“උපග්‍රන්ථය B: ප්‍රාථමිකය සඳහා—දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිතය ගතකිරීම සඳහා දරුවන්ව සූදානම් කිරීම,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“උපග්‍රන්ථය B,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
උපග්‍රන්ථය B
ප්‍රාථමිකය සඳහා—දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිතය ගතකිරීම සඳහා දරුවන්ව සූදානම් කිරීම
ඉරිදා දින පහක් ඇති මාසවලදී, මෙම ඉගෙනුම් ක්‍රියාකාරකම් එකක් හෝ කිහිපයක් සමඟ පස්වන ඉරිදා දිනට නියමිත එන්න, මා අනුගමනය කරන්න තුළ දළ සටහන ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රාථමික ගුරුවරුන්ව දිරිගන්වනු ලැබෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්ම සහ නියෝග
ක්‍රිස්තුස්වහන්සේගේ දහම දෙවියන්වහන්සේ වෙතට ආපසු යා යුතු ආකාරය අපට උගන්වනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අමෙරිකාවේ මිනිසුන්ට දර්ශනය වූ විට, උන්වහන්සේ උන්වහන්සේගේ දහම ඔවුන්ට ඉගැන්නුවා. අපට ඇදහිල්ල තිබෙනවා නම්, අප පසුතැවිලි වෙනවා නම්, බව්තීස්ම වෙනවා නම්, ශුද්ධාත්මයාණන් ලබාගෙන, අවසානය දක්වා විඳදරාගන්නවා නම් අපට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන්නට හැකි බව උන්වහන්සේ පැවසුවා (බලන්න 3 නෙපී 11:31–40; තවත් බලන්න දහම සහ ගිවිසුම් 20:29). මෙම මූලධර්ම සහ නියෝග අපගේ ජීවිත කාලය පුරාම ගැලවුම්කරුවාණන් වෙත සමීප වීමට අපට උදවු වන බව දරුවන්ට ඉගැන්වීමට පහත ක්‍රියාකාරකම් ඔබට උදවු වෙන්න පුළුවන්.
ක්‍රිස්තුස්වහන්සේගේ දහම ගැන වැඩිදුර දැනගැනීමට, 2 නෙපී 31 බලන්න.
කළ හැකි ක්‍රියාකාරකම්
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය සහ ස්ථිර කිරීම නියෝජනය කරන පින්තූර දරුවන්ට දෙන්න (ශුභාරංචි කලා පොත, අංක 1, 111, 103, සහ 105 බලන්න). ඇදහිල්ලේ කරුණු තුළ ඇති හතරවන කරුණ දරුවන් සමඟ කියවන්න නැතිනම් මතකයෙන් කියන්න, ඒ වගේම මූලධර්මයක් හෝ නියෝගයක් කියවෙද්දි ඔවුන් ලඟ ඇති එයට අදාළ පින්තූරය ඔසවගෙන ඉන්න කියා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. මෙම එක් එක් මූලධර්ම සහ නියෝග අපට තව තවත් ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වගේ වෙන්නට උදවු වන ආකාරය තේරුම් ගැනීමට දරුවන්ට උදවු කරන්න.
-
ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය සහ ස්ථිර කිරීම කියන්නෙ එක් වරක් සිදුවන දෙයක් නොවන බවත් ඒවා අපගේ ජීවිත කාලය පුරාම අපගේ අධ්‍යාත්මික වර්ධනයට බලපාන බවත් දරුවන්ට තේරුම් ගැනීමට, ඔබට ඔවුන්ට උදවු කරන්න පුළුවන් කොහොමද? නිදසුනක් වශයෙන්, ඔබට ඔවුන්ට බීජයක සහ විශාල ගසක පින්තූරයක් පෙන්වන්න පුළුවන් (නැතහොත් මේ දේවල් පුවරුවක අඳින්න). බීජය විශාල ගසක් දක්වා වර්ධනය වීමට උදවු වන ජලය, පස සහ හිරු එළිය වැනි දේවල් ගැන සිතා බැලීමට ඔවුන්ට උදවු කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ගොඩනගා ගැනීම, සෑම දිනකම පසුතැවිලි වීම, අපගේ බව්තීස්ම ගිවිසුම් අනුව ජීවත් වීම, සක්‍රමේන්තුවට සහභාගි වීම, සහ ශුද්ධාත්මයාණන්ට ඇහුම්කන් දීම වැනි මෙම දේවල් අපගේ ජීවිත කාලය පුරාම දෙවියන්වහන්සේට සමීප වීමට අප කරන දේවල් හා සමාන වන බව දැකීමට ඔවුන්ට උදවු කරන්න.
-
අපි පසුතැවිලි වන විට අපට සතුටක් දැනෙන්නේ ඇයි? ඔබට සමාව දෙන ලෙස ඔබ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඉල්ලා සිටි විට ඔබට ඇති වූ ප්‍රීතිය හා ආදරය දරුවන් සමඟ බෙදා ගන්න.
Repentance: A Joyful Choice
බව්තීස්මය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව්තීස්ම වූ විට උන්වහන්සේ මට ආදර්ශයක් තැබුවා.
යේසුස්වහන්සේ පව් රහිතව සිටියත්, උන්වහන්සේ බව්තීස්ම වුණේ ස්වර්ගික පියාණන්වහන්සේට කීකරු වීම සම්බන්ධයෙන් පරිපූර්ණ ආදර්ශයක් තැබීමටයි (බලන්න 2 නෙපී 31:6–10).
බව්තීස්මය ගැන වැඩිදුර ඉගෙනීම සඳහා බලන්න, දහම සහ ගිවිසුම් 20:37.
කළ හැකි ක්‍රියාකාරකම්
-
ගැලවුම්කරුවාණන්ගේ බව්තීස්මය සහ වෙනත් පුද්ගලයෙකුගේ බව්තීස්මය පිළිබඳ පින්තූරයක් පෙන්වන්න (හෝ ශුභාරංචි කලා පොත, අංක 35 සහ අංක 103 හෝ අංක 104 බලන්න). පින්තූර දෙක අතර වෙනස්කම් සහ සමානකම් බෙදා ගන්නා ලෙස දරුවන්ට කියන්න. මතෙව් 3:13–17 එකට එක්ව කියවන්න. කියවීමේදී සඳහන් කරන දේවල් වලට අදාළ දේවල්, එම පින්තූර මත පෙන්වා දීමට දරුවන්ට ඉඩදෙන්න. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ආදරය සහ උන්වහන්සේව අනුගමනය කිරීමට ඔබේ ආශාව ගැන දරුවන්ට කියන්න.
1:52Chapter 10: Jesus Is Baptized
-
2 නෙපී 31:9–10 කියවන්න, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව්තීස්ම වුණේ ඇයි කියා එහි කියවෙන දේවල් වලට සවන්දීමට දරුවන්ට ආරාධනා කරන්න. ඔවුන්ගේ බව්තීස්ම දිනයේ ඔවුන්ගේ චිත්‍රයක් ඇඳීමට ඔවුන්ට ආරාධනා කරන්න.
දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගෙන බව්තීස්ම වෙන්න මට තෝරාගන්න පුළුවන්.
බව්තීස්ම වීමට සූදානම් වීම යනු සිදුවීමක් සඳහා සූදානම් වීමට වඩා වැඩි දෙයක්. එයින් අදහස් කරන්නේ ගිවිසුමක් ඇති කර ගැනීමට සූදානම් වීම සහ පසුව එම ගිවිසුම ජීවිත කාලය පුරාම තබා ගැනීමයි. ස්වර්ගික පියාණන්වහන්සේ ඔවුන්ට දෙන පොරොන්දු සහ ඔවුන් උන්වහන්සේට දෙන පොරොන්දු ඇතුළත්, දරුවන් බව්තීස්ම වූ විට ඔවුන් උන්වහන්සේ සමඟ ඇතිකරගන්නා එම ගිවිසුම තේරුම් ගැනීමට දරුවන්ට උදවු කළ හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න.
කළ හැකි ක්‍රියාකාරකම්
-
ගිවිසුමක් කියන්නෙ පුද්ගලයෙකු සහ ස්වර්ගික පියාණන්වහන්සේ අතර ඇතිවන පොරොන්දුවක් බව පැහැදිලි කරන්න. අපි දෙවියන්වහන්සේට දුන් පොරොන්දු ඉටු කිරීමට උත්සාහ කරද්දි, දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන්න පොරොන්දු වෙනවා. දෙවියන්වහන්සේට මම ලබාදෙන පොරොන්දු සහ දෙවියන්වහන්සේ මට ලබාදෙන පොරොන්දු ලෙස පුවරුවේ ලියන්න. එකට එකතු වී මොසායා 18:10, 13 සහ දහම සහ ගිවිසුම් 20:37 කියවා, සුදුසු මාතෘකා යටතේ ඔවුන් සොයා ගන්නා පොරොන්දු ලැයිස්තුවක් සෑදීමට දරුවන්ට උපකාර කරන්න. ඔබ ඔබේ බව්තීස්ම ගිවිසුම තබා ගැනීමට උත්සාහ කරද්දි ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇති ආකාරය බෙදා ගන්න.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දේවසේවයේ දී කළ දේවල්වල පින්තූර දරුවන්ට පෙන්වන්න (සමහර උදාහරණ සඳහා, ශුභාරංචි කලා පොත, අංක 33–49 බලන්න). ඒ සෑම පින්තූරයකම යේසුස්වහන්සේ කරන දේවල් ගැන කතා කිරීමට දරුවන්ට ඉඩ දෙන්න. මොසායා 18:8–10, 13 කියවන්න, ඔවුන් බව්තීස්ම වූ විට ඔවුන් කිරීමට පොරොන්දු වන දේවල්වලට සවන් දීමට දරුවන්ට ආරාධනා කරන්න. මෙම පොරොන්දු අපගේ එදිනෙදා ක්‍රියාවන්ට බලපාන්නේ කොහොමද? යේසුස්වහන්සේ කළාක් මෙන් ඔවුන් යමෙකුට උදවු කරන ආකාරය චිත්‍රයට නගන ලෙස දරුවන්ට ආරාධනා කරන්න.
අපි බව්තීස්ම වුණාම, අපි දෙවියන්වහන්සේට පොරොන්දු ලබා දෙනවා, ඒ වගේම උන්වහන්සේත් අපට පොරොන්දු ලබා දෙනවා.
ස්ථීර කිරීම
මාව ස්ථිර කළ පසු, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු වුණා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු වීම, දෙවියන්වහන්සේගේ වැඩවලට ක්‍රියාශීලී සහභාගිවන්නන් වීමට දරුවන්ට ඇති අවස්ථා ඇතුළු, බොහෝ ආශිර්වාද ගෙන එනවා.
කළ හැකි ක්‍රියාකාරකම්
-
මෑතකදී බව්තීස්ම වූ සහ ස්ථිර වූ කෙනෙකුට පන්තියට පැමිණ, එම ස්ථිර වීම දැනුණු ආකාරය බෙදාගැනීමට ආරාධනා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු වීම ගැන ඔහුට හෝ ඇයට දැනෙන්නේ කෙසේද කියා කතා කිරීමට මෙම පුද්ගලයාගෙන් ඉල්ලා සිටින්න. සභාවේ සාමාජිකයන් ලෙස ඔවුන්ගේ බව්තීස්ම ගිවිසුම තබා ගත හැකි ක්‍රම ගැන සිතීමට දරුවන්ට උදවු වෙන්න (අන් අයට සේවය කිරීම, යේසුස්වහන්සේ ගැන වැඩි විස්තර දැන ගැනීමට අන් අයට ආරාධනා කිරීම, රැස්වීම් වලදී යාච්ඤා කිරීම සහ ඒ වගේ දේවල්). ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු වීමේ ප්‍රීතිය දැනීමට, මෙම දේවල් කිරීම ඔබට උදවු වී ඇති ආකාරය බෙදා ගන්න.
-
වෝටර්ස් ඔෆ් මොර්මොන් හි සිටින මිනිසුන්ගේ පින්තූරයක් පෙන්වන්න (ශුභාරංචි කලා පොත, අංක 76 බලන්න), සහ එම පින්තූරයේ ඔවුන් දකින දේ විස්තර කරන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින්න. ඇල්මා සහ ඔහුගේ සෙනඟ එහි බව්තීස්ම වීම පිළිබඳ කතාව කියන්න (බලන්න මොසායා 18:1–17). මොසායා 18:8–9 සමාලෝචනය කර, ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ලෙස පුද්ගලයින් කිරීමට කැමැත්තෙන් සිටි දේවල් මතක තබා ගැනීමට උදවු වීමට යම් රඟ දැක්වීම් කිරීමට දරුවන්ට ආරාධනා කරන්න. නිදසුනක් වශයෙන්, “දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගැනීමට පියවරක් ගැනීමට” අපට අන් අයට උපකාර කළ හැක්කේ කෙසේද? සභාවේ සාමාජිකයන් මේ ආකාරයෙන් සේවය කරන ආකාරය ඔබ දැක ඇති අවස්ථාවක් ගැන අත්දැකීමක් බෙදා ගන්න.
2:41Alma at the Waters of Mormon
මම ස්ථිර වූ විට, මට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබෙනවා.
අප බව්තීස්ම වී, ස්ථිර වුණාම, අපට “උන්වහන්සේගේ ආත්මය [අප] සමඟ සැමදා තබාගැනීමට හැකි වන” බව ස්වර්ගීය පියාණන්වහන්සේ පොරොන්දු වෙනවා (දහම සහ ගිවිසුම් 20:77). දෙවියන්වහන්සේගෙන් ලැබෙන මෙම පුදුමාකාර දීමනාව හඳුන්වන්නෙ ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලෙසයි.
කළ හැකි ක්‍රියාකාරකම්
-
දහම සහ ගිවිසුම් 33:15 කියවන විට, අප බව්තීස්ම වී ස්ථිර වන විට ස්වර්ගික පියාණන්වහන්සේ අපට දෙන විශේෂ දීමනාවට සවන් දෙන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින්න. ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ඔවුන්ට උදවු වන ආකාරය ගැන වැඩිදුර ඉගෙන ගැනීමට ඔවුන්ට උදවු වීම සඳහා, එකට එක් වී යොහන් 14:26; ගලාති 5:22–23; 2 නෙපී 32:5; 3 නෙපී 27:20 සමාලෝචනය කරන්න.
-
ඔවුන්ට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ඇති නිසා ඔවුන් ආශිර්වාද ලබා ඇති ආකාරය බෙදා ගැනීමට පන්තියට පෙර එක් දරුවෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්න. උන්වහන්සේ ඔවුන්ට උදවු කළේ කොහොමද? ඔවුන්ට උන්වහන්සේගේ හඬ ඇසෙන්නේ කොහොමද?
ශුද්ධාත්මයාණන්ට බොහෝ ආකාරවලින් මට කතා කරන්න පුළුවන්.
ආත්මයාණන්ගේ හඬ හඳුනාගත හැකි දරුවන්, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම මගපෙන්වීම සඳහා පුද්ගලික එළිදරව් ලබා ගැනීමට සූදානම් වී සිටිනවා. ශුද්ධාත්මයාණන්වහන්සේට අපට කතා කළ හැකි බොහෝ ක්‍රම ඇති බව තේරුම් ගැනීමට ඔවුන්ට උපකාර කරන්න.
කළ හැකි ක්‍රියාකාරකම්
-
ලිපියක් ලිවීම, විද්‍යුත් තැපැල් පණිවිඩයක් යැවීම හෝ දුරකථනයෙන් කතා කිරීම වැනි දුර බැහැර සිටින මිතුරෙකු සමඟ අපට කතා කළ හැකි විවිධ ක්‍රම ගැන සිතීමට දරුවන්ට උදවු වෙන්න. ස්වර්ගික පියාණන්ට ශුද්ධාත්මයාණන් තුළින් විවිධ ආකාරවලින් අපට කථා කළ හැකි බව ඔවුන්ට උගන්වන්න. සභාපති ඩැලන් එච්. ඕක්ස්ගේ “How Does Heavenly Father Speak to Us?” යන පණිවිඩය භාවිතා කරමින් ශුද්ධාත්මයාණන්ට අපගේ මනසට සහ හදවතට කථා කළ හැකි විවිධ ක්‍රම දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කරන්න (Friend, Mar. 2020, 2–3, or Liahona, Mar. 2020, F2–F3).
-
ඔබේ මනසේ ඇති සිතුවිලි හරහා හෝ ඔබේ හදවතේ හැඟීමක් හරහා, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ සමඟ සන්නිවේදනය කළ අත්දැකීමක් බෙදා ගන්න (බලන්න දහම සහ ගිවිසුම් 6:22–23; 8:2–3). ශුද්ධාත්මයාණන්වහන්සේට ඒ හා සමාන ආකාරවලින් ඔවුන්ට උදවු කළ හැකි බව දරුවන්ට සාක්ෂි දරන්න.
-
දරුවන්ට ආත්මයාණන්ව දැනෙන වේලාවන් හඳුනා ගැනීමට උපකාර කරන්න–උදාහරණයක් ලෙස, ගැලවුම්කරුවාණන් ගැන ගීතයක් ගායනා කරන විට හෝ අන් අයට කරුණාවන්ත දෙයක් කරන විට. ශුද්ධාත්මයාණන් විසින් ගෙන එන ආත්මික හැඟීම් මත ක්‍රියා කිරීමට සහ විශේෂයෙන්ම උන්වහන්සේගේ පෙළඹවීම් හඳුනාගැනීමට ඔවුන්ට උපකාර කරන්න. ඔබ සිතන ආකාරයට ශුද්ධාත්මයාණන්වහන්සේ අපට එම හැඟීම් ලබා දෙන්නේ ඇයි? ශුද්ධාත්මයාණන්වහන්සේ අපට කතා කරන විට එයට සවන් දීමට අප විසින් කළ යුතු දේවල් ගැන සිතීමට දරුවන්ට උදවු කරන්න. ආත්මයාණන්ව වඩාත් පැහැදිලිව ඇසීමට ඔබ කරන දේවල් ගැන කතා කරන්න.
සක්‍රමේන්තුව
මම සක්‍රමේන්තුව ලබා ගද්දි, මම ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය සිහිපත් කර මගේ ගිවිසුම් අලුත් කරගන්නවා.
ගැලවුම්කරුවාණන් අපට සක්‍රමේන්තුව ලබා දුන්නේ අප වෙනුවෙන් උන්වහන්සේගේ පරිත්‍යාගය සිහිපත් කිරීමට සහ අපගේ ගිවිසුම් අලුත් කිරීමට අපට උදවු කිරීමටයි.
වැඩි විස්තර සඳහා බලන්න, මතෙව් 26:26–30; 3 නෙපී 18:1–12; දහම සහ ගිවිසුම් 20:77, 79.
කළ හැකි ක්‍රියාකාරකම්
-
දරුවන් සඳහා 3 නෙපී 18:1–12 කියවන්න. සක්‍රමේන්තුව අතරතුරදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කිරීමට අපට කළ හැක්කේ මොනවාද?
2:8Jesus Shares the Sacrament
-
සපත්තු වල ලේස් ගැටගැසීම හෝ කෑමට පෙර අත් සේදීම වැනි ඔවුන් නිතරම මතක තබා ගත යුතු දේවල් ඔබට පවසන ලෙස දරුවන්ට කියන්න. මේ දේවල් මතක තබා ගැනීම වැදගත් වන්නේ ඇයි? දරුවන් වෙනුවෙන් මොරෝනි 4:3 කියවා, අපි සක්‍රමේන්තුව ගන්නා විට සැමවිටම මතක තබාගැනීමට පොරොන්දු වන දේට සවන් දීමට ඔවුන්ට ආරාධනා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහි කිරීම වැදගත් වන්නේ ඇයි? යේසුස්වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේවල් මතක තබා ගැනීමට, සක්‍රමේන්තුවේ පාන් සහ ජලය අපට උදවු වෙන්නේ කොහොමද කියා තේරුම් ගැනීමට දරුවන්ට උදවු කරන්න (බලන්න මොරෝනි 4:3; 5:2).
-
“මම පොරොන්දු වෙනවා…” කියා පුවරුවේ ලියා, දරුවන් වෙනුවෙන් සක්‍රමේන්තු යාච්ඤා කියවන්න (බලන්න දහම සහ ගිවිසුම් 20:77, 79). අපි දෙවියන්වහන්සේට කරන පොරොන්දුවක් ඔවුන්ට ඇසුණු විට, විරාමයක් අරගෙන ඔවුන් ඇසූ පොරොන්දුව සමඟ පුවරුවේ වාක්‍යය සම්පූර්ණ කිරීමට ඔවුන්ට උදව් කරන්න. අපි සක්‍රමේන්තුව ගද්දි, අපි ඉටු කරන්නේ බව්තීස්මයේදී දුන් පොරොන්දුම බව ඔවුන්ට තේරුම් ගැනීමට උදවු කරන්න.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මත ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට දරුවන්ට උදවු කිරීම සඳහා, අපි අපේ නම් දමා ඇති දෙයක උදාහරණයක් බෙදා ගන්න. ඇයි අපි මේ දේවල් වලට අපේ නම් දාන්නේ? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ නාමය අප මත තැබීමට කැමති වන්නේ ඇයි? සභාපති රසල් එම්. නෙල්සන්ගේ මෙම පැහැදිලි කිරීම බෙදාගැනීම ගැන සලකා බලන්න: “ගැලවුම්කරුවාණන්ගේ නාමය අප මතට ගැනීමට—අපගේ ක්‍රියාවන් සහ අපගේ වචන තුළින්—යේසුස්වහන්සේ යනු ක්‍රිස්තුස් බව ප්‍රකාශ කිරීම සහ අනෙක් අයට සාක්ෂි දැරීම ඇතුළත් වෙනවා” (“සභාවේ නිවැරදි නම,” ලියහෝනා, නොවැ. 2018, 88).
පූජකත්ව බලය, අධිකාරිත්වය සහ යතුරු
පූජකත්ව බලය තුළින් දෙවියන්වහන්සේ තම දරුවන්ට ආශිර්වාද කරනවා.
දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්—ගැහැණු සහ පිරිමි, තරුණ සහ මහලු සැම කෙනෙක්ම—ඔවුන් උන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් රකින විට ඔවුන් දෙවියන්වහන්සේගේ බලය ලබා ගන්නවා. බව්තීස්මය වැනි පූජකත්ව නියෝගයක් අපට ලැබෙන විට අපි මෙම ගිවිසුම් ඇති කරගන්නවා (බලන්න ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 3.5, 3.6, ශුභාරංචි පුස්තකාලය). තව දැන ගැනීමට බලන්න, රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික වස්තූන්,” ලියහෝනා, නොවැ. 2019, 76–79; “පූජකවරයේ මූලධර්ම,” ප්‍රධාන අත්පොතෙහි 3 වෙනි පරිච්ඡේදය.
කළ හැකි ක්‍රියාකාරකම්
-
පූජකවරය නිසා ඔවුන්ට ලැබෙන ආශිර්වාද දැකීමට දරුවන්ට උදවු කරන්න. මෙම ආශිර්වාද පුවරුවක් මත ලැයිස්තුගත කිරීම ගැන සලකා බලන්න. මෙම ආශිර්වාද අපට වැදගත් වන්නේ ඇයි? මෙම ආශිර්වාද අපට ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා සහ උන්වහන්සේගේ පූජකත්ව බලය නිසා බව සාක්ෂි දරන්න.
3:5Blessings of the Priesthood
-
දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කිරීමට උන්වහන්සේගේ බලය භාවිතා කරන ආකාරය නිදර්ශනය කරන පින්තූර සොයා ගැනීමට දරුවන්ට උපකාර කරන්න. නිදසුනක් වශයෙන්, උන්වහන්සේ අප වෙනුවෙන් මැවූ ලෝකය පිළිබඳ පින්තූරයක්, රෝගීන් සුව කිරීමේ උදාහරණ සහ උන්වහන්සේ අප වෙනුවෙන් සපයා ඇති ශුද්ධ වූ නියෝග සොයා ගැනීමට ඔවුන්ට පුළුවන් (ශුභාරංචි කලා පොත, අංක 3, 46, 104, 105, 107, 120 බලන්න). ඔබ පූජකවරයට සහ එයින් ලැබෙන ආශිර්වාද වලට ස්තූතිවන්ත වන්නේ ඇයි කියා බෙදාගන්න. දෙවියන්වහන්සේගේ පූජකත්ව බලයෙන් ආශිර්වාද ලැබූ අත්දැකීම් ගැන සිතීමට දරුවන්ට උපකාර කරන්න.
-
අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ බලයේ ආශිර්වාද ලබා ගන්නා එක් ප්‍රධාන මාර්ගයක් තමයි පූජකවර නියෝග (බලන්න දහම සහ ගිවිසුම් 84:20). දරුවන්ට මෙම සත්‍යය ඉගෙන ගැනීමට උදවු කිරීම සඳහා, ඔබට පහත සඳහන් ශුද්ධලියවිලි පද පුවරුවක් මත ලැයිස්තුගත කරන්න පුළුවන්: 3 නෙපී 11:21–26, 33 (බව්තීස්මය); මොරෝනි 2 (ස්ථිර කිරීම); මොරෝනි 4–5 (සක්‍රමේන්තුව). දරුවන්ට මෙම ඡේදවලින් එකක් තෝරාගෙන එය විස්තර කරන නියෝගය හඳුනා ගන්න පුළුවන්. පූජකවර නියෝග ලබා ගැනීමෙන් ඔවුන් පෞද්ගලිකව ආශිර්වාද ලබා ඇති ආකාරය බෙදා ගැනීමට දරුවන්ට ආරාධනා කරන්න.
-
බව්තීස්ම වන විට සහ ඔවුන්ගේ බව්තීස්ම ගිවිසුම් තබාගන්නා විට, ඔවුන්ට දෙවියන්වහන්සේගෙන් බලය ලැබෙන බව තේරුම් ගැනීමට දරුවන්ට උදවු කරන්න. මෙම බලයට ඔවුන්ට උදවු කරන්න පුළුවන් කොහොමද කියා දරුවන්ගෙන් අසන්න.
දෙවියන්වහන්සේගේ කාර්යය පූජකත්ව යතුරු මගින් මෙහෙයවනු ලබන අතර පූජකත්ව අධිකාරිය මගින් ඉටු කරනු ලැබෙනවා.
යම් පුද්ගලයෙකු කැඳවීමක් සඳහා වෙන් කර ඇති විට හෝ දෙවියන්වහන්සේගේ කාර්යයට උපකාර කිරීම සඳහා පවරනු ලැබුවහොත්, ඇයට හෝ ඔහුට පැවරී ඇති පූජකත්ව අධිකාරිය ක්‍රියාත්මක කළ හැකිය. ඊට අමතරව, සුදුසු පිරිමි සභා සාමාජිකයින්ව පූකවරයේ තත්වයකට නියම කළ හැකිය. සභාවේ සියලුම පූජකත්ව අධිකාරිය භාවිතා කිරීම මෙහෙයවනු ලබන්නේ ස්ටේක සභාපතිවරයා, සභානායකවරයා සහ ගණපූරණ සභාපතිවරුන් වැනි පූජක යතුරු දරන පුද්ගලයින් විසින්. පූජකත්ව යතුරු යනු ස්වාමින්වහන්සේගේ කාර්යය කිරීමේදී පූජකවරය භාවිතා කිරීම මෙහෙයවීමේ අධිකාරියයි.
කළ හැකි ක්‍රියාකාරකම්
-
දරුවන් සමඟ මාර්ක් 3:14-15 කියවා, එහි විස්තර කර ඇති සිදුවීමේ පින්තූරයක් ඔවුන්ට පෙන්වන්න (ශුභාරංචි කලා පොත, අංක 38 වැනි). යමෙක් කැඳවීමක් සඳහා වෙන් කරනු ලැබීම හෝ යමෙක්ව පූජකවර තත්වයකට නියම කිරීම ඔවුන් කවදා හෝ දැක තිබේදැයි දරුවන්ගෙන් අසන්න (නැතහොත් ඔබ ලැබූ අත්දැකීම් ගැන ඔවුන්ට කියන්න). එය ගැලවුම්කරුවාණන් තම ප්‍රේරිතවරුන් සමඟ කළ දෙයට සමාන වෙන්නේ කොහොමද? ගුරුවරයෙකු වීම හෝ සංවිධානයක නායකයෙකු වීම වැනි, සභා සාමාජිකයින්ට ලබාදිය හැකි කැඳවීම් හෝ පූජකවර තත්වයන් පුවරුවක ලැයිස්තුගත කිරීමට දරුවන්ට උපකාර කරන්න. එම සෑම කැඳවීමකටම හෝ තත්වයකටම යාබදින්, එම කැඳවීම හෝ තත්වය ඇති කෙනෙකුට අධිකාරිත්වය ලැබෙන්නේ කුමක් කිරීමටද කියා ඔබට ලිවිය හැකිය. පූජකත්ව යතුරු මගින් මගපෙන්වීම ලබන කෙනෙකු මගින් වෙන් කරනු ලැබීමෙන්, ඔබට සේවය කිරීමට උදවු ලැබී ඇති ආකාරය දරුවන්ට කියන්න.
-
මෝටර් රථයක් හෝ දොරක් වැනි, යතුරක් අවශ්‍ය වන දෙයක් ගැන සිතීමට දරුවන්ට ආරාධනා කරන්න. ඔබට යතුර නොමැති නම් කුමක් සිදුවේද? එකට එකතු වී දහම සහ ගිවිසුම් 65:2 කියවන්න, පූජකත්ව යතුරු තිබීමේ වැදගත්කම ගැන ඔබේ සාක්ෂිය බෙදාගන්න.
2:51Where Are the Keys?
දේවමාළිගාව සහ ප්‍රීතියේ සැලැස්ම
දේවමාළිගාව කියන්නේ ස්වාමින්වහන්සේගේ නිවසයි.
දේවමාළිගා කියන්නෙ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන් සඳහා වූ සැලැස්මේ කොටසක්. දේවමාළිගා වලදී, අපි උන්වහන්සේ සමඟ පූජනීය ගිවිසුම් ඇති කරගන්නවා, පූජකත්ව බලයෙන්, බලයෙන් සැරසෙනවා, එළිදරව් ලබාගන්නවා, අපගේ මියගිය මුතුන් මිත්තන් සඳහා නියෝග ඉටු කරනවා, ඒවගේම සදාකාලිකව අපගේ පවුල්වලට මුද්‍රා වෙනවා. මේ සියල්ල කළ හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නිසයි.
ඔබ උගන්වන දරුවන්ට ස්වාමින්වහන්සේගේ ගෘහයේ පරිශුද්ධභාවය හඳුනාගෙන, දේවමාළිගාවේ නියෝග වලට සහභාගී වීමට සුදුසු අය වීමට ඔවුන්ව සූදානම් කිරීමට, ඔබට උදවු කරන්න පුළුවන් කොහොමද? මෙම සම්පත් සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න: දහම සහ ගිවිසුම් 97:15–17; රසල් එම්. නෙල්සන්, “අවසාන කථාව” ලියහෝනා, නොවැ. 2019, 120–22.
දේවමාළිගා කියන්නෙ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන් සඳහා වූ සැලැස්මේ කොටසක්.
කළ හැකි ක්‍රියාකාරකම්
-
දේවමාළිගා වල පින්තූර එකක් හෝ කිහිපයක් ප්‍රදර්ශනය කරන්න. දේවමාළිගාව විශේෂ තැනක් වන්නේ කුමක් නිසාද කියා දරුවන්ගෙන් අසන්න. සෑම දේවමාළිගාවකම මෙම පිළිගැන්වීමේ වාක්‍යය ඇති බව පෙන්වා දෙන්න: “ස්වාමින්වහන්සේට ශුද්ධකම—ස්වාමින්වහන්සේගේ ගෘහය.” ඔවුන් සිතන ආකාරයට “ස්වාමින්වහන්සේට ශුද්ධකම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි දරුවන්ගෙන් අසන්න. දේවමාළිගාව ස්වාමින්වහන්සේගේ ගෘහය ලෙස හඳුන්වන්නේ ඇයි? දේවමාළිගාව ගැන මෙයින් අපට උගන්වන්නේ කුමක්ද? දරුවන් කවුරු හෝ දේවමාළිගාවට ගිහින් තිබෙනවා නම්, ඔවුන් එහි සිටින විට ඔවුන්ට දැනුණු ආකාරය බෙදා ගන්න පුළුවන්. ඔබ දේවමාළිගාවට ගොස් ඇත්නම්, එහි ස්වාමින්වහන්සේගේ වැඩ සිටීම ඔබට දැනුණු ආකාරය බෙදාගන්න, ඒ වගේම දේවමාළිගාව ඔබට පූජනීය ස්ථානයක් වන්නේ ඇයි කියා කතා කරන්න.
-
එකට එකතු වී දහම සහ ගිවිසුම් 97:15–17 කියවන්න. ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ ගෘහයට ඇතුල් වන අයගෙන් උන්වහන්සේ අපේක්ෂා කරන්නේ මොනවාද කියා සොයා බලන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින්න. උන්වහන්සේගේ ගෘහයට ඇතුල් වීමට අප සුදුස්සන් විය යුත්තේ ඇයි? මෙම සංවාදයේ කොටසක් ලෙස, දේවමාළිගා නිර්දේශයන් ලබා ගන්නේ කෙසේද යන්න ඇතුළුව දේවමාළිගා නිර්දේශ ගැන දරුවන් සමඟ කතා කරන්න. දේවමාළිගා නිර්දේශ ලබාගන්නා සම්මුඛ සාකච්ඡාව කොයි වගේද සහ එහිදී අසන ප්‍රශ්න ඔවුන් සමඟ බෙදා ගැනීමට, ඔබට සභානායකත්වයේ සාමාජිකයෙකුට ආරාධනා කරන්න පුළුවන්.
දේවමාළිගාවේදී අපි දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගන්නවා.
සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්නුවා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ගිවිසුම් මාර්ගය ඔස්සේ අපගේ ස්වර්ගීය දෙමාපියන් වෙත ගොස්, අප ආදරය කරන අය සමඟ සිටීමට අපට ආරාධනා කරනවා” (“එන්න, මා අනුගමනය කරන්න,” ලියහෝනා, මැයි 2019, 91). ගිවිසුම් මාර්ගයට බව්තීස්මය, ස්ථිර කිරීම සහ දේවමාළිගාවේ බලයෙන් සැරසීම සහ මුද්‍රා තැබීම ඇතුළත් බව දරුවන්ට තේරුම් ගැනීමට උදවු කරන්න.
කළ හැකි ක්‍රියාකාරකම්
-
අපි බව්තීස්ම වූ විට දෙවියන්වහන්සේ සමඟ ඇති කරගන්නා ගිවිසුම සහ අපි සක්‍රමේන්තුවට සහභාගී වන විට අපි අලුත් කරන ගිවිසුම සමාලෝචනය කිරීමට ඔබට උදවු කරන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින්න (බලන්න මොසායා 18:10; දහම සහ ගිවිසුම් 20:77, 79). දේවමාළිගාවේ පින්තූරයක් පෙන්වා ස්වර්ගික පියාණන්වහන්සේට දේවමාළිගාවේදී අපට දීමට අවශ්‍ය තවත් ආශිර්වාද ඇති බව පැහැදිලි කරන්න.
-
මාර්ගයකට යන දොරටුවක් අඳින්න. ඔවුන් සිතන ආකාරයට ඇවිදීමට මාර්ගයක් තිබීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි කියා දරුවන්ගෙන් අසන්න. එකට එකතු වී 2 නෙපී 31:17–20 කියවන්න, එහිදී නෙපී බව්තීස්මයේ ගිවිසුම ගේට්ටුවකට සංසන්දනය කර බව්තීස්මයෙන් පසු මාර්ගයේ ඉදිරියට යාමට අපට ආරාධනා කරනවා. දේවමාළිගාවේ ඇති කරගන්නා ගිවිසුම් ඇතුළුව බව්තීස්මයෙන් පසු ඇතිකරගන්නා තවත් ගිවිසුම් තිබෙනවා. සභාපති නෙල්සන් මෙම මාර්ගය “ගිවිසුම් මාර්ගය” ලෙස හැඳින්වූ බව පැහැදිලි කරන්න.
දේවමාළිගාවේදී, අපිට මිය ගිය මුතුන් මිත්තන් සඳහා බව්තීස්ම වී ස්ථිර වෙන්න පුළුවන්.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට, ඔවුන් ශුභාරංචිය නොදැන මිය ගියත්, උන්වහන්සේ සමඟ ජීවත් වීමට නැවත පැමිණීමට ඉඩ සලසනවා. දේවමාළිගාවේදී, අපිට ඔවුන් වෙනුවෙන් බව්තීස්ම වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ලෙස ස්ථිර වෙන්න පුළුවන්.
කළ හැකි ක්‍රියාකාරකම්
-
ඔබට ඔබ වෙනුවෙන් කළ නොහැකි දෙයක් යමෙකු ඔබ වෙනුවෙන් කළ අවස්ථාවක් ගැන කතා කරන්න. ඒ හා සමාන අත්දැකීම් බෙදා ගැනීමට දරුවන්ට ආරාධනා කරන්න. අපි දේවමාළිගාවට යන විට, මියගිය අය සඳහා අපට බව්තීස්මය වැනි ශුද්ධ වූ නියෝග ලබා ගත හැකි බව පැහැදිලි කරන්න. අපි මළවුන් වෙනුවෙන් වැඩ කරන විට අපි යේසුස්වහන්සේ වගේ වෙන්නෙ කොහොමද? අපට අප වෙනුවෙන් කළ නොහැකි, උන්වහන්සේ අප වෙනුවන් කළ දේවල් මොනවාද?
-
තම මුතුන් මිත්තන් වෙනුවෙන් බව්තීස්ම වූ එක් යෞවනයෙකුට හෝ කිහිප දෙනෙකුට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට ආරාධනා කරන්න. දේවමාළිගාවේ සිටීම කෙබඳුදැයි ඔවුන්ගෙන් අසන්න. ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙනුවෙන් මෙම කාර්යය කිරීමේදී ඔවුන්ට හැඟුණු ආකාරය බෙදා ගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න.
-
පුවරුවක මුල් සහ අතු සහිත ගසක් අඳින්න. පවුලක් ගසක් හා සමාන වන්නේ කෙසේදැයි සිතා බලන ලෙස දරුවන්ට කියන්න. ගසේ මුල් මුතුන්මිත්තන් ලෙස නම් කරන්න, අතු පැවත එන්නන් ලෙස නම් කරන්න, ගසේ කඳ ඔබ ලෙස නම් කරන්න. දහම සහ ගිවිසුම් 128:18 තුළ ඇති මෙම වාක්‍යය එකට එක්ව කියවන්න: “මක්නිසාද ඔවුන් [අපගේ මුතුන් මිත්තන්] නොමැතිව අපව සම්පූර්ණ කරනු ලැබිය නොහැක්කේය; එලෙසම අප නොමැතිව ඔවුන්වද සම්පූර්ණ කරනු ලැබිය නොහැක්කේය.” පහත සඳහන් ප්‍රශ්න අසන්න: “අපට අපේ මුතුන් මිත්තන් අවශ්‍ය වන්නේ ඇයි? අපේ මුතුන් මිත්තන්ට අපව අවශ්‍ය වන්නේ ඇයි? අපේ දෙමාපියන්, ආච්චිලා සීයලා සහ වෙනත් මුතුන් මිත්තන් අපට උදවු වී තිබෙන්නේ කොහොමද? අපගේ මුතුන් මිත්තන්ට අපට උදවු කළ හැකි ආකාරය විස්තර කරන වාක්‍ය ඛණ්ඩයක් සඳහා දහම සහ ගිවිසුම් 128:18 තුළ ඉතිරි කොටස උවමනාවෙන් කියවීමට දරුවන්ට ආරාධනා කරන්න.
-
දේවමාළිගාවේ නියෝගයන් අවශ්‍ය වන මුතුන් මිත්තෙකුගේ නම සොයා ගැනීමට, සෑම දරුවෙකුගේම දෙමාපියන් සමඟ වැඩ කිරීම සලකා බලන්න (FamilySearch.org බලන්න).