“නැවත පිහිටුවීමේ හඬවල්: මොර්මොන්ගේ පොතේ පරිවර්තනය,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා:: දහම සහ ගිවිසුම් 2025 (2025)
“මොර්මොන්ගේ පොතේ පරිවර්තනය,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
නැවත පිහිටුවීමේ හඬවල්
මොර්මොන්ගේ පොතේ පරිවර්තනය
1829 අප්‍රියෙල් මාසයේ, දහම සහ ගිවිසුම් පොතේ 6–9 දක්වා කොටස් ලැබුණු විට, ජෝසෆ් ස්මිත්ගේ ප්‍රධාන කාර්යය වූයේ මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමයි. එම ආශ්චර්යමත් පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ බොහෝ තොරතුරු අපි නොදනිමු, නමුත් ජෝසෆ් ස්මිත් යනු දර්ශන දකින්නෙකු බවත්, උරිම් හා තුමිම් ලෙස හඳුන්වනු ලබන පාරදෘෂ්‍ය ගල් දෙකක්, සහ දර්ශන ගල ලෙස හඳුන්වනු ලබන තවත් ගලකින් යුත් දෙවියන්වහන්සේ විසින් සකස්කරන ලද මෙවලම් වල ආධාර ලත් බවත් අපි දනිමු.
මෙම වාර්තාව පරිවර්තනය කළේ කෙසේ දැයි විස්තර කරන ලෙස පසුව ජෝසෆ්ගෙන් විමසූ විට, ජෝසෆ් පැවසුවේ “ඒ සියලු තොරතුරු ලෝකයට පැවසීමට අවශ්‍ය නැති බවයි.” ඔහු බොහෝ විට ප්‍රකාශ කළේ එය “දෙවියන්වහන්සේගේ දීමනාවෙන් සහ බලයෙන්” පරිවර්තනය කර ඇති බවයි.
පරිවර්තන ක්‍රියාවලිය ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ පහත සඳහන් ප්‍රකාශ, ජෝසෆ්ගේ සාක්ෂියට සහාය වේ.
හයිරම් ස්මිත්ට අයත් වූ මෙම පෙට්ටිය, රන් තහඩු තාවකාලිකව සඟවා තැබීමට භාවිත කළ එකක් බවට විශ්වාස කරනු ලැබේ.
එමා ස්මිත්
“මගේ ස්වාමිපුරුෂයා මොර්මොන්ගේ පොත පරිවර්තනය කරන විට, ඔහු සෑම වාක්‍යයක්ම, වචනයෙන් වචනය ලියාගැනීම පිණිස කියවන විට, මම එහි කොටසක් ලිව්වා, ඔහුට උච්ඡාරණය කළ නොහැකි නම් හෝ දිගු වචනවලට පැමිණි විට, ඔහු අකුරෙන් අකුර උච්ඡාරණය කළා, මා ඒවා ලියන අතරවාරයේ දී, මා විසින් අක්ෂර වින්‍යාසයේ යම් වරදක් සිදු වුවහොත්, ඔහුට මා ලියන දේ දැකීමට හැකි නොවුණත්, ඔහු මා නවතා මගේ අක්ෂර වින්‍යාසය නිවැරදි කළා. සාරා යන වචනය පවා ඔහුට මුලින් උච්චාරණය කිරීමට නොහැකි වුණා, නමුත් එහි අකුරෙන් අකුර උච්ඡාරණය කළා, එවිට මම එය ඔහුට උච්චාරණය කර පෙන්නුවා.”
“බොහෝ විට සඟවා තැබීමේ උත්සාහයකින් තොරව, තහඩු එතීමට මා ඔහුට ලබා දුන්, කුඩා හණ මේස රෙද්දකින් එය ඔතා. එම තහඩු, මේසය මත තිබුණා. එම තහඩු වල දාර සහ හැඩය අතගා බලමින්, ඒවා මේසය මත තිබෙන විටක, මම එක් වරක් ඒවා අල්ලා බැලුවා. ඒවා ඝන කඩදාසි මෙන් නම්‍යශීලී බවක් පෙනෙන්නට තිබූ අතර, යමෙකු පොතක දාරවලට මාපටැඟිල්ලෙන් ගසන්නාක් මෙන්, මාපටැඟිල්ලෙන් දාර චලනය කරන විට ලෝහමය ශබ්දයක් සමග සර සර ශබ්දයක් නැගුවා. …
“මොර්මොන්ගේ පොත දිව්‍යමය සත්‍යතාවක් ඇති එකක් බව මගේ විශ්වාසයයි—මට ඒ ගැන සුළු සැකයක්වත් නෑ. කිසිම මිනිසෙකුට දේවානුභාවයෙන් මිස ඒ අත්පිටපත් ලිවීම පිණිස කියවන්නට නොහැකි බව මට විශ්වාසයි, මක්නිසා ද යත්, ඔහුගේ ලේඛකයා ලෙස ක්‍රියා කරන විට, [ජෝසෆ්] පැය ගණනාවක් පුරා මට ලිවීම පිණිස කියවනවා, ආහාර ගැනීමෙන් පසු හෝ අතරමගදී නැවැත්වීමකින් පසු ආපසු එන විට, ඔහු අත්පිටපත නොදැක හෝ එහි කිසිඳු කොටසක් කියවා නොගෙන, ඔහු නතර කළ තැනින් එකවරම පටන් ගන්නවා. මෙය ඔහුට සාමාන්‍ය දෙයක්. උගත් මිනිසෙකුට මෙය කළ නොහැක්කක්; ඒවගේම, ඔහු තරම් නූගත් සහ ඉගෙන නොගත් කෙනෙකුට, එය සරලවම කළ නොහැකි දෙයක්.”
ඔලිවර් කවුඩ්‍රි
“මොර්මොන්ගේ පොත සඳහන් කරන පරිදි, ශුද්ධ වූ පරිවර්තක මෙවලම් වන, උරිම් සහ තුමිම් භාවිතා කරමින්, දෙවියන්වහන්සේගේ දීමනාවෙන් සහ බලයෙන් ඔහු එය පරිවර්තනය කරන අතරතුර (පිටු කිහිපයක් හැරෙන්නට) මම මගේම පෑනෙන් මොර්මොන්ගේ පොත සම්පූර්ණයෙන්ම ලිව්වා. මම එය පරිවර්තනය කරන ලද රන් තහඩු මගේ දෑසින් බැලුවා, මගේ දෑතින් ඒවා අල්ලා බැලුවා. මම ඒ පරිවර්තක මෙවලම්ද දුටුවා.”