“මාර්තු 3-9, ‘මාගෙන් ඉගෙනගන්න,’ දහම සහ ගිවිසුම් 19,” එන්න, මා අනුගමනය කරන්න-නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 19,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
ස්ටීව් මැක්ජින්ටි විසින්, Gethsemane’s Path [ගෙත්සෙමනේ මාවත]
මාර්තු 3-9: “මාගෙන් ඉගෙනගන්න”
දහම සහ ගිවිසුම් 19
නිව් යෝර්ක්, පැල්මයිරා හි හොඳම ගොවිපලක් අත්පත් කර ගැනීමට මාටින් සහ ලුසී හැරිස්ට වසර ගණනාවක් ගත වුණා. නමුත් 1829 දී මොර්මොන්ගේ පොත ප්‍රකාශයට පත් කළ හැක්කේ මාටින් තම ගොවිපල උකස් කර මුද්‍රණාලයට ගෙවීමට කළහොත් පමණක් බවත් පැහැදිලි වුණා. මාටින්ට මොර්මොන්ගේ පොතේ සාක්‍ෂියක් තිබුණත්, ලුසීට ඒ ගැන සාක්ෂියක් තිබුණේ නැහැ. මාටින් උකස කිරීමට එකඟ වුවහොත් සහ මොර්මොන්ගේ පොත හොඳින් අලෙවි නොවූයේ නම්, ඔහුට ඔහුගේ ගොවිපල අහිමි වෙනවා, ඔහුගේ විවාහය අවදානමට ලක් වෙනවා, ඒවගේම සමාජය තුළ ඔහුගේ කීර්ති නාමයට හානි වෙනවා. අපගේ තත්වයන් මාටින්ගේ තත්වයට වඩා වෙනස් වුවද, යම් අවස්ථාවක දී අප සියල්ලන්ටම ඔහු මුහුණ දුන් ප්‍රශ්න වැනි දුෂ්කර ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවෙන්න පුළුවන්: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය මට වටින්නේ කොහොමද? දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනගා ගැනීමට උපකාර කිරීම සඳහා මා කුමක් කැප කිරීමට සූදානම්ද? මොර්මොන්ගේ පොතේ මුල් පිටපත් 5,000 මුද්‍රණය කළ හැකි වන පරිදි ඔහුගේ ගොවිපල උකස් කරන බවට මාටින් හැරිස් අවසානයේ තීරණය කළා. නමුත් පසුතැවිලි වන අයව ගලවාගන්න හැම රූම කූපයකින්ම ලේ හෙලූ, යේසුස් ක්‍රිස්තුවහන්සේගේ “සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ” (දහම සහ ගිවිසුම් 19:18) පරිත්‍යාගය සමඟ සසඳද්දි, මේ පරිත්‍යාගය, ඒවගේම අපි කරන ඕනෑම පරිත්‍යාගයක්, ඒ තරම් විශාල නැහැ.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
“දෙවියන්වහන්සේ වන මම, අනන්තය.”
19 වෙනි කොටසේ ඇති එළිදරව්ව “එය සදාකාලික වූ උන්වහසේ විසින්, මාටින් හැරිස්ට ලබාදුන්,දෙවියන්වහන්සේගේ ආඥාවක්” (කොටස් ශීර්ෂය) බව ජෝසෆ් ස්මිත් පැහැදිලි කළා. 1–12 පද තුළින් ස්වාමින්වහන්සේ උන්වහසේගේ සදාකාලික ස්වභාවය අවධාරණය කරන ආකාරය ගැන සොයන්න. මාටින් හැරිස්ට ස්වාමින්වහන්සේ ගැන මෙය දැන ගැනීම වැදගත් යැයි ඔබ සිතන්නේ ඇයි? මේ දේවල් දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි?
ඔබ සිතන ආකාරයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව “ආරම්භය සහ අවසානය” ලෙස හඳුන්වන්නේ ඇයි? (1 වෙනි පදය).
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුක් වින්දේ මට පසුතැවිලි වී උන්වහන්සේ වෙතට පැමිණීමට හැකි වන පිණිසය.
අලුත් ගිවිසුම, ගෙත්සෙමනෙහි ගැලවුම්කරුවාණන්ගේ දුක් වේදනා විස්තර කරන්නේ, එය නිරීක්ෂණය කළ මිනිසුන්ගේ දෘෂ්ටිකෝණයෙන්. දහම සහ ගිවිසුම් 19:15-20 හි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දුක් වේදනා ගැන පැවසුවේ උන්වහන්සේගේම දෘෂ්ටිකෝණයෙන්. ඔබ මෙම පරිශුද්ධ පුද්ගලික වර්තාව කියවන විට, ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ දුක් වේදනා විස්තර කළ ආකාරය සොයා බලන්න. මේ එක් එක් වචනය හෝ වාක්‍ය ඛණ්ඩය ඔබට උගන්වන දේ ගැන සලකා බලන්න. ගැලවුම්කරුවාණන් දුක් වේදනා විඳීමට කැමති වූයේ ඇයි? ඔබට යොහාන් 15:13; මොසායා 3:7; ඇල්මා 7:11–12; දහම සහ ගිවිසුම් 18:10-13 යන පද තුළින් තවත් විස්තර සොයාගන්නට පුළුවන්.
ගැලවුම්කරුවාණන්ගේ දුක් වේදනා අධ්‍යයනය කරන විට ඔබට ඇති වන හැඟීම් මෙවැනි ප්‍රශ්න මතු කළ හැකිය: ගැලවුම්කරුවාණන්ට මගේ පව් වෙනුවෙන් දුක් විඳීමට සිදු වූයේ ඇයි? උන්වහන්සේගේ පරිත්‍යාගයේ සම්පූර්ණ ආශිර්වාදය ලබා ගැනීමට මා පසුතැවිලි විය යුත්තේ ඇයි? වැඩිහිටි උලිසස් සෝරස්ගේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: අපගේ ප්රාණයන් රැකබලාගන්නා ” (ලියහෝනා, මැයි 2021, 82–84) යන පණිවිඩයෙන් ඔබට මෙම ප්‍රශ්න සහ අනෙකුත් දේවල් පිළිබඳ අවබෝධයක් සොයාගත හැකිය. ඔබ අධ්‍යයනය කරන විට, ඔබේ මනසට එන හැඟීම් මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ ඔබ වෙනුවෙන් උන්වහන්සේ කළ පරිත්‍යාගය ගැන ඔබේ හැඟීම් වාර්තා කිරීම සලකා බලන්න.
ඔබ වෙනුවෙන් ගැලවුම්කරුවාණන්ගේ දුක් විඳීම සඳහා, ඔබේ කෘතඥතාව ප්‍රකාශ කරන ඔබට සවන් දීමට හෝ ගායනා කිරීමට හැකි ගීතිකාවක්, ඔබේ අධ්‍යයනයේ සහ නමස්කාරයේ කොටසක් ලෙස ඔබට සෙවිය හැකිය.
ඔබට සිතෙන ආකාරයට, ඔබට හැඟුණු සහ අධ්‍යයනය කළ දේවල ප්‍රතිඵලයක් ලෙස, ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බලාපොරොත්තු වනු ඇත්තේ ඔබ කුමක් කරනවාටද?
The Savior Suffers in Gethsemane
සාමය ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගෙන උන්වහන්සේව අනුගමනය කිරීමෙන්.
ගැලවුම්කරුවාණන්ගේ මෙම ආරාධනය සලකා බලන්න: “මාගෙන් ඉගෙනගන්න.” දහම සහ ගිවිසුම් 19 හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? ඔබේ සිතුවිලි සටහන් කර, ගැලවුම්කරුවාණන් පිළිබඳ මෙම සත්‍ය ඔබට සාමය සොයා ගැනීමට උපකාර කරන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න. “[උන්වහන්සේගේ] ආත්මයේ යටහත්කමින් ගමන් කරන්න” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?
හෙන්රි බී අයිරින්, “පුද්ගලික සාමය සොයා ගැනීම,” ලියහෝනා, මැයි 2023, 29–31.
Peace in Christ
දෙවියන්වහන්සේ ආශිර්වාද පොළොවේ වස්තූන්ට වඩා උසස් ය.
මොර්මොන්ගේ පොත පැල්මයිරා හි එතරම් හොඳින් අලෙවි වුණේ නෑ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මුද්‍රණාලයට ණය ගෙවීම සඳහා මාටින් හැරිස්ට ඔහුගේ ගොවිපලෙන් විශාල කොටසක් විකිණීමට සිදු වුණා (බලන්න “The Contributions of Martin Harris,” in Revelations in Context, 7–8). ඔබ දහම සහ ගිවිසුම් 19:26-41 කියවන විට මාටින්ගේ පරිත්‍යාගය සහ ඒ නිසා ඔබට ලැබී ඇති ආශිර්වාද ගැන මෙනෙහි කරන්න. පරිත්‍යාග කරන ලෙස ස්වාමින්වහන්සේ ඔබෙන් ඉල්ලා ඇති දේ ගැන ද ඔබට සිතිය හැකිය. “ප්‍රශංසාවෙන්” සහ “ සතුටින්” මෙම පරිත්‍යාගයන් කිරීමට ඔබව පොළඹවන මෙම පදවලින් ඔබ සොයාගන්නා දේවල් මොනවාද? (තවත් බලන්න 15-20 පද).
අල් රවුන්ඩ්ස් විසින්, Martin Harris Farm [මාටින් හැරිස්ගේ ගොවිපල]
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් දුක්වින්දා.
-
එකට එක්ව දහම සහ ගිවිසුම් 19:16-19 කියවීමෙන්, ඔබේ දරුවන්ට ගැලවුම්කරුවාණන් කෙරෙහි ගෞරවයක් සහ කෘතඥතාවයක් ඇතිකරගැනීමට, ඔබට ඔවුන්ට උපකාර කළ හැකිය. ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩ දීම සඳහා විරාමයක් ගැනීම ගැන සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, 16 වෙනි පදයේ, යේසුස්වහන්සේ අප වෙනුවෙන් දුක් වින්ද “මේ දේවල්” මොනවාද? (බලන්න මොසායා 3:7; ඇල්මා 7:11-12). උන්වහන්සේගේ දුක් වේදනා පිළිබඳ විස්තරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? උන්වහන්සේ අප වෙනුවෙන් කළ දේ සඳහා අපගේ කෘතඥතාව අපට පෙන්විය හැක්කේ කෙසේද?
Chapter 51: Jesus Suffers in the Garden of Gethsemane
ශුද්ධලියවිලි වලින් ඉගෙන ගැනීමට දරුවන්ට උපකාර කරන්න. සමහර දරුවන්ට ශුද්ධලියවිලි කියවීමට අපහසුයි. තනි පදයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් කෙරෙහි අවධානය යොමු කිරීම ඔවුන්ට ප්‍රයෝජනවත් විය හැක.
දුෂ්කර අවස්ථාවලදී පවා යේසුස් ක්‍රිස්තුස්හන්සේ ස්වර්ගික පියාණහන්සේ හට කීකරු වුණා.
-
අපගේ පව් වෙනුවෙන් දුක් වේදනා විඳීම ඉතා දුෂ්කර වූ නමුත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එය කිරීමට කැමැත්තෙන් සිටියේ තම පියාණන්වහන්සේ හට කීකරු වීමට සහ උන්වහන්සේට සහ අපට ඇති ප්‍රේමය පෙන්වීමටයි. ඔබට එකට එකතු වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනෙහි දුක් වේදනා විඳිමින් සිටින පින්තූරයක් (මෙම දළ සටහනේ මෙන්) දෙස බලා, එම පින්තූරයේ සිදුවන දේ ගැන ඔවුන් දන්නා දේ ඔබට පවසන ලෙස ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. අපගේ පව් උදෙසා දුක් වේදනා විඳීම, කිසිවෙකු මෙතෙක් කර ඇති දුෂ්කරම දෙය බවත්, යේසුස්වහන්සේ තම පියාණන්වහන්සේ හට සහ අපට ප්‍රේම කළ නිසා, උන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්තට කීකරු වුණු බවත් අවධාරණය කිරීමට ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 19:18-19, 24 කියවිය හැකිය (තවත් බලන්න මොසායා 3:7). දෙවියන්වහන්සේ අපෙන් ඉල්ලන දුෂ්කර දේවල් මොනවාද? උන්වහන්සේට කීකරු වීමට අපට ධෛර්යය සොයාගත හැක්කේ කෙසේද?
“මාගෙන් ඉගෙනගන්න, තවද මාගේ වචනයන්ට සවන්දෙන්න.”
-
දහම සහ ගිවිසුම් 19:23 හි වාක්‍ය ඛණ්ඩ සමඟ යන සරල ක්‍රියා ගැන සිතීමට ඔබට ඔබේ දරුවන්ට උපකාර කළ හැකිය. ඔවුන් ක්‍රියාවක් කරන අතරතුර කිහිප වතාවක්ම මෙම පදය කියවන්න. අපට ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙන ගැනීමටත් උන්වහන්සේගේ වචනවලට සවන් දෙන්නටත් හැකි ක්‍රම මොනවාද?
දෙවියන්වහන්සේ ආශිර්වාද පොළොවේ වස්තූන්ට වඩා උසස් ය.
-
ඔබටත් ඔබේ දරුවන්ටත් මාරුවෙන් මාරුවට මොර්මොන්ගේ පොතේ පිටපතක් අතේ තබාගෙන ඒ ගැන ඔබ ප්‍රිය කරන දේ බෙදාගැනීමට පුළුවන්. මොර්මොන්ගේ පොත මුද්‍රණය කළ හැකිවීම පිණිස, මාටින් හැරිස් කළ පරිත්‍යාගය ගැන කෙටියෙන් සාකච්ඡා කරන්න. මාටින්ට ඇදහිලිවන්ත හා කීකරු වීමට උපකාර කළ හැකි කුමක්, දහම සහ ගිවිසුම් 19:38 හි ස්වාමින්වහන්සේ පැවසුවේද? දෙවියන්වහන්සේට කීකරු වීමට හෝ උන්වහන්සේගේ කාර්යයන්ට උදව් කිරීමට කැප කළ හැකි යමක් ගැන සිතීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.