“සැප්තැම්බර් 20–26. ගලාති: ‘ආත්මයාණන්ගෙන් යුතුව ගමන් කරන්න’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 2020
“සැප්තැම්බර් 20–26. ගලාති එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021
සැප්තැම්බර් 20–26
ගලාති
“ආත්මයාණන්ගෙන් යුතුව ගමන් කරන්න”
ඔබ ගලාති කියවන විට, ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න. එසේ කිරීමෙන් ඔබට අනාගතයේදී ඒවා මතකතබාගැනීමට සහ මෙනෙහි කිරීමට උපකාරී වේ.
ඔබේ හැඟීම් සටහන් කරන්න
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අධ්‍යාත්මික බැඳීමෙන් නිදහස්වීම පිරිනමයි. නමුත් සමහර අවස්ථා වලදී ශුභාරංචියේ නිදහස අත්විඳ ඇති අය එයින් ඉවතට හැරී “නැවත වහල්භාවයට පත්වීමට ආශා කරති” (ගලාති 4:9). සමහර ගලාති සාන්තුවරයන් කළේ මෙයයි—ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට දුන් නිදහසෙන් ඉවතට යමින් සිටියහ (ගලාති 1:6 බලන්න). පාවුල් ගලාතිවරුන්ට ලියූ ලිපිය, “ක්‍රිස්තුස්වහන්සේ අපව නිදහස් කළ නිදහස” වෙත නැවත පැමිණීමේ හදිසි කැඳවීමකි (ගලාති 5:1). මෙම ඇමතුම අප සවන්දිය යුතු අතර අවධානය යොමුකළ යුතු කරුණකි, මන්දයත් තත්වයන් වෙනස්වන විට, නිදහස හා වහල්භාවය අතර අරගලය නියතය. පාවුල් ඉගැන්වූ පරිදි, “නිදහසට කැඳවීම” පමණක් ප්‍රමාණවත් නොවේ (ගලාති 5:13); ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන්, අපත් එහි “ස්ථීරව නැගී” සිටිය යුතුමය (ගලාති 5:1).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
ගලාති 1–5
ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව මාව නිදහස් කරයි.
ව්‍යාජ ඉගැන්වීම් වලින් ඔවුන්ව නොමග යවන බව දැනගත් පාවුල් ගලාති සාන්තුවරයන්ට ලිපියක් යැව්වේය. මෙම ඉගැන්වීම් වලින් එකක් නම් ගැලවීම ලැබීමට නම්, ශුභාරංචිය පිළිගත් අන්‍යජාතීන් චර්මච්ඡේදනය කිරීම හා මෝසෙස්ගේ නීතියේ වෙනත් සම්ප්‍රදායන් පිළිපැදීම අවශ්‍ය බවය. පාවුල් මෙම සම්ප්‍රදායන් හැඳින්වූයේ “වහල්භාවයේ වියගහ” ලෙසය (ගලාති 5:1) මන්ද සාන්තුවරයන්ට සැබෑ නිදහස ගෙනෙන ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ජීවත්වීම ඒවා මගින් වළක්වන බැවිනි. සැබෑ නිදහස යනු කුමක්දැයි වටහාගැනීමට ඔබට උපකාර කළ හැකි ගලාතිවරුන්ට පාවුල් දුන් උපදෙස් වලින් ඔබ සොයාගන්නේ කුමක්ද? ඔබේ ජීවිතයේ පැවතිය හැකි බැඳීමේ වියගස් මොනවාදැයි ඔබට මෙනෙහි කළ හැකිය. ශුභාරංචිය ලබාදෙන නිදහස අත්විඳීමෙන් ඔබව වළක්වන කිසිවක් තිබේද? ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය “ඔබව නිදහස් කර ඇත්තේ කෙසේද”? ගලාති 5:1).
2 නෙපි 2:27; 9:10–12 ද බලන්න.
ගලාති 3
මම ආබ්‍රහම්ට පොරොන්දුවූ ආශිර්වාද වල උරුමක්කාරයෙක් වෙමි.
සමහර ගලාති සාන්තුවරයන් සැලකිලිමත් වූයේ ඔවුන් ඇත්තෙන්ම ආබ්‍රහම්ගේ පැවත එන්නන් (“බීජය”) නොවන නිසා, සහ උත්කර්ෂය ඇතුළුව ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශිර්වාද නොලැබෙන නිසාය. ගලාති 3:7–9, 13–14, 27–29 ට අනුව, පුද්ගලයෙකු “ආබ්‍රහම්ගේ බීජය” වීමට සුදුසුකම් ලබන්නේ කුමක් මගින්ද? ආබ්‍රහම්ට පොරොන්දුවූ ආශිර්වාද සහ ඔහුගේ වංශය ලෙස අපට උරුම කරගත හැකි ආශිර්වාද ගැන දැනගැනීමට, බලන්න Bible Dictionary, “Abraham, covenant of,” and “Abrahamic Covenant,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
ගලාති 3:6–25
ආබ්‍රහම්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තිබුණේද?
ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා මෙසේ පැහැදිලි කළේය: “ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට පෙර මෙන්ම එතැන් සිටම, මෙතෙක් ගැලවීම ලැබූ සියල්ලන්ම ගැලවීම ලැබුවේ මෙම මිදීමේ මහා සැලැස්මේ බලයෙන් බව, සෑම යුගයකම පැරැන්නන් ස්වර්ග පද්ධතිය ගැන නොදැන සිටි බව අපට විශ්වාස කළ නොහැකිය. … ආබ්‍රහම් පූජා ඔප්පු කළ අතර, එසේ තිබියදීත්, ශුභාරංචිය ඔහුට දේශනා කරන ලදි” (“The Elders of the Church in Kirtland to Their Brethren Abroad,” The Evening and the Morning Star, Mar. 1834, 143, josephsmithpapers.org). ගැලවුම්කරුවාණන්ගේ ලෞකික දේවසේවයට පෙර සිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කළ බව පහත ශුද්ධලියවිලිවල දැක්වේ: හිලමන් 8:13–20; මෝසෙස් 6:50–66.
ගලාති 5:13–26; 6:7–10
මම “ආත්මයාණන් තුළ ගමන් කරන්නේ නම්” මට “ආත්මයේ ඵල” ලැබෙනු ඇත.
මෙම පද අධ්‍යයනය කිරීමෙන් ඔබ ආත්මයාණන් තුළ කෙතරම් දුරට ගමන් කරනවාද යන්න තක්සේරු කරගැනීමට උපකාර කරයි. 22–23 පදවල සඳහන් ආත්මයාණන්ගේ ඵල ඔබ අත්විඳිනවාද? අධ්‍යාත්මික ජීවත්වීමේ ඔබ දැක ඇති වෙනත් ඵල හෝ ප්‍රතිඵල මොනවාද? මෙම ඵල වඩාත් හොඳින් වගාකිරීම සඳහා ඔබ කළ යුතු දේ ගැන මෙනෙහි කරන්න. මෙම ඵල වගාකිරීම ඔබේ ජීවිතයේ වැදගත් සබඳතා වැඩිදියුණු කරන්නේ කෙසේද?
මම මගේ ජීවිතයේ “ආත්මයාණන්ගේ ඵල” සෙවිය යුතුය.
සමහරවිට ඔබ ආත්මයාණන් තුළ ගමන් කිරීමට උත්සාහ කරනවා විය හැකිය, නමුත් ඔබේ උත්සාහය පොරොන්දු වූ ඵල දරන බවක් පෙනෙන්නට නොමැති වන්නට පුළුවන. ගලාති 6:7–10 කියවන්න (බොහෝවිට එය අස්වැන්න නීතිය ලෙස හැඳින්වේ). මෙම පද වලින් ස්වාමින්වහන්සේ ඔබට දී ඇති පණිවිඩය කුමක් ලෙස ඔබට හැඟෙනවාද? ශුභාරංචිය අනුව ජීවත්වීමට වෙහෙසෙන කෙනෙකුව ධෛර්යමත් කිරීමට මෙම පද භාවිතා කරන්නේ කෙසේද?
තවත් බලන්න ඇල්මා 32:28, 41–43; දහම සහ ගිවිසුම 64:32–34.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
ගලාති 3:11
“ඇදහිල්ලෙන් ජීවත්වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ ඇදහිල්ලෙන් ජීවත්වන බව පෙන්වීමට ඔබේ පවුලේ අය කරන්නේ මොනවාද?
ගලාති 4:1–7
රජෙකුගේ සේවකයන් සහ ඔහුගේ දරුවන් අතර ඇති වෙනස්කම් සාකච්ඡා කිරීමෙන් ඔබට ගලාති 4 හඳුන්වාදිය හැකිය. සේවකයෙකුට නොලැබෙන රජෙකුගේ දරුවෙකුට ඇති අවස්ථා හෝ හැකියාවන් මොනවාද? ඔබ එක්ව 1–7 දක්වා පද කියවන විට මේ ගැන සිතන්න. ස්වර්ගික පියාණන්වහන්සේ සමග ඇති අපගේ සම්බන්ධතාවය ගැන මෙම පද වලින් උගන්වන්නේ මොනවාද?
ගලාති 5:22–23
ගලාති 5:22–23 පිළිබඳ ඔබේ සාකච්ඡාවට යම් විනෝදයක් එක් කිරීමට, “ආත්මයාණන්ගේ ඵල” විස්තර කිරීමට පාවුල් භාවිතා කළ වචන වලින් ඔබේ පවුලට විවිධ පළතුරු ලේබල් කළ හැකිය. එවිට සෑම පවුලේ සාමාජිකයෙකුටම එකක් තෝරාගෙන, එය නිර්වචනය කර, එම ඵලයට ආදර්ශයක් දෙන කෙනෙකු ගැන කතා කළ හැකිය. මෙය ඔබගේ පවුලට ආත්මයාණන්ට ඔබගේ නිවසට ආරාධනා කර මෙම ඵල වර්ධනය කළහැකි ආකාරය පිළිබඳ සාකච්ඡාවකට මගපෑදිය හැකිය. සාකච්ඡාවෙන් පසු, ඔබට එකට පලතුරු සලාදයක් රස විඳිය හැකිය.
ගලාති 6:1
ඔබේ පවුලේ කෙනෙකු “වරදක් අභිබවා ගිය” අවස්ථා තිබෙන්නට පුළුවන්. එවැනි තත්වයකදී කුමක් කළ යුතුද යන්න පිළිබඳව ගලාති 6:1 හි ඔබ සොයාගන්නා උපදෙස් මොනවාද?
ගලාති 6:7–10
ඔබේ පවුල කවදා හෝ එකට එක්ව යමක් රෝපණය කර ඇත්නම්, “මිනිසෙකු වපුරන ඕනෑම දෙයක් ඔහු නෙළාගනු ඇත” (7 වන පදය) යන මූලධර්මය විදහා දැක්වීමට ඔබට එම අත්දැකීම භාවිතා කළ හැකිය. නැතහොත් ඔබට පවුලේ සාමාජිකයින්ගෙන් ඔවුන්ගේ ප්‍රියතම පලතුරු හෝ එළවළු ගැන විමසා එම ආහාර නිපදවන ශාකයක් වගාකිරීමට කළයුතු දේ ගැන කතාකළ හැකිය. (ඔබට මෙම දළ සටහන සමග ඇති පින්තූරය දෘශ්‍ය ආධාරකයක් ලෙස භාවිතා කළ හැකිය.) එවිට ඔබේ පවුලේ අය බලාපොරොත්තු වන ආශිර්වාද සහ එම ආශිර්වාද “නෙලාගන්නේ කෙසේද” යන්න පිළිබඳව සංවාදයක් පැවැත්විය හැකිය.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
ශුද්ධලියවිලි තමන්ට අදාළ කරගැනීමට ඔබේ පවුලට උදව් කරන්න. නෙපි මෙසේ පැවසුවේය, “මම සියලු ශුද්ධලියවිලි අපට අදාළ කළේ, ඒවා අපගේ ලාභය හා ඉගෙනීම සඳහා වන පිණිසය” (1 නෙපි 19:23). ඔබේ පවුලට මෙය කිරීමට උදව් වීමට, ගලාති 5:22–23 හි විස්තර කර ඇති ආත්මයාණන්ගේ ඵල ඔවුන් අත්විඳ ඇති අවස්ථා ගැන මෙනෙහි කිරීමට ඔබේ පවුලේ අයට උපකාර කිරීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. (බලන්න Teaching in the Savior’s Way, 21.)