Doctrine and Covenants 2025
පෙබරවාරි 17–23: “මාගේ යටහත් සේවකයන් වන ඔබ මත”: දහම සහ ගිවිසුම් 12–17; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:66–75


“පෙබරවාරි 17–23: ‘මාගේ යටහත් සේවකයන් වන ඔබ මත’: දහම සහ ගිවිසුම් 12–17; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:66–75,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 12–17; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:66–75,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

සස්කුහෙනා ගංගාව

පෙන්සිල්වේනියාවේ හාර්මනි අසල සස්කුහෙනා ගංගාව

පෙබරවාරි 17–23: “මාගේ යටහත් සේවකයන් වන ඔබ මත”

දහම සහ ගිවිසුම් 12–17; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:66–75

පෙන්සිල්වේනියාවේ හාර්මනි ගැන ලොව පුරා සිටින බොහෝ අය කිසි දිනෙක අසා නැති වෙන්න පුළුවන්. ස්වාමින්වහන්සේ බොහෝ විට තම රාජධානියේ වඩාත් වැදගත් සිදුවීම් සඳහා විශාල ලෙස ප්‍රසිද්ධ නැති ස්ථාන තෝරා ගන්නවා. 1829 මැයි 15 වන දින, හාර්මනි අසල වනාන්තර ප්‍රදේශයකදී යොහාන් බව්තීස්ත, ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රිට පෙනී සිටියා. ඔහු ඔවුන්ගේ හිස මත තම දෑත් තබා ඔවුන්ව “මාගේ යටහත් සේවකයන්” ලෙස හඳුන්වමින්, ඔවුන්ට ආරෝනික පූජකවරය ලබා දුන්නා (දහම සහ ගිවිසුම් 13:1).

යොහාන් බව්තීස්ත කියන්නෙ ගැලවුම්කරුවාණන්ව බව්තීස්ම කළ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයා වූ අතර, ඔහු උන්වහන්සේගේ පැමිණීම සඳහා මාර්ගය සූදානම් කළා (බලන්න මතෙව් 3:1–6, 13–17). වයස අවුරුදු විසි ගණන්වල පසුවන මෙම තරුණයන් දෙදෙනාට, ඔවුන්ව යොහාන්ගේ යටහත් සේවකයන් ලෙස හැඳින්වීම නිහතමානී, සමහර විට අතිමහත් දෙයක් වෙන්න ඇති. ඒ කාලයේ ජෝසෆ් සහ ඔලිවර් කියන්නෙ හාර්මනි තරම්ම අප්‍රසිද්ධ අය. නමුත් දෙවියන්වහන්සේගේ කාර්යයේ සේවය කිරීම සැමවිටම අප සේවය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මිස, කවුරුන් දකීද යන්න පිළිබඳව නොවේ. සමහර අවස්ථා වලදී ඔබගේ දායකත්වය කුඩා හෝ නොවැදගත් ලෙස පෙනුනත්, ඔබත් ස්වාමින්වහන්සේගේ “ශ්‍රේෂ්ඨ හා පුදුමාකාර කාර්යයේ” (දහම සහ ගිවිසුම් 14:1) සෙසු සේවකයෙක්.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම්12; 14

මට දෙවියන්වහන්සේගේ “ශ්‍රේෂ්ඨ හා පුදුමාකාර කාර්යයට” සහභාගි වෙන්න පුළුවන්.

ජෝසෆ් නයිට් සහ ඩේවිඩ් විට්මර් යන දෙදෙනාටම අවශ්‍ය වූයේ ස්වාමින්වහන්සේගේ කාර්යයට උදව් කරන්නේ කෙසේදැයි දැන ගැනීමටයි. ඔවුන්ට ස්වාමින්වහන්සේ ලබාදුන් පිළිතුර ඔබ කියවන විට (දහම සහ ගිවිසුම් 12; 14), “සයොනයේ කාරණාව පෙරට පැමිණවීම සහ පිහිටුවීම” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්දැයි සිතා බලන්න (12:6; තවත් බලන්න 14:6). ඔබ මෙම කොටස් වලින් සොයාගත්, මෙය කිරීමට ඔබට උපකාර කළ හැකි මූලධර්ම සහ ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ගුණාංග මොනවාද?

දහම සහ ගිවිසුම් 13

ආරෝනික පූජකවරය යළි පිහිටුවීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යොහාන් බව්තීස්තව එව්වා.

යොහාන් බව්තීස්ත විසින්, ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රිව හැඳින්වූයේ ඔහුගේ “යටහත් සේවකයන්” ලෙසයි. ඔබ සිතන ආකාරයට යොහාන් බව්තීස්ත සමඟ යටහත් සේවකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (බලන්න මතෙව් 3:13–17; ලූක් 1:13–17; >3:2–20).

13 වෙනි කොටසේ ආරෝනික පූජකවරය ගැන යොහාන් බව්තීස්ත පැවසූ දේ කියවන විට, මෙම පූජකවරයේ යතුරු, ස්වාමින්වහන්සේගේ මාර්ගය සකස් කිරීමට යොහාන්ගේ මෙහෙවර ඉටු කිරීමට උපකාර වන ආකාරය ගැන මෙනෙහි කරන්න. උදාහරණයක් ලෙස:

ආරෝනික පූජකවරයේ නියෝග (බව්තීස්මය සහ සක්‍රමේන්තුව වැනි) ඔබගේ ජීවිතයට ගැලවුම්කරුවාණන්ව ලබා ගැනීමට මාර්ගය සකස් කරගැනීමට උපකාර කරන්නේ කෙසේද?

පූජකවර යතුරු යනු මොනවාද?

වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් සහ ඔහුගේ බිරිඳ රූත් පූජකවර යතුරු ගැන මෙම පැහැදිලි කිරීම ඉදිරිපත් කළා:

“පූජකවර යතුරු යන යෙදුම ආකාර දෙකකින් භාවිතා වෙනවා. පළමුවැන්න ආරෝනික හෝ මෙල්කිසදෙක් පූජකවරය ලබන සියල්ලන්ටම ලබා දී ඇති නිශ්චිත අයිතියක් හෝ වරප්‍රසාදයක් ගැන සඳහන් කරනවා. … නිදසුනක් වශයෙන්, ආරෝනික පූජකවරය දරන්නන් දේවදූත දේවසේවයේ යතුරු සහ පසුතැවිලි වීමේ සහ බව්තීස්මයේ සූදානම් කිරීමේ ශුභාරංචියේ සහ පව් කමාව උදෙසා ජලයේ ගිල්වා බව්තීස්ම කිරීමේ යතුරුද උසුලනවා (බලන්න දහම සහ ගිවිසුම් 13:1; 84:26–27). මෙල්කිසදෙක් පූජකවරය දරන්නන්ට රාජ්‍යයේ අභිරහස්වල යතුර, දෙවියන්වහන්සේ පිළිබඳ දැනුමේ යතුර සහ සභාවේ සියලුම අධ්‍යාත්මික ආශීර්වාදවල යතුරු ලැබෙනවා (බලන්න දහම සහ ගිවිසුම් 84:19; 107:18). …

“පූජකවර යතුරු යන යෙදුම භාවිතා කරන දෙවන ආකාරය නායකත්වයට යොමු වෙනවා. පූජකවර නායකයින්ට අමතර පූජකවර යතුරු ලැබෙනවා, එයින් ඔවුන්ට සභාවේ යම් සංවිධානයක හෝ ගණපූරණයක මුලසුන දැරීමට අයිතිය ලැබෙනවා. මේ අනුව, පූජකවර යතුරු යනු සභාව මෙහෙයවීමට, නායකත්වය දීමට සහ පාලනය කිරීමට ලැබෙන අධිකාරිත්වය සහ බලයයි” (The Melchizedek Priesthood: Understanding the Doctrine, Living the Principles [2018], 26).

ජෝසෆ් ස්මිත් විසින් ඔලිවර් කවුඩ්‍රිව බව්තීස්ම කරමින්

ඩෙල් පාර්සන් විසින්, Joseph Smith Baptizes Oliver Cowdery [ජෝසෆ් ස්මිත් විසින් ඔලිවර් කවුඩ්‍රිව බව්තීස්ම කරමින්]

ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:66-75

සෙමනේරි නිරූපකය
නියෝග මට දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශය ලබා දෙනවා.

නැවත පිහිටුවීමේ ප්‍රධාන සිදුවීම් සඳහා ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රි සමඟ සිටීමට ඔබට අවස්ථාව ලැබුණා නම් එය කෙබඳු වේදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? ඔබ 71 වෙනි පදය අවසානයේ ඇති සටහන ඇතුළුව, ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:66–75 කියවන විට, අවම වශයෙන් ඔවුන්ට හැඟුණු දේ තේරුම් ගැනීමට ඔබට හැකිවනු ඇත. ඔවුන්ගේ වචන ගැන ඔබව විශ්මයට පත් කරන්නේ කුමක්ද? විශේෂයෙන්ම ඔවුන් පූජකවරය ලබා බව්තීස්ම වීම නිසා ඔවුන්ට ලැබුණු ආශිර්වාද ගැන සලකන්න. පූජකවර නියෝග මගින් ගැලවුම්කරුවාණන් ඔබට දී ඇති ආශිර්වාද මොනවාද?

වැඩිදුර ඉගෙනීම සඳහා, නියෝග සහ ආශිර්වාද යන මාතෘකා සහිත වගුවක් සෑදීම ගැන සලකා බලන්න. එවිට ඔබට නියෝග සහ ඒවායින් ලැබෙන ආශිර්වාද ලැයිස්තුගත කිරීමට මෙවැනි ශුද්ධලියවිලි පද උවමනාවෙන් කියවිය හැකිය: යොහාන් 14:26; ක්‍රියා 2:38; දහම සහ ගිවිසුම් 84:19–22; 131:1–4; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:73–74. ඔබ මෙම ලැයිස්තුවට එකතු කරන වෙනත් ආශිර්වාද මොනවාද? ඔබට ලැබී ඇති නියෝග ඔබේ ජීවිතයට ගැලවුම්කරුවාණන්ගේ බලය ගෙන ආවේ කෙසේද?

ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “ශ්‍රේෂ්ඨ මහිමයේ දෙවියන්වහන්සේගේ බලය සමඟ,” ලියහෝනා, නොවැ. 2021, 28-30.

දහම සහ ගිවිසුම් 15–16

ක්‍රිස්තුස්වහන්සේ වෙතට ප්‍රාණයන් ගෙන ඒම ඉතා වටිනවා.

ජෝන් සහ පීටර් විට්මර් කළාක් මෙන් ඔබේ ජීවිතයේ “වටිනාකම” කුමක්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? (දහම සහ ගිවිසුම් 15:4; 16:4). ඔබ දහම සහ ගිවිසුම් 15-16 කියවන විට, ක්‍රිස්තුස්වහන්සේ වෙතට ප්‍රාණයන් ගෙන ඒම මෙතරම් වටින්නේ මන්දැයි සිතා බලන්න. ක්‍රිස්තුස්වහන්සේ වෙතට “ප්‍රාණයන් ගෙන ඒමට” ඔබ කරන්නේ කුමක්ද?

දහම සහ ගිවිසුම් 17

ස්වාමින්වහන්සේ තම වචනය තහවුරු කිරීමට සාක්ෂිකරුවන්ව භාවිතා කරනවා.

සාක්ෂිකරුවෙකු යනු කවුද? ස්වාමින්වහන්සේඋන්වහන්සේගේ කාර්යය සඳහා සාක්ෂිකරුවන් යොදා ගන්නේ ඇයි? (බලන්න 2 කොරින්ති 13:1). ඔබ දහම සහ ගිවිසුම් 17 හි සාක්ෂිකරුවන් තිදෙනාට දෙවියන්වහන්සේ පැවසූ වචන කියවන විට මෙම ප්‍රශ්න මෙනෙහි කරන්න. (තවත් බලන්න මොර්මොන්ගේ පොතේ “සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂිය”.) දෙවියන්වහන්සේගේ “ධර්මිෂ්ඨ අරමුණු” ඉටු කිරීමට සාක්ෂිකරුවන් උපකාර කරන්නේ කෙසේද? (4 වෙනි පදය).

ඔබට සාක්ෂි දැරිය හැක්කේ කුමක් ගැනද?

23:10

A Day for the Eternities

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 13; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:68-74

යොහාන් බව්තීස්ත ආරෝනික පූජකවරය නැවත පිහිටෙව්වා.

  • මෙම දළ සටහනේ ඇති කලා කෘති ඔබේ දරුවන්ට ආරෝනික පූජකවරය නැවත පිහිටුවීම දෘශ්‍යමාන කිරීමට උපකාරී වේ. ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:68–74 හි ඔබ ඔවුන් සමඟ කියවූ දේ මත පදනම්ව මෙම සිදුවීමේ පින්තූරයක් ඇඳීමට ඔවුන් කැමති වෙයිද?

    2:12

    Angels Restore the Priesthood: Power to do God's work

  • ඔබ එකට එක්ව කියවන අතරතුර ඔබට යොහාන් බව්තීස්තගේ පින්තූරයක් පෙන්විය හැක මතෙව් 3:13-17; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:68–70. ජෝසෆ් ස්මිත්ට බව්තීස්ම කිරීම සඳහා පූජකවර බලය ලබා දීමට ස්වාමින්වහන්සේ යොහාන් බව්තීස්තව එවීම වැදගත් වූයේ මන්ද?

දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිතය ගතකිරීම සඳහා ඔබේ දරුවන් සූදානම් කිරීම. පූජකවර බලය, අධිකාරිත්වය සහ යතුරු ගැන ඉගෙන ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීමට තවත් අදහස් සඳහා,උපග්‍රන්ථය A හෝ උපග්‍රන්ථය B බලන්න.

යොහාන් බව්තීස්ත යේසුස් ක්‍රිස්තුස්වහන්සේව බව්තීස්ම කරමින්

ඩෑන් බර් විසින්, යේසුස්වහන්සේ බව්තීස්ම වීම පිළිබඳ නිදර්ශනය

දහම සහ ගිවිසුම් 13

ආරෝනික පූජකවරය තුළින් ස්වර්ගික පියාණන්වහන්සේ මට ආශිර්වාද කරයි.

  • දහම සහ ගිවිසුම් 13 හි සඳහන් යතුරු ගැන සාකච්ඡාවක් ආරම්භ කිරීමට, ඔබට සහ ඔබේ දරුවන්ට යතුරු කට්ටලයක් දෙස බලා, යතුරු මඟින් අපට කිරීමට ඉඩ දෙන්නේ මොනවාද යන්න ගැන කතා කළ හැකිය. සමහර විට ඔබට 13 වෙනි කොටසේ යතුරු යන වචනය සොයා ගැනීමට ඔවුන්ට උදවු කළ හැකිය. ආරෝනික පූජකවරයේ ආශිර්වාද විස්තර කරන දහම සහ ගිවිසුම් 13 හි ඇති වෙනත් වචන හෝ වාක්‍ය ඛණ්ඩ මොනවාද?

3:5

Blessings of the Priesthood

දහම සහ ගිවිසුම් 15:4–6; 16:4–6

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට අන් අයට උපකාර කිරීම “ඉතාමත් වටිනවා.”

  • ජෝන් සහ පීටර් විට්මර්ට අවශ්‍ය වූයේ ඔවුන්ට වඩාත්ම වටින්නේ කුමක්ද යන්න දැන ගැනීමටය (බලන්න දහම සහ ගිවිසුම් 15:4; 16:4). සමහරවිට ඔබට සහ ඔබේ දරුවන්ට, ඔබට වඩාත් වටිනා දේවල් ගැන කතා කළ හැකිය. ඔබ දහම සහ ගිවිසුම් 15:6 හෝ 16:6 කියවන විට, “වඩාත් වටිනාම එම දෙය” කියා ස්වාමින්වහන්සේ පැවසූ දේ ඇසෙන විට දෑත් ඔසවන ලෙස ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්න.

  • “[යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] වෙතට ප්රාණයන් ගෙන ඒම පිණිස” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අන් අය සමඟ මිතුරන් වීම, මිතුරෙකු සමඟ ශුද්ධලියවිලි බෙදාගැනීම හෝ අවශ්‍යතා ඇති කෙනෙකු වෙනුවෙන් යාච්ඤා කිරීම වැනි අදහස් ලැයිස්තුවක් සෑදීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. ඔබේ දරුවන්ට සභාවේ සඟරා තුළ මෙම දේවල්වල පින්තූර සෙවිය හැකිය. නැතිනම් තමන්ගේම චිත්‍ර ඇඳීමට හැකිය. ඔවුන් සාදන ලැයිස්තුවෙන් යමක් තෝරා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න.

දහම සහ ගිවිසුම් 17

මට මොර්මොන්ගේ පොත පිළිබඳ සාක්ෂිකරුවෙකු වෙන්න පුළුවන්.

  • දහම සහ ගිවිසුම් 17:5–6 කියවීමෙන් පසු, මෝර්මොන්ගේ පොත සත්‍ය බව ඔබ දන්නේ කෙසේදැයි ඔබේ දරුවන්ට කියන්න. අපට මෝර්මොන්ගේ පොතේ සාක්ෂිකරුවන් විය හැක්කේ කෙසේද?

    4:58

    Witnessess See the Book of Mormon Plates: Bearing testimony to the world

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ජෝසෆ් සහ ඔලිවර් යොහාන් බව්තීස්තගෙන් ආරෝනික පූජකවරය ලබාගනිමින්

ලින්ඩා කර්ලි ක්‍රිස්ටෙන්සන් විසින්, Upon You My Fellow Servants [මාගේ යටහත් සේවකයන් වන ඔබ මත]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව