ මාමණ්ඩිය
සභාවේ ආදිපීතෘ ලෙස සේවය කළ ජෝසෆ් ස්මිත් ජ්‍යේෂ්ඨ විසින් ප්‍රකාශ කරන ලද එමාගේ ආදිපීතෘ ආශිර්වාදය:
“එමා, මගේ ලේලිය, ඔබේ විශ්වාසවන්තකම සහ සත්‍යය වෙනුවෙන් ඔබ ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලබනවා ය: ඔබ ඔබේ ස්වාමිපුරුෂයා සමඟ ආශිර්වාද ලබනු ඇත, ඔහු කෙරෙහි පැමිණෙන මහිමය ගැන ප්‍රීති වන්න: ඔබේ සහකරුගේ විනාශය සොයන මිනිසුන්ගේ දුෂ්ටකම නිසා ඔබේ ආත්මය පීඩාවට පත් වී ඇත, එමෙන්ම ඔහුගේ ගැලවීම සඳහා ඔබේ මුළු ආත්මයම යාච්ඤාව වෙත ඇදී ගොස් ඇත: ප්‍රීති වන්න, මක්නිසාද ඔබේ දෙවි ස්වාමින්වහන්සේ ඔබේ කන්නලව්වට සවන් දුන් සේක.
“ඔබේ පියාගේ නිවසේ හදවත්වල දැඩිකම ගැන ඔබ දුක් වූ අතර, ඔවුන්ගේ ගැලවීම සඳහා ඔබ ආශාවෙන් සිටින්නෙහිය. ස්වාමින්වහන්සේ ඔබේ මොරගැසීමට ගරු කරන අතර, උන්වහන්සේගේ විනිශ්චයන් මගින් ඔවුන්ට ඔවුන්ගෙන් සමහරෙකුගේ මෝඩකම දැක ඔවුන්ගේ පව් ගැන පසුතැවිලි වීමට සලස්වන සේක; එහෙත් ඔවුන් ගැළවීම ලබන්නේ විපතකින් ය. ඔබ බොහෝ දින දකිනු ඇත; එසේය, ඔබ තෘප්තිමත් වන තුරු ස්වාමින්වහන්සේ ඔබව ඉතිරි කරන සේක, මක්නිසාද ඔබ ඔබේ මිදුම්කරුවාණන්ව දකිනු ඇත. ස්වාමින්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවෙන් ඔබේ සිත ප්‍රීති වනු ඇත, කිසිවෙකුත් ඔබේ ප්‍රීතිය ඔබෙන් පැහැර නොගන්නේය.
“දේවදූතයා නෙපීවරුන්ගේ වාර්තාව මාගේ පුතාගේ රැකවරණයට භාර දුන් විට ඔහුට සහය වීමට ඔබට අවසර දීමේ ඔබේ දෙවියන්වහන්සේගේ මහත් අනුකම්පාව ඔබට සෑම දිනකම සිහිපත් වනු ඇත. ස්වාමින්වහන්සේ ඔබේ දරුවන් තිදෙනා ඔබෙන් ලබා ගත් බැවින් ඔබ බොහෝ ශෝකයක් දුටුවේය: මේ උදෙසා ඔබට දොස් පැවරිය යුතු නැත, මක්නිසාද යත්, මගේ පුතාගේ නමට ආශිර්වාද වන පිණිස පවුලක් ඇති කිරීමට ඔබේ පිරිසිඳු ආශාවන් උන්වහන්සේ දන්නා සේක. දැන්, බලන්න, මම ඔබට කියමි, ස්වාමින්වහන්සේ මෙසේ වදාරන සේක, ඔබ විශ්වාස කරන්නේ නම්, ඔබ තවමත් මේ දෙයෙහි ආශිර්වාද ලබනු ඇත, ඔබේ ආත්මයේ ප්‍රීතිය හා තෘප්තිය සහ ඔබේ මිතුරන්ගේ ප්‍රීතිය සඳහා ඔබ වෙනත් දරුවන් බිහි කරනු ඇත.
“ඔබ අවබෝධයෙන් ආශිර්වාද ලබනු ඇත, ඔබ මෙන් කාන්තාවන්ට උපදෙස් දීමට බලය ඔබට ලැබෙනු ඇත. ඔබේ පවුලට ධර්මිෂ්ඨකම උගන්වන්න, ඔබේ කුඩා දරුවන්ට ජීවන මාර්ගය උගන්වන්න, එවිට දේවදූතයන් ඔබ දෙස බලා සිටිනු ඇත; තවද ඔබ දෙවියන්වහන්සේගේ රාජ්යයෙහි ගැලවීම ලබයි; එය එසේ වන්නේය. ආමෙන්.”
එමා ස්මිත් ඇගේ දරුවන් සමඟ. ලිස් ලෙමන් ස්වින්ඩල් විසින්, Time to Laugh [සිනාසීමට කාලය]