පුස්තකාලය
සැප්තැම්බර් 27–ඔක්තෝම්බර් 10. එපීස: ‘සාන්තුවරයන්ගේ පරිපූර්ණත්වය සඳහා’


“සැප්තැම්බර් 27–ඔක්තෝම්බර් 10. එපීස: ‘සාන්තුවරයන්ගේ පරිපූර්ණත්වය සඳහා”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“සැප්තැම්බර් 27–ඔක්තෝම්බර් 10. එපීස,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

පවුලක් පින්තූර දෙස බලමින්

සැප්තැම්බර් 27–ඔක්තෝම්බර් 10

එපීස

“සාන්තුවරයන්ගේ පරිපූර්ණත්වය සඳහා”

ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ සහ පාවුල් එපීසවරුන්ට ලියූ ලිපිය අතර යම් සම්බන්ධයක් ඔබට පෙනේද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

එපීසයේ ශුභාරංචිය පැතිරෙන්නට පටන්ගත් විට, එය එපීසවරුන් අතර ඇති කළේ “සුළු කැලඹීමක්” නොවේ (ක්‍රියා 19:23). මිථ්‍යාදෘෂ්ටික දේවතාවියකට සිද්ධස්ථාන නිපදවූ දේශීය ශිල්පීන් ක්‍රිස්තියානි ධර්මය ඔවුන්ගේ ජීවනෝපායට තර්ජනයක් ලෙස දුටු අතර වැඩිකල් නොගොස් “ඔවුන් කෝපයෙන් පිරී ගියේය… මුළු නගරයම ව්‍යාකූලත්වයෙන් පිරී ගියේය” (ක්‍රියා 19:27–29 බලන්න). එවැනි පසුබිමක් තුළ ශුභාරංචියට නව හැරෙන්නෙක් වීම ගැන සිතාබලන්න. මෙම “කෝලාහලය” මධ්‍යයේ බොහෝ එපීසවරුන් ශුභාරංචිය පිළිගෙන ජීවත්වූ අතර (ක්‍රියා 19:40), “ක්‍රිස්තුස්වහන්සේ අපගේ සමාදානයයි” කියා පාවුල් ඔවුන්ට සහතික විය (එපීස 2:13–14). මෙම වචන, “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා” (එපීස 4:31) යන ඔහුගේ ආරාධනයත් සමග එවකට මෙන් දැන්ද කාලෝචිත හා සැනසීමක් සේ පෙනේ. එපීසවරුන්ට, ඔබට මෙන්, විපත්තියට මුහුණදීමට ශක්තිය ලැබෙන්නේ “ස්වාමින්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ බලවත්කමේ බලයෙනි” (එපීස 6:10–13).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

එපීස 1:4–11, 17–19

දෙවියන්වහන්සේ තම දරුවන්ගෙන් සමහරෙකුව ගැලවීම සඳහා “තෝරාගෙන” හෝ “කලින් නියම කර” තිබේද?

සාන්තුවරයන් දෙවියන්වහන්සේ විසින් “කලින් නියම කර” ඇති බවත්, “ලෝකයේ අත්තිවාරමට පෙර … තෝරාගනු ලැබූ” බවත් පාවුල් කතා කළේය. සභාපති හෙන්රි බී. අයිරින්ග් සඳහන් කළ පරිදි, ශුභාරංචිය ලැබීමට අවස්ථාවක් නොමැතිව බොහෝ මිනිසුන් ජීවත්වී මියයන නිසා “දෙවියන්වහන්සේ තම දරුවන්ගෙන් කවරෙකු බේරාගන්නේද යන්න පිළිබඳව කල්තියාම තීරණය කර ශුභාරංචිය ඔවුන්ට ලබාගත හැකි කර, ශුභාරංචිය කවදාවත් අසා නැති අයව ‘තෝරාගනු’ ලබානැති බව, සමහරු නිගමනය කරති. නමුත්… දෙවියන්වහන්සේගේ සැලැස්ම ඊට වඩා බොහෝ ආදරණීයයි. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සිය පවුලේ සියලුදෙනා එක්රැස් කොට ආශිර්වාද කිරීමට උනන්දු වෙයි ” (“දෙවියන්වහන්සේගේ පවුල එක්රැස් කිරීම,” එන්සයින් හෝ ලියහෝනා, මැයි 2017, 20–21). ශුද්ධවූ දේවමාළිගා වල මළවුන් උදෙසා කරන ලද කාර්යයන් නිසා දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ශුභාරංචිය සහ එහි වත්පිළිවෙත් පිළිගත හැකිය.

ගැලවීම ලැබිමට හෝ ගැලවීම නොලැබීමට කිසිවෙකු කලින් නියම කර නොතිබුණද, නූතන එළිදරව්වෙන් උගන්වනුයේ, පොළොවේ යම් යම් වගකීම් ඉටුකිරීම සඳහා සමහරුන් තෝරාගෙන හෝ “පූර්ව නිශ්චය කර” ඇති බවයි. සියලුම පසු-දවස්වල සාන්තුවරයින්ට ශුභාරංචිය බෙදාගැනීමේ සහ තිරය දෙපස සිටින දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කිරීමේ වගකීම මෙයට ඇතුළත් වේ. (බලන්න “Foreordination,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.)

එපීස 1:10

දෙවියන්වහන්සේ “ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ල එක්රැස් කරනු ඇත.”

“පරිපූර්ණ කාල පරිච්ඡේදය” යනු කුමක්දැයි හෝ “ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ල එක්රැස් කිරීම” යන්නෙහි තේරුම කුමක්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? ඔබ මෙම වාක්‍ය ඛණ්ඩය මෙනෙහි කරන විට, පහත සඳහන් ශුද්ධලියවිලි පද කියවන්න: එපීස 4:13; 2 නෙපි 30:7–8; දහම සහ ගිවිසුම 110:11–16; 112:30–32; 128:18–21. මෙම වාක්‍ය ඛණ්ඩ පිළිබඳ ඔබේම පැහැදිලි කිරීම් ලිවීමට ඔබට පෙලඹීමක් ඇතිවිය හැකිය.

එපීස 2:19–22; 4:11–16

සභාව ආරම්භ කර ඇත්තේ ප්‍රේරිතයන් හා අනාගතවක්තෘවරුන් මත වන අතර, මෙහි ප්‍රධාන ගල වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

ප්‍රේරිතයන් හා අනාගතවක්තෘවරුන් පිළිබඳ පාවුල්ගේ ඉගැන්වීම් කියවීමෙන්, ප්‍රධාන සම්මන්ත්‍රණයේදී නූතන ප්‍රේරිතයන්ගේ හා අනාගතවක්තෘවරුන්ගේ පණිවිඩ ඇසීමට සූදානම් වීමට ඔබට හැකිවේ. එපීස 2:19–22; 4:11–16 දක්වා පද වලට අනුව, අපට අනාගතවක්තෘවරුන් හා ප්‍රේරිතයන් සිටින්නේ ඇයි? “ඉගැන්වීම්වල සෑම සුළඟක් සමගම” ගමන් නොකිරීමට ඔවුන්ගේ ඉගැන්වීම් ඔබට උපකාර කර ඇත්තේ කෙසේද?

ක්‍රියා 4:10–12 බලන්න.

පළමු සභාපතිත්වයේ සහ දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ සාමාජිකයින්

තම සභාව මෙහෙයවීම සඳහා ස්වාමින්වහන්සේ අනාගතවක්තෘවරුන් හා ප්‍රේරිතයන් කැඳවයි.

එපීස 5:21–6:4

මට මගේ පවුල් සබඳතා ශක්තිමත් කළ හැකිය.

ඔබ එපීස 5:21–6:4 කියවන විට, ඔබේ පවුල් සබඳතා ශක්තිමත් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට ඇතිවන සිතුවිලි මොනවාද?

එපීස 5:22 හි පාවුල්ගේ වචන ලියා ඇත්තේ ඔහුගේ යුගයේ සමාජ සිරිත් විරිත් වල සන්දර්භය තුළ බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. අද දින අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් උගන්වන්නේ පිරිමින් කාන්තාවන්ට වඩා උසස් නොවන බවත් කලත්‍රයන් “සමාන හවුල්කරුවන්” විය යුතු බවත්ය (“පවුල: ලෝකයට ප්‍රකාශයකි,” එන්සයින් හෝ ලියහෝනා, මැයි 2017, 145). එසේ වුවද, විශේෂයෙන් ඔබ විවාහක හෝ විවාහයට සූදානම් වෙමින් සිටිනවා නම්, එපීස 5:23-33 හි ඔබට අදාළ උපදෙස් සොයාගත හැකිය. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේ සාන්තුවරයන්ට ඇති උන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ කෙසේද? ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට සැලකිය යුතු ආකාරය ගැන මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද? මෙම පද වලින් ඔබ ඔබ සඳහා සොයාගන්නා පණිවිඩ මොනවාද?

එපීස 6:10–18

“දෙවියන්වහන්සේගේ මුළු යුද්ධායුධ කට්ටලයම” පැළඳීමෙන් මා නපුරෙන් ආරක්ෂා වේ.

ඔබ එපීස 6:10–18 කියවන විට, පාවුල් සෑම සන්නාහයක්ම ඔහු කළ ආකාරයට නම් කළේ ඇයි කියා සලකා බලන්න. “දෙවියන්වහන්සේගේ මුළු යුද්ධායුධ කට්ටලය” අපව ආරක්ෂා කරන්නේ කුමකින්ද? සෑමදිනකම එක් එක් ආයුධ කොටස බැගින් වඩාත් හොඳින් පැළඳීමට ඔබට කුමක් කළ හැකිද?

2 නෙපි 1:23; දහම සහ ගිවිසුම 27:15–18 ද බලන්න.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

එපීස 1:10

පසු-දවස්වල නැවත පිහිටුවීම තුළින් දෙවියන්වහන්සේ ශුභාරංචියේ සියලුම මූලධර්ම හා වත්පිළිවෙත් ඇතුළුව සියල්ල එකක් ලෙස රැස්කරයි. ඔබට මෙම අදහස නිරූපණය කිරීම සඳහා, අපගේ කාලයේ නැවත පිහිටුවා ඇති දේවල් (පූජකත්ව යතුරු, දේවමාළිගා වත්පිළිවෙත්, ශුද්ධලියවිලි සහ අධ්‍යාත්මික දීමනා වැනි) නියෝජනය කරන වස්තූන් හෝ ලිඛිත වාක්‍ය ඔබේ නිවස වටා සැඟවිය හැකිය. පවුලේ සාමාජිකයින්ට ඒවා සෙවීමට සහ ඒවා “එක්රැස් කිරීමට” හැකිය. “පරිපූර්ණ කාල පරිච්ඡේදයේ” ජීවත්වීම ගැන අප ස්තුතිවන්ත වන්නේ ඇයි?

එපීස 2:4–10; 3:14–21

මෙම පදවල විස්තර කර ඇති දෙවියන්වහන්සේගේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය හා දයාව දැනුණු අත්දැකීම් බෙදාගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න.

එපීස 2:12–19

ඔබේ පවුලේ අයට කොට්ට හෝ වෙනත් වස්තූන් වලින් බිත්ති ඉදිකර ඒවා කඩාදැමිය හැකිය. අද මිනිසුන්ව වෙන්කරන්නේ කුමන ආකාරයේ බිත්තිද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, දෙවියන්වහන්සේ සහ “අප අතර බෙදීමේ පවුර … බිඳදමා ඇත්තේ කෙසේද?

එපීස 6:10–18

ඔබේ පවුලේ අයට ගෘහ භාණ්ඩ භාවිතා කරමින් තමන්ගේම “දෙවියන්වහන්සේගේ සන්නාහය” සාදාගත හැකිය. “The Armour of God” (ChurchofJesusChrist.org) වීඩියෝව මගින් පවුලේ සාමාජිකයින්ට මෙම සන්නාහය දෘශ්‍යමාන කිරීමට උපකාරී වන අතර ඔවුන්ට “The Whole Armor of God” (Friend, June 2016, 24–25) හි ඒ ගැන සරල පැහැදිලි කිරීම් සොයාගත හැකිය. සෑම සන්නාහයක්ම ආත්මිකව අපව ආරක්ෂා කරන්නේ කෙසේද? “දෙවියන්වහන්සේගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳීමට” (එපීස 6:11) එකිනෙකාට උපකාර කිරීමට අපට කුමක් කළ හැකිද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබේ අධ්‍යයනයට මගපෙන්වීමට ආත්මයාණන්ට ඉඩදෙන්න. ඔබ මුලින් සැලසුම් කර නොතිබූ මාතෘකාවක් හැදෑරීමට මෙය ඔබව යොමුකළත්, ඔබ දිනපතා ඉගෙනගත යුතු දේ කෙරෙහි උන්වහන්සේ ඔබට මගපෙන්වන බැවින් ආත්මයාණන්ට සංවේදී වන්න.

අලුත් ගිවිසුමේ යුගයේ සන්නාහ වූ මිනිසා

දෙවියන්වහන්සේගේ සන්නාහය පැළඳීමෙන් අපව ආත්මිකව ආරක්ෂා කළ හැකිය.